‘කවුද නියමාකාරයෙන් ජාතිකවාදී, කවුද නියමාකාරයෙන් ජාතිකවාදී නැත්තේ පිළිබඳව ඉන්දියාවේ ඉතිහාසඥයින් බොහෝ පිරිසක් ඕනෑවට වඩා හිතනවා’: සන්ජේ සුබ්‍රමනියම් සමග සම්මුඛ සාකච්ඡාවක් – වික්‍රම් සුට්ෂි

පරිවර්තනය: හිරණ්‍යදා දේවසිරි

*2020 මැයි 30 The Hindu පුවත්පතේ පළ වූ සම්මුඛ සාකච්ඡාවක පරිවර්තනයකි.

ජාතිය’ අප තේරුම්ගන්නා ආකාරය වඩාත් ‘සංකීර්ණ’ කිරීමේ අවශ්‍යතාව පිළිබඳව මෙම ඉතිහාසඥයා කතා කරයි.

මුල් නූතන යුගය පිළිබඳ විශේෂඥයෙක් වන සන්ජේ සුබ්‍රමනියම් නම් ඉතිහාසඥයා මේ වන විට ලොස් ඇන්ජලීස්හි කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අංශයේ ‘අර්වින් හා ජීන් ස්ටෝන් මුලසුන’ හොබවයි. ඉන්දියානු ඉතිහාසකරණයේ ගැටළු, ‘නිර්ප්‍රභූ අධ්‍යන ගුරුකුලය’ (subaltern studies) වැනි ඇතැම් පශ්චාත්-යටත්විජිත අධ්‍යයන ප්‍රවණතාවලට අභියෝග කරන පූර්ව-යටත්විජිත දකුණු ආසියාව අධ්‍යයනය සඳහා ඔහුගේ ‘සම්බන්ධිත ඉතිහාස’ (connected histories) නම් ප්‍රවේශය, සහ ‘නූතනත්වය’ යුරෝපයේ නිශ්පාදනය වී ලෝකයේ අන් පෙදෙස්වලට අපනයනය කරන ලද්දක් නොව ගෝලීය ප්‍රපංචයක් වන්නේ කෙසේ ද යන්න පිළිබඳව ඔහු මෙම පුළුල් සම්මුඛ සාකච්ඡාවේ අදහස් දක්වයි.

පූර්ව-නූතන සහ පූර්ව-යටත්විජිත දකුණු ආසියාව අධ්‍යයනයට ප්‍රවේශයක් වන ඔබගේ ‘සම්බන්ධිත ඉතිහාස ප්‍රවේශය’ අප කලාපයේ ඉතිහාසය තේරුම්ගන්නා ආකාරයට බලපාන්නේ කොහොම ද? යටත්විජිත අවධිය තේරුම්ගැනීමටත් මෙම ප්‍රවේශය පහසුවෙන් භාවිත කරගන්න පුළුවන් ද?

දකුණු ආසියාවේ ඉතිහාසයට ප්‍රවේශ වෙද්දී වැඩි දෙනෙක් කරන්නේ ස්වදේශීය සහ විදේශීය දේ අතර යම්තාක් දුරකට ඍජු වෙනසක් නැත්නම් බෙදීමක් ඇති කරගැනීමයි. මේ ප්‍රවණතාව අපට, උදාහරණයක් වශයෙන්, අග්නිදිග හා මධ්‍යම ආසියානු ඉතිහාසය සඳහා තිබෙන ප්‍රවේශ සමග සංසන්දනය කරන්න පුළුවන්. අග්නිදිග හා මධ්‍යම ආසියානු කලාපය අධ්‍යයනය කරන ඉතිහාසඥයන් ඉස්සර ඉඳන්ම සංසරණයේ සහ සංචලතාවයේ (circulation and movement) වැදගත්කම, නැතිනම් දැන් අප අතර නොමැති මගේ සහෘද ඩෙනිස් ලොම්බාර්ඩ් විසින් ‘හරස් මාවත්වල (crossroads) සිටීම’ යනුවෙන් හඳුන්වපු අදහසේ වැදගත්කම පිළිගෙනයි වැඩ කළේ. දකුණු ආසියානු ඉතිහාසය බටහිර ආසියාවේ, මධ්‍යම ආසියාවේ, යුරෝපයේ හෝ අග්නිදිග ආසියාවේ ඉතිහාසය වැනි අනෙක් ඉතිහාසයන් සමග සාකච්ඡාවට රැගෙන ඒමෙන් අපට ලබාගතහැකි බොහෝ දේ තිබෙන බව මම විශ්වාස කරනවා. ඒත් එක්කම, විවිධ ඉන්දියානු කලාප ඓතිහාසික ක්‍රියාවලීන් හරහා කොතෙක් දුරට එකිනෙක හා සම්බන්ධිත ද (නැත්නම් ඇතැම් අවස්ථාවල අසම්බන්ධිත ද) කියන දේ තේරුම් ගැනීමත් වැදගත්. කෙටියෙන් කිවහොත්, අප අද දකින දේශපාලනික මායිම්වලට ඉතිහාසයක් මෙන්ම ආවස්ථිකතාවක් (contingency) තියනවා. ඒවා ගලේ කොටලා නැහැ වගේම අප ඉතිහාසය අධ්‍යයනය කරන භූගෝලීය න්‍යාස නිර්වචනය කිරීමට සුදුසුම විධි අනිවාර්යයෙන්ම මේ මේ ඒවා විය යුතු නොවේ. නිසැකවම, යටත්විජිත අවධියේ සක්‍රියව පැවති ජාලයන් සහ සම්බන්ධතාවල ස්වභාවය සාමාන්‍යයෙන් මගේ අවධානය ප්‍රධාන වශයෙන් යොමුවෙන 1400 සහ 1800 අතර සියවස්වල පැවති ඒවායින් වෙනස් වනවා. ඒත්, මෑතකාලීන ඉන්දියානු සාගර ඉතිහාසවලින් අපට පෙනී යන පරිදි, ඒ වෙනස්කම් හේතුවෙන් ඇතැම් අවශ්‍යතා සඳහා මීට සමාන ප්‍රවේශයක් ඵලදායීව භාවිත කළ නොහැකියි කියා ඉන් අදහස්වන්නේ නැත. ප්‍රමුඛ පෙළේ පශ්චාත්-1800 ඉන්දීය සාගර ඉතිහාසඥයන් ප්‍රධාන වශයෙන් භාවිත කරන්නේ ඉංග්‍රීසි භාෂා මූලාශ්‍රයන්. ඉතිං අවාසනාවකට මෙන්, මේකෙන් ඔවුන්ගේ පරිකල්පනයත් සීමා වී තිබෙනවා. බටහිර ආසියාව සහ ඉන්දියාව අතර තිබූ සබඳතා අධ්‍යයනය කරන කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයේ ආර්ථික ඉතිහාසඥ මයිකල් ඕ-සලිවන් වැනි ඉංග්‍රීසි භාෂා මුලාශ්‍ර මත පමණක් යැපීමෙන් මිදුණු අයට අපූරු සොයාගැනීම් කිරීමට හැකියාව ලැබී තියනවා.

ඔබ කියා තිබෙනවා ඔබේ අභිප්‍රාය වන්නේ මුල් නූතන ලෝකයේ ජාතිය සහ ස්ථානය පිළිබඳව අපට ඇති තේරුම්ගැනීම ‘සංකීර්ණ’ කිරීම බව. ඔබේ තේරුම්ගැනීමට අනුව ජාතික ඉතිහාසයට තවමත් තැනක් තිබෙනවා ද? සහ එය හැම විටම ජාතිකවාදී ඉතිහාසයම ද?

ජාතික ඉතිහාසයටත් අනිවාර්යයෙන්ම ඊට අදාළ තැනක් තිබෙනවා; විශේෂයෙන්ම කුඩා ක්ෂුද්‍ර-කලාපයක් සහ වඩාත් විශාල සාර්ව-කලාපයක් අතර පිහිටා තිබෙන ඉතිහාසයන් ගැන සිතද්දී එය වැදගත් වනවා. ඒත් එක්කම, ජාතික ඉතිහාස භාවිතයේ නිරතවීමට ක්‍රම බොහොමයක් තිබෙනවා. එසේ කරන්නට ජාතිකවාදී රාමුවක් තුළ සිටීම අනිවාර්ය නොවේ. අවාසනාවට, ඉන්දියාවේ ඉතිහාසඥයන් බොහෝ පිරිසක් – වාමාංශික වේවා, කොන්ග්‍රස් පක්ෂපාතී වේවා, භාරතීය ජනතා පක්ෂපාතී වේවා – කවුද නියමාකාරයෙන් ජාතිකවාදී, කවුද නියමාකාරයෙන් ජාතිකවාදී නැත්තේ පිළිබඳව ඕනෑවට වඩා හිතනවා, ඕනෑවට වඩා කරදර වෙනවා. අභාවප්‍රාප්ත ඉතිහාසඥ සී. ඒ. බේලි 1980 ගණන්වල ප්‍රකෝපකාරී (සහ බොහොම ඵලදායී) අදහස් කිහිපයක්ම කරළියට ගෙන ආ මොහොතේ, මිනිස්සු එසැනින්ම ඔහුව ජාතිකවාදී ලිට්මස් පරීක්ෂාවට භාජනය කළා. මේක අමනකමක් වූයේ ඔහුට නොවැරදෙන නිසා නොවේ; ඒ වගේ සදොස් විවාදයකින් කිසිඳු යහපත් ප්‍රතිඵලයක් නොලැබෙන නිසා.

මදක් ප්‍රකෝපකාරී ලෙස නම් තබන ලද 2013 වර්ෂයේ නිකුත් වූ ඉන්දියානු ශිෂ්ටාචාරය මිත්‍යාවක් ද? (Is Indian Civilization a Myth?) යන ඔබේ  කෘතිය වත්මන් දේශපාලන වාතාවරණයේ උණුසුම් ලෙස විවාදයට ලක්වුණු මාතෘකාවක් සාකච්ඡාවට බඳුන් කරනවා. ඉන්දියානු ශිෂ්ටාචාරය’ යන සංකල්පයට මේ කෘතිය දක්වන ප්‍රවේශය මොකක් ද?

මේ කෘතියේ මා තර්ක කළේ ඉන්දියාවේ (සහ ඇත්තෙන්ම ලෝකයේ ඕනෑම තැනක) ‘ශිෂ්ටාචාරය’ යන අදහස ගැන තිබෙන උන්මාදය ඉක්මනින්ම ඇතැම් සබඳතා සහ සංස්කෘතික වටිනාකම්වල ස්ථාවරභාවය පිළිබඳව ප්‍රකාශයක් බවට පත්වනවා කියලයි. සැමුවෙල් හන්ටින්ග්ටන් වගේම වෙනත් අයත් භාවිත කරන ‘ශිෂ්ටාචාර අතර ගැටුමේ’ භාෂාව ඍජුවම හටගන්නේ මේ සංකල්පනයෙන්. මේක බොහෝ වෙලාවට අනෛතිහාසික ප්‍රවේශයක්. ඒක ඉතිහාසඥයාට එතරම් ප්‍රයෝජනවත් වන්නේ නැත. අමෙරිකානු ඉතිහාසඥයෙක් වන ඩේවිඩ් ලඩන් විසින් රචිත, දකුණු ආසියාව අධ්‍යයනය කිරීමේදී සංචලතාවයේ තිබෙන වටිනාකම පිළිබඳව අදහස් දැක්වෙන ‘History outside Civilization’ (‘ශිෂ්ටාචාරයෙන් පිටත ඉතිහාසය’) යන රචනය මට වැදගත් පන්නරයක් වුණා. මා මතුකරන්න උත්සාහ කරන කාරණාව තමයි, මිනිසුන් ‘ශිෂ්ටාචාරය’ කියා යමක් ගැන සාකච්ඡා කරන්න පටන්ගත් වහාම වර්තමානයේදී අපි ක්‍රමයෙන් ඈත්ව සිටින ස්වර්ණමය යුගයක් ගැන අදහසක් ගොඩනගන්න උත්සහා කරන උගුලට හසුවෙනවා. ඔවුන් මෙම ස්වර්ණමය යුගය වෙනුවන් පෙනී සිටින මූලධර්මවාදීන් බවට පත්වනවා. මේ වර්තමානයේ යුරෝපයේ ඇතැම් ප්‍රදේශවල අප දකින ගැටලුවමයි; ඇලේන් ෆින්කීල්ක්‍රවුට් සහ එරික් සෙමෝර් වැනි පුද්ගලයින් දැන් දැන් කෙළෙසෙමින් පවතින පාරිශුද්ධ යුරෝපීය ශිෂ්ටාචාරයක් තිබුණා යයි පරිකල්පනය කරනවා. යුරෝපයේ වන මේ ඇතැම් ලක්ෂණ සහ ඉන්දියාවේ ඇති ඒ හා සමාන ලක්ෂණ අතර භයානක සම්බන්ධයක් තිබෙනවා. ඒත් අනෙක් අතට, ඓතිහාසික වෙනස්වීම් ග්‍රහණය කරගන්නට ඉඩ සලස්වන, අර්ථ නිරූපණය අතින් වඩාත් නම්‍යශීලි ‘සංස්කෘතිය’ වැනි වචනයක් සමග මට කිසිම ගැටළුවක් නැහැ.

සම්බන්ධිත ඉතිහාස පිළිබඳ ඔබේ න්‍යායය පශ්චාත්-යටත්විජිත අධ්‍යයනයන්හි ඇතැම් ප්‍රවණතා (නිර්ප්‍රභූ අධ්‍යයන ගුරුකුලය ඇතුළුව) අභියෝගයට ලක්කරනවා. ඔබ මෙම ප්‍රවණතාවන්ට ගෙන එන විවේචනයක් තමයි ඒවා විසින් ඉන්දීය භූමිකාව විශාල වශයෙන්ම ‘යුරෝපීය මුල්පිරීම්වලට ප්‍රතික්‍රියා කරන්නක් සහ ඒවාට අනුවර්තනය වන්නක්’ ලෙස දැකීම යන්න. මේ අන්තර්ක්‍රියාකාරිත්වයන් පිළිබඳව ඇති ප්‍රශ්න වෙතට එළඹෙන්න වඩාත් සුදුසු ක්‍රම මොනවාද?

මා විශ්වාස කරන අන්දමින්, පශ්චාත්-යටත්විජිත අධ්‍යයන අතින් වූ විශාලතම දෝෂය තමයි ඓතිහාසික වෙනස්කම් සිදුවීම යන්නේ සම්පූර්ණ කාර්යභාරය යටත්විජිත බලවේගයන්ට (බොහෝ විට යුරෝපීය බලවේගයන්ට) බැර කිරීම. මෙසේ කිරීමෙන් මෙම ලේඛකයින් සිදුකළේ යුරෝපීය නොවන ලෝකය ස්ථතික වීමත්, යුරෝපය වෙනස්වනසුළු ගතිකයන් ඇත්තක් වීමත් යන සුපුරුදු හෙගේලියානු අදහස ප්‍රතිනිෂ්පාදනය කිරීමයි. නිර්ප්‍රභූ අධ්‍යයන ගුරුකුලයේ රචකයින් හැම දෙනාම මේ උගුලට හසුවුණා කියලා මම හිතන්නේ නැහැ, නමුත් ඔවුන්ගේ ‘දෙවැනි අදියරේ’ යයි හඳුන්වන ඇතැම් අය – මර්සියා එලියාඩ් හා රෙනේ ගෙනන් වැනි අයගේ රචනාවන්ට ආකර්ෂණය වූ අය – අනිවාර්යයෙන්ම ඊට හසුවුණා. එහෙත් මේ රචකයින් කුමක් කියුවත්, තරුණ කාල් මාක්ස් (තම හෙගේලියානු ආභාසයේ උච්චතම අවස්ථාවේ සිටි කාලයේ) ඉන්දියාව ගැන කුමක් ලියුවත්,  දකුණු ආසියාව රජ කුමරෙක් ඇවිත් තමන්ව බේරාගන්නාතෙක් බලා සිටි නිදි කුමරියක් නොවේ. ඉන්දියානු (නොඑසේනම් අප්‍රිකානු මෙන්ම චීන ද) ඉතිහාසයේ පසුගිය වසර දහස ‘වැඩවසම් ක්‍රමයේ’ හෝ ‘ආසියාතික නිෂ්පාදන මාදිලියේ’ පරණ රෙදි පොට්ටනියට බැහැර කිරීම වැනි උදාසීන කෙටි ක්‍රම භාවිත කිරීමෙන් වන්නේ ස්වයං-පරාජයක් ළඟා කර ගැනීමක්. වාසනාවකට මෙන්, පසුගිය දශක දෙකක් වැනි කාලය තුළ බ්‍රිතාන්‍යය යටතට පත්වීමට ශතවර්ෂ ගණනාවකට පෙර ඉන්දීය ඉතිහාසය අධ්‍යයනයට යම් උනන්දුවක් වර්ධනය වෙමින් තිබෙනවා.

නූතනත්වය යුරෝපය විසින් සැලසුම් කරන ලද්දක් බවට වන අදහස වෙනුවට, 1800ට පෙර පැරණි ලෝකයේ සහ නව ලෝකයේ (Old and New Worlds)  වූ සමාජ ඓන්ද්‍රීය සහ ව්‍යාකූල ලෙස ගෝලීය වශයෙන් ඇරඹෙමින් පැවති නූතනත්වයක කොටස්කරුවන් වූ බව ඔබ යෝජනා කරනවා. මෙය යුරෝපීය යටත්විජිතවාදය පිළිබඳව දැනට අප අතර පවතින උපකල්පනවලට  අභියෝග  කරන්නේ කෙසේ ද?

මා තර්ක කරන්න බලාපොරොත්තු වූයේ යුරෝපීය සුවිශේෂීවාදීන් හා පශ්චාත්-යටත්විජිතවාදීන් යන දෙකොටසම සිතීමට කැමති ආකාරයට ‘නූතනත්වය’ යනු පළමුවෙන්ම යුරෝපයේ නිෂ්පාදනය කර, පසුව ලෝකයේ අනෙක් ප්‍රදේශවලට ‘අපනයනය’ කරන ලද්දක් නොවන බවයි.  ඒ වෙනුවට එය විවිධ ස්වරූපවල සංකීර්ණ අන්තර්ක්‍රියාවලි මගින් නිෂ්පාදනය වුණු, මා එක් වතාවක් සඳහන් කළ ආකාරයට ‘ගෝලීය සහ ආවස්ථිය (conjunctural)’ ප්‍රපංචයක්. බල අසමමිති පවතින බව ප්‍රතික්ෂේප කිරීමට මා අපේක්ෂා කරනවා කියාවත්, දේශපාලන ආධිපත්‍යයේ ක්‍රියාවලි මට පෙනෙන්නේ නැහැ කියාවත් මින් අදහස් වන්නේ නැත. එහෙත් 1757 දී රොබර්ට් ක්ලයිව් විසින් බෙංගාලයේ පලාසියේ අඹ අරඹක් තුළ හදිසියේම ‘නූතන’ කරන තෙක්ම ඉන්දියාව ‘මධ්‍යතන’ ව නොතිබූ බව තේරුම්ගැනීම වැදගත්.

මින් හැඟවෙන අනෙක් කාරණය වන්නේ යුරෝපීය නොවන ලෝකය තුළ යටත්විජිතවාදය යනු නූතනත්වය නොවන බවයි. යටත්විජිතවාදය නූතනත්වයට සමාන පදයක් නොවේ. ඇත්ත වශයෙන්ම මේ වැරදි වැටහීම 20 වන සියවසේ අවසාන භාගයේ සහ 21 වන සියවසේ මුල් භාගයේ වූ නූතනත්වයට එරෙහි ව්‍යාපාර රැසක නිධන්ව තිබුණා. ඉන්දියාව හා බටහිර නොවන ලෝකයේ අනෙකුත් ප්‍රදේශ යටත්විජිත පාලනයට හසු වීමට පෙර අවධිය පිළිබඳව සාකච්ඡා කිරීමේදී, ‘මුල් නූතන’ යන පදය භාවිත කිරීමට (එසේ කිරීමේදී යම් යම් ගැටළු තිබුණත්) මා කැමැත්තක් දක්වන්නෙත් මේ නිසායි.

***

මෙම සම්මුඛ සාකච්ඡාව මෙහෙයවූ වික්‍රම් සුට්ෂි සිනමාකරුවෙකි, තීරු ලිපි රචකයෙකි, විද්‍යාර්ථියෙකි. සංචාරයේ නොයෙදෙනවිට ඔහු ඔහුගේ බළලා, ටූකන් කුරුල්ලන් සහ සුරතල් තලගොයා සමග කාලය ගත කරයි.