දශක තුනක් රජයේ හමුදාවන් සහ එල්.ටී.ටී.ඊ සංවිධානය අතර පැවති කුරිරු යුද ගැටුම් 2009 වර්ෂයේදී මිලිටරිමය වශයෙන් එල්.ටී.ටී.ඊ සංවිධානය පරාජය කිරීමත් සමග ආරම්භ වූ පශ්චාත් යුද සමාජය නැවතත් බියෙන් සලිත කලාවූ සිදුවීමක් ලෙස පාස්කු ඉරිදා ප්‍රහාරය පෙන්වා දීමට හැකිය. මෙම ප්‍රහාරය අමිහිරි මතකයන් ඉතිරි කරමින් 250කට අධික ජීවිත උදුරා ගත් අතර තවත් 400ක් පමණ වන තුවාලකරුවන් ප්‍රහාරයේ තීව්‍රත්වය තුන්කල් හි සිහිපත් කරනු ලබන වින්දිතයන් බවට පත් කිරීමට සමත් විය. මහ මැතිවරණ උණුසුම මෙන්ම වර්තමාන දේශපාලන සමාජ සහ ගෝලීය සන්දර්භීය වෙනස්කම් හමුවේ වියැකී යන පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ මතකයන් නැවත ආවර්ජනය කරමින් විමසා බැලිය යුතු කාරණාවන් කිහිපයක් ඉතිරී වී ඇති බව පසක් වූයේ පසුගිය වර්ෂය මුළුල්ලේ සමාජයේ පහළ ස්ථර යැයි සම්මත ජන සහ වෘත්තීය කණ්ඩායම් සමග කළ සංවාද සහ විසංවාදයන්හි ප්‍රතිඵලයක් ලෙසය.

පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග ශ්‍රී ලාංකේය සිංහල බෞද්ධ සමාජය ගිල ගත්තාවූ මුස්ලිම් භීතිකාව විසින් මුස්ලිම් ප්‍රජා විවිධත්වය ඒකීය රාමුවක් තුළ අර්ථකතයන කළ අතර ඒ හරහා පැන නැගෙන මූලික ගැටළුව වනුයේ පාස්කු ඉරිදා ප්‍රහාරය සමස්ථ සිංහල බෞද්ධ සමාජය හා සබැඳි දේශපාලන බල අධිකාරිය විසින් විවිධත්වය යටපත් කරමින් ඒකීය සමාජයක් ඇති කිරීම උදෙසා අන්තවාදය සහ මූලධර්මවාදී කණ්ඩායම් සහ අදහස් සමාජගත කිරීමේ ප්‍රතිඵලයක් ද යන්නයි. එයට සමගාමීව ඇසිය යුතු නමුදු කිසිවෙකුත් නොඇසූ ප්‍රශ්නය වනුයේ සිංහල සමාජය සහ මුස්ලිම් සමාජය තුළ නිර්මාණය වී ඇති බෙදුම් රේඛාවන්හී ප්‍රතිඵලයක් ලෙස නිර්මිත සමාජ වෛරය සහ අන්‍යයන් අතුගා දැමීමේ ක්‍රියාවලිය තුළ පාස්කු ඉරිදා ප්‍රහාරය ශ්‍රී ලාංකේය සමාජයේ තුන්වන සුළුතරය වන කතෝලික ප්‍රජාව ඉලක්ක කරගනිමින් දියත් වූයේ ඇයි ද යන්නයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය හා එහි හේතු විශ්ලේෂණය තුළ අවබෝධ වන්නේ ගැටුම් ලක්ෂය හුදෙක් වාර්ගික නොවන අතර එය ආගම පදනම් කරමින් ඇති වූ සමාජ බෙදීමේ නිර්මාණයක් වන බවය. සුළුතර ජන කණ්ඩායම් දෙකක වින්දිත හා චූදිත සම්බන්ධය තුළ සිදු වූ පාස්කු ඉරිදා ප්‍රහාරය ඉස්මතු කළ තවත් කරුණක් වනුයේ ජාතික තවුහිද් ජමාද් සහ ජම්මයියතුල් මිලාතු ඉබ්රාහීම් වැනි දේශීය ආගමික සහ අන්තවාදී සංවිධාන තවදුරටත් දේශීය සමාජ බෙදීම් තුළ පමණක් ක්‍රියාත්මක නොවන බවත්, එවැනි සංවිධාන ජාත්‍යයන්තර වශයෙන් ඉරාකය සහ සිරියාව පදනම් අයි.එස්.අයි.එස් වැනි සංවිධානයන්ගේ මතවාදීමය යුද්ධයේ දේශීය මුහුණුවර ලෙස ක්‍රියාත්මක වන බවය. ඉහත පෙන්වා දුන් ගැටළු අතරින් විශ්ලේෂණය කළ යුතු ප්‍රාථමික කරුණක් වනුයේ ශ්‍රී ලාංකේය සමාජයහි සිවුවන සුළුතරය ප්‍රහාරයේ වින්දිතයන් වන්නේ කෙසේද සහ එය සිංහල බෞද්ධ මහජාතික දේශපාලන ධාරාවේ හැසිරීම මත සිදුකරනු ලබන විවිධත්වය යටපත් කරමින් සුළුජාතික කණ්ඩායම් අතුගා දැමීමේ ක්‍රියාවලියට මුස්ලිම් ආගම කේන්ද්‍රීය ත්‍රස්තවාදය හා අන්තවාදයේ ප්‍රතිචාර දැක්වීමක් ලෙස හඳුනා ගත හැකිද යන්නයි.

ශ්‍රී ලාංකේය සමාජ නිර්මිතය ඛණ්ඩනය කිරීමේදී, සිංහල බෞද්ධ වාර්ගික නියෝජනය සමස්ත ජනගහනයෙන් ¾ ක් වන අතර 11.2% ක ප්‍රතිශතයක් නියෝජනය කරනු ලබන්නේ ශ්‍රී ලාංකේය දෙමළ ජනගහනය විසිනි. එමෙන්ම 9.3% ක් වන මුස්ලිම් නියෝජනය සහ 4.1% ක් වන ඉන්දීය දෙමළ ප්‍රජාව සහ 0.5% ක් පමණ වන සෙසු ප්‍රජාවන් විසින් ශ්‍රී ලාංකේය ජන සමාජයේ සෙසු ජන විකසනයේ සාමාජික කණ්ඩායම් ලෙස හඳුනා ගත හැකිය. දෙමළ ජනගහණයෙන් බහුතරය හින්දු භක්තිකයක් වන අතර මැලේ සහ මුස්ලිම් ජන කණ්ඩායම් ඉස්ලාම් ලබ්ධිකයන් වේ. සැලකිය යුතු දෙමළ සහ සිංහල ජනගහණයේ ප්‍රතිශතයක් ආගමික නියෝජනය තුළ කතෝලිකයන් වන නමුත් ප්‍රතිශතයක් වශයෙන් එය බෞද්ධ, හින්දු සහ ඉස්ලාම් නියෝජනයට වඩා අඩු අගයකි.

මෙම සමාජ ඛණ්ඩයන තුළදී ඇතිවන නිශ්චයාත්මක ගැටළුව වන්නේ අයි.එස්.අයි.එස් සම්බන්ධතා මත පෝෂණය වූවා යැයි සැලකෙන දේශීය අන්තවාදී කණ්ඩායම් විසින් ශ්‍රී ලාංකේය ජන සමාජයෙහි කුඩාම ජන නියෝජනය ඉලක්ක කරගනිමින් පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුකළේ ඇයි ද යන්නය. මෙම ප්‍රහාරය ගෝලීය නිකායවාදය මත නිර්මාණය වූ අයි.එස්.අයි.එස් වැනි අන්තවාදී කණ්ඩායම් ගෝලීය ත්‍රස්තවාදය ව්‍යාප්ත කිරීම සඳහා ආගමික සහ වාර්ගික ඛණ්ඩනයන් ප්‍රවර්ධනය කරනු ලබන ශ්‍රී ලංකාව වැනි රාජ්‍යයන් යොදා ගන්නේ ද යන්න ප්‍රශ්නාර්ථයක් ලෙස ඉදිරිපත් කරනු ලබයි. 

මෙම පසුබිම තුළ අප හඳුනා ගත යුතු වන්නේ ජාත්‍යන්තර ත්‍රස්තවාදය සහ උග්‍ර උන්මූලවාදී පාරජාතික සංවිධාන හරහා ශ්‍රී ලංකාව තුළ පමණක් නොව සමස්ත දකුණු ආසියාව සිසාරා ආගමික අන්තවාදය සහ උන්මූලවාදය ව්‍යාප්ත වීමේ සහ ප්‍රවර්ධනය වීමේ හැකියාවක් පවතින බවයි. මෙම තත්වය නිවැරදිව හඳුනා ගනිමින් පාරජාතික උන්මූලවාදය සහ ආගමික අන්තවාදය විසින් දේශීය තරුණ කණ්ඩායම් ආකර්ෂණය කර ගැනීමේ හේතු ආමන්ත්‍රණය කිරීම රජය විසින් අනිවාර්යෙන්ම සිදු කළ යුතු නමුත් දකුණු ආසියානු රාජ්‍යයන් මහජාතික දේශපාලන මතයන් ප්‍රවර්ධනය කිරීම තුළ මෙම විකල්ප එමෙන්ම ප්‍රතිශෝධනවාදී අන්තවාදය වඩාත් වර්ධනය වීම සිදු වන බවය. ආගමික අන්තවාදය සදහා පසුබිම නිර්මාණය කරන්නාවූ දේශීය, කලාපීය සහ ජාත්‍යන්තර කරුණු මෙන්ම පුළුල් ලෙස ව්‍යාප්ත වූ විවිධ මට්ටමේ සමාජ-ආර්ථික සහ දේශපාලනික ගතිකයන් ජාතිකවාදී ග්‍රහණයෙන් නිදහස් කොට සැමට එකසේ සහ රිසි සේ ජීවත් විය හැකි ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ව්‍යුහයක් නිර්මාණය කිරීම රාජ්‍යයේ ප්‍රථම කාර්යය විය යුතුය. උදාහරණයක් වශයෙන් විමසීමේදී පාස්කු ප්‍රහාරයට සමගාමී වශයෙන් තවත් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අනතුරු ඇඟවීම් සිදු කරනු ලැබූ ඉන්දීය කේරළ ප්‍රාන්තයේ දේශපාලන, සමාජ සහ ආර්ථික විචල්‍යයන් සහ එම ප්‍රාන්ත රාජ්‍යය හා ඉන්දීය මධ්‍යම ආණ්ඩුව අතර පවත්නා සම්බන්ධය විමසිය හැකිය. මෙම කරුණු විමර්ශය තුළ අවබෝධ කරගත හැකි ප්‍රපංචයන් කිහිපයකි.

ඉන්දීය මධ්‍යම ආණ්ඩුව විසින් නව ගෝලීය ආර්ථිකයට ප්‍රතිචාර දැක්වීම 1991 වර්ශයේ දී සිදු කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ සහ නව ලෝක පර්යාය තුළ දකුණු ඉන්දීය ප්‍රාන්ත ඉතා නම්‍යයශිලී වශයෙන් කටයුතු කිරීමක් දක්නට ලැබුනු අතර මෙහි ප්‍රතිඵලයක් වශයෙන් දකුණු ඉන්දීය ආර්ථික ප්‍රගමනය උතුරු ඉන්දියාවට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයක් අත්පත් කරගනිමින් ආර්ථික සහ සමාජ ස්ථර තුළ ඉහළ සචලතාවයක් අත්පත් කර ගන්නට විය. විශේෂයෙන්ම මෙහිදී කේරළය ඉන්දීය ආර්ථිකයේ කොඳු නාරටිය වශයෙන් වර්ධනය වන්නට වූ අතර සමාජ දර්ශක තුළ ප්‍රමුඛත්වය කේරළය සතුවිය. මෙම ආර්ථික සහ සමාජ ප්‍රබලත්වය කෙසේ වුවද, කේරළ ජනසමාජය තුළ දේශපාලනික වශයෙන් අවරෝධනයක් ඉන්දීය මධ්‍යම ආණ්ඩුවට එරෙහි වර්ධනය වූ අතට එයට මූලික හේතුව වන්නේ උතුරු ඉන්දියාව කේන්ද්‍රීය මහජාතික හින්දුත්ව දේශපාලන ධාරාවන් කේරළය ඇතුළු දකුණු ඉන්දියාවේ පවතින සුවිශේෂී, විකල්පීය සමාජ, ආර්ථික, දේශපාලනික සහ සංස්කෘතික අංගයන් යටපත් කරමින් හින්දුත්ව දේශපාලන සමාජ ගතිකයන් කේරළ සමාජය තුළට බලහත්කාරයෙන් ආරෝපණය කිරීමට උත්සහ කිරීමයි. අගමැති මෝදි ප්‍රමුඛ ඉන්දීය මධ්‍යම රජය හින්දු ස්වරාජ්‍යය හා හින්දු ජාතිකවාදය ප්‍රවර්ධනය කිරීම හරහා බහුවාර්ගික සහ බහුආගමික විවිධත්වය යටපත් වීම තුළ දකුණු ඉන්දීය සමාජ විවිධත්වය නිහීන වීම සිදු විය. මෙයට සමලෝමීය වශයෙන් දකුණු ඉන්දීය ප්‍රාන්ත ප්‍රධාන දේශපාලන ප්‍රවාහයෙන් ක්‍රමිකව ඉවත්වීම සිදුවන බව පැහැදිලි වේ. මෙම වාර්ගික ප්‍රතිපීඩනයන් කේරළය ඇතුළු දකුණු ඉන්දීය සමාජය තුළ ඇතිකරන සමාජ අසහනය සහ පීඩිත මානසිකත්වය අයි.එස්.අයි.එස් වැනි ත්‍රස්ත කණ්ඩායම් විසින් තම මතවාද ව්‍යාප්ත කිරීම සඳහා මෙන්ම තම අරමුණු සාක්ෂාත් කරගැනීම සදහා උපායිකව, අවස්තාවාදීව යොදාගෙන ඇත. මෙම තත්වය පාස්කු ඉරිදා ප්‍රහාරය හරහා ඉස්මතු කරනු ලබන අතර ආගමික අන්තවාදය සහ උන්මූලවාදී ත්‍රස්ත කණ්ඩායම් දකුණු ආසියාව තුළ පවතින සමාජ බෙදීම් රේඛා තම අරමුණු ඉටුකර ගැනුමට උපයෝගී කරගන්නා බව ඉහත උදාහරණය හරහා පොදුවේ අවබෝධ කරගත යුතුය.

මෙම තත්වයන් තුළ පැහැදිලි වන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය ශ්‍රී ලංකාවට පමණක් නොව දකුණු ආසියානු කලාපය තුළ මහජාතිකවාදය සහ ජනප්‍රියවාදය පෝෂණය කරනු ලබන්නාවූ මෙන්ම ජනප්‍රියවාදී ඉෂ්ටඵල හරහා වාර්ගික ඡන්ද කේන්ද්‍රීය දේශපාලන සම්ප්‍රදායන් ප්‍රවර්ධනය කරමින් සුළුජාතික කණ්ඩායම් ප්‍රධාන දේශපාලන ව්‍යුහයෙන් නෙරපා දැමීමට උත්සහ කරනු ලබන සෑම රජයක් වෙතම එම ක්‍රියාවලිය නැවත සලකා බැලීම වෙනුවෙන් කරනු ලබන අනතුරු ඇඟවීමක් වන බවයි. මෑතකාලීන පරීක්ෂණ අධ්‍යයන වර්තා තර්ක කරනුයේ තෝරාගත් බොහෝ අවස්ථාවන්හිදී සමාජ මාධ්‍යය උන්මූලවාදය සහ ප්‍රචණ්ඩත්වය ප්‍රවර්ධනය කිරීමට අවශ්‍යය පසුබිම නිර්මාණය කිරීම මෙන්ම ආගමික අන්තවාදය සඳහා වන මානව සම්පත ආකර්ෂණය කිරීමට අවැසි ඉඩප්‍රස්ථාවන් සලසා දෙනු ලබන බවයි. අයි.එස්.අයි.එස් වැනි සංවිධාන ඉස්ලාම් ආගමික මතවාදයන් සංවිධානගත අරමුණු සාක්ෂාත් කරගැනීමට අවැසි ආකාරයට නිර්වචනය කරමින් මුස්ලිම් සමාජය තුළ නෛතික පිළිගැනීම ලබා ගැනීමට සහ ආකර්ෂණය ළඟා කර ගැනීමට නූතන මාධ්‍යය හා තාක්ෂණය යොදා ගන්නා බවත් ඒ සදහා සමාජයේ පවතින බෙදුම් රේඛා පදනම් කරගන්නා බවත්‍ මෙහිදී පැහිදිලි වේ.

ශ්‍රී ලංකාව උදාහරණයක් ලෙස විවේචනාත්මකව සැලකීමේදී පෙනී යන්නේ විදග්ධ තරුණ සමාජය මතවාදීමය ප්‍රචාරණයන් තුළ අයි.එස්.අයි.එස් වැනි සංවිධායන්ගේ සාමාජිකත්වය ලබා ගැනීම හුදෙක් ත්‍රස්තවාදයේ මතවාදීමය ප්‍රචාරණ ව්‍යාපාරයේ ජයග්‍රහණයක් නොව මහජාතික දේශපාලනය විසින් සුළුජාතික ආගමික හා ජනවාර්ගික ප්‍රධාන දේශපාලන, සමාජ ධාරාවෙන් ඉවත් කිරීමෙහි ප්‍රතිඵලයක් ම වන බවයි. මෙම ජනප්‍රියවාදී මහජාතික උන්මූලවාදය හරහා සිදු වන්නේ තාර්කික බුද්ධිමත් තරුණයන් පුහු අභිවන්දනීය ත්‍රස්තවාදී සහ අන්තවාදී ව්‍යාපාරයන්ගේ අතකොළු බවට පරිවර්තනය වීමයි. මෙම තත්වය මර්ධනය කිරීම සදහා බහුවිධ දේශපාලන සහ සමාජ නියෝජනයක් සහිත බල යාන්ත්‍රණයක් අවශ්‍යය වන අතර ආගමික අන්තවාදය හුදෙක් මතවාදීමය වශයෙන් පමණක් නොව, සෑම අංශයක් තුළදීම මර්දනය කළ යුතු සමාජ පිළිලයක් ලෙස සලකා එය මර්දනය සදහා වන සමාජ, දේශපාලන, ආර්ථික සහ මනෝවිද්‍යාත්මක පිළියම් ලබා ගැනීම අනිවාර්‍යය වේ.

ජාතික රාජ්‍යය තුළ පැවතිය යුතු විවිධත්වය මර්ධනය කිරීම තුළින් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ගතිකයන් මහජාතික දේශපාලන බල අධිකාරියේ අතකොළු බවට පරිවර්තන වී ඇති අතර සමස්ත දේශපාලන ප්‍රවාහය මහජාතික දේශපාලන ධාරාව විසින් තම ආර්ථික දේශපාලන හා සමාජ අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා වන නිතී සම්පාදනය කිරීමට මෙන්ම සුළුජාතික වාර්ගික සහ ආගමික කණ්ඩායම් මර්ධනයට හා ඔවුන්ගේ සමාජ දේශපාලන සහ ආර්ථික අයිතීන් සීමා කිරීම වෙනුවෙන් යොදා ගන්නා බව පැහැදිලි වේ. බොහෝ නූතන ජාතික රාජ්‍යයන් බහුවාර්ගිකත්වය සහ බහුවාර්ගික සමාජ ආකල්පයන් දරා සිටීම හෝ ප්‍රවර්ධනය කිරීම සිදු නොකරනු ලබන අතර මෙම ජනප්‍රියවාදී මහජාතික දේශපාලන බලාධිකාරිය ජාතික රාජ්‍යය සංකල්පය හරහා මහජාතික බුද්ධි ප්‍රජාව ප්‍රවර්ධනය කිරිම සිදු කරනු ලබයි.

මෙම සන්දර්භය තුළ පාස්කු ඉරිදා ප්‍රහාරය සහ ශ්‍රී ලාංකේය මහජාතික දේශපාලන චර්යාව අර්ථකතනය කළ හැකි අතර එහිදී විශේෂයෙන් ම පැහැදිලි වන්නේ පශ්චාත් යුද සමාජය තුළ ක්‍රමිකව සිංහල සහ මුස්ලිම් සමාජ සම්බන්ධතාවයන්ගේ පළුදුවීම් සහ සමාජ බෙදීම් රේඛා වර්ධනය වී ඇති බවයි. නුවර නගරයේ  මුස්ලිම් සමාජය ඉලක්ක කර ගනිමින් ඇති වූ භයානක ප්‍රචණ්ඩත්වයේ ඇසිදුටු සාක්ෂිකරුවන් වූ අතර එම සිදුවීමට තුඩුදුන් ආසන්තම හේතුව ලෙස 2018 පෙබරවාරි 22 වන දින මුස්ලිම් තරුණ කණ්ඩායමක් විසින් සිංහල ලොරි රථ රියදුරෙකු මාර්ගයේ ඉඩ ලබා නොදුන්නේයැයි පවසමින් පහර දීමේ සිදුවීමක් හුවා දැක්විය හැකිය. බොහෝ පිරිසකට මෙම සිදුවීම තනි හුදකලා සිදුවීමක් ලෙස හුවාදැක්විය හැකිමුත්, මෙම සිදුවීමත් සමග මහජාතික දේශපාලන බල කණ්ඩායම් විසින් මුස්ලිම් ජනගහනය බහුල ගම්මාන වෙත මුදා හරින ලද ප්‍රචණ්ඩත්වය දීර්ඝකාලීන වශයෙන් ජනප්‍රියවාදී මහජාතික දේශපාලන බලාධිකාරිය විසින් සමාජ විවිධත්වය යටපත් කිරීමේ ක්‍රියාදාමයේ එක් පුරුකක් ලෙස අර්ථකතනය කිරීම වඩාත් සුදුසු වේ. මෙම ප්‍රචණ්ඩත්වය එම ආකාරයේ ප්‍රථම සහ අවසාන සිදුවීම නොවන බව මතක තබාගත යුතු අතර විශේෂයෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු දර්ශනය වූ සමාජ දේශපාලන හැසිරීම මෙයට සාක්ෂි දරනු ඇත.

2014 ජුනි මාසයේදී බොදු බල සේනා විසින් සංවිධානය කරන ලද රැළියක් සමග අළුත්ගම නගරය තුළ ප්‍රචණ්ඩකාරී තත්වයක් ඇති වූ අතර 2012 වර්ෂයේ සිට මහජාතික ජනප්‍රියවාදී දේශපාලන බල අධිකාරියේ ආශිර්වාද ලද බොදු බල සේනා, සිහල රාවය, රාවනා බලය වැනි සංවිධාන මුස්ලිම් සමාජයේ අනන්‍යතාව ප්‍රශ්න කරමින්, එම කණ්ඩායමෙහි වන්දනීය ස්ථාන, ආහාර, ඇඳුම් පැළඳුම් මූලික කරගනිමින් ප්‍රචණ්ඩත්වය ශ්‍රී ලාංකේය සමාජය තුළ රෝපණය කිරීමේ උත්සහයක නිරත විය. මෙහිදී අවබෝධ කරගතයුතු වැදගත් නිර්ණායකයක් වනුයේ ශ්‍රී ලාංකේය මුස්ලිම් ප්‍රජාව ප්‍රධාන වශයෙන් දකුණු ඉන්දීය මූර් සහ අරාබි පර්සියන් යන වාර්ගික නියෝජනයන්ගෙන් පැවැත එනු ලබන සුසං‍යෝජනයක් වන බවයි. දැනට පවතිනු ලබන අධ්‍යයන සාහිත්‍ය තුළ ඉතිහාසමය වශයෙන් සහ භූගෝලීය වශයෙන් වන අර්ථකතනයක් හරහා ශ්‍රී ලාංකේය මුස්ලිම් සමාජය හඳුනාගැනීමට වැඩි උත්සහයක් දරා ඇත. ශ්‍රී ලාංකේය මුස්ලිම් ප්‍රජාවෙහි බහුතරය දෙමළ භාෂාව තම සන්නිවේදන මාධ්‍යය ලෙස භාවිතා කරන නමුත්, ඔවුන්ගේ අනන්‍යතාවය සකස් කිරීම තුළදී ආගම කේන්ද්‍රීය නිර්ණායකයන් ප්‍රමුඛ ලෙස යොදා ගැනීමේ වැඩි ඉඩක් පවතින අතර, අනෙකුත් අනන්‍යතා ලක්ෂණ නොසලකා හැර ඇත.

මෙම සන්ධර්භය තුළ අවබෝධ කරගතයුතු වන්නේ පුද්ගල සහ ගතිකමූල දේශපාලන ධාරාව විසින් මුස්ලිම් සමාජය සහ සිංහල සමාජය අතර සම්බන්ධතාවයන් පළුදු කර ඇති බවයි. පසුගිය කාලපරිච්ඡේදය තුළ සිංහල සහ මුස්ලිම් සමාජ සම්බන්ධතා අභියෝගයකට ලක් වූවත්, මුස්ලිම් සහ ක්‍රිස්තියානි සමාජය අතර එවැනි සමාජ දුරස්ථභාවයක් හෝ වාර්ගික ඝට්ටනයක් පැවැති බවට ප්‍රකාශිත සාක්ෂි නොමැති වීම සුවිශේෂි කරුණක් ලෙස හුවා දැක්විය හැකිය. නමුත් මෙම සන්දර්භය තුළ ඇසිය යුතු වැදගත් ප්‍රශ්නය වනුයේ මුස්ලිම් අන්තවාදී සංවිධානයක් විසින් දියත් කරන ලද පාස්කු ඉරිදා ප්‍රහාරය ශ්‍රී ලංකාවේ වෙසෙන සිවුවන සුළුතරය වන ක්‍රිස්තියානි ජන කණ්ඩායම අරභයා දියත් කරන ලද්දේ කුමන පදනමක් මතද යන්නයි.

දේශීය වශයෙන් මෙම ප්‍රහාරය සිංහල බෞද්ධ සහ මුස්ලිම් ජන සමාජය අතර වර්ධනය වී ඇති සමාජ ඝට්ටනයේ ප්‍රතිඵලයක් වශයෙන් ඇතිවූ සමාජ විෂමතාවයන්ගේ සහ වෛරීය ජීව ඒකකයන්ගේ හේතුකාරණා මත වර්ධනය වී ඇති බව අවබෝධ කර ගත හැකිය. විශේෂයෙන්ම මෙම ප්‍රහාරය ක්‍රිස්තියානි ජාතිකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වීමේ මූලික හේතුව, දේශීය වශයෙන් වර්ධනය වූ ත්‍රස්තවාදයේ ප්‍රබලත්වය ජාත්‍යන්තරය තුළ විදහා දැක්වීම මෙන්ම අන් අතට ජාත්‍යන්තර ප්‍රජාවේ අවධානය සහ ආකර්ෂණය ග්‍රහණය කර ගැනීම බව පැහැදිලි වේ. මෙම ප්‍රහාරය ගෝලීය ත්‍රස්තවාදය මැඩලීම සදහා ඒකරාශී වූ මිත්‍ර පාර්ශවීය හමුදාවන් වෙත ලබාදුන් පණිවිඩයක් ලෙස ද හඳුනා ගත හැකිය. විශේෂයෙන්ම සිරියාව තුළ අයි.එස්.අයි.එස් පරාජය කිරීම ක්‍රිස්තියානි ලෝකය ලද ජයග්‍රහණයක් නොවන බව මෙන්ම ජාත්‍යන්තරය තුළ අයි.එස්.අයි.එස් තවදුරටත් සක්‍රීය බව ගෝලීය ප්‍රජාව වෙත මෙම ප්‍රහාරය හරහා සම්ප්‍රේෂණය කිරීම සිදුවිය. මෙම තත්වය තුළ ඇතිවන අභියෝගය වන්නේ දේශීය පරිමාව සහ භූමිය තුළ ආරක්ෂාව සැපයීම සහ ආරක්ෂක තර්ජන මැඩලීම සදහා රාජ්‍යයන් අපොහොසත් වීම යන්නයි. මෙහිදී විද්‍යාමාන වන හරයාත්මක කරුණ වනුයේ දේශීය වශයෙන් ඇතිවන දේශපාලනික, සමාජ හා ආගමික වශයෙන් වන බෙදීම් හා ගැටුම් ආගමික අන්තවාදය සහ උන්මූලවාදය පෝෂණය කිරීම සදහා වන මූල බීජ සැපයීම සිදු කරනු ලබන බවයි. විශේෂයෙන්ම මහජාතික දේශපාලන මැදිහත්වීම සහ දකුණු ආසියානු කලාපය තුළ මහජාතික දේශපාලන සමාජ හා ආර්ථිකකරණය හේතුවෙන් සියළු දකුණු ආසියානු රාජ්‍යයන් සුළුජාතික කණ්ඩායම් සම්බන්ධ අභියෝගයන්ට මුහුණ දෙමින් පවතින අතර මෙය ආගමික අන්තවාදය සහ මූලධර්මවාදය දකුණු ආසියාව තුළ රෝපණය හා ව්‍යාප්තියට මූලික හේතුව වී ඇත.

මෙම තත්වය තුළ ශ්‍රී ලංකාව පමණක් නොව සියළු දකුණු ආසියානු රාජ්‍යයන් පූර්ව ආරක්ෂාකාරී පියවර සහ අවධානය සහිතව ආගමික අන්තවාදය මැඩලීම සදහා වන දේශපාලනික, නෛතිකමය සහ සමාජමය පියවර ගතයුතු අතර විශේෂයෙන්ම පශ්චාත් බර්හන් වානි කාෂ්මීරය සමග ගනුදෙනු කරනු ලබන ඉන්දියාව වැනි රාජ්‍යයන් ආගමික අන්තවාදය සහ මූලධර්මවාදය රෝපණය කිරීම වහාම නවතාලිය යුතුය. ඇෆ්ගනිස්ථානය, බංගලාදේශය තුළ ආගමික අන්තවාදය, මූලවාදය සහ මහජාතික දේශපාලනය වර්ධනය වන අතර විශේෂයෙන්ම රොහින්ගියා සරණාගත ගැටළුව පිළිබඳ වන බංගලාදේශයේ ප්‍රතිචාර දැක්වීම කලාපය තුළ ආගමික අන්තවාදය සහ ආගම්වාදී ත්‍රස්තවාදය තව දුරටත් වර්ධනය කිරීමේ මූලික හේතුවක් ලෙස හඳුනාගත හැකිය. මෙම ආගමික අන්තවාදය සහ පාස්කු ඉරිදා ප්‍රහාරය සමග සියළු ජනප්‍රියවාදී, මහජාතික දේශපාලන බලමූලයන් මෙන්ම අනෙකුත් සියළු සමාජ දේශපාලන සහ ආර්ථික කුටුම්භයන් අවබෝධ කරගත යුතුවන්නේ දේශීය ගැටුම් තවදුරටත් දේශීය නොවන බවයි. මහජාතික දේශපාලන සහ සමාජ හස්තය විසින් රාජ්‍යය අභ්‍යන්තර ගැටුම් එම දේශීය වපසරිය තුළ සිරකර ගැනීමට දරන උත්සහය සහ සමාජ විවිධත්වය මහජාතිය සම්මත කරනු ලබන ඒකීය හර පද්ධතියක් මත පිහිටුවීමට දරන උත්සහය පාරජාතීය ආගම්මූල සහ ජාතිමූල ත්‍රස්තවාදී, අන්තවාදී, උන්මූලවාදී කණ්ඩායම් සමාජගතවීමට අවශ්‍යය පසුබිම නිර්මාණය කරනු ලබන බවයි.