Samajeeya: Manaweeya Vidya Paryeshana

Category:

Description

මහාචාර්ය ජයදේව උයන්ගොඩගේ මෙම කෘතිය සමාජීය හා මානවීය විද්‍යාවන්ට පොදු වූ දර්ශනය හා ක‍්‍රමවිද්‍යාව යන උසස් තල කරා, අපගේ ඥානය ගෙන යන්නකි. මෙම පුළුල් විෂයක්‍ෂෙත‍්‍රය පිළිබඳව ජාත්‍යන්තර භාෂාවලින් කොතෙකුත් සාකච්ඡා පළව තිබුන ද, සිංහල භාෂාවෙන් ඒ පිළිබඳව පළවූ සාකච්ඡා ඉතා විරළය. එම ඌණත්වය මෙම කෘතියෙන් පූරණය වේ. මෙම කෘතියෙහි ඇති විශේෂත්වය වන්නේ එය හුඳෙක් ජාත්‍යන්තර භාෂාවලින් පළව ඇති අදහස් සාරාංශ කිරීමකින් ඔබ්බට ගොස්, ස්වාධීන නිරීක්‍ෂණ, විචාර හා තර්ක ද මගින් මෙම විෂයක්‍ෂේත‍්‍රය පිළිබඳ වර්තමාන සංවාදය පෝෂණය කිරීමෙහිලා දායක වීමයි. මෙම කෘතිය වෙතින් සමාජීය හා මානවීය විද්‍යා ක්‍ෂේත‍්‍රයෙහි සිංහල භාෂාවෙන් ගැඹුරට අධ්‍යයනයන්හි යෙදෙන විද්‍යාර්ථීන්ට මනා පදනමක් සැපයේ.

මහාචාර්ය අසංග තිලකරත්න
පාලි හා බෞද්ධ අධ්‍යයන ඒකකය
කොළඹ විශ්ව විද්‍යාලය.
———————————————————————————————

1980 ගණන්වල සිට ඥාන විභාගයේ ගැටළු පිළිබඳ සාකච්ඡාවක් ලංකාවේ පවතී. පොදු ජනයාගේ කියැවීම පිණිස පළවන පුවත් පත් සඟරා ආදිය තුළ පවා මේ පිළිබඳ අදහස් පළ වේ. එපමණක් නොව බෞද්ධ බැතිමතිය සිය දෛනික ආගමික ජීවිතය තුළ ඇසුරුකරන ‘බුද්ධ දේශනාවල’ ද ඥානවිභාගය පිළිබඳ බැරෑරුම් කාරණා ඇතුළත්ය. එසේ වුව ද ඥාන විභාගය පිළිබඳ ගැටලූ ගැන දැනගැනීමට උනන්දුවක් දක්වන ආධුනික පාඨිකාව ඉලක්ක කර සම්පාදනය වී ඇති ලේඛන බොහොමයක් කිසියම් අදහස් පද්ධතියක් දේශනා කිරීම සඳහා සම්පාදනය කෙරෙන ප‍්‍රචාරකවාදී ලේඛන සම්ප‍්‍රදායයෙන් ඔබ්බට නොයන බව පෙනේ.
මෙම කෘතිය මා සිතන ආකාරයට පළමු වරට සිංහල භාෂාවෙන් කියවන පාඨිකාව හට බටහිර වර්ධනය වූ සමාජීය විද්‍යාවේ ඥාන විභාග සම්ප‍්‍රදාය පිළිබඳ ප‍්‍රමාණික හා විචාරාත්මක අවබෝධයක් සඳහා අවශ්‍ය පසුබිම් දැනුම විධිමත් ආකාරයකට ඉදිරිපත් කරයි. එය නවීන බටහිර ඥාන විභාග ඉතිහාසය තුළ හමුවන විවිධ සහ එකිනෙකට ප‍්‍රතිවිරුද්ධ ධාරා පිළිබඳ විචාරාත්මක දැනුමක් සිත්ගන්නා සුළු ආකාරයටත්, කියවන්නිය කේන්ද්‍ර කරගත් ප‍්‍රවේශයකින් ඉදිරිපත් කරයි. ඒ බැවින් මෙය සමාජීය විද්‍යා සහ ඒවායේ ඥාන විභාගය පිළිබඳ ව විධිමත් දැනුමක් අපේක්‍ෂාකරන සෑම කෙනෙකුම බැරෑරුම්ව ඇසුරු කළයුතු කෘතියකැ යි මම යෝජනා කරමි.

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි
ඉතිහාසය අංශය – කොළඹ විශ්ව විද්‍යාලය.