ලිපි යොමු කිරීම

ලිපි යොමු කිරීම

ප්‍රවාද සඟරාවට විවිධ වර්ගයේ රචනා යොමු කළ හැකිය. සාමාන්‍යයෙන් ප්‍රවාද සඟරාවේ මුද්‍රිත පිටපත පළ වන්නේ වාර්ෂිකව ය. වාර්ෂික කලාපයට ඇතුළත් වන රචනා මුද්‍රණයට පෙර අන්තර්ජාලයේ පළ කෙරේ. සියලුම රචනා හැකි සෑම විටම යුනිකේත (Unicode) අක්ෂරවලින් සකසන ලෙස අපි කාරුණිකව ඉල්ලා සිටිමු.

පර්යේෂණ ලිපි

සම්මත ශාස්ත්‍රීය ශෛලියෙන් ලියන ලද පර්යේෂණ ලිපි මෙන්ම වඩාත් ආවර්ජනාත්මක ශාස්ත්‍රීය රචනා ද අප විසින් භාරගනු ලැබේ. අප විසින් වැඩි අවධානයක් යොමු කරනු ලබන්නේ මානව ශාස්ත්‍ර විෂයන්හි (උදා:- ඉතිහාසය, මානව විද්‍යාව, දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාව, සාහිත්‍යය, සමාජ වාග් විද්‍යාව, දර්ශනය, ආදිය)  කරන ලද ගුණාත්මක අධ්‍යයන සඳහා ය. පර්යේෂණ ලිපි හා ශාස්ත්‍රීය රචනා වචන 4000-9000 ට සීමා විය යුතු අතර, උපුටන මෙලෙස දැක්විය යුතු ය: (අබයසිංහ 2009: 23). උපුටන ශෛලිය පිළිබඳව අදහසක් ලබා ගැනීමට ප්‍රවාද 36 සහ 37 වෙළුම් පිරික්සා බලන්න.

පර්යේෂණ ලිපි සහ ශාස්ත්‍රීය රචනා pravada.ssa@gmail.com (හර්ෂණී ප්‍රනාන්දු) වෙත යොමු කරන්න.

ග්‍රන්ථ විමර්ශන

2006 ට පසු ප්‍රකාශයට පත් ශාස්ත්‍රීය පොත් පිළිබඳ කෙරෙන ග්‍රන්ථ විමර්ශන ද අප විසින් භාරගනු ලැබේ. පුළුල් වශයෙන් ශ්‍රී ලංකාවට හෝ දකුණු ආසියාතික කලාපයට යම් ලෙසකින් සම්බන්ධ ග්‍රන්ථ විමර්ශන සඳහා ප්‍රමුඛතාවක් දක්වනු ලැබේ (මෙම සම්බන්ධය න්‍යායාත්මක හෝ තේමාත්මක හෝ පවා විය හැකිය; ඉතා ඍජු සම්බන්ධයක් අවශ්‍ය නොකෙරේ). ග්‍රන්ථ විමර්ශන වචන 800-1500 ට සීමා විය යුතු අතර, ඒවා pravitilak@gmail.com (ප්‍රවීන් තිලකරත්න) වෙත යොමු කළ හැකිය.

නිර්මාණාත්මක ලේඛන

වෙළුමකට නිර්මාණාත්මක ලේඛනයක් බැගින් පළ කිරීමට ප්‍රවාද සඟරාවේ අවකාශ ඇත. නිර්මාණාත්මක ලේඛන යොමු කිරීමට පෙර නිර්මාණය පිළිබඳ කෙටි යෝජනාවක් pravitilak@gmail.com වෙත එවන්න.