හැඳින්වීමක් වෙනුවට සටහන් කිහිපයක්: ආවර්ජනය, මෙලන්කෝලියාව සහ කලකිරීම – ප්‍රවීන් තිලකරත්න

හැඳින්වීමක් සඳහා, නැතහොත් හැඳින්වීමක් වෙනුවට, සටහන් කිහිපයක් පාඨකයා හා තැබීමට කැමැත්තෙමි. ඒ, ‘ආවර්ජනා’ යන පුළුල් තේමාවට විවිධ ආකාරවලින්, ඇතැම්විට ඉතා වක්‍රාකාරයෙන්, සම්බන්ධ වන මෙම වෙළුමට ඇතුළත් රචනා තුන හා කෙටිකතාව ස්ථානගත කර දැක්වීමට ය. ඊට ප්‍රථමයෙන් ප්‍රවාද සඟරාවේ පුනරුත්පත්තිය පිළිබඳව ද යමක් කිව යුතු වේ. වසර කිහිපයක්ම අක්‍රීයව තිබූ සමාජ විද්‍යාඥයන්ගේ සංගමයේ ප්‍රවාද සඟරාව යළි පළ කිරීම ආරම්භ වූයේ මේ වසරේ එළිදැක්වූ ප්‍රවාද 35 (‘වංශාවලී’) වෙළුමත් සමග ය.[1] විසි එක්වන සියවසේ වෙසෙන අපට (අපගේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ) දායාද වී ඇති උරුම විග්‍රහ කිරීමට ද ඉතිහාසයේ එතරම්ම අවධානයට ලක් නොවූ ප්‍රපංච විශ්ලේෂණය කිරීමට ද එහි තිබූ රචනා සියල්ලක්ම පාහේ උත්සාහ දැරීය. හැකි සෑම විටම මින් පසුව පළවන ප්‍රවාද වෙළුම් එක් පුළුල් තේමාවක් වටා සංවිධානය කිරීමට තීරණය කොට ඇත්තෙමු. ඇකඩමියේ වෘත්තිමය ඉණිමගේ සාපේක්ෂ වශයෙන් අඩු ප්‍රතිලාභ ගෙන දෙන සිංහල වැනි දේශීය භාෂාවලින් ලියැවෙන විචාරශීලී ශාස්ත්‍රිය ලේඛන ප්‍රමාණය අතිශය ක්ෂීණ වූ බුද්ධිමය අතින් ඉතාමත් අඳුරු යුගයක මෙසේ කිරීම දුෂ්කර නමුත් වැදගත් ය. ඒ, නුදුරු අනාගතයේ කවර හෝ දිනෙක මෙම (නව) ප්‍රවාද සඟරාව ද මිය යා හැකි බැවිනි. මිය ගියත් වසර කිහිපයක කාල පරිච්ඡේදයක් තුළ නිශ්චිත තේමා කිහිපයකට අපගේ යථාර්ථය සංවිධානය කර ගනිමින් අපගේ බුද්ධිමය ගමන වාර්තා කිරීමට සමත් වුවහොත් අප මළේ නිකරුණේ නොවේ යැයි සිතා සතුටු විය හැකි නොවේ ද? මෙවන් පසුබිමක අප අප ගැනම පෙරළා සිතීම මෙන්ම අපගේ සමාජීය, දේශපාලනික හා සංස්කෘතික දායාද හා භාවිත පිළිබඳව ආවර්ජනාත්මක ලෙස ලිවීම ද අත්‍යවශ්‍ය ය. ඒ අයුරින්, මෙම වෙළුමේ තේමාව ‘ආවර්ජනා’ නම් වේ.

එහෙත් ‘ආවර්ජනය’ යනු කුමක් ද? එක්තරා අයුරකින් එහි අරුත අප ඉවෙන් මෙන් දන්නා බව හැඟේ. එනමුත්, තවත් අයුරකින් මෙය තරමක් දුර්බෝධී හා ව්‍යාකූල යෙදුමක් යැයි සිතේ. පොදු ව්‍යවහාරයේ මෙම වදන අප විසින් යොදාගනු ලබන්නේ අතීතයේ යමක් පිළිබඳව පෙරළා සිතීම, එය වර්තමානයේ විචාර මනසට යළි කැඳවීම, එය ගැන නව සත්‍යයක් ඉදිරිපත් කිරීම හෝ අවබෝධ කරගැනීම යනාදිය හැඟවීම සඳහා ය. එනමුත් මෙම වදනේ නිරුක්ති සොයා බලන විට පෙනී යන්නේ ඉහත අරුතට බොහෝ ලෙසින් වෙනස් අරුතක් මෙම හැඟවුම්කාරකයට ‘අතීතයේ’ තිබී ඇති බවයි. නිරුක්ති ගවේෂණය ඔස්සේ වදනක සමාජමය අර්ථයට වඩා පවිත්‍ර සහ හරවත් වූ ශුද්ධ හෝ පරම අර්ථයක් විනිශ්චය කිරීම බොහෝ දුරට බොළඳ හා සදොස් ක්‍රියාවක් ලෙස මා සැලකුව ද ‘ආවර්ජනා’ වදනේ නිරුක්ති ඇත්තෙන්ම සිත්ගන්නාසුළු යැයි සිතන්නෙමි. එම නිරුක්ති දෙස බලා මෙම වදනට පෙරළා නව හැඟවුමක් දීමට හැකිවෙතැයි මා අපේක්ෂා කරන අතරම, එසේ දෙනු ලබන හැඟවුම ඉතා ‘බැරෑරුම්’ ලෙසින් ගත යුතු නොවේ.  ‘ආවර්ජනා’ සංස්කෘත භාෂාවෙන් සිංහලයට එන වචනයකි. ආර්තර් මැක්ඩොනල්ගේ A Practical Sanskrit Dictionary නම් ශබ්ද කෝෂයේ එය දක්වා ඇත්තේ මෙපරිද්දෙනි:  ‘आवर्जन n. conciliating, winning’ (1929: 42), එනම් ‘සමථයට පත් කිරීම’, ‘දිනාගැනීම’. වී. එස්. අප්ටේගේ The Practical Sanskrit-English Dictionary හි එය දක්වා ඇත්තේ ‘आवर्जनम् n. bending down, giving, winning over’ (1957-1959: 364), එනම්, ‘පහත් වීම / පහළට නැවීම’, ‘දානය’ සහ ‘දිනාගැනීම’ ලෙසින් ය. නිරුක්ති සලකුනු කිරීම පිණිස ශබ්ද කෝෂවල මෙලෙස දක්වා ඇති හැඟවුම්කාරක නිශ්චිත අරුතක් හෝ හැඟවුමක් ක්ෂණිකව ලබා දීමට තරම් සමීපව සම්බන්ධ නොවූ ඒවා බව ඔබට ද හැඟෙනු ඇත. එනමුත්, මෙම වදන් පිළිබඳව බොහෝ ගැඹුරු ලෙස නොසිතා, ඒවා මතුපිටින් දෑස් යවන විට යම් චිත්ත රූපයක් මෙන්ම අසම්පූර්ණ ආකෘතියක් ම-සිතෙහි ඇඳෙයි. මෙම රූපය කෙබඳු ද? එය කිසිවකටත් සංවේදී නොවී, දැඩි ප්‍රායෝගිකවාදී දෘෂ්ටියකින් හා ඍජු ලෙස විශ්ලේෂී (එනමුත් අවිචාරශීලී) මනසින් යුත්, ඉලක්ක කරා පියඹා යන වියත් චරිතයක් නොව තරමක් වියපත්, පොළොව දෙසට නැමුනු, සිය පරිසරය හා පසුබිම විචාරශීලීව ද සූක්ෂ්ම ලෙස ද පරීක්ෂා කර බලන, සංවේදී ජීවියකුගේ – නැතහොත් ‘ඉඳින්නකුගේ’ – රූපයකැයි කීමට පුළුවනි. ආවර්ජනය සෙමින් කරන ක්‍රියාවකි. සැනෙකින් ගලා යන දත්ත හා ප්‍රාග්ධනයෙන් ද දිනෙන් දින අලුත්වන ට්‍රෙන්ඩ්ස් සහිත ඩිජිටල් අවකාශවලින් ද සැදුම්ලත් පශ්චාත් නූතන ලෝකයේ අධිවේගී කාල-විඥානයට යම් ලෙසකින් පටහැනි, එය තුළ යම් විසම්මුතියක් ඇති කරවන අශීඝ්‍ර බවක් ආවර්ජන ක්‍රියාව සතු වේ.

මෙම හැඳින්වීම අවසානයේ මෙම නිරුක්ති හා වදනේ වර්තමාන අර්ථය අතර යම් සම්බන්ධයක් ඇති බව පාඨකයාට හැඟී යා හැක. මෙම සම්බන්ධය පැහැදිලි කිරීමට ‘ආවර්ජනය’ හට ගන්නේ කුමන ආකාරයක සන්දර්භයකින් ද – එනම් කුමනාකාර මානසික තත්ත්වයකින් ද, කෙබඳු සමාජ-දේශපාලන පසුබිමකින් ද – යන්න සොයා බැලීම මාගේ අරමුණයි. මාගේ මූලික තර්කය වනුයේ ආවර්ජනය සහ මනෝවිශ්ලේෂණ ක්ෂේත්‍රයේ ‘මෙලන්කෝලියාව’ යනුවෙන් හඳුන්වන තත්ත්වය අතර, නැතිනම් ඊට තරමක් වෙනස් ඥාන විභාගාත්මක රාමුවකින් බැලූ කල, ආවර්ජනය සහ ‘කලකිරීම’ අතර සමීප සම්බන්ධයක් ඇති බවයි. මෙලන්කෝලියාවෙන් හා කලකිරීමෙන් හටගැනෙන, වර්තමානයේ පවතින විවිධ ප්‍රපංච, දායාද සහ භාවිත පිළිබඳ පෙරළා ස්වයං-විවේචනාත්මකව සිතීමේ, අන්තරාවලෝකනයෙහි යෙදීමේ ක්‍රියාවලියයි මෙහි ‘ආවර්ජනා’ ලෙස නම් කොට ඇත්තේ. මෙය මූලික වශයෙන් නූතන සංකල්පයකි. පූර්ව-නූතන මිනිසා ද මෙවැනි හෝ මීට සමගාමී ක්‍රියාවලිවල නිරතවූවා යැයි ඇතැමෙකුට තර්ක කළ හැකිමුත්, ‘ආවර්ජනා’ යන සංඥාව යටතේ මෙහි අප නියැලෙන සංකල්පයේ ආකෘතිය නූතනත්වයට හා නූතන විඥානයට බොහෝ දුරට සීමා කළ හැකිය.

ප්‍රථමයෙන් අප මෙලන්කෝලියාව වෙත හැරෙමු. මෙලන්කෝලියාව නූතන අර්ථයකින් ගෙන, නිසි ආකාරයට විචාරශීලීව සංකල්පනය කරන ලද ප්‍රධානතම පුරෝගාමී ලේඛනය ලෙස 1917 වසරේ ප්‍රකාශිත සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ ‘Mourning and Melancholia’ (ශෝචනය සහ මෙලන්කෝලියාව) නම් රචනාව හැඳින්විය හැක. ෆ්‍රොයිඩ්ට අනුව ‘ශෝචනය’ හා ‘මෙලන්කෝලියාව’ වස්තුවක අහිමිවීම හමුවේ පුද්ගලයකුට දැක්විය හැකි එකිනෙකට තරමක් වෙනස් වූ ප්‍රතිචාර දෙකකි. මේ රචනයේ එන ඔහුගේ සංකල්පනයට අනුව ශෝචනය අහිමිවීම හමුවේ දැක්විය හැකි ‘සාමාන්‍ය’ මෙන්ම හිතකර ප්‍රතිචාරය වන අතර, මෙලන්කෝලියාව අහිතකර රෝගී තත්ත්වයකි. (ෆ්‍රොයිඩ්ගේ රාමුව තුළම සිටියහොත් එය එක්තරා ආකාරයක විෂාදයක් ලෙස ද දැක්විය හැකිය). මේ තත්ත්ව දෙක පිළිබඳ වන ශාස්ත්‍රිය කථිකාව ඓතිහාසිකව මහත් සේ වර්ධනය වී ඇති නමුත්, ෆ්‍රොයිඩ්ගේ මුල් අදහස ද මෙතැන කෙටියෙන් සඳහන් කරමි.

ශෝචනය (ජර්මන් බසින් ‘Trauer’ යන වදන) පිළිබඳව ෆ්‍රොයිඩ් මෙවැනි අදහසක් දක්වන අතර, ඔහු ලිපියේ මුල් කොටසේ එය මෙලන්කෝලියාවෙන් වෙන් කොට හඳුනා ගන්නට උත්සහ කරයි:

තමා ආදරය කරන තැනැත්තෙකුගේ අහිමිවීමට, නැතහොත් එවන් බැඳීමක තැන ගනු ලබන සිය රට, නිදහස, පරමාදර්ශ යනාදියෙහි අහිමිවීමට, කෙනෙකු නිතිපතා දක්වන ප්‍රතිචාරය ශෝචනය නම් වේ. එනමුත්, මෙම හේතු නිසා ඇතැම් පුද්ගලයන් තුළ හටගන්නේ ශෝචනය නොව මෙලන්කෝලියාවයි. මොවුන් ව්‍යාධී භාවයට වැඩි නැඹුරුවක් ඇත්තන් යැයි ඒ අනුව අපි සැක කරන්නෙමු (1964: 243).

පුද්ගලයකු අහිමිවීම හමුවේ ශෝචනයෙහි යෙදෙන විට, එම ක්‍රියාවලිය තුළින් ඔහු හෝ ඇය නොබෝ කලකින් එම තත්ත්වයෙන් ද අහිමි වූ වස්තුව කෙරෙහි කලින් දැක්වූ මානසික බැඳීමෙන් ද මිදෙනු ඇතැයි මනෝවිශ්ලේෂකයාට අපේක්ෂා කළ හැකි බව ෆ්‍රොයිඩ් පවසයි (1964: 244). එහෙත් මෙලන්කෝලියාවට අදාළ කාලිකත්වය මීට වෙනස් ය. ආවර්ජනය සතු කාලිකත්වය අශීඝ්‍ර බව මා පෙර සඳහන් කළෙමි. මෙලන්කෝලියාවේ කාලිකත්වයත් ෆ්‍රොයිඩ්ගේ සංකල්පනයට අනුව මෙවැනිම ය. ශෝචකයා මෙන් නොව මෙලන්කෝලිකයා සිය ‘අහිතකර’ මානසික තත්ත්වය තුළ දිගු කල් ඇලී ගැලී සිටින අතර, ප්‍රතිකාරය සිය ඉලක්කය කරගන්නා මනෝවිශ්ලේෂකයාට මෙය මළ වදයක් වන බව නොඅනුමාන ය!

ශෝචනයෙහි යෙදෙන්නා යථාර්ථයට ගරු කර ඊට අවනත වන අතර, ශෝචන ක්‍රියාවලිය මගින් සිදු වන්නේ මේ නව යථාර්ථයට (එනම්, පෙර තිබූ වස්තුව තව දුරටත් නොපවතින නව යථාර්ථයට) හැඩගැසීමට පුද්ගලයාට ඉඩ සැලැස්වීමයි. පවතින තත්ත්වය මෙසේ ‘නිකන්ම’ බාර ගැනීමට, යථාර්ථයට නිකරුණේ අවනත වීමට තරම් මෙලන්කෝලිකයා කීකරු නැත. වස්තුව අහිමිවීමෙන් ඇතිවන අඩුව නැතිනම් හිඩස තම ආත්මය මතට ආරූඪ කරගනිමින් එම වස්තුව තිබෙන-නොතිබෙන, හැඟෙන-නොහැඟෙන, පෙනෙන-නොපෙනෙන අමුතු යමක් සේ කල්පිතයේ රඳවා ගැනීමට මෙලන්කෝලිකයා සමත් වේ. ඒ අනුව, ශෝචකයා අත්දකින අහිමිවීම යථාරූපී වන අතර, මෙලන්කෝලිකයා අත්දකින අහිමිවීමේ යම් කල්පිත ගුණයක් ඇති බව ෆ්‍රොයිඩ් පවසයි. අපගේ මෙම සාකච්ඡාවට මීට වඩා වැදගත් වන කාරණාවක් ද ෆ්‍රොයිඩ් මින් පසුව ඉස්මතු කර දක්වයි.

[ශෝචනයේ මෙන් මෙලන්කෝලියාවේ ද වස්තුවක් සත්‍ය වශයෙන්ම අහිමි වී ඇති බව] විශ්වාස කිරීම සාධාරණ වුව ද, [මෙලන්කෝලියාවේ] නැති වී ඇත්තේ කුමක් දැයි පැහැදිලි ලෙස හඳුනාගැනීමට නොහැකිය. රෝගියාට ද සවිඥානිකව තමාට අහිමි වී ඇත්තේ කුමක් දැයි ප්‍රත්‍යක්ෂ නොවන බව ද සිතීම තාර්කික ය. තමාගේ මෙලන්කෝලියාව හට ගැනීමට හේතු වූ අහිමිවීම පිළිබඳව අවබෝධයක් ඇති රෝගියා ද තමාට අහිමි වී ඇත්තේ කවුරුන් දැයි දන්නා නමුත්, ​​ඒ අහිමිවීම නිසාවෙ​න් තම​න් තුළ​ම නැති වී ඇත්තේ කුමක් දැයි කියා ඔහු නොදනියි. (1964: 245; රචනයේ ඉංග්‍රීසි පිටපතේ ද අවධාරණය මෙලෙස දක්වා ඇත: He knows whom he has lost but not what he has lost in him).

මෙසේ අහිමි වස්තුව පිළිබඳව ද අහිමි වස්තුව සමග තමාට තිබෙන සම්බන්ධය පිළිබඳව ද සම්පූර්ණ, අන්වර්ථ දැනුමක් නොමැති මෙලන්කෝලිකයා ස්වාත්මය වෙත හැරී ගැඹුරු ස්වයං-විවේචනයක නිරත වේ.  මෙමගින් යම් යටහත් පහත් බවක් ද නිශ්චිත ප්‍රභවයක් නොහිමි දුක්මුසු බවක් ද මෙලන්කෝලිකයාගේ බාහිර ස්වරූපයෙන් ගම්‍ය වේ. මෙලන්කෝලිකයාගේ චරිත ස්වභාවයේ කිසියම් අහම-අඩුවක් (ego-loss) තිබෙන බව කිව හැකිය. වස්තුව හා වස්තු-සම්බන්ධය පිළිබඳ තිබෙන්නාවූ දැනුම නොව නො-දැනුම නිසාවෙන් ශෝචනයට වඩා මනෝවිශ්ලේෂණ ක්ෂේත්‍රයට වඩාත් උචිත ලෙස විෂය වන්නේ මෙලන්කෝලියාවයි. (ෆ්‍රොයිඩ් ඉහත රචනයෙන් පසුවත් මෙලන්කෝලියාව එතරම්ම ඍණාත්මක හැඟවුම් නොමැතිව යළි සංකල්පනය කිරීමට යොමු වුව ද, ඔහුගේ ජීවිත කාලය තුළ එය බොහෝ දුරට අසම්පූර්ණ  ලෙස සංකල්පනය වූවකි). කෙසේ වෙතත්, මනෝවිශ්ලේෂණ ක්ෂේත්‍රයට මෙලන්කෝලියාව වඩාත් වැදගත් වන්නේ, එහි සිදුවන අහිමිවීම සම්බන්ධ මනෝ ගතිකයන් සවිඥානික අහම (ego) [2] මට්ටමෙන් පැහැදිලි කිරීමට නොහැකි නිසා ය.

සිය සංකල්පනයන් තුළින් බටහිර බූෂුවා පුද්ගලභාවය සතු අහම-කේන්ද්‍රීයත්වය (egocentrism) ෆ්‍රොයිඩ් අතින් විවේචනයට ද විසං‍යෝජනයට ද ලක් වූ නමුත්, සායනික ක්‍රියාවලිය තුළ අවිඥානික මානසික ගැටළු විසඳීමට ඒවා විඥානයට කැඳවිය යුතු ය යන රීතිය ඔහු බොහෝ අවස්ථාවල අනුගමනය කළේ ය. ඒ අනුව, මානසික වශයෙන් අහම ගැටළු-සහගත නොවන බවත්, අහම මට්ටමෙන් දෙනු ලබන මනෝවිද්‍යාත්මක විසඳුම් හිතකර බවත් ඔහුගේ ඇතැම් කියමන්වලින් වක්‍රාකාරව හෝ ගම්‍ය වේ. මෙලන්කෝලියාව අසාමාන්‍ය, සුව කළ යුතු, අහිතකර තත්ත්වයක් ලෙස ද ශෝචනය සාමාන්‍ය ‘මිනිස්’ ප්‍රතිචාරයක් ලෙස ද ෆ්‍රොයිඩ් වෙන් කොට දක්වන්නේ එක් අතකින් සායනික ක්‍රියාවලියේ ප්‍රායෝගික අවශ්‍යතා සැලකිල්ලට ගනිමිනි; එහෙත් තවත් අතකින් මෙලන්කෝලියාව පිටු දකිමින් එය වෙනුවට සායනික ක්‍රියාවලිය ඔස්සේ ශෝචනය ආදේශ කර දීමට අවශ්‍ය බව කියා සිටීමට ඔහුට තුඩු දුන්නේ ඔහුගේම අර්ධ-විඥානික බූෂුවා ආචාරධර්ම හා අදහස්, හෝ එසේත් නැතිනම් උපරි-අහමේ නියමයන් වීමට ද පුළුවන. කෙසේ වෙතත් සිය ආස්ථානය ගැටළු සහගත බැව් ෆ්‍රොයිඩ්ම තේරුම් ගන්නා අවස්ථා තිබෙන අතර, සායනික භාවිතයෙන් දුරස්ථ වූ වඩාත් සමපේෂී කෘතිවල ඔහු මීට වඩා සංකීර්ණ හා විචාරශීලී පිළිතුරු ලබා දීමට උත්සහ කරයි. උදාහරණයක් ලෙස, Beyond the Pleasure Principle (1920) කෘතියේ අවිඥානයේ ‘තිබෙන’ අවරෝධිත (repressed) දේවල් අහමට කැඳවීමේ අසීරු බව හා එවන් ක්‍රියාවලියක අනිවාර්ය අසම්පූර්ණ බව පමණක් නොව, එසේ කිරීමේ න්‍යායාත්මක ගැටළුව (එනම් අනාගතයේ දෙයක් වර්තමානයේ පුනරුච්චාරණය කළ හැක්කේ කෙසේ ද යන කාලිකත්වය පිළිබඳ ගැටළුව) ෆ්‍රොයිඩ් මනාව හඳුනා ගනියි (ෆ්‍රොයිඩ් 1961: 12).

ඒ අනුව, සායනික ක්‍රියාවලියෙන් ඈත් වූ, වැඩි වශයෙන් සමාජීය හා සංස්කෘතික ක්ෂේත්‍රවල නියැලෙන මනෝවිශ්ලේෂී න්‍යායිකයන්, ෆ්‍රොයිඩියානු රාමුව තුළ හිඳිමින්, එහෙත් ෆ්‍රොයිඩ්ගේ ‘Mourning and Melancholia’ විවේචනය කොට එය අභිබවා යමින්, මෙලන්කෝලියාව පිළිබඳව අලුතින් සිතීමට ද එය සංකල්පයක් ලෙස යම් ආකාරයකින් ‘බේරා ගැනීමට’ ද උත්සහ කර ඇත. මෙසේ කරන්නියකි මනෝවිශ්ලේෂණය හා පශ්චාත්-යටත්විජිතවාදී න්‍යාය යන දෙ ක්ෂේත්‍රය අතර යමින් චින්තනයෙහි යෙදෙන රංජනා ඛන්නා. මෙලන්කෝලියාව සම්බන්ධයෙන් ඛන්නා ඉදිරිපත් කරන තීසිසය හැකි තරම් සරල කොට දැක්වීමට කැමැත්තෙමි. ඍණාත්මක අර්ථයකින් වටහාගන්නා ලද හුදු රෝගී ලක්ෂණයක් ලෙස හංවඩු ගසමින් නිර්වචනය කිරීමට නුසුදුසු යම් ‘විචාරාත්මක කාරකත්වයක්’ (critical agency) මෙලන්කෝලියාව සතු වේ යැයි තර්ක කරන ඈ, පශ්චාත්-යටත්විජිතවාදී අධ්‍යයනය නම් වූ ක්ෂේත්‍රය පුළුල් වශයෙන් මෙවන් විචාරාත්මක කාරකත්වයක් සතු එකක් ලෙස හඳුන්වන්නී ය. ඇගේ සංකල්පනයට අනුව, සංස්කෘතික හා දේශපාලනික ක්ෂේත්‍රවල නම්, මෙලන්කෝලියාව ‘ව්‍යාධියක්’ නොව නව දැනුමක්, කථන ක්‍රමයක්, හැඟවුම් කලාපයක් ආදිය හෙළිදරව් කිරීමට පවා ශක්‍යතාවක් තිබෙන, නිශ්චිත ඥාන විභාගාත්මක භූමිකාවක් ඉටු කරන සුවිශේෂී තත්ත්වයකි. ‘Post-Palliative: Coloniality’s Affective Dissonance’ (පශ්චාත්-ශමනකය: යටත්විජිතත්වයේ ආවේදනික විසංවාදය) යන ඇගේ ලිපියක මෙම තීසිසයට අනුකූල වන කොටසක් මෙතැන උපුටා දක්වමි:

නිකලස් ඒබ්‍රැහැම් හා මරියා ටොරොක් යන දෙදෙනාගෙන් ද ෆ්‍රොයිඩියානු ශෝචන ක්‍රියාවලිය පිළිබඳ ඩෙරීඩාගේ අදහස්වලින් ද ආභාසය ලත් මාගේ විශ්ලේෂණයට අනුව, [මෙලන්කෝලියාවට අනන්‍ය] විචාරාත්මක කාරකත්වය හටගන්නේ උපරි-අහම (superego) විසින් අහම මතට පනවන ලද [...] සරෝධනවලට (constraints) මුළුමනින්ම යටපත් නොවන යම් අතිරික්තයක් හේතුවෙනි… මෙලන්කෝලියාවේදී නැති වූ වස්තුව පවතින්නේ සම්පූර්ණයෙන් ප්‍රත්‍යක්ෂ නොවන හා දුරවබෝධී ලෙසිනි… මෙලන්කෝලියාව ශෝචනයෙන් වෙන් කොට දැක්වීමට ෆ්‍රොයිඩ් මෙලන්කෝලියාව පිළිබඳ කතා කරන විට දිරවීම හා ගිලදැමීම හඟවන වහරක් යොදා ගනියි… නැතිවූ වස්තුව සම්පූර්ණයෙන් හඳුනාගැනීමට අසමත් වන අහම, එය ගිල දමා, ඊට සාපේක්ෂව දෙකඩ වීමට පටන් ගනියි... මෙලන්කෝලියාවේ විචාරාත්මක කාරකත්වය වර්ධනය වන්නේ මෙසේ ගිලින ලද වස්තුව පුද්ගලයා විසින් විවේචනයට ලක්වන විට ය. මෙහිලා මතුවන රෝග ලක්ෂණය ‘ස්වයං-විවේචනයක’ නැතිනම් ‘ආත්ම-විචාරයක’ ස්වරූපය ගනියි (ඛන්නා 2005).[3]

රෝග ලක්ෂණ, දිරවීම, විවේචනය ආදිය පිළිබඳ කතා කරන රංජනා ඛන්නා මෙතැන කියන්නේ ඍණාත්මක දෙයක් බව මනෝවිශ්ලේෂී බස් වහරට එතරම් හුරුපුරුදු නැති පාඨකයකුට හැඟීමේ අවධානමක් තිබේ. එනමුත් මනෝවිශ්ලේෂණ න්‍යායේ රෝග ලක්ෂණයක්, එනම් ‘symptom’ එකක්, ලෙස හඳුන්වන දේ ඍණාත්මක දෙයක් නොව, පොදු මිනිස් චර්යාවේ නොයෙකුත් ලක්ෂණ පිළිබඳ කතා කිරීමට යොදා ගනු ලබන යෙදුමකි. ඒ අනුව මිනිසුන්ගේ බාහිර ක්‍රියා කලාපය, චරිත-ස්වභාවය යනාදිය රෝග ලක්ෂණ නොහොත් ‘සිම්ටම්’ යන පුළුල් කාණ්ඩයට ඇතුළත් කරගනිමින් විග්‍රහ කර දැක්විය හැක. මෙලන්කෝලිකයා සතු චර්යාව, කථන විලාසය, දැනුම ලබා ගැනීමේ උපායමාර්ග ආදිය පිළිබඳ කතා කරන විට රෝග ලක්ෂණ හඟවන බස් වහරක් යොදා ගැනුණ ද, එමගින් එය අසාමාන්‍ය තත්ත්වයකැ යි ඛන්නා කිසිවිටෙක නිගමනය කරන්නේ නැත. මෙලන්කෝලියාව එක්තරා ආකාරයක පුද්ගලයා විසින් කරනු ලබන ‘අවිඥානික තෝරාගැනීමකි’ (choice). මෙම තෝරාගැනීම හේතුවෙන් සමාජීය වශයෙන්, දේශපාලනික වශයෙන් පනවන ලද තහංචි, බාධා හා සරෝධනවලට (එනම් උපරි-අහමට) සහමුලින්ම අවනත වීමට මෙලන්කෝලිකයා අකමැති වේ. ඔහු/ඇය පවතින සමාජ දේශපාලන තත්ත්වයන් අවිචාරාත්මකව බාර ගන්නේ නැත. ඔහු/ඇය වස්තුවක් අහිමි වූ සැණින් හඬා වැලපී ඊළඟ දවසේ වෙනත් වස්තුවක් බදා ගන්නා ශෝචකයකු සේ, නැතිනම් අත්තෙන් අත්තට පනින කුරුල්ලකු සේ හැසිරෙන්නේ ද නැත. ඔහුට/ඇයට මොකද්දෝ කැහිල්ලක් තිබේ; යම් කලකිරීමක් ද තිබේ. ‘Cautious optimism’, එනම් ‘විපරම් සහිත ශුභවාදය’ (ඛන්නා 2005), ලෙස ඛන්නා හඳුන්වන්නේ මෙවන් චිත්තස්වභාවයකි.

රංජනා ඛන්නා මනෝවිශ්ලේෂණ ක්ෂේත්‍රයට ඇතුළු වන්නේ පශ්චාත්-යටත්විජිතවාදී කණ්ණාඩි කුට්ටමක් පැළඳගෙනයි. යූරෝ-කේන්ද්‍රීය චින්තනයට ද බටහිර බුද්ධිප්‍රබෝධය (Enlightenment) විසින් අපට ලැබී ඇති ඇතැම් දායාද ද ඇගේ විවේචනයට ලක් වේ. රෝග ලක්ෂණවලට – එනම්, මතුපිටින් පෙනෙන දේට – දෙනු ලබන රෝග විනිශ්චය රඳා පවතින්නේ එම විනිශ්චයට පූර්වයෙන් සකසාගත් දැනුම් පද්ධතියක් හා ඥාන විභාගාත්මක උපකල්පන රැසක් මත ය. මෙම රාමුව යම් ලෙසකින් වෙනස් වන්නේ ද රෝග ලක්ෂණයක් සඳහා දෙනු ලබන විනිශ්චය ද නව අර්ථකථනවලට, නව වියහැකියාවලට විවෘත වේ. මීට සමාන ප්‍රවේශයක් ගණනාථ ඔබේසේකරගේ ඉතා අගනා රචනාවක ද හමු වේ. ‘Depression, Buddhism and the Work of Culture’ (1985) (විෂාදය, බුදු දහම සහ සංස්කෘතික ක්‍රියාව) නම් වූ එම රචනයෙහි ඔබේසේකර සාකච්ඡාවට බඳුන් කරන්නේ නිශ්චිත අර්ථයකින් මනෝවිශ්ලේෂී ක්ෂේත්‍රයේ එන මෙලන්කෝලියාවම නොව ඊට බොහෝ සෙයින් සංකල්පීය සමානකමක් තිබෙන මනෝ විද්‍යා ක්ෂේත්‍රයට අදාළ විෂාදය නම් තත්ත්වයයි. එහි ඔබේසේකරගේ එක් තර්කයක් නම්, ලංකාවේ අප බහුලව ‘කලකිරීම’ යනුවෙන් හඳුන්වන ලද්ද විෂාදය වැන්නකට ලඝු කිරීමට නොහැකි බවත්, එහි තාර්කික කෙළවර අහිතකර අකර්මන්‍යතාවක් හෝ ඔහේ උඩබලං ඉන්නට හිතවන කම්මැලිකමක් හෝ නොවන බවත් ය. ජී.එස්. බ්‍රවුන් සහ ටී. හැරිස් නම් විද්‍යාර්ථීන් දෙදෙනෙකු විසින් ‘විෂාදය නම් ව්‍යාධියේ හරය සැකසී ඇත්තේ අපේක්ෂා විරහිත බවේ ව්‍යාප්තීකරණයෙන් ය (generalization)’ යන ප්‍රකාශයට ඔබේසේකර ප්‍රතිචාර දක්වන්නේ මෙසේ ය: ‘බෞද්ධයකු ලෙස මා හට මෙම ප්‍රකාශය තරමක් අමුතු ය. ඒ, මෙය ශ්‍රී ලංකාවේ සන්දර්භය තුළ තැබුවහොත් මෙකියන පුද්ගලයා විෂාදයෙන් පෙළෙන්නෙක් නොව හොඳ බෞද්ධයකු ලෙස පෙනී යා හැකි බැවිනි’ (2017: 161). සිය සාකච්ඡාව මෙසේ අරඹන ඔබේසේකර පසුව කියා සිටින්නේ මනෝ විද්‍යාව තුළ ‘රෝග ලක්ෂණ ඒවා හට ගන්නා සංස්කෘතික සන්දර්භයෙන් වෙන් කොට සලකා ප්‍රතිකාර ලබා දෙන’ බවයි (2017: 164). මෙය විශේෂයෙන්ම අදාළ වන්නේ සංස්කෘතික පැතිකඩ පිළිබඳ තියුණු කියවීමක් සිය විධික්‍රම තුළ නිසි ආකාරයෙන් සාක්ෂාත් කරගැනීමට නොහැකි අනුභූතිවාදී මනෝ විද්‍යාවට ය.

ඉහත සාකච්ඡාවෙන් ඉස්මතු වූ කාරණය නම් මෙයයි: ප්‍රතිනිර්වචනය හා ප්‍රතිසංකල්පනය වූ මෙලන්කෝලියාව වැනි මානසික තත්ත්වයකින් (නැතිනම් කලකිරීම වැනි හුදු ව්‍යාධියක් ලෙස නිර්වචනය කළ නොහැකි තත්ත්වයකින්) හටගන්නේ අකර්මන්‍යතාව හා පරාජය නොවේ. යමක් පිළිබඳව කලකිරෙන්නා ඒ පිළිබඳ ගැඹුරට සිතයි. තමාගේ කලකිරීමට හේතු වූ දෙය ගිල දමා, ඒ දෙයට සාපේක්ෂව තමාගේ අනන්‍යතාව පිළිබඳව ද තමාගේ (නො)දැනුම පිළිබඳව ද පෙරළා සිතයි. නිරහංකාරව තමා සිටින ලෝකය ගැන, තමා සතු වූ දායාද, උරුම ආදිය ගැන සිතමින් සමථයකට පත් අවබෝධයක් ලබා ගැනීමට උත්සහ දරයි. ආවර්ජනයක නිරත වීමට මදක් හෝ කලකිරෙන්නට අවැසි අතර, ආවර්ජනයේ පොදු ස්වරූපය කලකිරීමේ ව්‍යාප්තීකරණය මගින් සැකසුණක් බව ද කිව හැකිය. ඒ අනුව, මෙහි තිබෙන ලිපි සියල්ලම පාහේ පවතින යම් යම් තත්ත්වයන් පිළිබඳව විවිධ වූ මට්ටම්වලින් පැන නැගුණු කලකිරීම් නිසා ලියැවුණු ඒවා ලෙස අර්ථකථනය කිරීමට පුළුවනැයි සිතමි. මෙය ඇතැම් ලිපිවලට වඩාත් අදාළ බවත්, ඇතැම් ලිපිවලට ඒ ලෙසින්ම අදාළ බව තහවුරු කර දැක්වීමට පහසු නැති බවත් මා පිළිගන්නා අතරම, කලකිරීම, මෙලන්කෝලියාව සහ ආවර්ජනය එක් ආකෘතියකින් පමණක් නොව ආකෘති, ස්වරූප සහ කථන විලාස ගණනාවකින් සමන්විත විය හැකි බව විශ්වාස කරමි. ප්‍රථමයෙන් අපි ‘මුවාවී ම’ (පිටු 20-31) නම් ඵුසති ලියනාරච්චිගේ කෙටිකතාව වෙත හැරෙමු.

ලේඛන කිහිපයක්ම අඩංගු සඟරා වෙළුමකට ලියන ලද මෙවන් කෙටි හැඳින්වීමක මෙම කෙටිකතාව ගැඹුරින් සාකච්ඡාවට ලක් කිරීමටත්, අර්ථ නිරූපණය කිරීමටත් අවකාශ නොමැත. මතුපිටින් මෙම කතාව (ඇත්තෙන්ම මෙම කතාවේ ‘මතුපිට’ එහි මතුපිටින්ම සොයා ගැනීම දුෂ්කරය) උද්‍යෝගයෙන් පොතපත කියවන දැරියක කුඩා කල සිට වැඩිවියට පත්වන අයුරු පිළිබඳ කියැවෙන පුවතකි; කියවීම, ලිවීම, දැනුම ලබාගැනීම, ලෝකයට විවෘත වීම යන මේ සියලුම දේ කෙතරම් නම් සරාගික වූ, අපගේ ආශාවෙන් ආසාදනය වූ ක්‍රියාවලියක් ද යන්න පිළිබඳ කතාවකි. එනමුත්, මෙලන්කෝලියාව යන කෝණයෙන් නිර්වචනය වූ ‘ආවර්ජනය’ යන තේමාව නිසියාකාරයෙන් කුමක් වේ ද යන්න පෙන්වා දීම පිණිස මෙම කෙටිකතාව ඉතාමත් යෝග්‍ය ය. නිසැකවම මෙම කෙටිකතාව ආවර්ජනයකි; බිඳුණු කැඩපතකින් අහුලාගත් ශේෂ ඔස්සේ, විසංවාදී කාල-කැබලි එකිනෙක සංනිධාපනය කොට ගොතන ලද ප්‍රබන්ධයකි. නිශ්චිත ලෙස නම් කළ නොහැකි, එහෙත් කතාව පුරාවටම හොල්මන් කරවමින් පුනරාවර්තනය වන අහිමි වූ යමක් මෙම කතාවේ තිබුණ ද, එය කතාවේ ප්‍රධාන චරිතයේ ශෝකයට හේතු නොවේ. ඇය හඬා වලපින අවස්ථාවක් තිබුණ ද, එම හඬා වැලපීම අකර්මන්‍යතාවකටවත් සියල්ල අත හැර උඩ බලන් ඉඳීමකටවත් හේතු වන්නේ නැත. ඇය තුළ තිබෙන දුර්බෝධී අහිමි වස්තුව නිසාවෙන් හටගැනෙන මෙලන්කෝලියාව හේතුවෙන් ඇය තුළ විෂාදී භාවයක්වත් විරාගී බවක්වත් හට නොගනී. අහිමි වස්තුව ඇය තුළ පවතින්නේ යම් අතිරික්තයක් ලෙසින් වන අතර, ඉන් ඇය ස්වයං-විවේචනාත්මක, සිය දිවිය පිළිබඳව ආවර්ජනාත්මක අයුරින් සිතන කර්තෘ-වරියක් (subject)[4] බවට පත්වන්නී ය. ඇත්තෙන්ම, විරාගී බවකට හාත්පසින්ම වෙනස් තමා වෙතටම දිශානත වූ සරාගී බවකි මෙම චරිතයෙන් ඉස්මතු වන්නේ. ඇය ස්වයංවින්දනය කරයි, නිනිපතා තම පැවැත්ම පිළිබඳ සිතයි; අන් අය සමග ඇය ලිංගිකව බැඳෙන විට ඊර්ෂ්‍යා විරහිත පිවිතුරු බැඳීම් ඇගේ චරිත ස්වභාවයට හා බස් වහරට ආගන්තුක ය. මෙම කර්තෘකාරිත්වය අතිශය වැදගත් වන්නේ, ඉහත කී අකර්මන්‍යතාව එමගින් නිශේධනය වන බැවිනි. එනමුත්, අහම-අධික කර්තෘකාරිත්වයේ තිබෙන දැඩි රාගය හා උද්වේගය මදක් හෝ අවම කරන්නේ, ඊට යම් සීමාවක් පනවන්නේ, කර්තෘ තුළ පවතින් මෙලන්කෝලියාවට තුඩු දෙන පුනරාවර්තිත අහිමි වස්තුවයි. කෙටිකතාවේ මාතෘකාවට යොදා තිබෙන ‘මුවාවී ම’ යන යෙදුමෙන් මෙකියන සංදිග්ධතාව (ambiguity) හෙළිදරව් වේ. ‘මුවාවීම’ යන ව්‍යුක්ත ක්‍රියාව හඟවන අපුද්ගල යෙදුමත්, ‘මුවාවී මම’ යන අහම-කේන්ද්‍රීය යෙදුමත් අතර ය ‘මුවාවී ම’ යන්න පවතින්නේ. ආවර්ජනයට විෂය වන කර්තෘකාරිත්වය ඒ අයුරින් ව්‍යුක්ත අපුද්ගල සංකල්පය හා පුද්ගල-නිශ්චිත මමංකාරය යන ධ්‍රැව දෙක අතර යමින් මැදිහත් වේ. පළමු ධ්‍රැවය අසළ සිරවී සිටින්නිය නිවෙසින් කිසි දිනෙක පිටතට නො යාවි. සිය සීමා ප්‍රශ්න නො කරාවි. සිය ආශාව හා නො ගැටේවි. දෙවන ධ්‍රැවයේ සිරවී සිටින්නිය පෙරළා ගෙදර නො පැමිණේවි. කර්තෘ පෙරළා සිය නිවෙස වෙත කැඳවන, තමාගේ නිවෙස (ඇත්තෙන්ම නිවසක භෞතිකව සිටින්නන් හදවතින් අවතැන්වූවන් ය) අමතක වීමට ඉඩ නොදෙන, ඈ තුළ තිබෙන අමුතු අතිරික්තය කුමක් ද? ඊට පිළිතුර මම නොදනිමි. නිශ්චිත පිළිතුරක් එම ප්‍රශ්නයට දීමට නොහැකියි සිතමි. එක් අතකින් කර්තෘ-වරිය යළි නිවෙස වෙත කැඳවන ‘යම’ (මෙය ‘දෙය’කට වඩා ‘යම’කි) නියෝජනය කරන්නේ වෙස්මුහුණ ය; ඇගේ පියාගේ පොත්ගුලේ එල්ලා තිබුණු යක්මුහුණ ය. එහෙත් එම වෙස්මුහුණ වසන් කරන ගුප්ත යම මේ මේ යැයි නිර්වචනය කළ නොහැක. එය අහිමි වස්තුවකට, කර්තෘ හමුවේ පවතින ශුන්‍යභාවයකට සමගාමී ය. ආවර්ජිතයා සතු මෙලන්කෝලික විචාරාත්මක කාරකත්වයේ මනෝවිශ්ලේෂී සැකැස්ම හා  එහි ප්‍රබන්ධ සාහිත්‍යමය වියහැකියා පිළිබඳ උනන්දු පාඨකයන්ට මෙම කෙටිකතාවේ ඉතා සිත්ගන්නාසුළු පැතිකඩ බොහොමයක් තිබෙන බව මා සිතන අතරම, සංවේදී සහ භාෂාත්මක අතින් නිර්මාණශීලී කතාවක් රසවිඳින්නට ප්‍රිය කරන පොදු පාඨකයකුට ද මෙම කෙටිකතාව වටින බව විශ්වාස කරමි.

මේ වෙළුමේ මීළඟට තිබෙන රචනා දෙකෙහි, එනම් වගීෂා ගුණසේකර විසින් රචිත ‘පර්යේෂණ ප්‍රශ්න පොදි’ (පිටු 32-52) සහ කෞශල්‍යා පෙරේරා විසින් රචිත ‘ලෝක බැංකු සල්ලි සහ අපේ විශ්වවිද්‍යාල’ (පිටු 53-75), සමානකම් බොහොමයක් වේ. ප්‍රධානතම සමානකම වන්නේ මේ රචනා දෙකම එම කතුවරියන්ගේ වෘත්තිමය අත්දැකීම් පදනම් කරගෙන ලියවුණු ඒවා බව ය. එම වෘත්තිමය ජීවිත නැතහොත් ක්ෂේත්‍ර තුළ තිබෙන්නාවූ විවිධ අතෘප්තීන් (discontents), බාධක හා අසාධාරණ නිසා හටගැනුණු යම්කිසි කලකිරීමක් මෙම රචනා දෙකටම වක්‍රාකාරව හෝ බලපා ඇත. මා ඉහත පුන පුනා අවධාරණය කළ පරිදි තම ක්ෂේත්‍රය හෝ රැකියාව හෝ පිළිබඳව කලකිරෙන පුද්ගලයකු තමා සතු දුක්ඛිත ඉරණම අකර්මන්‍ය ලෙස භාරගත යුතු නොවේ. කලකිරීම අවියක් කරගනිමින්, අදාළ ක්ෂේත්‍රය පිළිබඳ තියුණු විශ්ලේෂණයක් ද, පුළුල් විචාරයක් ද ලබා දීමට කලකිරුණු පුද්ගලයාට හැකියාවක් තිබේ.

ගුණසේකර මෙහි විමර්ශනයට ලක් කරන ක්ෂේත්‍රය අපට පුළුල් වශයෙන් ‘පර්යේෂණ කර්මාන්තය’ ලෙස හැඳින්විය හැකි ක්ෂේත්‍රයකි. මෙය එම ක්ෂේත්‍රයට කරන අපහාසයක් නොවේ; අදහස් සහ දැනුම හා සම්බන්ධ විෂයන්  ද අද ලෝකයේ ඍජුව හෝ වක්‍රාකාරව හෝ යම් කර්මාන්තයකට හා ජාත්‍යන්තර ප්‍රාග්ධන ජාලයකට සම්බන්ධ වන අතර, මේ සම්බන්ධය ධනාත්මක නොවේනම් අවම තරමේ එය ඍණාත්මක නැතිනම් නිශේධනාත්මක සම්බන්ධයක්වත් වේ. පර්යේෂණ ක්ෂේත්‍රයේ ද නිශ්චිත ශ්‍රම විභජනයක් මෙන්ම ශ්‍රම සූරාකෑම් ද පවතියි. මේ මේ යැයි නම් කළ හැකි නිෂ්පාදන ද තිබෙන අතර, ඒවා අපි පොදු ව්‍යවහාරයේ ‘සංකල්ප’, ‘දැනුම’, ‘න්‍යාය/තියරි’ ආදී වශයෙන් හඳුන්වමු. ගුණසේකරගේ රචනයේ සිත්ගන්නාසුළු දෙයක් නම් එහි පර්යේෂණ ක්ෂේත්‍රයේ, විශේෂයෙන්ම දේශීය පර්යේෂණ-එන්.ජී.ඕ ආයතන ගෝලීය උතුරේ (global North) පර්යේෂකයන් හෝ සංවිධාන හෝ සමග සහයෝගිතා ඇති කරගන්නා සන්දර්භය තුළ, පවතින ශ්‍රම ධූරාවලි හා සංකල්පීය ධූරාවලි අතර තිබෙන සම්බන්ධය විචාරාත්මක ලෙස විග්‍රහ කර තිබීමයි. දේශීය හෝ ප්‍රාදේශීය වශයෙන් දැනුම නිෂ්පාදනය වුණත් නැතත්, එම නිෂ්පාදනයන් ඉබේම ගෝලීය වශයෙන් සුජාතක වන්නේ නැත. සංකල්පවල සහ දැනුමේ සුජාතකබව ඉතාමත්ම දෘඪ ලෙස බලය සහ ගෝලීය ප්‍රාග්ධනය හා බැඳී ඇති බව ගුණසේකර අවධාරණය කරයි. ගෝලීය උතුර හා ගෝලීය දකුණ අතර තිබෙන පර්යේෂණ හවුල්කාරිත්වවල ගෝලීය දකුණේ පර්යේෂකයන් හුදු දත්ත කණින්නන් බවටත්, ඒ අනුව ශ්‍රමය අතින් ද සංකල්ප හා දැනුම නිෂ්පාදනය සඳහා වන ප්‍රවේශ අතින් ද වහලුන් බවට පත්වන බවත් ගුණසේකර සිය අත්දැකීම් ඔස්සේ පෙන්වා දෙයි. පර්යේෂණ ක්ෂේත්‍රයේ (විශේෂයෙන්ම රාජ්‍ය නොවන පර්යේෂණ සංවිධාන තුළ) නියැලෙන්නන් හට තම වෘත්තියේ තිබෙන ව්‍යුහාත්මක ප්‍රචණ්ඩත්වයත් බල අසමානතාත් පිළිබඳව විචාරශීලීව සිතීමට මෙම ආවර්ජනය නිසැකවම රුකලක් වනු ඇති.

‘ලෝක බැංකු සල්ලි සහ අපේ විශ්වවිද්‍යාල’ ලිපියේ කෞශල්‍යා පෙරේරා දැන් ප්‍රමාණවත් කලක් සිට රාජ්‍ය විශ්වවිද්‍යාල තුළට වැඩි වැඩි වශයෙන් ගලා එන ලෝක බැංකු ණය මුදල් පිළිබඳව විග්‍රහයක් ඉදිරිපත් කරයි. ණය මුදල් ලෙස නොව ‘අරමුදල්’ හා ‘ආධාර’ ලෙස නිතර වරදවා හඳුන්වනු ලබන මෙම මුදල් සම්බන්ධ කථිකාවට ද ඇගේ විශේෂ අවධානය යොමු වේ. මෙම ‘අරමුදල්’ හේතුවෙන් උමතුවට පත් ව සිය කම්මැලි ශාස්ත්‍රිය භූමිකාවට වඩා ප්‍රොජෙක්ට්-ප්ලෑනිං සුඛජනක යැයි සිතන අධානග්‍රාහී ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ ශාස්ත්‍රඥයින් විශ්වවිද්‍යාල භූමිවල දැන් බහුල ය. පෙරේරා පෙන්වා දෙන පරිදි, මෙ නිසාත් ලෝක බැංකු ණය ලබා ගැනීමට කළ යුතු විවිධ කළමනාකරණ වැඩ නිසාත් විශ්වවිද්‍යාල තුළ අධ්‍යාපනය පිළිබඳ, ඵලදායිතාව පිළිබඳ, හා ශාස්ත්‍රිය සාර්ථකත්වය මැණීම පිළිබඳ කථිකාව ද බොහෝ සේ වෙනස් වී ඇත. විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක වන පෙරේරා ද මෙම ආවර්ජනයෙහි නිරත වන්නේ විශ්වවිද්‍යාල තුළ දිනෙන් දින වැඩි වන ලෝක බැංකුවෙන් ආ මුදල් ප්‍රතිශතයත් (එම මුදල නිසා විශ්වවිද්‍යාලවල වන සමාගම්ගතකරණයත්), දිනෙන් දින අවම වන විශ්වවිද්‍යාල තුළ තිබිය යුතු විචාරශීලී බවත් හේතුවෙන් හට ගැනෙන කලකිරීමකිනි. ලෝක බැංකු ණය හා විශ්වවිද්‍යාලවල සමාගම්ගතකරණය ක්ෂණිකව ප්‍රතික්ෂේප කර, එසේ සිදු වූ කාල පරිච්ඡේදය ශෝචනය කර, නව විකල්පයක් එසැණින් සොයා ගත නොහැකි තත්ත්වයක් තුළ පෙරේරාගේ අවසාන පරිච්ඡේදය යම් මෙලන්කොලික ස්වරූපයක් ගනී. එනමුත් විකල්පයක් නැතත් පවතින අතිශය ගැටළුසහගත තත්ත්වය විවේචනය කළ යුතු බව පෙරේරාගේ රචනයෙන් සනාථ වේ. මෙවන් විවේචනයක් නැතිනම්, විකල්පයක් නොමැතිව හෝ ප්‍රතිපත්තිමය වශයෙන් විරෝධය පෑමට අවැසි කාරකත්වයක් නැතිනම්, මෙරට විශ්වවිද්‍යාල බොහෝ ප්‍රමාණයක් ඒවා පිහිටා තිබෙන ඉඩම්වල වටිනාකමට අනුව තක්සේරු වී, ඵලදායී නොවන කර්මාන්ත ලෙස විනිශ්චය වී, නොබෝ කලකින් අතුගෑවී යන බව නිසැක ය. අධ්‍යාපනයේ පෞද්ගලීකරණයට පමණක් නොව රජයේ විශ්වවිද්‍යාලවල පිරිහීමේ සැබෑ ස්වරූපය (එනම් පංතිකාමරවලට වඩා පාරේ සිටින ශිෂ්‍යයන් නිසා නොව ලෝක බැංකු සල්ලි පසුපස හඹා යන වෘත්තිකයන් නිසා වී ඇති ඉමහත් ව්‍යුහාත්මක හා බුද්ධිමය පිරිහීම) පිළිබඳ උනන්දු පාඨකයන් හට මෙම රචනය වැදගත් වනු ඇති.

මෙම වෙළුමට අඩංගු තෙවන ලිපිය මෙලන්කෝලියාව-කලකිරීම-ආවර්ජනය යන සංකල්පීය ආකෘතිය තුළ පිහිටා තිබෙන්නේ ඉහත ලිපි දෙකට මදක් වෙනස් අයුරකිනි. සමල් විමුක්ති හේමචන්ද්‍ර විසින් රචිත ‘චන්ද්‍රක්කා: 71 කැරැල්ලේ කැරලිකාරිනියන්ගේ අමතක කෙරූ භුමිකාව පිළිබඳ සංකේතයක්’ (පිටු 76-116) නම් මෙය බොහෝ දුරට ‘වාමාංශික මෙලන්කෝලියාව’ (left-wing melancholia) යන ශානරය තුළ ස්ථානගත කිරීමට පුළුවනැයි සිතමි. වාමාංශික මෙලන්කෝලියා යන යෙදුම එන්සෝ ට්‍රැවර්සෝ නම් ඉතාලි ජාතික මාක්ස්වාදී ඉතිහාසඥයාගේ සූත්‍රගත කිරීමක් වන අතර Left-Wing Melancholia (2016) නම් වූ කෘතියේ ඔහු 20 වන සියවසේ කොමියුනිස්ට්වාදයේ මෙලන්කෝලික පැතිකඩ පිළිබඳ ආවර්ජනාත්මක ඉතිහාසයක් ඉදිරිපත් කරයි. 1989 වසරේ බර්ලින් තාප්පයේ බිඳ දැමීමට පසුව 20 වන සියවසේ කොමියුනිස්ට් අපේක්ෂාව ගෝලීය යථාර්ථයක් වීමේ වියහැකියාව අහිමි වූ බව බොහෝ දෙනාගේ විශ්වාසය වේ. එවන් සන්දර්භයක් තුළ 21 වන සියවසේ වාමාංශික චින්තකයෝ බොහෝ දෙනෙක් මෙලන්කෝලික වේශයක් ගනිති. ඔවුන් 20 වන සියවසේ කොමියුනිස්ට් උරුමය හා දායාදය කුමක් දැයි පෙරළා සිතන අතරම එහි ප්‍රචණ්ඩත්වය හා එනිසා සිදු වූ ව්‍යසනය ද ප්‍රතික්ෂේප නොකරති. ඔවුහු එම ඉතිහාසය නිසියාකාරව මැඩුණු, මෝරපු අපේක්ෂා ද ඇතිව නැවත අර්ථකථනය කරන අතරම 20 වන සියවසේ කොමියුනිස්ට්වරුන් සැබෑ අර්ථයකින් පරාජය වූවන් බව ප්‍රතික්ෂේප නොකරති. පරාජිතයාගේ කෝණය ගත් විට, 19 වන සහ 20 වන සියවස්හි සිටි වාමාංශිකයන් අතර ද මේ අයුරින් මෙලන්කෝලික විචාරාත්මක කාරකත්වයක් සතු චරිත අපට හමුවේ. හේමචන්ද්‍ර ද ඔහුගේ ලිපියේ 20 වන සියවසේ වාමාංශික දායාදය හා ගැටෙමින්, ඉතිහාසයේ මහා ආඛ්‍යාන තුළ මැකී යාමේ අවධානමක් ඇති කුඩා මතකයන්, කතාන්දර හා මගහැරුණු චරිත අධ්‍යයනය කරයි. ඒ අනුව, 71 කැරැල්ලේ ඉතාමත්ම අල්ප වශයෙන් පමණක් අවධානයට ලක් වූ ස්ත්‍රියගේ භූමිකාව, එනම් කැරලිකාරිනියන්ගේ මැදිහත්වීම, හේමචන්ද්‍ර අනාවරණය කරයි.  චන්ද්‍රා පෙරේරා නොහොත් චන්ද්‍රක්කාගේ ජීවිත කතාව ආශ්‍රයෙන් හා ඇගේ ආවර්ජනාත්මක මතක සටහන් ඔස්සේ හේමචන්ද්‍ර 71 පිළිබඳ මෙලන්කෝලික නමුත් නැවුම් අධ්‍යයනයක නිරත වේ. 71 කැරැල්ල වඩාත් සමස්ත ලෙස තේරුම්ගැනීමට උත්සහ කරන මෙම රචනය මෙරට වාමාංශික ඉතිහාසය පිළිබඳ වන ස්වයං-විවේචනාත්මක කථිකාව තුළ මැදිහත් වෙමින් සහභාගී වේ.

අවස​න් වශයෙන් සඳහන් කළ යුත්තේ ආවර්ජනය-මෙලන්කෝලියාව-කලකිරීම යන සංකල්පීය ආකෘතිය  මෙම එකිනෙකට වෙනස් වූ ස්වාධීන ජීවිතවලින් හෙබි ලිපි ස්ථානගත කිරීම සඳහා පමණක් තෝරාගනු ලැබූ තේමාවක් වන බවයි. මේ සෑම ලිපියකම මෙම තේමාවට වඩා ව්‍යාප්ත වූ පුළුල් විෂය පරාසයක්, අදහස් ලෝකයක්, නිශ්චිත තර්කයක් ආදිය තිබේ. (මෙහි තේමාවට ඍජුවම සම්බන්ධ නොවන සන්ජේ සුබ්‍රමනියම් නම් ඉතිහාසඥයා සමග සම්මුඛ සාකච්ඡාවක පරිවර්තනයක් ද අඩංගු ය [පිටු 117-123]). එසේ විශේෂිත විෂය වස්තු, එකිනෙකට වෙනස් ශෛලියන්, කථන විලාස, විධික්‍රම හා න්‍යායාත්මක රාමු තිබුණ ද මේ ලිපි සියල්ලෙහිම ඉහත කී විචාරාත්මක කාරකත්වය දක්නට ලැබේ. නිශ්චිතවම නම් කළ නොහැකි අතෘප්තිමත් අතිරික්තයක් හිමි කර්තෘත්වයක් මෙන්ම කලකිරීම මධ්‍යයේ වුව ද (නැතිනම් කලකිරීම නිසාවෙන්ම) හට ගැනෙන ගණඳුර පසාරු කරන පුංචි හෝ අපේක්ෂාවක් මේ ලිපි සියල්ලෙන්ම විද්‍යමාන වේ. මෙම වෙළුමේ වැඩ කටයුතු සියල්ල සඳහා ඉමහත් සේ උපකාර කළ සමාජ විද්‍යාඥයන්ගේ සංගමයට අනුබද්ධ සියලු දෙනාට ද, විශේෂයෙන්ම මෙහි කටයුතු සමායෝජනය කරමින්, සංස්කරණයට උපකාර කරමින් දායක වූ හිරණ්‍යදා දේවසිරිට ද, මෙම වෙළුමේ තේමාවට අහඹු නමුත් අපූර්ව ලෙස සම්බන්ධ කවර ඡායාරූපය ගත් බුද්ධිම විතානගේට ද බෙහෙවින් කෘතඥ වෙමි.

2020 සැප්තැම්බර්
කොළඹ

ආශ්‍රිත ග්‍රන්ථ

Apte, V.S (අප්ටේ). The Practical Sanskrit-English Dictionary. Prasad Prakashan, 1957-1959.

Freud, Sigmund (ෆ්‍රොයිඩ්). Beyond the Pleasure Principle. Trans. James Strachey. W.W. Norton & Co., 1961.

Freud, Sigmund (ෆ්‍රොයිඩ්). ‘Mourning and Melancholia.’ The Standard Edition of the Complete Psychological Works of Sigmund Freud. Trans. Ed. James Strachey, vol. XIV. Hogarth Press, 1964.

Khanna, Ranjana (ඛන්නා). ‘Post-Palliative: Coloniality’s Affective Dissonance.’ Postcolonial Text 2, no. 1 (2005),

https://www.postcolonial.org/index.php/pct/article/view/385/815

Macdonell, Arthur Anthony (මැක්ඩොනල්). A Practical Sanskrit Dictionary. Oxford University Press, 1929.

Obeyesekere, Gananath (ඔබේසේකර). ‘Depression, Buddhism and the Work of Culture.’ The Buddha in Sri Lanka. Routledge, 2018.

Traverso, Enzo (ට්‍රැවර්සෝ). Left-Wing Melancholia: Marxism, History, and Memory. Columbia University Press, 2016

 

ඡායාරූපය - එඩ්වර්ඩ් මුන්ක්, "මෙලන්කෝලියාව" (1891).

***

ප්‍රවාද සඟරාව හෝ එහි පළ වන ලිපි පිළිබඳව විමසුම් තිබේනම්, 011 250 1339 දුරකථන අංකයෙන් සමාජ විද්‍යාඥයන්ගේ සංගමය (SSA) අමතන්න; නැතහොත් pravitilak@gmail.com ඊමේල් ලිපිනය වෙත ඔබගේ ප්‍රශ්න යොමු කරන්න.

[1] මේ සඳහා මහාචාර්ය ජයදේව උයන්ගොඩ මෙන්ම සමාජ විද්‍යාඥයන්ගේ සංගමයට අනුබද්ධ ආචාර්ය ප්‍රදීප් පීරිස්, ශෂික් දනුෂ්ක, ටානියා සිල්වාපුල්ලේ, සුරේෂ් අමුහේන සහ හිරණ්‍යදා දේවසිරිට විශේෂයෙන් ස්තුතිවන්ත වෙමි.

[2]  ‘Ego’ යන ඉංග්‍රීසි පදයට අනුරූපී සිංහල පදය ලෙස ‘අහම’ යන වචනය මා යොදා ඇත (පඨිත පාරිභාෂික පදමාලාවේ මෙම පදය දක්වා ඇති අතර, ‘ඊගෝ’ යන්න ද සඳහන් කොට ඇත). ‘අහම’ එක්තරා ආකාරයකින් ෆ්‍රොයිඩ් භාවිත කරන ‘das Ich’ නම් ජර්මන් වචනයට සමීප වන්නේ ‘Ich’හි අරුත ඉතා සරලව ‘මම’ වන බැවිනි. පාලි හා සංස්කෘත භාෂා දෙකේම ‘මම’ සඳහා භාවිත වන්නේ ‘අහම්’ යන වදනයි. මේ ලිපිය සඳහා ‘ඊගෝ’ වෙනුවට ‘අහම’ යන පදය වඩාත් ගැලපේ යැයි සිතමි. ඒ, ඉංග්‍රීසි යෙදුමට වඩා පාලි හා සංස්කෘත යෙදුම්වලට මා ප්‍රිය කරන නිසා නොව, ‘ඊගෝ’ යන වචනයෙහි ෆ්‍රොයිඩියානු සංකල්පනය ව්‍යාකූල කරවන දුර්බෝධී හැඟවුම් ඇතැම් අවස්ථාවල තිබිය හැකි නිසා ය.

[3] පාඨකයාගේ පහසුව සඳහා ඛන්නාගේ පඨිතයේ උපුටා දක්වා ඇති අවසාන වාක්‍ය කිහිපයේ අනුපිළිවෙල මදක් වෙනස් කොට ඇත.

[4] ‘Subject’ යන වචනයට සම්පූර්ණ ලෙස අනුරූපී වන එක් නිශ්චිත සිංහල වචනයක් සිතීමට අපහසු ය. මීට ‘ස්වීයා’ යන වදන ද ‘ආත්මය’ යන වදන ද ඇතැමුන් භාවිත කළ ද, මාගේ මෙම ව්‍යවහාරය තුළ එම වදන් දෙකම උචිත නැත. ‘කර්තෘ’ යන්න භාවිත කිරීමෙන් මේ වදනේ තිබෙන ව්‍යාකරණමය හා වාක්‍යවිචාරාත්මක (syntactical) අර්ථයත් එහි තිබෙන ක්‍රියාකාරී හැඟවුමත් ග්‍රහණය කරගැනීමට හැකි වුව ද ඉංග්‍රීසි වචනයේ තිබෙන යම් අතකින් සීමා වූ, යමකට විෂය වූ, යන අදහස තරමකට අවම වේ. මෙකියන දෙවන හැඟවුමට ‘විෂයාතෘ’ යන වදන උචිත අතර, subject යන්නට කර්තෘ හා විෂයාතෘ යන වදන් දෙකම ස්ථානෝචිතව යොදා ගනිමි.