පර්යේෂණ ‘ප්‍රශ්න පොදි’: ගෝලීය උතුර හා දකුණ අතර පර්යේෂණ සහයෝගිතා තුළ තිබෙන සංකල්පීය හා ශ්රම ධූරාවලි පිළිබඳ ආවර්ජනයක් – වගීෂා ගුණසේකර

පරිවර්තනය: ප්‍රවීන් තිලකරත්න

*The European Journal of Development Research 32 (2020) හි පළ වූ කතුවරියගේම ‘(Un)packing Baggage: A Reflection on the ‘Battle Over Ideas’ and Labour Hierarchies in Collaborative North-South Research’ ලිපිය ඇසුරෙනි.

හැඳින්වීම

වරෙක මම පාරම්පරික වෙද ශාස්ත්‍රයෙහි නියැලෙන සෙනෙවිරත්න වෙද මහත්තයා සමග රෝග විනිශ්චය, ‘දැනුම’ සහ පර්යේෂණය පිළිබඳ දීර්ඝව සාකච්ඡා කළෙමි. එම සාකච්ඡාවේ, නූතන වෛද්‍ය විද්‍යාව (එනම් ඇලෝපතික වෛද්‍ය විද්‍යාව), ආයුර්වේදය සහ දේශීය දැනුම් පද්ධති ඇසුරෙන් ‘ගැස්ට්‍රයිටිස්’ තත්ත්වය (ආමාශ ප්‍රදාහය) තේරුම් ගන්නා විට භාවිත වන එකිනෙකට වෙනස් සද්භාවවේදී හා ඥානවිභාගී රාමු වෙතට අපගේ අවධානය යොමු විය. ගැස්ට්‍රයිටිස් කුමක් ද යන්න පිළිබඳ මට විස්තර කර දීමෙන් පසු, තම ශාස්ත්‍රයට හා දැනුම් පද්ධතියට අනුව ‘සෞඛ්‍ය සම්පන්න වීම’ යනු පුද්ගලයකු රෝගයෙන් තොර වීම පමණක් නොවේ යැයි වෙද මහත්තයා කියා සිටියේ ය. ‘මෙය සෞඛ්‍යයේ එක් පැත්තක් පමණයි; සමස්තය නොවේ’ යැයි ඔහු පැවසුවේ ය. ඔහුට අනුව, සෞඛ්‍යය යනු පුද්ගලයකුගේ ශරීරය, මනස, සහ මේ සියල්ලටම වඩා වැදගත් වන ‘ශක්තීන්’ හෝ ජීව බලයන් නිසි මට්ටමක තීව්‍රතාවකින් යුතුව ක්‍රියාත්මක වීමයි.

ආකර්ෂණීය අනාගත පර්යේෂණ සඳහා අලුත් අදහස් මා සමග බෙදා ගැනීමට විවිධ අනාගත සහයෝගිතාකරුවන් පැමිණෙන අවස්ථාවල ම’සිතේ හටගන්නා විවිධ උභතෝකෝටිකයන් හා ගැටළු වෙද මහත්තයා සමග කළ මේ සාකච්ඡාවේදී මට සිහි විය. මා හමුවීමට එසේ පැමිණෙන බොහෝ සහයෝගිතාකරුවෝ ගෝලීය උතුරෙහි (global North) වැඩ කරන පර්යේෂකයෝ වෙති. ඔවුහු බොහෝ දෙනෙක් විශ්වවිද්‍යාලවලට සම්බන්ධ, විටෙක අත්දැකීම් බහුල, විටෙක ආදුනික විද්‍යාර්ථියෝ වෙති. නැතිනම් පෞද්ගලික පර්යේෂණ සංවිධානවලට අනුබද්ධ පර්යේෂකයෝ වෙති. මෙවන් හමුවීම් හැමෙකකම පාහේ සමාජ විද්‍යා ක්ෂේත්‍රය තුළ යම් හෝ දෙයක් පර්යේෂණය කිරීමේ අරමුණ හා අපේක්ෂාව මා උද්‍යෝගමත් කළ ද, සහයෝගිතාව (එනම් ‘collaboration’) යන වදන සෑම අවස්ථාවකම මා තුළ යම් චකිතයක් උපද්දවයි. ගෝලීය දකුණෙහි (global South) වැඩ කරන පර්යේෂිකාවක වන මා හට ‘සහයෝගිතාව’ විවිධ අප්‍රකාශිත ප්‍රශ්න හා පරදු සමග පැමිණෙන්නක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. අපි මෙය ‘ප්‍රශ්න පොදියක්’ ලෙස හඳුන්වමු. ඉංග්‍රීසි භාෂාවේ ‘baggage’ කියන වදනයි මට මෙතැන සිහිවන්නේ. ඉතිං, පසුගිය කාලය තුළ අතිශය විවාදජනක වූ ප්‍රශ්න කාණ්ඩ දෙකක් මේ ප්‍රශ්න පොදියට ඇතුළත් ය. එක් ප්‍රශ්න කාණ්ඩයකට අයත් වන්නේ මෙවන් පර්යේෂණ සහයෝගිතාවල – දැන් තිබෙන විලාසිතාවට අනුව කියනවානම්, ‘හවුල්කාරිත්වවල’ (partnerships) – පවතින අසමාන බල සබඳතා සමග ගනුදෙනු කිරීමේලා තිබෙන ගැටළු ය. අනෙක් කාණ්ඩයට ඇතුළත් වන්නේ පර්යේෂණයක සංකල්පන ක්‍රියාවලිය පිළිබඳ කතිකා කිරීම වටා තිබෙන ප්‍රශ්නයි. මෙම කාණ්ඩ අන්‍යොන්‍ය වශයෙන් බහිෂ්කාරී නොවේ. එකක් අදහස් සම්බන්ධයෙන් වන ‘සංකල්පීය ගැටුමක්’ වන අතර අනෙක ‘ගෝලීය දකුණේ පර්යේෂකයාට ස්වාධීනව මෙම අධ්‍යයනය ඇසුරෙන් පත්‍රිකා ආදිය පළ කිරීමට අයිතිය තිබෙනවා ද’ වැනි ප්‍රායෝගික ප්‍රශ්නවලින් ඇතිවන ගැටුමක් බව සත්ත ය. එනමුත්, මේ දෙකටම හේතු වන්නේ පර්යේෂකයන් හා විද්‍යාර්ථීන්ට අදාළ ගෝලීය උතුර හා දකුණ අතර පවතින දැඩි ධූරාවලියයි. පර්යේෂණයක ප්‍රධාන විමර්ශකයා සෑම විටකම පාහේ බටහිර ලෝකයේ දියුණු රටකින් එන, මූල්‍ය සම්පත්වලට ද සුජාතක (legitimate) ලෙස සැලකෙන තොරතුරු හා දැනුම යන සම්පත්වලට ද වැඩි ප්‍රවේශ ලාභියෙක් ය. මා වැනි ගෝලීය දකුණෙන් එන ‘සහයෝගිතාකාරිනියකට’ පර්යේෂණය යන්නම ඉඳ හිට පමණක් හමුවන සැපතක් ය. අප සම්පත් සඳහා කැඹිරීමට අමතරව යම් පර්යේෂණයක සංකල්පනය සඳහා අපට ද ක්‍රියාකාරී භූමිකාවක් තිබේ ද නැතිනම් අපගේ ප්‍රවේශවීමට පෙර සංකල්පනය කරන ලද පර්යේෂණයක් තුළ අප හුදු ‘සහකාරයන්’ පමණක් ද යන ප්‍රශ්නය සමග පොර බදිමින් අරගල කිරීමට ද සිදුවේ. පර්යේෂණ ව්‍යාපෘතිය හිමි ගෝලීය උතුරේ පර්යේෂකයා හා මා වැනි සහයෝගිතාකරුවන් අතර තිබෙන දැනුම් නිෂ්පාදන ධූරාවලිය ගෝලීය දකුණේ පර්යේෂකයන්ගේ බුද්ධිමය වර්ධනයට හා හැකියාවන්ට ගරු කිරීමට ඇති අවකාශය සීමා කරයි. තව ද, මෙවන් පර්යේෂණවල තිබෙන සූරාකන ප්‍රවණතාව මෙමගින් වඩාත් උඝ්‍ර වේ. මෙම රචනයේ, පර්යේෂණ ක්‍රියාවලිය තුළ පවතින සංකල්පීය හා ශ්‍රම ධූරාවලි පිළිබඳ ආවර්ජනයක් මා ඉදිරිපත් කරන්නේ පර්යේෂණ සහයෝගිතා සම්බන්ධව මා සතු වසර පහළොවක පමණ අත්දැකීම් ඇසුරෙනි.

 

පර්යේෂකයා සහ ‘දත්ත කොටළුවා’: පර්යේෂණ ශ්‍රම විභජනයේ අසමානතා

දැනුම් නිෂ්පාදන කර්මාන්තය තුළ නානාවිධ ව්‍යුහාත්මක ධූරාවලි පවතියි. ‘පර්යේෂණය යනු කුමක් ද?’ යන ප්‍රශ්නයට පිළිතුරු සැපයීමේදී, එනම් පර්යේෂණය නිර්වචනය කරද්දී දෙනු ලබන ආධිපත්‍යක පිළිතුරු සහ ඒවා හා සම්බන්ධ දෘෂ්ටීන් සලකා බලන විට මෙම ධූරාවලි විශේෂයෙන් අවබෝධ කරගත හැකි වේ. ගෝලීය දකුණ ආශ්‍රිතව සිදු කරන ලද පර්යේෂණවල සූරාකෑම සහජ ලක්ෂණයක් වන අතර, මෙම පර්යේෂණ අන්තර්ජාතික ප්‍රාග්ධන ප්‍රවාහයන් හා සමීපව බැඳී ඇත. ඒ අනුව, ගෝලීය උතුරෙන් පැමිණෙන පර්යේෂකයෝ බොහෝ දෙනෙක් දියුණු වන ලෝකයේ රටවලට ප්‍රවේශ වන්නටත් පෙර සිය පර්යේෂණ සැලැස්ම සකස් කොට, පර්යේෂණ ව්‍යාපෘතියම සංකල්පනය කර දමති. මෙහි අවුත් ඔවුහු කරන්නේ මෙම ‘පෙර සූදානම් කරන ලද’ – ‘රෙඩී මේඩ්’ – ව්‍යාපෘති සඳහා දත්ත රැස් කිරීම, නැතිනම් ‘දත්ත කැනීම’ පමණි. පර්යේෂණ වටිනාකම් දාමය තුළ ගෝලීය උතුරේ පර්යේෂකයා බොහෝ විට ප්‍රමුඛ ස්ථානයක් ලබා ගන්නා අතර ඔහු හෝ ඇය සංකල්පනය, පර්යේෂණ සැලැස්ම නිර්මාණය කිරීම, විශ්ලේෂණය, ලේඛනය හා පළ කිරීම වැනි කාර්යයන් ඉටු කරයි. ගෝලීය දකුණේ පර්යේෂකයාට හිමි වන්නේ මීට හාත්පසින් වෙනස් කළමනාකාර රාජකාරියක් ය. බිම් මට්ටමේ පර්යේෂණය මෙහෙයවීම, දත්ත රැස් කිරීම හා පරිවර්තනය කිරීම, ප්‍රධාන විමර්ශකයා විසින් දත්ත රැස් කිරීමේ ක්‍රියාවලියට පෙරාතුව සකසාගත් ආකෘතියකට අනුව එම දත්ත සංවිධානය කිරීම ආදී රාජකාරියි ඔහුට හෝ ඇයට පැවරෙන්නේ. මින් සිදුවන්නේ ගෝලීය දකුණේ පර්යේෂකයා දත්ත කැනීමේ කාර්යයට ඍජුවම සීමා වීමයි. මෙම දත්තවල උචිතබව ද විනිශ්චය කරන්නේ ඔහු හෝ ඇය නොව පර්යේෂණයේ භෞතික, දේශපාලනික හා සංස්කෘතික සන්දර්භය පිළිබඳ එතරම් ගැඹුරු අවබෝධයක් නොමැති දුරස්ථ විද්‍යාර්ථියන් ය. ගෝලීය දකුණේ පර්යේෂකයන් කෙතරම් දක්ෂ වුවත්, ඔවුන්ට කෙතරම් බුද්ධිමය කර්තව්‍යයක් ඉටු කිරීමට හැකියාව තිබුණත්, මෙවන් සැකස්මක් තුළ ඔවුන් හුදු ‘දත්ත කොටළුවන්’ පමණි. දැනුම් නිෂ්පාදන ක්‍රියාවලියේ මෙම පර්යේෂකයන්ගේ භූමිකාව සඳහා අවශ්‍ය වන්නේ සාපේක්ෂව ‘පහත් පෙළේ කුසලතා’ වන හෙයින් ඔවුන්ගේ ශ්‍රමය ක්ෂණිකව අවතක්සේරු වේ; එම ශ්‍රමය වෙනුවෙන් ලැබෙන මූල්‍ය හා බුද්ධිමය ප්‍රතිලාභ ‘ඉහළ පෙළේ කුසලතා’ භාවිත කරන ගෝලීය උතුරේ පර්යේෂකයාට ලැබෙන ප්‍රතිලාභ හා සසඳන විට සොච්චමක් ය.

මෑතක් වනතුරු ගෝලීය දකුණේ පර්යේෂකයන් ලේඛන ක්‍රියාවලියට සහභාගී නොවූ බැවින් පර්යේෂණ පත්‍රිකාවල කතුවරුන් ලෙස ඔවුන්ගේ නම් සඳහන් නොවිය. ඔවුන්ගේ නම් සඳහන්වන අවස්ථාවල ද ඒ මුල් පිටුවල කුඩා අකුරින් මුද්‍රණය කළ ස්තුති සටහන්වල ය. දිනෙක අපගේම ආස්වාදය සඳහා මා ද මාගේ සගයකු ද අප අතීතයේ සහභාගී වූ පර්යේෂණවලින් පළ වුණු පත්‍රිකා යළි පෙරළා බැලුවේ අපගේ නම් මෙසේ කුඩා මුද්‍රණයේ වුව සඳහන් වන තැන් හා වාර ගණන බැලීම පිණිසයි. (ඇත්තෙන්ම මෙසේ කිරීමට හැකියාව උදාවූයේ ‘පරිත්‍යාගශීලී’ ප්‍රධාන විමර්ශකයින් විසින් අපට ද නොමිලේ පිටපත් ලබා දුන් පර්යේෂණ පත්‍රිකා සඳහා පමණි; ඇතැමුන් එසේ කරන්නේ ද නැත!) වසර දහයකට වඩා පැරණි පත්‍රිකාවලින් අඩක පමණි දත්ත රැස්කිරීමේලා අපගේ දායකවීම පිළිබඳ සඳහනක්වත් කර තිබුණේ. එනමුත් වඩාත් අලුත් පත්‍රිකාවලින් වැඩි ප්‍රමාණයක අපගේ නම් ස්තුති සටහන්වල සඳහන් කොට තිබුණි. ඒ අනුව, ගෝලීය දකුණේ සහයෝගිතාකරුවන් තමන්ගේ හඬ නැගීමට දැන් දැන් වඩවඩාත් උත්සුක වන නිසාවෙන් පෙර පැවති තත්ත්වය කෙමෙන් වෙනස් වෙමින් පවතියි. මෙසේ නම් සඳහන් කිරීම ගෝලීය දකුණේ පර්යේෂකයන්ගේ සිත් සුව කරන, ඉහේ මල් පුබුදුවන හුදු ‘ඊගෝ බූස්ට්’ එකක් නොව, ගෝලීය පර්යේෂණ වටිනාකම් දාමය තුළ තම ශ්‍රමයේ අගය සඳහා තථ්‍ය ප්‍රතිවිපාක ඇති කරවන දේශපාලන ක්‍රියාවකි.

එහෙත් ක්ෂේත්‍ර වැඩ සඳහා ඉමහත් සේ දායකවන ගෝලීය දකුණේ පර්යේෂකයන් කතුවරුන් ලැයිස්තුවට ඇතුළත් වන්නේ ඉතා කලාතුරකිනි. ස්වාභාවික විද්‍යාවන් තුළ ලේඛනය සඳහා දායක නොවන පර්යේෂකයන් ද කතුවරුන් ලෙස සඳහන් කිරීමේ ප්‍රවණතාව ඉහළ යමින් තිබුණ ද, සමාජ විද්‍යා තුළ මෙම භාවිතය බහුල නොවේ. සමාජ විද්‍යා ක්ෂේත්‍රයේ බොහෝ විට කතුවරුන් ලෙස සඳහන් වන්නේ ගෝලීය උතුරේ පරයේෂකයන් ය. කතුවරුන් තම පත්‍රිකා සංකල්පනය කර, ඒවාහි අන්තර්ගත නිසි ලෙස ප්‍රකාශ කර, විශ්ලේෂී ලේඛනයක් ඉදිරිපත් කරන ලෙස බොහෝ සමාජ විද්‍යා සඟරා ඉල්ලා සිටියි. ගෝලීය දකුණේ පර්යේෂකයන් වැඩි දෙනෙකුට මෙවැන්නක් කිරීමට ආත්මශක්තියක් නොමැත්තේ ඔවුන්ට සිය අදහස් ප්‍රකාශ කරගැනීමට නොහැකි නිසා නොවේ. සඟරාවක් හා එහි සංස්කාරකයන් අයත්වන විශේෂිත න්‍යායාත්මක කඳවුර වටහාගැනීමට නොහැකි වීම, එම විෂයේ හෝ ක්ෂේත්‍රයේ ආධිපත්‍යය දරන උගතුන් කතා කරන ශාස්ත්‍රීය ‘භාෂාව’ අවැසි අයුරට හැසිරවීමට නොහැකි වීම, සහ ‘එකම දේ වෙනත්/අලුත් ආකාරයකින් කීම’ (ශාස්ත්‍රීය ප්‍රකාශනයේ ඉතා බහුල භාවිතාවක්) තම පර්යේෂණය පළ කිරීමට සුදුසු කාරණයක් ලෙස නොසිතීම මීට හේතු ලෙස දැක්විය හැක. මීට අමතර තවත් හේතු ගණනාවක් ද වේ. නිදසුනක් ලෙස, ගෝලීය දකුණේ පර්යේෂකයන් බොහෝ දෙනෙකුට සිය විෂයට අදාළ ශාස්ත්‍රීය විවාද ආදිය කියවීමට අවස්ථාව නොමැති වන්නේ බොහෝ ශාස්ත්‍රීය සඟරා සඳහා විශාල දායක ගාස්තුවක් ගෙවීමට සිදුවන නිසාවෙනි. එනමුත්, ඇතැම් අවස්ථාවල තම දිවිය ද පරදුවට තබමින් අධ්‍යයනයක් සඳහා අවශ්‍ය සියලුම දත්ත පාහේ රැස් කරන ගෝලීය දකුණේ පර්යේෂකයා කතුවරයකු ලෙස නම් නොකිරීමේ සම්මතිය ඔවුන්ගේ පර්යේෂණ ශ්‍රමයේ අගය අවතක්සේරු වීම යන කාරණය තව තවත් ස්ථිර කරවයි. සඳහන් නොවීම තුළින් ඔවුහු අදෘශ්‍යමාන වී යති; පර්යේෂණ සඳහා අනිවාර්ය වන මොවුහු හුස්ම ගනිමින් ජීවත් වන මනුෂ්‍යයන් වන බව අමතක වී ගොස් හුදු සේයා බවට පත්වෙති. ගෝලීය දකුණේ පර්යේෂකයන්ට මෙම අවභාවිතාව හේතුවෙන් භෞතික ප්‍රතිවිපාකවලට ද මුහුණ දීමට සිදුවේ. පර්යේෂණ පත්‍රිකාවල කතුවරුන් ලෙස සඳහන් නොවීම ඔවුන්ගේ වෘත්තිමය ප්‍රවර්ධනය සඳහා හානිදායක වන අතර, ඔවුන් විශ්වවිද්‍යාලයක වැඩ කරන්නේ නම්, ඔවුන්ගේ නිලයෙන් උසස්වීම් ප්‍රමාද වීම සඳහා ද මෙය ඍජුවම බලපායි.

‘දත්ත කොටළුවෙකු’ බවට පත්වීමේ වැඩි අවධානමක් තිබෙන්නේ ගෝලීය දකුණේ සංවිධානවලට (‘තින්ක් ටෑන්ක්’, එන්.ජී.ඕ, අයි.එන්.ජී.ඕ, ආදිය) අනුබද්ධ පර්යේෂකයන්ට ය. කොළඹ පිහිටි පර්යේෂණ සංවිධානයක වසර කිහිපයක් වැඩ කළ මම පර්යේෂණ සඳහා අරමුදල් සපුරාගැනීමට තිබෙන පීඩනය සහ අපහසුව මනාව අත්විඳ ඇත්තෙමි. දශක තුනක සිවිල් යුද්ධය පැවති සමයේ ගැටුම සම්බන්ධ පර්යේෂණය සඳහා විශාල ජාත්‍යන්තර අරමුදල් ලැබිය හැකිව තිබුණි. එනමුත් ‘පශ්චාත් යුද’ සමයේ පර්යේෂණ සඳහා වෙන් කෙරුණු අරමුදල් (ඒ ද ජාත්‍යන්තර සංවර්ධන විශේෂඥයින්ට වුවමනා කරන සංවර්ධන ක්ෂේත්‍රයේ පර්යේෂණ සඳහා තිබෙන අරමුදල්) ගලා එන්නේ සාපේක්ෂ වශයෙන් ඉතා සෙමින් ය. ගෝලීය දකුණේ පර්යේෂණ සංවිධාන අරමුදල් ලබාගැනීම සඳහා බොහෝ අවස්ථාවල ගෝලීය උතුරේ ආයතනවල හා විද්‍යාර්ථියන්ගේ පිහිට පතයි. අරමුදල් ලබා ගැනීමේ අරමුණ නිසා ඔවුනට බොහෝ විට සිදු වන්නේ තමන් හා තරඟ කරන සෙසු සංවිධානවලට වඩා අඩු අයවැයක් යෝජනා කොට, පර්යේෂණයේ බුද්ධිමය පැතිවල සිය භූමිකාව අවම කරගැනීමට ද දත්ත කැනීමට හා පර්යේෂණ අමුද්‍රව්‍ය සැපයීමට ද පමණක් එකඟ වීමයි. පර්යේෂණ ප්‍රතිදාන – නැතහොත් outputs – කාලවේලාවට බාරදීමත්, පර්යේෂණ ක්‍රියාවලියට දායක වෙමින් සාකච්ඡා කිරීම හා ක්‍රියාවලිය පිළිබඳ ගැඹුරු ආවර්ජනයක යෙදීමත් යන විකල්ප දෙක අතර වාසිය ඇත්තේ පළමුවැන්නටයි. ගෝලීය දකුණේ සංවිධාන කලටවේලාවට බාර දිය යුතු දත්ත හා තොරතුරු මදක් හෝ ප්‍රමාද වෙතැයි ගෝලීය උතුරේ පර්යේෂකයන් හා ආයතන හට තිබෙන චකිතය මගින් සිදු වන්නේ උතුරේ ආයතන විසින් අධීක්ෂකවරුන්ගේ වේශය ගෙන දකුණේ සංවිධාන කෙරෙහි අවමන් සහගත ආකල්පයක් ඇති කරගැනීමයි. කාලවේලාවට බාර දිය යුතු දෑ බාර දී ගෝලීය උතුරේ ප්‍රධාන විමර්ශකයන් සතුටු කිරීමේ අරමුණින්, සිය කණිෂ්ඨයින් විසින් නව අදහස් ඉදිරිපත් කිරීම හා අධ්‍යයනයක සංකල්පීය රාමුව විවේචනයට ලක් වන අයුරින් දත්ත හෝ සොයාගැනීම් අර්ථකථනය කිරීම දකුණේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෝ නිතර අධෛර්යමත් කරති. මෙය විවෘතව හා සිතාමතා සිදුවන්නක් නොවේ. ඇත්තෙන්ම බොහෝ සංවිධානවල කණිෂ්ඨ පර්යේෂකයන්ට සංකල්පීය සාකච්ඡාවලට සහභාගී වීමට අවකාශ තිබේ. එනමුත් කණිෂ්ඨ පර්යේෂකයන් අතර ද ධූරාවලි පවතියි. විදේශීය උපාධි තිබෙන, ඉංග්‍රීසි භාෂා කුසලතා සතු, නැතහොත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් පෞද්ගලික අංශයේ අධ්‍යාපන ආයතනවලින් ඉගෙනගැනීම හේතුවෙන් විශේෂිත සංකල්ප හා නියැලීමට පුළුවන්කමක් තිබෙන, (බොහෝ විට සමාජයේ ඉහළ පංතිවලින් පැමිණෙන), කණිෂ්ඨ පර්යේෂකයින් ය එවන් සාකච්ඡාවල වඩාත් කැපී පෙනී ඉදිරියට යන්නේ. රජයේ විශ්වවිද්‍යාල පද්ධතියෙන් බිහි වුණු, ඉංග්‍රීසි භාෂා කුසලතාව මදක් අඩු, සාපේක්ෂ ලෙස ඉහත කී විශේෂිත සංකල්පවලට අඩුවෙන් නිරාවරණය වුණු කණිෂ්ඨ පර්යේෂකයෝ බහුතරය බොහෝ විට රැස්වීම්වලදී නිහඬ වෙති. එක් වරෙක කණිෂ්ඨ පර්යේෂිකාවක මා සමග රහසේ කියා සිටියේ, රැස්වීමකදී සාකච්ඡා වූ කාරණා ඇගේ සිහියට ද ඒ හා සමාන අයුරකින් නැගුණ නමුත් ‘අරගොල්ලෝ ඒවා ගැන කියන විදිහට මට කියන්න තේරෙන්නෑ’ යි කියා ය.

ගෝලීය දකුණේ පර්යේෂණ ආයතනවල යොදාගැනෙන ව්‍යාපාර ආකෘති මෙන්ම ඒවායින් හටගැනෙන පර්යේෂණ මෙහෙයුම් ක්‍රියාවලි නිසා කණිෂ්ඨ පර්යේෂකයන් – විශේෂයෙන්ම දේශීය භාෂා කුසලතා මනාව තිබෙන පර්යේෂකයන් – සංකල්පීය රාමු හා න්‍යාය පිළිබඳ සාකච්ඡාවලට සහභාගී වීම සීමා වේ. දකුණේ පර්යේෂණ ආයතන එකවර පර්යේෂණ ව්‍යාපෘති බොහොමයක නියැලෙයි. සහයෝගිතාවේ කොටසක් ලෙස ඔවුහු ‘ක්ෂේත්‍ර වැඩ’ හෙවත් ‘ෆීල්ඩ් වර්ක්’ කරති. පශ්චාත් යුද සමයේ ශ්‍රී ලංකාව තුළ මෙසේ ‘ෆීල්ඩ් එකට යාම’ විශේෂ අරුතක් හිමිව ඇති යෙදුමක් බවට පත්වී ඇත. පර්යේෂකයන් මෙරට යුද්ධයේ ‘රංග භූමි’ වූ උතුරු සහ නැගෙනහිර පළාත්වලට සංචාරය කිරීම පර්යේෂණ ක්‍රියාවලියේ වැදගත් අංගයක් වී තිබේ. පසුගිය වසර දහය තුළ ගෝලීය උතුරේ පර්යේෂකයන් මෙරටට රංචු පිටින් පැමිණියේ ‘පශ්චාත් යුද ශ්‍රී ලංකාව’ අධ්‍යයනය කිරීමට ය. යුද්ධය පිළිබඳ ඔවුන්ට තිබූ පූර්ව-අවබෝධය නිසා ඔවුන් යුහු යුහුව දිව ගියේ උතුර සහ නැගෙනහිර යන මේ යුද්ධ රංග භූමි දෙසට ය. මේවා දෙමළ ප්‍රධාන භාෂාව වන ප්‍රදේශ බව අමුතුවෙන් කිව යුතු නොවේ. මෙසේ ‘තොග පර්යේෂණය’ සඳහා ඉතා ඉහළ ඉල්ලුමක් තිබූ හෙයින් සංවිධාන විසින් කණිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයන් බඳවා ගැනීමේ මූලික කොන්දේසිය වූයේ ඔවුන්ගේ භාෂා කුසලතා ය. මොවුන්ගේ ඉංග්‍රීසි කුසලතාවට වඩා දේශීය භාෂා කුසලතා – එනම් සිංහල හෝ දෙමළ කුසලතා – මහත් සේ උසස් ය. මෙවන් කණිෂ්ඨ පර්යේෂකයන් ය මෙම පද්ධතිය තුළ වඩාත්ම අවාසියට ලක් වන්නේ.

යුද්ධයට පසු, 2012 වසරේ පමණ, මා ද කොළඹ පිහිටි පර්යේෂණ සංවිධානයකට අනුබද්ධව වැඩ කළ අතර, එම සංවිධානය ද දිවයිනේ ‘නොදන්නා’, වැඩි දෙනෙකු නොයන ප්‍රදේශ ගවේෂණය කිරීමේ යෙදී සිටියේ ය. වාචික හා ලිඛිත පරිවර්තනය මෙන්ම පිටපත් කිරීම යන කාර්යයන් දෙකට පමණක් බඳවා ගනු ලැබූ කණිෂ්ඨ පර්යේෂකයන් රැසක් සමග මම මේ කාලයේ වැඩ කළෙමි. වැඩිම පැය ගණනක් වැඩ කළේ මෙම පර්යේෂකයන් ය. ඔවුන්ට පැවරී තිබූ කාර්යය ඉතා වෙහෙසකර එකක් වුණි. ඔවුන් බොහෝ දෙනෙකු පර්යේෂණය සඳහා නැඹුරුවක් තිබූ නැගී එන පර්යේෂකයන් වුව ද ඔවුන්ගේ නිර්මාණශීලිත්වයට කිසිදු අවකාශයක් නොතිබුණි. දවස පුරා ඔවුන් නිරන්තරයෙන් කළේ ප්‍රශ්නාවලි හා සමීක්ෂණ පරිවර්තනය කිරීම, රාජ්‍ය නිලධාරීන් දුරකථනයෙන් ඇමතීම, අප වෙනුවෙන් සම්මුඛ සාකච්ඡා පැවැත්වීම, සහ එම සාකච්ඡා පිටපත් කර පරිවර්තනය කිරීමයි. ‘ක්ෂේත්‍ර වැඩ’ එනම් ‘ෆීල්ඩ් වර්ක්’ සඳහා ඔවුන් උතුරේ හා නැගෙනහිර පළාත්වල යුද්ධයෙන් පීඩාවට පත් වූ ප්‍රදේශවලට පටවා යවන ලදි. ‘ෆීල්ඩ් ට්‍රිප්’ එකකට දවස් පහක් පමණ ගත වුව ද සමීක්ෂණයක් සඳහා බොහෝ කාලයක් ගත වුණි (අවම වශයෙන් මාසයක්; බොහෝවිට ඊට වැඩි කාලයක්). ඔවුන්ගේ කාලයෙන් වැඩි ප්‍රමාණයක් ඔවුන් ගත කළේ ෆීල්ඩ් එකේ ය. එහෙත් කොළඹ කාර්යාලයට යළි පැමිණෙද්දී කාලවේලාවට නිම කළ යුතු යාන්ත්‍රික වැඩ කන්දක් ඔවුන් එන තුරු මග බලා සිටියේ ය. මෙවන් පර්යේෂකයෝ සංවිධානය විසින් කළ සෑම ව්‍යාපෘතියක් සඳහාම වැඩ කළහ. පර්යේෂණ පත්‍රිකාවක් ලියන ලෙස ඔවුන්ගෙන් කිසි දිනෙක කිසිවෙකු ඉල්ලා සිටියේ නැත. එසේ කිරීමට ඔවුන්ට කිසිදු වේලාවක් ද තිබුණේ නැත. ඔවුන්ගෙන් වැඩි දෙනෙකුගේ ශාස්ත්‍රීය ලේඛන කුසලතා හොඳ මට්ටමක නොතිබූ අතර ඔවුන් සම්බන්ධ වී සිටි ව්‍යාපෘතිවලට අදාළ විෂයානුබද්ධ සාහිත්‍යය පිළිබඳ නිසි දැනුමක් ඔවුන්ට නොතිබුණේ නම්, ඊට ප්‍රධානතම හේතුවක් වූයේ ඔවුන්ගේ රාජකාරියේ ස්වභාවයයි. ජ්‍යෙෂ්ඨ පර්යේෂකයකු යටතේ වැඩ කිරීමට, එවැන්නෙකුගෙන් නිසි විශ්ලේෂී කුසලතා මෙන්ම සංකල්ප හා න්‍යාය පිළිබඳ දැනුමක් ද ලබා ගැනීමට ඔවුන්ට කිසිදු ඉඩකඩක් නොතිබුණි. ඔවුන්ට විවේකයක් නිවාඩුවක් ද නොතිබුණු තරම් ය. දිවා රෑ පුරා ඔවුන් ගාල් කොට දිවයිනේ දුෂ්කර ප්‍රදේශවලට පිටකර හරිනු ලැබුවේ ව්‍යාපෘති සඳහා දත්ත පමණක් රැස් කිරීමට ය. මෙම පර්යේෂකයන් සමහර දෙනෙකු මෙවන් සංවිධාන කිහිපයක් සඳහා ද වැඩ කළ අතර මොවුන් සලකනු ලැබුවේ ‘ඉහළ පිරිවැටුමක්’ ඇති සේවකයන් ලෙස ය.

මෙවන් පර්යේෂකයන් හට ‘ඉහළ පිරිවැටුම්’ තිබීමට හේතු ගණනාවකි. ‘ක්ෂේත්‍ර කොටළුවන්’ ලෙස සංවිධානයකට බැඳී මාස කිහිපයක් ගතවෙත්ම මෙවන් රැකියාවක ඉහළට යා නොහැකි බව, තනතුරෙන් උසස් විය නොහැකි බව ආදිය මොවුහු වටහාගනිති. වසරක් පමණ ගත වූ විට සිය රාජකාරියේ යාන්ත්‍රික බවිනුත් නිසි පිළිගැනීමක් හා හොඳ ප්‍රතිඵල නොමැති බැවිනුත් මොවුහු වෙහෙසට පත් වෙති. ඔවුන්ගේ පඩි අඩු ය. ගෝලීය උතුරේ කණිෂ්ඨ පර්යේෂකයන්ට විවිධ රටවලට ගොස් තමන් රැස් කළ දත්ත ඇසුරෙන් පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීමට වරප්‍රසාද තිබුණ ද, මොවුන්ට ඒවා සිහිනයකින්වත් නොලැබේ. ශ්‍රී ලංකාවේ කණිෂ්ඨ පර්යේෂකයකුගේ මාසික වැටුප රුපියල් 25,000ක් පමණ වන අතර, මෙය මෙරටට පැමිණෙන ඇතැම් විදේශීය පර්යේෂකයන්ගේ අතට හමුවන දෛනික මුදලටත් වඩා බෙහෙවින් අඩු ය. තම අභිලාෂ අත්කරගැනීමට හික්මීමක් තිබෙන, යම් ලෙසකින් මුල්‍යමය හැකියාවක් ද තිබෙන එවන් පර්යේෂකයෝ ලංකාවේ හෝ පිටරට වැඩිදුර අධ්‍යාපනය සඳහා සැලසුම් කොට නික්ම යති.

එහෙත් තෙවන අනු-කාණ්ඩයක් ද තිබේ. මෙය දිගින් දිගටම මෙම යාන්ත්‍රික රාජකාරියේ නියැලී සිටින පර්යේෂකයන්ගෙන් සමන්විත අනු-කාණ්ඩයයි. මේ පර්යේෂකයෝ දශකයක පමණ කාලයක් එකම වැඩය කොට සිය ශ්‍රමය පිළිබඳ කලකිරීමෙන් සිටින අය වෙති. එහෙත් ඔවුන්ගේ වෘත්තිය වෙනස් කිරීමට ඔවුන්ට සිතක් නැත්තේ දැන් තමන් වයස වැඩිය, දැන් මහන්සි වැඩිය, හෝ අතේ මුදල් නැතිය යන හේතු නිසාවෙනි. එක් අතකින් මෙම ඉරණම ‘භාෂා කුසලතාවේ සාපය’ ලෙස නම් කළ හැකි ය. ඒ, සිය භාෂා කුසලතා නිසාවෙන්ම පර්යේෂණ ක්ෂේත්‍රයේ රැකියාවක් ලැබ, එම කුසලතා නිසාවෙන්ම යාන්ත්‍රික වැඩ කන්දක් පාමුල බඩගාමින් සීමිත භූමිකාවක් ඉටු කරමින් ‘කණිෂ්ඨ පර්යේෂක’ යන ආදුනික රැකියාවේ සදහටම සිරවන බැවිනි. මෙය කිසි ලෙසකින් අවමන් කළ යුතු ලේසි පහසු රාජකාරියක් නොවුන ද මෙම තත්ත්වය ගෝලීය දකුණේ ආයතනවල පර්යේෂකයන්ගේ බුද්ධිමය වර්ධනයට බෙහෙවින් හානිකර වේ. ඒ අනුව දැනුමේ ගුණාත්මකභාවය දෙගොල්ලක් ඔස්සේ අඩු වේ: පළමුවැන්න නම්, ගෝලීය දකුණේ සමාජ සහ ආයතන ඒවාට අනන්‍ය වූ සංකල්ප හරහා තේරුම්ගැනීමේ හැකියාව අඩාල වීමයි. දෙවැන්න නම්, ගෝලීය උතුරේ පැරඩයිම හා සංකල්පීය රාමු ගෝලීය දකුණෙන් නිසි ලෙස විවේචනයට භාජනය නොවීමයි. දැනුම සම-නිර්මාණය කිරීම (co-creation) සඳහා පර්යේෂණ සබඳතාවල ඇති වටිනාකම දැන් දැන් වඩාත් පිළිගෙන තිබුණ ද ප්‍රායෝගික මට්ටමේ එම වෙනස්කම් සිදුවීමට බොහෝ කාලයක් ගතවේ. පර්යේෂණ ලේඛන හා ප්‍රකාශන ක්‍රියාවලිය තුළින් පර්යේෂණයට අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය සපයන ශ්‍රමයේ වටිනාකම දිගින් දිගටම අවප්‍රමාණය වේ. ව්‍යාපෘතිවල හිමිකරුවන් හා කතුවරුන් හට උසස්වීම් හා කීර්තිය ගෙන දෙන ‘දත්ත කොටළුවන්’ පොත් පත් ද පත්‍රිකා ද පසුපසින් ලගින්නේ හුදු සේයා හා අවතාර ලෙසින් ය.

ඒ අනුව පෙනී යන්නේ ප්‍රබලතම බල විසමතාව ජාත්‍යන්තර මට්ටමෙන් ගෝලීය උතුරේ ප්‍රධාන විමර්ශකයා හා ගෝලීය දකුණේ සහයෝගිතාකරුවා අතර පැවතුණ ද දේශීය මට්ටමෙන් ද ගෝලීය දකුණේ පර්යේෂකයන් අතරත් විවිධ බල ගතිකයන් පවතින බවයි. දැනුම තමන්ගේ බූදලය ලෙස සිතන, යම් යම් පර්යේෂණ ක්ෂේත්‍ර හා තේමා තමන්ට ලියා දුන් දේපළ යැයි සලකන පුද්ගලයන් ගෝලීය දකුණේ විශ්වවිද්‍යාලවල හා පර්යේෂණ ආයතනවල ඇති තරම් සොයාගත හැකිය. මොවුන් රන් බිජු සේ රකින්නේ ද ‘ස්ත්‍රී පුරුෂ සමාජභාවය’, ‘නිවාස කටයුතු’ වැනි අතිශය පුළුල් අධ්‍යයන ක්ෂේත්‍ර ය. ඇතැම් විට ඒ තරඟකාරී පර්යේෂණ වෙළඳපොළක් තුළ තම තත්ත්වය හා පැවැත්ම සුරක්ෂිත ලෙස තබාගන්නා චේතනාවෙන් ය. ඇතැම් විට ඒ තමන් අසීරුවෙන් ප්‍රසිද්ධ කළ දෘෂ්ටිවාදයක් සංරක්ෂණය කිරීමට ය. බොහෝ අවස්ථාවල ඇකඩමියේ සගයෝ සිය මෘදු බලය භාවිත කරමින් එකිනෙකාගේ සින්නක්කර පර්යේෂණ භූමි ආරක්ෂා කරති. කොළඹ ප්‍රසිද්ධ විද්වතෙකු එක් දිනෙක මට කියා සිටියේ ‘දේශපාලන භූගෝලවිද්‍යාවට සම්බන්ධ ඕනෑම දෙයක් X විද්‍යාර්ථියාගේ අධිකාරිය යටතේ’ තිබෙන බවත්, ‘ඇගේ විෂයේ’ මට කරන්නට පුළුවන් දේ සහ බැරි දේ දැන ගැනීම සඳහා ඇය සමග කතා කිරීම යෝග්‍ය බවත් ය. ආදුනික පර්යේෂකයෝ හා අඩු සමාජ ප්‍රාග්ධනයක් හිමි අය (එනම්, සමාජ පන්තියෙන් අඩු හෝ කොළඹ සිටින පුංචි පර්යේෂක ජාලයට ආදුනික අය) මෙවන් බාධකවලට නිතර නිතර මුහුණ දෙති. එනමුත් ‘තරුණ විද්‍යාර්ථියන්ගේ නව පරපුර පෝෂණ කිරීම’ පිළිබඳව, ‘ශාස්ත්‍රීය සහෝදරත්වයේ වැදගත්කම’ පිළිබඳව කතා නම් බොහොම ය.

 

‘අප ඉන්නේ එකම පිටුවේ ද?’: සංකල්පීය රාමු, සන්දර්භය සහ දැනුම

දැනුම් ලෝකයේ සෑම දැනුම් පද්ධතියකටම සම තැනක් හිමි වන්නේ නැත. ගෝලීය උතුරෙන් එන න්‍යාය සාම්ප්‍රදායිකව (සහ අද ලෝකයේත් කූට හෝ අචේතනික ආකාරවලින්) වඩා ප්‍රමුඛ හා විශිෂ්ට ස්ථානයක් හිමි කරගන්නා අතර ගෝලීය උතුරෙන් එපිට අප්‍රකට දැනුම් පද්ධති සඳහා හිමිවන ගරුත්වය සාපේක්ෂ වශයෙන් ඉතා අඩු ය. දේශීය දැනුමෙනුත් න්‍යායයන් ගොඩනැගිය හැකි බවත් විකල්පී ඥානවිභාග ක්‍රම කෙරෙහි උනන්දුවක් ඇත්තන්ට එසේ කිරීමට සම්පූර්ණ අයිතිය තිබෙන බවත් ගෝලීය උතුරේ මාගේ සහයෝගිතාකරුවන් ද විවාදයකින් තොරව පිළිගනු ඇතැයි මම සිතමි. එහෙත්, එවැන්නක යෙදෙන ගෝලීය දකුණේ පර්යේෂකයන්ට අරමුදල් සපුරාගැනීම නම් ඉතා අපහසු කාර්යයක් වන බව (හෝ කළ නොහැක්කක් බව) අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත.

මා නිරන්තරයෙන් නියැලෙන්නේ ගෝලීය උතුරේ චින්තකයන් හා විද්‍යාර්ථියන් විසින් ගොඩනගන ලද ආධිපත්‍යක න්‍යායයන් සහ සංකල්පීය රාමු හා සමග ය. එනමුත් සහයෝගිතාකරුවන් සමග ගනුදෙනු කරන විට, අප නිතර ඉස්මතු කරන කාරණයක් වන්නේ යම් පර්යේෂණයකට පදනම වන ඇතැම් සංකල්ප ලාංකීය සන්දර්භය තුළ අර්ථ විරහිත වීමට, නැතහොත් වෙනත් අර්ථ දනවන ඒවා වීමට හැකියාව නිතර පවතින බවයි. ‘Reconciliation’ සංකල්පය අධ්‍යයනය කිරීමට ශ්‍රී ලංකාව පිළිබඳ දිගටම වර්ධනය වන උනන්දුව මේ සඳහා හොඳ නිදසුනකි. ‘Reconciliation’ යන පදය සඳහා නිර්මාණය වූ දේශීය වචනය වන ‘සංහිඳියාව’ 2009 වසරේ යුද්ධය අවසන් වීමත් සමග රාජ්‍ය කතිකාවට ඇතුළත් වුණි. එනමුත් පොදු ජනතාවට ‘සංහිඳියාව’ වියුක්ත හා නොපැහැදිලි අදහසකි. ඒ, සංහිඳියාව යනු දෛනික අර්ථයක් හෝ හැඟවුමක් කිසි දිනෙක නොතිබුණු වදනක් බැවිනි. එසේනම්, යමෙකුට මෙම සංකල්පය ලංකාව තුළ අධ්‍යයනය කිරීම පටන් ගත හැක්කේ කෙසේ ද? ඒ සඳහා ඇත්තේ කුමන ප්‍රවේශයක් ද? ලංකාවේ පොදු ජනයා එකිනෙකා සමග සාමයෙන්, සහයෝගයෙන් ජීවත් වීම මගින් අදහස් කරන්නේ අනෙකාගේ ජන වාර්ගික, ආගමික, කුල හෝ පන්ති අනන්‍යතාව කුමක් හෝ වුවත් ඔහුට හෝ ඇයට කරුණාව දක්වමින් ජීවත් වීම යන අදහසයි. උදාහරණයක් වශයෙන්, ‘තමාට කරනවාට අකමැති දේ අනුන්ට ද නොකරන්න’ යන කොන්ෆියුසියානු වැකිය ඔවුන්ට වැටහෙන්නට, ඔවුන්ගේ සිත්වලට සමීප වන්නට පුළුවනි. එසේම, ‘අත්හැරීම’ යන බෞද්ධ හා හින්දු ධර්මයන් දෙකෙන්ම කියැවෙන පරම ආධ්‍යාත්මික ඉලක්කය නව ආරම්භ සඳහා සහ බිඳුණු සබඳතා යළි ගොඩනැගීම සඳහා වැදගත් යැයි ඔවුන්ට සිතෙන්නට පුළුවනි. බෞද්ධ හා හින්දු දර්ශනයන් දෙකටම අනුව අතීතයේ මතක තදින් අල්ලා රැස් කොට බදාගෙන සිටීම වනාහි මමත්වය වැඩීමකි. සංසාරය දිගු කරගැනීමකි. නිවන මෙන්ම හින්දු දහමේ එන ‘මුක්තිය’ යන පරමාර්ථ දෙකටම අවශ්‍ය කෙරෙන්නේ යම් අත්හැරීමකි. අතීතයට වාස්තවික පැවැත්මක් නොමැති බවත්, එය පවතින්නේ අපගේ මතකයන් තුළ පමණක් බවත් මෙම දර්ශනවලින් අපට මතක්කර දෙයි. නිරන්තරයෙන් සිදුවීම්වලට ප්‍රතික්‍රියා කරන පුද්ගලයන්ගේ (අප බොහෝ දෙනෙක් මෙවැනි ය) අනුභූතිය සහ වර්තමානය පිළිබඳ ඇති සංජානනය හා අවබෝධය මතකයන් විසින් විකෘති කරනු ලැබේ. ඒ අනුව ක්‍රියාව එහි උත්තේජනය හා ප්‍රමාණුකූල නොවේ; ඵලය හේතුවට ප්‍රමාණුකූල නොවේ. අනන්‍යතාව හඟවන ලාංඡනයක් සේ තම මතකයන් හා චෝදනා නොපළඳින ලෙස බෞද්ධ හා හින්දු ආගම් මගින් ඉල්ලා සිටින්නේ ද එබැවිනි. එනමුත් ශ්‍රී ලංකාවේ සංහිඳියාව පිළිබඳ කතිකාව මෙන්ම ඒ වටා තිබෙන භාවිතාව සඳහා පදනම වන සාරධර්ම සාමාන්‍ය මිනිසුන් සිය ආගම් (හා ඊට පදනම වන දර්ශන) ඔස්සේ සාමය තේරුම්ගන්නා ආකාරයට ඉඳුරා වෙනස් ය. ගැටුම් නිරාකරණ වැඩසටහන් යොදාගන්නා සංහිඳියා ‘ප්‍රථමාධාර කට්ටල’ බොහෝ විට ගොඩනැගී ඇත්තේ මතකය සම්බන්ධයෙන් තිබෙන විශේෂිත විදේශීය භාවිතවලින් ය. එම භාවිතවලට පදනම වන්නේ ප්‍රචණ්ඩත්වය වාචිකව සිහිපත් කිරීමේ තිබෙන විශ්වීය යහපත හෝ ප්‍රතිලාභය පිළිබඳ උපකල්පනයකි. ‘සත්‍යය කීම’ (truth telling) යනු චිකිත්සීය (therapeutic) වටිනාකමකින් යුත් සාමය සඳහා අත්‍යවශ්‍ය ක්‍රියාවලියක් බව වර්තමාන සංහිඳියා කර්මාන්තය විශ්වාස කරන අතර, මෙම විශ්වාසය පැමිණෙන්නේ යුරෝපීය හා උතුරු අමෙරිකානු ඓතිහාසික සන්දර්භවලින් ය. අත්හැරීම මෙන් නොව මෙවන් සංහිඳියා ප්‍රයත්න විසින් අනුබල දෙන්නේ මතකයන් හා අතීත අත්දැකීම් අත් නොහැර තදින් ග්‍රහණය කොට තබාගැනීමට ය. අතීත අත්දැකීම් සමග බැඳීම, අනුස්මරණයේ වැදගත්කම, මතකයේ නිශ්චිත බව හා වටිනාකම යන කාරණා අත්හැරීම ආධ්‍යාත්මික ඉලක්කයක් ලෙස සලකන සංස්කෘතියක වැඩුණු මිනිසුන් මත පටවන විට ව්‍යාකූල තත්ත්වයක් ඇති වේ. සමහර අවස්ථාවල ඔවුනට එවන් ක්‍රියාවන් හා ව්‍යවහාරයන් අවබෝධ කරගත නොහැක. ඒවා සමග සමීප සබඳතාවක් ඇති කරගත නොහැක. සංහිඳියාව සඳහා දේශීය මට්ටමෙන් විකල්ප ආකෘති තිබිය හැකිමුත්, ‘සංහිඳියාව’ යන ශ්ලෝක පාඨය ගයන්නන්ගේ ඇස් කන් මෙවැනි විකල්පවලට වැසී ඇත. ඒ අනුව, සංහිඳියා කර්මාන්තය විසින් ගැටුම් නිරාකරණය සඳහා විශේෂිත ආගන්තුක සාරධර්ම හා තර්කන පද්ධති බලෙන් පැනවීමට උත්සහ දරන බව මාගේ අදහස වේ. මෙම උත්සහ යහපත් චේතනාවෙන් කරන ලද ඒවා විය හැකිය. දේශීය හා ප්‍රාදේශීය මට්ටමේ ගැටුම් නිරාකරණය හා සාමය සඳහා තිබෙන සංස්කෘතික ආකෘති ඔවුන් විසින් නොසලකා හැරීම සිතා මතා කරන ලද්දක් නොවේ විය හැකිය. චේතනාව කෙසේ වුවත්, සංහිඳියාව පිළිබඳ ආනයනය කරන ලද අදහස් මගින් දේශීය/ප්‍රාදේශීය ආකෘති අඩපණ වනවා පමණක් නොව, සාමය අත් කරගැනීම සඳහා තිබෙන විකල්ප මාවත් ක්‍රමානුකූල ලෙස මැකී ගොස් සදහටම වැළලී යාමට පවා ඒවා හේතු විය හැකිය.

ශ්‍රී ලංකාවේ යුද්ධය හා පශ්චාත් යුද සමය තේරුම්ගැනීම සඳහා දැනට හඳුන්වා දෙන පරිදි, සංහිඳියාව යන සංකල්පයට ‘අනෙකා’ පිළිබඳ ඉතා දැඩි, ඍජු හා ඒකාකෘතික අදහස් ඇතුළත් වේ. ඉන් මෙරට යුද්ධය ‘සිංහලුන් හා දෙමළුන් අතර ගෝරියක්’ ලෙස ඉතා සීමිත ආකාරයකින් අර්ථකථනය වන අතර, එමගින් මිනිසුන්ට ඉතා ඍජු හා නොවෙනස්වන අනන්‍යතා ආරෝපණය කරනු ලැබේ. මෙවන් සංකල්පනයකින් සිදුවන්නේ මිනිසුන්ගේ ජනවාර්ගික අනන්‍යතාව අනෙකුත් සියලු දේට වඩා ප්‍රමුඛ කොට සැලකීමකි. එහෙත් දෛනික ගනුදෙනුවල අනන්‍යතාව ඉතා ගතික, ස්ථානෝචිතව රඟ දක්වන ලද, සන්දර්භයෙන් සන්දර්භයට වෙනස් ලෙස බලපාන ප්‍රවර්ගයකි. තවද, වර්තමාන සංහිඳියා මොඩලයන් තුළ ‘පීඩකයා/වැරදිකරුවා’ හා ‘පීඩිතයා/ගොදුර’ ලෙසින් ද්විත්ව විභේදනයක් නිර්මාණය කිරීමක් සිදු වේ. සංහිඳියාව කෙතරම් දුරකට සාර්ථක ද යන්න මැනීමට මෙම මොඩලයන් මගින් විශේෂ අවධානයක් යොමු වුව ද, සාමාන්‍ය මිනිසුන් සංහිඳියාව දෙස බලන අයුරු, ඔවුන් එවැන්නක යෙදෙන අයුරු ආදිය නිවැරදි ලෙස තේරුම් ගැනීමට මෙම මොඩලයන් භාවිත කරන්නන් උනන්දුවක් නොදක්වන නිසා ඔවුන්ගේම අභිප්‍රායන් අසමත් වේ. මොහොතක් නැවතී, අඩි කිහිපයක් පස්සට ගෙන, තම පර්යේෂණ ආකෘති හා සංකල්පවල සීමා මොනවාදැයි පෙරළා සිතීමට, තමා අධ්‍යයනය කරන මිනිසුන්ගේ සංකල්පීය භාෂාව කුමක්දැයි විමසීමට, බොහෝ සහයෝගිතාකරුවෝ කිසිදු උනන්දුවක් නොදැක්වුව ද, ‘ලිකර්ට් පරිමාණ’ ඔස්සේ සංහිඳියාව මනින්නට නම් බොහෝ සේ උනන්දු වෙති. ඒ අනුව, ‘සිංහල සෙබළකු දුටු විට ඔබ කොතරම් කෝප වනවා ද?’: ‘1’ (‘පොඩ්ඩක්වත් කෝප වන්නේ නැත’) සිට ‘5’ (‘අතිශය කෝප වන්නෙමි’) දක්වා වූ පරිමාණයකින් එක් ඉලක්කමක් තෝරන ලෙස ඔවුහු වගඋත්තරකරුවන්ගෙන් (සෙබළුන් සිංහල නිසා වගඋත්තරකරුවන් දෙමළ විය යුතු ය) ඉල්ලා සිටිති. ජාත්‍යන්තර සංවිධානවල අනුග්‍රහය ලැබෙන මෙවැනි පර්යේෂණ, එක්සත් ජාතීන්ගේ සංවිධානය නම් වූ සදාචාරයේ විශ්ව අධිකාරිය විසින් උසුලා තබන සාරධර්ම සරණේ යමින්, සංහිඳියාවටත් ශ්‍රී ලංකාවේ යුද්ධය හා පශ්චාත් යුද සන්දර්භයටත් ප්‍රවේශ වන්නේ මෙසේ ‘අනෙකා’ පිළිබඳ පූර්ව මතයන් අනන්ත ප්‍රමාණයකුත් සමග ය. වෙනස් නොවන, නිර්වචනය කළ හැකි ‘ජනවාර්ගික අනෙකා’ පිළිබඳ මොවුන් අනුගමනය කරන තර්කනය මුල් බැස ඇත්තේ ව්‍යුක්ත යටත්විජිතවාදී අදහස් තුළ ය. පර්යේෂකයන් බොහෝ දෙනෙකු ශ්‍රී ලංකාවේ ‘සංහිඳියා ප්‍රශ්නය’ (එසේ ප්‍රශ්නයක් තිබෙනවානම්) තේරුම්ගැනීමට නම් අඩි කිහිපයක් පස්සට තබා සංකල්ප පිළිබඳ පෙරළා සිතීම වැදගත් බව ප්‍රසිද්ධියේ පවා පිළිගත්ත ද, ඔවුන් ප්‍රායෝගිකව කරන්නේ පෙර සැලසුම් කරන ලද, ‘රෙඩි මේඩ්’, ව්‍යුක්ත න්‍යායික රාමුවලින් සංහිඳියාව ක්ෂණිකව හඳුනාගැනීමට පොරකෑම ය. එසේ කරනු ලබන පර්යේෂණවලින් පළවන පත්‍රිකා ගෝලීය වශයෙන් පිළිගැනීමට ද ප්‍රශංසාවට ද ලක්වන්නට පුළුවන් අතර, එවාහි මූලික සංකල්පනය කිසි විටෙක විවේචනයට ලක් නොවන්නට ද පුළුවනි. මෙනිසා හටගන්නා ප්‍රතිවිපාක බොහොමයකි. මෙවන් පර්යේෂණවලින් ඉදිරිපත් වන දත්ත, සොයාගැනීම, විශ්ලේෂණ ආදිය ජාත්‍යන්තර සංවිධානවල අවධානයට ලක්ව, ඔවුන්ගේ ප්‍රායෝගික කාර්යයන් සඳහා යොදා ගැනෙන විට, දියුණුවන ලෝකයේ රටවලට ඉතා හානිකර ප්‍රතිවිපාක අත් වේ. මෙවන් අදහස්වලින් පෝෂණය ලබන සංහිඳියා වැඩසටහන් ඔස්සේ ජන සමූහ වඩවඩාත් දුරස්ථ වේ; තව දුරටත් දෙකඩ වේ. ගැටුම්වලට හේතු වන සමාජයේ තිබෙන මූලික ප්‍රශ්න, දිගු කලක් සිට පැවත එන අසමානතා හා ව්‍යුහාත්මක ප්‍රචණ්ඩත්වය කෙරෙහි අවධානය යොමු වීමට තිබෙන ඉඩකඩ තවතවත් අවම වේ.

මීට සම්බන්ධ තවත් කාරණාවක් තිබේ. පර්යේෂණ වෘත්තියේ දැන් ප්‍රමාණවත් වසර ගණනක් වැඩකර තිබෙන, ගෝලීය දකුණේ පර්යේෂිකාවක වන මට, සහයෝගී පර්යේෂණවල යෙදෙන විට පර්යේෂණ සොයාගැනීම් (එනම්, පුද්ගලයකු සාකච්ඡාවකදී, කතාබහකදී කියන විවිධ දේ) ගෝලීයව පිළිගැනෙන ශාස්ත්‍රීය භාෂාවකට ඔබින ආකාරයකට අර්ථකථනය කිරීමට පැය ගණන් ගත කරමින් වෙහෙස වන්නට සිදුවේ. ‘ඉතිං ඇතැම් වේලාවට අප කතා කරන්නේ එහෙම තමයි’ යැයි ගෝලීය උතුරේ සහයෝගිතාකරුවාට බොහෝ අවස්ථාවල කියා ඵලක් නැත; ‘අහවල් පුද්ගලයා වෙනත් අයුරකින් ප්‍රකාශ කළේ අප දෙදෙනාම මේ ගවේෂණය කරන සංකල්පයට අනුකූල දෙයක්’ යැයි කීවාට ඔවුන්ට වැටහෙන්නේ නැති අවස්ථා ගණන අප්‍රමාණ ය. උදාහරණයක් ලෙස, මම වරෙක ‘රාජ්‍ය සුජාතභාවය’ (state legitimacy) පිළිබඳ සහයෝගී අධ්‍යයනයකට සහභාගී වුණෙමි.[1]  මෙහි එක් වගඋත්තරකරුවකු වූ ත්‍රීරෝද රථ රියදුරෙකු වූ ‘ප්‍රසන්න’[2]  අප දෙදෙන අතර කතාබහක මුලම කියා සිටියේ ‘මේ රට දැන් අරාජිකයි’ කියා ය. 2015 සිට 2019 දක්වා කාලයේ තිබූ ආණ්ඩුව පිළිබඳ නාගරික හා ග්‍රාමීය මැද පංතිවල ඇතැමුන් නිතර කී කතාවකි මෙය. ප්‍රසිද්ධ විරෝධතාවක් දුටු විට, රාජ්‍ය නිලධාරීන් විසින් හෝ දේශපාලඥයින් විසින් සිදු කරන ලද වංචාවක් පිළිබඳ ඇසූ විට, ඇතැමෙක් මෙම වාක්‍යය ක්ෂණිකව කියති. ප්‍රසන්න මේ වාක්‍යය කියා, විෂමලිංගික දෘෂ්ටිවාදයක් අධික ලෙස ගැබ් වුණු තවත් යමක් කීවේ ය: ‘කොහොම ද රටක් පාලනය කරන්නේ පොන්නයො රැළක් රට කරන කොට?’ ප්‍රසන්න මෙම ප්‍රකාශය කළේ අප දෙදෙනා ත්‍රීරෝද රථයෙන් ගමන් කරමින් සිටියදී, 2016ත් 2019ත් අතර බහුල සිදුවීමක් වූ ශිෂ්‍ය විරෝධතාවක් නිසා රථවාහන තදබදයක අප සිර වූ විට ය. අප එසේ නැවතී සිටි කාලය අතරතුර ඔහු කීවේ ජනතාවට ඔවුන්ගේ එදිනෙදා ජීවිතය බධාවකින් තොරව කරගෙන යාමට අවශ්‍ය විනයක් රට තුළ ඇති කිරීම ආණ්ඩුවක් සතු ප්‍රධාන යුතුකමක් බව ය. පෞද්ගලික විශ්වවිද්‍යාලයකට එරෙහිව විරෝධය පෑම ඔහු දුටුවේ ශිෂ්‍යයින්ගේ ප්‍රකාශන නිදහසක් ලෙස නොව, වැඩකරන ජනතාවගේ දෛනික ජීවිතයට කරන ලද බාධාවක් ලෙස ය. ප්‍රසන්නගේ මෙම ප්‍රකාශය රාජ්‍ය සුජාතකභාවය පිළිබිඹු කරන්නක් ලෙස මා ලියා දැක්වූ විට මාගේ ගෝලීය උතුරේ සහයෝගිතාකරුවන්ට මෙය විශාල ප්‍රශ්නයක් විය. ඔවුන් අන්දුම්කුන්දුම් වී ඇසුවේ මෙයින් රාජ්‍ය සුජාතකභාවය පිළිබිඹු වූයේ කෙසේ ද කියා පමණක් නොව, මෙම සාක්ච්ඡාව රාජ්‍ය සුජාතකභාවයට යම් අයුරකින් හෝ සම්බන්ධ වන්නේවත් කෙසේ ද කියා ය. ඔවුන් මග බලා සිටියේ ඔවුන්ගේම සමාජ සන්දර්භවල මතුවන ප්‍රවණතා හා උදාහරණ මෙහිදී ද මතු වන තුරු ය. ඔවුන් සෙවූයේ ඔවුන්ගේ පූර්ව නිගමනවලට අනුකූලවන ප්‍රකාශන ය. ඔවුන් බලාපොරොත්තු වූ සුජාතක බවේ සංකේත ප්‍රසන්නට පසක් නොවූයේ ඔහුගේ ජීවිතය තුළ එවන් සංකේත නොතිබූ නිසා ය. ඔහුගේ දෛනික යථාර්ථය ඔවුන්ගේ ලෝකයට වඩා වෙනස් බව ඔවුන්ට නොතේරුණි. සහයෝගිතාකරුවන්ගේ කලබලවීම නිසා මම ආපසු ප්‍රසන්න හමු වී ඔහුගෙන් වෙනත් ප්‍රශ්න ඇසුවෙමි: ‘සේවා සැපයීම වගේ දේවල් කොහොම ද?’, ‘එතකොට තොරතුරු දැනගැනීමේ නිදහස?’ ආදී වශයෙන්. දැන් අන්දුම්කුන්දුම් වූයේ ඔහු ය. ‘ඒවා ගැන මොනවා ද ඉතිං?’ ඔහු හිස කසමින් පෙරළා ඇසුවේ ය. ප්‍රසන්නගේ පිළිතුර පර්යේෂකයන් වන අපට වැදගත් පාඩමක් උගන්වයි. ඒ, දේශපාලන, සමාජ හා ආර්ථික ප්‍රපංච පිළිබඳ අපගේ දැනුම පරීක්ෂාකාරී ලෙස වර්තමාන ලෝකයේ තිබෙන නානාවිධ සමාජීය අත්දැකීම්, භාෂාවන්, දැනුම් පද්ධති ආදිය තුළ ස්ථානගත කරමින්, සන්දර්භානුකූලව දේවල් තේරුම්ගැනීමේ වැදගත්කමයි.

පසුගිය වසර පුරාවටම ගෝලීය උතුරේ සහයෝගිතාකරුවන්ට නොතේරෙන, නොවැදගත් යැයි සිතෙන පර්යේෂණ සොයාගැනීම් පත්‍රිකාවලින් ඉවත් කර ගැනීමට මා හට සිදුවූ වාර ගණන බොහෝ ය. අදාළ සංකල්පය හා මිණුම මට තේරෙන බවත්, මා දෙනු ලබන අර්ථකථන මේ මේ කතිකාව ආශ්‍රයෙන් තේරුම්ගත්තක් බවත් පැහැදිලි කර දුන් වාර ගණන ද අධික ය. ‘මෙවැනි දේවල් සම්බන්ධයෙන් මා කෙරෙහි විශ්වාසය තබන්නැ’ යි කීමෙන් ඵලක් ඇත්තේම නැත. පර්යේෂකයකු ලෙස මා මෙමගින් අධෛර්යමත් වී ඇත්තේ ඉතා වැදගත් හා අර්ථවත් සොයාගැනීම් නිදහසේ අර්ථකථනය කිරීමට හා ප්‍රකාශ කිරීමට මට ඉඩකඩ නොමැති බව හැඟී ගිය නිසාවෙනි. ඇතැම් විවාදවලින් මා ජයගෙන ‘එතරම් හරි නැති’ හෝ ‘ගැලපෙන්නේ නැති’ කොටස් ද පර්යේෂණ පත්‍රිකාවට එකතු කරගැනීම යෝග්‍ය යැයි සහයෝගිතාකරුවන් ඒත්තු ගැන්වීමට සමත් වූ නමුත්, මෙවන් කොටස් ඇතුළත් කළ විට මා ද පාඨකයා ද එක සේ විඩාවට පත් කරවන තරමට ඒවා අර්ථකථනය කොට පැහැදිලි කිරීමට සිදු වුණි. එසේ ලියන ලද පර්යේෂණ පත්‍රිකා අනවශ්‍ය ලෙස සංකීර්ණ, කියවීමට අපහසු හා කම්මැලි ඒවා බවට පත් වුණි. ඒ අනුව මෙවන් දේ නොකියා ඉඳීමත් හොඳ යැයි විටෙක සිතේ. ඇත්තෙන්ම, මෙවන් වාරණයක් සඳහා හේතු වන්නේ පර්යේෂණ සහයෝගිතාවෙන් ද ඔබ්බට තිබෙන ගතිකයන් ය. අප පර්යේෂණ පත්‍රිකා පළ කිරීම සඳහා යොමු කරන සඟරා සියල්ලම පර්යේෂණය සඳහා විවිධ (හා විකල්ප) ප්‍රවේශ එක සේ පිළිගන්නේ නැත. එසේම විදේශීය අනුග්‍රාහකයෝ බොහෝ විට එක් විශේෂිත ආකාරයක ‘සාක්ෂි’ අපේක්ෂා කරති. මා මෙතැන කියන්නට උත්සාහ කරන්නේ සියලු දැනුම සංස්කෘතියට සාපේක්ෂ වන බවවත්, සත්‍යයක් පැවතිය හැක්කේ එක් විශේෂිත සමාජයක් හෝ කලාපයක් තුළ පමණක් වන බවවත් නොවේ. එවන් දෘෂ්ටියකින් මග පෑදෙන්නේ යම් දැනුමක් එක් සංස්කෘතියකට පමණක් සීමා වේ යැයි කියැවෙන අගතිගාමී අදහසට ය. තව ද, සිය සංස්කෘතික වෙනස්කම් නිසාවෙන්, දැනුම බෙදාගැනීම පිණිස සංස්කෘතියට පරිබාහිර පොදු පදනමක් නොමැති නිසාවෙන්, එක් සංස්කෘතියක පුද්ගලයකුට තවත් සංස්කෘතියක පුද්ගලයකු සමග අදහස් බෙදා ගැනීමට නොහැකිය යන අදහසටත් – එනම් ‘සංජානන අසම්මේයතාවට’ (cognitive incommensurability) – මෙමගින් මග පෑදේ. දැනුම යන විෂයෙහි ‘අසම්මේයතාව’ හා ‘අගතිකාමී දූපත් මානසිකත්වය’ යන දෙගොල්ලෙන්ම ගෝලීය සහෝදරත්වය සාක්ෂාත් කරගැනීමට බාධා ඇති වේ. ගෝලීය උතුරේ හා ගෝලීය දකුණේ පර්යේෂකයන් එකිනෙකා සමග බුද්ධිමය විශ්වාසයක් ගොඩනගා ගත යුතු බව මාගේ යෝජනාවයි. මා දකින පරිදි, පර්යේෂණ ලෝකයේ මෙවැනි විශ්වාසයක් නොමැත්තේ මනාව ලේඛනගත වූ, දීර්ඝ කාලයක් සිට පැවත එන ශාස්ත්‍රීය සම්ප්‍රදායක් හිමි ගෝලීය උතුර විසින් තමන් වඩාත් උසස් යැයි සිතන නිසාත්, ගෝලීය දකුණේ දැනුම් නිෂ්පාදනය තවමත් ‘දියුණු වෙමින් පවතින තත්ත්වයක’ තිබෙනවා යැයි සිතන නිසාත් ය. විද්වතුන් (විශේෂයෙන්ම ගෝලීය උතුරේ විද්වතුන්) අතර නිහතමානීකම සහ විවෘතබව මත පදනම් වූ සහයෝගී පරිසරයක් ගොඩනැගීම අත්‍යවශ්‍ය වන අතර, මෙමගින් පමණි වෙනස් හා විකල්ප අදහස් ප්‍රකාශනයට හා පිළිගැනීමට අවකාශයක් නිර්මාණය වන්නේ.

මෙම ලිපිය අවසන් කිරීම සඳහා යළිත් සෙනෙවිරත්න වෙද මහත්තයාගේ වදන් වෙත හැරෙමි. සුපුරුදු පරිදි, ඔහු මදක් අමුතු විලාසයෙන් මා සමග අපූරු රූපකයක් බෙදා ගත්තේ ය: ‘ශාක විවිධ ආකාරවලින් බෝ වෙනවා. සමහරක් බීජ මගින් බෝ වනවා; සමහරක් අතු මගින්; සමහරක් මුල් මගින්, මල් මගින්, ආදී වශයෙන්. ඒත් ඒ සියලුම ආකාරවලින් වන්නේ එකම දෙයක්. ළපටි පැළයක් දිහා බලලා අප සියලුම දේ දන්නවා යැයි අපට කියන්ට බෑ. ඒ වටා තියෙන අනෙකුත් විවිධ දේවල් ගැඹුරට සලකලා බලන්ට අවශ්‍යයි: පස, ඉර, සුළඟ, මුළු මහත් පද්ධතියම, ඒ වගේම – විශේෂයෙන්ම – කාලය.’ වෙද මහත්තයා මෙතැන කීමට උත්සාහ කළේ ප්‍රශ්නයක් තේරුම් ගැනීමේදී, යම් සත්‍යයක් අවබෝධ කර ගැනීමේදී, සන්දර්භය අතිශය වැදගත් වන බවයි; විවිධ දැනුම් පද්ධතිවලට අනුව සන්දර්භය වෙනස් වීමට ද පුළුවන් බවයි. අවසානයේ, දිලිසෙන දෑසින් යුතුව ඔහු මට කීවේ ‘එක එක තර්ක, එක එක තර්ක ක්‍රමවලින් අපට මුළු සත්‍යයම අවබෝධ කරගන්ට බෑ. අපි හිතන්නේ අපේ ක්‍රමයෙන් අපිට ඔක්කොම පෙනේවි, සියලුම දේ වැටහේවි කියලා. එහෙත් අපව හිර කරන්නෙත්, අපව සීමා කරන්නෙත් අපේම තර්ක ක්‍රමේමයි.’

මේ ආවර්ජනයේ මා ඉස්මතු කළේ ගෝලීය උතුර හා දකුණ අතර පර්යේෂණ සහයෝගිතාවල තිබෙන දැනුම සම්බන්ධ ධූරාවලි නිසාවෙන් මා වැනි ගෝලීය දකුණේ පර්යේෂකයන්ට ඇති වන බාධා හා ගැටළුයි. මා මෙය ‘ප්‍රශ්න පොදියක්’ ලෙස හැඳින්වූ අතර, ඊට එකිනෙක සම්බන්ධ කාණ්ඩ දෙකක් අයත් බව පැහැදිලි කළෙමි. ඉන් පළමුවැන්න නම් පර්යේෂණ සහයෝගිතාකරුවන් අතර පවතින ශ්‍රමය සම්බන්ධ බල ගතිකයන් හා අසමානතා ය; දෙවැන්න ගෝලීය උතුරේ හා දකුණේ දැනුම, භාෂාව හා සංකල්ප සම්බන්ධයෙන් තිබෙන ධූරාවලි ය. ගෝලීය දැනුම් කර්මාන්තය නිර්වචනය වන්නේ මෙකියන අසමාන බල සබඳතාවලිනි. ගෝලීය උතුරේ දිගින් දිගටම පවතින ආධිපත්‍යය ඉදිරියට ගෙන යන්නේ ද මෙම ගතිකයන් ය. දකුණේ පර්යේෂිකාවක ලෙස මට හැඟෙන්නේ මා කිසි කෙනෙකුට අයිති නැති අත්හරින ලද සද්භාවවේදී හා ඥානවිභාගී භූමියක සිරවී සිටින බවයි. දශක දෙකක් පුරා චින්තනයට හා දැනුම ලබාගැනීමට තිබෙන ආධිපත්‍යක රාමු හා ප්‍රවේශ මා අධ්‍යයනය කර ඇත. වෙනත් විකල්ප රාමු හා ප්‍රවේශවලට මා තුළ විවෘත බවක් තවමත් තිබුණ ද, එම අවකාශය කෙමෙන් වැසී යන බව මටම හැඟේ. මෙය විශාල කලකිරීමකට තුඩු දෙන්නකි. එය බුද්ධිමය ගැටළුවක් පමණක් නොව චිත්තවේගීය – එනම් හැඟුම්වලට ද බලපාන – ප්‍රශ්නයකි. මෙම වියැකී යන විවෘත බව සදහටම වැසෙන මොහොතට මුහුණ දීමට මා සූදානම් නැත. පර්යේෂකයකු ලෙස මගේ අනන්‍යතාවත් නිර්මාණශීලිත්වයත් මරණයට පත්වන මොහොත එය වනු ඇත.

***

ස්තුතිය: මෙම ආවර්ජනයේ තිබෙන සමහර කාරණා මා පළමුවෙන් බෙදා ගත්තේ තෙයා හිල්හොර්ස්ට් (අයි.එස්.එස්), ප්‍රියන්ති ප්‍රනාන්දු සහ ඒඩ්රියන් ෆර්ෆ් යන මගේ මිත්‍රයන් සමග ය. ඔවුන්ට මම බෙහෙවින් කෘතඥ වෙමි. මීට සම්බන්ධ බොහෝ කාරණා මා සමග සාකච්ඡා කළ ආශා අබයසේකර (කොළඹ), කෞශල්‍යා පෙරේරා (කොළඹ), දර්ශි තෝරදෙණිය (කොළඹ) හා මෛත්‍රි ජෙගතේසන් (සාන්ත ක්ලාරා) හට ද මගේ විශේෂ ස්තුතිය පුදමි.

[1] මා පර්යේෂණ නියමුවෙකු ලෙස කටයුතු කළ මේ ව්‍යාපෘතියට සමාජ විද්‍යාඥයින්ගේ සංගමයේ රෙබේකා සුරේන්ද්‍රරාජ්, ප්‍රවීන් තිලකරත්න, මාර්ක් ශූබර්ට්, ශෂික් දනුෂ්ක, සුරේෂ් අමුහේන, නුවන් වලස්මුල්ලගේ සහ ටානියා සිල්වාපුල්ලේ ද පර්යේෂකයෝ ලෙස සහභාගී වූහ. අපගේ විදේශීය සහයෝගිතාකරුවන් සමග ඔවුහු ද සාකච්ඡාවලට සහභාගී වූහ. මේ අධ්‍යයනය අතරතුර විවිධ ‘සංකල්පීය රාමු තුළ සිරවීම’ පිළිබඳව අප දීර්ඝව කතා කළෙමු. එම කතාබස් මේ ආවර්ජනය ලිවීම සඳහා මා යොමු කළේ ය. ඒ අනුව, මම ඔවුන්ට ස්තුතිවන්ත වෙමි.

[2] නිර්නාමිකභාවය සුරක්ෂා කිරීම සඳහා මොහුගේ සැබෑ නම භාවිත නොකළෙමි.