සමු(නො)ගැනීම
සන්ධ්‍යා එක්නැළිගොඩ
*ජ්‍යෙෂ්ඨ නීතීඥ සහ මානව අයිතිවාසිකම් ක්‍රියාකාරිනී මනෝරි මුත්තෙට්ටුවේගම මතකානුස්මරණයකි.
එදත් මා සුපුරුදු පරිදි
ගියෙමි – දකින්නට – විඳින්නට
මනෝරිගෙ මන බැඳි ප්‍රේමය
පිය නගද්දී මා පසුකර ගිය
කාක්කෙක් පැවසීය
බොහෝ අමුත්තන් පැමිණ ඇති
වග
තුඩ තුඩ මුමුණනා ඔවුන් අතරත්
ඇය සොයා ගත නොහී
වෙහෙස වෙයි නෙත් තව තවත්
අහා… විශ්මයකි
මිදුලේ නොපිපුණ සාලයේ මැද
පිපුණු
ඒ මල් ගොමුව මැද
හැංගි මුත්තං කරයි ඈ
එමල් සුවඳ පරදමින් විහිදීය ඈ
ගුණ සුවඳ
ලොල්ව ඒ සුවඳටම
කුරගෑමි පසුපසට
බොහෝ මිනිසුන් නිදනා බිමට
තැනක් අහිමි මිනිසුන් ගැන
හෙටත් ඇවැසි කොට ඇයේ හඬ
සමුගන්නේ කෙළෙසදෝ මා
හිරුත් මියෙද්දි – ඇයත් අරගෙන