විසම්මුතික ස්මරණය සහ ප්‍රජාතාන්ත්‍රික පුරවැසිභාවය: සන්ධ්‍යා එක්නැලිගොඩ සහ යුක්තිය සඳහා ඇගේ අරගලය – චූලනී කොඩිකාර

පරිවර්තනය: රදිකා ගුණරත්න

 සන්ධ්‍යා එක්නැලිගොඩ, 2022 ජනවාරි 25.[1]

මාධ්‍යවේදියකු, කාටුන් ශිල්පියකු සහ දේශපාලන ක්‍රියාධරයකු වූ ප්‍රගීත් එක්නැලිගොඩ 2010 ජනවාරි 24 දා රාත්‍රී 8.30 ත් 9 ත් අතර කාලය තුළ අතුරුදන් වූයේ ඔහුගේ මිතුරන් හෝ පවුල නොදන්නා යම්කිසි අයකු හමුවීමට යමින් සිටියදී ය. අතුරුදන් වූ දිනයේ ප්‍රගීත් උදෑසනම නිවසින් පිටත්ව ගොස් ඇති අතර, රාත්‍රී 9.30 වන තෙක්ම ආපසු පැමිණ තිබුණේ නැත. මීට පෙර ද පැහැරගැනීමකට ලක්ව තිබූ හෙයින්, ප්‍රගීත් රාත්‍රියේ එම වේලාව වන විට ගෙදර නොඑන්නේ නම් ඔහුට දුරකථනයෙන් අමතන සිරිතක් ඔහුගේ බිරිඳ සන්ධ්‍යාට විය. ඒ, ඔහු කාර්යාලයෙන් පිටත්ව ගොස් තිබේ ද හෝ ඔහු සිටින්නේ නිවසට ළඟපාත ද නැතිනම් දුරක දැයි දැන ගැනීමට ය. 24 වැනිදා මුළු රාත්‍රිය පුරාම සන්ධ්‍යා සෑම පැය භාගයකටම වරක් ඔහුගේ ජංගම දුරකථන දෙකටම ඇමතීමට උත්සාහ කළා ය. නමුත් අසන්නට ලැබුණේ ඔහුගේ ජංගම දුරකථනය විසන්ධි කර ඇති බව ය. පසුදා උදෑසන ඇය හෝමාගම පොලිස් ස්ථානය වෙත ගියා ය. එහි සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂකවරයා මුලින් ඇගේ පැමිණිල්ල සටහන් කර ගැනීමට මැලිකමක් දැක්වූ අතර, මේ සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයා (ඕ.අයි.සී) සමග තමන් කතා කළ යුතු බව කීය. පොලිස් ස්ථානාධිපතිවරයා මුලින් සන්ධ්‍යාගේ පැමිණිල්ල විහිළුවකට ගනිමින් “මිනිස්සු ජනප්‍රිය වෙන්නත් අතුරුදහන් වෙනවා” යි කීවේ ය. එවිට සන්ධ්‍යා ඔහු දෙස බලා මෙසේ කීවා ය: “මගෙ සැමියා ප්‍රගීත් එක්නැලිගොඩට ජනප්‍රිය වෙන්න අතුරුදහන් වෙන්න උවමනා නැහැ. එයා ලිව්වෙත් ජනප්‍රිය වෙන්න බලාගෙන නෙවෙයි. එයා ලිව්වෙ සමාජ වගකීමක් එක්ක.”

හෝමාගම පොලිසිය අවසානයේ ඇගේ කටඋත්තරය ලියාගත් නමුත් ඉන්පසු ඇයට කීවේ ඇය මුලින්ම කොස්වත්ත පොලිසියට යා යුතුව තිබූ බවයි. මන්දයත්, සිද්ධිය සිදුවූ බව පෙනී යන්නේ ඒ ප්‍රදේශයේ වූ නිසා ය. තව ද, ඇය ඔවුන්ගේ කාලය නාස්ති කළ බව සහ දැන් ඔවුන්ට ඇගේ කටඋත්තරය කොස්වත්ත පොලිසියට ෆැක්ස් කිරීමට සිදුව තිබෙන නිසා ෆැක්ස් පණිවුඩ වියදම ද ඇය නිසා දැරීමට සිදුව ඇති බව ද කියැවිණි. සන්ධ්‍යා ඉන්පසු කොස්වත්ත පොලිසියට ගියා ය. එහිදී ඇයට විශේෂයෙන්ම කාන්තා පොලිස් කොස්තාපල්වරියන් විසින් වඩාත් සානුකම්පිත ආකාරයකින් සලකනු ලැබිණි. නමුත් පැමිණිල්ල සිදුකර සති ගණන් පසුවී ගියත් කොස්වත්ත පොලිසිය ද ඒ ගැන පරීක්ෂණයක් පැවැත්වීමට සක්‍රිය උනන්දුවක් දැක්වූයේ නැත. ඉන්පසු පෙබරවාරි 19 වැනිදා ඇය සහ ඇගේ පුතුන් දෙදෙනා හේබියස් කෝපුස් රීට් පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ ගොනු කළේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා, හෝමාගම පොලිසියේ ස්ථානාධිපති, පොලිස්පතිවරයා, නීතිපතිවරයා, සහ ප්‍රගීත් එක්නැලිගොඩ එහි වගඋත්තරකරුවන් ලෙස නම් කරමිනි. අභියාචනාධිකරණය මෙම ගැටළුව විමර්ශනය සඳහා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කළේ ය. එතැන් පටන්, සිය සැමියාට 24 දා රාත්‍රියේ සිදුවූයේ කුමක් ද,  ඇගේ සැමියා අතුරුදන් වීමට වගකිව යුත්තේ කවු ද යන්න දැන ගැනීමටත් ඔවුන් වගවීමට හසුකර ගැනීමටත් ඇය සිය ජීවිතයම කැප කර තිබේ.

2019 නොවැම්බරයේදී, එනම් පරීක්ෂණයෙන් අවූරුදු 9 කට පසුව සහ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු වාර 300 කට අධික සංඛ්‍යාවකට පසුව ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමට අදාළව හමුදා බුද්ධි අංශ නිලධාරීන් 9 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයක් ඉදිරියේ චෝදනා ගොනු කරන ලදි. මෙම නඩුව තවමත් විභාග වෙමින් පවතියි. සන්ධ්‍යා විසින් හේබියස් කෝපුස් අයදුම්පත ගොනු කිරීමෙන් පසුව ගතවූ වසර 12 ක කාලය තුළ ඇය මෙකී සියලු නඩු වාරවලට පාහේ සහභාගි වී ඇත.

විවිධ ආණ්ඩු යටතේ, එනම්, මහින්ද රාජපක්ෂ දෙවැනි ආණ්ඩු සමයේ (2010-2015), මෛත්‍රිපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ ආණ්ඩු සමයේ (2015-2019) සහ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩු සමයේ (2019-2022) සන්ධ්‍යා මුහුණ දුන් නීතිමය අරගලය මෙම රචනාවේ මා සැකෙවින් සලකුණු කර තිබේ. සන්ධ්‍යාගේ යුක්තිය සඳහා වූ අරගලයන් දේශපාලනික බව, 2015-2019 කාලය තුළ එය සැලකිය යුතු තරමේ ප්‍රගතිශීලී වර්ධනයක් අත් කරගත් බව, එකී ප්‍රගතිශීලීත්වය අවිනිශ්චිත, වරණීය, සහ පක්ෂග්‍රාහී බව, සහ 2019 ආණ්ඩු මාරුවෙන් පසු එය තිරසාර නොවූ බව මම මෙහි පෙන්වා දෙමි. කෙසේ වෙතත්, සත්‍යය සහ යුක්තිය සඳහා වූ ඇගේ ආයාචනය කිසි විටෙක උසාවි ශාලාවට පමණක් සීමා නොවූ බව ද මෙහිදී මම පෙන්වා දෙමි. ආරම්භයේ පටන්ම, ඛේදනීය අහිමිවීම, කණස්සල්ල සහ වැළපීම මෙන්ම බලවත් කෝපය, කැරළිකාරී බව, විලාපය, පළිගැසීම සහ යාදිනි කිරීම ඇගේ නීති අරගලයේ තීරණාත්මක අතිරේකයන් ලෙස අවධාරණය කර ඇත. හොලොවේ ස්පාක්ස් (Holloway Sparks) සහ වාසුකී නේසයියා (Vasuki Nesiah) උකහා ගනිමින් මා තර්ක කර සිටින්නේ එසේ කිරීම මගින් ඇය සරල ලෙස දිව්‍යමය යුක්තිය අයැද සිටීම හෝ ස්මරණයේ සහ වැළපීමේ පෞද්ගලික ක්‍රියාවක නිරත නොවන බවයි. ඒ වෙනුවට, ඇය නෛතික යුක්තිය විවේචනය කරමින්, ශ්‍රී ලංකාවේ ආකෘතිගත නීතිය හරහා යුක්තිය ලබාගැනීමේ හැකියාව ප්‍රශ්න කරමින් සහ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම පිළිබඳ සිය දැනුම සම්ප්‍රේෂණය කරන අතරවාරයේ ඔහු පිළිබඳ මතකය නිරන්තරයෙන් සජීවීව පවත්වා ගනියි. රාජ්‍යය විසින් සියලු අතුරුදන් කිරීම් ප්‍රතික්ෂේප කරන සහ අතුරුදන්වීම්වලට චෝදනා ලද සොල්දාදුවන් වීරයන් බවට පත් කරන පශ්චාත් යුධ ශ්‍රී ලංකාවේ ඇය නිර්ප්‍රභූ විසම්මුතික පුරවැසියෙකු සේ සැලකිය යුතු වන අතර, ඇගේ ක්‍රියාවන් එකී විසංවාදී පුරවැසිභාවයේ දේශපාලනික ක්‍රියාවන් ලෙස ද, එකී මතකයන් ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාව සඳහා අත්‍යවශ්‍ය “සමාජයීය හා දේශපාලන ජීවිතයේ ආකාරයක්” (නේසයියා 2013; ස්පාක්ස් 1997) ලෙස ද සැලකිය යුතු වේ.

 

‘යහපත්’ කාන්තාවකගේ සිට විසම්මුතික පුරවැසියෙක් දක්වා

සන්ධ්‍යා එක්නැලිගොඩ උපත ලැබුවේ ද මුලදී පාසල් ගියේ ද කොළඹ නගරයේ ය. පසුව ඇගේ පියා ගාල්ලට රැකියා මාරුවක් ලැබූ විට, ඇය අම්පාරේ සිටි සිය මාමා කෙනෙකු වෙත ගොස් එහි පාසල් අධ්‍යාපනය ලැබුවා ය. ඇය දක්ෂ ශිෂ්‍යාවක වුව ද, ඇයට අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සම්පූර්ණ කිරීමට නොහැකි වූයේ එම පවුලේ ඇති වූ ප්‍රශ්න හේතුවෙනි. අනතුරුව ගාල්ලේ සිය දෙමාපියන් සමග ජීවත් වීමට ගිය ඇය එහිදී තේ වත්තක තේ දළු නෙළන්නියක ලෙස වැඩ කළා ය. 1981 වසරේදී කොළඹ බලා සන්ධ්‍යා පැමිණෙන්නේ ලංකා ෆිෂින් ෆ්ලයිස් (Lanka Fishing Flies) නමැති අතින් සාදන කෘත්‍රීම ඇම නිෂ්පාදන සමාගමක සේවය කිරීම සඳහා ය. එම ආයතනයේ සේවය කරන අතරවාරයේ සන්ධ්‍යා කවිය, සාහිත්‍යය සහ ලේඛනය සඳහා වූ සිය කැමැත්ත නැවත අවබෝධ කර ගත්තා ය. එහි සේවය පටන් ගෙන වැඩි කල් යන්නට මත්තෙන් සහෝදර සේවක සේවිකාවන් කිහිප දෙනෙකු සමග එක් වී (ලංකා ෆිෂින් ෆ්ලයිස් හි හිමිකාරිණිය රන්ජිනි ද මෙල් සහ නිෂ්පාදන කළමනාකරු අතුල යන දෙදෙනාගේ ධෛර්යමත් කිරීම මත) කවි, කෙටි කතා සහ සෙසු ලියවිලි සහිත, අතෙන් සාදන කුඩා සඟරාවක් ආරම්භ කළා ය. සන්ධ්‍යා එම පොත් පිංචේ වූ කතාන්දර, කවි හා ලිපි රැසක් සඳහා චිත්‍ර ද ඇන්දා ය. ඇය කුඩා පුස්තකාලයක් ද ආරම්භ කළේ සහෝදර සේවක සේවිකාවන්ගෙන් එකතු වූ දායක මුදල්වලින් පොත් මිලදී ගනිමිනි.

ඊට අමතරව පුවත්පත් ඇතුළු වෙනත් ප්‍රකාශනවලට තමන් ලියූ ලිපි පළකිරීම සඳහා ද ඇය කටයුතු කළා ය. ප්‍රකට සිංහල කිවිඳියක සහ නවකතාකාරියක වූ මොනිකා රුවන්පතිරණ, නිමල් සේදර සහ ධර්මසිරි ගමගේ වැනි ඇගේ ලේඛන කටයුතු දිරිමත් කළ සෙසු ලේඛකයන් ඇයට මුණ ගැසෙන්නේ ද මේ කාලයේ ය. මොනිකා රුවන්පතිරණ සමග මිත්‍රත්වය ලංකා ෆිෂින් ෆ්ලයිස් වෙතින් සමුගෙන කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කම්හල්වල සේවය කරන කාන්තාවන්ගේ අයිතිවාසිකම් රැක ගැනීම සඳහා කැප වූ රාජ්‍ය නොවන සංවිධානයක් වූ ස්ත්‍රී මධ්‍යස්ථානයේ වැඩ පටන් ගැනීමට ඇයට මගපෙන්වූවා ය. සන්ධ්‍යා ඔවුන්ගේ වීදි නාට්‍ය හා සංගීත කණ්ඩායමට සම්බන්ධව සිටි අතර, මේවා කම්කරු කාන්තාවන් දිනපතා මුහණ දෙන ගැටළු පිළිබඳ අවබෝධය වර්ධනය කිරීමටත්, කලාව සහ සෞන්දර්යය ඔස්සේ ‘ශක්තිය සහ ජවය’ කම්කරුවාගේ අරගලයට ලබාදීම සඳහාත් නිර්මාණය වී තිබිණි. කම්කරුවන් වෙනුවෙන්, කම්කරුවන්ට වැදගත් වන ගැටළු කේන්ද්‍රගත කරමින් ප්‍රකාශනය කළ පුවත්පතකට සම්බන්ධ වී ද ඇය වැඩ කළා ය. ඇය ස්ත්‍රී මධ්‍යස්ථානය සමග 1991 වසර වන තෙක් වැඩ කළා ය.

1987 වසරේ ඇය සිය අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා අවසානයේ වාඩි වන්නේ ලංකා ෆිෂින් ෆ්ලයිස් ආයතනයේ සේවය කරන අතරවාරයේ ය. තිස් වසරකට පසුව ඇය 2017 වසරේදී විවෘත විශ්ව විද්‍යාලයේ පදනම් පාඨමාලාවක් ද සම්පූර්ණ කළේ උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා සුදුසුකම් ලබා ගනිමිනි. 1989 වසරේදී ඇයට ප්‍රගීත් මුණ ගැසුණු අතර, 1992 වසරේදී ඔවුහු විවාහ වූහ. ඔවුන්ගේ පළමු පුතා 1994 වසරේ උපන් අතර, දෙවැනි පුතා 1997 වසරේදී උපත ලැබුවේ ය. එයින් අනතුරුව සන්ධ්‍යා සිය විවාහ ජීවිතය දරු දෙදෙනා රැක බලා ගැනීමටත්, ප්‍රගීත්ගේ ජනමාධ්‍ය හා දේශපාලන වැඩවලට සහයෝගය ලබාදීමටත් කැප කළේ ඇගේ සමාජ ක්‍රියාකාරිත්වය අත්හැර දමමිනි. 1995 සිට ඇය අනතුරුව වැඩ කළේ විටින් විට පවුලට යම් ආදායමක් ගෙන දෙනු පිණිස ප්‍රධාන වශයෙන්ම රක්ෂණ සමාගමක ය. 2004 වසරේ දිනෙක ප්‍රගීත්ට හෘද රෝග තත්ත්වයක් ඇතැයි රෝග විනිශ්චයක් කෙරුණු පසුව සහ බයිපාස් සැත්කමක් කළ යුතු යැයි නියම වූ පසුව සන්ධ්‍යා රෝහල් බිල් ගෙවීමට මුදල් සොයාගත්තේ රක්ෂණ සමාගමේ සේවය කිරීමෙනි. 2005 වසරේදී ඇය මද කලකට එහි සේවයෙන් ඉවත් වුවත්, නැවතත් 2006 වසරේදී එහි සේවයට ගිය අතර ප්‍රගීත් අතුරුදන් වන විට ද එහි සේවයේ යෙදී සිටියා ය.

 

2010-2019 දක්වා එක්නැලිගොඩ හේබියස් කෝපුස් පරීක්ෂණය

ස්වාධීන මාධ්‍යවේදියකු සහ දේශපාලන ක්‍රියාකාරිකයකු වශයෙන් ප්‍රගීත්ගේ සමාජ තත්ත්වය හේතුවෙන් සන්ධ්‍යා විසින් ගොනු කරන ලද හේබියස් කෝපුස් නඩුව මුල පටන්ම අන්තර්ජාතික ප්‍රජාවගේ, විපක්ෂ දේශපාලන පක්ෂවල, සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ සැලකිය යුතු අවධානයට යොමු වුණි. මෙය, දස දහස් ගණනක් දෙනා අතුරුදන් වූ රටක සාමාන්‍යයෙන් සිදුවන දෙයක් නොවේ. අන්තර්ජාතික සංවිධාන ගණනාවක් ඔහුගේ අතුරුදන්වීම විවේචනය කළ අතර, සත්‍යය සහ යුක්තිය ඉල්ලා අභියාචන ද සංසරණය විය. විපක්ෂයේ මන්ත්‍රීවරු ගණනාවක් ද පාර්ලිමේන්තුවේදී මේ ගැන ප්‍රශ්න කළහ. කෙසේ වෙතත්, ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් මෙහෙයවනු ලැබූ ආණ්ඩුව මේ සම්බන්ධයෙන් කිසිදු වගකීමක් ගැනීම ප්‍රතික්ෂේප කළ අතර, පොලිසිය විසින් ද නිසි පරීක්ෂණයක් සිදු කළේ නැත.

2011 වසරේදී සන්ධ්‍යා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවට ගියේ ප්‍රගීත්ගේ අතුරුදන්වීම පිළිබඳ හේබියස් කෝපුස් පෙත්සමේ ප්‍රගතියක් නොමැතිකම සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ය. එවිට අධිකරණය තුළදී විත්තියේ නීතීඥවරු සහ නීතිපති දෙපාර්තමේන්තුව, ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඇය ගිය ගමන් විමසීමට ලක් කර, ඒ ගැන පැහැදිලි කිරීමට ඇයව විත්ති කූඩුවට නැග්ගවූහ. උදාහරණයක් ලෙස 2012 මාර්තු 26 වැනිදා, එනම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 19 වන සැසි වාරයට සහභාගි වී ඇය පැමිණ දින දෙකකට පසුව නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඇයව උසාවියේ පැමිණිලි කූඩුවේ තබාගෙන දීර්ඝ වශයෙන් ප්‍රශ්න කළේ ය. එම ප්‍රශ්න උපමා උපමේය සහිතව නගන ලද ප්‍රශ්න වූ අතර, සන්ධ්‍යා ඒවාට පිළිතුරු ලබාදුන් ආකාරය නොතකා එකම ප්‍රශ්න නැවත නැවතත් විමසනු ලැබිණි. මෙම ප්‍රශ්න කිරීමේ රටාවට ඇගේ නීතීඥවරයා විරෝධය පළ කළත්, දළ වශයෙන් පැයක පමණ  කාලයක් ප්‍රශ්න කිරීම සිදු කෙරිණි.

මේ සම්බන්ධයෙන් අන්තර් ජාතික මට්ටමට ගෙනියන්න උත්සාහ කරනවා ද?
ඊට අමතරව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙනත් පිටරටකදී යම්කිසි රැස්වීමකට සහභාගි වුණා ද?
කවු ද ආධාර දුන්නේ, පිටරට වලට යන්න?... කන්න බොන්න දුන්නේ?
ඊට අමතරව තමුන්ට පිටරටවලට යන්න කවු ද වියදම් කරන්නේ?
විදේශ සංවිධානයකින් ද මුදල් දුන්නේ?
ආධාර දුන්න සංවිධාන කවු ද?
ඒ සංවිධානවලට අමතරව වෙනත් සංවිධාන ආධාර කර තිබෙනවාද?[2]

එපමණක් නොව ඒ වන විට දේශපාලන නායකයන් ගණනාවක් මෙන්ම රාජ්‍ය තාන්ත්‍රිකයෝ ද කිහිප දෙනෙක් එක්නැලිගොඩ ජීවතුන් අතර සිටින බවත්, විදෙස් රටක ජීවත් වන බවත් කියා සිටියහ. 2011 නොවැම්බරයේදී රටේ නීතිපතිවරයා සහ ජනපතිට හා කැබිනට් මණ්ඩලයට නීති උපදේශකවරයා ලෙස කටයුතු කළ මොහාන් පීරිස්, එක්සත් ජාතීන්ගේ වධහිංසාවට එරෙහි කමිටුව (United Nation’s Committee against Torture [CAT]) ඉදිරියේ නිල වශයෙන් පෙනී සිටිමින් මූලික වශයෙන් කමිටුවට කියා සිටියේ ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම පිළිබඳ විමර්ශනයක් පැවැත්වෙමින් තිබෙන බව ය. ඉන්පසුව, ප්‍රශ්න සහ පිළිතුරු සැසියේදී ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා ආණ්ඩුවට එක්නැලිගොඩ මහතා විදේශ රටක සරණාගත රැකවරණය ලබන බවට තොරතුරු තිබෙන බවයි. තව ද ඒ අනුව කාටුන් ශිල්පියා නිදහස් කරන ලෙසට ගෙන යන ව්‍යාපාරය විහිළුවක් වූ බවයි.[3] 2013 ජූනි මාසයේදී ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ අරුන්දික ප්‍රනාන්දු ද එක්නැලිගොඩ නමින් සඳහන් කරමින් පාර්ලිමේන්තුවේදී මෙවැනිම ප්‍රකාශයක් කළේ ය. ඔහු සඳහන් කළේ එක්නැලිගොඩ ප්‍රංශයේ ජීවත් වෙමින් සිටි බව ය. හිටපු කථානායකවරයා විසින් ඇතැම් මාධ්‍යවේදීන් අතුරුදන් වී ඇති බව සහ ඇතැමුන් රාජපක්ෂ රෙජීමය සමයේ ඝාතනයට ලක් ව ඇති බවට පළ කළ ප්‍රකාශයක් ගෙන හැර දක්වමින් අරුන්දික ප්‍රනාන්දු මෙසේ කීවේ ය:

හැබැයි අපි ඉතාමත් සතුටු වෙනවා, 2005 පටන් ගත්තු අතිගරු ජනාධිපතිතුමාගේ කාලයේ සහ ඊට ඉස්සෙල්ලා 1994 කාලයේ ඉඳලා ජනමාධ්‍යවේදීන්ගේ නිදහස ආරක්ෂා කරලා තිබෙන එක ගැන. මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් අතුරුදහන් කරලා තිබෙනවා ය, මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් මරා දමා තිබෙනවා ය කියා ඒ ගරු මන්ත්‍රීතුමා කිව්වා. එවැනි දේවල් සම්බන්ධෙයන් තොරතුරු නැහැ. මම තමුන්නාන්සේලාට කියන්න ඕනෑ, අතුරුදහන් වෙලා ය කියපු ඒ සමහර මාධ්‍යවේදීන් අද ප්‍රංශයේ ඉන්නවා ය කියන එක. මට එහේදි එවැනි කිහිප දෙනෙක් හම්බ වුණා. අතුරුදහන් වෙලාය කියා තමුන්නාන්සේලා කියන ප්‍රසිද්ධ නමකින් හඳුන්වන ජනමාධ්‍යවේදියෙක් අද ප්‍රංශයේ ඉන්නවා. වෙස් මාරු කරගෙන අද ඔහු ප්‍රංශයට වෙලා ඉන්නවා. මේ රටේ තානාපති කාර්යාලවල උදව්වෙන් ගිහිල්ලා අද ඒ රටවලට වෙලා ඉන්නවා. ඒ අය අතුරුදහන් වෙලා ය කියා අපේ රටේ උසාවිවල නඩු අහනවා. තමන්ගේ ස්වාමි පුරුෂයා අතුරුදහන් වෙලා ය කියා සමහර විට ඒ අයගේ බිරින්දෑවරුන් ජනමාධ්‍යවලට ඇවිල්ලා අඬන අවස්ථා පවා තිබෙනවා. නමුත් හොරෙන්, ඒ අය රෑට ගෙවල්වලට කථා කරනවා. ඒ පුද්ගලයා ඉන්නේ ප්‍රංශයේයි. පාර්ලිමේන්තු වරප්‍රසාදවලට යටත් වෙලා නොවෙයි, ඕනෑ නම් කෙළින්ම මම නමත් කියන්නම්. ප්‍රදීප් එක්නැලිගොඩ තමයි ඒ පුද්ගලයා. ප්‍රංශයේ ඉන්න අය ඒ පුද්ගලයා ගැන දන්නවා.[4]

මෙම ප්‍රකාශ අභියෝග කිරීමට සන්ධ්‍යා මාධ්‍යය හරහා හැකිතාක් උත්සාහ කළා ය. මොහාන් පීරිස් ජිනීවාහිදී කළ ප්‍රකාශයට දින දෙකකට පසුව මාධ්‍ය සාකච්ඡාවකදී ඇය ඔහුගෙන් ඉල්ලා සිටියේ සිය දරුවන්ගේ විභාගය පටන් ගැනීමට පෙර තමන්ගේ සැමියා තමන් වෙත ගෙනැවිත් දෙන ලෙසට ය. අරුන්දික ප්‍රනාන්දුගේ ප්‍රකාශයෙන් පසුව, ප්‍රගීත් තමන්ට කතා කර තිබේ දැයි තමන්ගේ ජංගම දුරකථනය පරීක්ෂා කරන ලෙසට ඇය ඔහුට අභියෝග කළේ මෙසේ ද කියමිනි.

මම මේ සියලූ දේවල් කරන්නේ දිගටම මේ සටන ගෙනියන්නේ ප්‍රගීත්ගේ හඬ අහන්නයි. අරුන්දික මන්ත්‍රීවරයා කියා තිබුණා ප්‍රගීත් ප්‍රංශයේදී දුටු බව. මාත් එක්ක කතා කරන බවත් කියා තිබුණා. එහෙනම් දුරකථන පරීක්ෂා කරලා ඒක ඔප්පු කරන්න කියලා මම අභියෝග කරනවා. ලංකාවේ පොලීසියෙන් නොදන්න දේවල් ආණ්ඩුවේ මන්ත්‍රීවරු දන්නා බව ඉන් පේනවා. මේ අය මේ කරන්නේ මගේ දරුවෝ දෙන්නට කරන්න පුළුවන් ලොකුම නිග්‍රහයයි. ළමයි දෙන්නගේ මානසිකත්වය තවත් පහළට දාන්නයි මේ හදන්නේ. ලොකු පුතා අගෝස්තු මාසයේ උසස් පෙළ විභාගයට මුහුණ දෙනවා. පොඩි පුතා මේ වසරේ දෙසැම්බර්වල සාමාන්‍ය පෙළට මුහුණ දෙනවා. මේ වගේ ප්‍රකාශ කරන අය දරුවෝ දෙන්නගේ මානසිකත්වය ගැන හිතන්න ඕනැ... ඔය කියන මන්ත්‍රීවරයා දන්නවා ඇති ප්‍රගීත් ඉන්නේ කොහෙද කියලා. එයා ඉන්නේ කොහෙද කියලා හෙළි කරන්න. මං නැවත වරක් ජනාධිපතිතුමා ගෙන් ඉල්ලා සිටින්නේ මගේ ප්‍රගීත්ව ගෙනල්ලා දෙන්න.[5]

කෙසේ නමුත් සන්ධ්‍යා මාධ්‍යය හරහා මෙම ප්‍රකාශ අභියෝගයට ලක් කළා පමණක් නොව එම ප්‍රකාශවල අසත්‍ය භාවය තහවුරු කිරීම සඳහා ප්‍රගීත් සිටින ස්ථානය දන්නා බව කියන මෙම රාජ්‍ය නිලධාරීන් දෙදෙනාගේ සාක්ෂි හෙළි කරන ලෙස අධිකරණය වෙත කැඳවීමට ද ඇය උත්සුක වූවා ය. මොහාන් පීරිස්ව අධිකරණයට කැඳවන්නට සන්ධ්‍යාට මාස අටක් ගත විය. මුලින්ම මොහාන් පීරිස්ව අධිකරණයට කැඳවිය යුතු බව උසාවියට කියා සිටි විට රජයේ නීතීඥවරයා එයට විරෝධය පෑවේ එවැනි ප්‍රකාශයක් මොහාන් පීරිස් විසින් සිදු කළ බවට සාක්ෂියක් නැති බව කියමිනි. සන්ධ්‍යා එවිට නීතිපතිවරයා විසින් ජිනීවා හිදී කළ ප්‍රකාශයේ වෙබ්කාස්ට් එකක් අධිකරණයට ඉදිරිපත් කළා ය. රජයේ නීතීඥවරයා එවිට නැවත වරක් එයට විරෝධය පෑවේ එම වීඩියෝ සාක්ෂිය අධිකරණයට පිළිගත හැකි සාක්ෂියක් නොවන බව පවසමිනි. එවිට සන්ධ්‍යා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය විසින් සහතික කරන ලද එම කතාවේ මුද්‍රිත පිටපතක් ඉදිරිපත් කළා ය. මෙවිට රජයේ නීතීඥවරයා එහි වලංගුබව ප්‍රශ්න කරමින් විරෝධය පෑවේ එය සත්‍ය පිටපතක් ලෙස පිළිගත නොහැකි බවත්, එය මොහාන් පීරිස් මහතා අධිකරණය වෙත කැඳවීමට ප්‍රමාණවත් නොවන බවත් කියමිනි. මන්දයත්, මොහාන් පීරිස් මහතා විසින් අතුරුදන් වූ මාධ්‍යවේදියා පිළිබඳ එම තොරතුරු සහිත ප්‍රකාශය සිදුකරන්නේ ආණ්ඩුවේ නිල නියෝජිතයකු වශයෙන් වන නිසා ය.

මෙම විරෝධතා 2012 මැයි 17 වැනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය අහෝසි කළේ මොහාන් පීරිස්ව සාක්ෂිකරුවෙකු ලෙස කැඳවීමට මග පාදමිනි. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරයා එවිට එම තීරණය අභියාචනාධිකරණයේදී අභියෝග කළේ මොහාන් පීරිස් කැබිනට් මණ්ඩලය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීති උපදේශකයකු ලෙස කටයුතු කරන හෙයින් ඔහු පැවසූ දේවල් “ආණ්ඩුවේ නියමය” මත කළ ප්‍රකාශ වන බවත්, “පොදු යහපතට හානි සිදුවන” සන්නිවේදනයන් අධිකරණයේදී සාකච්ඡා හෝ හෙළිදරව් නොකළ යුතු බවත් කියමිනි. ආණ්ඩුවේ උපදෙස් මත කටයුතු කිරීම නිසා මොහාන් පීරිස් මහතාට හිරිහැර නොකළ යුතු බවත් තවදුරට එහිදී තර්ක කෙරිණි. මෙම අභියාචනය ප්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණය මොහාන් පීරිස්ව අධිකරණයට කැඳවීමට මහේස්ත්‍රාත්  අධිකරණයට බලය ඇතැ යි නියෝග කළේ ය. “නීති අධිකරණයක් ඉදිරියට කැඳවීමෙන් මුක්තිය ලැබිය හැක්කේ ජනාධිපතිවරයාට පමණයි” යනුවෙන් ද අභියාචනාධිකරණය සඳහන් කළේ ය. විනිසුරුවරයා ප්‍රකාශ කළේ පීරිස්ගේ සාක්ෂිය ‘පූර්වක්‍ර’ නොවන බවත් අධිකරණය ඉදිරියට කැඳවීම හිරිහැර කිරීමක් ලෙස සැලකිය නොහැකි බවත් ය.[6]

මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ මොහාන් පීරිස් සිය සාක්ෂිය ලබාදුන්නේ 2012 ජූනි 5 වැනිදා ය. අධිකරණයේදී හරස් ප්‍රශ්නවලට ලක් වෙමින්, ජිනීවාහි පැවති වධහිංසාවට එරෙහි කමිටුවේ 47 වැනි සැසිවාරයේදී එහි සාමාජිකයන් විසින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නියෝජිතයන්ගෙන් එක්නැලිගොඩ ගැන දිගින් දිගටම ප්‍රශ්න කිරීමේ සන්දර්භය තුළ තමන් විසින් මෙම ප්‍රකාශය සිදු කළ බව මොහාන් පීරිස් පැවසුවේ ය. ඔහු තවදුරටත් පැවසුවේ “මේ විදේශිකයො ඉතාම පැහැදිලි පිළිතුරුවලින් තෘප්ත වුණේ නැහැ. දිගින් දිගටම ඔවුන් ප්‍රශ්න කළා” යනුවෙනි. තව ද වධහිංසාවට එරෙහි එම එක්සත් ජාතීන්ගේ කමිටුව විසින් “ප්‍රශ්න දහස් ගණනක්” ඇසූ බව ද, ඒවායින් “සියයට අනූ නවයක්ම” රටේ කීර්තිනාමය පහත හෙළන, එයට හානිකරන ප්‍රශ්න වූ බව ද ඔහු පැවසුවේ ය. මේ තත්ත්වය තුළ එම කමිටුවේ විවෘත සාකච්ඡාවකදී නැවත වරක් එම ප්‍රශ්නය ඇසූ විට, ප්‍රගීත් එක්නැලිගොඩ ගේ අතුරුදන්වීමට අදාළ විමර්ශනය තවමත් අවසන්ව නැති බවත්, එක්නැලිගොඩ විදේශ රටක ජීවත් වන බවට නීතිපති දෙපාර්තමේන්තුවට සහ බුද්ධි අංශයට තොරතුරු ලැබී ඇති බවත් තමන් ප්‍රකාශ කළ බව මොහාන් පීරිස් අධිකරණය හමුවේ පිළිගත්තේ ය. පෙත්සම්කාරියගේ නීතීඥවරයා එවිට ඇසුවේ, එබඳු සාක්ෂියක් ගැන ඔහුට දැනුම් දුන් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයා හෝ බුද්ධි අංශයේ නිලධාරියා ගැන ඔහුට මතකයක් තිබේ ද යනුවෙනි. රජයේ නීතීඥවරයා මෙම ප්‍රශ්නයට විරෝධය පෑවේ සාක්ෂි ආඥාපනතේ 24 වන වගන්තිය උපුටා දක්වමින් මෙම තොරතුර මහජන සාමයට අනර්ථදායක විය හැකි බව පවසමිනි. නමුත් ඒ බව නොතකා මොහාන් පීරිස් මෙම ප්‍රශ්නයට පිළිතුරු ලබාදීමට එකඟ විය. ඔහු “නැත” යනුවෙන් පිළිතුරු දෙමින් පැවසුවේ “මේ සම්බන්ධයෙන් මගේ දැනුම සම්පුර්ණයෙන්ම ප්‍රවාදකයි, ‘අසා දැනගත් ඒවා’, එකේ ඇත්ත නැත්ත දෙයියෝ දති” යනුවෙනි.[7]

සන්ධ්‍යා සහ ඇගේ නීතීඥවරුන්ගේ ඉල්ලීම පරිදි හෝමාගම මහේස්ත්‍රාත්වරයා 2013 ජූලි 16 සහ 2013 අගෝස්තු 21 දිනවලදී අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අධිකරණයට කැඳවූයේ එම කැඳවීම් මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් බවට නැගුණු විරෝධයන් ප්‍රතික්ෂේප කරමිනි. අධිකරණයේදී තමන් කිසිවිටෙක ප්‍රගීත් එක්නැලිගොඩව හැබැහින් දැක නැති බව අරුන්දික ප්‍රනාන්දු පිළිගත්තේ ය. නමුත් තමන් එම ප්‍රකාශය කළේ 2011 දෙසැම්බර් සිට 2012 ජනවාරි දක්වා වූ කාලය තුළ ප්‍රංශයට ගිය අවස්ථාවකදී දිගු කලෙකින් හමුවූ සිය මිතුරෙකුගේ වචනය විශ්වාස කරමින් බවත් ඔහු කීවේ ය. දීර්ඝ ලෙස හරස් ප්‍රශ්න අසමින් පෙත්සම්කාරියගේ නීතීඥවරයා ඇසුවේ පාර්ලිමේන්තුවේදී සහ මාධ්‍යයට ඔහු කී දේ සහමුලින්ම පදනම් වූයේ පැරිසියේදී හමුවූ මිතුරා කියූ බසක් මත පදනම් වී ද යනුවෙනි. මෙම ප්‍රශ්නයට අරුන්දික ප්‍රනාන්දු මෙසේ පිළිතුරු දුන්නේ ය:

මට විශේෂයෙන්ම කියන්න ඕනෙ, මම පාර්ලිමේන්තුවේ තේරී පත් වූ මන්ත්‍රීවරයෙක්. මම මගෙ ඡන්දදායකයන්ට වග කියනවා. තිස් අවුරුදු යුද්ධයක් ඉවර වුණායින් පස්සෙ ගැටළු මතු වුණාම, ආණ්ඩුවයි රණවිරුවොයි පාර්ලිමේන්තුවෙදි අවමානයට ලක් වෙද්දි, මම ප්‍රංශයෙ ඉන්න මගෙ මිත්‍රයෙක් හෙළි කරපු කරුණක් පාර්ලිමේන්තුවෙදි හෙළිදරව් කළා. මට මේ තොරතුර මාධ්‍යයට නොකිය ඉන්න තිබුණා. මම මාධ්‍යයට මේ තොරතුර නැවත නැවතත් කිව්වෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට... ආණ්ඩුව අන්තිමේදි ජනතාවට වග කියන්න ඕනෙ. ජනතාවගෙ අයිතිවාසිකම් රැකගන්න තමයි මම මේ ප්‍රකාශය කළේ.[8]

පෙත්සම්කාරියගේ නීතීඥවරයාට අරුන්දිකගෙන් හරස් ප්‍රශ්න ඇසීමට අවස්ථාව ලැබුණු විට ඔහු විමසුවේ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට ජීවිත තර්ජන නැති ද කියා ය. අමාත්‍ය ප්‍රනාන්දු එයට පිළිතුරු දුන්නේ “මෑත කාලයෙ වෙච්ච දේවල්වල හැටියට මේ මාධ්‍යවේදියො ඉන්නෙ විදේශිකයො එක්ක කුමන්ත්‍රණ කරමින්. ඔවුන් ශ්‍රී ලංකාවටයි අපේ රණ විරුවන්ටයි විරුද්ධව වැඩ කරනවා” කියා ය.[9] අධිකරණ ශාලාව තුළ සිටි සන්ධ්‍යාට මේ වචන ඇසුණු විට සිනහ නැගිණි. මෙම සිනහව දුටු විනිසුරුවරයා ඇයට එදින නඩු කටයුතුවලට සහභාගි නොවී අධිකරණයෙන් පිටතට යන ලෙස නියෝග කළේ ඇය අධිකරණයට නිගරු කළ බව කියමිනි.

මොහාන් පීරිස් සහ අරුන්දික ප්‍රනාන්දු විසින් කියන ලද බොරු පිළිබඳ උසාවි නාටකය පාරවල්වල කතා බහට ලක් වීම හැර, 2015 වසරේදී ආණ්ඩු මාරුව සිදුවන තෙක්ම මේ නඩුවෙන් කිසිවක් සිදු වූයේ නැත.

 

2015 ජනාධිපතිවරණය සහ ඉන් පසුව

2014 නොවැම්බරයේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ පසුව සන්ධ්‍යා සිය ශක්තිය යෙදවූයේ යහපාලනය සඳහා ඒකාබද්ධ පෙරමුණ විසින් ඉදිරිපත් කළ පොදු අපේක්ෂකයා වූ මෛත්‍රිපාල සිරිසේනට සහයෝගය ලබාදීම සඳහා ය. මැතිවරණය ආසන්න වෙත්ම ඇය උද්‍යෝගයෙන් යුතුව, වෙහෙස නොබලා, ජනාධිපතධුරයේ සිටි මහින්ද රාජපක්ෂට විරුද්ධව සිවිල් සංවිධාන සහ නිදහසේ වේදිකාව, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරය වැනි ජාලයන් සමග වැඩකටයුතු කළා ය. ඒ අවස්ථාවේදී සන්ධ්‍යාට සිය ගැටළුව දේශපාලනීකරණය කරගැනීමට අවස්ථාව ලැබුණු අතර, එසේ කිරීමට ඇය බිඳක්වත් පැකිලුණේ ද නැත. ඇය කොළඹ සහ වෙනත් දිස්ත්‍රික්කවල පැවති රුස්වීම් සිය ගණනකට සහභාගි වූවා ය. මැතිවරණ වේදිකාවලදී කතා කරමින් ඇගේ නම සහ මුහුණ දේශපාලන ප්‍රචාරණ ලියකියවිලිවලත් ප්‍රචාරණ පටවලටත් යොදාගන්නට ඉඩ දුන්නා ය. මෛත්‍රිපාල සිරිසේනගේ කාන්තා ඡන්දදායකයන්ට ආමන්ත්‍රණය කරන ජනාධිපතිවරණ ප්‍රචාරණ පත්‍රිකාවක සන්ධ්‍යාගේ ඡායාරූපය තවත් ඡායාරූප 4 ක් ද සමග මුල් පිටෙහි දැකගත හැකි ය. එය ඇගේ මුහුණ සහ මුව කළු රෙදි කඩකින් ආවරණය කළ නිරූපණාත්මක ඡායාරූපයක් විය. එම කළු රෙදි කඩෙහි සුදු අකුරින් ලියා තිබුණේ, “ඇත්ත කියන්න ඉඩ දෙන්න” යනුවෙනි.


මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණ ව්‍යාපාරයේ මැතිවරණ ප්‍රචාරක පත්‍රිකාවක්, 2015 ජනවාරි.

2015 වසරේදී ජනාධිපතිවරණයෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණයෙන්, සිරිසේන සහ යහපාලනය සඳහා ඒකාබද්ධ පෙරමුණ ජයග්‍රහණය කිරීමෙන් පසුව, එක්නැලිගොඩ සිද්ධිය අපරාධ විමර්ශන ඒකකය වෙත භාරදෙනු ලැබිණි. මාස කිහිපයක් ඇතුළත විමර්ශනය ශීඝ්‍ර ප්‍රගතියක් ලැබුවේ ය. 2015 ඔක්තෝබර් මාසය වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගිරිතලේ තුන්වැනි හමුදා බුද්ධි බලකායේ කඳවුරු භූමියට අනුයුක්තව සේවය කළ හමුදා බුද්ධි අංශ සාමාජිකයන් රැසක් ඇතුළු සැකකරුවන් 9 දෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි. මුලින් ඔවුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත්තත් පසුව දණ්ඩ නීති සංග්‍රහයේ පැහැර ගැනීමේ සිට මිනීමැරුම දක්වා අපරාධ ගණනාවකට චූදිතයන් බවට පත් කෙරිණි. 2019 නොවැම්බර් මස මෙම මහේස්ත්‍රාත් පරීක්ෂණය නිමා කරමින් නීතිපතිවරයා විසින් ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයක් ඉදිරියේ යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් 9 දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කළේ ය.

දණ්ඩ නීති සංග්‍රහයේ 02 වගන්තිය (අනුබල දීම), 112 වගන්තිය (ආරක්ෂා කිරීම; තම යුතුකම වන්නා වූ වරදක් සිදුකිරීමේ උපක්‍රමයක් රජයේ සේවකයෙකු විසින් වසන් කරනු ලැබීමේ වරද), 140 වගන්තිය (නීතිවිරෝධී රැස්වීම), 355 වගන්තිය (මිනීමැරීම සඳහා අපහරණය කිරීම හෝ පැහැරගෙන යාම) සහ 296 වගන්තිය (මිනීමැරීම) ඇතුළත් වගන්ති ගණනාවක් යටතේ ඔවුන්ට විරුද්ධව චෝදනා ගොනු කරනු ලැබිණ. මෙම ආරංචිය ඇසුණු දිනයේ සන්ධ්‍යාට නිහඬ සතුටක් දැනිණ. ඇය මා සමග කීවේ සිය සැමියාගේ අතුරුදන්වීම සඳහා ඉටුවිය යුතු යුක්තිය වෙතට මදක් සමීප වූ බව තමන්ට දැනුණු බවයි. 2020 සැප්තැම්බරයේ නඩු විභාගය ආරම්භ වූ විට ඇය විශේෂ අධිකරණය විසින් කැඳවනු ලැබූ සාක්ෂිකරුවන් පස් දෙනාගෙන් කෙනෙකු වූවා ය. කෙසේ වෙතත්, 2019/2020 මැතිවරණයෙන් පසු මහේස්ත්‍රාත් අධිකරණ පරීක්ෂණය මෙන්ම එක්නැලිගොඩ සිද්ධියට අදාළ ත්‍රිපුද්ගල මහාධිකරණ නඩුව ද යටගැසීමට හා එහි අදාළත්වය අහෝසි කිරීමට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව සහ චූදිතයන් විසින් සමාන්තර ක්‍රියාදාමයකට මුල පුරා තිබිණි.

එක්නැලිගොඩ නඩුවිභාගය ආරම්භ කිරීමට පෙර, 2020 ජනවාරි මස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කළ දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් පිළිබඳ ජනාධිපති කොමිසම ඉදිරියේ මේ නඩුවේ සියලු චූදිතයන් විසින් පැමිණිලි ගොනු කර තිබිණි. නඩු විභාගය ආරම්භ වන විට මෙම කොමිෂන් සභාව එක්නැලිගොඩ නඩුවේ සෑම චූදිතයකුගෙන්ම සාක්ෂි ලබාගනිමින් සිටියා පමණක් නොව, නඩුවේ ඇතැම් ප්‍රධාන සාක්ෂිකරුවන් ද කොමිසම ඉදිරියට කැඳවමින් තිබිණි. 2020 දෙසැම්බර් මස කොමිසම ඉදිරියේ ප්‍රකාශයක් දීම පිණිස එක් ප්‍රධාන සාක්ෂිකරුවෙකු කැඳවූයේ එක්නැලිගොඩ නඩුව අවසන් වන තෙක් වෙනත් කිසිදු අවස්ථාවක සාක්ෂි ලබාදීම ඔහුට තහනම් කරමින් පැවති අධිකරණ නියෝගයක් ද නොතකා ය. 2015 වසරේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී දිවුරුම පිට ලබාදුන් පාපොච්ඡාරණය මෙම සාක්ෂිකරු කොමිෂන් සභාව ඉදිරියේදී හකුළා ගත්තේ, ඔහුගේ පාපොච්ඡාරණය තර්ජනය සහ බලහත්කාරය යටතේ ලබාගත් එකක් බව කියමිනි. අනතුරුව එක්නැලිගොඩ ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේදී ද ඔහු එයම කළේ ය. සන්ධ්‍යා විසින් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරන ලද දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිෂන් සභාව විසින් ස්වාභාවික යුක්තියේ රීති සහ මූලධර්ම උල්ලංඝනය කර ඇති බවත්, එහි කාර්යපටිපාටීන්ගේ සමස්තයම මුල පටන් බල රහිත බවත්, නීතිය තුළ එයට බලාත්මක බවක් හෝ බලපෑමක් නොමැති බවත් තර්ක කරමිනි. දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිෂන් සභාවේ තීරණ සහ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසට 2021 ජනවාරි 18 වැනිදා ගත් කැබිනට් මණ්ඩල තීරණයට ද මෙම පෙත්සම අභියෝග කරයි. දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිෂන් සභාවේ සභාපති උපාලි අබේරත්න, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වගවීමට යටත් විය යුතු බවට ද සන්ධ්‍යාගේ නීතීඥවරයා එහි තර්ක කරයි. 2022 ජූනි වන විට, මෙම නඩුවේ සිටින ප්‍රධාන සාක්ෂිකරුවන් දෙදෙනකු දැන් චූදිතයන්ට චෝදනා එල්ල කරමින් පාපොච්චාරණයක් කිරීමට රහස් පොලිසිය තමාට බල කළ බවට චෝදනා කර ඇත. මෙම වර්ධනයන් දැන් මෙම නඩු විභාගය හරහා යුක්තිය පසිඳලීමේ හැකියාව බරපතල ලෙස අභියෝග කර ඇත.

 

කඳුළු සහ ශාපයන්

ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදන්වීම පිළිබඳ සත්‍යය සහ යුක්තිය සොයායන නීතිමය අරගලයේ යෙදී සිටියදී පවා සන්ධ්‍යා සිය අරගලය විද්‍යමාන කිරීමේ කොටසක් වශයෙන් විරෝධතාවල නිරත වූවා ය. අතුරුදන්වූවන් ස්මරණය කිරීම හා සදෘශ්‍ය කිරීම සඳහා වූ සහ/හෝ අපරාධකරුවන්ට චෝදනා කිරීම හා ඔවුන් විනිශ්චයට ලක් කිරීම සඳහා වූ මෙකී ‘විරෝධතා ප්‍රකාශන රූ රංගනයන්’ ඇතැම් විටකදී ලතෝනිය සහ වැළපීම ද, තවත් විටෙකදී ශාප කිරීම සහ යාදින්නා කිරීම ද විදහා දක්වයි. විටෙකදී වේදනාව, දුක සහ ක්ෂතිමය භ්‍රාන්තිය ද තවත් විටෙකදී වියරුව සහ ප්‍රතිරෝධය ද ඇය පෙරදැරි කරයි. ඇයගේ විරෝධතා තුළ ඇය යොදවන විලාපය සහ කෝපයේ කාන්තා නිරූපක ඇය ලබාගන්නේ ප්‍රේක්ෂකයන්ට හුරුපුරුදු ආගමික-සංස්කෘතික සමුච්චයකින් ය. එය බෞද්ධ-හින්දු දේව මණ්ඩලයේ පත්තිනි දේවිය සහ කාලි දේවිය ද ජේසුගේ මව වූ මරිය මව්තුමිය ද චන්දා නමැති කිඳුරිය ද (එනම් බුදුන් වහන්සේ පෙර ආත්මයක කින්නරයකු  ලෙස උපත ලැබූ විට ඔහුගේ භාර්යාව) වැනි චරිතවලින් සමන්විත ය.[10] මේ සියල්ල විලාපයේ, සුවපත් වීමේ සහ යුක්තියේ සුසමයාදර්ශීය සංකේතයන් ය. ඇය ඔවුන්ගේ ‘දිව්‍යමය’ සංස්කෘතික බලය ඉල්ලා සිටින විට එසේ කරන්නේ කොටුව දුම්රිය ස්ථානය, අරලියගහ මන්දිරය  (අගමැති නිල නිවස) හෝ දළදා මාලිගාව වැනි පොදු ස්ථාන ඉදිරිපිට ය. එසේ කිරීමේදී ඇය ඒවාට සම්බන්ධ ආගමික-සංස්කෘතික චාරිත්‍ර අනුකරණය කරයි.

මහනුවර දළදා මාළිගය අබියස සන්ධ්‍යා සහ අතුරුදන්වූවන්ගේ සමීප ඥාතීන් සඳකිඳුරු ජාතක කාව්‍යය ගායනා කරමින්, 2018 සැප්තැම්බර්.

නිදසුනක් වශයෙන් 2018 සැප්තැම්බරයේදී ඇය 1988-89 කැරැල්ල සමයේ සිය පවුල්වල සාමාජිකයන් අතුරුදන් වූ සෙසු කාන්තාවන් කිහිප දෙනෙකු සමග මහනුවර දළදා මාළිගය ඉදිරිපිට සඳකිඳුරුදාව යන සිංහල ජන ගීවලියෙන් උපුටාගත් කවි 25 ක් සජ්ඣායනා කළා ය. 12 වන සියවසේදී පමණ රචනා කළ මෙම කාව්‍යයේ සඳකිදුරු ජාතකයේ කතා පුවත පද්‍ය 433 කින් විස්තර කෙරේ. ඒවා සිංහල කාව්‍යයේ විශිෂ්ටතම සහ ලාලිත්‍යය අතින් විශිෂ්ටතම පද අඩංගු කෘතියක් ලෙස විස්තර කර ඇත (ප්‍රනාන්දුපුල්ලේ 1998: 88). මෙම පද්‍යාවලියේ කේන්ද්‍රීය කොටස වන්නේ සිය ස්වාමිපුරුෂයා මරා දැමූ කුරිරු රජුට චන්දා චෝදනා කරන ආකාරය දැක්වෙන පැදි 100 කට අධික ප්‍රමාණයකින් සමන්විත වැළපිල්ලයි. රජු තම ස්වාමිපුරුෂයා මරා දැමුවේ මන්දැයි ඇයට දැන ගැනීමට අවශ්‍යයි. සිසිල් තුරු සෙවනේ සහ මලින් ගැවසුණු වැලි පොළොවේ ඔවුන් කෙළි දෙළෙන් කාලය ගත කළ ආකාරය ඇය විස්තර කරයි. ඔවුන් ශෝකයක් හෝ අසමගියක් දැන නොසිටි අතර, දැන සිටියේ ආලය පමණි. ඔහුගෙන් වෙන්වීමේ ශෝකය ජලයෙන් හටගත් ගින්නක් මෙන් දැවෙන අතර, ඇයට දැන් සැනසීමක් නැත. චන්දා වැළපෙමින් නර්තනයේ යෙදෙන අතර, වනයේ සිටි සියලු මෘගයෝ සහ පක්ෂීහු ද ජලයේ සිටි මත්ස්‍යයෝ ද නිශ්චලව සැළෙමින් ඇගේ කණස්සල්ලට අන්තර්ග්‍රහණය වෙති (එම). සිංහල ජන සම්ප්‍රදාය තුළ මෙම පද්‍ය අවමංගල්‍යයන්හිදී ගායනා කරනු ලබන අතර ජන රංගයන් ලෙසත් නාට්‍යකරණය කරනු ලැබේ. ප්‍රජා නෘත්‍යයන් ලෙස මෙය රඟදක්වන කල්හි කාන්තාවෝ වැළපෙමින් සහ විලාප නගමින් බිම පෙරළෙති.

2019 ජනවාරි මාසයේදී ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පදික වේදිකාවේ පැවැත්වූ විරෝධතාවකදී සන්ධ්‍යා කාලි මෑණියන්ට ආයාචනා කළා ය. මෙම පදික වේදිකාව අක්කර 660 කින් යුත් වරාය නගරය ඉදිකිරීම සඳහා මුහුදෙන් ගොඩ කරන ලද භූමියෙන් වෙන් කර ඇති පටු තීරුවකි. ඇය සිය විරෝධතාවලට තමන් කැටුව නිතර යනෙන අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකාවන් දෙදෙනෙකු වූ සිත්ති අමීනා සහ විජය ලක්ෂ්මී සමග සවස 4 ට පමණ එම ස්ථානයට පැමිණියා ය. පළමුව කාලි මෑණියගේ ‘සොහොන්කාලි’ ආවේශය දැක්වෙන අඩි 6x4 රූපයක් වරාය නගර ඉදිකිරීම් භූමියෙන් පදික වේදිකාව වෙන් කරන වැටේ එල්ලා තබන ලදි. එදින විරෝධතාවයට සන්ධ්‍යා තෝරාගෙන තිබූ රූපයේ කාලිට අත් දහයකුත් කකුල් දහයකුත් තිබූ අතර, ඇය මිනිස් අත් සායක් සහ හිස් කබල් මාලයක් ද පැළඳ සිටියා ය. ඇගේ දෑස් දිලිසෙමින් තිබූ අතර, ඇගේ රක්ත වර්ණ දිව මුවෙන් පිටතට එල්ලා වැටෙමින් තිබිණි. සිය වල්ලභයා වන ශිවගේ සිරුර මත නර්තනයේ යෙදෙමින් සිටි ඇය  අත්වල ත්‍රිශූලයක්, කඩුවක්, දුන්නක් සහ ඊතලයක් දරා සිටියා ය. මෙම පින්තූරයට පසෙකින් එල්ලා තිබූ බැනරය නිවේදනය කළේ “රාජපක්ෂ දෙපළ” විසින් ප්‍රගීත් අතුරුදන් කිරීමේ 9 වැනි සංවත්සරය සලකුණු කරමින් සන්ධ්‍යා කාලි මෑණියන්ට ආයාචනා කරන බවයි. “රාජපක්ෂ දෙපළ” යන්නෙන් හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ සහෝදරයා වන ආරක්ෂක ලේකම්වරයා අදහස් කෙරිණි.

අනතුරුව පහන්, රතු මල් සැකසුමක්, කොහොඹ පත්, හඳුන්කූරු, කපුරු, පොල්, බිත්තර, කහ දිය සහ සෙසු පූජා භාණ්ඩ එම පින්තූරය ඉදිරියේ සූදානම් කෙරුණේ සන්ධ්‍යාට සහයෝගය දීම පිණිස ඒ වන විට පැමිණ සිටි මිතුරන් හා ක්‍රියාකාරීන් සුළු පිරිසකගේ උදව්වෙනි. ඉන්පසුව ශාප පාඨ ලියා ඇති කෙසෙල් කොළ සහ සුදු කඩදාසි රූපයේ එල්ලා පොළොව මත විසුරුවා හැරියේ සුළඟට ඔවුන් විසින් ශාප කරන ලද අය වෙත ඒවා රැගෙන යාම පිණිස ය. එහි පද කිහිපයක් පහත පරිදි විය:

යන යන තැන භය දැනියන්
හැම හැම විට ගැහි පලයන්
පපුව පැලී මග වැටියන්
වැහි නැති හෙණ ඇද වැටියන්
නිරන්තරේ බය දැනියන්
අහස පලා අකුණු වැදී මිනීමරුවා මැරී වැටියන්...

පහන්, හඳුන්කූරු සහ කපුරු හා අඟුරු සහිත බඳුන් නවයක් දැල්වූ පසු සන්ධ්‍යා එම හැවිලි/ශාප පද ගායනා කළ අතර සිත්ති අමීනා සහ විජය ලක්ෂ්මී ඇය සමග එක්වූහ. එම හැවිලි පැදි වට කිහිපයක් ගායනා කිරීමෙන් පසු කාන්තාවන් තිදෙනා පාර හරහා යාමට තීරණය කළේ කෙළින්ම ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සිටගෙන සිටීමට ය. රැස්ව සිටි කුඩා පිරිස කාලි පින්තූරය, බැනරය සහ සෙසු පූජා භාණ්ඩ යනාදිය රැගෙන ඔවුන් පසුපස ගියහ. සන්ධ්‍යා, සිත්ති අමීනා, සහ විජය ලක්ෂ්මී ගාලු පාරේ සීමාව ලකුණු කරන ස්ථානය සහ ජනාධිපති ලේකම් කාර්යාලයට හරි කෙළින් ඉදිරියේ ඒ ආසන්නයේ වාඩි වී සිය හැවිලි කීම කරගෙන ගියහ. ඉර බැස යන්නට පටන්ගෙන අඳුර වැටෙද්දී ඔවුහු භූමි තෙලින් නහවා තිබූ පන්දම් නවයක් දල්වා කාලි අභියස පොල් ගෙඩි නවයක් ගැසුවේ “සාප වේවා, සාප වේවා, සාප වේවා” යනුවෙන් නැවත නැවතත් කියමිනි.

සන්ධ්‍යා ගිනි සිළුවක් සහ ත්‍රිෂූලය අතැතිවල, 2019 ජනවාරි (ඡායාරූපය: නිල්ශාන් ෆොන්සේකා).

2022 ජනවාරි මාසයේ ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදන්වීමේ 12 වැනි සංවත්සරයේදී සන්ධ්‍යා කන්නගී සහ කාලි යන දෙපළගෙන්ම යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා සිටියා ය. ජනවාරි මස 24 වන දින ඇය විසින් නවගමුව පත්තිනි දේවාලයේදී පත්තිනි දේවියට පළතුරු, මල්, සුවඳ දුම් සහ ඇය විසින් රචනා කරන ලද නාග සංදේශය නමින් ගී කාව්‍යයක් පූජා කළා ය. සිංහල සාහිත්‍යයේ සංදේශ කාව්‍යයෙන් ඉඟියක් ගනිමින්, මේ කාව්‍යයේ පත්තිනි කාලි වෙත නාගයකු හරහා පණිවිඩයක් යවයි. 25 වැනි දින ඇය මෝදර කාලි කෝවිල අසල වෙරළේදී තම හිස මුඩු කර, කපන ලද හිසකෙස් සාගරයට පූජා කර, පසුව කාලි දේවිය ඉදිරියේ වීර පූජාවක් පැවැත්වූවා ය. ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම සම්බන්ධයෙන් යුක්තිය ඉටුවන තුරු මින් ඉදිරියට කළු ඇඳුමින් සැරසී හිස මුඩු කරගෙන සිටින බවට සන්ධ්‍යා සපථ කළා ය. එම භාරයත් සමග කාලි මෑණියන් ඉදිරිපිට සන්ධ්‍යා ඊට පෙරදින පත්තිනි මෑණින්ට පූජා කළ නාග සන්දේශය කියෙව්වා ය. සන්දේශයෙන් කියැවෙන්නේ 2010 ජනවාරි 24 දින ප්‍රගීත්ට සිදුවූ විපත, ඉන්පසු සන්ධ්‍යාගේ දුක සහ එයට වගකිව යුත්තන් තවමත් බලයේ සිටින බවත් ය.  කාව්‍යයේ ඉතිරි කොටසේ පත්තිනි කාලිගෙන් ඉල්ලා සිටින්නේ අපරාධකරුවන්ට – රාජපක්ෂලාට සහ චූදිත හමුදා නිලධාරීන්ට – හැකි සෑම ආකාරයකින්ම දඬුවම් කරන ලෙසයි. කවිය අවසන් වන්නේ මෙසේය:

එලවා එලවා ජනයා ලව්වා
රජ අසුනෙන් පන්නා දමපන් අම්මේ…
මැදමුලනේ මහ ගේ මැද්දෙදි
බොටුවෙන් අල්ලා පවුලම
ගිනිලා පුච්චන් අම්මේ…

යමෙකු එවැනි ශාප කිරීම් විශ්වාස කළත් නැතත් 2022 ජනවාරියෙන් පසු ශ්‍රී ලංකා දේශපාලනයේ සිදුවූ දේ බලන විට සන්ධ්‍යාගේ “ස්වාමි භක්ති ආතුර මහා ශාපයේ” පබැඳුණු  පද පේළි හා අද්භූත ගැලපීමක් ඇති බවක් දැනේ.

කාලිගේ දිව්‍ය බලය ආමන්ත්‍රණය කිරීමේදී සන්ධ්‍යා ශ්‍රී ලංකාවේ අතුරුදහන් වූවන්ගේ පවුල්වල කාන්තාවන් කාලි අම්මන් දෙවඟනන්ට ආයාචනා කිරීම පිළිබඳ දිගු ඉතිහාසයක් අනුගමනය කරයි. නමුත් ඔවුන් එය විවිධ ආකාරවලින් සහ විවිධ අරමුණු සඳහා කරන බව හඳුනා ගැනීම වැදගත් ය. 1988-1991 කාලයේ ජවිපෙ කැරැල්ලෙන් පසු ශ්‍රී ලංකාවේ දකුණින් බිහි වූ මව්වරුන්ගේ පෙරමුණ, එහි ප්‍රතිවිරෝධයේ කොටසක් ලෙස දේව කන්නලව්ව නිතර යෙදවීය. මාලතී ද අල්විස් විසින් ලේඛනගත කර ඇති පරිදි මෙම විරෝධතාවල කාන්තාවන් තම පුතුන් සහ ස්වාමිපුරුෂයන් ආපසු ලබා දෙන ලෙස පොල් ගසමින් දෙවියන්ට කන්නලව් කළ අතර ඔවුන් රැගෙන ගිය අයට ශාප කළේය (ද අල්විස් 1997: 200). මෙම විරෝධතාවකදී එක් මවක් ප්‍රේමදාසට නැවත නැවතත් ශාප කළ ආකාරය ද අල්විස් මෙසේ විස්තර කරයි:

ප්‍රේමදාස මම මේ දරුවා මාස දහයක් මගේ කුසේ දැරුවෙමි. ඔබටත් ඔබේ පවුලේ අයටත් දින 10 ක් හෝ සති 10 ක් හෝ මාස 10 ක් හෝ අවුරුදු 10 ක් හෝ දශක 10 ක් නොව කල්ප ගණනාවක් ශාප වේවා (එම: 201).

මෙම මව්වරුන්, මරාගෙන මැරෙන බෝම්බකරුවකු අතින් ජනාධිපති ප්‍රේමදාස ඝාතනය වීම, 1993 සහ 1995 අතර මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂය පරාජය වීම සහ “ඔවුන්ගේ ආණ්ඩුව” බලයට ගෙන ඒම ඔවුන්ගේ අරගලයේ සනාථනයක් ලෙස සැලකීය (ද අල්විස් 1997; ද අල්විස් 2001; ද මැල් 2001). ද අල්විස් ලියන පරිදි ප්‍රේමදාසගේ මරණයෙන් දින කිහිපයකට පසු ප්‍රේමදාසට ශාප කළ කාන්තාව කෙසෙල් ඇවරියක් රැගෙන ඇයව බැලීමට පැමිණ ජයග්‍රාහී ලෙස “මා ඔහුට ශාප කළ ආකාරයටම ඔහු මිය ගියේ ය” යනුවෙන් ප්‍රකාශ කරන ලදී (ද අල්විස් 1997: 202). ඊට වසර 10 කට පසු අකුරැස්ස මව්වරුන්ගේ පෙරමුණේ ලේකම් නෙලූෆර් ද මැල්ට මෙසේ පැවසීය:

විශේෂයෙන්ම අපේ දරුවන් ගැන සිතන විට අදටත් පළිගැනීමේ සිතිවිල්ල අපේ සිත් තුළ තදින්ම පවතී. අපි කවදාවත් අමතක කරන්නේ නෑ. අපි පළිගන්නා ආකාරය එජාපය බලයට නොපැමිණෙන බව සහතික කර ගැනීමයි. දැන් අපේ එකම අරමුණ එජාපය බලයට ඒම වළක්වන්නය. ඒ නිසා මව්වරුන්ගේ පෙරමුණ ස්වාධීන සංවිධානයක් ලෙස හඳුන්වන්න බැහැ. එය එජාපයට විරුද්ධ යන අර්ථයෙන් අතිශය දේශපාලන සංවිධානයකි ( ද මැල් 2001: 258).

ද අල්විස් දකුණේ මව්වරුන්ගේ පෙරමුණේ විරෝධතා ලේඛනගත කරන විට,  පැට්‍රීෂියා ලෝරන්ස් යුද්ධය නිසා ඇති වූ ප්‍රචණ්ඩත්වයට සහ දුක් වේදනාවලට ප්‍රතිචාර වශයෙන් මඩකලපු දිස්ත්‍රික්කයේ ආගමික චාරිත්‍ර ලේඛනගත කරමින් සිටියා ය. දකුණේ මව්වරුන්ගේ පෙරමුණේ මහජන ශාප විරෝධතා මෙන් නොව, ලෝරන්ස් විසින් ලේඛනගත කරන ලද ආගමික වත්පිළිවෙත් පුද්ගලිකව සිදු කෙරුණි. මෙම චාරිත්‍ර මගින් යුද්ධයෙන් පීඩාවට පත් වූ ප්‍රජාවට බිඳී ගිය ඥාති සබඳතා, පැහැරගැනීම් සහ අත්අඩංගුවට ගැනීම්, කප්පම් ගැනීමේ ක්‍රියා සහ වධහිංසා ගැන කතා කිරීමට අවකාශයක් නිර්මාණය විය (ලෝරන්ස් 1997: 202).

 

විසම්මුතික පුරවැසිභාවය සහ විසම්මුතික ස්මරණය

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සංකල්පය ඡන්දය ප්‍රකාශ කිරීම සහ සාකච්ඡාමය සංවාද මණ්ඩපවලට පමණක් සීමා නොවන බවත්, ප්‍රජාතන්ත්‍රවාදී සහභාගිත්වයේ අත්‍යවශ්‍ය අංගයන් ලෙස කාන්තාවන් ද ඇතුළුව පොදු අවකාශයේ විසම්මුතිය සහ දේශපාලන විරෝධතා ක්‍රියා ඇතුළත් වන බව අපි දැන් වටහා ගනිමු (ස්පාක්ස් 1997). ස්පාක්ස් ප්‍රජාතන්ත්‍රවාදී විසම්මුතිය පිළිබඳ සිය රචනාව ආරම්භ කරන්නේ රෝසා පාක්ස්, ජොනී ජේ ටිල්මන්, ඕඩ්රි ලෝඩ් සහ කැන්ඩෙස් ගින්රිච්ගේ කතාන්දර සමගින්, වෙනස්කොට සැලකීමට සහ මර්දනකාරී බල ව්‍යූහයන්ට එරෙහිව ස්ත්‍රියගේ සමාජ ක්‍රියාකාරිත්වය යළි අත්පත් කර ගැනීමේ මගක් ලෙස සහ ඒවා ප්‍රජාතාන්ත්‍රික විසම්මුතියේ ක්‍රියාවන් ලෙස නැවත මූර්තිමත් කරමිනි. සිය අර්ථ නිරූපණයේදී විසම්මුතික පුරවැසියා යනු “බලයේ පැතිර පවත්නා සැකසුම්වලට ප්‍රසිද්ධියේ විරුද්ධ වන” සහ විපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතවල අර්ථයන් විසින් “විරුද්ධත්වයේ ආයතනගත අර්ථයන්ගෙන් බලයෙන් බැහැර කළ” තැනැත්තකු ලෙස ඇය විසින් දක්වයි. ප්‍රජාතාන්ත්‍රික විපක්ෂයේ ආයතනික මාවත් ප්‍රමාණවත් නොවන විට හෝ නොමැති විට විසම්මුතික පුරවැසියන් විසින් ඒවා වැඩි කිරීම හෝ ප්‍රතිස්ථාපනය කිරීම සිදුකරනු ලබයි. පෙළපාලි, විරෝධතා සහ වැඩ වර්ජන, හිටි විරෝධයන් සහ වීදි නාට්‍ය වැනි ඔවුන්ට විවෘතව පවතින විකල්ප පොදු අවකාශයන් සංස්ථාපනය කරමින් දේශපාලනයේ ඔවුන්ට පවතින සීමාවන්ම ඔවුහු ප්‍රතිස්ථාපනය කරති. මෙබඳු විසම්මුතික ක්‍රියාවන් දේශපාලන ධෛර්යය ඇති කරයි (ස්පාක්ස් 1997).

වාසුකී නේසයියා විසින් 2013 ජූලි මස සිදුකළ නීලන් තිරුචෙල්වම් දේශනයේදී ස්පාක්ස් ප්‍රතිරාව කරයි. කෙසේ වෙතත් විසම්මුතිය, යුක්තිය සහ ප්‍රජාතන්ත්‍රවාදය යන තේමා හරහා සිතීමේ මාර්ගයක් ලෙස සිලප්පතිකාරම් සහ සොෆොක්ලීස්ගේ ග්‍රීක නාට්‍යය ඇන්ටිගනී හි ප්‍රධාන චරිතයන් වන කන්නගි සහ ඇන්ටිගනී නේසයියා පෙරටු කර ගත්තා ය. ඇන්ටිගනීගේ කතාන්දරය පෙරබිම සේ ගනිමින් තීබ්ස් හි රජුගේ නියෝග පිටුපාමින් සිය සහෝදරයාට නිසි භූමදානයක් ලබාදෙන්නට ඇන්ටිගනී ගන්නා තීරණය, සහෝදරියකගේ ශෝකයේ පුද්ගලික ක්‍රියාවක් ලෙස නොව දේශපාලන ක්‍රියාවක් සේ දැකිය යුතු බව ද, එය “තනි පුද්ගල කැරැල්ලකින් ඔබ්බට දිවෙන විරෝධයේ ක්‍රියාවක්” සහ “පුරවැසිභාවය හා හිමිතැන සමග ඇති බැඳීම යළි අර්ථ දක්වන්නක්” බව ඇය තර්ක කළා ය. එහිදී ඇය “ප්‍රජාතන්ත්‍රවාදය ආණ්ඩුවේ ප්‍රකාශනයක්” සහ “ප්‍රජාතන්ත්‍රවාදය සමාජ හා දේශපාලන ජීවිතයේ ආකාරයක්” ලෙස රොන්සියර් විසින් කරන වෙනස උකහා දැක්වූවා ය. තව ද ජේම්ස් යං’ගේ (යං 1992; 1993) ප්‍රතිස්මාරක සංකල්පනාව ඇය ගෙන හැර දැක්වූවා ය. ඇය ඇන්ටිගනී හි අනුවාදයන්හි ඇති ඉතා වෙනස් ආකාරයේ විරෝධතාවන් ගණනාවක් හඳුනා ගනියි. උදාහරණ වශයෙන් ආර්ජන්ටිනාවේ අතුරුදන්වීම්වලට එරෙහිව සෑම බ්‍රහස්පතින්දා දිනකම බුවනොස් අයර්ස් ප්‍රධාන නගර චතුරස්‍රයේ පා ගමනේ යෙදුණු ප්ලාසා ඩි මායෝ මව්වරුන්, දෙවැනි ලෝක යුධ සමයේ ජපන් හමුදාව විසින් සිදුකරන ලද ලිංගික සූරාකෑම්වලට එරෙහිව උද්ඝෝෂණය කළ ‘සතුට සැපයූ’  කාන්තාවන් (comfort women), 1999 වසරේ එල්ටීටීඊය සිදුකළ නීලන් තිරුචෙල්වම් ඝාතනය ස්මරණය කිරීම පිණිස කිංසි පාරේ සිදුවුණු මාවත් පින්තාරු වැනි විසම්මුතික මතක ක්‍රියාවන් පොදු අවකාශය බහුත්වකරණයට ලක් කරන බව ඇය එහිදී තර්ක කරයි. තව ද, එම මතකයන් “සාමූහික මතකය නර්ථනය කිරීමට සහ ඒවායේ ප්‍රසිද්ධ ප්‍රකාශනය පාලනය කිරීමට මං සොයනා අධිපතිවාදී හෝ ස්වයං-උත්කර්ෂවත් සැමරුම්වලට පටැහැණිව ක්‍රියා කරන්නේ ය”. මෙවැනි ප්‍රති ස්මාරකයන් සැනසීමක් පමණක් නොව අභියෝගයක් ද වන්නේ ය. එය හුදු මුදාගැනීමක් පමණක් නොව කැරළි ගැසීමක් ද වන්නේ ය. එවැනි විසම්මුතික මතක ක්‍රියාවන් වෙනස් අනාගතයන් සිතෙන් මවාගන්නා අතර සමාජ වෙනසක් ද ඉල්ලා සිටියි (නේසයියා 2013: 14-15).

සන්ධ්‍යාගේ විරෝධතා ද විසම්මුතික පුරවැසිභාවයේ සහ විසම්මුතික ස්මරණ භාවිතාවන්ගේ සම්ප්‍රදාය අනුගමනය කරයි. යුක්තිය සඳහා ඇගේ නීතිමය අරගලයට අතිරේකයන් වශයෙන් යෙදවිය හැකි, ඉදිරිපත් කළ හැකි, හඬක්, මාධ්‍යයක්, ප්‍රභේදයක් ඇය නිරන්තරයෙන් සොයමින් සිටින්නී ය. මෙකී පූජාවන් ප්‍රසිද්ධියේ සිදු කිරීම මගින් ඇය වෙනත් අතුරුදහන් වූවන්ගේ සමීපතම ඥාතීන් මෙන් මාතෘත්වය සහ කාලි වැනි කාන්තා දෙවිවරුන් හා සම්බන්ධ යුක්තිය පිළිබඳ අදහස් ප්‍රසිද්ධව යොදවයි. නමුත් ස්පාක්ස් සහ නේසයියා අනුව යමින්, මෙකී ක්‍රියාවන් ශෝක වීමේ සහ ස්මරණයේ හුදු පෞද්ගලික ක්‍රියාවන් හෝ රාජ්‍යයේ නීතියට ආදේශකයක් ලෙස වන දිව්‍යමය නීතියක් උදෙසා දේව කන්නලව්වක් නොවන බව අප පිළිගත යුතුය.

ඒ වෙනුවට, රාජ්‍ය නීතියේ ස්වාධිපත්‍යය ව්‍යංගව විවේචනය කරන සහ ආකෘතිගත නීතිය තුළින් ඇය වැනි අයට යුක්තිය ඉටු කර ගැනීමේ නොහැකියාව කෙරෙහි අවධානය යොමු කරවන, දේශපාලන අවකාශයක් විවෘත කරගැනීමට මං සොයනා දේශපාලන ක්‍රියාවන් ලෙස ඒවා දැකිය යුතුය. ඇගේ අවධාරණාත්මක සහ පුනරාවර්තන කාර්ය සාධනයන්, රාජ්‍යය විසින් අතුරුදන්වීම් ප්‍රතික්ෂේප කිරීම අභියෝගයට ලක් කරයි. ඒවා, රටේ සහ හමුදාකරණය වූ පොදු අවකාශයේ ආඛ්‍යානයන්හි ප්‍රමුඛත්වයට නැගුණු වීරෝධාර සොල්දාදුවාගේ ආඛ්‍යානය අභියෝගයට ලක් කරයි. රාජ්‍යයට, අපරාධකරුවන්ට මෙන්ම ජාතිකවාදී මතවාද මකා දැමීමට හා අමතක කිරීමට අවශ්‍ය මේ රටේ ඉතිහාසයේ කම්පන සහගත සිදුවීම් පිළිබඳ දැනුම මෙවැනි විරෝධතා මගින් සම්ප්‍රේෂණය කරයි. මෙවැනි මහජන විරෝධතා සැලකිල්ලට ගැනීමෙන් අපට පාසල් පෙළපොත්වල හෝ නිල ප්‍රකාශනවල දැකිය නොහැකි ඉතිහාසයක් ගැන ඉගෙන ගැනීමට හැකි වනු ඇති බව මම තර්ක කර සිටිමි. විසම්මුතික ස්මරණ භාවිතාවන්, ප්‍රජාතාන්ත්‍රික පුරවැසිභාවය පිළිබඳ නිර්ප්‍රභූ ඉතිහාසයන් ගැන කතා කිරීමට අපට ඉඩ සලසයි. ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන්  ස්ත්‍රී-පුරුෂ භාවය, පන්ති සහ වාර්ගික වෙනස්කම් මත හැඩගැස්වෙන ආකාරය තේරුම් ගැනීමට ද ඒවා අපට ඉඩ සලසයි.

 

ආශ්‍රිත ග්‍රන්ථ

De Alwis (ද අල්විස්), Malathi. “Motherhood as a Space of Protest: Women’s political participation in contemporary Sri Lanka”. Appropriating Gender: Women’s Activism and the Politicization of Religion in South Asia, ed. Patricia Jeffrey and Amrita Basu. Kali for Women, 1997.

De Alwis (ද අල්විස්), Malathi. “Ambivalent Maternalisms: Cursing as Public Protest in Sri Lanka”. The Aftermath: Women in Post-Conflict Transformation, ed. Sheila Meintjes, Anu Pillay, and Meredith Turshen. Zed Books, 2001.

De Mel (ද මැල්), Neloufer. “Mother Politics and Women’s Politics: Notes on the Contemporary Sri Lankan Women’s Movement”. Women and the Nation’s Narrative. Social Scientists’ Association, 2001.

Fernandopulle (ප්‍රනාන්දුපුල්ලේ), Anthony (Fr.). A Critical Study of the Sinhala Works of Jacome Gonsalves (1676 -1742). PhD Thesis, University of London, 1999.

https://eprints.soas.ac.uk/28641/1/10672801.pdf

Lawrence (ලෝරන්ස්), Patricia. “The Changing Amman: Notes on the Injury of War in Eastern Sri Lanka”. South Asia: Journal of South Asian Studies 20.1 (1997): 215–36.

Nesiah (නේසයියා), Vasuki. “‘The Law, This Violent Thing’: Dissident Memory and Democratic Futures”. Neelan Tiruchelvam Memorial Lecture. Neelan Tiruchelvam Memorial Trust, 2013.

Sparks (ස්පාක්ස්), Holloway. “Dissident Citizenship: Democratic Theory, Political Courage, and Activist Women”. Hypatia 12 (1997): 74-110.

Rancier (රොන්සියර්), Jacques. “Does Democracy Mean Something?” Dissensus: On Politics and Aesthetics. Bloomsbury, 2010.

Young (යං), James. “The Counter-Monument: Memory against Itself in Germany Today”. Critical Inquiry, 18.2 (1992): 267-296.

Young (යං), James.  The Texture of Memory: Holocaust Memorials and Meaning. Yale University Press, 1993.

[1] ඡායාරූපය: “අද පටන් යුක්තිය ලැබෙන තෙක්, ප්‍රගීත් වෙනුවෙන් හිස මුඩුකර පේ වෙනවා - සන්ධ්‍යා එක්නැලිගොඩ”, විකල්ප, 2022 ජනවාරි 25, https://www.vikalpa.org/article/41107.

[2] හෝමාගම මහේස්ත්‍රාත් උසාවිය, A.R. 3170, 2012 මාර්තු 26.

[3] Ambika Satkunanthan, “‘What Sri Lanka Is...’: Acknowledging the Ethnic Conflict in Post-war Reconciliation”, Open Democracy, 2012 මාර්තු 2, https://www.opendemocracy.net/en/opensecurity/what-sri-lanka-is-acknowledging-ethnic-conflict-in-post-war-reconc/

[4] හැන්සාර්ඩ්, 2013 ජූනි 5, 217 වන කාණ්ඩය, 5 වන කලාපය, 501.

[5] “ප්‍රගීත් ඉන්න තැනකින් මට ගෙනත් දෙන්න - සන්ධ්‍යා එක්නැලිගොඩ”, Lankanews, 2013 ජූනි 7, http://plesmiko.blogspot.com/2013/06/blog-post_55.html

[6] “In the Court of Appeal of the Democratic Socialist Republic of Sri Lanka, CA Habeas Corpus 01/10; Ekneligoda Case - Note from hearing at Appeal Court today”, Sri Lanka Guardian, 2012 මැයි 31. http://www.srilankaguardian.org/2012/05/ekneligoda-case-note-from-hearing-at.html

[7] හෝමාගම මහේස්ත්‍රාත් උසාවිය, A.R. 3170, 2012 ජූනි 5; Geneva 2.0: Lessons Unlearnt, Daily FT, 2013 ජනවාරි 31, http://www.ft.lk/columns/geneva-2-0-lessons-unlearnt/4-133003

[8] හෝමාගම මහේස්ත්‍රාත් උසාවිය, A.R. 3170, 2013 අගෝස්තු 21.

[9] එම.

[10] චන්දකින්නර හෙවත් සඳකිඳුරු ජාතකය (අංක 485) හිදී බෝධිසත්ත්වයන් චන්ද නමැති කින්නරයෙකු (කිඳුරෙකු) ලෙස උපත ලබා, සිය කිඳුරිය වන චන්දා සමග හිමවත්හි චන්ද කඳුකරයේ වාසය කළේ ය. දිනක්, කුඩා දිය පහරක් අසළ ඔවුන් කෙළිදෙළෙන් ගත කරමින්, ගී ගයමින් සහ නටමින් සිටියදී දඩයමේ ගිය බරණැස රජු චන්දා දැක ඇය සමග ප්‍රේමයෙන් බැඳුණේ ය. ඔහු චන්දට හීතලයකින් විදින අතර, සිය මිය ගිය සැමියාගේ සිරුර අසල චන්දා මහ හඬින් වැළපෙන විට රජු තමන් කවුදැයි හෙළිකර ඇයට සිය ප්‍රේමය සහ රාජධානිය පිරිනමන බව කීවේ ය. චන්දා එම යෝජනාව පිළිකෙව් කර, සිය සැමියාට හානි කිරීමට ඉඩ දීම ගැන දෙවියන්ට සිය බලවත් විරෝධය පළ කළා ය. ශක්‍ර දෙවියන්ගේ පඬුපුල් ආසනය ඇගේ හඬින් සහ ඇගේ පක්ෂපාතීකම හේතුවෙන් උණු වූ අතර, ශක්‍ර දේවයා බ්‍රාහ්මණයකුගේ වේශයෙන් පැමිණ චන්ද කුමරු හට නැවත ජීවිතය දුන්නේ ය. මෙම ජාතක කතාවේ රජු අනුරුද්ධ වූ අතර, චන්දා රාහුලමාතා වූවා ය. මෙම කතාව බුදුන් වහන්සේ කපිලවස්තු පුරයේ පිහිටි සිය පියාගේ මාළිගයට ගිය අවස්ථාවේදී රාහුලමාතාව දිගින් දිගටම බුදුන් වහන්සේට ප්‍රේමයෙන් බැතිමත්ව සිටින්නේ දැයි සුද්ධෝදන රජුගෙන් දැනගත් අවස්ථාවේදී වදාරන ලදි. බුදුන් පැවසුවේ ඇය විසින් සිය අමරණීය බැඳීම ප්‍රකට කළ පළමු අවස්ථාව මෙය නොවන බවයි.