ප්‍රවාද ප්‍රණාම – මාලතී ද අල්විස් (1963-2021) සහ කද්රි ඉස්මයිල් (1961-2021)

මෙරට ශාස්ත්‍රීය අධ්‍යයනයට ඉමහත් සේවයක් ඉටු කළ මාලති ද අල්විස් සහ කද්රි ඉස්මයිල් යන විද්‍යාර්ථීන් දෙපළගේ අභාවය ප්‍රවාද සඟරාවේ අප විසින් සිහිපත් කරන්නේ බලවත් ශෝකයෙනි. Polity සඟරාව සඳහා ඇන්ඩි ශූබර්ට් කද්රි ඉස්මයිල් පිළිබඳ ලියූ අනුස්මරණයේ සඳහන් පරිදි, මොවුහු දෙදෙනාම 1980 ගණන්වල කරලියට පැමිණි, ශ්‍රී ලංකාව තුළ අනන්‍යතාව, ජනවාර්ගිකත්වය, ජාතිකවාදය, සමාජ ලිංගිකත්වය, ප්‍රචණ්ඩත්වය සහ ප්‍රතිරෝධය පිළිබඳ අපගේ අවබෝධය ඉහළ නැංවීම සඳහා මහත් සේ දායක වුණු, පශ්චාත් යටත්විජිතවාදී, පශ්චාත් ව්‍යුහවාදී හා ස්ත්‍රීවාදී න්‍යයයන්වල ප්‍රධාන සංකල්ප සහ අදහස් මෙරට පාඨක ප්‍රජාව හට හඳුන්වා දුන් ලාංකීය බුද්ධිමය පරපුරකට අයත් වූහ. ඇත්තෙන්ම, මොවුන්ගේ මුල්කාලීන ශාස්ත්‍රීය ලේඛන පළ වූයේ Polity සඟරාවේ ආරම්භයට පෙර ඉංග්‍රීසි මාධ්‍යයෙන් වසර ගණනක් මුළුල්ලේ පළ වුණු ප්‍රවාද සඟරාවේ මෙන්ම, සමාජ විද්‍යාඥයන්ගේ සංගමයත් (SSA) ජනවාර්ගික අධ්‍යයනය සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානයත් (ICES) හවුල්ව පළ කළ රාධිකා කුමාරස්වාමි හා නීරා වික්‍රමසිංහ විසින් සංස්කරණය කරන ලද Introduction to Social Theory (1994), සහ ප්‍රදීප් ජෙගනාතන් හා කද්රි ඉස්මයිල් විසින් සංස්කරණය කරන ලද Unmaking the Nation (1995) යන මෙරට සමාජ විද්‍යා අධ්‍යයනය තුළ දැන් කේන්ද්‍රීය තත්ත්වයකට පත් ග්‍රන්ථවල ය.

ඇමරිකාවේ චිකාගෝ විශ්වවිද්‍යාලයෙන් සංස්කෘතික මානව විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබාගත් මාලතී ලංකාවට යළි පැමිණීමට සවිඥානක තීරණයක් ගත්තා ය. ඒ අනුව, 2000 දශකයේ මැද භාගය වන තුරු ඇය SSA සහ ICES සංවිධාන සමග ද කුමාරි ජයවර්ධන සමග ද සමීපව වැඩ කළා ය. මේ කාලය තුළ, ඇය කුමාරි ජයවර්ධන සමග ඉතා වැදගත් කෘති දෙකක් සඳහා දායක වූවා ය: ඒ, Embodied Violence: Communalising Women’s Sexuality in South Asia (1996) සහ Casting Pearls: The Women’s Franchise Movement in Sri Lanka (2001) ය. Casting Pearls කෘතිය මගින් ලංකාවේ යටත්විජිත යුගයේ අවසන් සමයේ කාන්තා ඡන්ද බල ව්‍යාපාරයේ ඉතිහාසය නිරාවරණය කෙරුණු අතර, Embodied Violence කෘතිය දකුණු ආසියාවේ ඉතා ශීඝ්‍රයෙන් පැතිර යන මූලධර්මවාදයන් ද, ඒ තුළ පවුල ඇතුළු විවිධ සමාජ සංස්ථා ඔස්සේ ස්ත්‍රීන්ගේ ශරීර අවදානමට ලක්වන අයුරුත් විමර්ෂණය කිරීම සඳහා ස්ත්‍රීවාදී විද්‍යාර්ථීන් කණ්ඩායමක් එකතු කිරීමට සමත් වුණි.

මාලතී ද අල්විස්
© දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය

තව ද, 1980 ගණන්වල Lanka Guardian පුවත්පතේ කුමාරි ජයවර්ධන මූලික ස්ත්‍රීවාදී ලේඛකයන් පිරිසක් විසින් ආරම්භ කරන ලද Cat’s Eye තීරුවට ද මාලතී දායක වූවා ය. 2000 වසරේ මෙම තීරුවේ පළ වූ හොඳම ලිපි ගොනු කර, Cat’s Eye: A Feminist Gaze on Current Issues නම් පොතක් ඇය පළ කළා ය. 2000 දශකයේ මැද භාගයේ සිට ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි අධ්‍යයන පීඨයේ ස්ත්‍රී අධ්‍යයන පාඨමාලාවේ ඉගැන්වීමට පටන්ගත් අතර, පසුව මෙම පාඨමාලාව ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා ස්ත්‍රී අධ්‍යයන පාඨමාලාව ලෙස නම් කෙරුණි. ඇය එම පාඨමාලාවේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දැඩි ආදරයට හා ගෞරවයට පාත්‍ර වූ ජනප්‍රියතම ගුරුවරියක් බවට පත් වූ අතර, ඇගේ අවසන් මොහොත දක්වාම ඇය එහි ඉගැන්වීම් හා උපදේශක කටයුතුවල නිරත වූවා ය.

2016 වසරේ ඇය ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද සමයේ මතකය හා අනුස්මරණය පිළිබඳ සංකල්පන වර්ධනය කරගැනීම සඳහා ජර්මානු ජාත්‍යන්තර සහයෝගිතා ආයනයට (GIZ) උපකාර කිරීමට පටන් ගත්තා ය. GIZ හි ‘මතක සංස්කෘති’ ව්‍යාපෘතිය සමග හවුල්ව, ඇය ‘මතක පා සංචාර’ මෙහෙයවූවා ය. මෙම පා සංචාර ඔස්සේ කොළඹ නගරයේ නූතන ඉතිහාසය හැඩගැස්වී ඇත්තේ කුමන සිද්ධීන් මගින් ද කුමන ස්ථාන කේන්ද්‍ර කොටගෙන ද ආදිය පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට සහභාගීවන්නන් හට හැකියාව අත්විය. තව ද, මාලතී ‘මතක උදෑසන’ නමින් වැඩසටහන් මාලාවක් සංවිධානය කළ අතර, මේවාහි නොයෙක් ප්‍රසිද්ධ පුද්ගලයෝ කොළඹ නගරයේ තම ජීවිතය හා ළමා කාලය පිළිබඳ තම මතක සුහද අවකාශයක් තුළ බෙදා හදා ගත්හ.

GIZ හි දී හසිනි හපුතන්ත්‍රි සමග වැඩ කළ ඇය, ‘මතක සංචිතය’ නම් වූ වාචික ඉතිහාස ව්‍යාපෘතිය යටතේ ආඛ්‍යාන ඛණ්ඩ 70ක් එක්‍ රැස් කළ අතර, ඒවා මගින් අපගේ ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍ය කිහිපයක්ම විවිධ දෛනික වස්තු හා සිහිවටන ඔස්සේ සිහිපත් කර දක්වන ලදි. ශ්‍රී ලංකාවේ නිදහස ලබා වසර 70ක් සපිරීම නිමිත්තෙන් නිමවන ලද ‘මතක සංචිතය’ ජාතික ඉතිහාසයක් ලිවීමෙහිලා නිතර ව්‍යවහාර වන, අඳුරු හා ප්‍රචණ්ඩකාරී ඓතිහාසික සිදුවීම් මකා දැමීමට යොදා ගැනෙන ආධිපත්‍යක විජයග්‍රාහී හා ප්‍රශංසාත්මක භාවිතයන් විචාරශීලීව ප්‍රශ්නයට භාජනය කරයි.

ශ්‍රී ලංකාව තුළ මාතෘත්වයේ දේශපාලනය: එහි වියහැකියාවේ කොන්දේසි පිළිබඳ ඓතිහාසික මානව විද්‍යාත්මක අධ්‍යයනයක් (Maternalist Politics in Sri Lanka: A Historical Anthropology of its Conditions of Possibility) නම් වූ 1998 වසරේ ලියා නිම කළ මාලතීගේ ආචාර්ය උපාධි නිබන්ධනය මගින් ජ.වි.පෙ දෙවන කැරැල්ලෙන් පසු පිහිටුවන ලද, අතුරුදන් වීම් සම්බන්ධයෙන් යුක්තිය හා සත්‍යය ඉල්ලා සිටි ‘මව්වරුන්ගේ පෙරමුණ’ අධ්‍යයනය කෙරුණි. 1980 සහ 90 දශකවල සිදු වූ මහා පරිමාණ ප්‍රචණ්ඩ සිද්ධීන් හමුවේ ක්‍රියාත්මක වූ මාතෘත්වයේ දේශපාලනය පිළිබඳව ප්‍රථම වරට න්‍යායගත කිරීම් ඉදිරිපත් කළ ලොව වටා ස්ත්‍රීවාදී විද්වතුන්ගෙන් එක්කෙනෙකි මාලතී ද අල්විස්. එසේ කිරීමෙන්, ඇය වඩාත් සැලකිලිමත් වූයේ මව්වරුන්ගේ පෙරමුණ සම්බන්ධයෙන් සවිස්තරාත්මක මානවවංශ ලේඛයක් ඉදිරිපත් කිරීමට නොව, එවන් අවකාශයකට පූර්ව-කොන්දේසි වන සංස්කෘතික ප්‍රවර්ග තේරුම්ගැනීමට ය. මේ අතර, විශේෂයෙන්ම සිංහල බෞද්ධ ජාතිකවාදී කතිකාව තුළ ප්‍රකාශයට පත්වන ගෘහස්ථභාවය, ගරුත්වය සහ දුක්විඳීම යන ප්‍රවර්ග ප්‍රධාන වේ. මෙම තේමා ඇගේ දීර්ඝ කාලීන නියැලීම් ද බවට පත්වුණු අතර, ඇගේ ජීවිත කාලය පුරාවටම ඒවා යළි යළිත් පිරික්සා බැලීමටත්, ඇගේ සංකල්පන නිරන්තරයෙන් සංශෝධනය කිරීමටත් ඇය නිතිපතා යොමු වූවා ය.

කද්රි ඉස්මයිල්
© Colombo Times

කද්රි ඉස්මයිල් පළමුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේත්, ඉන් පසු නිව් යෝර්ක් නුවර කොලොම්බියා විශ්වවිද්‍යාලයේත් තම අධ්‍යාපනය ලැබීය. 1984 වසරේ ඔහු පේරාදෙණියේ ඉංග්‍රීසි අධ්‍යයන අංශයෙන් පළමු පංතියේ සාමාර්ථයක් ලබාගත් අතර, මෙය ඇතැමුන් පවසන පරිදි, 1956 දී ඔහුගේ ගුරුවරයා වූ මහාචාර්ය ඈශ්ලි හල්පේගෙන් පසු ශිෂ්‍යයකු පළමු පංතියේ සාමාර්ථයක් ලැබූ ප්‍රථම අවස්ථාව වීමට පුළුවනි. ඉන් පසුව කෙටි කලක් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ කද්රි නැවත ශාස්ත්‍රාලීය ලෝකයට ප්‍රවේශ වූයේ 1989 වසරේ කොලොම්බියා විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වීම සඳහා ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වයක් ද දිනාගනිමිනි. 1992 වසරේ ඉංග්‍රීසි විෂයේ සිය ශාස්ත්‍රපති උපාධිය නිමා කළ ඔහු, එම විශ්වවිද්‍යාලයේම එඩ්වර්ඩ් සයීඩ් සහ ගයාත්‍රි ස්පිවැක් යන දෙපළගේ අධීක්ෂණය යටතේ ආචාර්ය උපාධියක් සඳහා හැදෑරීම් ආරම්භ කළේ ය. 1998 වසරේ ලියා නිම කළ ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධනය ජාතිය පිහිටුවීම, ජාතිකත්වය විසංවාද කිරීම: දකුණු ආසියාව තුළ ස්ත්‍රීපුරුෂ සමාජභාවය, නිර්ප්‍රභූත්වය සහ ප්‍රජාව (Constituting Nation, Contesting Nationalism: Gender, Subalternity and Community in South Asia) නම් විය. නිබන්ධනය යොමු කිරීමටත් පෙර 1997 වසරේ මිනසෝටා විශ්වවිද්‍යාලයේ සහය මහාචාර්ය තනතුරට ඔහු තේරී පත් වූ අතර, ඔහුගේ අවසන් මොහොත වන විට ඔහු එම විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් ලෙස සේවය කළේ ය. ඉහත සඳහන් කරන ලද Unmaking the Nation කෘතියට දායක වීමෙන් අමතරව කද්රි අතින් කෘති දෙකක් ලියැවිණි: ඒ, Abiding by Sri Lanka (2005) සහ Culture and Eurocentrism (2015) ය.

90 දශකයේ මැද භාගයේ නිර්ප්‍රභූ අධ්‍යයන සාමූහිකය සමග නියැලුණු ඔහු, 2000 වසරේ ප්‍රකාශයට පත් පාර්ථා චැටර්ජී සහ ප්‍රදීප් ජෙගනාදන් විසින් සංස්කරණය කරන ලද Subaltern Studies හි 11 වන වෙළුම සඳහා ‘Constituting Nation, Contesting Nationalism: The Southern Tamil (Woman) and Separatist Tamil Nationalism in Sri Lanka’ නම් ලිපියක් ඉදිරිපත් කළේ ය. මෙම වෙළුමේ අනෙකුත් කතුවරු අතර අමීර් මුෆ්ති, නිවේදිතා මෙනන්, ඩේවිඩ් ස්කොට්, ප්‍රදීප් ජෙගනාදන් සහ ගයාත්‍රි ස්පිවැක් වූහ. Economic and Political Weekly, Social Text, Cultural Critique සහ Postcolonial Studies වැනි ප්‍රසිද්ධ ශාස්ත්‍රීය සඟරාවල ඔහුගේ ලිපි පළ වී ඇති අතර, ප්‍රවාද, Sri Lanka Journal of Humanities සහ Phoenix: Sri Lanka Journal of English in the Commonwealth වැනි දේශීය සඟරා සඳහා ද ඔහු නොයෙක් අවස්ථාවල ලිපි යොමු කළේ ය.

Lanka Guardian හි ස්වර්ණමය අවධිය වූ 80 දශකයේ කද්රි එම පුවත්පතට නිතර ලිපි ලියමින් දායක විය. මේ අතර 1985 වසරේ ඉතා මතභේදාත්මක වූ විවාදයක් ප්‍රධාන වේ. එම විවාදයේ ඔහු ලිපි කිහිපයකින්ම තර්ක කළේ ශ්‍රී ලංකාව වැනි රටවල යටත්විජිතහරණ ක්‍රියාවලියටත් දේශපාලන ප්‍රචණ්ඩත්වයටත් ප්‍රමාණාත්මක අයුරින් ප්‍රතිචාර දැක්වීමට තරම් විශ්ලේෂණාත්මක කුසලතා මෙරට ඉංග්‍රීසි අධ්‍යයන අංශ විසින් එහි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබාදීමට හැකියාවක් නොමැති බවයි.

මාලතී ද අල්විස් විසින් තමාවම හඳුන්වනු ලැබුවේ “විද්‍යාර්ථී-ක්‍රියාකාරිනියක්” ලෙස ය. ඇය ශ්‍රී ලංකාවේ ස්ත්‍රී ව්‍යාපාරය හා දැඩි උනන්දුවකින් හා උද්‍යෝගයකින්  සම්බන්ධ වූවා ය. එක් සම්මුඛ සාකච්ඡාවක ඇය මෙසේ පැවසුවා ය:

විද්‍යාර්ථියෙක් වනවා සමගම ක්‍රියාකාරිකයෙක් වන්නට ද පුළුවන් බව නැවත නැවත තහවුරු කිරීම වැදගත් කියලා මම හිතනවා. ඒ මොකද, භාවිතයෙන් න්‍යායයත්, න්‍යායයෙන් භාවිතයත් හැඩගැස්වෙනවා කියලා ස්ත්‍රීවාදී දේශපාලනයේ මූලික අදහසක් තිබුණත්, මිනිස්සු නිතරම පාහේ මේ භූමිකා දෙක අතර බෙදීමක් ඇති කරගන්නවා. මේකෙන් අදහස් වන්නෙ නැහැ මේ වගේ සම්පූර්ණත්වයක් හෝ කැපවීමක් හෝ දැඩිව විශේෂකරණයට ලක් වෙලා තියන අපි අද වෙසෙන ලෝකයේ පහසුවෙන් අත්පත් කරගන්න පුළුවන් කියලා. කැපවීම ඕනාවට වඩා වැඩියි, දේශපාලනය ඕනාවට වඩා වැඩියි කියලා හැඟෙන අය ගැන ඇකඩමිය තුළ තාම බයක් තියනවා; ඒගොල්ලන්ව නිතරම කපලා දාන්න හදනවා… ඒ වාගේම, පූර්ණ කාලීන ක්‍රියාකාරිකයන් විද්‍යාර්ථී-ක්‍රියාකාරිකයන්ට ආස නැති වෙන්න පුළුවන්, ඒගොල්ලන්ට විවිධ අවකාශ තුළ ක්‍රියා කරන්න පුළුවන් හින්දා. ඒ නිසා මේ දෙපිරිසේ අය එකිනෙකාට බොහෝ වෙලාවට ආගන්තුකයි. ශාස්ත්‍රීය අවකාශයි ක්‍රියාකාරක අවකාශයි දෙකම තුළ වාසය කරන අය නඩත්තු කරගන්න අවශ්‍ය නම්, (ඒ කියන්නේ මෙහෙම භූමිකාවක් කොච්චර අපහසු හෝ අස්ථාවර හෝ වුණත්), ඒ අයට විශ්වාසයක් ලබා දිය යුතුයි. මේ අවකාශ දෙකෙන් එක් අවකාශයක් පමණක් තුළ ක්‍රියා කිරීමට කැමති අය – සහ ඇතැම් විට එහම කරනවා හැර වෙනත් විකල්පයක් නැති අය – අර ඉහත කී අයවත් තේරුම් ගැනීමට උත්සාහ කළ යුතුයි (Meridians Round Table on Peace 2001: 109-110).

මාලතී 1984 වසරේ කොළඹදී පිහිටුවන ලද Women for Peace නම් ස්වාධීන, බහු-වාර්ගික, බහු-භාෂක හා බහු-ආගමික කණ්ඩායමක සාමාජිකාවක් විය. 1990 ගණන්වල එම කණ්ඩායම කැඩී බිඳී යාමත් සමග, ඇය තමාගේම දේශපාලනික ක්‍රියාකාරිත්වය පිළිබඳ පෙරළා විමසන්නට වූවා ය. තමා හා තම භාවිතය පිළිබඳව මෙවන් ස්වයං-විමර්ෂණයකට එළඹීම සඳහා ප්‍රශ්න කිහිපයක් ඇයව යොමු කළේ ය. ස්ත්‍රීවාදය සහ මානව විද්‍යාව අතර සම්බන්ධය පිළිබඳ ප්‍රශ්නය, ස්ත්‍රීවාදී දේශපාලනය පිළිබඳව ඒ තුළ හිඳ කතා කරන්නේ කෙසේ ද යන ප්‍රශ්නය, සහ තමන් ද සක්‍රියව සහභාගීවන හා මැදිහත්වන දේශපාලන අරගල පිළිබඳ පර්යේෂණ මානව විද්‍යාව තුළ ස්ථානගත කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ ප්‍රශ්නය මේ අතර වේ.

ඉහත කී පරිදි කද්රි නිල වශයෙන් ඇකඩමියට පිවිසීමට පෙර මාධ්‍යවේදියෙක් ලෙස කටයුතු කළේ ය. විශ්වවිද්‍යාලයක ඉගැන්වීම සඳහා ඔහුගේ පළමු පංතියේ සාමාර්ථය ඔහුට අවස්ථාව ලබා දුන් නමුත්, ඔහුගේ තෝරාගැනීම වූයේ ප්‍රසිද්ධ ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පත් කිහිපයක් සඳහා වාර්තාකරුවකු ලෙස වැඩ කිරීමටයි. ඒ අනුව, 1980 ගණන්වල රට පුරා පැතිර ගිය ප්‍රචණ්ඩත්වය පිළිබඳව නොපැකිලී වාර්තා කළ විචක්ෂණශීලී ලේඛකයකු ලෙස ඔහුගේ නම ප්‍රචලිත වුණි. ඔහු ඍජුව ශාස්ත්‍රාලීය දිවියකට පිවිසීමට තීරණය කළේ උතුරේ ඉන්දීය සාම සාධක හමුදාවේ මෙහෙයුම් පිළිබඳ වාර්තා කරමින් සිටියදී ඔහුගේ ජීවිතය ද නූලෙන් බේරුණු විට ය. 1992 දී ප්‍රවාද සඟරාවේ ලිපියක කද්රි තමාව හඳුන්වා දුන්නේ “පශ්චාත්-මාධ්‍යවේදියකු” ලෙසින් ය.

ලංකාවේ වාසය කරමින් වැඩ කළ මාලතීට සාපේක්ෂව ලංකාව හා සමීපව නියැලීම කද්රි හට තරමක් සංකීර්ණ කාරණාවක් වූයේ ඔහු ඇමරිකාවේ වාසය කළ නිසා ය. එනමුත්, මෙහි කටයුතු හා කතිකා සමග සහභාගීවීමට ද ඒවාහි මැදිහත්වීමට ද උනන්දුවක් ආශාවක් ඔහු තුළ සෑමදා තිබූ බව අමුතුවෙන් කිවමනා නොවේ. පුරවැසියන් සඳහා වූ මාධ්‍ය අවකාශයක් වන Groundviews අඩවියට, විශේෂයෙන්ම 2009 යේ යුද්ධයේ නිමාවට පසුව, ඔහු නිතර ලිපි යොමු කළ අතර, Artra සඟරාවට ඔහු කලාව පිළිබදව සැලකිය යුතු ලේඛන ප්‍රමාණයක් ඉදිරිපත් කළේ ය. ඔහු ලංකාවට පැමිණි අවස්ථාවල තීර්ථ සහ ICES වැනි අවකාශ උපයෝගී කරගනිමින් විචාර න්‍යාය උගෙනීමට උනන්දු අය සඳහා කුඩා පංති ද පැවැත්වීය.

ශාස්ත්‍රාලීය අවකාශවල මෙන්ම ඔවුන් ක්‍රියා කළ වෙනත් විකල්ප අවකාශවල මාලතී සහ කද්රි නොමැති අඩුව පිරවිය නොහැකි තරම් ය. ඔවුන් වෙනුවෙන් ලියැවෙන අනුස්මරණ හා සිහිවටන ලිපි තුළින් ඔවුන්ගේ චින්තනය ද ඔවුන් හට වැදගත් වූ ගැටළු ද ඔවුන් ක්‍රියා කළ සන්දර්භය ද පිළිබඳව තියුණු හා විමර්ෂණශීලී නියැලීම් තුළින් ඔවුන්ගේ මතකයට යම් ගෞරවයක් හා වටිනාකමක් ලබාදීමට හැකි වෙතැයි අපේක්ෂා කරමු. එමෙන්ම, ඔවුන්ගේ කෘති සමූහයෙන් තෝරාගත් ලේඛන කිහිපයක් Polity සඟරාවේ යළි පළකිරීම ඔස්සේ ඔවුන්ගේ චින්තනයන් සජීවී ලෙස අප සමග තබාගැනීමටත්, ඒවා සමග යළි යළිත් නියැලීමට නව පරපුරකට අනුබල දීමටත් හැකි වෙතැයි බලාපොරොත්තු වෙමු.

ප්‍රවාද සහ Polity සඟරාවල ප්‍රකාශිත මාලතී ද අල්විස්ගේ ලේඛන:

1992 – ‘The Manliness of War and the Abstraction of Death.’ Pravada 1. 2: 25.

1992 – ‘Giraya: The Harsh Grip.’ Pravada 6. 1: 32.

1994 – (ප්‍රදීප් ජෙගනාදන් සමග) ‘Reading the “Body” in Rumours of Death.’ Pravada 3. 6: 14.

1996 – ‘Notes Towards a Discussion of Female Portraits as Texts.’ Pravada 4. 5 සහ 6: 16.

1999 – ‘The “Moral Mother” Syndrome.’ Pravada 6. 2 සහ 3: 17.

2004 – ‘Darwin, Marx and Martin Wickramasinghe.’ Polity 2. 1: 16.

ප්‍රවාද සඟරාවේ කද්රි ඉස්මයිල්ගේ ලේඛන:

1992 – ‘Yet another UNP Filibuster.’ Pravada 6. 1: 5.

1992 – ‘Boys will be Boys: Gender and National Agency in Fanon and the LTTE.’ Pravada 1. 7: 6.

1997 – ‘Cricket: Batting Against the Break.’ Pravada 5. 1: 16.

1999 – ‘Anil’s Ghost: A Flippant Gesture.’ Pravada 6. 9 සහ 10: 24.

සටහන්

De Alwis, Malathi. ‘Meridians Roundtable on Peace.’ Meridians: Feminism, Race, Transnationalism 2. 1 (2001): 92-111.