නවලිබරල්වාදය සහ ‘නගරයට ඇති අයිතිය’: මෑතකාලීන කොළඹ නාගරික අවකාශමය නවීකරණයෙහි බහිෂ්කරණය

හසිනි ලේකම්වසම්


හැඳින්වීම

‘නගරයට ඇති අයිතිය’ පිළිබඳව බොහෝ දේ රචනා වී ඇත. හෙන්රි ලෆේව්’ගෙන් ඇරඹි මේ වටිනා සහ වැදගත් කතිකාව තුළ නාගරීකරණයේ ඵල භුක්ති විඳීමට අයිතිය ඇත්තේ කාට ද යන්න පිළිබඳව අති මූලික ආකාරයේ ප්‍රශ්න ගණනාවක් මතුකොට තිබේ. එහෙත් ඊටත් පෙර අවධානයට ලක් විය යුතු ප්‍රශ්නයක් වන්නේ නගරය අරබයා මෙතරම් ‘හා හෝවක්’ පවතින්නේ ඇයි ද යන්න ය. සමාජ විද්‍යාඥ රොබර්ට් පාර්ක් උපුටා දක්වමින් ඩේවිඩ් හාවි පෙන්වා දෙන පරිදි “නගරය යනු සිය කැමැත්තට අනුව තමා ජීවත් වන ලෝකය නිර්මාණය කිරීමේ මානව ප්‍රයත්නයේ වඩාත්ම සාර්ථක පිළිබිඹුවයි. එසේ නිමවාගත් ලෝකය තුළ මින් මත්තට ජීවත් වීමට මිනිසාට සිදුවනු ඇත. එනිසා වක්‍රාකාරයෙන් සහ ඒ පිළිබඳ පැහැදිලි හැඟීමක් නැතිව වුවත්, නගර නිමැවුම හරහා මිනිසා තමාව ද ප්‍රතිනිර්මාණය කර තිබෙන බව සිතිය හැකිය” (රොබර්ට් පාර්ක්; උපුටනය, හාවි 2009: 315).

එසේ මානව පරිණාමයේ උරුමයක් බවට පත්ව ඇති නගරය තුළ ඒ අනුව මානව ජීවිතය වඩා පරිපූර්ණ ආකාරයෙන් ගතකිරීම සඳහා අවැසි වන්නා වූ සුවිශේෂී අවස්ථාවන් ගණනාවක් අඩංගු වේ. ඒ අතර විවිධ පුද්ගලයන්, සංස්කෘතීන් හා ජීවන රටාවලට නිරාවරණය වීම හා ඒවා සමග අන්තර්ක්‍රියා කිරීමේ හැකියාව, එම නිරාවරණය ඔස්සේ ලැබෙන්නා වූ වඩා පුළුල් මානසිකත්වය, දැවැන්ත ආර්ථික ක්‍රියාවලියක කොටස්කරුවකු වීමේ හැකියාව වැනි දේ අඩංගු වේ (ලෆේව් 1996). නාගරීකරණය, එසේ නම්, වඩා විස්තීර්ණ සම්පත් ජාලයකට වැඩි පිරිසකගේ ප්‍රවේශය තහවුරු කරන්නා වූ අවකාශයක් මෙන්ම විකල්ප ආකාරයේ ජීවන ක්‍රම පිළිබඳ අත්හදා බැලීමට සහ ඒවා සාක්ෂාත්කරණය කරගැනීමට අවස්ථා විවර කරදෙන්නා වූ ක්‍රියාවලියක් වශයෙන් ද වැදගත් වේ (ලෆේව් 1996).

‘නාගරික ජීවිතය’ ලෙස අප විසින් වඩා පුළුල්ව අරුත් ගන්වනු ලබන මෙම අත්දැකීමෙහි පුද්ගලයාට ඇති ප්‍රයෝජන එසේ නම් පැහැදිලි ය. ‘නගරයට ඇති අයිතිය’ යන අරගලය තුළින් තහවුරු කරන්නට උත්සාහ කරන්නේ මෙම අත්දැකීම් සමුදාය විඳගැනීමට මූලික වන්නා වූ අවකාශයන් සහ ක්‍රියාකාරකම්වලට සමාන ප්‍රවේශයක් ලබාගැනීමට සියලු දෙනාට අවශ්‍ය වන සමාන අවස්ථාවන් වේ. ඒ සඳහා “නාගරික අවකාශය තුළ අතිරික්ත නිෂ්පාදිතය ප්‍රජාතන්ත්‍රවාදීව කළමණාකරණය කිරීම” (2009: 327) අවශ්‍ය බව හාවි දක්වයි. මේ සම්බන්ධයෙන් වර්තමානයේ වැඩිමනත් ශාස්ත්‍රීය අවධානය යොමුව තිබෙන්නේ නවලිබරල්වාදී නාගරීකරණ ව්‍යාපෘතිය තුළ විශේෂයෙන්ම ආන්තික කණ්ඩායම්වල නගරයට ඇති අයිතිය දරුණු වශයෙන් උල්ලංඝණය වෙමින් පවතින නිසා ය. එතෙකුදු වුවත්, ශීඝ්‍රයෙන් නවලිබරල්කරණය වන නගරය තුළ මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදී භාවිතයන්ට තබා ඒ පිළිබඳ සාකච්ඡාවකට හෝ පවතින ඉඩ ද එන්න එන්නටම වියැකී යන බව පෙනෙන්නට තිබේ. එවැනි තත්ත්වයකදී, එනම් නාගරික අත්දැකීම තුළ බහුතරයකගේ නගරයට ඇති අයිතිය දරුණු ලෙස උල්ලංඝණය වෙමින් පවතින අවස්ථාවකදී වුව ද, එමගින් වඩාත්ම බලපෑමට ලක්වන කණ්ඩායම් තුළ පවා ඒ පිළිබඳ සැළකිය යුතු ප්‍රතිරෝධයක් ජනනය නොවන්නේ මන්දැයි යන්න ඇත්තෙන්ම ප්‍රහේලිකාවකි.

ශ්‍රී ලංකාවේ කොළඹ නගරය තුළ මෑතකාලීනව සිදුවෙමින් පවතින අවකාශමය වෙනස්කම් හා එතුළ ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබෙන බහිෂ්කරණයන් හමුවේ මෙම ගැටළුව පිළිබඳ වඩාත් සැලකිලිමත් වීමට යොමු වීමි. මේ නගරය දිනෙන් දිනම වෙනස් වන්නේ ඇති හැකි පන්තියේ අවශ්‍යතාවයන්ට අනුව බව සක්සුදක් සේ පැහැදිලි ය. එතෙකුදු වුවත් එම වෙනස්කම් නිසාවෙන් වඩාත් දරුණු ලෙස බහිෂ්කරණයට ලක්වන කණ්ඩායම් – විශේෂයෙන්ම ඒවායෙහි ප්‍රතිලාභ ඍජුව භුක්ති විඳිය නොහැකි අඩු ආදායම්ලාභීන් පවා – එම වෙනස්කම් සහ ඒවා තුළින් ලබාදෙන බව කියන නාගරික අත්දැකීම වැඩි ප්‍රතිරෝධයකින් තොරව වැළඳගෙන අභ්‍යන්තරීකරණය කරගෙන සිටීමට හේතුව කුමක් වියහැකි ද යන්නට පිළිතුරකි එම නිසා මා මේ ලිපිය ලිවීමෙන් සොයන්නේ. මෙය මගේ පෞද්ගලික අත්දැකීම් සහ නිරීක්ෂණ මේ පිළිබඳව අසා කියවා ඇති කරුණු තුළින් තේරුම් ගැනීමට ගන්නා උත්සාහයකි. ඒ හරහා නවලිබරල්වාදී නාගරීකරණය කුමනාකාරයේ සාධක මත රඳා පවතී ද යන්නත්, එම යථාර්ථය තුළ ජීවත් වන්නන්ගේ දේශපාලනික විඥානය එම සාධක මගින් කෙසේ හැඩ ගස්වන්නේ ද යන්නත් තේරුම් ගැනීම මගේ අපේක්ෂාවයි.

පසුබිම

කොළඹ නගරයේ භෞතික අවකාශය වෙනස් කිරීමේ ක්‍රියාවලීන් සහ ඒවා තුළ සිදුවන බැහැර කිරීම් පිළිබඳ යටත්විජිත යුගයේ පටන්ම විවිධ උදාහරණ හමුවේ. ඒ අතර 1915 නිවාස ආඥාපනත වැදගත් වන්නේ නාගරීකරණය තුළ දුගී නිවාස ප්‍රශ්නයක් ලෙස දැකීමේ ආරම්භය එමගින් සනිටුහන් වන නිසා ය. ඒ අනුව ඉන් වසරක් ගතවන තැන, එනම් 1916 දී, කොච්චිකඩේ ප්‍රදේශය සනීපාරක්ෂාවට අහිතකර ප්‍රදේශයක් ලෙස නම් කෙරුණු අතර, ඒ ඔස්සේ එම ප්‍රදේශයේ කටයුතු ‘නිවැරදි කිරීමට’ මැදිහත් කිරීමක් සඳහා අවශ්‍ය ඉඩ ප්‍රස්ථාව සුදු ආණ්ඩුව විසින් සලසා ගන්නා ලදී (පෙරේරා 2005). ඉන් අනතුරුව 1919 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ නගර සැලසුම්කරුවකු වූ පැට්රික් ගෙඩ්ස් විසිනි කොළඹ නගරයේ භෞතික අවකාශය ධනවාදී ක්‍රියාවලීන් සහ ඉහළ පාන්තික කණ්ඩායම්වලට වඩාත් වාසි සහගත ලෙස නිර්මාණය කිරීමේ සම්ප්‍රදාය ආරම්භ කරන්නේ (පෙරේරා 2006). එනිසා මෙම භාවිතය හුදු මෑතකාලීන ප්‍රවණතාවක් ලෙස වටහා නොගත යුතු ය.

ලංකාවේ මේ සම්බන්ධ වඩාත් මෑතකාලීන ඉතිහාසය ගත්විට 1990 දශකය තුළ දුම්රිය මාර්ග දෙපස ජීවත් වූ කණ්ඩායම් සහ පදික වේදිකාවේ වෙළඳාම් කරමින් ජීවත් වූ පිරිස් ඉවත් කිරීම සහ 2008 සාර්ක් සමුළුව උදෙසා කරන ලද ඉවත් කිරීම් වැනි දෑ උදාහරණ වශයෙන් දැක්විය හැකිය (පෙරේරා 2020). එහෙත් මේ අරබයා රාජපක්ෂ නගර අලංකරණ ව්‍යාපෘතිය විශේෂයෙන්ම වැදගත් වන්නේ, එය කොළඹ මෑතකාලීන ඉතිහාසය තුළ සිදුවූ වඩාත් පැහැදිලි, ඇසට ගැටෙන, මග හැරිය නොහැකි ආකාරයේ නගර අලංකරණ ව්‍යාපෘතිය මෙන්ම ඊට කලින් තිබූ කඩින් කඩ සිදුවූ යම් යම් සුවිශේෂී තත්ත්වයන්ට ප්‍රතිචාර වශයෙන් හඳුන්වා දුන් ව්‍යාපෘතිවලට වඩා දිගුකාලීන අරමුණු සහිත එකක් වූ බැවිනි.

මහින්ද රාජපක්ෂ 2010 දී දිනූ ජන වරම බොහෝ කොටම යුද්ධයේ නිමාවෙන් පැන නැගුණු සිංහල ජාතිකවාදී හැඟීමෙන් බල ගැන්වුණු එකක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ යැයි සිතමි. මෙම ජනවරම ප්‍රධාන වශයෙන්ම ගලා ආවේ ග්‍රාමීය සහ නාගරික දෙඅංශයේම වැඩි වශයෙන්ම මැද මධ්‍යම පන්තියේ සිට පහළට ස්ථානගත වී සිටි කණ්ඩායම්වලින් බව අද වනවිට පැහැදිලි වී ඇති කරුණකි (අමරසූරිය සහ ස්පෙන්සර් 2015: 68).[1] එම සිංහල බහුතරයේ බහුතරයක් වූ ප්‍රජාව සඳහා මේ අවස්ථාව තුළ ගැබ්ව තිබුණේ පීඩාකාරී අතීතයක් අවසන් කොට අනාගතය කරා පියමන් කරන බලාපොරොත්තු සහගත භාවයකි. සංවර්ධනයට හා අලංකරණයට පෙර නොවූ විරූ අන්දමේ වැදගත්කමක් ලැබෙන්නේ මෙම පසුබිම තුළ බව තර්ක කළ හැකිය. ජාති වාත්සල්‍යයෙන් ඔද වැඩුණු මෙම මොහොත තුළ සියලු ආකාර සංවර්ධන කටයුතු සඳහා හමුදාව අනුයුක්ත කිරීම (කදිර්ගාමර් 2013)  පිළිබඳ මෙම නිසා ප්‍රසාදයක් ද පැවතුණි.  නිදසුනක් ලෙස නාගරික සංවර්ධන අධිකාරිය ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගැනීමට ගත් තීරණය දැක්විය හැකිය. බාහිරින් බැලූ කළ කිසිදු සම්බන්ධයක් නොමැති විෂය පථයන් ද්විත්වයක් මෙසේ ඒකාබද්ධ කිරීම ප්‍රශ්නයක් ලෙස බොහෝ පිරිස් විසින් වටහා නොගත්තේ, ‘වැඩක් කරවා ගතහැකි’ යැයි ඔප්පු කොට ඇති අමාත්‍යාංශයක් යටතට ඓතිහාසිකව පසුගාමී තත්ත්වයක තිබූ විෂය පථයක් ගැනීම තුළින් ප්‍රගතියක් අත් වේ යැයි යන විශ්වාසය නිසා බව පෞද්ගලික පිළිසඳර කිහිපයකදීම මට වැටහී ගිය කරුණකි.

මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ ගෝඨාභය රාජපක්ෂ විසින් මෙවැනි සන්දර්භයක දියත් කරන ලද දැවැන්ත සංවර්ධන දැක්මක ඉතා වැදගත් කොටසකි කොළඹ නගර අලංකරණය. ඒ යටතේ කොළඹ නගරය ගෝලීය නගරයක් කිරීම අරමුණු කරන ලද අතර, ඒ සඳහා මුඩුක්කුවලින් තොර කොළඹ නගරයක් ඇති කිරීමත්, 2018 ජනවාරි පළමුවැනිදා සිට සිඟමන් යැදීම නීති විරෝධී කිරීමත් යන ක්‍රියාමාර්ග හඳුන්වා දෙන ලදි (පෙරේරා 2020; අමරසූරිය සහ ස්පෙන්සර් 2015). මෙහිදී රෝග ලක්ෂණ මිස රෝගකාරකයට පිළියම් යෙදීමට අදහසක් නොමැති බව පැහැදිලි ය. නිදසුනක් ලෙස පෙරේරා (2020) දක්වන්නේ මුඩුක්කුවලින් තොර කොළඹක් මිස දරිද්‍රතාවයෙන් තොර කොළඹක් අරමුණු නොකිරීම තුළ මේ නියෝජනය වන්නේ කුමනාකාරයේ අභිලාෂ ද යන්න මනාවට පැහැදිලි වන බවයි.

ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ධූරය දැරූ සමයේදී නායකත්වය දුන් මෙම ‘නගර පුනර්ජනන’ ව්‍යාපෘතියෙහි තවත් පැතිකඩක් වශයෙන් ගෙනගිය පරණ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය තුළින් මෙම ප්‍රභූ රසඥතාව ප්‍රකාශයට පත්වූ ආකාරය ද විමසා බැලීම වටී. එතුළ එක් අතෙකින් යටත්විජිත යුගයේ තිබූ ගෘහ නිර්මාණ ශිල්පයේ සෞන්දර්යය කොළඹ නගරය පුරා ගොඩනැගිලි ප්‍රතිනිර්මාණය කිරීමේදී මතුකිරීම හරහා වඩාත් ‘ශිෂ්ට සම්පන්න රසාස්වාදයක්’ පිළිබඳ හැඟීමක් සමාජගත කරන ලදි. ඔහු ජනාධිපති වශයෙන් බලයට පත්වූ පසු පොදු ප්‍රවාහන බස් රථ තුළ වාදනය වන ගීතවල ගුණාත්මක භාවය පිළිබඳ පළ කරන ලද මත හා ඒ සම්බන්ධයෙන් කරන ලද යෝජනා[2] ද මෙම චින්තනයේම දිගුවකි. අනෙක් අතට සිංහ සංකේතය මෙවැනි ස්ථානවල නැවත නැවතත් ඉස්මතු කිරීම (නිදසුනක් ලෙස කොළඹ 07 ආකේඩ් පරිශ්‍රය දැක්විය හැකිය) හා එම ස්ථාන නඩත්තුව මූලික වශයෙන් ආරක්ෂක හමුදාවන්ට පැවරීම (නිදහස් චතුරස්‍රය සහ පරණ පාර්ලිමේන්තු සංකීර්ණය නිදසුන් ය) තුළ ජාති වාත්සල්‍යය ප්‍රදර්ශනය කිරීම පැහැදිලිව දැකගත හැකි විය. මෙම අලංකරණ ව්‍යාපෘතිය ප්‍රතිවිරුද්ධ ආකාරවලින් යටත්විජිතකරණය හා බැඳී පැවති බව තර්ක කළ හැකිය: එක් පැත්තකින් එය යටත් විජිතකරණය වූ මානසිකත්වයක රොමෑන්තික ආශාවකි; අනෙක් පැත්තෙන් එය යටත් විජිතකරණයට එරෙහිව පැන නගින්නා වූ ජාති වාත්සල්‍යයෙන් යුතු ප්‍රතිරෝධයක පිළිබිඹුවකි. දියුණු වෙමින් පවතින රටවල නාගරීකරණ අත්දැකීම තුළ මෙම ප්‍රවණතාව නිතර දක්නට ලැබේ. එවැනි නගරවල ජාති වාත්සල්‍යයේ අනිවාර්ය අංගයක් වශයෙන් සදාචාරය හා විනය පිළිබඳ කතිකාවක් ද අඩංගු වන අතර, එමගින් පාලකයා පුරවැසියා මත දියත් කරන බලය සාමාන්‍යකරණය කොට පිළිගත හැකි තත්ත්වයට පත්කරනු ලබයි (දත්තා සහ ඔඩෙන්ඩාල් 2019). අශීල් ම්’බේඹේ (1992)  දක්වන ආකාරයට මෙවැනි නිර්මිතයන් හරහා රාජ්‍යයේ උත්කෘෂ්ට ආශ්චර්යය සන්නිවේදනය කිරීම මගින් පාලකයාගේ බලය සුජාතකරණය කිරීම සිදුවේ.

ජාතිමාමකත්වය සහ උසස් රසඥතාවය මත පදනම් වූ මෙවැනි ආකාරයේ වෙනස්වීම් කොළඹ එක් කොටසක සිදුවන විට, ගාලු මුවදොර පරිශ්‍රයේ සිදුවන අවකාශමය වෙනස්වීම් තුළ වඩාත් මහා පරිමාණ ආකාරයේ පුළුල් ගෝලීය බලවේගවල ක්‍රියාකාරීත්වය පිළිබඳව ඉඟි කරයි. කොළඹ සංචාරක ආකර්ෂණ අතර මෙන්ම නාගරික ජීවිතය තුළ ද ගාලු මුවදොර පරිශ්‍රය ඉතා වැදගත් තැනක් ගනියි. මේ බව තහවුරු කරගැනීම සඳහා කොළඹ සංචාරකයන් සඳහා ලියවී ඇති වෙබ් පිටු තුන හතරක් පරිශීලනය කිරීම ප්‍රමාණවත් ය. නගරවාසීන් සිය විනෝදාස්වාදය සඳහා භාවිත කරන අවකාශයක්, මුහුදුබඩ උද්‍යානයක් මෙන්ම කොළඹ නගරයේ හදවතෙහි පිහිටි ස්වාභාවික අවකාශයක් වශයෙන් විවිධාකාරයෙන් එය අරුත් ගැන්වී ඇත. වඩා වැදගත් කරුණ නම් මෙම සියලු විස්තර කිරීම්වල පොදු අවකාශයක් වශයෙන් ගාලු මුවදොරෙහි ඇති වැදගත්කම හා ප්‍රයෝජනය ඉස්මතු කොට දක්වා තිබීමයි.[3] ගාලු මුවදොර අවකාශය පරිහරණය කොට ඇති අප සියලු දෙනාම එහි වැදගත්කම (විශේෂයෙන්ම අඩු මුදලකට හෝ සමහර විට නොමිලේ මුහුදු සුළං ටිකක පහස විඳීම මඟින් වුවත් විනෝදාස්වාදය ලබාගැනීමට ඇති හැකියාව) හොඳාකාරව දන්නෙමු. මෑතකාලීනව වඩාත් ශීඝ්‍රයෙන් නවලිබරල්කරණය වන කොළඹ නගරය තුළ අදෘශ්‍යමාන මුදල් තාප්ප තුළින් ප්‍රවේශය සීමා කොට ඇති වාණිජ අවකාශ එන්න එන්නටම වැඩි වන පසුබිමක් තුළ, නිදහස් අවකාශයක් වශයෙන් ගාලු මුවදොර පැවැත්මෙහි වටිනාකම සාපේක්ෂව වැඩි වී තිබෙන්නේ මුදල් හිඟකම නිසා පෙර කියූ වාණිජ අවකාශවලට ප්‍රවේශය අවහිර වූවන්ට ය. එම නිසා ගාලු මුවදොර පරිශ්‍රය වාණිජකරණය වීමේ පාඩුව වඩාත් දැනෙන්නේ ද ඔවුන්ට ය.

පසුගිය වසර 4-5ක කාලය ඇතුළත ගාලු මුවදොර පරිශ්‍රයේ අති සුඛෝපභෝගී හෝටල් සහ මහල් නිවාස සංකීර්ණ මෙන්ම ඉහළ මධ්‍යම පන්තියට ප්‍රීති වියහැකි මට්ටමේ ආපනශාලා සාප්පු සංකීර්ණ විශාල ප්‍රමාණයක් එළි දැක ඇත. මුහුදට ප්‍රතිවිරුද්ධ පස මහා මාර්ගයට යාබදව කලින් තිබූ හෝටල් දෙක තුනට අමතරව තවත් එවැනි හෝටල් සහ වෙනත් එවැනි සුපිරි ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් අනෙක් කෙළවරින් පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල දක්වාම දිව යයි. මුහුදු පස කොටසේ, විශේෂයෙන්ම ගාලු මුවදොර හෝටලය ඇති කොණට සමීපයේ, වෙනදා සරුංගල් යවන්නටත්, ජංගම රථවලින් අයිස් ක්‍රීම් කන්නටත් භාවිත කළ ඉඩෙන් සැලකිය යුතු ප්‍රමාණයක් අද වනවිට සාපේක්ෂව මිල අධික ආපනශාලා කිහිපයක් විසින් අත්පත් කොටගෙන ඇත. කොළඹ නගර සීමාව තුළ පොදු මහජනතාවට භාවිත කළ හැකි භෞතික අවකාශය එන්න එන්නටම හා ඉතා පැහැදිලි ලෙස වාණිජ අවකාශ මගින් ගිල ගනිමින් තිබේ.

එඩ්වඩ් සෝජා (1989) දක්වා ඇති ආකාරයට භෞතික අවකාශය යනු හුදු ද්‍රව්‍යාත්මක සාධකවල එකතුවක් පමණක් නොවේ. එය සමාජමය නිෂ්පාදනයක් මෙන්ම සමාජ ජීවිතයෙහි පිළිබිඹුවක්, එනම් දෙන ලද සමාජයක පොදු ජීවිතය තුළ දිග හැරෙන්නා වූ සම්බන්ධතාවල ප්‍රතිඵලයක් වේ. සමාජීය ක්‍රියාවල ප්‍රභවය, සම්බන්ධීකරණය සහ ප්‍රතිඵල යන සියල්ලම දිග හැරෙන්නා වූ ස්ථානය භෞතික අවකාශය වන අතර, එය ඇත්තෙන්ම නිර්මාණය වී ඇත්තේ ද මේ සියල්ලෙහි එකතුවෙනි. එම නිසා සෝජාට අනුව සමාජ සම්බන්ධතාවලින් ස්වායත්තව භෞතික අවකාශය තේරුම් ගත නොහැක. ඒ අනුව මෙම වෙනස්කම්වලින් කියවෙන්නේ වඩාත් පුළුල් සමාජ-ආර්ථික හා දේශපාලනික කතාවක් බව සිහිතබා ගත යුතු ය.

මෙවැනි විවිධ ව්‍යාපෘති වෙනුවෙන් නිර්මාණය කරන ලද හා, පෙර දක්වා ඇති පරිදි, එම ආකාරයේ ව්‍යාපෘතිවල වාණිජ-සෞන්දර්යාත්මක අරමුණු සාක්ෂාත්කරණය සඳහා පවරා ගන්නා ලද අවකාශයන් ද ඒවා භාවිතයට ප්‍රවේශය ඇති පිරිස් ද පිළිබඳ සැලකූ විට හමුවන කතන්දරය ඉතා පැහැදිලිවම බහිෂ්කරණය පිළිබඳ එකකි. එනමුත් එම ක්‍රියාවලීන් තුළින් බැහැර වීමට ලක්වන කණ්ඩායම් තුළ ඒ පිළිබඳ සැලකිය යුතු ආකාරයේ සවිඥානිකත්වයක් හෝ ප්‍රතිරෝධයක් ජනනය නොවීම පිළිබඳ ප්‍රහේලිකාව කෙසේ විසඳිය යුතු ද යන්න තේරුම් ගැනීම මෙම ලිපියේ මූලිකම අරමුණයි. ඒ සඳහා ලිපියෙහි ඊළඟ කොටස තුළ නවලිබරල්වාදී නාගරීකරණ ව්‍යාපෘතිය සහ නගරයට ඇති අයිතිය පිළිබඳ මූලික කරුණු කිහිපයක් කොළඹ නාගරීකරණ අත්දැකීම ඇසුරින් විභාග කිරීමට බලාපොරොත්තු වෙමි.

නවලිබරල්වාදී නාගරීකරණ ව්‍යාපෘතිය සහ නගරයට ඇති අයිතිය

නවලිබරල්වාදය යනු පුද්ගල නිදහස සිය පදනම් වටිනාකම ලෙස හා එහි ප්‍රශස්තම පිළිබිඹු කිරීම් ලෙස ශක්තිමත් පෞද්ගලික දේපළ අයිතීන් පද්ධතියක්, නිදහස් වෙළඳපොළ ක්‍රමයක් සහ නිදහස් වාණිජ පරිසරයක් සලකන්නා වූ දේශපාලන-ආර්ථික න්‍යායක් මෙන්ම සමාජ භාවිතයන් සමූහයකි. එම භාවිතයන් සඳහා සුදුසු වන්නා වූ සාර්ව මට්ටමේ ආයතනික කොන්දේසි සම්පූර්ණ කිරීම රාජ්‍යයේ වගකීම ලෙස මෙම චින්තනය තුළ සලකනු ලබයි. එම කොන්දේසි අතර පෞද්ගලික දේපළ ක්‍රමය සහ නිදහස් වෙළඳපොළ තහවුරු කිරීමට අවශ්‍ය මිලිටරි සහ නෛතික ව්‍යුහයන් පවත්වාගෙන යාම, මුදලේ වටිනාකම පවත්වා ගැනීම සහ තරඟකාරී වෙළඳපොළක් නොමැති ක්ෂේත්‍ර පවතී නම් එවැනි ක්ෂේත්‍රවලට තරඟකාරී වෙළඳපොළක් හඳුන්වා දීම යන ඒවා ඇතුළත් වේ. එහෙත් මෙයින් එපිට කාරණාවලට, එනම් ඇති කරන ලද තරඟකාරී නිදහස් වෙළඳපොළේ කටයුතු සහ තහවුරු කරන ලද පෞද්ගලික දේපළ භුක්ති විඳීමේ නිදහස වැනි කරුණුවලට රාජ්‍යය මැදිහත් නොවිය යුතු බව ඉන් පෙන්වා දේ (හාවි 2007).

එක් අතකින් නවලිබරල්වාදය යනු හර පද්ධතියකි. එමගින් වෙළඳපොළ හුවමාරු ක්‍රමය ආචාර ධර්මයක් සේ සලකන්නේ එහිදී සියලු ආකාර ගනුදෙනු ගිවිසුම්ගත සම්බන්ධතා වශයෙන් දිග හැරෙන බැවිනි. එනිසා සියලු මානව අන්තර් සම්බන්ධතා එම රාමුවට ගෙන ඒම වඩාත් උචිත බැව් නව ලිබරල්වාදීහු විශ්වාස කරති (හාවි 2007). වාමාංශික චින්තනය තුළ නව ලිබරල්වාදය යනු ගැඹුරු ප්‍රතිවිරුද්ධතා කැටිකොටගත් ව්‍යාපෘතියකි. එක් අතකින් අසමානත්වය හා ඒ මත පදනම් වූ බල සම්බන්ධතාවලින් ප්‍රතිලාභ ලබන බැවින් එය ඉතාම දේශපාලනික ව්‍යාපෘතියක් වේ. එහෙත් ඒ සමගම එය සමස්ත සමාජ ක්‍රමයම වෙළඳපොළ අච්චුවට සමජාතීකරණය කිරීමට සහ ඒ හරහා නිර්දේශපාලනීකරණය කිරීමට දරන උත්සහයක් බව ද පෙනෙන්නට තිබේ (වේනුගෝපාල් 2015).

මෙවැනි හර පද්ධතියක සාක්ෂාත්කරණය සඳහා යොදා ගැනෙන නවලිබරල්වාදී නගරය එසේ නම් සියල්ලන් සඳහා වූ තැනක් නොවේ. එය ප්‍රාග්ධනය එක්රැස් කිරීම සඳහා නිර්මිත අවකාශයකි (හාවි 2009; ටේලර් 1982). හාවිට (1985) අනුව ධනේශ්වර (විශේෂයෙන්ම නවලිබරල්වාදී) නගරය යනු ප්‍රාග්ධනයේ කාර්යක්ෂම රැස් කිරීම හා වැඩි වර්ධනය උදෙසා කාලය විසින් අවකාශය අතික්‍රමණය කිරීමේ ප්‍රතිඵලයකි. නගර නිර්මාණයේදී මූලිකවම අරමුණු කරන්නේ නිෂ්පාදනයේ සහ පරිභෝජනයේ භෞතික ව්‍යාප්තිය අඩු කිරීම මගින් ආර්ථිකය තුළ මුදල් සංසරණය වීමේ වේගය වැඩි කිරීම ය. ශ්‍රමය, යටිතල පහසුකම්, ආපනශාලා, වෙළඳසල් සහ වෙනත් එවැනි පහසුකම්වල අධික ඝනත්වයක් නගර තුළ දකින්නට ලැබෙන්නේ එබැවිනි. ආර්ථිකය තුළ මුදල් සංසරණය වීමේ වේගය වැඩි  වූ විට පරිභෝජනයත්, ඊට සාපේක්ෂව නිෂ්පාදනයත්, ඊට සාපේක්ෂව පරිභෝජනයත් චක්‍රාකාරව වැඩි වේ. එහි වාසිය මූලිකවම නිෂ්පාදන මාදිලිවල හිමිකාරීත්වය දරන්නන්ට වැඩි වන ලාභය තුළින් අනුයුක්ත වන බව අපි දනිමු. එසේ නම් නගරය ප්‍රාග්ධන රැස් කිරීමට උචිත අවකාශයක් වශයෙන් පවත්වාගෙන යාමට ඇති අවශ්‍යතාව එක් පන්තියකට නිශ්චිත වූවක් බව පැහැදිලි ය.

කොළඹ නගරයේ මෑතකාලීන අවකාශමය වෙනස්කම් ආශ්‍රයෙන් මෙය තේරුම් ගැනීමට උත්සාහ කරමු. කලින් සඳහන් කරන ලද ඉවත් කිරීම් හා නැවත පදිංචි කිරීම් තුළින් විද්‍යමාන වන්නේ නගරය පිළිබඳ පාලක පන්තියේ දැක්ම තුළ ආන්තික කණ්ඩායම්වලට කිසිදු තැනක් නැති බව නොවේ ද? අඩු වශයෙන් තැනක් පවතින්නේ නම් ඒ ඔවුන්ගේ ජීවන රටාව මෙන්ම සමස්ත පැවැත්ම ද ‘උත්කෘෂ්ට නගරයේ’ රසඥතා රාමුවට ‘සෙට් වන’ පරිදි සංශෝධනය කොට ගැනීමෙන් පසුව ය. මුඩුක්කුවාසීන් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතිය තුළින් අරමුණු කළේ එම පිරිස් එතෙක් පදිංචිව සිටි වාණිජමය වශයෙන් වැඩි වටිනාකමක් සහිත භූමි ප්‍රදේශ අත්පත් කොටගෙන වාණිජ කටයුතුවලට ඒවා යෙදවීම මගින් ලාභ ලැබීමට බව අප හොඳින් දනිමු (පෙරේරා 2016). නැවත පදිංචි කිරීම් හරහා අරමුණු කළේ එම ජනතාවගේ ශුභසිද්ධිය නම් එම ක්‍රියාවලියට පෙර ඔවුන්ගේ අදහස් විමසිය යුතුව තිබුණාක් මෙන්ම, ශාරීරික බලකිරීම භාවිත කිරීමෙන් ඔවුන් එම ස්ථානවලින් ඉවත් කිරීමට පියවර ගැනීම නොකළ යුතුව තිබුණි. එහෙත් එසේ කිරීම තුළ ගම්‍ය වන්නේ මේ පිටුපස වෙනත් වාණිජමය අභිලාෂයන්ගේ බලපෑම ද ක්‍රියාත්මක වූ බවයි (විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය 2014).

නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය තුළ තිබූ සංකූලතා සැලකූ විට මෙම තත්ත්වය වඩාත් පැහැදිලි වේ. පෙර පැවති සමාජීය සම්බන්ධතාවලින් අත්තනෝමතික ලෙස කපා හැරීමට ලක්කරනු ලැබීමත්, වඩා විශාල නිවාස හෝ අසල්වැසි අවකාශයේ පොදු ස්ථාන පරිහරණය කිරීමට පුරුදුව සිටි පිරිස් වර්ග අඩි 400ක් පමණ ඉතා කුඩා ප්‍රදේශයකට කොටු කිරීමත් නිසා මෙසේ නැවත පදිංචිකරණයට ලක්වූ කණ්ඩායම තුළ සැලකිය යුතු තරමේ අප්‍රසාදයක් ජනනය වූ අතර, බොහෝමයක් අවස්ථාවල තමන් නොඉල්ලූ නිවසක් වෙනුවෙන් වසර ගණනාවක ණය බරකට යට වීමට සිදුවීම පිළිබඳව ද ප්‍රශ්නකාරී බවක් හටගෙන තිබුණි (අබේසේකර සහ පිරිස 2019).  ඒ අනුව එය බොහෝ කොටම ඔවුන්ගේ කැමැත්තෙන් තොරව සිදුවූ ක්‍රියාවලියක් බව පෙනී යයි. තත්ත්වය මෙසේ නම් මෙතැන සැලකිය යුතු අන්දමේ පොදු දේශපාලන ප්‍රතිරෝධයක් වර්ධනය නොවූයේ ඇයි ද යන ප්‍රහේලිකාව තවත් තීව්‍ර වේ. ඒ පිළිබඳ තව මොහොතකින් සාකච්ඡා කරමි. ඊට පෙර අවධානය යොමු කළ යුත්තේ මෙවැනි ආකාරයේ ආන්තීකරණයන් සාධාරණීකරණය කොට ඇත්තේ කුමන පසුබිමක ද යන්නට ය.

මුඩුක්කුවාසීන් නැවත පදිංචිකරණය පිළිබඳ මෙකී තීරණ ගැනෙන්නේ ශීඝ්‍රයෙන් වෙළඳපොළකරණය වන වටපිටාවක ය. ඩෙරෙක් ෆෝඩ් (2017) ’ට අනුව පුද්ගලයන් අතර ඇති සම්බන්ධය අජීවී වස්තූන් අතර ඇති සම්බන්ධයක මුහුණුවර ගැන්වීම ය වෙළඳපොළකරණයෙන් කරන්නේ. එමගින් අපට ඒ පිළිබඳ ඇති සංවේදනය අක්‍රිය කර දමන අතර, සියලු මානව අන්තර්ක්‍රියා හුදු වෙළඳ ගනුදෙනුවක තත්ත්වයට ලඝු කරයි. කිසිදු මානුෂීය විමසීමකින් තොරව මුඩුක්කුවාසීන් සිය නිවෙස්වලින් බලෙන්ම වෙනත් ස්ථානවලට පටවා යැවීමටත්, නිදහස් යැයි කියාගන්නා වෙළඳපොළේ නාමයෙන් නගරයේ භෞතික අවකාශය තුළ එක් පන්තියක අවශ්‍යතා සහ අභිලාෂ බහුතරයක් වූ වෙනත් කණ්ඩායම්වල අවශ්‍යතා හා අභිලාෂ කැප කිරීම තුළින් සාක්ෂාත්කරණය කරගැනීමටත් අවශ්‍ය කරන්නා වූ හෘද සාක්ෂියේ නහර කපා දැමීමේ හැකියාව ලබාදෙන්නේ මෙම චින්තනය තුළිනි.

කෙසේ වුවත් නිර්දය ලෙස ප්‍රාග්ධන රැස් කිරීමේ මෙම ක්‍රියාවලිය කම්කරු පන්තියේ සහායෙන් තොරව කළ හැක්කක් නොවේ. මන්ද මෙම අධිකතර ලාභය ලැබීමට අවශ්‍ය ශ්‍රමයේ ප්‍රභවය ඔවුන් බැවිනි. එහෙත් මෙම යථාර්ථය සැඟවිය යුතු වන්නේ කම්කරු පන්තිය ඒ පිළිබඳ සවිඥානික වුවහොත් ප්‍රතිව්‍යාපී යුක්තිය පිළිබඳ ප්‍රශ්න අසන්නට පටන් ගන්නා හෙයිනි. එම නිසා යම්කිසි අර්ධ මිථ්‍යාවක් සමාජගත කිරීමට සිදු වේ. එම අර්ධ මිථ්‍යාවෙහි නම ‘ලාභයේ ප්‍රතිලාභ පහළට රූටා ඒම’ (trickle-down effects of profit) ලෙස සිංහලෙන් දැක්විය හැකිය.[4] ඉන් කියවෙන්නේ එක් පන්තියක් මෙසේ ලාභ ලැබීම ඇත්තෙන්ම සමාජයට හිතකර බවයි. මන්ද ඔවුන් උපයන දේ වියදම් කරන විට එම වියදම තවෙකකුගේ ආදායමක් බවට පත්වන බැවිනි. මෙම දැක්ම හරහා සැබෑ ආර්ථික සාධාරණත්වයක් අවශ්‍ය නම් සමාජයේ ධනය බෙදී යන ආකාරය විප්ලවීය ලෙස ප්‍රති-ව්‍යුහගත කිරීම අත්‍යාවශ්‍ය බවට වන පන්ති විඥානය වර්ධනය වීම ඉතා අපූරුවට වළකයි.

ඉහතින් ද සඳහන් කළ පරිදි ප්‍රාග්ධනය රැස් කිරීම සඳහා සම්පූර්ණ කළ යුතු කොන්දේසියක් වශයෙන් ධනේශ්වර නවලිබරල්වාදී නගරය තුළ භෞතික අවකාශය නිර්මාණය කරන්නේ තව තවත් ධනය සම්පාදනය කළ හැකි නිෂ්පාදන මාදිලිවල හිමිකාරීත්වය සහිත පන්තීන් ආකර්ෂණය කරගැනීමටයි. මෙම ක්‍රියාවලිය ප්‍රභූකරණය (gentrification) වශයෙන් හැඳින්වේ.  ප්‍රභූකරණය යනු ලොව පුරා නාගරික අවකාශ සැලසුම්කරණ ව්‍යාපෘති තුළ අද වනවිට දක්නට ලැබෙන ප්‍රධානතම ප්‍රවණතාවකි. මෙය ඉතා පැහැදිලි පන්තිවාදී ව්‍යාපෘතියක් හඟවන වචනයක් වේ. නගරය තුළ අත්හැර දමන ලද හා කම්කරු පාන්තික ජනතාව වෙසෙන භූමි ප්‍රදේශයන් ඉහළ පන්තීන්ට සුදුසු පරිදි ‘පුනරුත්ථාපනය’ කොට ගැනීම ඉන් අදහස් වේ (ස්මිත් සහ විලියම්ස් 2013). “කාර්මික විප්ලව සමයේ නිර්ධන පන්තියේ දැලිකුණු හා කාලකණ්ණිකම ධනවත් නෝනා මහත්වරුන්ගේ ඇස්වලට පීඩා කිරීම වැළැක්වීම පිණිස කාර්යක්ෂමව සිදුකළ සැඟවීමේ ව්‍යාපෘතියක්” ලෙස එංගල්ස් ප්‍රභූකරණය අර්ථ දක්වා ඇත (උපුටනය, ස්මිත් 2010). ඉන්පසු සියවස තුළ පැරීසියේ ‘හෝස්මානුකරණය’ නමින් සිදුවූ නගර අලංකරණ ක්‍රියාවලිය ද මීට සමාන එකක් බව හාවි (2003) දක්වා ඇත.

එංගල්ස් (1970) මෙවැනි විතැන් කිරීම් පිළිබඳ වැදගත් අදහස් කිහිපයක්ම දක්වා තිබේ. ඔහුට අනුව නාගරීකරණ ව්‍යාපෘතිවලදී නගරය මධ්‍යයේ පිහිටා ඇති වාණිජ අගයෙන් ඉතා ඉහළ භූමි භාගවල ඇති පරණ ගොඩගැගිලි ඉවත් කරන්නේ භූමියේ වටිනාකම එමගින් නියෝජනය නොවන නිසා ය. එවැනි ගොඩගැගිලිවලින් ඇත්තෙන්ම භූමියේ වටිනාකම අවප්‍රමාණය කරනු ලබයි. ඒවා එනිසා වාණිජ අගයෙන් ඉහළ ප්‍රදේශවලට බරකි. ඒ අනුව විශේෂයෙන්ම කම්කරු පාන්තික නිවාස ඉවත් කෙරෙන අතර, ඒ වෙනුවට භූමියේ වාණිජ වටිනාකම තවත් ඉහළ නැංවිය හැකි ආකාරයේ වෙළඳ සාප්පු හා කාර්යාල සංකීර්ණ ඉදිකරනු ලබයි. මෙවැනි ක්‍රියාවලීන් හරහා නගරය ප්‍රභූකරණය කිරීම තුළ සිදුවන්නේ අහිමිකරණය තුළින් රැස් කිරීමකි (accumulation through dispossession) (හාවි 2008; කල්දේරා 2016). එනම් යම් කණ්ඩායමකට නගරයට ඇති අයිතිය උල්ලංඝණය කිරීම තුළින් ලාභ අරමුණු ඉටුකර ගැනීමයි. පෙර දැක්වූ මුඩුක්කුවාසීන් විතැන් කිරීමේ සිද්ධිය මීට හොඳ උදාහරණයකි.

ප්‍රභූකරණයේ තවත් ප්‍රතිඵලයකි නගරය තුළ පොදු අවකාශ ප්‍රමාණය අඩු වීම. පෞද්ගලික හිමිකාරීත්වයට යටත් භූමි භාග සහ ගොඩනැගිලිවල ප්‍රමාණාත්මක වැඩිවීම හමුවේ පොදු භාවිතය සඳහා ඇති අවකාශය අඩුවීම වැළැක්විය නොහැකිය (පෙක් 2016). එමගින් ඉහත දැක්වූ ආකාරයෙන් මුදල් සංසරණ වේගය වඩාත් තීව්‍ර කළ හැකි පන්තිය එකම ප්‍රදේශයකට ඒකරාශී වීමත්, ඔවුන්ගේ සමාජ ජීවිතයේ සෞන්දර්යාශ්වාදයට බාධාවක් වියහැකි –එහෙත් ලාභ ඉපයීම සඳහා අත්‍යාවශ්‍ය වන – කම්කරු ජනතාව ඇස් මානයෙන් එපිට, අවශ්‍ය විට කැන්දාගත හැකි දුරින් ගාල්කර තැබීමත් සිදුවේ. එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකි. මෙම පෞද්ගලික හිමිකාරීත්වයේ ඉහළ යෑම තුළ නව ලිබරල්වාදී නගරය වෙළඳපොළකරණය හටගන්නා තැනක් පමණක් නොව, වෙළඳපොළකරණය වන්නා වූ අවකාශයක් බවට ද පත්ව තිබේ. අවකාශයේ එම වෙළඳපොළකරණය ප්‍රකාශයට පත්වන්නේ අහස උසට යන ඉඩම් මිළ, ශීඝ්‍රයෙන් වර්ධනය වන ප්‍රවාහන ජාලා වැනි ප්‍රාග්ධනය කාර්යක්ෂමව රැස් කිරීමේ සහ ලාභය උපරිම කිරීමේ භෞතික කොන්දේසිවල වැඩි වර්ධනය තුළිනි (බ්‍රෙනර්, මාකූස සහ මේයර් 2012: 3).

ගාලු මුවදොරට යාබදව ඉන්දියන් සාගරයේ විශාල වපසරියක් ආවරණය කරමින් ඉදිවන කොළඹ වරාය නගරය මේ සම්බන්ධ හොඳ නිදසුනකි. රාජපක්ෂ ආණ්ඩු ද්විත්වය ප්‍රමුඛ අනුක්‍රමික ආණ්ඩු වරාය නගරය පිළිබඳව කතා කොට ඇත්තේ ගෝලීය ප්‍රාග්ධනය ආකර්ෂණය කරගැනීමේ මාර්ගයක් වශයෙනි. එහි අලෙවි අධ්‍යක්ෂ පවසා ඇති ආකාරයට වරාය නගරයෙහි මූලිකම අරමුණ ඩුබායි සහ සිංගප්පූරුව වැනි කලාපීය වාණිජ මධ්‍යස්ථානවලට සාපේක්ෂව වෙළඳ කටයුතු සඳහා දැරීමට සිදුවන මුදල සියයට 80කින් පමණ ඉතිරි කරගත හැකි ආකාරයේ විකල්පයක් විදේශීය ආයෝජකයින්ට ලබාදීමයි. එමගින් ගෝලීය ප්‍රාග්ධනය දකුණු ආසියානු වෙළඳපොළට ප්‍රවිෂ්ට වීමේ දොරටුව ලෙස කොළඹ වරාය නගරය ප්‍රසිද්ධියට පත්කිරීම දිගු කාලීන අරමුණ වශයෙන් දක්වා තිබේ.[5] ඒ අනුව මෙම අවකාශය නිෂ්පාදනය වන්නේ ආර්ථික වශයෙන් මෙන්ම භෞතික වශයෙන් ද ගෝලීය ප්‍රාග්ධනය ආකර්ෂණය කරගැනීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීමේ අරමුණ ඇතිව ය. නිදසුනක් ලෙස වරාය නගරයේ ගෘහ නිර්මාණ සැලසුම් තරඟාවලිය දිනූ ආයතනයේ නගර සැලසුම ගනිමු. ඊට අනුව මෙම අවකාශය නිමවෙන්නේ ‘නාගරික අවස්ථා භුක්ති විඳීමට හැකියාව සැලසීම’ යන මූලික අරමුණ ඇතිව ය. නගරවාසීන්ට සහ අමුත්තන්ට ඉහළ ප්‍රමිතියක නාගරික පරිසරයක් තහවුරු කිරීම, ආර්ථික වර්ධනය හා අනාගත තිරසාර සංවර්ධනය යන ඒවා මේ යටතේ මූලිකාංග වේ. මෙම අවශ්‍යතා සම්පූර්ණ කරන ආකාරයේ චතුරස්‍ර, ඇල මාර්ග, සක්මන් මළු සහ එල්ලෙන උද්‍යාන ඉදිවනු ඇත. එමෙන්ම එම පණිවුඩය සන්නිවේදනය කරන්නා වූ සිත් ඇදගන්නා සුළු හා ඉතා විශේෂ ආකාරයේ ක්ෂිතිජ රේඛාවක් එම නිසා වරාය නගරයට තිබිය යුතු බව ද පිළිගැනේ.[6]

ඊට නුදුරින් ගාලු මුවදොර පරිශ්‍රයේ ඉදිවන අති සුඛෝපභෝගී ගොඩනැගිලිවල ද ආරාධනය ගෝලීය ධනපති පන්තියට බව පැහැදිලි ය. මන්ද එවැනි දේපළ මිලට ගතහැකි තරම් ධනස්කන්ධයක් හිමි සුපිරි ධනවත් පන්තියේ ලංකා සමාජයේ සාමාජිකයින් ගණන තුන හතරකට එහා විය නොහැකි නිසාත්, එම පරිශ්‍රයේ ඇසට ගැටෙන මානයේ පමණක් අහස උසට ඉදිවන මෙවැනි ගොඩනැගිලිවල ගණන 20 කට එහා බව සිතෙන නිසාත් ය. මෙම පරිශ්‍රයේ ඇති දේපළ සම්බන්ධ වෙළඳ දැන්වීම් කියවා බැලීමෙන් මේ පිළිබඳ වැඩිදුරටත් අවබෝධයක් ලබාගත හැකි වේ. නිදසුනක් ලෙස මෙහි ඉදිවන One Galle Face Tower (OGFT) කාර්යාල සංකීර්ණය පළමු පන්තියේ කාර්යාල අවකාශ සපයන බවට පොරොන්දු වන ගොඩනැගිල්ලකි. මෙතුළ කාර්යාල අවකාශයක් මිළදී ගන්නා අයකුට හිමි වන්නේ එම අවකාශය පමණක් නොවන බව ද පොරොන්දුවේ කොටසකි. සිය අසල්වැසියන් වශයෙන් ගෝලීයව කීර්තිමත් බැංකු හා මූල්‍ය ආයතන ද ඒ හරහා ලැබෙන්නා වූ ජාලගතකරණ අවස්ථාවන් ද ඔවුන්ට හිමිවේ. එසේම ගොඩනැඟිල්ල බද්දට ලබාගෙන ඇති ආයතනයේ මූලික අරමුණක් වන්නේ සිය දේශීය හා ජාත්‍යන්තර සම්බන්ධතා ජාල එකිනෙක හා සම්බන්ධ කිරීම මගින් ගෝලීය ප්‍රාග්ධන මූලයන් වඩා කාර්යක්ෂමව ලංකාව වෙත ආකර්ෂණය කරගැනීමයි.[7] මෙසේ ලාභය උපරිම කළහැකි තත්ත්වයන් වැඩි වර්ධනය කළහැකි ආකාරයට භෞතික අවකාශය සකස් කිරීමෙන් එම අවකාශයේ වාණිජ අගය ද ශීඝ්‍රයෙන් ඉහළ යයි.

හාවි (1985) දක්වන අන්දමට ප්‍රාග්ධනය කාර්යක්ෂමව රැස් කිරීම සඳහා මෙසේ අවකාශය සංකෝචනය කළ ද එතුළ නිෂ්පාදනය වන අතිරික්තය පරිභෝජනය කිරීමට එම සීමිත අවකාශය තුළ නිර්මාණය වන වෙළඳපොළ ප්‍රමාණවත් නොවේ. එබැවින් වෙළඳපොළ නිරන්තරයෙන් ප්‍රසාරණය වෙයි. මෙම ප්‍රසාරණයෙහි කෙළවරක් දැකිය නොහැකිය. මන්ද තමා යන සෑම තැනකම ප්‍රාග්ධනය රැස් කිරීමේ වේගය මත වෙළඳපොළ රඳා පවතින හෙයින් සහ එම රැස් කිරීමේ වේගය වැඩි වන්නට වන්නට නිෂ්පාදනය වන අතිරික්තය පරිභෝජනය කිරීම සඳහා තවදුරටත් ප්‍රසාරණය වීමට පීඩනයක් වෙළඳපොළ කෙරෙහි බලපවත්වන හෙයිනි. එම නිසා ධනේශ්වර නගර නිර්මාණය තුළින් සිදුවන්නේ ප්‍රාග්ධනයෙහි නොවැළැක්විය හැකි අර්බුදය භෞතික අවකාශමය වශයෙන් ව්‍යාප්ත කර හැරීම මිස විසඳීම නොවේ. මෙසේ නිර්මාණය වන සෑම නාගරික අවකාශයක් තුළම පෙර කී රැස් කිරීමත්, ඊට අදාළ පන්ති ව්‍යුහයත් ප්‍රතිනිර්මාණය වන නිසා ධනේශ්වර නගරය පවතින සෑම තැනකම පීඩිත පන්තියේ සූරාකෑමත්, ලාභය සඳහා භෞතික අවකාශය තුළ ඔවුන් විතැන් කිරීමත් දිගින් දිගටම හා වඩාත් තීව්‍ර ආකාරයෙන් සිදුවන බව පැවසිය හැකිය. ඒ අනුව, පෙර දැක්වූ පරිදි, භෞතික අවකාශයන් ලාභය සඳහා භාවිත කිරීමට ධනේශ්වර බලවේගවලට ඇති අවශ්‍යතාවය මගින්, ඒවා ඍජු ප්‍රයෝජනය සඳහා භාවිත කිරීමට සමාජයේ අනෙක් පන්තිවලට ඇති හැකියාව අවම කර තිබේ (බ්‍රෙනර්, මාකූස සහ මේයර් 2012: 3-4).

මෙය හුවමාරු අගය (exchange value) සහ භාවිත අගය (use value) අතර ඇති වෙනස වශයෙන් ද දැක්විය හැකිය. එනම් අවකාශය ඍජුව ප්‍රයෝජනයට යොදාගන්නා කාර්යයට සාපේක්ෂව නොව, එම අවකාශයෙහි ආයෝජනය කරන්නන් ඊට අනුයුක්ත කොට ඇති වාණිජ වටිනාකමට සාපේක්ෂව විකුණුම් සහ මිලට ගැනුම් අගයන් තීරණය වීමේ භාවිතයයි. ලෆේව් (2003) ’ට අනුව මෙම ක්‍රියාවලිය නිසා වෙළඳ භාණ්ඩ බවට පත් වන්නේ නගරයේ භූමිය සහ ගොඩනැගිලි පමණක් නොවේ; සමස්ත නාගරික අවකාශය ද වෙළඳ භාණ්ඩයක් වන්නේ ය. එහි අරුත නම් නාගරික අවකාශයට සුවිශේෂයෙන් අදාළ වන ලක්ෂණ වන්නා වූ විවිධත්වය, සම්මුඛ වීම සහ නිර්මාණශීලීත්වය වැනි ගුණාංග වාණිජ ලාභය සඳහා භාවිතා වීමයි. එහිදී පෞද්ගලික අභිලාෂ විසින් පොදු අවකාශයන් පිළිබඳ තීරණ ගනු ලබන අතර, ඒවා පරිභෝජනය, ලාභය සහ අවසානයේ වෙළඳපොළ වටිනාකම යන නිෂ්ටාවන් වෙනුවෙන් යොදාගනු ලැබේ. මෙම පද්ධතිය තුළ ඵලදායී ලෙස අවකාශය පරිහරණය කිරීම යනු ඒවා වාණිජමය අරමුණු සඳහා යොදාගැනීමයි. පොදු කටයුතු වාණිජ වශයෙන් ඵලදායී නොවන බැවින් අවකාශය ඒවා සඳහා භාවිත කිරීම ඒ අනුව ඵලදායී නොවන කටයුත්තක් සේ ගැනේ. ඇත්තෙන්ම මෙතැන ගැටුම ඇත්තේ ධනේශ්වර අභිලාෂවල අධිපතීත්වය හා අවකාශය භාවිත කරන අයුරු පිළිබඳ ස්වයං-නීර්ණය කිරීමේ අයිතිය අතර බව පැහැදිලි ය (ලෆේව් 1991). පෙර දැක්වූ නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය පිටුපස තිබූ වාණිජවේදී චින්තනය සහ නැවත පදිංචිකරණයට ලක්වූ ජනතාවගේ ඒ පිළිබඳව වූ අප්‍රසාදය අතර ඝට්ඨනය මීට උදාහරණයකි.

එසේම වරාය නගරය සහ තදාසන්න භූමි භාගයෙහි මෑතකාලීන විකාශනය දෙස බැලීමේදී ද එහි අවකාශය වඩ වඩාත් වාණිජමය වශයෙන් ඵලදායී අරමුණු සඳහා යොදාගැනීම තුළ යම් යම් සමාජ කොටස්වල නගරයට ඇති අයිතිය දරුණු ලෙස උල්ලංඝණය වන අයුරු හඳුනාගත හැකිය. එම භූමි භාගයේ කෘත්‍රිමව ඉහළ නංවන්නා වූ වටිනාකම නිසා නුදුරු අනාගතයේ මෙම අවකාශය පරිහරණය කිරීමට භෞතික ප්‍රවේශය තවදුරටත් ප්‍රමාණවත් නොවනු ඇත. ඒ සඳහා මුදල් ද මුදල් හා බැඳුනු වෙනත් සමාජමය කොන්දේසි ද සම්පූර්ණ කළ යුතු ය. එසේ සම්පූර්ණ නොකරන්නන්ට, එනම් සමාජයේ අති බහුතරයකට මෙම අවකාශ පරිහරණය උරුම නොවේ. එතුළ වඩා පුළුල්ව අරුත් ගන්වන්නේ නවලිබරල් නාගරික අත්දැකීම තුළ නගරවැසියකු ලෙස පිළිගැනෙන්නේ කවුරුන් ද යන්න බව මගේ කියවීමයි. ප්‍රභූකරණය වූ නගරය තුළ පිළිගත හැකි ආකාරයේ නගරවැසියකු ලෙස සලකන්නේ ආර්ථික වශයෙන් නාගරික ජීවිතයට ඉතා ඉහළින් සම්බන්ධ වන හා සුදුසු මට්ටමට නිර්දේශපාලනීකරණය වූ (එනම් මැතිවරණවලට පරිබාහිරව දේශපාලනය ගැන උනන්දුවක් නොදක්වන) ජීවියෙකි (ස්වින්හඩෝ 2009; බොඩ්නාර් 2015). ඉහත දක්වා ඇති මුදල් සංසරණ වේගය වැඩිකිරීම සහ ඒ හරහා ප්‍රාග්ධන උත්පාදනය වඩාත් කාර්යක්ෂමව ඉහළ නැංවිය හැකි පන්තිය පිළිබඳ පැහැදිලි කිරීමට මෙය ඍජුව සම්බන්ධ වේ. මෙවැනි අවකාශවල පරිභෝජන ශීඝ්‍රතාවත්, ඒ හරහා නිෂ්පාදන ශීඝ්‍රතාවත් චක්‍රාකාරව වැඩිකළ හැකි (පදමට නිර්දේශපාලනීකරණය වූ) කණ්ඩායමක් වශයෙන් මෙවැනි අවකාශ එම පන්තිය සඳහා වෙන් කිරීම මගින් නගරය තුළ සිදුවන ප්‍රාග්ධන රැස් කිරීම වඩ වඩාත් වේගවත් කළ හැකිය. එම නිසා අවකාශ සැලසුම් කිරීමේදී ඔවුන්ගේ පරිභෝජන රටාවන්ට සහ රසඥතාවන්ට ප්‍රමුඛත්වය දීම සිදුවේ. එහිදී ප්‍රාග්ධන සම්පාදන ක්‍රියාවලියට එවැනි පරිමාණයකින් සම්බන්ධ විය නොහැකි පන්තිය මෙම ස්ථානවලින් සමාජ-අවකාශමය වශයෙන් බැහැර කිරීම මෙම ක්‍රියාවලියෙහි නොවැළැක්විය හැකි අතුරු ඵලයකට වඩා, ලාභයම අරමුණු කරගත් ඉතා චේතාන්විත ක්‍රියාවලියක් බව මගේ වටහා ගැනීමයි. එය චේතාන්විත යැයි මා පවසන්නේ දැනටම පැහැදිලි කර ඇති ආකාරයට ගාලු මුවදොර පරිශ්‍රයේ වඩා පුළුල්ව දිග හැරෙන ගෝලීය ආයෝජන අරමුණුවලට සාපේක්ෂව ඉටු කරන්නට මෙවැනි අවකාශ වලට සමාජ-සෞන්දර්යාත්මක හා ආර්ථික භූමිකාවක් තිබෙන නිසා ය.

නමුත් ගැටළුව වන්නේ තමා දිගින් දිගටම බැහැර කරන්නා වූ මෙවැනි ක්‍රියාවලියකට සමාජයේ බහුතරයක් වන ශ්‍රමයේ හිමිකරුවන් විසින් පොදු පරිමණ්ඩලයේදී සැලකිය යුතු තරමේ ප්‍රතිරෝධයක් දක්වා නැත්තේ ඇයි ද යන්නයි. ඊළඟ කොටසින් මා අරමුණු කරන්නේ මෙම ප්‍රශ්නයට පිළිතුරක් සෙවීමට ය.

නවලිබරල් නිර්දේශපාලනය සහ දේශපාලනික සවිඥානිකත්වයේ හායනය

තත්ත්වය ඉහත දැක්වූ පරිදි වුවත්, වින්දිත පන්තිය මෙම ගැටළුව පිළිබඳව සවිඥානික නොවන තාක් කල් මෙය පන්ති ගැටුමක් බවට පත් නොවේ. එවිට සිදුවන්නේ ඔවුන් මෙම ක්‍රියාවලියේ ‘බලාපොරොත්තු සහගත වින්දිතයින්’ (hopeful victims) බවට පත්වීම පමණි. වින්දිතයින් බවට පත්වන්නේ කෙසේ දැයි පැහැදිලි ය. බලාපොරොත්තු සහගත ලෙස හඳුන්වන්නේ යට කී ලාභය පහළට රූටා පැමිණීමෙන් කවදාක හෝ තමාට මීට වඩා යහපත් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය තරම් මුදලක් අහුලා ගත හැකිය යන විශ්වාසය ඇතිව ජීවත් වන නිසා ය. පුද්ගලයා මෙසේ පන්ති විඥානයෙන් විනිර්මුක්ත කොට නිර්දේශපාලනීකරණය කිරීම ඇත්තෙන්ම නව ලිබරල් ව්‍යාපෘතියේ සූක්ෂ්ම දක්ෂතාවයකි. මෙම දැක්ම තුළ සාර්ව තලයේ කරුණු වන දේශපාලන ආයතන සහ ඒවා මගින් සැලසිය යුතු ප්‍රතිව්‍යාපී යුක්තිය පිළිබඳ කාරණා සම්පූර්ණයෙන්ම මගහැර යාමක් දක්නට ලැබේ. නගරය නිර්දේශපාලනීකරණය වීමේ මෙම ක්‍රියාවලිය කොතරම් ඔඩුදුවා ඇත්දැයි යන්න පිළිබඳ අදහස් දක්වන ස්වින්හඩෝ (2009) පවසන්නේ වර්තමාන නගර ඇත්තෙන්ම පශ්චාත්-දේශපාලනික නගර ලෙස හැඳින්විය හැකි බවයි. මෙම නිර්දේශපාලනීකරණය නාගරීකරණය තුළ දිගහැරෙන අත්දැකීමක් පමණක් නොව, ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් ලෙස නගරයේ පැවැත්මට පවා තර්ජනයක් වේ (බෙවරිජ් සහ කොච් 2016). නවලිබරල්වාදයට එහි ඇති වැදගත්කම නම් නගරය තුළ උත්පාදනය කෙරෙන අතිරික්තය ප්‍රජාතන්ත්‍රවාදීව කළමනාකරණය කොට, සමහරුන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් පමණක් නොව සියල්ලන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් යෙදවීම සඳහා අරගලයක් දියත් කිරීමට අවශ්‍ය වන්නා වූ ආකාරයේ දේශපාලනික හා පන්ති විඥානයක් වර්ධනය වීම එමගින් ඉතා සාර්ථක ලෙස මැඩ පැවැත්වීම ය.

මෙම නිර්දේශපාලනීකරණය කොළඹ වැනි වරාය නගරවල සාමාන්‍ය යථාර්ථයකි. මෙවැනි නගර ගෝලීය සුපිරි ධනපති පන්තිය සඳහා සුවිශේෂී අවකාශ වශයෙන් නිර්මාණය කෙරෙන අතර, බොහෝ විට ඒවා තුළ දේපළ මිලට ගන්නන් එය හුදු ආයෝජනයක් ලෙස පමණක් සිදුකරන බැවින් හා එනිසා එතුළ ජීවත් නොවන බැවින් ඒවා අතිශයින් නිර්දේශපාලනික වේ (ෆර්නැන්ඩෙස් සහ පිරිස 2016). එනම් එක් අතෙකින් සමාජය තුළ විෂමතාව දරුණු හා නිර්ලජ්ජිත ආකාරයෙන් වැඩිවන විට, අනෙක් අතින් ඒ සම්බන්ධ දේශපාලනය ප්‍රකාශයට පත්කිරීම සඳහා අවශ්‍ය වන කොන්දේසි එක් පාර්ශ්වයක් භෞතිකව අවිද්‍යමාන කිරීම මගින් අවලංගු කොට ඇත. මෙය අහඹුවක් නොවේ. (නව)ලිබරල්වාදයට අවශ්‍ය යැයි පෙර දක්වන ලද රාජ්‍යයේ අවම මැදිහත් වීම සහ එතුළින් තහවුරු කෙරෙන නිදහස් යැයි කියන වෙළඳපොළට අත්‍යවශ්‍ය සාධකයකි. දේශපාලනික සවිඥානික භාවය තුළ වෙළඳපොළ අපහසුවට පත්වන ආකාරයේ බොහෝ ප්‍රශ්න මතුවේ. ඒ අතර ප්‍රතිව්‍යාපී යුක්තිය හා විෂමතාවය පිළිබඳ කාරණා මුල් තැනක් ගනී. එවැනි පරිසරයක දේශපාලනික ස්ථාවරත්වය හෝ වෙළඳපොළෙහි නිදහස් භාවය පිළිබඳ සහතික විය නොහැක. මන්ද මහජන පීඩනය වර්ධනය වුවහොත් රාජ්‍යයට වෙළඳපොළ කටයුතුවලට මැදිහත් වීමට සිදුවන බැවිනි. එවැනි පරිසරයක් වාණිජ කටයුතුවලට එතරම් සුදුසු නොවන බවට පිළිගැනෙන්නේ ආයෝජකයින් අධෛර්යමත් වන නිසාවෙන් හා යම්කිසි පුපුරා යාමක් සිදුවුවහොත් ආර්ථික කටයුතු අඩාල වන නිසාවෙනි. එම නිසා නවලිබරල් වෙළඳපොළ ස්ථාපනය වන යම් තැනක් වේ නම් එය නිර්දේශපාලනික වන තරමට හොඳ යැයි එකඟතාවක් ඇත. ඒ අනුව එවැනි අවකාශ නිර්මාණය වන්නේ ප්‍රභූකරණයේ සෞන්දර්යාත්මක රසාස්වාදය පමණක් නොව ඊට අවශ්‍ය පදමේ නිර්දේශපාලනීකරණය ද භෞතික අවකාශය තුළ නිෂ්පාදනය කරමිනි.

මෙම ගෝලීය ප්‍රාග්ධනය ආකර්ෂණය කරගත හැකි දේශපාලන-ආර්ථික-අවකාශමය තත්ත්වයන් වරාය නගරයේ තදාසන්න වටපිටාව තුළ ද නිර්මාණය කරන්නට සිදුවේ. මන්ද අවට අවකාශය තුළ දේශපාලනික තත්ත්වය අස්ථාවර වුවහොත් හෝ දෘෂ්ටිමය සෞන්දර්යය පිරිහුණහොත් වරාය නගරයේ වාණිජ අගය පහත යා හැකි බැවිනි. නිදසුනක් ලෙස ගාලු මුවදොර සිට වරාය දෙසට විහිද යන මාර්ගය සමීපයේ 2020 පෙබරවාරි මාසයේ ඉදිකරන ලද ආහාර වෙළඳසල් අධීක්ෂණය සඳහා පැමිණි ජනාධිපතිවරයා අවධාරණය කළේ ගාලු මුවදොරෙහි දෘෂ්ටිමය සෞන්දර්යය වැඩි කරන ආකාරයෙන් ඒවා ඉදිවිය යුතු බවයි.[8] මෙය පෙර සඳහන් කරන ලද ප්‍රභූකරණයේ රසඥතාවයි. එමගින් අවට සුපිරි පරිසරයේ ඉහළ රසඥතාවට ගැළපෙන පරිදි මෙම අවකාශයේ සෞන්දර්යය නිර්මාණය කරන අතර, ඒ හරහා යම් ආකාර අවකාශමය සමජාතීකරණයක් ද සිදුකරනු ලැබේ. එමගින් ද කෙරෙන්නේ විවිධත්වය තුළින් මතුවිය හැකි දේශපාලනයකට අවශ්‍ය කොන්දේසි එකින් එක අවලංගු කිරීම බව මගේ කියවීමයි.

නිදසුනක් ලෙස ගාලු මුවදොර පරිශ්‍රයේ ගාලු මුවදොර හෝටලය ඇති අන්තයේ පිහිටි අඩු මිල වෙළඳසල් හා සසඳන විට ඉහත දක්වන ලද ආහාර වෙළඳසල්වල බාහිර සෞන්දර්යයේ පැහැදිලි වෙනසක් පෙනෙන්නට තිබේ. එසේම වසංගත තත්ත්වය හමුවේ රට වසා දමන්නට හරියටම පෙරාතුව ඒවායේ ආහාර භුක්ති විඳින්නට පැමිණි පිරිස ද අනෙක් අන්තයේ එසේ පැමිණි පිරිසට වඩා වෙනස් ය. ඔවුන්ගේ කතාබහ, ඇඳුම් පැළඳුම් සහ එතැනට පැමිණීමට භාවිත කරන යාන වාහන ද වෙනස් ය. එතැන ඇත්තේ පන්ති වෙනසකි. ඔවුන් සමහරකු ‘ජොලියට මෙන්’ අනෙක් අන්තයේ ආහාර ගැනීමට හා විනෝද වීමට පැමිණෙන අවස්ථා ද තිබේ. එහෙත් අනෙක් අන්තය භුක්ති විඳින්නන්ට එසේ ‘ජොලියට හෝ’ මේ අන්තයට පැමිණිය නොහැකිය. එතැන ඇත්තේ ආර්ථිකමය බාධාවක් පමණක් නොවේ. එක් පන්තියක රසඥතාව පමණක් නියෝජනය කරමින් තැනූ අවකාශයක ව්‍යංගයෙන් සිදුකෙරෙන සමාජමය වැළැක්වීමකි. කලින් ද දැක්වූ පරිදි ඒ හරහා කරන්නේ මෙම කණ්ඩායම් දෙක සම්මුඛ වීමෙන් මතුවිය හැකි දේශපාලනයට (politics of encounter) ඇති ඉඩ අවම කිරීම ය. එමෙන්ම ගාලු මුවදොර හෝටලය ඇති අන්තයේ වුවත් මෙම අවකාශමය සමජාතීකරණය එන්න එන්නටම වැඩිවන නිසා මෙවැනි දේශපානයකට ඇති ඉඩ එහිද දිනෙන් දිනම අවහිර වෙමින් තිබේ.

අනෙක් අතින් වරාය නගරයට යාබද ගාලු මුවදොර පරිශ්‍රයේ ඉදි වන අති-සුඛෝපභෝගී පන්නයේ හෝටල්, මහල් නිවාස සහ කාර්යාල සංකීර්ණ වැනි දේ සැලකූ විට ඒවායින් ප්‍රයෝජන ගන්නට ඇත්තෙන්ම ලංකාවේ ඉහළ මධ්‍යම පන්තියට හෝ හැකියාවක් නැති බව පැහැදිලි ය. ඔවුන්ගේ ක්‍රය ශක්තියෙන් ප්‍රවේශය ලබාදෙන්නේ මෙවැනි තැනක ආපනශාලාවකට ඇතුළු වී එහි භෝජනයක් භුක්ති විඳීමේ කාර්යයට පමණි. නමුත් ඔවුන් මෙම සුපිරි අවකාශයේ කොණකට ප්‍රවිෂ්ට වීම තුළ සුපිරි ධනපති වරාය නගරයට දේශපාලන තර්ජනයක් නැතිවාක් මෙන්ම රට තුළ යම්කිසි සුජාතභාවයක් ද හිමි වේ. මන්ද වරාය නගරයේ අවකාශය තුළ දේශීය ඉහළ මධ්‍යම පාන්තිකයින්ගේ පන්ති සිහිනය නියෝජනය වන නිසා ය. එසේම පවතින පද්ධතිය තුළ ඔවුන් දරුණු ලෙස බැට කන කොට්ඨාසයට අයත් නොවන බැවින් මෙම සමෘද්ධිය දැක වෛරයක් පහළ වීමට ද හැකියාවක් නැත. අනෙක් අතට ඔවුන්ගේ කල්කිරියාව, ඇඳුම පැළඳුම හා පොදුවේ ගත්විට පැවැත්ම ද ඉහළින් ප්‍රභූකරණය වූ කලාපයක දෘෂ්ටි සෞන්දර්යයට බාධාවක් නොවේ. ඔවුන් එසේ නම් වරාය නගරය හා තදාසන්න ප්‍රදේශයට අවශ්‍ය තරම් නිර්දේශපාලනීකරණය වූ හා ප්‍රතිවිරුද්ධ දේශපාලනයක් හඳුන්වා දේවි යැයි බලාපොරොත්තු නොවිය හැකි පිරිසකි. ඒ අනුව ප්‍රමාණයෙන් ඉතා සුළුතරයක් වූ සුපිරි ධනපති පන්තිය සඳහා නිමවන වරාය නගරය වටා ඇති භෞතික අවකාශය පිරවීමට මේ පන්තිය හොඳටම හොඳ ය.

ගෝඨාභය රාජපක්ෂගේ නගර අලංකරණය තුළත් මෙම නිර්දේශපාලනීකරණයේ රටාව දක්නට තිබේ. එහිදී ද සිදුවන්නේ එම අවකාශයන් සම්පූර්ණයෙන් පරිභෝජනය කිරීමෙන් ආර්ථික වශයෙන් වළක්වනු ලැබූ පිරිස් වුවත් එමගින් නිපදවෙන සිහිනය පරිභෝජනය කිරීමයි. නිදසුනක් ලෙස ආකේඩ් පරිශ්‍රය සැලකුවහොත්, එහි ඇති ආපනශාලා සහ අනෙකුත් සාප්පු සංකීර්ණවලින් භාණ්ඩ මිලට ගතහැකි පිරිස ඉතාම අතලොස්සකි. එහෙත් සන්ධ්‍යා කාලයේදී මෙන්ම සති අන්තයේදී ද ඊට විශාල සෙනගක් ඇදී එයි. ඔවුන් මෙම පරිශ්‍රය බොහෝ කොටම පරිභෝජනය කරන්නේ ඡායාරූප ගැනීමට ය; ආකේඩ් ආ බව සමාජ මාධ්‍ය ජාලාවල කියා පෑමට ය. මන්ද ආකේඩ් යෑම ‘පොෂ්’ වැඩකි. ‘පොෂ්’ වීමට සියලු දෙනා කැමැත්තෝ ය. එසේ නම් ආර්ථික වශයෙන් ඉතා පැහැදිලිව තමා බැහැර කරන අවකාශයකට වුවත් ආකර්ෂණය වීමට, ඊට ප්‍රතිරෝධය දක්වනු වෙනුවට එය ෆැන්ටසියක් බවට පත්කරගැනීමට අවශ්‍ය කොන්දේසි ද එම බැහැර කිරීම තුළම සම්පූර්ණ කර තිබේ.

එහි අරුත නම්, මෙම අවකාශමය වෙනස්වීම් තුළින් පීඩනයට පත්වන පන්තීන් වුවත් නවලිබරල් දැක්ම අභ්‍යන්තරීකරණය කරගෙන ඇති නිසා ඔවුන් තුළ පවා මේ සම්බන්ධයෙන් සැලකිය යුතු තරමේ ප්‍රතිරෝධයක් ජනනය නොවන බවයි. ඒ වෙනුවට සිදුවන්නේ මෙවැනි ෆැන්ටසි සහ ඒ හරහා ජනනය කරන පෙර දක්වන ලද නවලිබරල් දේශපාලනික මන්දෝත්සාහී භාවය හේතුවෙන් තමාව පෙළීමට හා ආන්තීකරණයට ලක් කරන්නා වූ ධනේශ්වර පද්ධතිය තුළම කවදා හෝ ලොක්කෙකු බවට පත්වීමේ සිහිනයක ඔවුන් එල්බගෙන සිටීම ය. මේ සිහිනය කල්පයකට සැබෑ වන්නේ එක් අයෙකුට හෝ වැඩිම දෙදෙනෙකුට පමණි. එහෙත් නවලිබරල් දෘෂ්ටිවාදාත්මක ව්‍යාපෘතියෙහි ශක්තිය හා සාර්ථකත්වය කෙතෙක් ද යත්, එදිනෙදා ජීවිතය තුළ දිගින් දිගටම සිදුවන අසාධාරණකම් හමුවේ වුවත් පද්ධතිය පිළිබඳ ෆැන්ටසිය දිගටම පවත්වාගෙන යාමට මෙබඳු විරල අවස්ථා කිහිපයක් ප්‍රමාණවත් වේ. ඊට අවශ්‍ය සිහින සෑදීම ඍජු අවකාශයට අමතරව වෙනම කර්මාන්තයක් තුළින් ද සිදු කරයි. ඒ අතර වෙළඳ දැන්වීම්, ජීවන ක්‍රම සඟරා මෙන්ම සමහර ටෙලි නාට්‍ය සහ චිත්‍රපට ද වේ. පෙර සඳහන් කළ බලාපොරොත්තු සහගත වින්දිතයන් නිර්මාණය කිරීමේ සහ, ඒ හරහා සමාජයේ අති දැවැන්ත කොටසක නගරයට ඇති අයිතිය උල්ලංඝණය වීම සාමාන්‍යකරණය වන තරමට නිර්දේශපාලනීකරණය වීමට සැලකිය යුතු දායකත්වයක් ඔවුන් විසින් දක්වා තිබෙන බව පිළිගත යුතු ය. කෙසේ වෙතත් මෙය වෙනමම ලිපියකට ප්‍රස්තුතයක් බැවින් නැවතත් මගේ මාතෘකාව වෙත යොමුවෙමි.

මෙවැනි අවකාශවල වටිනාකම තක්සේරු කරන්නේ භාවිත අගය මත නොව හුවමාරු අගය මත බව දැනටමත් දක්වා ඇත්තෙමි. තත්ත්වය මෙතැනට විකාශනය වූ විට මෙවැනි අවකාශවලින් බැහැර වන්නේ මෙම මුදල් සංසරණ ක්‍රියාවලියට කාර්යක්ෂමව දායක විය නොහැකි, එනම් සමාජ ස්ථරායනය තුළ මැද මධ්‍යම පන්තියේ සිට පහළට ස්ථානගත වූ කණ්ඩායම් සමූහයයි. මෙහි අරුත ඔවුන් නගරය තුළ ධන සම්පාදන කාර්යයට සහභාගී නොවන බව නොවේ. ඉහතින් ද දැක්වූ පරිදි ඇත්තෙන්ම එම කාර්යය සඳහා ඔවුන් නැතිවම බැරිය. නමුත් එම ක්‍රියාවලියට ඔවුන් දායක වන්නේ ප්‍රාග්ධනයට සාපේක්ෂව ඉතා අඩුවෙන් තක්සේරු කොට ඇති ශ්‍රමය අතිනි. එය කායික හෝ මානසික ශ්‍රමය (එනම් කුසලතා දායකත්වය) විය හැකිය. එහෙත් එයට අනුයුක්ත කොට ඇති වාණිජ අගය සාපේක්ෂව ඉතා පහළ එකකි. එමගින් සිදුකොට ඇත්තේ ශ්‍රමය ප්‍රාග්ධනය මත රඳා පැවතීමේ පරායත්තතාවයක් ඇති කිරීම හා ශ්‍රමයට සාපේක්ෂව ප්‍රාග්ධනය ඉහළින් ඔසවා තැබීම ය. මොනවා කරන්නත් සල්ලි හම්බ කළ යුතු බව හා එනිසා කුසලතා හුදු මුදල් ඉපයීමේ මාර්ගයක් බවට වන චින්තනය සුජාතකරණය වී ඇත්තේ ඒ අනුව ය.

එම නිසා සමාජයේ අති බහුතරය වන ශ්‍රමයේ හිමිකරුවෝ, මුදල් මත පදනම්ව ගොඩනගා ඇති මෙම පද්ධතිය තුළ විවිධ තලවලදී විවිධ ආකාරවලින් බැහැර කිරීමට ලක් වෙති. එහෙත් දැනටමත් දක්වා ඇති පරිදි නවලිබරල්වාදී ව්‍යාපෘතියේ සූක්ෂ්මභාවයෙහි තරම නම්, එම බැහැර කිරීම තුළින්ම අදාළ අවකාශය හෝ අවස්ථාව ෆැන්ටසිකරණය කිරීමයි. එනම් බැහැර කිරීම තුළින් එය තහනම් ගෙඩියක් බවට පත්කොට එහි ආකර්ෂණය වැඩිකර ඇත. එහි ප්‍රතිඵලය වී ඇත්තේ එම අවකාශයන් හා ඒවා තුළ සම්පාදනය වන අවස්ථාවන් ඍජුව පරිභෝජනය කළ නොහැකි අයවලුන් (එනම් සමාජයේ බහුතරයක්) එහි සම්පාදනය වන සිහිනය පරිභෝජනය කිරීමයි; එම සිහිනයට ආශා කිරීමයි; කවදා හෝ එම සිහිනය සැබෑ කරගැනීමේ සිහිනයක් දැකීමයි; ඊට මාර්ගය ලෙස දක්වා ඇති මුදල් ඉපයීමෙහි රැයක් දහවලක් නොමැතිව යෙදීමයි. මේ දඩිබිඩිය තුළ සාර්ව මට්ටමේ ප්‍රතිව්‍යාපී යුක්තිය පිළිබඳ දේශපාලනික සවිඥානිකත්වයක් වර්ධනය වීමට තබා, තමාගේ එදිනෙදා ශාරීරික-මානසික සෞඛ්‍යය පිළිබඳ බලා ගැනීමටවත් ඉස්පාසුවක් නැත. එහෙත් එයාකාරයෙන් ‘බිසී’ වීම ද දැන් ඉතා ආකර්ෂණීය දෙයකි. ‘බිසී’ නැති අයකුගෙන් වැඩක් නැත; එවැන්නෙක් බොහෝ විට නිකමෙකි. එම නිසා තමා ‘බිසී’ බව පෙන්වීමට බොහෝ දෙනා උත්සාහ ගනිති. එතුළ කැටිව ඇති ඛේදවාචකය ඔවුන්ට වැටහේ දැයි යන්න සැක සහිත ය. මෙම ප්‍රවණතාව තුළ ඇත්තෙන්ම සිදුවන්නේ අත්‍යන්ත සූරාකෑම පිළිබඳ යථාර්ථය අපෙන් මුවා කිරීමකි. මෙම ලිපියේ ප්‍රස්තුතයට අදාළව ගත්කළ ඉන් සිදුවන්නේ නගරයට ඇති අපේ අයිතිය අපටත් නොදැනී දෛනිකව හා ඉතා නිර්දය ලෙස උල්ලංඝණය කිරීමකි.

මුදල් තුළින් සියල්ල තීරණය වන සමාජ ක්‍රමයක් තුළ ඉතා හොඳින් එම කාර්යය කරගත්තවුන් සැමරීම සඳහා වෙන්වූ සුපිරි වරාය නගරය වැනි අවකාශවලට ප්‍රවේශය ක්‍රමිකව අවහිර කිරීම මගින් එම අවකාශ ෆැන්ටසියක් බවට පත් කරන්නේ ඒ අනුව වන අතර, ඊට ළඟා වීම සඳහා ඇති මාර්ගය ලෙස මුදල්වල තත්ත්වය සාමාන්‍යකරණය කොට ඇත. එතුළ භයානකම ප්‍රවණතාව වන්නේ මුදල්වලට වර්තමාන සමාජයේ ඇති පිළිගැනීම සාමාන්‍ය බුද්ධිය සේ සැලකීමත්, එම නිසා විකල්ප ක්‍රම පිළිබඳව සිතීම පවා සාමාන්‍ය බුද්ධියේ මදකම හඟවන කාරණයක් බවට පත්වීමත් ය. එම නිසා අනෙක් අතින් සිදුවන්නේ එවැනි අවකාශ නිර්මාණය වීම අරබයා මතුවිය හැකි ප්‍රතිව්‍යාපී යුක්තිය මත පදනම් වූ යම් හෝ දේශපාලන ප්‍රතිරෝධයක් වේ නම්, එය ආරම්භයේදීම ප්‍රායෝගික නොවන මෝඩ කතාවක් සේ සළකා සමාජයේ පිළිගැනීමට ලක් වීමෙන් වැළැක්වීමයි. එතුළ නගරයට බහුතරයකගේ ඇති අයිතිය ඔවුන්ගේ සවිඥානික බවකින් තොරවම හීන් නූලෙන් උල්ලංඝණය වන අතර, නගරය තුළ උත්පාදනය වන අතිරික්තය ප්‍රජාතන්ත්‍රවාදීව කළමනාකරණය කිරීමේ ගැටළුව එම නිසා පැන නොනගියි.

නිගමනය

මෙම ලිපිය ලිවීමේ මූලිකම අරමුණ වූයේ වර්තමාන කොළඹ අවකාශමය අත්දැකීම තුළ වඩාත් නිර්දය ලෙස බැහැර කිරීමට ලක්වන කණ්ඩායම් තුළ ඊට සංවිධිත ප්‍රතිරෝධයක් දැක්වීමට අවශ්‍ය තරමේ දේශපාලන සවිඥානික භාවයක් වර්ධනය වී නොමැත්තේ මන්ද යන්න විමර්ශනය කිරීමයි. ධනේශ්වර නවලිබරල්කරණය වන නගරයක් ලෙස කොළඹ එන්න එන්නටම ධනය හා ලාභය වෙනුවෙන් මිස මිනිසුන් වෙනුවෙන් නොවන තැනක් බවට පත් වෙමින් තිබේ. එහි අවකාශ සැලසුම්කරණය ද ඒ අනුව සිදුකරන්නේ ලාභය උපරිම කිරීමට මිස මානව ශුභසිද්ධිය උපරිම කිරීමට නොවේ. විවිධ අවකාශවල ප්‍රයෝජනය භුක්ති විඳීමට ප්‍රවේශය මුදල් මගින් සලසා දී ඇත්තේත්, නාගරික ජීවිතයේ ඵල නෙලා ගැනීම මූලිකවම මුදල් මත පදනම් වන කාරණයක් බවට පත්කොට තිබෙන්නේත් මෙම තර්කනය මත ය. අවකාශය ද ඇතුළු සියලු භෞතික වස්තුවල ඍජු භාවිත අගය සිය දහස් ගුණයකින් පරයා යන සහ සාධාරණීකරණය කළ නොහැකි අන්දමේ හුවමාරු අගයන් ඒවාට අනුයුක්ත කිරීම ප්‍රශ්නයක් නොවන්නේ ද, මෙය නාගරීකරණයේ නොවැළැක්විය හැකි ප්‍රතිඵලයක් ලෙස සිතීමට යොමු වන්නේ ද මෙම චින්තන රාමුව ඇතුළත ය.

නගරය යනු සිය කැමැත්තට අනුව තමා ජීවත් වන ලෝකය නිර්මාණය කිරීමේ මානව ප්‍රයත්නයේ වඩාත්ම සාර්ථක පිළිබිඹුව බවත්, මානව ජීවිතය වඩා පරිපූර්ණ ආකාරයෙන් ගත කිරීම සඳහා අවැසි වන්නා වූ සුවිශේෂී අවස්ථාවන් ගණනාවක් නගරය තුළ අඩංගු වන බවත් මෙම ලිපිය ආරම්භයේ දක්වා ඇත්තෙමි. නගරයට ඇති අයිතිය යනු මෙම අත්දැකීම් සමුදාය විඳගැනීමට මූලික වන්නා වූ අවකාශයන් සහ ක්‍රියාකාරකම්වලට සමාන ප්‍රවේශයක් ලබාගැනීමට සියලු දෙනාට අවශ්‍ය වන සමාන අවස්ථාවන් තහවුරු කිරීම බව ද එහි දක්වා ඇත්තෙමි. එහෙත් නගරය තුළ නිෂ්පාදනය වන අතිරික්තය අරබයා ඉතා සුළු පිරිසකට ඇති ඒකාධිකාරය මගින් මීට ඇති අවස්ථා දැඩිව සීමා කොට ඇත. මන්ද ඔවුන් සිය ලාභ අරමුණු සාක්ෂාත්කරණය කරගැනීම සඳහා පොදු අවකාශයන් අතික්‍රමණය කිරීමත්, ඉන් උකහා ගන්නා ලාභය පෞද්ගලිකව අනුයුක්ත කරගැනීමත් නිසා ය. එහිදී මෙකී අතිරික්තය නිෂ්පාදනය කිරීමට මූලික වන ශ්‍රමයේ අයිතිකරුවන් ඉතා සියුම් ලෙස එම ක්‍රියාවලියෙන් ඉවත් කොට දමා ඇත්තේ යම්තාක් දුරකට ඔවුන්ගේ ද අනුදැනුමෙන් බව පැවසීම වරදක් නොවේ. එහිදී පොදු ප්‍රවේශය වැළැක්වීම තුළින්ම මෙම අවකාශ ෆැන්ටසිකරණය වීම ප්‍රතිරෝධයක් වර්ධනය නොවීම කෙරෙහි දායක වී ඇත. අනාගතයේ තමා පිවිසීමට අවස්ථාව උදා කරගත යුතු ස්ථාන ලෙස ඒවා දකිනු විනා, ඒවාට වර්තමානයේ පිවිසිය නොහැක්කේ මන්දැයි යන්න පිළිබඳ ප්‍රශ්නය එතුළ නොනැගේ. එම ෆැන්ටසිය සාක්ෂාත්කරණය කරගැනීම සඳහා අවශ්‍ය මුදල් ඉපයීමේ කටයුත්තෙහි බොහෝ දෙනා කාර්යබහුලව නිමග්න වී සිටින හෙයින් තත්ත්වය පිළිබඳ යථාර්ථවාදී තක්සේරුවක් කිරීමේ ඉස්පාසුව හෝ ඇත්තෙන්ම තත්ත්වය තුළ ඇති ප්‍රශ්නය දෙස කෙළින් බැලීමේ අවශ්‍යතාවය වුව ද ඔවුන්ට නැත. මන්ද අවශ්‍ය තරමට මුදල් උපයා ගත්විට කවදා හෝ මෙම අවකාශය තමාටත් විවෘත වේවි යැයි යන අර්ධ මිථ්‍යාව අභ්‍යන්තරීකරණය කොටගෙන ඇති බැවිනි.

එහෙත් මානව පරිණාමයේ ඉහළම පිළිබිඹුවක් වන නාගරීකරණයේ ඵල භුක්ති විඳීමේ හැකියාව මුදල් සහ මුදල්වලට ප්‍රවේශය ඇති කිහිප දෙනෙකුගේ ඒකාධිකාරයක් නොව, සියලු දෙනාගේ (විශේෂයෙන්ම එම ඵල සම්පාදනය කිරීමෙහිලා වැඩිම බර දරන ශ්‍රමයේ හිමිකරුවන්ගේ) පොදු උරුමයක් බව සිහිතබා ගත යුතු ය. කෙසේ වුව ද, ඒ සඳහා අවශ්‍ය කරන්නා වූ නගරය තුළ නිෂ්පාදනය වන අතිරික්තය ප්‍රජාතන්ත්‍රවාදීව කළමනාකරණය කිරීමේ භාවිතය මුල්බැස ගැනීමට නම් අන්ධානුකරණයෙන් සමාජවාදය වැළඳ ගැනීමේ තේරුමක් නැත. මන්ද සමාජවාදී යැයි කියාගත් රටවල් ඓතිහාසිකව සමහර විට ධනේශ්වර රටවලටත් වඩා ආඥාදායක ස්වරූපයේ, ඉතාමත් ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලන ක්‍රමයන් බවට පත්වූ නිසාවෙනි. මේ සඳහා අපට අවශ්‍ය වන්නේ වඩා අවංක ප්‍රජාතන්ත්‍රවාදයකි. එය ධනේශ්වර ක්‍රමයක් විය නොහැක; මන්ද ධනේශ්වර ක්‍රමය පවතින්නේ කිහිප දෙනෙකු වෙනුවෙන් පමණක් වන නිසා ය. එය ඉතිහාසයේ පැවති ආකාරයේ ආඥාදායක සමාජවාදයක් ද විය නොහැකිය; නමේම ඇත්තේ දරුණු ප්‍රතිවිරුද්ධතාවයකි. එය සියලු දෙනාම වෙනුවෙන් වූ අවංක ප්‍රජාතන්ත්‍රවාදයක් විය යුතු ය. මෙයට කිව හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදයම පමණි.

ආශ්‍රිත ග්‍රන්ථ

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය. Forced Evictions in Colombo: The Ugly Price of Beautification. Centre for Policy Alternatives, 2014.

Abeyasekera, Asha, Ammara Maqsood, Iromi Perera, Fizzah Sajjad, and Jonathan Spencer (අබ්සේසේකර සහ පිරිස). ‘Discipline in Sri Lanka, Punish in Pakistan: Neoliberalism, Governance, and Housing Compared.’ Journal of the British Academy  7.2 (2019): 215-244.

Amarasuriya, Harini and Jonathan Spencer (අමරසූරිය සහ ස්පෙන්සර්). ‘“With That, Discipline Will Also Come to Them”: The Politics of the Urban Poor in Postwar Colombo.’ Current Anthropology 56.11 (2015): 66-75.

Beveridge, Ross and Philippe Koch (බෙවරිජ් සහ කොච්). ‘The Post-Political Trap? Reflections on Politics, Agency and the City.’ Urban Studies 54.1 (2016): 31-43.

Bodnar, Judith (බොඩ්නාර්). ‘Reclaiming Public Space.’ Urban Studies, 52.12 (2015): 2090-2104.

Brenner, Neil, Peter Marcuse, and Margit Mayer (බ්‍රෙනර්, මාකූස සහ මේයර්) (eds). Cities for People, Not for Profit. Routledge, 2012.

Caldeira, Teresa (කල්දේරා). ‘Peripheral urbanization: Autoconstruction, Transversal Logics, and Politics in Cities of the Global South.’ Environment and Planning D: Society and Space 35.1 (2016): 3-25.

Datta, Ayona and Nancy Odendaal (දත්තා සහ ඔඩෙන්ඩාල්). ‘Smart Cities and the Banality of Power.’ Society and Space 37. 3 (2019): 387-392.

Engels, Friedrich (එන්ගල්ස්). The Housing Question. Progress Publishers, 1970.

Fernandez, Rodrigo, Annelore Hoffman, and Manuel Aalbers (ෆර්නැන්ඩෙස් සහ පිරිස). ‘London and New York as a Safe Deposit Box for the Transnational Wealth Elite.’ Environment and Planning A 48.12 (2016): 1-19.

Ford, Derek (ෆෝඩ්). Education and the Production of Space: Political Pedagogy, Geography, and Urban Revolution. Routledge, 2017.

Harvey, David (හාවි). A Brief History of Neoliberalism. Oxford University Press, 2007.

Harvey, David (හාවි). Paris: Capital of Modernity. Routledge, 2003.

Harvey, David. Social Justice and the City. Georgia: The University of Georgia Press, 2009.

Harvey, David (හාවි). The Urbanization of Capital. Basil Blackwell, 1985.

Kadirgamar, Ahilan (කදිර්ගාමර්). ‘The Question of Militarisation in Post-War Sri Lanka.’ Economic and Political Weekly 48. 7 (2015): 42-46.

Lefebvre, Henri (ලෆේව්). ‘The right to the city.’ (Eds.) Writings on Cities, ed. E. Kofman & E. Lebas. 63-184. Blackwell Publishing, 1996 [1968].

Lefebvre, Henri (ලෆේව්). The Production of Space. Blackwell, 1991 [1974].

Lefebvre, Henri (ලෆේව්). The Urban Revolution. University of Minnesota Press, 2003 [1970].

Mbembe, Achille (ම්’බේඹෙ). ‘The Banality of Power and the Aesthetics of Vulgarity in the Postcolony.’ Public Culture 4.2 (1992): 1-30.

Peck, Jamie (පෙක්). ‘Transatlantic City, part I: Conjunctural Urbanism.’ Urban Studies 54.1 (2017): 4-30.

Perera, Iromi (පෙරේරා). ‘“We can’t feel the earth beneath our feet anymore”: Dispossession and High-Rise Living in Colombo.’ Polity 8.1-2 (2020): 51-57.

Perera, Iromi (පෙරේරා). Living it Down: Life after Relocation in Colombo’s High Rises. Centre for Policy Alternatives, 2016.

Perera, Nihal (පෙරේරා). ‘Importing Urban Problems: The Impact of the Introduction of the Housing Ordinance in Colombo.’ Arab World Geographers  7.1-2 (2005): 61-76.

Perera, Nihal (පෙරේරා). ‘The Planner’s City: The Construction of a Town Planning Perception of Colombo.’ Environment and Planning 40 (2006): 57-73.

Smith, Neil & Peter Williams (ස්මිත් සහ විලියම්ස්). Gentrification of the City. Routledge, 2013.

Smith, Neil (ස්මිත්). ‘“A Short History of Gentrification” from The New Urban Frontier. The Gentrification Debates: A Reader, ed. Brown-Saracino. 34-40. Routledge, 2010.

Soja, Edward (සෝජා). Postmodern Geographies. Verso, 1989.

Swyngedouw, Erik (ස්වින්හඩෝ). ‘The Antinomies of the Postpolitical City: In Search of a Democratic Politics of Environmental Production.’ International Journal of Urban and Regional Research, 33.3 (2009): 601-620.

Taylor, Peter (ටේලර්). ‘A Materialist Framework for Political Geography.’ Transactions of the Institute of British Geographers, 7.1 (1982): 15-34.

Venugopal, Rajesh (වේනුගෝපාල්). ‘Neoliberalism as Concept.’ Economy and Society 44.2 (2015): 165-187.

[1] මෙම පුවත්පත් ලිපිය ද බලන්න: https://www.theguardian.com/world/2010/apr/08/sri-lanka-election

[2] බලන්න: https://www.france24.com/en/20200102-sri-lanka-orders-bus-operators-to-turn-down-the-music

[3] උදාහරණ වශයෙන් බලන්න: https://lakpura.com/pages/galle-face-green සහ https://visitcolombo.com/content/2-galle-face-green

[4] බලන්න, රමිදු පෙරේරාගේ 2021 අගෝස්තු මස පළ කරන ලද මෙම ෆේස්බුක් පෝස්ටුව: https://m.facebook.com/story.php?story_fbid=10229427957589574&id=1419000334

[5] බලන්න: https://www.prnewswire.com/news-releases/port-city-colombo-to-become-a-gateway-to-south-asia-301301003.html

[6] බලන්න: https://www.architectmagazine.com/project-gallery/port-city-of-colombo_o

[7] බලන්න: https://island.lk/shangri-la-appoints-jll-as-exclusive-leasing-agent-for-one-galle-face-tower-in-colombo-sri-lanka/

[8] බලන්න: https://www.ft.lk/news/President-inspects-construction-of-model-stalls-at-Galle-Face-green/56-712876