විවිධ ක්ෂේත්‍ර තුළ “ආකයිවය” පිළිබඳ න්‍යාය[1] – මාර්ලීන් මෑනොෆ්

පරිවර්තනය: ප්‍රවීන් තිලකරත්න

සාරසංක්ෂේපය: පසුගිය දශකය තුළ බොහෝ අධ්‍යයන ක්ෂේත්‍ර තුළින් ආකයිවය පිළිබඳ නිර්මාණශීලී හා වැදගත් න්‍යායාත්මක සංකල්පන ඉදිරිපත් වී ඇත. ඩෙරිඩා හා ෆූකෝ ඇතුළු බොහෝ මානව ශාස්ත්‍රඥයින් හා සමාජ විද්‍යාඥයින් ආකයිවයේ ස්වභාවය පිළිබඳ පුළුල් අන්තර්-ක්ෂේත්‍රීය සාකච්ඡාවක් අරඹා තිබේ. ඓතිහාසික හා ශාස්ත්‍රීය වාර්තාවේ කෘත්‍යය හා ඉරණම පිළිබඳව විද්‍යාර්ථීන්ගේ, ලේඛනාරක්ෂකයින්ගේ, සහ පුස්තකාලාධි-පතීන්ගේ සිත් යොමු වී ඇති බවත්, ඔවුන්ගේ අවධානයට පාත්‍ර ගැටළුවල යම් පොදු බවක් පෙනෙනට තිබෙන බවත් මෙම සාහිත්‍යය මගින් ඇඟවේ. ආකයිවය පිළිබඳ වූ මෙම කතිකාව පිළිබඳ ගවේෂණයක් හා දළ විශ්ලේෂණයක් පහත රචනය මගින් ඉදිරිපත් කෙරේ.

පුස්තකාල සහ ලේකනාගාර, එනම්, සාම්ප්‍රදායික අර්ථයෙන්, “ආකයිව” (archive)[2] සමග නියැලෙන කණ්ඩායම් හැරුණු කොට, දැන් එන්න එන්නම ආකයිවය යන සංකල්පය පිළිබඳ පොදු උනන්දුවක් වර්ධනය වෙමින් පවතියි. පසුගිය දශකය තුළ, ඉතිහාසඥයින්, සාහිත්‍ය විචාරකයන්, සමාජ විද්‍යාඥයින්, මානව විද්‍යාඥයින්, භූගෝල විද්‍යාඥයින්, දේශපාලන විද්‍යාඥයින් ඇතුළු බොහෝ අය ආකයිවය යන වදන තේරුම් ගැනීමට මහන්සි වී ඇත. විද්‍යාර්ථීන්, ලේඛනාරක්ෂකයන්, සහ පුස්තකාලාධිපතීන් ආකයිවය වෙත පොදු උනන්දුවක් දක්වන බව සනාථ කර දක්වන විශාල සාහිත්‍යයක් ද දැන් අප අතර තිබේ. විවිධ අධ්‍යයන ක්ෂේත්‍රවල තිබෙන වත්මන් වාදවිවාද හා පොදු ගැටළු රාශියක් වෙත කවුළුවකි ආකයිවය පිළිබඳව ගොඩනැගී ඇති කතිකාව. තව ද, ශාස්ත්‍රීය දැනුම් නිෂ්පදනය, ප්‍රකාශනය, සහ පුස්තකාල හා ලේඛනාගාර කාලයත් සමග මුහුණ දෙන විවිධ ඉරණම් තුළ අප සියලු දෙනාම මැදිහත්වී, යම් ලෙසකින් හසු වී, සිටින අයුරු ද මෙම කතිකාව විසින් අවධාරණය කරනු ලබයි. ශාස්ත්‍රීය ලෝකයේ විවිධ අධ්‍යයන ක්ෂේත්‍ර තුළ පවතින ආකයිවය පිළිබඳ කතිකාව මෙම ලිපිය මගින් දළ වශයෙන් විශ්ලේෂණය කෙරේ.

ශාස්ත්‍රීය හැදෑරීම සඳහා ද ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැත්ම සඳහා ද ආකයිවය කේන්ද්‍රීය වන බව බොහෝ පර්යේෂකයෝ කියා සිටිති. අර්වින් වෙලඩි නම් දේශපාලන න්‍යායාචාර්යවරයා මෙසේ පවසයි: “සියලුම ශාස්ත්‍රීය පර්යේෂණවල පිටුපසින්, පසුතිරයක් ලෙස පවතින්නේ ආකයිවයයි. මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා ක්ෂේත්‍රවල කෙරෙන අධ්‍යයන තුළ පරම සත්‍යය, ප්‍රමාණවත් බව, හා සම්භාව්‍යතාව (plausibility) සඳහා ආයාචනය කරනු ලැබෙන්නේ ආකයිවය වෙතයි” (වෙලඩි 1998: 1). ෂාක් ඩෙරිඩා මෙසේ තර්ක කරයි: “ආකයිවය, නැතහොත් මතකය, පාලනය නොකරන දේශපාලන බලයක් නොමැත. සාර්ථක ප්‍රජාතන්ත්‍රීකරණය සෑම විටම මෙම අත්‍යවශ්‍ය නිර්ණායකය මගින් මැනිය හැකි වේ: ආකයිවයක් තුළ සහභාගී වීමට, ඊට ප්‍රවේශ වීමට, එහි සංස්ථාපනයට, සහ එහි අර්ථකථනයට [ඇති හැකියාව]” (ඩෙරිඩා 1995: 4).

ආකයිවයේ සන්දිග්ධතාව

මේ කෙසේ වෙතත්, ඩෙරිඩා පෙන්වා දෙන ලෙස, “අද ‘ආකයිවය’ යන වදන තරම් අපැහැදිලි වදනක් ද නැත” (එම., 90). එම සංකල්පය ගවේෂණය කරන බොහෝ දෙනා සම්මත ශබ්ද කෝෂ නිර්වචනයකින් පටන් ගනිති: “මහජන වශයෙන් හෝ ඓතිහාසික වශයෙන් වැදගත් ලේඛන හෝ වෙනත් දෑ සං‍රක්ෂණය කොට තබාගැනෙන තැනක්” (Webster’s College Dictionary, 1999: 70). ආකයිවය විවිධ කෞතුක වස්තු සංචිතයක් හෝ එකතුවක් ය යන අදහස එම සංකල්පය ගවේෂණය කරන ලේඛකයන් බොහෝ දෙනෙකුට පොදු ය. අකයිවය යන වදනින් නිතරම හඟවනු ලබන්නේ කෞතුකාගාර, පුස්තකාල, සහ ලේඛනාගාර තුළ තිබෙන අන්තර්ගතයයි; එනම්, පවතින සමස්ත ඓතිහාසික වාර්තාවයි. එක් අතකින් ලේඛන, පිටපත්, සහ රූපත්, අනෙක් අතින්, විවිධ සංස්කෘතික වස්තු සංගෘහිත කෞතුකාගාරත්, සමහර ලේඛකයෝ වෙන් කොට හඳුනාගනිති. තවත් සමහරු එසේ වෙන් කිරීමක් කරන්නේ නැත. ඕනෑම තැනක ඩිජිටල් ආකෘතියෙන් පවතින සියලුම දේවල් හැඳින්වීමට ඩිජිටල් ආකයිවයන් ගැන කතා කරන ලේඛකයන් ආකයිවය යන වදන භාවිත කිරීමට පුළුවනි. එහෙත් ඇතැම් අවස්ථාවල එම වදනින් හැඳින්වෙන්නේ එසේ පවතින දේවලින් කුඩා උප-කුලකයක් පමණි; ඒ ද, බොහෝ විට එකිනෙකට සමීපව සම්බන්ධ ඩිජිටල් ලේඛන අඩංගු විශේෂිත එකතුවක් හැඳින්වීමට ය. පුස්තකාලාධිපතීන් ද ලේඛනාරක්ෂකයින් ද දැන් දැන් මෙම වදන භාවිත කරන්නේ තරමක් නොසැලකිලිමත් අන්දමකිනි.

අමෙරිකා එක්සත් ජනපදයේ කෞතුකාගාර හා පුස්තකාල සේවා ආයතනයේ අධ්‍යක්ෂක රොබර්ට් මාර්ටින් තර්ක කරන පරිදි, පුස්තකාල, ලේඛනාගාර, ආකයිව, හා කෞතුකාගාර අතර තිබෙන වෙනස්කම් මුල පටන්ම සන්දිග්ධ (ambiguous) හා අපැහැදිලි වී තිබේ (මාර්ටින් 2002). ප්‍රලේඛන ව්‍යාපාරයේ (documentation movement) එක් නිර්මාතෘවරයකු වූ පෝල් ඔට්ලෙට් 1930 ගණන්වල “ලේඛනය” (document) යන වදන ප්‍රති-නිර්වචනය කළ අයුරුත්, එම නව නිර්වචනයට අනුව වස්තු හා ද්‍රව්‍යයන් ගණනාවක් “ලේඛන” සේ සැලකිය හැකි බවත් මාර්ටින් උපුටා දක්වයි. ලේඛන හුදු තොරතුරු සන්නිවේදනය කළ වස්තු බවත්, ඉන් ලේඛනාගාර, කෞතුකාගාර, හා පුස්තකාල විසින් එකතු කරන ලද ඕනෑම දෙයක් සඳහා ‘ලේඛනය’ යන වදන භාවිත කළ හැකි බවත් ඔට්ලෙට් කියා සිටියේ ය (එම.).

මෙම කාණ්ඩ අතර පවතින වෙනස්කම් ඩිජිටල් ලෝකය තුළ තව දුරටත් දියාරු වී ඇත. එන්න එන්නම පුස්තකාල, කෞතුකාගාර සහ ලේඛනාගාර සිය අන්තර්ගත වස්තූන් – එනම්, ශබ්ද, රූප, බහු-මාධ්‍ය (මල්ටිමීඩියා), හා ලේඛන –  ඩිජිටල් අවකාශයට ඇතුළත් කරන අවධියක, ඒ ඒ ආයතන විසින් එකතු කරනු ලබන වස්තු විෂයකොට ගෙන, ඒ මත ඒවා බෙදා වෙන්කිරීම දැන් නිෂ්ඵල ක්‍රියාවක් බවට පත් වී ඇත (එම.). මේ කෙසේ වෙතත්, මාගේ රචනය සඳහා, ම විසින් ආකයිවය යන පදය භාවිත කරනු ලබන්නේ පුළුල්ම අර්ථයෙනි. මක්නිසාදයත්, මා සකච්ඡාවට බඳුන් කරන ලේඛකයන්ගෙන් බහුතරයක් එම වදන භාවිත කරන්නේ ද ඒ අයුරිනි.

ආකයිව කතිකාව තුළ පැහැදිලි ලෙස දක්නට ලැබෙන එකිනෙක සම්බන්ධ ප්‍රවණතා දෙකක් තිබේ. ඉන් පළමුවැන්න නම්, පුස්තකාල, කෞතුකාගාර, සහ ලේඛනාගාර (archives) “ආර්කයිවය” යන වදන තුළට අවශෝෂණය කරගැනීමයි; දෙවැන්න නම්, “ආකයිවය” යන වදනේ අර්ථය උද්ධමනය වීමයි. එකිනෙකට සම්බන්ධකමක් නොමැති සංකල්ප ගණනාවක් සඳහා ඉතා ලිහිල් අයුරකින් භාවිත වන වචනයක් බවට ආකයිවය පත් වී ඇත. මෙම තත්ත්වයට හේතු සාධකය වශයෙන් බොහෝ දෙනා හඳුනාගන්නේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සිදු වී ඇති පරිවර්තනයි. Studies in the Literary Imagination සඟරාවේ “ආකයිවයේ කාව්‍යශාස්ත්‍රය” (poetics of the archive) සඳහා කැප වුණු විශේෂ කලාපයක හැඳින්වීමේ පෝල් වොස් සහ මාර්තා වර්නර් පවසන්නේ ලිවීමේ තාක්ෂණයෙහි ඇති වී තිබෙන පෙරළිය “ආකයිවය සමග අප දක්වන සම්බන්ධය තවමත් පරිකල්පනය කරගත නොහැකි අන්දමින් වෙනසට බඳුන් කර” ඇති බවයි (වොස් සහ වර්නර් 1999: ii). ඇලන් ල්‍යු නම් සාහිත්‍ය විද්‍යාර්ථියාට අනුව, ඩිජිටල් එකතුවල අපට තවමත් තේරුම්ගත නොහැකි ස්වභාවය සඳහා රූපකයක් බවට “ආකයිවය” යන වදන පත් වී ඇත (ල්‍යු 2002).  තාක්ෂණයේ භූමිකාව අවධාරණය කෙරෙන ආකයිවය පිළිබඳ තවත් එක් සංකල්පනයක් ඉදිරිපත් කරන ඒඩ්රියන් මැකෙන්සි නම් සමාජ න්‍යායාචාර්යවරයා පවසන්නේ සයිබර් අවකාශයේ ආකයිවය මෙතරම් කේන්ද්‍රීය වන්නේ “තත්‍යසම සංස්කෘතිය” (virtual culture) සජීවී නැතහොත් ජීවමාන සම්බන්ධයක් මත පදනම් වන නිසා වන බවයි. “මරණය යනු ආකයිවය සඳහා ඇති ප්‍රවේශවලින් විසන්ධි වීම ය; ‘ජැක්’ එක ගැලවීම ය; ‘රියල් ටයිම්’ වලින් පිටත සිටීම ය” යි ඔහු කියා සිටියි (මැකෙන්සි 1997: 66).

ආකයිවයේ සංකීර්ණත්වය

එහෙත්, ආකයිවය යන සංකල්පය වෙත යොමු වන අවධානය මහත් සේ වැඩි වීම, එම වදනේ අර්ථය ක්‍රමිකව ලිහිල් වීම හා දියාරුවීම, සහ එම වදනේ දැවැන්ත විකාශනය ඩිජිටල් තාක්ෂණයේ වර්ධනය මගින් පමණක් විස්තර කර නොහැකිය (බ්‍රැඩ්ලි 1999: 117). එම වදනේ ඇතැම් පුදුම සහගත භාවිතාවන් ද එය විසින් ඉටු වන බුද්ධිමය මෙහෙවර ද සලකා බලන විට මෙම කාරණාව වටහාගත හැකි වේ. මේ සඳහා සිත්ගන්නාසුළු උදාහරණයක් වන්නේ 1998 හා 1999 වසරවල History of the Human Sciences සඟරාවේ ආකයිවය සඳහා කැප වුණු විශේෂ කලාප දෙකක පළ වුණු රචනා ය. මෙම කලාපවල තිබෙන රචනා පහළොවේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යාවලට සම්බන්ධ විවිධ අධ්‍යයන ක්ෂේත්‍රවල නියැලී කටයුතු කරන විද්‍යාර්ථීහු ශාස්ත්‍රීය හා දේශපාලන තලය තුළ ආකයිවයේ අර්ථයත් භූමිකාවත් පිළිබඳව ආවර්ජනය කරති. ඔවුහු ජාතික සවිඥානකත්වයේ නිර්මාණය හා ප්‍රජාතන්ත්‍රවාදී, ලිබරල් පුරවැසිභාවයේ වර්ධනය සඳහා ආකයිව විසින් ඉටු කරන ලද භූමිකාව පිළිබඳව සිතති; ඒකාධිපතිවාදී සමාජවල ජනවාර්ගික අරගල තුළ ආකයිවවල භූමිකාව විමර්ශනය කරති; මානව විද්‍යාව, සම්භාව්‍ය අධ්‍යයන, ඉතිහාසය, සාහිත්‍යය සහ සමකාලීන දෘශ්‍ය කලාව සඳහා ආකයිවයේත් ආකයිව රූපකයේත් (archival metaphor) දායකත්වය ආමන්ත්‍රණය කරති; අන්තර්ජාලය ද ඩිජිටල් එකතු ද සම්බන්ධයෙන් වන අපගේ සංකල්පනා තුළ ආකයිව රූපකය භාවිත වන අයුරු ගවේෂණය කරති.

මේ රචනා තුළ ද, මීට අමතර තවත් වෙනත් රචනා තුළ ද, “සමාජීය ආකයිවය”, “අමු ආකයිවය” (raw archive), “අධිරාජ්‍යවාදී ආකයිවය”, “පශ්චාත්-යටත්විජිත ආකයිවය”, “ජනප්‍රිය ආකයිවය”, “මානවවංශ ලේඛී ආකයිවය” (ethnographic archive), “භූගෝල විද්‍යාත්මක ආකයිවය”, “ලිබරල් ආකයිවය”, “ආකයිවමය බුද්ධිය” (archival reason), “ආකයිවමය සවිඥානකත්වය”, “ආකයිවමය පිළිකාව”, සහ “ආකයිවයේ කාව්‍යශාස්ත්‍රය” වැනි යෙදුම් භාවිත කර ඇත; එසේත් නැතිනම් අලුතින්ම නිර්මාණය කර ඇත. විවිධ අධ්‍යයන ක්ෂේත්‍රවල ස්වභාවය පිළිබඳ න්‍යායයන්හි වර්ධනයත් ඒ ඒ ක්ෂේත්‍රවල සුජාතක (legitimate) ලෙස සැලකෙන අධ්‍යයයන වස්තු සංස්ථාපනය කෙරෙන අයුරුත් මෙම නාමකරණය තුළින් පිළිබිඹු වේ. ක්ෂේත්‍ර තුළ හා ක්ෂේත්‍ර අතර – එනම්, අන්තර්-ක්ෂේත්‍රීය – දැනුම් නිෂ්පාදනයත් අධ්‍යයන ක්ෂේත්‍රයන්ට හිමි ඇතැම් සීමාවල කෘත්‍රිම ස්වභාවයත් ප්‍රශ්න කිරීමට ආකයිවය පිළිබඳ කතිකාව සමත් වී ඇත.

ඩෙරිඩා සහ ආකයිවය

පුස්තකාල සහ තොරතුරු විද්‍යා ක්ෂේත්‍රයට පිටින් වන ආකයිවය පිළිබඳ වූ කතිකාව විශාල ලෙස ඩෙරිඩාගේ Archive Fever (“ආකයිව උණ”) කෘතියේ අභාසය ලබා ඇත. මෙම කෘතිය පළමුවරට සමාජගත වූයේ 1994 වසරේ දේශනයක් ලෙසින් වන අතර, 1995 වසරේ එය Mal d’archive: une impression freudienne යන නමින් ප්‍රංශ බසින් පළ කෙරිණි. එම වසරේම එහි පරිවර්තනයක් Diacritics නම් අමෙරිකානු සඟරාවේ පළ කෙරුණු අතර, 1996 වසරේ වෙනම ඉංග්‍රීසි මාධ්‍ය පොතක් ලෙස එය ප්‍රකාශ කෙරිණි. ඉහත සඳහන් History of Human Sciences සඟරාවේ විශේෂ කලාප දෙකෙහි අඩංගු ලිපි පහළොවෙන් දහයක් Archive Fever කෘතිය භාවිත කරගනියි. මෙම කෘතියේ, ආකයිවය සඳහා ඩෙරිඩා ඉදිරිපත් කරන්නේ මනෝවිශ්ලේෂණාත්මක කියවීමකි. එම කෘතිය ඇතැමුන්ගේ විවේචනයට ලක්ව තිබුණ ද, මිනිසා විසින් තබන ලද වාර්තාව එකතු කිරීමටත්, සංවිධානය කිරීමටත්, සංරක්ෂණය කිරීමටත් මිනිසා තුළම ඇති ප්‍රේරණය හා උනන්දුව තේරුම්ගැනීමට සමකාලීන විද්‍යාර්ථියකු විසින් කරන ලද වඩාත්ම පුරෝගාමී සහ ධෛර්ය සම්පන්න ප්‍රයත්නයක් ලෙස Archive Fever  හඳුන්වාලිය හැක. පුස්තකාලාධිපතියන්ගේ ද ලේඛනාරක්ෂකයන්ගේ ද කාර්යභාරය පිළිබඳ සිතීම සඳහා වෘත්තීය සාහිත්‍යය තුළ පෙර නොවූ විරූ අන්දමකින් සිතීමට මාර්ගයක් ඩෙරිඩා පහදා දෙයි.

එකිනෙකට පරස්පර බලයන් දෙකක් මත පදනම් වූ ආකයිවය පිළිබඳ න්‍යායයක් ෆ්‍රොයිඩියානු මනෝවිශ්ලේෂණය අපට ලබා දෙන බව ඩෙරිඩා තර්ක කරයි. ඉන් එකක් “මරණ ප්‍රේරණයයි”; අනෙක “සුඛ මූලධර්මයට” (pleasure principle) සම්බන්ධ වුණු සං‍රක්ෂණ හෝ “ආකයිව ප්‍රේරණයයි”. මෙම සංකල්පනයට අනුව, අතීතය, වර්තමානය, සහ අනාගතය තහවුරු කර දෙනු ලබන්නේ ආකයිවය විසිනි (ඩෙරිඩා 1995: 29). ෆ්‍රොයිඩ් මරණ ප්‍රේරණය නමින් හඳුන්වන ලද්ද (ඇතැම් අවස්ථාවල ආක්‍රමණශීලීත්වය හා විනාශය වෙත නැඹුරු වුණු ප්‍රාථමික උත්ප්‍රාය [urge]) “ආකයිව විනාශකාරී” (archive destroying) ලෙස ද හැඳින්විය හැකි යැයි ඩෙරිඩා තර්ක කරයි (එම., 10). මරණ ප්‍රේරණය “අමතකවීමට, ඇම්නීසියාවට උල්පන්දම් දී මතකය විනාශ කරනවා පමණක් නොව […] එය ආකයිවයේ හා ප්‍රලේඛනයේ හෝ සිහිතබාගැනීමේ උපකරණය […] මකාදැමීමට ද” කටයුතු කරයි (එම., 11). ඩෙරිඩාට අනුව, ඓතිහාසික වාර්තාවක් නිර්මාණය කරන ක්‍රියාවලිය සිදු වන්නේ මරණ ප්‍රේරණයත් සුඛ මූලධර්මයත්, එනම් “තැනටෝස්” සහ “එරෝස්”, අතර වන ගනුදෙනුවක් මගිනි (එම., 12).

මෙම ගනුදෙනුව එක්තරා ආකාරයක අරගලයකි; එය අතිශය අවදානම් සහගත විය හැකිය. 1992 වසරේ, ජෝර්ජියාව හා අබ්කාසියාව අතර යුද්ධයේදී, ජෝර්ජියාවේ ජාතික ආරක්ෂක බලකායේ සාමාජිකයන් සිව් දෙනෙකු අබ්කාසියානු රාජ්‍ය ලේඛනාගාරයට අත් බෝම්බ හෙළා එම ප්‍රදේශයේ ඉතිහාසයෙන් විශාල ප්‍රමාණයක් විනාශ කර දැමීය (වෙලඩි 1998: 3). ඩෙරිඩාගේ සංකල්පනයට අනුව, එවන් විනාශයකින් නිරූපණය වන්නේ අනාගතය වෙත වර්තමානය දරන වගකීමේ අසමත්වීම ය. එවැනිම අහිමිවීම් මෑතකාලයේ ඉරාකයේ සිදු වී ඇත. එක්සත් ජනපදය විසින් දියත් කරන ලද “ඉරාක් නිදහස් මෙහෙයුමට” (Operation Iraqi Freedom) ඉක්බිතිව ඉරාකයේ ජාතික කෞතුකාගාරය, ජාතික පුස්තකාලය, ජාතික ලේඛනාගාරය ඇතුළු තවත් සංචිත ගණනාවක් කොල්ලකා ගිනි තබන ලදි. බොහෝ දෙනා මෙය අතිවිශාල සංස්කෘතික ව්‍යසනයක් ලෙස නම් කර ඇත. New York Times පුවත්පතේ ඇඩම් ගුඩ්හාට් වාර්තා කරන පරිදි, මෙම ව්‍යසනයෙන් අහිමි වූයේ ඉරාකයේ විවිධාකාර ජනවාර්ගික හා ආගමික කණ්ඩායම් අතර පොදු සංස්කෘතියක් නිර්මාණය කිරීමට පදනමක් වන්නට තිබුණු කෞතුක උරුමයක් බව විද්‍යාර්ථීන් බොහෝ දෙනෙකු අදහස් දක්වා තිබේ (ගුඩ්හාට් 2003).  ඉතා කැපී පෙනෙන අන්දමින්, මෙවන් අදහසක් නීතිපති ජෝන් ඈෂ්ක්‍රොෆ්ට් ද ප්‍රකාශ කර ඇති අතර, මාර්ටින් ගොට්ලීබ් New York Times පුවත්පතේ වාර්තා කරන ලෙස, නීතිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ “එක් ආකාරයකින් ඉරාකයේ පුරාතන ඉතිහාසය නව ආණ්ඩුවක් නිර්මාණය කිරීමේ කර්තව්‍යයට සම්බන්ධ කෙරෙන ලෙස” කොල්ලකෑ කෞතුකාගාර වස්තු ප්‍රතිෂ්ඨාපනය කිරීමට අමෙරිකා එක්සත් ජනපදය කටයුතු කරනු ඇති බවයි (ගොට්ලීබ් 2003).

එහෙත් අවදානම මදක් අඩු යැයි හැඟෙන අවස්ථාවල වුව ද, ආකයිවයේ ඉරණම පිළිබඳව සැලකිය යුතු මතභේද හා කලහකාරී තත්ත්ව දැකිය හැක. එවන් මතභේද බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙන “එල්ගින් මාබල්ස්” නම් කිරිගරුඬ මූර්ති එකතුව ඇතුළු සිය මව් රටවලින් ඉවතට රැගෙන යන ලද තවත් කලා කෘති හා කෞතුක වස්තු ගණනනාවක් සම්බන්ධයෙන් වන ගනුදෙනු හා කතිකාව ඇසුරින් පෙනී යයි. තව ද, වත්මන් හා අනාගත පරම්පරා සඳහා සං‍රක්ෂණය කළ යුතුව තිබුණු කෘති ඉවතලීම හේතුවෙන් පුස්තකාල මහජන විශ්වාසය පාවා දී ඇති බවට අමෙරිකානු ලෙඛක නිකල්සන් බේකර්ගේ චෝදනා වටා හටගත් පුස්තකාලවල භාරකාරත්වය පිළිබඳ ඉතා තියුණු වාදවිවාදවලින් ද මෙම කාරණාව පෙනී යයි (බේකර් 2001).

ඩෙරිඩාගේ කෘතියේ ප්‍රයෝජනවත්ම අංග වන්නේ, ආකයිවගත කර හැක්කේ මොනවා ද යන්න ආකයිවයේ ව්‍යුහය විසින්ම නිර්ණය කෙරෙන බවටත්, ඉතිහාසය හා මතකය ඔහු “ආකයිවකරණය” (archivization) නමින් හඳුන්වන තාක්ෂණික විධික්‍රමයන් ඔස්සේ හැඩගැස්වෙන බවටත් ඔහු ගෙන එන අදහස් ය (ඩෙරිඩා 1995: 17). මින් හරියටම අදහස් වන්නේ කුමක් දැයි පැහැදිලි කිරීමට ඩෙරිඩා උපුටා දක්වන්නේ මනෝවිශ්ලේෂණයේ ඉතිහාසයත්, එම ඉතිහාසය ෆ්‍රොයිඩ් සිය සගයන් සමග කළ ලිපි හුවමාරුව මත පදනම්ව ගොඩනැංවෙන ආකාරය පිළිබඳ විස්තරයත් ය. ෆ්‍රොයිඩ් සහ ඔහුගේ සමකාලීනයන්ට දුරකථන, ටේප් රෙකෝඩර, ෆැක්ස් යන්ත්‍ර, පරිගණක, මුද්‍රණ යන්ත්‍ර, සහ විද්‍යුත් තැපැල් තිබුණේ නම්, මනෝවිශ්ලේෂණයේ ඉතිහාසයත් එහි වර්ධනයත් එම ඉතිහාසයට පාදක වූ “සිද්ධි” (events) මට්ටමින් මීට සම්පූර්ණයෙන්ම වෙනස් වන්නට තිබුණැ යි ඩෙරිඩා තර්ක කරයි (එම., 16).

මෙවන් තාක්ෂණ භාවිත කළේ නම්, මනෝවිශ්ලේෂණයේ නියැලුණු මුල්කාලීන චිකිත්සකයන්ගේ භාවිතාවන් මීට බොහෝ සේ වෙනස් වන්නට තිබුණි; ඒ කාලයේ තැබූ වාර්තාවල ස්වරූපය ද බොහෝ සේ වෙනස් වන්නට තිබුණි; ඒ අනුව, ඒවා වැඩි “සං‍රක්ෂණයකට” බඳුන් වන්නට ද තිබුණි. තොරතුරු සම්ප්‍රේෂණය කෙරෙන විධි ඔස්සේ නිෂ්පාදනය කළ හැකි දැනුමේ ස්වරූපය ද හැඩගැස්වේ. ආකයිවගත කිරීමට හැක්කේ කුමක් ද යන්න පුස්තකාල හා ලේඛනාගාර තාක්ෂණ මගින් නිර්ණය වන අතර, එ ලෙසින්ම, හැදෑරිය හැක්කේ කුමක් ද යන්නත් ඒ අනුව තීරණය වේ. එහෙයින්, “ආකයිවකරණය මගින් සිද්ධියක් වාර්තා වනවාට අමතරව නිෂ්පාදනය ද කෙරේ” යි ඩෙරිඩා තර්ක කරයි (එම., 17).

ශාස්ත්‍රීය ලෝකය තුළ ආකයිවයේ අස්ථිර ස්වභාවය හඳුනාගැනීම සඳහා ඩෙරිඩාගේ අදහස් දැක්වීම් ඉවහල් වී ඇත. ඒ අනුව, ආකයිවය සමාජයීය, දේශපාලනික සහ තාක්ෂණික බලවේග මගින් හැඩගැස්වෙන බව දැන් බහුලව පිළිගන්නා කරුණකි. ආකයිවය විසින් යම් තොරතුරු වර්ගයක් හෝ අධ්‍යයන ආකාරයක් හෝ ශෛලියක් හෝ බාර නොගනු ලබන්නේ නම්, එය ඓතිහාසික වාර්තාවෙන් බැහැර කෙරේ. ඓතිහාසික වාර්තාව සමග මුද්‍රිත (එනම් කඩදාසි) ආකයිවයන්ට සාපේක්ෂව ඉලෙක්ට්‍රොනික ආකයිව සම්බන්ධ වන්නේ, ඒ හා නියැලෙන්නේ, ඉතා වෙනස් අයුරකිනි; ඒවාහි බලපෑම් ද එකිනෙකට අතිශය වෙනස් ය. මේ සම්බන්ධයෙන්, අප ඉදිරියේ දැන් දිගහැරෙමින් පවතින ඓතිහාසික ප්‍රතිඵලවල ප්‍රමාණය (scale) තේරුම් ගැනීමට ඩෙරිඩාගේ සංකල්පන උපකාරී වේ. නිදසුනක් ලෙස, දැන් මුද්‍රිත සඟරා ආකයිව නඩත්තු කිරීම අත්හරින ලෙසට ඇතැම් ප්‍රකාශකයෝ පුස්තකාල වෙත බලපෑම් කරති. මුද්‍රිත පිටපත් සඳහා ඉහළ මිලක් අය කරගැනීම තුළින් පුස්තකාල මුද්‍රිත පිටපත් ලබාගැනීම වළක්වාලනු ලැබේ. වාණිජ ප්‍රකාශකයන්ගේ ක්‍රියාකලාප මගින් ඓතිහාසික වාර්තාවේ ආකෘතිය හා අන්තර්ගතය හැඩගැස්වෙන්නේ මේ අයුරිනි. ඒ අනුව, නව ඩිජිටල් වෙළෙඳපොළ තුළ, එල්සෙවියර් වැනි ප්‍රකාශකයින් ශාස්ත්‍රීය ආකයිවය වෙත, එය නිෂ්පාදනය කරන ශාස්ත්‍රීය ප්‍රජාව තරම්ම, විශාල බලපෑම් ඇති කිරීමට සමත් වී ඇත.

මෙම කාරණාව එන්න එන්නම අපට පැහැදිලි වෙමින් පවතියි. කතුවරයකු අතින් සිදු වූ රචනා සොරකමක් (plagiarism) පිළිබඳ සැකයක් හේතුවෙන් එල්සෙවියර් විද්‍යා ශාඛාව එහි මාර්ගගත සඟරා එකතුවෙන් එක්තරා ලිපියක් ඉවත් කිරීමට ගත් තීරණයෙන් පසු ඇති වූ මතභේදකාරී තත්ත්වය මෙය විශේෂයෙන් පැහැදිලි වූ අවස්ථාවකි. The Chronicle of Higher Education හි ළඟදී පළ වුණු ලිපියක ඇන්ඩ්‍රෙයා එල්. ෆොස්ටර් පෙන්වා දෙන්නේ “අඩුම තරමේ 2000 වසරේ ජනවාරි සිට එල්සෙවියර් ඉතා නිශ්ශබ්ද අයුරින් ScienceDirect වෙතින් විද්වත් ලිපි ගණනාවක් ඉවත් කරගෙන” තිබෙන බවයි (ෆොස්ටර් 2003 [අ]). අප වැඩිවැඩියෙන් ඩිජිටල් වාර්තාව මත යැපෙන අවධියක මෙවන් ඉවත්කිරීම් ඉතා ගැටළු සහගත වේ. වාර්තාවලින් ලේඛන ඉවත් නොකර ඒවා එලෙසින්ම තබා, දෝෂ සහගතැයි ඔප්පු වූ ලේඛන සංශෝධනය හෝ ප්‍රත්‍යාභාෂණය (retraction) කර ඇති බව දැනුම් දෙන, ඇසට පහසුවෙන් පෙනෙන ප්‍රකාශ ඒවාට ඇමිණීම වඩාත් උචිත වේ යැයි වර්ධනය වෙමින් පවතින එකඟතාවක් තිබෙන බව ෆොස්ටර් පෙන්වා දෙයි. අවසානයේ, පුස්තකාලාධිපතීන්ගේ හා විද්‍යාර්ථීන්ගේ විරෝධතා හේතුකොට ගෙන, ScienceDirect දත්ත ගබඩාවෙන් ලිපි “ඉවත් කරගැනීමේ” ප්‍රතිපත්තිය එල්සෙවියර් සංශෝධනය කළේ ය (ෆොස්ටර් 2003 [ආ]). මුද්‍රිත සඟරා ලෝකය මීට බොහෝ වෙනස් ය. එහි, ප්‍රකාශනයෙන් හා බෙදාහැරීමෙන් පසු ආකයිවයෙන් ලිපි ඉවත් කරගැනීමට ප්‍රකාශකයින්ට හැකියාවක් නොමැත. ඔවුනට කළ හැක්කේ ප්‍රත්‍යාභාෂණයක් පළ කිරීම පමණි. ඩිජිටල් ලෝකයේ, ප්‍රකාශකයින්ට හා දත්ත ගබඩා වෙළෙන්දන්ට නුසුදුසු හෝ සාවද්‍ය යැයි හැඟෙන ලේඛන ඔවුන් විසින් ඉවත් කරනු ලැබීම තුළින්, සම්පූර්ණ වාර්තාවක් සඳහා අනාගත පර්යේෂකයන්ට ඇති ප්‍රවේශ අහිමි කර දීමට එම ප්‍රකාශකයින්ට හා දත්ත ගබඩා වෙළෙන්දන්ට හැකියාව තිබේ. ඉලෙක්ට්‍රොනික වාර්තාවකින් ලේඛන ඉවත් කිරීමට ඇති පහසුව මගින්, ආකයිවගත කිරීමේ තාක්ෂණික විධික්‍රම ඔස්සේ ඉතිහාසය හා මතකය හැඩගැස්වෙන බවට ඩෙරිඩාගේ තර්කය මෙතැන මනාව පැහැදිලි වේ (ඩෙරිඩා 1995: 17).

ආකයිවය සහ අධ්‍යයන ක්ෂේත්‍ර

උසස් අධ්‍යාපනය සඳහා වූ අනුග්‍රහය හා මුල්‍යමය සහාය මේ දිනවල අඩු වෙමින් පවතින නිසාත් බොහෝ පුස්තකාල හා විශ්වවිද්‍යාල මුද්‍රණාල මුහුණ දෙන අවදානම් සහගත තත්ත්වය නිසාත් ආකයිවය “සතුරු උවදුරට ලක්” ව ඇති බවට විද්‍යාර්ථීන් බොහෝ දෙනෙකුගේ අවබෝධය ඉහළ ගොස් ඇත. එසේම, ශාස්ත්‍රීය නියැලීම් සියල්ලක්ම ආකයිවය සමග කරන ලද ගනුදෙනුවක් හෝ එහි අර්ථකථනයක් හෝ ඊට දායකවීමක් හෝ වන බවට වර්ධනය වෙමින් පවතින ස්වයං-අවබෝධයක් ඇත. මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා ක්ෂේත්‍රවල ආකයිවයට ලැබෙන තැන විද්‍යා ක්ෂේත්‍රවල පර්යේෂණාගාරයට ලැබෙන තැනට සමතුල්‍ය වේ යැයි ඇතැම් විද්‍යාර්ථීහු තර්ක කරති (ඔස්බෝන් 1999: 52; විදර්ස් 2002: 304).  මෙම සැසඳීම තවත් දුරදිග ගෙන යමින් සාමාජ විද්‍යාඥ තොමස් ඔස්බෝන් යෝජනා කරන්නේ ආකයිවය “අධිකරණ, මනෝචිකිත්සක හමුවීම්, සහ මානව ශාස්ත්‍ර දෙපාර්තමේනුවලට” සමාන “අර්ථකථන කේන්ද්‍රයක්” (centre of interpretation) ලෙස සැලකිය යුතු බවයි (ඩෙරිඩා 1995: 17). එසේ තිබියදීත්, ආකයිවය මේවා අතර වඩාත් ප්‍රමුඛ තැනක් ගන්නා බව ඔස්බෝන් තර්ක කරන්නේ අනෙකුත් ආයතන සියල්ල රඳා පවතින්නේ එය මත වන නිසාවෙනි.

විවිධ අධ්‍යයන ක්ෂේත්‍ර තුළ උචිත යැයි සැලකෙන අධ්‍යයන වස්තු මොනවා ද යන්නත් “දැනුම” ලෙස සලකනු ලැබෙන්නේ කුමක් ද යන්නත් විද්‍යාර්ථීහු දැන් දැන් ප්‍රශ්න නගති. මෙම ප්‍රශ්න රාමුගත කෙරෙන එක් විධියකි, ආකයිවයක් තුළට සුජාතක ලෙස ඇතුළත් වන්නේ කුමන දේවල් දැයි ප්‍රශ්න කිරීම (වෙලඩි 1998: 4). නිදසුනක් ලෙස, ජනප්‍රිය සංස්කෘතිය ශාස්ත්‍රීයව අධ්‍යයනය කිරීම දැන් වැඩි වැඩි වශයෙන් සිදු වන හෙයින් පුස්තකාල එකතුවලට උචිත යැයි සැලකෙන ද්‍රව්‍යයන් පරාසය ඉස්සරට සාපේක්ෂව දැන් විශාල ය. ඒ අනුව, කොමික් පොත්, ප්‍රේම කතා, සහ විඩියෝ ක්‍රීඩා පවා උචිත වස්තු ලෙස සැලකේ. ආකයිවය සඳහා උචිත හා සුජාතක වන්නේ කුමන වස්තු ද යන්න කාලයත් සමග වෙනස් වන අතර, මෙය ක්ෂේත්‍රයන්හි ඓතිහාසික පරිවර්තනයේත් ක්ෂේත්‍ර අතර බෙදුම් රේඛාවල වෙනස්වීමේත් කෘත්‍යයකි; ප්‍රතිඵලයකි.

බොහෝ ලේඛකයන්ගේ අවධානයට යොමු වන්නේ තමන්ට විශේෂිත වූ අධ්‍යයන ක්ෂේත්‍රයට අදාළව “ආකයිවය” යනු කුමක් ද යන ගැටළුව වෙතටයි. උදාහරණයක් වශයෙන්, “සමාජ විද්‍යාව ඉතාමත් අධික ලෙස, සහ මානව විද්‍යාව හා මනෝවිද්‍යාව ද බහුල වශයෙන්” දිශානත වී ඇත්තේ “ස්වාභාවික විද්‍යාවලට සමාන සේ පෙනෙන අන්දමින් දත්ත එකතුකිරීම හා සමුච්චකිරීම සඳහා ප්‍රමිතීන් ස්ථාපිත කිරීම” වෙත යැයි අර්වින් වෙලඩි දක්වයි (එම., 4). වෙලඩි සමාජ විද්‍යාව විශේෂයෙන් ඉස්මතු කර දක්වන අතර, ඔහු එහි පෙන්වා දෙන්නේ, එම ක්ෂේත්‍රය පිහිටුවාලන දත්ත ලෙස වැඩිවැඩියෙන් සැලකනු ලැබෙන්නේ ප්‍රමාණාත්මක දත්ත වන බවයි. ඔහු මෙසේ පවසයි: “එක් අතකින්, මින් පිළිබිඹු වන්නේ ආකයිවය තුළට, නැතහොත්, අඩුම තරමේ මේ විශේෂිත ආකයිවය තුළට යා යුතු යැයි සැලකෙන්නේ කුමක් ද පිළිබඳ වන මතභේදකාරී අදහස් ය. වාර්තා කිරීමට, තෝරා වෙන්කිරීමට, නම් කිරීමට හා ස්ථානගත කිරීමට සුදුසු හා යෝග්‍ය යැයි සැලකිය හැක්කේ කුමනාකාරයේ දත්ත ද?” (එම., 7). වෙලඩි පවසන අයුරින්, බොහෝ දෙනා හට උත්තරය පැහැදිලි ය: “මැනිය හැකි දේ” (එම.). එනමුත් ඔහු පෙන්වා දෙන්නේ ආඛ්‍යානමය හා ගුණාත්මක දේ බැහැර කිරීම ඇතැම් සමාජ විද්‍යාඥයින් සඳහා අතිශය ගැටළු සහගත හා අවාසිදායක වන බවයි. ආකයිවයට අයිති මොනවා ද පිළිබඳ ප්‍රශ්නවලින් පිළිබිඹු වන්නේ අධ්‍යයන ක්ෂේත්‍රවල ස්වභාවය සම්බන්ධයෙන් වන ආරවුල් ය; එනම්, සමාජ විද්‍යාව ලෙස හෝ ඉතිහාසය ලෙස හෝ මනෝවිද්‍යාව ලෙස හෝ සැලකිය හැක්කේ කුමක් ද යන ප්‍රශ්නයයි.

 

ආකයිවයේ පාරදෘශ්‍යතාව

ආකයිවයක් සැකසෙන්නේ කුමන දේවලින් ද යන ප්‍රශ්නයට අමතරව, ආකයිවයක අන්තර්ගතය විසින් ඉදිරිපත් කෙරෙන “සත්‍යය පිළිබඳ ප්‍රකාශ” (truth claims) සම්බන්ධයෙන් ද ගැටළු රාශියක් තිබේ. මෙම ගැටළු මතුවන්නේ ඓතිහාසික වාර්තාව පිළිබඳව තිබෙන පශ්චාත්-නූතනවාදී සැකය යනුවෙන් හැඳින්විය හැකි ආකල්පය හේතුවෙනි. රොබර්ට් ඩාන්ටන් පවසන පරිදි, “hard facts have gone soft” – එනම්, පෙර සවිමත් හා ස්ථාපිත කරුණු දැන් සෙලවෙනසුළු හා අස්ථිර වී ඇත (ඩාන්ටන් 2002: 1). බොහෝ විද්‍යාර්ථීන් විසින් (ඔවුන් තමතමන්ව පශ්චාත්-නූතනවාදීන් ලෙස හඳුන්වා දුන්නත් නැතත්) ඓතිහාසික වාර්තාව – එය පුස්තකාලවල අඩංගු පොත්වලින් සැකසී තිබුණ ද, එය ලේඛනාගාරයක තැන්පත් වාර්තාවලින් සැකසී තිබුණ ද – තේරුම්ගන්නේ අතීතය පිළිබඳ වාස්තවික නිරූපණයක් ලෙසින් නොව, විවිධ හේතු කාරණා නිසා සං‍රක්ෂණය වුණු වස්තු එකතුවක් ලෙසින් ය; (එම හේතු කාරණා අතර අහඹු වාසනාව ද එකක් විය හැක). මෙම වස්තු මගින් අතීතය වෙත මැදිහත්වීම්වලින් තොර වූ ප්‍රවේශයක් කෙනෙකුට ලැබිය නොහැක. “ආකයිවය අර්චනක වස්තුවක් (ෆෙටිෂයක්)” ලෙස සලකමින් එය “ඉතිහාසඥයාට අනිවාර්යයෙන්ම හා සෑමවිටකම අහිමි අතීතයේ ‘යථාර්ථය’ සඳහා වූ ආදේශකයක්” ලෙස සැලකීමේ අවදානම ඩොමිනික් ලාකැප්‍රා නම් ඉතිහාසඥයා ඉස්මතු කර ඇත (ලාකැප්‍රා 1985: 92). ආකයිවයේ යමක් තිබේ ද එය අනිවාර්යෙන්ම ප්‍රති-නිර්මාණය වූවක් විය යුතු ය; එක්තරා විශේෂිත හා සීමිත දෘෂ්ටිකෝණයකින් බලා සිදු කෙරෙන ඉතිහාසයේ වාර්තාවක් විය යුතු ය. ඉතිහාසයේ සිද්ධීන් විනිවිද දැකිය නොහැක; එනම්, ආකයිවය මගින් ඉතිහාසයේ සිද්ධිවලට “පාරදෘශ්‍ය” ප්‍රවේශයක් අත් කරගත නොහැක. එක් කලෙක ඉතිහාසඥයන් කුමක් විශ්වාස කළත්, වර්තමානයේ නම් ඉතා බහුලව පිළිගැනෙන කාරණයක් වන්නේ හුදු සංඛ්‍යාත්මක ගොනු සේ පෙනෙන රජයේ වාර්ත පවා සෑමවිටම ප්‍රති-නිර්මාණ හා අර්ථකථන වන බවයි. එනම්, ගණනය කිරීමට යෝග්‍ය කුමක් ද යන්නත් ගණනය කරන්නේ කෙසේ ද යන්නත් පිළිබඳව කවරෙකු හෝ “තීරණය” කර තිබේ.

ආකයිව අපක්ෂපාතී (neutral) හෝ අහිංසක (innocent) හෝ නොවන බව බොහෝ පර්යේෂකයෝ අදහස් දක්වති. නාසි ජර්මන් රාජ්‍යය විසින් සමූලඝාතනය සඳහා යුදෙව්වන් හඳුනාගැනිම පිණිස පරම්පරා වාර්තා භාවිත කළ අයුරු විස්තර කරමින් වුල්ෆ්ගෑං අර්න්ස්ට් ලියූ රචනය මේ සඳහා හොඳ නිදසුනකි (අර්න්ස්ට් 1999). එසේම, ඉන්දියාවේ හා වෙනත් යටත්විජිතවල බ්‍රිතාන්‍ය පරිපාලකයන් විසින් වාර්තා සම්පාදනය කරනු ලැබීම ද අධිරාජ්‍යවාදී බලය තර කරගැනීමේ හා සාධාරණීකරණය කරගැනීමේ ආශාවක් මගින් පෙළඹුන ක්‍රියාවක් වන බව පශ්චාත්-යටත්විජිතවාදී විද්‍යාර්ථීහු පෙන්වා දෙති. ඉන්දියාවේ යටත්විජිත වාර්තාවල ගැටළු සහගත ස්වභාවය හෙළිදරව් කරවන උදාහරණ ගණනාවක් ගයාත්‍රී ස්පිවැක් ඉදිරිපත් කරයි. ඇය විස්තර කරන එක් ලේඛනයක් වන්නේ “Statistical and Geographical Memoir of the Hill Countries Situated between the Rivers Tamas and Sutlej” (“තම්සා හා සත්ලුජ්  ගංගා අතර පිහිටි කඳුකර පෙදෙස් පිළිබඳ සංඛ්‍යානමය හා භූගෝලීය මතක සටහනක්”) ය. ස්පිවැක් පෙන්වා දෙන පරිදි, මෙම ලේඛනය ලියා තිබෙන්නේ 1811 වසරේ, එකල විසිපස් විය වත් නොඉක්මවූ ඔස්ට්‍රේලියානු ජාතිකයෙකි. ප්‍රදේශය පිළිබඳ අල්ප දැනුමක් තිබූ ඔහු ලේඛනය ලියා තිබෙන්නේ “අසා දැනගත් තොරතුරු හා අර්ථකථනය කළ කතාබස්” ආශ්‍රයෙනි (ස්පිවැක් 1985: 263). එහෙත්, මෙම ලේඛනය ආධිපත්‍යක යටත්විජිතවාදී වාර්තාවට ඇතුළත් කරනු ලැබිණි; එය වාස්තවික හා නිරවද්‍ය වාර්තාවක් ලෙස සැලකිණී. ඒ අනුව, රාජ්‍ය ලියකියවිලිවල යම් වටිනාකමක් හා ප්‍රයෝජනයක් තිබිය හැකිමුත්, ඒ ඒවාහි නිරවද්‍යතාව හෝ වාස්ත්වික බව හේතුවෙන් නම් නොවේ.

ආකයිවය සම්බන්ධයෙන් වන සැකය ඇතැම් අධ්‍යයන ක්ෂේත්‍රවල ඉතාමත් ප්‍රබල ය. උදාහරණයක් වශයෙන්, ස්ත්‍රී අධ්‍යයන ක්ෂේත්‍රය තුළ, නිල වාර්තාවේ සීමා විවේචනය කිරීමට ද සංශෝධනය කිරීමට ද කැපවුණු විශාල ශාස්ත්‍රීය සාහිත්‍යයක් තිබේ. ඓතිහාසික වාර්තාවෙන් බැහැර කරන ලද ස්ත්‍රීන් පෙරළා වාර්තාවට ඇතුළත් කර ලේඛනය කිරීම, එනම්, ආකයිවයේ හිස්තැන් පිරවීමට හා මග හැරීම පිළියම් කිරීම, අරමුණු කරගත් ව්‍යාපෘතියක් ලෙස ස්ත්‍රී අධ්‍යයන ක්ෂේත්‍රය නිර්වචනය කළ හැක. එසේම, තරමක් මෑතකාලයේ බිහි වූ පශ්චාත්-යටත්විජිතවාදී අධ්‍යයන ක්ෂේත්‍රය ද යටත්විජිතවාදී වාර්තාව දෙස බලන්නේ මහත් සැකයෙනි. එක්තරා අයුරකින්, යටත්විජිතවාදී බලවේග විසින් නිෂ්පාදනය කරන ලද සාහිත්‍යය තුළ නිහඬ කරවූ දේශීයයන්ගේ (native) කටහඬවල් සෙවීම අරමුණු කරගත් ප්‍රයත්නයක් ලෙස එම ක්ෂේත්‍රය නිර්වචනය කිරීමට පුළුවනි. ඒ අනුව, මෙම ක්ෂේත්‍ර දෙකෙහිම, ආකයිවයේ තිබෙන අඩුපාඩු හා විකෘතීන් වෙත ද සමකාලීන ස්ත්‍රීන්ගේ හා පශ්චාත්-යටත්විජිතවාදී ලේඛකයන්ගේ දායකත්ව වෙත ද විද්‍යාර්ථීන්ගේ අවධානය යොමු වේ.

යටත්විජිතවාදය සහ ආකයිවය

පසුගිය දශක කිහිපය තුළ බ්‍රිතාන්‍ය යටත්විජිත ආකයිවය කෙරෙහි දැක්වෙන උනන්දුව ශීඝ්‍රයෙන් වැඩි වී ඇත. ඒ, එම ආකයිවයෙන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ක්‍රියාකාරිත්වය තේරුම්ගැනීමට කවුළුවක් විවර වන නිසාවෙනි. තව ද, මෙම ආකයිවය විමසා බැලීම තුළින් තොරතුරු රැස් කිරීමත් දේශපාලන බලයත් අතර සමබන්ධය ගවේෂණය කිරීමට මග පෑදේ. මිෂෙල් ෆූකෝ හා එඩ්වර්ඩ් සයිඩ්ගේ අදහස් උපයෝගී කරගනිමින් තෝමස් රිචර්ඩ්ස් පැහැදිලි කරන්නේ “[බ්‍රිතාන්‍ය] අධිරාජ්‍යයේ පරිපාලන කේන්ද්‍රය සැකසී තිබුණේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරය, රාජකීය භූගෝලවිද්‍යා සංගමය, ඉන්දියා මිනින්දෝරු ඒජන්සිය, හා විශ්වවිද්‍යාල වැනි දැනුම නිෂ්පාදනය කරන ආයතන වටා” වන බවත්, යටත්විජිතවාදී නිලතන්ත්‍රය අතිශය “දත්ත සූක්ෂ්ම (data intensive)” වූ බවත් ය (රිචර්ඩ්ස් 1993: 4). රිචර්ඩ්ස්ට අනුව, අධිරාජ්‍යය වාර්තාගත කිරීමත් ප්‍රලේඛනය කිරීමත් යටත්විජිතවාදී බලය පිළිබඳ වූ හැඟීම් තීව්‍ර කරවීමට දායක වූ අතර, ඇතැම් අවස්ථාවල මෙම ක්‍රියාවලි සිදු වූයේ විශාල භූගෝලීය ප්‍රදේශ සම්පූර්ණයෙන් යටත්විජිතවාදී පාලනයට හසු නොවී තිබියදීත් ය.

රිචර්ඩ්ස් මේ අනුව විස්තර කරන්නේ “අධිරාජ්‍යවාදී ආකයිවයේ ෆැන්ටසිය” නිර්මාණය වූ අයුරු ය. මෙහි, යටත්විජිත ප්‍රදේශ පිළිබඳ වූ සියලුම දැනුම රාජ්‍යය විසින් අධීක්ෂණය කෙරෙන අතර, එමගින්, සමීක්ෂණය කෙරෙන හා වාර්තාගත කෙරෙන සියලුම භූමි ප්‍රදේශ සැබැවින්ම රාජ්‍යය විසින් ම පාලනය කෙරෙති යි යන ෆැන්ටසියේ රාජ්‍යය බැස සිටින අයුරු විස්තර වේ (එම., 6). ජෝන් ස්ටුවර්ට් මිල් හා ඔගස්ට් කොම්ට් ගේ යථානුභූතවාදය සහ ලයිබ්නිට්ස්, කාන්ට් හා ෆොන් හම්බොල්ට් ගේ දර්ශන සම්ප්‍රදාය තූළට සියලුම අදාළ දත්ත උරාගැනීමටත් තෝරා බේරා සංවිධානය කරගැනීමටත් හැකියාවක් තිබෙන අධිරාජ්‍යවාදී ආකයිවය පිළිබඳ වූ මිථ්‍යා ප්‍රබන්ධයයි ඔහු මෙහිලා විස්තර කරන්නේ. “අධිරාජ්‍යයේ බලය රඳා පවතින්නේ දැනුම කෙරෙහි වූ බ්‍රිතාන්‍ය ඒකාධිකාරය මත ය යන අධිරාජ්‍යවාදී ආකයිවය ගැන ෆැන්ටසිය” වූකලි “විශ්වීය හා සාරවත් දැනුමක්” පිළිබඳ වූ විශ්වාසයේම අනුවාදයකි (එම., 6-7). තොරතුරු ගලායාම පාලනය කරන්නන් සතුව ඉමහත් බලයක් ඇතැයි යන වත්මන් අදහස තුළ, ආකයිවය පාලනය කිරීම ම දේශපාලන බලයේ ආකාරයකැ යි යන අධිරාජ්‍යවාදී විශ්වාසයේ ප්‍රතිරාවයක් තිබෙන බව ඒ අනුව පෙනී යයි.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ලිපි ලේඛන සමබන්ධයෙන් තිබෙන මෙම මහත් උනන්දුව හා ආකර්ෂණය නිල ලේඛනවලට සීමා නොවේ. අධිරාජ්‍යයේ සිටි සිවිල් සේවකයන් විසින් ද රඩ්යාඩ් කිප්ලින්, එච්. රයිඩර් හැගාඩ්, ටී. ඊ. ලෝරන්ස්, සහ එච්. ජී. වෙල්ස් ඇතුළු වික්ටෝරියානු සහ 20 වන සියවසේ උදාව සමයේ විසූ ලේඛකයන් විසින් ද ලියන ලද දැවැන්ත සාහිත්‍යය කෙරෙහිත් මෙම උනන්දුව යොමු වේ. මෙම කතුවරුන්ගේ ලේඛනවල තිබෙන අධිරාජ්‍යවාදී ආකයිවය පිළිබඳ ෆැන්ටසිය රිචර්ඩ්ස් ගවේෂනය කරයි. ඔහු මෙම සාහිත්‍ය ශානරය හඳුන්වන්නේ “අධිරාජ්‍ය ප්‍රබන්ධ” (imperial fiction) යනුවෙනි. මෙම ශානරයට අයත් නවකතාවලින් නිරූපිත අධිරාජ්‍යය ඒකකයක් ලෙස රඳා පවතින්නේ බලය හේතුවෙන් නොව දැනුම හා තොරතුරු මාර්ගයෙනි.

19 වන සියවසේ එංගලන්තය තේරුම්ගැනීම සඳහා තෝමස් රිචර්ඩ්ස් අධිරාජ්‍යවාදී ආකයිව පිළිබඳ සංකල්පය භාවිත කරන සේම, පසුගිය දශක කිහිපය තුළ “ආකයිවය පිළිබඳ වූ රොමෑන්සයන්” නොහොත් “ප්‍රේම වෘත්තාන්තයන්”   සුසෑන් කීන් ගවේෂණය කරයි (කීන් 2001). දැනුම එක්රැස් කිරීමේ බලය තුළින් එංගලන්තයේ නැගීම අධිරාජ්‍යවාදී රොමෑන්සය සමරන අතර, ආකයිවය පිළිබඳ රොමෑන්සයන් වූකලි අධිරාජ්‍යයේ බිඳවැටීම හමුවේ සමාදානය වීමටත් බ්‍රිතාන්‍යයේ යටත්විජිත ලෙගසිය තේරුම්ගැනීමටත් උත්සාහ කරන මෑතකාලීන ප්‍රයත්නයි. මෙම අවස්ථා දෙකෙහිම, ජාතික අනන්‍යතාව සොයා බැලීම සඳහා ආකයිවය ආධාර කරයි; අතීතයේ අර්ථය ස්ථාපිත කරලීමට අවැසි සාක්ෂි ආකය්වය විසින් සපයනු ලබයි.

ආයකිවය පිළිබඳ රොමෑන්සයන් ලෙස කීන් විග්‍රහ කරන්නේ පුස්තකාල හා ලේඛනාගාරවල තොරතුරු සෙවීමෙහි හා පර්යේෂණයෙහිලා යෙදී සිටින චරිත අඩංගු වෘත්තාන්තයි. සාහිත්‍ය ලෝකය තුළ මෙම ශානරයට අනුකූල වන ජනප්‍රිය හා උසස් කෘති ගණනාවක පැවැත්ම ඇය විස්තර කරන්නේ එක් අතකින් “තොරතුරු  විප්ලවය” (information revolution) හා පරිගණක මගින් කෙරෙන පුද්ගල භාවයෙන් ඈත වුණු පර්යේෂණ විධික්‍රම සඳහා වූ ප්‍රතිචාරයක් වශයෙනි (එම., 9). පුස්තකාල, ලේඛනාගාර, හා කෞතුකාගාරවල තොරතුරු දඩයම් කරමින් පර්යේෂණය උදෙසා එතෙර මෙතෙර ගමන් කිරීම ආකයිවය පිළිබඳ රොමෑන්සයන්හි බහුල්ව දක්නට ලැබෙන අතර, මෙවන් ක්‍රියා විස්තර වන්නේ පෙර කාලවල වික්‍රම කතාන්දර (adventure stories) සඳහා වෙන් වුණු උදාරමත් අලංකාර ශෛලියකිනි. ආකයිවය පිළිබඳ රොමෑන්සයන් තුළින් පශ්චාත්-යටත්විජිතවාදී හා පශ්චාත්-අධිරාජ්‍යවාදී පුද්ගලයින් සඳහා බ්‍රිතාන්‍යයේ අතීතය ගවේෂණය කිරීමටත් ඒ සමග සමාදානය වීමටත් ඉඩ හසර සැලසේ. මෙවන් කෘතිවල බහුලත්වය හා ප්‍රසිද්ධිය සඳහා හේතු වන්නේ බහුසංස්කෘතික සමාජයක් තුළ ඉතිහාසයේ හා උරුමයේ අර්ථය පිළිබඳ වූ පරස්පර විරෝධී අදහස් සමග නියැලීමට බරපතල අවශ්‍යතාවක් පවතින නිසා ය (එම., 229). ඒ. එස් බයියට්, පීටර් ඇක්රොයිඩ්, ජුලියන් බාන්ස්, පෙනෙලොපි ලයිව්ලි, මාගරට් ඩැබල්, පී.ඩී. ජේම්ස්, ග්‍රැහැම් ස්විෆ්ට් සහ කිංස්ලි ඒමිස් වැනි නවකතාකරුවෝ ද සල්මන් රුශ්දි, කේරි හියුම්, අමිතාභ් ඝෝෂ්, භාරතී මුඛර්ජී වැනි පශ්චාත්-යටත්විජිතවාදී නවකතාකරුවෝ ද කීන්ගේ අවධානයට යොමු වෙති. ආකයිවමය රොමෑන්සය සඳහා කීන් සමකාලීන චිත්‍රපට ඇසුරෙන් උදාහරණ දෙකක් සපයයි: ඒ, Stargate (1994) සහ Indiana Jones and the Last Crusade (1989) ය. තවත් මෑතකාලීන උදාහරණ දෙකකි The Mummy (1999) සහ Possession (2002).

19 සහ 20 වන සියවස්වල බ්‍රිතාන්‍ය “සයිට්ගයිස්ටය” (Zeitgeist) තේරුම්ගැනීම සඳහා ආකයිවය යන සංකල්පය අතිශය වැදගත් වන බව රිචර්ඩ්ස් සහ කීන් පවසති. සාහිත්‍ය විචාරකයන් ලෙස ඔවුන් ආකයිවය විමර්ශනය කරන්නේ එය සාහිත්‍ය කෘතිවල මතුවන තේමාවක් ලෙස සලකා ය. අධ්‍යයයන ක්ෂේත්‍ර ගණනාවක වැඩ කරන ලේඛකයන් උපුටා දක්වන ඔවුන් පෙන්නුම් කර දක්වන්නේ අන්තර්-ක්ෂේත්‍රීය පර්යේෂණ සඳහා ආකයිව න්‍යායය කෙතරම් නම් ඵලදායී ද කියා ය.

අධිරාජ්‍යයේ පිහිටුවීම හා සංස්ථාපනය යටත්විජිත පාලනය යටතේ වූ මිනිසුන් සහ ප්‍රදේශ පිළිබඳ තොරතුරු සමුච්චය මත පදනම් වූයේ නම්, පශ්චාත්-යටත්විජිත පුද්ගලයින් විසින් භාවිත කරන ලද එක් උපායක් වී ඇත්තේ මෙම තොරතුරු ප්‍රති-සන්දර්භගත කිරීමත්, ඒ අනුව, ඓතිහාසික සිද්ධීන් පිළිබඳ වූ යටත්විජිතවාදී කතාව ප්‍රශ්නයට භාජනය කිරීමත් ය. යටත්විජිතවාදී ආකයිවය විදේශ වැසියන් වාර්තා කළ සහ ගණනය කළ බ්‍රිතාන්‍ය ජාතික පරිපාලකයා කේන්ද්‍ර කර තබාගත්තේ නම්, පශ්චාත්-යටත්විජිතවාදී සාහිත්‍යය විසින් කේන්ද්‍රයේ තබනු ලබන්නේ පෙර යටත්වැසියන්ව සිටි ජනතාවයි. ඒ අනුව, ඓතිහාසික වාර්තාවේ තිබෙන විකෘතීන්, හැසිරවීම්, හා අඩුපාඩු හෙළිදර්ව් කිරීමට එම සාහිත්‍යය සමත් වේ.

පස්චාත්-යටත්විජිතවාදී ශාස්ත්‍රීය අධ්‍යයන පෙන්වා දෙන්නේ යටත්විජිතවාදී ආකයිවය එහි නිර්මාතෘවරුන්ගේ අරමුණු මගින් හැඩගැස්වී ඇති අයුරුත් එම ආකයිවයේ අර්ථකථනය සෑමවිටම එහි අර්ථකථිකයන්ගේ දෘෂ්ටිකෝණය මත පදනම් වන අයුරුත් ය. හේඩන් වයිට් ඉතා සූක්ෂ්ම ලෙස තර්ක කර ඇති පරිදි, ආකයිවමය දත්ත ඓතිහාසික ආඛ්‍යානයක් බවට පරිවර්තනය කිරීම සෑමවිටම ආත්මීය නැතහොත් පුද්ගල-නිශ්‍රිත ක්‍රියාවකි (වයිට් 1987). ඉතිහාසය ලිවීම වනාහි සෑමවිටම මනුෂ්‍ය අර්ථකථිකයකුගේ මැදිහත්වීමෙන් සිදුවන්නකි. තව ද, මයිකල් ලින්ච් ට අනුව, “ආකයිවය කිසි විටෙක ‘අමු’ හෝ ‘ප්‍රාථමික’ නොවේ”; මන්දයත්, එය සෑමවිටම සකස් කර තිබෙන්නේ ගවේෂකයන් යම්කිසි දිශාවකට යොමු කිරීම පිණිස ය (ලින්ච් 1999: 69).

ආකයිවයක අඩංගු දෑ කිසි විටෙක “ප්‍රමාණවත්” නොවන හෙයින්, කැරලින් ස්ටීඩ්මන් කියා සිටින්නේ, ඉතිහාසඥයාගේ කලාව නම් “සාදික්කා ග්‍රේටරයක් [වැනි අහඹු මෙවලමක්] ගෙන, ඒ ඔස්සේ සමස්ත සමාජ පද්ධතියක්ම මැවීමේ” හැකියාව යැයි කියා ය (ස්ටීඩ්මන් 2001: 1165). එම හේතුව නිසාවෙන්, “ඉතිහාසඥයන් යමක් කියවන්නේ ද, ඒ එතැන නැති දේ මතුපිටට කැඳවාගැනීම සඳහා ය; ලේඛනවල නිහඬ තැන් හා අඩුවක් තිබෙන තැන් සෑමවිටම අප සමග කතා කරන්නේ යැ” යි ස්ටෙඩ්මන් පවසයි (එම., 1177).

බොහෝ ක්ෂේත්‍රවල පර්යේෂකයෝ ආකයිවයේ හිස්තැන් සමග ගැටෙති, නියැලෙති. නිදසුනක් ලෙස, සම්භාව්‍ය ග්‍රීක සාහිත්‍යය පර්යේෂණය කරන්නන්ට ඇස්කිලස්, සොෆොක්ලීස්, යුරිපිඩීස්, සහ ඇරිස්ටෝෆනීස්ගේ නාට්‍ය 43 කට පමණක් සීමා වන්නට සිදු වන්නේ, එම ලේඛකයන් අතින් නාට්‍ය 330 ක් පමණ ලියවී තිබෙනමුත් ය (ග්‍රීතම් 1999: 16). ඓතිහාසික වාර්තාවේ හිස්තැන් තිබුණ ද – නැතහොත්, ඇතැම්විට, එම හිස්තැන් නිසාවෙන්ම – ආකයිවය පිළිබඳ උනන්දුව වැඩි වෙමින් පවතියි. හිස්තැන් සම්බන්ධයෙන් වූ මෙම ප්‍රශ්නයත් ආකයිවයේ අහඹු බව මෙන්ම එය පාරදෘශ්‍ය නොවීම යන ප්‍රශ්නයත් සම්බන්ධ ය. හැරියට් බ්‍රැඩ්ලි සඳහන් කරන් පරිදි, “වෘත්තීය විද්‍යාර්ථීන් තුළ ආකයිවය වෙත ඔවුන්ගේම ප්‍රවේශය කෙරෙහි තිබෙන සැකය වැඩි වෙත්ම, ඔවුන් ඒ පිළිබඳ එන්න එන්නම නිරහංකාර වෙත්ම, ඔවුහු එහි භාවිතය වඩාත් මූලික කරගනිති”; එය වැඩි වැඩියෙන් පාවිච්චි කරති (බ්‍රැඩ්ලි 1999: 118). ඇය මෙසේ පවසයි:

පශ්චාත්-නූතනවාදී සැකය බහුලව පවතින සමයක වුව ද ආකයිවයට විසඟ කරගැනීමේ හා මෝහනය කිරීමේ හැකියාවක් ඇත. නැතිවූ සියලුම කාලය යළිත් හිමි කරගැනීමේ හැකියාවක් තිබෙන බවට එහි පොරොන්දුවක් (එසේත් නැතිමන් මායාවක්?) ඇත. ආකයිවය තුළ සං‍යුක්තතාව ද වාස්තවිකතාව ද ප්‍රතිසාධනය ද සමස්තභාවය ද පිළිබඳව යම් හෝ සහතිකයක් තිබේ යැයි පෙනේ (එම., 119).

සීමා කෙතරම් තිබුණ ද, ආකයිවයේ අන්තර්ගත ද්‍රව්‍යයන් අපි තදින් අල්ලා සිටින්නෙමු. ඒ, සම්පූර්ණ ලෙස දැනගත නොහැකි අතීතයක් හා කෙසේ හෝ සම්බන්ධ වීමේ අපේක්ෂාවෙන් ය. ඩෙරිඩා “ආකයිව උණ” විස්තර කරන්නේ මෙලෙසින් ය:

ඉන් අප දැවෙන්නේ මහත් රාගයකිනි. ඉන් අප කිසි දිනෙක ඉවත්ව දිගුකල් විවේක ගන්නේ නැත; ආකයිවය අපෙන් ගිලිහෙන මොහොතක් මොහොතක් පාසා අපි එය සොයන්නෙමු. අපි ආකයිවය පසුපස හමා යමු… අපට ආකයිවය ගැන අත්හළ නොහැකි, පුනරාවර්තී, නොස්තැල්ජික ආශාවක් පහළ වේ. ආරම්භය වෙත ආපසු යාම සඳහා අනවරෝධිත ආශාවක්, ගෙදරදොරකමක්, ප්‍රාථමික වූත් පරම වූත් ආරම්භක ලක්ෂ්‍යය වෙත හැරී යාම සඳහා තිබෙන නොස්තැල්ජියාවක් අප තුළ ඇත්තේ ය (ඩෙරිඩා 1995: 91).

“ආකයිව් ෆීවර්” කෘතිය ගැන එක්තරා ඉතිහාසඥයකුගේ මතය

“ආකයිව උණ” පිළිබඳව ඩෙරිඩාගේ අර්ථකථන දූරදර්ශී යැයි සලකා ආකයිවයට සම්බන්ධ ප්‍රශ්න හා ගැටළු රාශියක් ආමන්ත්‍රණය කිරීම සඳහා වටිනා ආරම්භක ලක්ෂ්‍යයක් ලෙස ඔහුගේ කෘතිය බොහෝ දෙනෙකු යොදා ගත්ත ද, තවත් සමහරෙකුට එය එතරම් ප්‍රයෝජනවත් වී නැත. කැරොලින් ස්ටීඩ්මන් නම් ඉතිහාසඥයා පවසන්නේ Archive Fever කෘතිය කියවීමෙන් පසුව ඇයට දැනුණේ, “ආකයිව කිසි සේත්ම මේ වාගේ නොවේ යැ” යි කියා ය (ස්ටීඩ්මන් 2001: 1163). ඇත්ත වශයෙන්ම, ආකයිව සමග පර්යේෂණ කිරීම කෙබඳු ද යන්න අදහසක් දීමට ඩෙරිඩා අසමත් වන බව තවත් පුද්ගලයින් ද ප්‍රකාශ කර තිබේ. ඩෙරිඩාට ප්‍රතිචාරයක් වශයෙන්, ඉතිහාසඥයකු ලෙස ආකයිව සමග වැඩ කිරීමේ අත්දැකීම ගැන වාර්තාවක් ඉදිරිපත් කිරීමට ස්ටීඩ්මන් පෙරට එයි. ස්ටීඩ්මන්ට අනුව, ආකයිවය පිළිබඳ ඩෙරිඩාගේ අදහස පුළුල් වැඩි ය; එය “නූතන තොරතුරු තාක්ෂණයේ සමස්තය ද, එහි ආචානය (එනම් ගබඩාකිරීම), සමුද්ධරණය (retrieval), සහ සන්නිවේදනය ද යන සියලුම අංග ආවරණය වන රූපකයකි” (එම., 1161).

තව ද, Mal d’archive නම් ප්‍රංශ මාතෘකාව Archive Fever ලෙසින් ඉංග්‍රීසියට පරිවර්තනය වීම විශේෂයෙන් කණගාටුදායක යැයි ස්ටීඩ්මන් පවසයි. ඇය තව දුරටත් තර්ක කරන්නේ යමෙකු ආකයිව “උණක්” ගැන කතා කරන්නේ නම් ආකයිවය පිළිබඳව රූපක, උපමා-උපමේය ආදියෙන් නොසිතා වසංගත රෝග විද්‍යාව ඇසුරෙන් සිතිය යුතු බවයි (එම., 1172). එ ලෙස, ලොව ප්‍රසිද්ධම විසං‍යෝජනවාදියාගේ කෘතියක මාතෘකාව විසං‍යෝජනය කරමින්, ස්ටීඩ්මන් පවසන්නේ ආකයිව උණ වෘත්තීය හෝ කාර්මික ව්‍යාධියක් ලෙස අර්ථකථනය කිරීම වඩාත් නිවැරදි වනු ඇති බවයි. පැරණි පොතපත “විද්‍යාර්ථියාගේ ජීවිතයට අත්‍යවශ්‍යම දේ” වුව ද, ඒවා රෝගවලට හේතු ද විය හැකිය: “පොත සහ එහි අංග (හම් යෙදූ බැඳුම්, විවිධාකාර මැලියම්, කඩදාසි වර්ග ආදිය) විසින්, ඇත්තෙන්ම, සියවසක් පුරා වර්ධනය වෙමින් තිබූ බොහෝ කාර්මික අනතුරු සහ රෝග එක් වස්තුවක් තුළ සාන්ද්‍රණය වුණි” (එම., 1168). 19 වන සියවසේ මුල් භාගයේ එංගලන්තයේ දියුණු වෙමින් පැවති ක්ෂේත්‍රයක් වූ වෘත්තීය හා කාර්මික රෝග විද්‍යාව වෙත අවධානය යොමු කරන ස්ටීඩ්මන්, මුද්‍රිත ග්‍රන්ථ නිෂ්පාදනයේ හා හැසිරවීමෙහිලා පුද්ගලයින් මුහුණ දෙන අවදානම් තත්ත්ව විස්තර කරයි; මේ අතර, “ඇන්ත්‍රැක්ස්වල සංකූලතා නිසා හටගැනෙන මෙනින්ජයිටිස් රෝගය” පවා තිබේ (එම., 1172). “කඩදාසි සෑදූ ශ්‍රමිකයන්ගේ දූවිලි, සම් බැඳුම් සඳහා තම හම දානය කළ සතුන්ගේ දූවිලි, සහ ආකයිවය තුළට වක්‍රාකාර මාවත් ඔස්සේ සිය අවසන් නිෂ්පාදන පතිත කර තිබෙන අපවිත්‍ර ව්‍යාපාර ගණනාවක අතුරු නිෂ්පාදන” ලේඛනාගාරවල ආකයිව සමග වැඩ කරන ඉතිහාසඥයෝ නිතිපතා ආශ්වාස කරති (එම., 1171). ස්ටීඩ්මන්ට අනුව “ආකයිව උණේ සැබෑ හේතු විද්‍යාව (etiology)” මෙයයි; එය වඩාත් උචිත වනුයේ “වෛද්‍ය විද්‍යාත්මක ශබ්දකෝෂයක්” සඳහා මිස ඓතිහාසික වාර්තාවේ මනෝවිශ්ලේෂණාත්මක අර්ථය පිළිබඳ වන කෘතියක් සඳහා නොවේ (එම., 1172).

ආකයිවය උපමාවක් හෝ රූපකයක් ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් ස්ටීඩ්මන්ගේ කිසිඳු කැමැත්තක් නොමැත. ඇයගේ දෘෂ්ටියෙන්, ආකයිවය යනු වාච්‍යාර්ථයෙන්ම පැහැදිලි හා සං‍යුක්ත අවකාශයකි; ඉතිහාසය වැනි අධ්‍යයන ක්ෂේත්‍රයන් තුළ වැඩ කරන භෞතික වස්තු සමග නියැලෙන්නන් සඳහා තිබෙන අවකාශයකි. ඇත්තෙන්ම, ආකයිවයේ තිබෙන එක් ආකර්ෂණීය ගුණාංගයක් වන්නේ අතීතයේ “අතීත භාවයට” සාක්ෂි දැරීමට සමත් නැසී නොගිය වස්තු ස්පර්ෂ කිරීමට, ඒවා සමග සම්බන්ධ වීමට, කෙනෙකුට ලැබෙන අවස්ථාවයි. ආකයිවයේ ප්‍රීතිය මෙන්ම එහි වෘත්තීය අවදානම් ද මෙම සමීප ස්පර්ෂයේ හා සම්බන්ධයේ කෘත්‍යයකි. මා වෙනත් තැනක සාකච්ඡා කර ඇති පරිදි, වැඩිවැඩියෙන් තත්‍යසම (virtual) බවට පත්වන අප සංස්කෘතියේ මෙම ප්‍රීතීන් ක්‍රමිකව වර්ධනය වී ඇත (මෑනොෆ් 2001). එහෙත්, ස්ටීඩ්මන් පෙන්වා දෙන පරිදි, ආකයිවමය වැඩ පිළිබඳ වන මෙබඳු මානයන් ඩෙරිඩාගේ කෘතියේ කිසිසේත් අවධානයට ලක්වී නොමැත. ඩෙරිඩා සමග ඇයට තිබෙන කෝපය, ඇයම පවසන පරිදි, “අන්‍යොන්‍ය අනවබෝධයක්” නිසා, එනම් එකිනෙකාව තේරුම් ගැනීමට දෙපාර්ශ්වයටම බැරි වීම නිසා උපන්නකි; ඉතිහාසඥයින්ගේ කතාබස් න්‍යායාචාර්යවරුන්ගේ කනට නොවැටීමත්, න්‍යායාචාර්යවරුන්ගේ කතාබස් ඉතිහාසඥයින්ගේ කනට නොවැටීමත් නිසා හටගත්තකි (ස්ටීඩ්මන් 2001: 1164). එහෙත්, ඩෙරිඩාගේ අදහස්වලට වඩාත් සානුකම්පිත ඉතිහාසඥයෝ ද සිටිති.

ආකයිවය පිළිබඳ තවත් සංකල්පනා

ආකයිවය පිළිබඳ ඩෙරිඩාගේ අදහස ව්‍යුක්ත හා අපැහැදිලි යැයි ස්ටීඩ්මන්ට හැඟුණා නම්, ආකයිවය පිළිබඳ මිෂෙල් ෆූකෝගේ අදහස ඊටත් වඩා ව්‍යුක්ත ය. ආකයිවය න්‍යායගත කරන්නන් ඩෙරිඩාව නිතර උපුටා දක්වන සේම ෆූකෝව ද නිතරම උපුටා දක්වන අතර, මෙවන් සන්දර්භවල බහුලව උපුටා දැක්වෙන්නේ ඔහුගේ The Archaeology of Knowledge කෘතියයි. මෙහි ඔහු ආකයිවය සමබ්න්ධයෙන් ඔහුගේම නිර්වචනයක් ඉදිරිපත් කරයි. The Archaeology of Knowledge කෘතිය 1969 වසරේ ප්‍රංශ බසින් පළ කෙරුණු අතර, එය 1972 දී පරිවර්තනය කර එක්සත් ජනපදයේ හා එංගලන්තයේ ප්‍රකාශ කෙරුණි. ආකයිවය පිළිබඳ ෆූකෝගේ සංකල්පය කුමක් දැයි කියනවාට වඩා එය කුමක් නොවේ දැයි කීම පහසු ය. ෆූකෝට අනුව, ආකයිවය “පුස්තකාලවල පුස්තකාලයක්” නොවේ ය; “යම්කිසි සංස්කෘතියක් විසින් එහිම අතීතය සහතික කරවීම සඳහා තබාගන්නා ලද ලිපි ලේඛන සමූහය” ද නොවේ ය (ෆූකෝ 1972: 128-30). ආකයිවය, ඔහුට අනුව, කිව හැකි දෙයෙහි වියහැකියාව තහවුරු කර දෙන “කතිකාමය පද්ධතියයි” (system of discursivity) (එම., 129). උදාහරණයක් ලෙස, ෆූකෝ විසින් ශාස්ත්‍රීය අධ්‍යයන ක්ෂේත්‍ර හඳුන්වනු ලබන්නේ සත්‍යය පිළිබඳ නිර්ණායක තමන් විසින්ම නිර්වචනය කරගන්නා කතිකාමය සැකැස්මවල් හෝ ක්‍රමික සංකල්පීය රාමු ලෙසිනි. මෙම අදහස මෙන්ම දැනුම හා බලය අතර ඇති සම්බන්ධය පිළිබඳ ඔහුගේ සංකල්පනය ද ආකයිවයේ ස්වභාවය පිළිබඳව සිතන බොහෝ ලේඛකයන් සඳහා ඉතා ප්‍රබල ලෙස බලපා ඇත.

ඩෙරිඩා සහ ෆූකෝ දෙදෙනාගේම අදහස් පදනම් කරගනිමින් සමාජ විද්‍යාඥ තෝමස් ඔස්බෝන් උත්සාහ දරන්නේ “වාච්‍යාර්ථයෙන්ම පැහැදිලි සං‍යුක්ත බවත් ව්‍යුක්ත බවත් යන අන්ත දෙක අතර” ආකයිවය පිළිබඳ සංකල්පයක් ගොඩනැගීමට ය (ඔස්බෝන් 1999: 53). ඔස්බෝන් හට, මෙම අදහස “ඉතාමත්ම ප්‍රයෝජනවත් වන්නේ එය නම්‍යශීලී වන බැවිනි; එනම්, එය වාච්‍යාර්ථයෙන් ඔබ්බට යන ගමන්ම, අවශ්‍යනම් එමගින් වාච්‍යාර්ථයම ප්‍රකාශ වන අයුරින් එය යොදාගත හැකි බැවිනි” (එම.). ආකයිවය පිළිබඳ කතිකාව විවිධ භාවිතවලින් හා අර්ථවලින් පෝෂණය වේ. විවිධ ක්ෂේත්‍රවලින් ගෙන එනු ලබන දෘෂ්ටිකෝණයන් අනුගත කරගැනීමෙන් එය වඩාත් සංකීර්ණ වේ; වඩාත් ශක්තිමත් ද වේ. අප ආකයිවය පිළිබඳව සිතිය යුත්තේ “ක්ෂේත්‍රවලට අදාළ හිමිකම් පිළිබඳ නොයෙකුත් ප්‍රකාශ තහවුරු කරගැනීමේදී” භාවිත කෙරෙන “විශ්වසනීයත්වයේ මූල්ධර්මයක් (principle of credibility) ලෙසින්” යැයි ඔස්බෝන් යෝජනා කරයි. ඒ අනුව, ඉතිහාස ක්ෂේත්‍රය බොහෝ ලෙසින් ආකයිවමය විශ්වසනීයත්වය මත යැපෙයි. ඉතිහාසඥයාට අතීතය පිළිබඳ යමක් ප්‍රකාශ කිරීමට අවසර ලැබෙන්නේ මෙම ආකයිවමය විශ්වසනීයත්වය තුළිනි. එහෙත්, ඔස්බෝන් සඳහන් කරන්නේ ඉතිහාසයට සම්බන්ධ විෂයන් පමණක්ම නොවේ (එම.). ෆූකෝගේ The Birth of the Clinic උපුටා දක්වමින් ඔස්බෝන් ආකයිවය මුල්කරගත් ක්ෂේත්‍ර ගණනාවක් විස්තර කරයි. මෙහිලා මූලික උදාහරණයකි සායනික වෛද්‍ය විද්‍යාව. ෆූකෝ මෙය විග්‍රහ කරන්නේ විශේෂිත කරුණුවලට අවධානය යොමු කරන, තනි ප්‍රත්‍යෙකයක (case) සුවිශේෂීභාවය පිළිබඳව වග වන ක්ෂේත්‍රයක් ලෙස සලකමිනි (ෆූකෝ 1973).

ඒ අනුව, ඔස්බෝන් තර්ක කරන්නේ “ආකයිවමය බුද්ධිය” (archival reason) පදනම් වන්නේ විශේෂිත කාරණා (එනම් “details”) මත බවත්, ඒ අනුව එය වඩාත් සමබ්න්ධ වන්නේ “විශේෂඥ අර්ථකථනයක් අවශ්‍ය කෙරෙන හෝඩුවාවන්, සංඥා, නිධි, හෝ ඉඟි” කේන්ද්‍ර කරගන්නා ක්ෂේත්‍රවලට වන බවත් ය; මේ අතර සායනික වෛද්‍ය විද්‍යාව, ශබ්ද විද්‍යාව (philology), සහ කලා ඉතිහාසය වැනි ක්ෂේත්‍ර අඩංගු වේ (ඔස්බෝන් 1999: 58). “ආකයිවමය වැඩ” යනු දත්ත සමූහයකින් “වැදගත්” දේ හඳුනාගැනීම සඳහා සියුම් වෙනස්කම් වෙත අවධානය යොමු කරමින් යමක් තෝරා බේරා ගැනීමේ ක්‍රියාවලියයි. මෙවන් තෝරා බේරා ගැනීම් පුස්තකාලාධිපතීන් හා ලේඛනාරක්ෂකයින්ගේ කාර්යභාරයේ ද කේන්ද්‍රීය තැනක් ගනියි. ඔස්බෝන් සිය විග්‍රහය අවසන් කරන්නේ ආකයිවයේ ලේඛනගත කර තිබෙන සාමාන්‍ය හා දෛනික දේවල සදාචාරාත්මක හා ඥානවිභාගී වටිනාකම අවධාරණය කරමිනි (එම., 62).

ආකයිවය පිළිබඳ ඩෙරිඩා සහ ෆූකෝගේ න්‍යායයන් කෙරෙහි සානුකම්පිත නොමැති අය පවා ඔවුන් දෙපළගේ අදහස් ආකයිව පිළිබඳ කතිකාව වෙත බොහෝ සේ බලපා ඇති බව පිළිගනිති. ඔවුන්ගේ අදහස් ආකයිවය පිළිබඳ න්‍යාය හා ප්‍රති-න්‍යායවලට හේතු වී ඇත. සමකාලීන ශාස්ත්‍රීය ලෝකයේ තිබෙන ප්‍රශ්න හා ගැටළු රාශියක් ගවේෂණය කිරීම සඳහා ආකයිවමය න්‍යාය  යොදාගැනීමට ඒවා මග පහදා දී ඇත. ප්‍රජාතන්ත්‍රවාදී මෙන්ම ඒකාධිපතිවාදී සමාජවල ආකයිවය ක්‍රියා කරන්නේ කෙසේ ද පිළිබඳ ගවේෂණ සඳහා ද ඒවා දායක වී ඇත. අඩුම තරමේ, ඩෙරිඩාගේ හා ෆූකෝගේ ආකයිව න්‍යාය විසින් බුද්ධිමය මැදිහත්වීමක් ඉටු කර ඇතැ යි පිළිගත හැක. තවමත් දිගහැරෙමින් පවතින කතිකාවක් තුළට නොයෙකුත් අධ්‍යයන ක්ෂේත්‍රවල විද්‍යාර්ථීන් ඈඳා ගැනීමට එම මැදිහත්වීම සමත් වී ඇත.

ආකයිවය ආයතනගත කිරීම

විද්‍යාර්ථීන් එන්න එන්නම වැඩි පිරිසක් ආකයිවය යන සංකල්පය ගවේෂණය කරත්ම, ඊටත් වඩා පිරිසක් එහි ආයතනගත වීමේ ක්‍රියාවලිය ගැන උනන්දුවක් දැක්වීමට පටන්ගෙන ඇත. ආකයිවය ගොඩනගන්නේ කවු ද? කුමන හේතුවකට ද? එය සංවිධානය කර ඇත්තේ කෙසේ ද? එයට ප්‍රවේශ ලැබිය හැක්කේ කෙසේ ද? එය සං‍රක්ෂණය කෙරෙන්නේ කුමන අයුරින් ද? මෙම කාරණා විද්‍යාර්ථීන්, පුස්තකාලාධිපතීන්, සහ ලේඛනාරක්ෂකයින් ඇතුළු පුළුල් ශාස්ත්‍රීය ප්‍රජාවකගේ සැලකිල්ලට භාජනය වන කාරණාවකි.

ආකයිවයේ ආයතනගතකරණය සලකා බලන පුස්තකාල ක්ෂේත්‍රයට පිටින් සිටින පර්යේෂකයෝ විවිධ පැතිකඩ සලකමින් එම ප්‍රශ්නය වෙත අවතීර්ණ වෙති. “The Politics of the Liberal Archive” නම් ලිපියේ පැට්‍රික් ජොයිස් නූතන ආකයිවය පොදු අවකාශයක් හා මහජන සම්පතක් බවට පරිවර්තනය කිරීම සඳහා වූ නිදසුනක් ලෙස මහජන පුස්තකාලවල පිහිටුවීම අධ්‍යයනය කරයි. ජොයිස්ට අනුව, විවෘත ආකයිව යනු නිදහස් හා දැනුවත් සමාජයක මූලික පදනමකි. මැන්චෙස්ටර් නිදහස් පුස්තකාලයේ පිහිටුවීමත්, ඊට මදක් අඩු තරමකින්, ලන්ඩන් නුවර බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ පිහිටුවීමත් ජොයිස් විස්තර කරන්නේ 19 වන සියවසේ මැද අලුත් ආකාරයක මහජනයාට විවෘත ආකයිවයන්හි ස්ථාපිත කරවීම සඳහා උදාහරණ වශයෙනි. ඔහු මෙම ආකයිව හඳුන්වන්නේ “ලිබරල් ආණ්ඩුකරණයේ දේශපාලන තාක්ෂණයක්” ලෙසිනි. “ලිබරල් පුරවැසියාගේ” නිර්මාණයත් අධ්‍යාපනයත් සඳහා මහජන පුස්තකාල අතිශය වැදගත් සාධකයක් වූ අතර, ක්‍රමිකව ප්‍රජාතාන්ත්‍රික වෙමින් පැවති රාජ්‍යය ද ලිබරල් පුරවැසි සංකල්පය මත යැපුණු බව ඔහු පෙන්වා දෙයි (ජොයිස් 1999: 35). විවෘත ප්‍රවේශය (open access) වෙනුවෙන් පිනී සිටි, “සෑම දෙනෙකුට තොරතුරු ලබාගත හැකි” අයුරින් පුස්තකාල නාමාවලි නිර්මාණය කළ මුල්කාලීන පුස්තකාලාධිපතීන් ඔහු ප්‍රශංසා කරයි (එම., 41).

මීට වඩා විවේචනාත්මක ලීලාවකින්, ඉංග්‍රීසි මහාචාර්යවරයකු හා වියමන් අධ්‍යයනයේ (textual studies) විශේෂඥයකු වන ඩේවිඩ් ග්‍රීතම් පුස්තකාල හා ලේඛනාගාර අනුගමනය කරන එකතු කිරීමේ ක්‍රියාවලිවල ද නාමාවලි සැකසීමේ භාවිතාවල ද තිබෙන ගැටළු සහගත දාර්ශනික පදනම වෙත අවධානය යොමු කරයි. එක්රැස් කරගත යුත්තේ, සං‍රක්ෂණය කළ යුත්තේ, හා නාමාවලියකට ඇතුළත් කළ යුත්තේ කුමක් ද යන්න තීරණය කිරීමේ අසීරුතාව ඔහු දක්ෂ ලෙස පෙන්වා දෙයි. එසේ තිබියදීත්, මෙම ක්‍රියාවලිය ශාස්ත්‍රීය කටයුතු සඳහා අතිශය කේන්ද්‍රීය වන බවත් ඔහු පෙන්වා දෙයි. තව ද, ආකයිවයක නිල අරමුණු “ආකයිවමය බහිෂ්කරණයේ කාව්‍යාත්මක භාවයන් (the poetics of archival exclusion)” මගින් නිරන්තරයෙන් යටපත් කරවන අයුරු පෙන්වා දෙමින්, ඔහු ආකයිවය යන අදහසේ යම් ආකාරයක විසං‍යෝජනයක් ද ඉදිරිපත් කරයි.

ග්‍රීතම් මෙසේ පවසයි: “සියලුම සං‍රක්ෂණමය තීරණ අහඹු ය, තාවකාලික ය. ඒවා සංස්කෘතික වශයෙන් ස්වයං-ප්‍රඥාපනීය (self-referential) වේ. ඇතැම් විට ස්වයං-ප්‍රශංසනීය ද වේ. අප අනුගමනය කරන මතු පරපුරු උදෙසා, අප සං‍රක්ෂණය කරන්නට යොමු වන්නේ අපගේ තිබෙන හොඳම දේවල් පමණි”. එහෙත්, ග්‍රීතම්ට අනුව, මතු පරම්පරාවන් මීට වඩා වෙනත් යමක්, මෙය ඉක්මවා ගිය යමක් අපේක්ෂා කරන්නට පුළුවනි. උදාහරණයක් වශයෙන් ඔහු පෙන්වා දෙන්නේ වෝයේජර් අභ්‍යවකාශ වැඩසටහනේ අභ්‍යවකාශගත සැටලයිට තුළ අඩංගු කෙරුණු “කාල කැප්සියුල” වල අන්තර්ගත වූයේ අපගේ සංස්කෘතිය පිළිබඳ පරමාදර්ශී නිරූපණ පමණක් වන බවයි. අමෙර්කිකානු හමුදාව විසින් වියෙට්නාමයේ කරන ලද මී ලායි සමූලඝාතනයේ හෝ දෙවන ලෝක යුධ සමයේ අවුෂ්විට්ස් කඳවුරේ හෝ නිරූපණ එහි අඩංගු නොවීය (ග්‍රීතම් 1999: 9). මෙවන් තෝරාගැනීම් හා තීරණ පුස්තකාලවල ද සිදුවන බව ග්‍රීතම් පවසයි. සාමාන්‍යයෙන්, පුස්තකාල මගින් එකතු කරන්නේ යම් ක්ෂේත්‍රයක් තුළ “හොඳම” හෝ “වැදගත්ම” යැයි සැලකෙන කෘති පමණි.

කෘති තෝරාගැනීම සඳහා යොදාගනු ලබන ඕනෑම නිර්ණායකයක් ගැටළු සහගත බව පෙන්වා දිය හැකි යැයි ග්‍රීතම් තර්ක කරයි. “ඕනෑම විටක අප සංරක්ෂණවාදී මෝඩයන් සේ දිස්වීමේ අවදානමක් ඇතැ” යි ඔහු කියා සිටියි (එම., 8). මීට අදාළව, ග්‍රීතම් බ්‍රිතාන්‍ය පුස්තකාලයේ එක් ප්‍රතිපත්තියක් විවේචනය කරයි. මේ ප්‍රතිපත්තියට අනුව, පුස්තකාලයේ පොතක් තැන්පත් කරනු ලබන්නේ එහි පිටපත් පනහකට වැඩියෙන් විකිණී ඇත්නම් පමණි. මීට ප්‍රතිවිරුද්ධව ග්‍රීතම් තර්ක කරන්නේ, ග්‍රන්ථ විද්‍යාත්මක සං‍රක්ෂනය වඩාත්ම අවශ්‍ය වන්නේ වාණිජමය අතින් සාර්ථක නොවූ, කැනොනික (canonical) අතින් ඉහළ තත්ත්වයක් අත් කරගැනීමට අසමත් වූ කෘති වන බ්වයි (එම.).

මධ්‍යස්ථභාවය හා අන්තර්කරණය (inclusion) වැනි මූලධර්ම මත ගොඩනගන ලද ආකයිවවල ද අගතීන් තිබේ යැයි ග්‍රීතම් තර්ක කරයි. උදාහරණයක් වශයෙන්, ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය වාස්තවික අයුරකින් නිර්මාණය වී ඇතැයි සැලකේ. එය “බාෂාවක් සඳහා වූ දැනට නිෂ්පාදනය වී තිබෙන වඩාත්ම වචන බහුල ඓතිහාසික ආකයිවය” ලෙස ද හැඳින්වේ. එහෙත්, එම ශබ්දකෝෂයේ ප්‍රථම වෙළුම සංස්කරණය කළ ජේම්ස් මරේ ගේ මිණිබිරිය වන එලිසබෙත් මරේත්, මීට වඩා මෑතකදී, ජෝන් විලෙන්ස්කිත් තම ලේඛනවල ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය බ්‍රිතාන්‍යයේ අධිරාජ්‍යවාදී ඉරණම පිළිබඳ හැඟීමකින් හැඩගැස්වී ඇති බව පෙන්වා දී ඇති අයුරු ග්‍රීතම් විස්තර කරයි (එම., 12). ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය තුළින් ජාතික ස්මාරකයක් නිර්මාණය කිරීමට ඇති ආශාව නිසාවෙන් ශබ්දකෝෂය තුළට ජාතිය පිළිබඳ වූ එක්තරා විශේෂිත දෘශ්ටියක් ඇතුළත් වී තිබේ. මෙහි, වාස්තවික ඓතිහාසික උපුටන යොදා ඇත්තේ ඇත්තෙන්ම 19 වන සියවසට විශේෂිත වූ කිසියම් ලෝක දැක්මක් නිරූපණය කිරීමට යැයි විලෙන්ස්කි පෙන්වා දී ඇති බව ග්‍රීතම් සඳහන් කරයි. ග්‍රීතම් උපුටා දක්වන එක් නිදසුනකි විලෙන්ස්කිගේ මෙම අදහස: එනම්, “ස්ත්‍රිය” නිර්වචනය කිරීමේදී ශබ්දකෝෂය ෆීල්ඩිං, කොන්ග්‍රේව්, වර්ඩ්ස්වර්ත්, සහ බයිරන් වැනි පිරිමි ලේඛකයන්ගේ උපුටාගැනීම් වෙනුවට මේරි ඇස්ටල්, ෆැනී බර්නි, සහ මේරි වෝල්ස්ටන්ක්‍රාෆ්ට් වැනි ස්ත්‍රී ලේඛිකාවන්ගේ උපුටාගැනීම් උපයෝග කළේ නම්, “ස්ත්‍රිය” යන වදනට ශබ්දකෝෂයේ ආරෝපණය කර තිබෙන ගුණාංග මීට හාත්පසින් වෙනස් වන්නට තිබුණි (එම., 24).

තව ද, “විශ්වීය පුස්තකාල නාමාවලි සම්පාදනයේ” තිබෙන “ආකයිවමය මාන්නය / උඩඟුකම” ද පෙන්වා දීමට ග්‍රීතම් යොමු වේ (එම., 18). ඔහු කොන්ග්‍රස් පුස්තකාල වර්ගීකරණය (එල්.සී.සී), ඩිවි දශම වර්ගීකරණය (ඩී.ඩී.සී), සහ විශ්ව දශම වර්ගීකරණය (යූ.ඩී.සී) විවේචනය කරන්නේ, ඒවා “කිසියම් විධියකින් දැනට පවතින ලේඛන සියල්ලෙහිම අනුභූතික විශ්ලේෂණයකින් පටන් ආකයිවය සඳහා ව්‍යුහ විද්‍යාවක් (anatomy) සාක්ෂාත් කරගැනීමට වෙර දරන අතරම, මෙම ක්‍රියාවලියට පරිබාහිරින් ස්ථානගත වීමට උත්සාහ දරන” ප්‍රයත්න යැයි පවසමිනි (එම.). ඔහු තර්ක කරන්නේ මෙවන් වර්ගීකරණ පද්ධතිවල තිබේ යැයි කියැවෙන මධ්‍යස්ථභාවය හා වාස්තවිකත්වය මගින් ඒවාහි කෘත්‍රිම හා නිර්මිත ගුණය වසන් වන බවයි. ඔහු තව දුරටත් පවසන්නේ, “මධ්‍යකාලීන යුගයේ ආකයිවය සංවිධානය කෙරුණු හා පිළියෙළ කෙරුණු විධිය පවා සලකා බැලුවහොත් කිව හැක්කේ, එය ඇත්තෙන්ම ‘එල්.සී’ හෝ ‘ඩිවි’ ට වඩා ඉතා විශිෂ්ට ලෙස ‘ස්වාභාවික’ බවත්, අඩුම තරමේ, ප්‍රපංචවෙදී බවත් ය” (එම.).

කොන්ග්‍රස් පුස්තකාල වර්ගීකරණය කෙරෙහි දක්වන ලද මෙම විරෝධය හා අකැමැත්ත, අධ්‍යයන ක්ෂේත්‍රවල තිබෙන සාම්ප්‍රදායික බෙදීම් සහ ධුරාවලි පිළිබඳ වඩාත් පුළුල් විවේචනයකට සමාන්තරව යයි. එල්.සී.සී වර්ගීකරණයට අභියෝග කිරීම, නැතහොත්, ග්‍රීතම් සහ වෙනත් අය ආකයිවයේ සංවිධානය ලෙස හඳුන්වන ලද්ද අභියෝග කිරීම යනු, ඇත්තෙන්ම, අධ්‍යයන ක්ෂේත්‍රවල බෙදීම් හා සීමාවල “ස්වාභවිකත්වය” ප්‍රශ්න කිරීමයි; දැනුම නම් වූ විශ්වය සරළ, පාරදෘශ්‍ය ප්‍රවර්ගවලට අඩුක්කිරීමේ හැකියාව විවේචනය කිරීමයි. එල්. සී. සී හි සඵලත්වය පිළිබඳව පුස්තකාල ප්‍රජාව තුළ තිබෙන වාද විවාද එවන් වර්ගීකරණ සඳහා ද අධ්‍යයන ක්ෂේත්‍රවල වත්මන් හැඩහුරුව සඳහා ද පදනම වූ පෙර සියවස්වල ගොඩනගන ලද විශ්වීය පද්ධතිවල ප්‍රමාණවත් භාවය ප්‍රශ්නයට භාජනය කරන පුළුල් ප්‍රවණතාවක අංගයක් ලෙස හැඳින්විය හැක.

අනාගත පර්යේෂණ සඳහා ගම්‍යයන්

පුස්තකාල වර්ගීකරණ පිළිබඳ ග්‍රීතම්ගේ විවේචනය හරි වුවත් වැරදි වුවත්, පුස්තකාල ප්‍රජාවන් හා ශාස්ත්‍රීය ප්‍රජාවන් අතර වැඩිපුර සංවාද ඇති කරගැනීමේ අවශ්‍යතාවක් තිබේ. එසේ කිරීමට නම්, පුස්තකාල ක්ෂේත්‍රයට අදාළ සාහිත්‍යය වැඩිවැඩියෙන් පුළුල් ශාස්ත්‍රීය පාඨක ප්‍රජාවක් වෙත යොමු කරවීමට ද අවශ්‍ය ය. මෙම අදහස බාබරා ජේ. ෆ්ලොයිඩ් සහ ජෝන් සී. ෆිලිප්ස් ද අනුමත කර ඇත. මෙම පර්යේෂකයෝ දෙපළ පුස්තකාල හා තොරතුරු විද්‍යා ක්ෂේත්‍රයේ සාහිත්‍යය පිළිබඳ කතුවරුන්ගේ ද සංස්කාරකවරුන්ගේ ද ආකල්ප විභාග කර බැලූහ. මෙහි ඔවුන්ගේ වඩාත්ම වැදගත් සොයාගැනීමක් වන්නේ පුස්තකාලාධිපතීන් හා පුස්තකාල විද්‍යාඥයින් “පුස්තකාල විද්‍යා ක්ෂේත්‍රයෙන් පිටත් සිය අදහස් පළ කළ යුතුයි” යන යෝජනාවයි (ෆ්ලොයිඩ් සහ ෆිලිප්ස් 1997: 92). ඇත්ත වශයෙන්ම, වෙනත් ක්ෂේත්‍රවල විද්‍යාර්ථීන් පුස්තකාල හා ලේඛනාගාර ආකයිව පිළිබඳ වැඩි වැඩියෙන් න්‍යායිකව සිතන්න යොමු වෙන කල, පුස්තකාලාධිපතීන් ද තම ක්ෂේත්‍රයේ හා ආයතනවල සීමා ඉක්මවා යන සාහිත්‍යයක් ගොඩනැගිය යුතු වේ. වෙනත් අය ද මෙවන් තර්ක ඉදිරිපත් කර ඇත. පුස්තකාල සං‍රක්ෂණයේ  අනාගතය වෙත අවධානය යොමු කරන මිෂෙල් වැලරි ක්ලූනන් තර්ක කරන්නේ “සං‍රක්ෂණයේ කේන්ද්‍රීය අර්ථය පුළුල් සංස්කෘතික දෘෂ්ටිකෝණයකින්” ගවේෂණය කළ යුතු බවයි (ක්ලූනන් 2001: 231). ක්ෂේත්‍රය තුළ නව නව තාක්ෂණ හඳුන්වා දීමෙන් පසු “තාක්ෂණික ගැටළු සාකච්ඡා කිරීමට විශාල පරිශ්‍රමයක්” යෙදී තිබුණ ද, මෙහිලා සාකච්ඡාවට එතරම් ලක් නොවූ ඓතිහාසික වාර්තාව සං‍රක්ෂණය කිරීම පිළිබඳ වැදගත් සමාජයීය මානයන් තිබෙන බව ඇය මතක් කර දෙයි (එම.).

ආකයිවය පිළිබඳ පවතින වත්මන් සංකල්ප අප්‍රමාණවත් බව ඩෙරිඩා තර්ක කරයි. එහෙත්, වඩාත් ක්‍රමවත් සංකල්පයක් සඳහා “පුරාවිද්‍යාව, ලේඛන විද්‍යාව, ග්‍රන්ථ විද්‍යාව, ශබ්ද විද්‍යාව, සහ ඉතිහාසලේඛය” වැනි ක්ෂේත්‍රවලින් සැලකිය යුතු දායකත්වයක් ලැබී තිබෙන බව ඔහු පිළිගනියි (ඩෙරිඩා 1995: 34) “ආකයිවය පිළිබඳ වූ පොදු අන්තර්-ක්ෂේත්‍රී විද්‍යාවක් ගොඩනැංවීමට පොදු ආකයිව-විද්‍යාත්මක (archiviology) ව්‍යාපෘතියක්” ඩෙරිඩා යෝජනා කරයි (එම.). Archive Fever කෘතියේ අදහස් ගෙන ඒවා වර්ධනය කරන වත්මන් ලේඛකයන් ගණන සලකා බලන විට, මෙය පුස්තකාලාධිපතීන් ද දායක විය යුතු වටිනා ව්‍යාපෘතියක් බව පැහැදිලි ය.

න්‍යායික නියැලීම් කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන අය සඳහා දැනුම් නිෂ්පාදන භාවිතවල සිදුවන වපර්යාස පිළිබඳ විවාදයට ප්‍රවේශ වීමට අවස්ථාව ආකයිවමය කතිකාව විසින් පහදා දෙනු ලබයි. ශාස්ත්‍රීය නිෂ්පාදනයේ හා සන්නිවේදනයේ තිබෙන නව ආකාර හා විධික්‍රම මගින් අප ආකයිවය ගොඩනගන අයුරු, සංවිධානය කරන අයුරු, සං‍රක්ෂණය කරන අයුරු, සහ ඊට ප්‍රවේශ ලබාදෙන අයුරු පරිවර්තනය වී තිබෙන බව පුස්තකාලාධිපතීහු ද ලේඛනාරක්ෂකයෝ ද හොඳින් දනිති. මෙම ගැටළු ගැන වඩාත් තියුණු න්‍යායික දෘශ්ටීන් වැඩිදියුණු කිරීම තුළින් මීටත් වඩා ඵලදායී ස්වයං-අවබෝධයක් සඳහා මග පෑදෙනු ඇත. තව ද, එ තුළින්, වෙනත් අධ්‍යයන ක්ෂේත්‍ර සමග ඵලදායී සාකච්ඡාවක් හා ගනුදෙනුවක් ඇති කරගැනීම පිණිස පුස්තකාල ක්ෂේත්‍රයට එහි අරමුණු ප්‍රති-සංකල්පනය කරගැනීමට ඉඩ හසර සැලසෙනු ඇත.

රිචර්ඩ් හාවි බ්‍රවුන් නම් සමාජ විද්‍යාඥයා සහ බෙත් ඩේවිස්-බ්‍රවුන් නම් පුස්තකාලාධිපති පුස්තකාල විද්‍යා දෘශ්ටිකෝණයකින් සිත්ගන්නාසුළු ආකයිවමය කතිකාවක් ඉදිරිපත් කර ඇත (බ්‍රවුන් සහ ඩේවිස්-බ්‍රවුන් 1998). ජාතික අනන්‍යතාව නිර්මාණය කිරීම සහ සං‍රක්ෂණය කිරීම තුළින් ලේඛනාගාර, පුස්තකාල, සහ කෞතුකාගාර සමාජ ස්ථාවරත්වයට දායක වන අයුරු ඔවුහු විස්තර කරති. ලේඛනාරක්ෂකයින්, පුස්තකාලාධිපතීන්, හා අභිරක්ෂකයින් (curators) කරන වැඩ කටයුතුවල අනිවාර්යයෙන්ම – මෙය එළිපිට පිළිගත්තත් නැතත් – දේශපාලන පැතිකඩක් තිබෙන බව ඔවුහු පෙන්වා දෙති. ඒ අනුව, ආකයිව එකතු කිරීම, නාමාවලිගත කිරීම, ඩිජිටල්කරණය, සං‍රක්ෂණය, හා ප්‍රවේශ ලබාදීම යන ක්‍රියාවලිවල දේශපාලන මානයන් ඔවුහු විග්‍රහ කර දක්වති. තව ද, කොන්ග්‍රස් පුස්තකාල වර්ගීකරණය ඇතුළු “පරණ තාලයේ වර්ගීකරණ” ක්‍රමවල තිබෙන සීමාවන් ඔවුහු ආමන්ත්‍රණය කරති. ඉහත සඳහන් History of the Human Sciences සඟරාවේ විශේෂ කලාප දෙක තුළ අඩංගු පුස්තකාලාධිපති කෙනෙකු විසින් රචිත එකම ලිපිය ද මෙයයි. කෙසේ වෙතත්, ආකයිවයේ ස්වභාවය පිළිබඳ වූ පුළුල් කතිකාවට පුස්තකාල ක්ෂේත්‍රයෙන් ලබාදිය හැකි දායකත්වය සඳහා ඉතා වටිනා උදාහරණයකි මෙය.

අන්තර්-ක්ෂේත්‍රීය පර්යේෂණවලට සහයෝගය ලබාදීමටත් ඒවා දිරි ගැන්වීමටත් පුස්තකාලවලට තිබෙන හැකියාව පුස්තකාලාධිපතීන්ගේ සැලකිල්ලට බඳුන් වී තිබේ. එනමුත්, තමන් විසින්ම එවන් පර්යේෂණ සිදු කිරීමෙහිලා ඔවුන් එතරම් සක්‍රිය වී නොමැත. අන්තර්-ක්ෂේත්‍රීය වැඩ හරහා (විශේෂයෙන්ම පරිගණක සම්බන්ධ වැඩ) පුස්තකාල විද්‍යාව වර්ධනය වී ද විකාශනය වී ද ඇත. එහෙත්, සමාජ විද්‍යාව, මාධ්‍ය අධ්‍යයන, සංස්කෘතික අධ්‍යයන, ඉතිහාසය, ග්‍රන්ථ ඉතිහාසය, සහ සාහිත්‍ය අධ්‍යයන (විශේෂයෙන්ම විද්‍යාර්ථීන් සමාන ගැටළුවලට මුහුණ දෙන අවස්ථාවල හා අධ්‍යයන ක්ෂේත්‍රවල සාම්ප්‍රදායික සීමාවන් ඉකමවීම සඳහා න්‍යායික නියැලීම භාවිත කරන අවස්ථාවල) වැනි ක්ෂේත්‍ර සමගත් වඩාත් අන්තර්-ක්ෂේත්‍රීය සාකච්ඡාවක් ඇති කරගතහොත්, මින් පුස්තකාල විද්‍යාවට මහත් වාසි අත් වනු ඇත. අනෙක් අතින්, ඉහත ක්ෂේත්‍රවල වැඩ කරන්නන් හට ආකයිව තුළ, ඒවා සමග භෞතිකව නියැලෙන, පුස්තකාලාධිපතීන් හා ලේඛනාරක්ෂකයින්ගේ අදහස්වලින් ද බොහෝ දේ ඉගෙනගත හැක. ශාස්ත්‍රීය ලෝකයේ වඩාත්ම නිර්මාණශීලී හා ඵලදායී වැඩ සිදුවන්නේ “සංකර” හෙවත් “හයිබ්‍රිඩ්” ක්ෂේත්‍රවල බව නිතර පිළිගැනෙන කාරණාවකි. අප සතුව ඇති කාර්යභාරය නම් “අප අධ්‍යයන ක්ෂේත්‍ර යැයි විශ්වාස කරන දේවල සීමා මායිම් ප්‍රති-සංකල්පනය කිරීම හා ඒවා පිළිබඳ යළිත් සිතීමට ධෛර්යයක් ඇති කරගැනීම” යැයි මාජරී ගාබර් ළඟදී ප්‍රකාශ කර ඇත (ගාබර් 2001: 96). පුස්තකාල හා තොරතුරු විද්‍යාවට ද මෙය බෙහෙවින් අදාළ ය. ආකයිව න්‍යාය මේ සඳහා ඉතා යෝග්‍ය මාර්ගයකි. මෙම විවාදයට එකතු වී එය වඩාත් පුළුල් කරන්නට කාලය අදයි!

ආශ්‍රිත ග්‍රන්ථ

Baker (බේකර්), Nicholson. Double Fold: Libraries and the Assault on Paper, Random House, 2001.

Bradley (බ්‍රැඩ්ලි), Harriet. “The Seductions of the Archive: Voices Lost and Found”. History of the Human Sciences 12.2 (1999).

Brown (බ්‍රවුන් සහ ඩේවිස්-බ්‍රවුන්), Richard Harvey, and Beth Davis-Brown. “The Making of Memory: The Politics of Archives, Libraries and Museums in the Construction of National Consciousness”. History of the Human Sciences 11. 4 (1998).

Cloonan (ක්ලූනන්), Michele Valerie. “W(h)ither Preservation?”. Library Quarterly 71.2 (2001).

Darnton (ඩාන්ටන්), Robert. “How Historians Play God”. Raritan 22.1 (2002).

Derrida (ඩෙරිඩා), Jacques. Archive Fever: A Freudian Impression. Trans. Eric Prenowitz. University of Chicago Press, 1995.

Ernst (අර්න්ස්ට්), Wolfgang. “Archival Action: The Archive as ROM and Its Political Instrumentalization under National Socialism”. History of the Human Sciences 12.2 (1999).

Floyd (ෆ්ලොයිඩ් සහ ෆිලිප්ස්), Barbara J., and John C. Phillips. “A Question of Quality: How Authors and Editors Perceive Library Literature”. College & Research Libraries 58.1 (1997).

Foster, Andrea L. (ෆොස්ටර් [අ]). “Elsevier’s Vanishing Act”. Chronicle of Higher Education, 10 January 2003.

Foster, Andrea L. (ෆොස්ටර් [ආ]). “Elsevier Announces New Procedures for Retracting Online Articles”. Chronicle of Higher Education, 28 February 2003.

Foucault (ෆූකෝ), Michel. The Archaeology of Knowledge and The Discourse on Language. Trans. A. M. Sheridan Smith. Pantheon Books, 1972.

Foucault (ෆූකෝ), Michel. The Birth of the Clinic: An Archaeology of Medical Perception. Trans. A. M. Sheridan Smith. Pantheon Books, 1973.

Garber (ගාබර්), Marjorie B. Academic Instincts. Princeton University Press, 2001.

Goodheart (ගුඩ්හාට්), Adam. “Missing: A Vase, a Book, a Bird and 10,000 Years of History”. New York Times, 20 April 2003.

Gottlieb (ගොට්ලීබ්), Martin. “Ashcroft Says U.S. Will Aid Effort to Save Iraq Treasures”. New York Times, 7 May 2003.

Joyce (ජොයිස්), Patrick. “The Politics of the Liberal Archive”. History of the Human Sciences 12.2 (1999).

Keen (කීන්), Suzanne. Romances of the Archive in Contemporary British Fiction. University of Toronto Press, 2001.

LaCapra (ලාකැප්‍රා), Dominick. History & Criticism. Cornell University Press, 1985.

Liu (ල්‍යු), Alan. “Literary Studies in Cyberspace: Texts, Contexts, and Criticism”. Modern Language Association Annual Convention, 29 December 2002.

Lynch (ලින්ච්), Michael. “Archives in Formation: Privileged Spaces, Popular Archives and Paper Trails”. History of the Human Sciences 12.2 (1999).

Mackenzie (මැකෙන්සි), Adrian. “The Mortality of the Virtual: Real-Time, Archive and Dead-Time in Information Networks”. Convergence 3.2 (1997).

Manoff (මෑනොෆ්), Marlene. “The Symbolic Meaning of Libraries in a Digital Age”. Portal: Libraries and the Academy 1.4 (2001).

Martin (මාර්ටින්), Robert. “Sharing the Wealth”. RLG Members’ Forum, 18 October 2002

http://www.rlg.org/events/sharingthewealth2002/martin.html

Osborne (ඔස්බෝන්), Thomas. “The Ordinariness of the Archive”. History of the Human Sciences 12.2 (1999).

Richards (රිචර්ඩ්ස්), Thomas. The Imperial Archive: Knowledge and the Fantasy of Empire. Verso, 1993.

Spivak (ස්පිවැක්), Gayatri Chakravorty. “The Rani of Sirmur: An Essay in Reading the Archives”. History and Theory 24.3 (1985).

Steedman (ස්ටීඩ්මන්), Carolyn. “Something She Called a Fever: Michelet, Derrida, and Dust”. American Historical Review 106.4 (2001).

Velody (වෙලඩි), Irving. “The Archive and the Human Sciences: Notes Towards a Theory of the Archive”. History of the Human Sciences 11. 4 (1998).

Voss (වොස් සහ වර්නර්), Paul J. and Werner, Marta L.  “Toward a Poetics of the Archive: Introduction”. Studies in the Literary Imagination 32.1 (1999).

Webster’s College Dictionary. Random House, 1999.

White (වයිට්), Hayden. The Content of Form: Narrative Discourse and Historical Representation. Johns Hopkins University Press, 1987.

Withers (විදර්ස්), Charles W. J. “Constructing ‘The Geographical Archive’”. Area 34.3 (2002).

 

[1] මෙය මාර්ලීන් මෑනොෆ්ගේ “Theories of the Archive from across the Disciplines” (Portal 4.1 [2004]) රචනයේ පර්වර්තනයකි.

[2] “Archive” යන වදනේ සියලුම අර්ථ (එනම්, එහි තිබෙන සං‍යුක්තම අර්ථ සිට ව්‍යුක්තම අර්ථ දක්වා) ආවරණය කිරීම සඳහා සම්මත සිංහල වචනයක් නොමැත. ශබ්ද කෝෂවල සාමාන්‍යයෙන් තිබෙන්නේ “ලේඛනාගාරය”, “අධිලේඛනය” වැනි වචනයි. එහෙත්, කථනයේ අපි නිතර නිතර “ආකයිව්” යන වදන එලෙසෙම යොදා ගන්නෙමු: “මගේ ආකයිව්ස් වල තියනවා”, “මං අද ආකයිව්ස් යනවා”, “ආකයිවල් පැත්තට බර රිසර්ච්” යනාදී වශයෙන්. තව ද, මෙම වදනේ නිරුක්තිමය ඉතිහාසය (පැරණි ග්‍රීක බසින් “ආකේ” යනු “ආරම්භක ලක්ෂ්‍යය” යි; “ආකෝන්” යනු වටිනා ලියකියවිලි ආරක්ෂාකරුවෙකි) සැලකීමෙන් අනතුරුව ඒ හරහා සංකීර්ණ දාර්ශනික ප්‍රවේශ ද ඉදිරිපත් වී ඇත; මේ සඳහා හොඳම නිදසුන් දෙකකි ඩෙරිඩාගේ හා ෆූකෝගේ මෙම ලිපියේ සාකච්ඡා කෙරෙන ප්‍රවේශ. මේ හේතු නිසා මෙම වදන පරිවර්තනය කිරීම සඳහා වඩාත්ම උචිත වන්නේ එය සිංහලෙන් “ආකයිවය” ලෙසින්ම තැබීමයි. ආකයිවය, ආකයිව, ආකයිවයට, ආකයිවමය යනාදී වශයෙන් පදය වරනගන්නට ද පුළුවනි.