වර්ල්ඩ් ක්ලාස් සිටී – අබ්දුල් හාලික් අසීස්

පරිවර්තනය: ප්‍රවීන් තිලකරත්න

“මේ ඉන්නේ පීඩනෝන්මාද නගරය. මේ දිග සියවස් ගම රට පුරා වැවිලා නේ? බුද්ධිමත් සත්ත්වයකු වගේ. රංගන ශිල්පියෙක්, මරු අනුකාරකයෙක්. පොයින්ට්ස්මන්! ඔක්කොම බලවේග හොරාට අච්චු ගැහෙනවා නේ? ආර්ථික-විද්‍යාව, ජන-විකාශනය? ඔව් ඔව්, අහඹුවත්…”

තෝමස් පින්චන්

ගුරුත්වාකර්ශනයේ දේදුන්න [Gravity’s Rainbow], 172

සිහිනයකින් කොළොම්පුර තනාගතිමි. අති පිවිතුරු මං පෙත්, නිකැළැල් නිමල බිත්ති හා බිම්, යසට ඇඳ පැළැඳගත් සුවිනීත සේවක සේවිකාවන් ඇතිව. කෑ කෝ ගාන තොරම්බල් කාරයන්ගේ වෙළෙන්දන්ගේ කංකරච්චලේ නොමැතිව. ප්ලේන්ටියක් බොන්න කාසි ඉල්ලන දුප්පත් හිඟන්නන් ද නොමැතිව. මූණ කට පුරා බැඳෙන දුම ද දුහුවිල්ල ද නොමැතිව. නිල වර්ගීකරණයකට හසු නොවන පෙට්ටි කඩ නොමැතිව. පරිප්පු වඩ දෙස වපරැහින් බැලීම තව දුරටත් අවශ්‍ය නොවනු ඇත. කොත්තු කඩ දෙසවනට තඩි බාන ගමන් චයිනීස් රෝල් එළවළු රොටී ගැන සිහින මවපු කාලය දැන් අවසන් ය. දැන් මා දීප්තිමත් මං පෙත් පුරා සරන්නේ කටට කෙළ උණවන ප්‍රනීත බර්ගර් සහ ‘පෙනේ පැස්ටා’ වර්ග තෝරමින් ය. අනියම් ‘ගිෆ්ට් ශොප්’, ‘ෆැන්සි මහල්’ තව දුරටත් මෙහි නැත. ඒ වෙනුවට මා මිල දී ගන්නේ විචිත්‍ර ලෙස නිමවන ලද, මුදු පැස්ටල් පැහැයෙන් වර්ණවත් වූ, ජපානයේ අවමවාදී ආලින්දවලට පවා ඔබින ගෘහ භාණ්ඩ ය. සාලේ කැබිනෙට්ටුවේ අම්මා පුරවා ඇති නිස්සාර ගොඩේ විසිතුරු බඩුවලින් මට දැන් සදහටම සමුගන්නට පුළුවන්. මා වායුසමීකරණය කළ අපාට්මන්ට් එක සිට වායුසමීකරණය  කළ ඔෆිස් එකට ගමන් කරන්නේ වායුසමීකරණය කළ සුසුකියෙනි. සිය වල් කම මැඩගෙන කුඩා හුදෙකලා කොටු තුළ විනීතව සිටින ගස්වලින් යුත්, බැබළෙන කිරිගරුඬින් තැනුණු පොදු අවකාශවල සවස් කාලයේ මම ජොග් කරමි.

මගේ සිහිනය සාමූහික අවකාශයකි. COLOMBO CITY OF 2020 යනුවෙන් පාඨයක් ලියා තිබෙන කහ පැහැති ප්ලාස්ටික් බෑගයක් අතැති මහලු මිනිසෙක් දකිනෙමි. පාඨයට යටින් වැල් අකුරින් තවත් වදන් දෙකකි: In Sri Lanka. බෑගය රතු සහ කළු තරුවලින් සරසා ඇත. මහලු මිනිසා සරමක් ද රබර් සෙරෙප්පු ජෝඩුවක් ද පැළැඳ සිටියි. පිටකොටුවේ සිට පානදුරට දිවෙන බසය ඈවිත් මහා ඝෝෂා නගමින් නවතින විට, කොන්දොස්තරගේ බෙරිහන් අතරේ ඔහු මාරු සල්ලි සොයන්නට කමිස සාක්කුව හාරන්නට පටන් ගනියි. බසයට ගොඩ වන්නට ඔහු දුවගෙන යයි. ගිය සතියේ මම තවත් බෑගයක් දුටිමි. එහි ලියා තිබුණේ COLOMBO 2020 කියා ය. එහි ද වැල් අකුරෙන් යමක් ලියා තිබුණි: Wonder of Asia – ආසියාවේ ආශ්චර්යය. මේ මහලු මිනිසාටත් තියෙන්න තිබුණේ ඒ බෑගය. ඒ, එම බෑගයේ නෙළුම් කුළුණත් අහස උසටම නැගෙන සුවිසල් ගොඩනැගිලිත් සිට හමා යන අහස් දුම්රියක් ඇඳ තිබූ නිසා ය. එම අහස් දුම්රියේ නම් බෙරිහන් දෙන කොන්දොස්තරයෙකු නො ඉඳීවි. අහස් දුම්රිය හෝල්ට් එකේ නවතිනකොට කිසිදු ඝෝෂාවක් නො නැගේවි. අනාගත පාරිභෝගිකයන්ගේ ජීවිත කිසි ලෙසකින් අනතුරේ නො දැමේවි. ඒ බෑගයේ තිබුණු වැල් අකුරුත් වඩාත් අර්ථවත්.

වන් ගෝල් ෆේස් සුපිරි වෙළඳ සංකීර්ණයේ ඉහළම මහලේ තිබෙන ස්ටාර් ට්‍රෙක් උයනේ සඳලුතලය සාදා තිබෙන්නේ ඊට පහළින් ගෝල් ෆේස් වෙරළ තීරය දිස්වන සේ ය. තරුණ තරුණියෝ ඔවුන්ගේ හොඳම ඇඳුම්වලින් සැරසී තැන තැන ටික් ටොක් කරති. ඔවුන් අහු මුලු තෝරා ගැනීමට සැලකිලිමත් වන්නේ, එවිට කැමරාවට ඔවුන් පෞද්ගලික අවකාශයක සිටින්නාක් මෙන් පෙනෙන නිසා ය. තේජාන්විත ත්‍රිවිධ හමුදාව උත්සව ලීලාවෙන් ජාතික ධජය ඉතා ප්‍රවේශම් සහගතව පහළට ගෙන එද්දී කලබල වූ සිංහයා සුළඟේ නලියයි. හිරු බැස යන සැටි අපි බලා සිටිමු. පෝර්ට් සිටී එකට මායිම් වීමට නියමිත කෘත්‍රිම වෙරළෙන් පැන පිහිනීමට අපට පුළුවන් වේවි දැයි කල්පනා කරමු.

ධජය වටා හමන චාරිත්‍රය දෙසට සංචාරකයන් ද හමා ඇවිදින්. අහිකුණ්ටකයකු ද ඇවිදින් එතැන පැලපදියං වී ඇත. ඔහු කිසිදු ඇරයුමකින් තොරව ඔහුගේ නයා එළියට ගෙන ඇති අතර, ඌ යාන්තමට බටනලාවේ තාලයට නටන්නට පටන් ගෙන ඇත. ඔහුගේ රිලවා ඒ අසළ සිට නැටුම නරඹයි. ඔහු ළඟින්ම සිටින්නේ ජෝඩුවකි. තලඑළළු  මිනිහෙක්, සුදු ගෑනියෙක්. ගෑනිට මෙය සත්ත්ව හිංසනය යැයි සිතේ. ඒත් අහිකුණ්ටකයා හට මුදල් දීමට මිනිහට සිතක් ඇත. ඔහු රුපියල් පනහේ නෝට්ටුවක් අහිකුණ්ටකයා වෙත දික් කරයි. එහෙත් අහිකුණ්ටකයා “සර්, තව සල්ලි ඕනැ” යි කියයි. තලඑළළු මිනිහා සිංහලෙන් කතා කරයි: “මම ලංකාවේ. මේක ගන්න.” ඒත් අහිකුණ්ටකයා එය ප්‍රතික්ෂේප කරන්නේ “රුපියල් පනහකින් මක්කොරන්න දැ” යි කියමින් ය. තලඑළළු මිනිහා ඌට කුණුහරුපෙන් බැන වැද අහකට ඇවිද යයි.

ගිය සතියේ වන් ගෝල් ෆේස් සංකීර්ණයට පිටුපස රථ ගාල වටේ මා ඇවිදිමින් සිටිද්දී, බිම වැටී තිබුණු ඉදිකිරීම් වැඩ සඳහා යොදා ගන්නා කහ පැහැති හෙල්මටයක් දුටුවෙමි. එය කාව්‍යාත්මක ලෙස යකඩ පොල්ලක් මත උලතබා තිබුණේ සංඥාවක් සඳහා ප්‍රදර්ශනය කරන ලද සතුරු සෙබළෙකුගේ කඳින් වෙන් කෙරුණු හිසක් ලෙසිනි. එම හිස කෙතරම් දිරාපත් වී ඇත්ද කිවහොත් එය පොළොවට වැටී ගිලෙන්නට ද පටන් ගෙන ඇත. මම එහි පින්තූර්යක් ගතිමි. මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ එය අපූරුවට පෙනේවි. නගරය තුළ මගේ නෙත ගැටෙන දේවල මම පින්තූර ගන්නෙමි. මා කොළොම්පුරය වාර්තාගත කරන්නේ එයට ඩිස්තෝපියානු හැඟුමක් ද එක් කරමිනි. බිකිනි ගහං ඉන්න, හෝටල් බාර්වලට අනුග්‍රහය දක්වන, ශිෂ්ට පෙනුමෙන් යුත් අවිශිෂ්ට ඉන්ස්ටග්‍රෑම් ඉන්ෆ්ලුවෙන්සර්ලා අතර මා කැපී පෙනෙන්නේ මෙකියන ඩිස්තෝපියාව නිසා ය.

මෙතැනින් කිලෝමීටරයකට අඩු දුරකින්, කොම්පඤ්ඤ වීදිය පැත්තේ, Island Fitness නමින් ජිම් එකක් තිබේ. එය පිහිටා තිබෙන්නේ රේල් පාර අද්දර ගරා වැටුණු නිවසක ය. ජිම් එකට යාමට නම්, ඔබගේ කාෆ් මසල්වල සමබරතාව පරීක්ෂාවට ලක් කිරීමට සමත් අබලං පඩිපෙලක් නැග යා යුතු වේ. මෙසේ පඩිපෙළ නැග තම කකුල්වලට මනා ව්‍යායාමයක් ලබා දුන් පසු, ඔබ ආනල්ඩ් ශ්වාසෙනෙගර් සහ ෆ්ලෙක්ස් වීලර්ගේ පෝස්ටර්වලින් වැසුණු ක්‍රීම් පාට බිත්තිවලින් ද රතු සිමෙන්ති පොළොවකින් ද සෑදුණු අවකාශයකට ඇතුල් වනු ඇත. දුඹුරු නොවන සම් සහිත ශක්තිමත් පිරිමි ඔවුන්ගේ දිලිසෙන දත් විලිස්සා සිනාසෙන්නේ මලකඩ කාපු වෙයිට්ස් ගිනි රස්නෙ මැද්දේ දහඩිය දමමින් උසුලන ඔබ හට සප් එක දී දිරිමත් කරන ලෙස ය. ඔබගේ විජලනය වූ මස්පිඩු පෝෂණය වී ඇත්තේ අසංකීර්ණ පිෂ්ඨය පිරි අහර රටාවකින් මෙන්ම සික්ස්-පැක්, හමීඩියා කමිස අතුරින් පිපිරෙන්නට මාන බලන පිරුණු පපුවක්, සහ ලැම්බෝගිනි මෝටර් රථ පිළිබඳ උණ විකාරයකිනි. වරින් වර, ජනේලය අසලින් කෝච්චියක් හනිකව මාරු වෙයි. අනතුරුදායක ලෙස කෝච්චි දොරෙන් ඉවතට ඇලව, දහඩිය නැහැවුණු ලිස්සන සුළු අත්ලකින් වානේ පොලු යාන්තමට අල්ලාගෙන, උදාර ලෙස දිවිපරදුවට තබමින්, කාර්යාල තදබද ෆුට්බෝඩ් ගමනාගමනය නම් වූ තරඟකාරී ක්‍රීඩාවෙහි නියැලෙන මගීන්ගේ දෑත් පවා ස්පර්ශ කිරීමට ජනෙල් කවුළුවෙන් පිටතට අත දිගු  කළහොත් ඔබට හැකි වීමට පුළුවනි.

සන්ධ්‍යා කාලයේ පල්ලිය පාරේ අයිනක පාවිච්චි නොකළ නාට්ටාමි කරත්තයක් මත මම ඉඳගෙන සිටිමි. කොම්පඤ්ඤ වීදියේ මේ හරිය කෙතරම් සශ්‍රීක ද කියනවානම් මෙහි ගොඩනැගිලි අහස තරම් උසට වැවෙයි. ශාක අධික නිසාවෙන් ලන්දේසීන් විසින් වත්ත ලෙස නම් තබනු ලැබූ මෙම ප්‍රදේශයේ දැන් ඉතිරිව ඇති හුදෙකලා පොල්ගසට වඩා ඒවා බොහෝ උස ය. එම කොන්ක්‍රීට් ගස්වල සාගිනි මුල් සන්සිඳුවන්නට සිය ගණන් ශ්‍රමිකයෝ වෙහෙස වෙති. හින්දි බසින් ලියැවුණු බිල්බෝඩ් ඒ වෙහෙසෙන්නන් හට ඩේටා පෑකේජ් විකුණන්නට වෙර දරයි. මා ළඟ මෙතෙක් කල් වාඩිව සිටි වෙරිමතින් දොඩන ඉම්තියාස් කියන්නේ දැන් මේ සිල්ලර බඩු ගන්නට එන චීන ශ්‍රමිකයන් ඇත්තටම ණය ගෙවා ගැනීමට මෙහෙ එවන ලද සිරකරුවන් කියා ය. ඒත් ශ්‍රමිකයන් සියල්ලම චීන නොවේ. රංචු පිටින් ඔවුන් මෙහි එන්නේ කොන්ක්‍රීට් ගස්වල සාගිනි මූල වඩවන්නයි. හදිසියේම මගේ සිහියට නැගෙන්නේ දොස්තරවරියක වන මගේ යෙහෙළියක මට කී කතාවකි. ඒ ඈ වෙත එවනු ලැබූ තැලී පොඩි වුණු අතක් සහිත මිනිසෙක් පිළිබඳ පුවතකි. අත සුව කිරීම සඳහා ශල්‍යකර්ම, ෆිසියෝතෙරපි සමග හය මාසයක් වත් අවශ්‍යව තිබුණි. එහෙත් ඔහුට දින දෙකක් ඇතුළත ආපසු වැඩට වාර්තා කරන ලෙස නියෝග කර තිබුණි. වැඩමුරය නිමවෙත්ම ඉදිකිරීම් ශ්‍රමිකයන් ප්ලාස්ටික් බෑග් අතැතිව, සිල්ලර බඩු සහ වෙනත් අත්‍යවශ්‍ය දේ මිල දී ගනිමින් ඔබ මොබ යති. චාර්ල්ස් ද සොය්සා විසින් සියවසකට ආසන්න කලකට පෙර තනන ලද පැරණි ද සොයිසා ගොඩනැගිල්ලට පෙරකඩක් සේ ඔවුන් මට දිස්වේ.

චාර්ල්ස් ද සොයිසා: 19 වන සියවසේ අලුත ටංකනය කළ දෛනික වැටුප් ශ්‍රමිකයන් හා බන්ධිත සේවකයන් හට අරක්කු විකුණා සිය සම්පත්තිය අත්කරගත් චාර්ල්ස් ද සොයිසා, සිය චැරිටි සංවිධාන ඔස්සේ ශ්‍රී ලංකාවේ මහා ජනහිතකාමියකු ලෙස පිදුම් ලත් චාර්ල්ස් ද සොයිසා, සිය විශාල ධනය නිසාවෙන් බ්‍රිතාන්‍ය යටත්විජිත රාජ්‍යය පුරාවට නම් දැරූ චාර්ල්ස් ද සොයිසා. පිටුපසින් දිස්වෙන අහස තරම් උස ගොඩනැගිලි වනයට ඉදිරියෙන් කැපී පෙනෙන මේ පැරණි ගොඩනැගිල්ල තැනුවේ ද ඒ චාර්ල්ස් ද සොය්සා ය. මෙම පැරණි ගොඩනැගිල්ල සමතලා කර දැමීමට සැලසුම් කර ඇති නමුත්, ක්‍රියාකාරිකයෝ පිරිසක් ඔවුන්ට හැකි තරමින් එසේ සිදුවීම නැවැත්වීමට කරයුතු කරමින් සිටිති. මෙය සුන්දර, කලාත්මක දසුනකි. සියවසක් පැරණි, ආර්ට් ඩෙකෝ ශෛලියෙන් නිමවන ලද, සිය පෙදෙස පුරා වැවී තිබෙන පුරාතන ගස්වලින් වයෝවෘද්ධ වුණු ගොඩනැගිල්ලක් වන මෙය, ඊට පිටුපසින් තිබෙන ජාත්‍යන්තරය පුරා නානාවිධ සමාගම් විසින් නිමවන ලද ඍජු සිමෙන්ති හා වීදුරු ආකෘති සමග අපූරු පරස්පරයකින් යුතිවයි දිස්වන්නේ. මෙයට ලයික්ස් 200ක් වත් එනු ඇතැයි අපේක්ෂා කරමි.

එදින රාත්‍රියේ, ‘චියර්ස්’ බාර් එකේ මට දිමිත්‍රි මුණගැසේ. ඔහුට හමුවන්නට වුවමනා කර තිබුණේ දැන් බොහෝ කලක් සිටයි. චියර්ස් කරගෙන යන්නේ @itswellabeach එකෙන්. අප කතා කරමින් සිටිද්දී වේටර් ඇවිත් අප හට සීෆුඩ් ෆ්‍රයිඩ් රයිස් සහ ලයන් ලාගර් දී සංග්‍රහ කරයි. එහා මේසයේ අයෙක් අප වෙත ඇවිත් ලයිටරයක් ඉල්ලයි. ඔහු තෙවරක් එසේ අපට බාධා කළායින් පසු, කෘතඥව අප හට ඔහු ළඟ ඇති සැර ගඳ කරදමුංගු සිගරට් දෙකක් බාර ගන්නා ලෙස අයැද සිටියි. ආචාරශීලී නොවිය නොහැකි නිසා අපි ඒවා බාරගනිමු. දිමිත්‍රි සිටින්නේ අසතුටින් වාගෙයි. අප පළමුවැනි පිචරය ඉවර කරත්ම, ඔහු දැඩි ලෙස ණය වී ඇති බව මට කියන්නට පටන් ගනියි. ඔහු ලොකු තරු පහේ හෝටලයක වැඩ කර කර සිටි නමුත්, ළඟදී එම රස්සාවෙන් අයින් වී ඔහුගේම බිස්නස් එකක් පටන් ගෙන ඇත. ඒත් දැන්, සංචාරක කර්මාන්තය මුළුමනින්ම වාගේ අතුගා දමා ඇති කොරෝනා වයිරසය ඔහුට රිදෙන්නම වැඩේ දී හමාර ය. “මාසෙකට කීයක් ගෙවන්න තියෙනවාද?” “ලක්ෂයක්.” ඔහු ණය ගෙන ඇත්තේ වාහනයක් ගැනීමටත් මගුල සඳහා වියදම් කිරීමටත් ය. දැන් ඉතිං දිවි ගැට ගසා ගන්නට ඔහු ළඟදිම ඌබර් එකක් පදවන්නයි ඉන්නේ.

කොළඹ මගේ ඔෆිස් එකට යන්නයි එන්නයි දවසකට පැය හයක් ගත වේ. එක් දිනක්, බොස් ඔෆීසියේ නව සංස්කෘතියක් – සෞඛ්‍යය, ශුභ සාධනය සහ ආයතනික අරමුණුවල අයිතිය ක්‍රියාකාරී ලෙස දැරීම මත පදනම් වූ සංස්කෘතියක් – පටන් ගැනීමට ඔහුට අවැසි බව නිවේධනය කරයි. මගේ එතරම් සෞඛ්‍ය සම්පන්න පෙනුමක් නැති බව ඔහු නිරීක්ෂණය කර ඇති හෙයින් Power World ජිම් එකේ සාමාජිකත්වය ලබා ගන්නා ලෙස ඔහු මට කියා සිටියි. කොළඹ කාමරයක කුලියට සිටීම සඳහා පඩි වැඩි කරන්නැයි මම ඔහුට කියමි. ඔහු සිනාසෙයි. අද රස්නෙයි. මට හොඳට නින්ද නො යයි. එක හොඳකට තිබෙන්නේ මින් පසු වැඩට යාමට අවශ්‍ය නොවීමයි. මේ වයිරසය නිසා පරිසරය කෙතරම් නම් සුව වී ඇත් ද පිළිබඳව කෙතරම්  කතා තිබුණත්, මට නම් සිතෙන්නේ මේ කුරුල්ලන් කට වහගත්තොත් හොඳයි කියා ය. එතකොට මගේ මේ අලුත් ජීවිතේ එක දවසකටවත් මට පාන්දර පහ පහුවෙනකල් නිදාගන්න පුළුවන් වේවි.