ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය: ව්‍යාප්ත වෙමින් පවතින මානුෂීය හදිසි තත්ත්වය සඳහා ස්ත්‍රීවාදී ප්‍රතිචාරයක් – ආර්ථික යුක්තිය සඳහා වූ ස්ත්‍රීවාදී සාමූහිකය

අසාර්ථක ආර්ථික ප්‍රතිපත්ති සහ අඛණ්ඩ දූෂිත පාලනයේ ඉතිහාසය

ශ්‍රී ලංකාව මේ වන විට නිදහස ලබා ගැනීමන් පසු ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් සිටියි. ඉන්ධන ඇතුළු බොහෝ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සඳහා ගෙවීමට විදේශ විනිමය සංචිත හිඟයකට රට පත්ව ඇති අතර එය රටේ ආර්ථිකයේ ක්‍රියාකාරිත්වයටත් එහි ජන ජීවිතය අඩාල කිරීමටත් බලපාන්නේ ය. ශ්‍රී ලංකාව ද්‍රවශීලතා අර්බුදයක ආසන්නයටම ගෙන එමින් වසර ගණනාවක් පුරා එකතු වූ විදේශ ණය ආපසු ගෙවීම සඳහා අරගල කරමින් සිටියි.

රටේ දේශපාලන බලය පිළිබඳව ද දැවැන්ත අර්බුදයක් තිබේ. මෙම සන්දර්භය තුළ මානුෂීය ආර්ථික අර්බුද සාමාන්‍ය පුරවැසියන් සඳහා ඉක්මනින් හා මූලික ලෙස බලපාන බව අපි අවධාරණය කරමු. පහත යෝජනා කර ඇති සියලුම ක්‍රියාමාර්ගවල අරමුණ වන්නේ පාලනයේ මූලික යාන්ත්‍රණයන්ට කාර්යක්ෂමතාව පෙන්වීමට හැකියාව ලබා දීමයි. පවතින රජය බිඳවැටීමට ආසන්නව තිබියදීත් අපි තවමත් රාජ්‍ය යාන්ත්‍රණය වෙතින් ඉල්ලා සිටින්නේ ජනතාවගේ අයිතිවාසිකම් සහ ශුභසාධනය සහතික කිරීමේ මූලික රාජකාරි ඉටු කරන ලෙස ය. ජනතාවගේ විශ්වාසය යළි ඇති කළ හැකි පාලන ක්‍රමයක් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ කාලීන අවශ්‍යතාවය බව අපි අවධාරණය කරමු. වත්මන් දේශපාලන පන්තිය ගැන ජනතාව දැඩි කලකිරීමකින් සිටින බව ද අපි දනිමු.

එක දිගට බලයේ සිටින ආණ්ඩු විසින් හිතාමතා කරන ලද තේරීම් හේතුවෙන් අප ඉදිරියේ දිග හැරෙමින් පවතින ව්‍යසනය දිගු කලක් තිස්සේ සිදුවෙමින් පවතින්නේ ය. ශ්‍රී ලංකාව දශක ගණනාවක් තිස්සේ යැපෙන ආර්ථිකයක් වූ අතර ගෝලීය ආර්ථික විපර්යාසවල බලපෑමට ලක්ව ඇත. කෙසේ වුවද, 1970 ගණන්වල අගභාගයේදී IMF හි ව්‍යුහාත්මක ගැලපුම් වැඩසටහනට භාජනය වීම, රට ලිබරල්කරණය හෝ ‘විවෘත ආර්ථික’ ආකෘතිය වෙත සැලකිය යුතු ලෙස ගෙන ගියේ ය. එයින් අදහස් වූයේ විදේශ වෙළඳාම – ආනයන සහ අපනයන – සීමා ඉවත් කරන ලද බවයි. කෙසේ වුවද, වසර ගණනාවක් පුරා පොරොන්දු වූ පරිදි ඍජු විදේශ ආයෝජන රට තුළට ගලා ආවේ නැත. ඒ වෙනුවට, ආනයන එහි අපනයනවලට වඩා ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් අපගේ විදේශ වෙළඳ ගිණුම්වල විශාල ඌනතාවක් ඇති වූ අතර එය දැනට දරාගත නොහැකි ඇමරිකානු ඩොලර් බිලියන 9 ක් වැනි අගයක පවතී.

වසංගතය අතරතුර වුවද, ආර්ථිකය කළමනාකරණයකින් තොරව, පාරිභෝගික භාණ්ඩ ආනයන වැඩිවීමක් ඇතුළුව, ශ්‍රී ලංකාවේ ආනයන 2021 දී 28.5% කින් වර්ධනය විය (මහ බැංකුව, 2021 දෙසැම්බර්). ශ්‍රී ලංකාව සිය විදේශ විනිමය උපයා ගන්නේ ප්‍රධාන වශයෙන් ඇඟලුම් සහ තේ අපනයන, ගෘහ සේවිකාවන්ගේ ප්‍රේෂණ සහ සංචාරක ව්‍යාපාරය මගිනි. මෙම අංශ කාන්තා ශ්‍රමය සූරාකෑම මත දැඩි ලෙස රඳා පවතී. කෙසේ වුවද, පසුගිය වසර දෙක තුළ කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් රටේ විදේශ විනිමය ඉපැයීමේ හැකියාව තවදුරටත් අඩාල වූ අතර යුක්රේන යුද්ධය සහ සංචාරක උපදේශන අනුව එය අසතුටුදායක තත්ත්වයක පවතින බවක් පෙනේ.

2009 දී දීර්ඝ කාලයක් තිස්සේ පැවති යුද්ධය අවසන් වීමෙන් පසු, ශ්‍රී ලංකාව විසින් ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික ණය ලබා ගැනීමට අමතරව, ප්‍රාග්ධන වෙළෙඳපොළෙන් – ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවලින් (දැනට මෙය රටේ විදේශ ණයවලින් 40% කි) ඉහළ පොලී අනුපාත යටතේ ලබා ගැනීම ඇතුළුව විශාල විදේශ ණය ප්‍රමාණයක් අත්පත් කර ගත්තේ ය. ණය තත්ත්වය අඩු කිරීමට පිළියම් යෙදීම සඳහා මහා බැංකුව විසින් මුදල් මුද්‍රණය කිරීම මගින් ප්‍රතිචාර දැක්වූ අතර එය උද්ධමනයට – අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා සඳහා මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යාමට නියත වශයෙන්ම හේතු විය. 2022 මාර්තු වන විට, උද්ධමනය 15% ක ඉහළ මට්ටමක පවතින අතර ආහාර ද්‍රව්‍ය සඳහා උද්ධමනය පෙර නොවූ විරූ ලෙස 26% දක්වා ඉහළ ගොස් ඇත. රජයේ දත්තවලට අනුව, පසුගිය 2021 නොවැම්බර් මාසයට සාපේක්ෂව සහල් මිල 50% කින් ද, තක්කාලි 164% කින් ද, ලීක්ස් 188% කින් ද, වම්බටු 76% කින් ද, බෝංචි 70% කින් ද, කැරට් 70% කින් ද, තිරිඟු පිටි 32% කින් ද, පරිප්පු 42% කින් ද, කරවල 70% කින් ද, කුකුළු මස් 61% කින් ද ඉහළ ගොස් ඇත.

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ස්ථාවර කර රඳවා ගැනීමට මහ බැංකුව ගත් උත්සාහයන් සාර්ථක ප්‍රතිඵල ලබා දීමට අසමත් විය. මේ වන විට පාවෙන රුපියලේ අගය ඇ.ඩො. එකක් සඳහා ශ්‍රී ලංකා රුපියල් 306ක් දක්වා ශීඝ්‍රයෙන් අවප්‍රමාණය වී ඇත. ඉන් ආනයනික භාණ්ඩ මිල තවත් ඉහල යයි. රජය ඊට ප්‍රතිචාර වශයෙන් ආනයන සීමා කිරීම හෝ ප්‍රමාද කිරීම සිදු කළ අතර ඖෂධ, වෛද්‍ය උපකරණ, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය (උදා: කිරිපිටි) සහ ඉන්ධන හිඟයක් ඇතිවීමට එය හේතු විය.

කෙසේ වුවද, ජනතාව මුහුණ දෙන දුෂ්කරතා අවම කිරීම සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හා ඉන්ධන බෙදා හැරීම පාලනය කිරීමට, දේශීය නිෂ්පාදන දිරිගැන්වීමට හෝ ආනයන ආදේශක සංවර්ධනය කිරීමට කිසිදු උත්සාහයක් අද දක්වා ගෙන නොමැත.

ණය තත්ත්වයට පිළියමක් ලෙස රට දැන් ඉන්දියාවෙන් සහ චීනයෙන් ණය මාර්ග සහ තවත් ණය ලබාගෙන ඇත. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ආධාර සහ සාකච්ඡා සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සාකච්ඡා පැවැත්වෙමින් තිබේ. කාලානුරූපව වෙනත් විකල්ප සමග අර්බුදය විසඳීමට රජය දක්වන අකාර්යක්ෂමතාවය හේතුවෙන් IMF ගිවිසුම මේ අවස්ථාවේ නොවැළැක්විය හැකි බව පෙනේ. එම විසඳුම් මගින් කෙටි කාලීන සහ ප්‍රමාණවත් නොවන විසඳුමක් පමණක් ලබා දෙන අතර ජනතාවට සැලකිය යුතු ක්ෂණික හා දීර්ඝ කාලීන දුෂ්කරතා ඇති කරනු ඇත.

උදාහරණයක් වශයෙන්, IMF ණය පහසුකමක් රටේ ණය ශ්‍රේණිගත කිරීම් වැඩිදියුණු කර ප්‍රාග්ධන වෙළඳපොලෙන් නැවත ණය ගැනීමට ඉඩ සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙමගින් ද්‍රවශීලතා අර්බුදය ඇතැම්විට අර්ධ වශයෙන් පමණක් විසඳිය හැකි වුවද, එය රජයේ සේවා සහ සමාජ ආරක්ෂණ වියදමින් සිදු කළ නොහැකි අතර, ඒවා කප්පාදු කිරීමෙන් ජනතාව එදිනෙදා මුහුණ දෙන දුෂ්කරතාවලට විසඳුම් නොලැබේ. රජයට තම වියදම් අඩු කරන ලෙසට බලපෑම් කරන අතර ජනතාවගේ පැවැත්මට වැදගත් වන අධ්‍යාපනය, සෞඛ්‍ය, විදුලිය සැපයුම් සහ අනෙකුත් සේවාවන් පෞද්ගලීකරණය කිරීමට බල කෙරෙනු ඇත. උපයෝගිතා පිරිවැය සහ ප්‍රවාහන ගාස්තුවල වැඩිවීම් දැනටමත් සිදුවී ඇත. එය සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම පටු වීම් හෝ අහිමිවීම්වලට සහ කම්කරු නීති දුර්වල වීමට ද හේතු විය හැක.

ආර්ථික විද්‍යාඥයන් ඉදිරි දුෂ්කර කාලය ගැන අනතුරු අඟවති. කෙසේ වුවද, ‘තිත්ත බෙහෙත්’ ගිල දැමීමට බලකෙරෙන්නේ කාටදැයි ඔවුන්ට පැහැදිලි නැත. IMF වැනි ප්‍රධාන ක්‍රියාකාරීන් සහ නවලිබරල් ආර්ථික චින්තකයින් විසින් ණය තිරසාර කිරීමට පිළිතුර සකසුරුවම් ප්‍රතිපත්ති මගින් රාජ්‍ය මූල්‍ය ඒකාබද්ධ කිරීම විය හැකි යැයි උපකල්පනය කළ හැකිය. කෙසේ වුවද, වැට් බද්ද හරහා ඍජු බදු වැඩි කිරීම වැනි ප්‍රතිගාමී බදු ප්‍රතිපත්ති සහ රාජ්‍ය වියදම් කපා හැරීම මගින් සමාජ යටිතල පහසුකම් ඇතුළුව අත්‍යවශ්‍ය ඵලදායිතා වැඩිදියුණු කිරීම් සහ අන්තර්ග්‍රහනීය ආර්ථික වර්ධනය සඳහා ඇති හැකියාවන් අඩපණ කිරීම පමණක් සිදු කරනු ඇත. මානව ඵලදායිතාව සහ යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා සෞඛ්‍ය, අධ්‍යාපනය සහ සත්කාර සේවා සඳහා ප්‍රමාණවත් ආයෝජනයක් අවශ්‍ය බව තේරුම් ගත යුතුය.

කාබනික පොහොර භාවිතය දිරිමත් කිරීමේ මුවාවෙන් 2021 දී රසායනික පොහොර තහනම් කිරීමට රජය ගෙන ඇති අවිනිශ්චිත පියවර ආහාර නිෂ්පාදනය පහත වැටීමට සහ දැනට ජනතාව අත්විඳින ආහාර හිඟයේ බරපතලකමට හේතු වී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස, 2005 වසරේ සිට ශ්‍රී ලංකාව ස්වයංපෝෂිත වී ඇති සහල් සඳහා පවා දැන් වෙනත් රටවල් මත යැපෙමින් පවතී. දශක ගණනාවක් කෘෂිකාර්මික අංශය නොසලකා හැරීම සහ රජයේ ආයෝජන පහත වැටීම මෙම ක්ෂේත්‍රවල කාන්තාවන් ඇතුළු ගොවීන්ට සහ ධීවරයින්ට අහිතකර ලෙස බලපා ඇත. ගෝලීය සැපයුම් දාමයට ඇති වූ බාධා කිරීම් සහ රැකියා විරහිතයන් විසින් පවතින ඉඩම් කට්ටිවල වගා කිරීමට නැවත උත්සාහ කිරීමත් සමඟ පසුගිය වසංගතයෙන් පෙළුණු වසර දෙක තුළ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීමේ වැදගත්කම පැහැදිලිවම අවබෝධ කරවීය. කෙසේ වුවද, එම මුලපිරීම් කෙරෙහි රජයේ උදාසීන බවක් මෙන්ම සහාය නොදීමක් දක්නට පැවතිණි. පශ්චාත් යුද වර්ෂවල යටිතල පහසුකම් සහ දේපළ වෙළඳාම් සංවර්ධනය තුළින් ආර්ථික වර්ධනය ප්‍රධාන වශයෙන් අත්පත් කරගත් අතර දේශීය නිෂ්පාදන හා කර්මාන්ත වැඩිදියුණු කිරීමට අඩු ප්‍රමුඛතාවක් ලබා දී ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස, දේශීය රැකියා නොමැතිකම නිසා මිනිසුන්ට සංක්‍රමණ හරහා රැකියා සොයා යාමට සිදුවී ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රතිගාමී බදු ප්‍රතිපත්තියක් ඇති අතර, රජයේ බදු ආදායමෙන් 80%ක් පමණ වක්‍ර බදු වේ. මේ අනුව, සාමාන්‍ය පුරවැසියන් බදු බරින් වැඩි කොටසක් දරා ඇති අතර, සමාජ ආයෝජන සඳහා වන රාජ්‍ය වියදම් ක්‍රමානුකූලව පහත වැටී ඇත. වත්මන් රජය බලයට පත් වූ විගස විශේෂයෙන්ම ධනවතුන්ගෙන් ඍජු බදු අඩු කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස රජයේ ආදායම ද අඩු විය. මේ අනුව, ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය දෙයාකාරයකි; එනම්, විදේශ විනිමය පහත හෙළීමකට තුඩුදෙන එහි විදේශ වෙළඳාම/ගෙවීම් ශේෂය පිළිබඳ අර්බුදය සහ මහජනතාව සඳහා අත්‍යවශ්‍ය සේවා සඳහා වියදම් කිරීමට රජයට ඇති හැකියාව කෙරෙහි බලපාන රාජ්‍ය මූල්‍ය හිඟ වීමේ අර්බුදය වේ. ඍජු බදු වැඩිකර හෝ ධන බද්දක් හඳුන්වා දීමෙන් ධනවතුන් මත බදු පැනවීමට රජය මෙතෙක් යොමු වී නැත. ඒ වෙනුවට, ආර්ථිකයේ කඩාවැටීමේ සම්පූර්ණ බර සමාජයේ පහළ තලය වෙත පැවරී ඇත.

මානුෂීය අර්බුදයකට මුහුණ දීම

මෙම තත්ත්වය ජනතාවට මානුෂීය අර්බුදයක් බවට වේගයෙන් පරිවර්තනය වෙමින් පවතී. අර්බුදකාරී පීඩනය නිසා සිදුවන ජීවිත හානි අපි දැනටමත් දැක ඇත්තෙමු. අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ශීඝ්‍රයෙන් සහ පාලනයකින් තොරව ඉහළ යාම සාගතයකට තුඩු දෙන අතර සාගතයක් පිළිබඳව බියක් ද පවතී. මිනිසුන් ඔවුන්ගේ පැවැත්ම පිළිබඳ මංමුලා සහගත තත්ත්වයකට පත්ව ඇති බැවින් සොරකම් සහ අපරාධ වැඩිවෙමින් පවතින අතර ආහාර සඳහා කැරැල්ලක් ඇතිවීමේ හැකියාව පිළිබඳ පුරෝකථනය කර ඇත. සාමාන්‍ය පරිදි ක්‍රියා කිරීමට සහ එදිනෙදා වැඩවලට සහභාගී වීමට මිනිසුන්ගේ ඇති හැකියාව හීන වී ඇත. තත්ත්වය නරක අතට හැරෙන වේගය සහ වර්තමානය සහ අනාගතය පිළිබඳ අවිනිශ්චිතභාවය ජනතාව තුළ තැති ගැනීමක් සහ භීතියක් ඇති කරයි. මෙම තත්ත්වයන් පසුපසට ගමන් කිරීමකට දායක විය හැකි අතර එහි ප්‍රතිඵලයක් ලෙස වැඩි පිරිසක් දරිද්‍රතාවයට ඇද වැටීම සහ අසමානතාවයන් වැඩි වීම සිදු වේ. කල්ගතවූ යුද්ධයක් මධ්‍යයේ වුවද මධ්‍යස්ථ ආර්ථික වර්ධනයක් තිබියදීත් ඉහළ සමාජ දර්ශක අනුව අප ලබා තිබූ ප්‍රගතිය පෙන්වා දෙමින් රට දැවැන්ත පසුබෑමක් අත්විඳිනු ඇත. එබැවින්, පුළුල්ව පැතිරී ඇති සාගින්න සහ අවුල් සහගත තත්ත්වයන් වැලැක්වීමේ අරමුණින් රජය සහ සිවිල් සමාජය සමග එක්ව මානුෂීය මෙහෙයුමක් දියත් කිරීම වහාම අවශ්‍ය වේ.

අපගේ නිවෙස්වල

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ බලපෑම දිවයිනේ සෑම අස්සක් මුල්ලක් නෑරම දැනෙන්නේ ය. කෙසේ වුවද, දෛනික වැටුප් ලබන්නන්, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්, නාගරික කම්කරු දුප්පතුන් සහ දරිද්‍රතාවයේ වෙසෙන අනෙකුත් ප්‍රජාවන් සහ ජන වර්ගය, ආගම, කුලය, ස්ත්‍රී පුරුෂ භාවය සහ ලිංගික අනන්‍යතා සඳහා දැනටමත් සමාජයෙන් කොන් වී ඇති අය දරුණු වෙමින් පවතින අර්බුදය හමුවේ වැඩි වශයෙන් පීඩාවට පත්ව සිටිති. අඩු ආදායම්ලාභී LGBTQ පුද්ගලයන් වැනි වැඩි සමාජ සහයෝගයක් නොමැතිව වෙනස් කොට සැලකීමට සහ හුදකලාවී සිටින අවදානමට ලක්විය හැකි කණ්ඩායම් නිවාස නොමැතිකමට සහ අගහිඟකම්වලට මුහුණ දෙති. අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහළ යාම හේතුවෙන් ඔවුන්ගේ අතේ ඇති මුදල් ක්ෂය වී ඇත, මෙය ඇත්තේ අර්බුදය ඉදිරියේ යැපුම් වේතන මත ජීවත් වීමේ සන්දර්භයක ය.

කිරි, ත්‍රිපෝෂ, ඖෂධ, කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදන සහ උපත් පාලන ද්‍රව්‍ය වැනි සෞඛ්‍ය හා පෝෂණය සම්බන්ධ ද්‍රව්‍ය ලබා ගැනීම වෙළඳපොල තුළ දුෂ්කර වී ඇත. ආදායම් ආහාර අවශ්‍යතාව සඳහා වියදම් කෙරෙන අතර, එය කුලී ගෙවීම් සහ උපයෝගිතා වැනි අත්‍යවශ්‍ය වියදම් සඳහා බලපාන අතර මිනිස්සු නිවාස නොමැති වීමේ බියෙන් පෙළෙති. බොහෝ දෙනෙකු තම ස්වර්ණාභරණ උකස් කිරීම, තම ඉඩම් පවා උකස් කිරීම සහ විකිණීම නිසා ඔවුන්ට ඇති සුළු වත්කම් පවා අහිමි කරගන්නා අතර, එයින් ඔවුන්ගේ මූල්‍ය සුරක්ෂිතභාවය නැති වී ඔවුහු තවත් ණය උගුලට සිරවෙති. පැවැත්ම සඳහා ආහාර ලබා ගැනීමට ඇති නොහැකියාවට අමතරව, ආහාර පිසීම, ප්‍රවාහනය සහ කුඩා ජීවනෝපාය ව්‍යාපාර සඳහා අවශ්‍ය ඉන්ධනවල මිල වැඩිවීම හා ඉන්ධන හිඟය, මිනිසුන්ට ජීවනෝපාය සඳහා ඇති අවස්ථා තවදුරටත් අවහිර කරයි. ගෑස්, භූමිතෙල් හිඟය සහ දර මිල ඉහළ යාම හේතුවෙන් පවුල්වලට ආහාර පිසීමට නොහැකි වී තිබේ.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙළඳ භාණ්ඩ හිඟය සහ ලබාගත නොහැකි වීම සෞඛ්‍යය සහ යහපැවැත්ම, අධ්‍යාපනය, සබඳතා සහ සමාජ ඒකාබද්ධතාවය වැනි ජීවිතයේ අනෙකුත් සෑම ක්ෂේත්‍රයකටම බලපායි. විදුලිය විසන්ධි කිරීම දරුවන්ගේ අධ්‍යාපනයට බලපාන අතර දෙමාපියන් තම දරුවන්ට අධ්‍යාපනික ද්‍රව්‍ය ලබාදීම ගැන පීඩාවට පත්වෙමින් සිටින අතරම, ඔවුන්ට නිවසේ ආහාර සීමාකිරීමට ද සිදුව ඇත. පොදු ප්‍රවාහන ගාස්තු විශාල ලෙස ඉහළ ගොස් ඇති බැවින් පාසලට, රැකියාවට යාම සහ දෛනික අත්‍යවශ්‍යතා සපුරා ගැනීමට පවා ගමන් කිරීම මිල අධික වී ඇත. කඩදාසි හිඟය විභාගවලට සහ පෙළපොත් සැපයීමට තවදුරටත් බලපා ඇත. පුද්ගලික සහ පවුලේ මූල්‍ය පැවැත්ම සහ මිනිසුන්ගේ සාමාන්‍ය යහපැවැත්ම වටා ඇති ආතති සහ අවිනිශ්චිතභාවයේ චිත්තවේගීය හා මානසික බලපෑම එදිනෙදා චර්යාවන්හි යෙදීමට ඔවුන් තුළ ඇති හැකියාවට අහිතකර ලෙස බලපායි.

පසුගිය දශක කිහිපය තුළ දීර්ඝකාලීන යුද්ධය, සුනාමි, පාස්කු බෝම්බ ප්‍රහාර සහ කෝවිඩ්-19 වසංගතය වැනි ඛේදවාචකයන්ගෙන් නැවත නැවතත් පීඩාවට පත් වූ සහ දැනටමත් සමාජ ආධාරක ජාලයන්ගෙන් ඉවත් වී ඇති සහ දේපල, ජීවනෝපායන් සහ සමීපතමයන් සම්බන්ධයෙන් ආර්ථික පාඩු අත්විඳ ඇති ප්‍රජාවන්, ජීවිතයක් ගොඩනගා ගැනීමේ අවස්ථාවන් දෙස තවදුරටත් බලා සිටිති. බොහෝ දෙනෙක් මතකයන් තුළ එල්බ සිටිමින් අතීත ඛේදවාචකයන්ගේ කම්පනයෙන් හා ශෝකයෙන් මිදී නොමැති අතර සත්‍යය සහ යුක්තිය වෙනුවෙන් බලා සිටිති. එවැනි ප්‍රජාවන්ට අර්ථවත් යුක්තිය සහ ප්‍රමාණවත් වන්දි ලබා නොදුන් විට, ඔවුන් අප දකින ස්වභාවයේ තවත් ව්‍යසනයකට මුහුණ දීම නිසැකවම අභියෝගාත්මක ය.

ආර්ථික අවදානම් පහළ මට්ටමට තල්ලු වීමෙන් ගෘහ ක්ෂේත්‍රය තුළට තල්ලු වීම නිසා කඩා වැටෙන ආර්ථිකයක බර නියත වශයෙන්ම කාන්තාවන් මත පැටවේ. කාන්තාවන් දැන් ආදායම් ඉපැයීමේ මෙන්ම තම නිවෙස් කළමනාකරණය කිරීමේ උග්‍ර වූ ද්විත්ව බරකට මුහුණ දී සිටින අතර එම කාර්යයන් දෙකෙන්ම ඉමහත් ආතතියකට පත්ව ඇති පසුබිමක් තුළ වැටුප් නොලබන සත්කාරක කටයුතු ද වැඩි වී තිබේ. පවුල්වල වැඩිහිටි සාමාජිකයින් රැකියා සොයා දුර බැහැර ප්‍රදේශයන්ට ගමන් කරන විට පවුල්වල සමීප සබඳතාවලට බාධා ඇති කරමින් ඔවුන්ට වෙන් වීමට සිදු වේ. කඩා වැටෙන ආර්ථිකයක ජීවත්වීමේ අවිනිශ්චිතභාවය, කුසගින්න අත්විඳීම සහ මූලික පහසුකම් නොමැතිකම පිළිබඳ වැඩිවන කලකිරීම් සහ භීතිකාවන් සියල්ල නිවස තුළම බලපාන අතර, බොහෝ විට කාන්තාවන් සහ ළමයින් කෙරෙහි යොමු වන ප්‍රචණ්ඩත්වය වැඩි වීමට එය හේතු වේ. පවුල තුළ ඇතිවන ආතතියේ ප්‍රතිඵලයක් ලෙස ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැඩි වෙමින් පවතී. දැනටමත් හිරිහැර සහිත තත්ත්වයන් තුළ ජීවත් වන කාන්තාවන්ට එය විශේෂයෙන් දුෂ්කර වී ඇත. දරුවන්ගේ යහපැවැත්ම සහතික කිරීම සඳහා නඩත්තු ගෙවීම් මත යැපෙන මවුවරුන්ට ඔවුන්ගේ මාසික ගෙවීම් නොලැබේ. වැඩි කිරීම් ඉල්ලා සිටීමේ හෝ නොගෙවූ මුදල් අයකර ගැනීමේ නීතිමය ක්‍රම, පියවරුන්ට ආදායමක් නොමැති වීම හෝ සලකා බැලීමට තමන්ගේම වියදම් ඇති බවට වන නිදහසට කරුණු දැක්වීමට එරෙහිව කටයුතු කිරීමේ දී අකාර්යක්ෂම ය.

වැඩ කරන ජනතාව

ශ්‍රී ලංකාවේ වැඩ කරන ජනතාව අවිධිමත් අංශයේ සංකේන්ද්‍රණය වී සිටින අතර, කර්මාන්ත හිමිකරුවෝ සහ සේවා යෝජකයෝ විධිමත් අංශයේ තම සේවකයන් කෙරෙහි වැඩි බලයක් භුක්ති විඳිති. අවිධිමත් අංශයේ සේවකයන්ට වැඩි ආරක්ෂාවක් නොමැති අතර විධිමත් අංශයේ සේවකයන්ගේ ශ්‍රමය තවදුරටත් සූරාකෑම සඳහා ඔවුන්ගේ ආරක්ෂාව අඩු කිරීමේ නිරන්තර උත්සාහය වත්මන් අර්බුදය මධ්‍යයේ නිරීක්ෂණය කළ හැකිය. කම්කරු නීති පිළිබඳ සාකච්ඡා සේවා යෝජකයන්ගේ වාසිය සඳහා වැඩි ‘නම්‍යශීලී බවක්’ ලබා දීම පිණිස එය ප්‍රතිසංස්කරණය කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. වතු කම්කරුවන් රු. 1000ක වැටුප් වැඩි කිරීමක් සඳහා සිදුකළ අරගලය සාර්ථක වුවද එම ගිවිසුම නිසිලෙස ක්‍රියාත්මක නොවේ. පවතින අර්බුදයත් සමග වතු කම්කරුවන්ට අඩු වැටුප් ගෙවන අතර දිනකට වැඩිපුර තේ නෙළන ලෙස ඉල්ලා සිටියි. මූලික කම්කරු අයිතිවාසිකම් සුරක්ෂිත කරන සාමූහික ගිවිසුම් පිළිගනු නොලබන අතර සේවා යෝජකයන් විසින් පවා ප්‍රතික්ෂේප කරනු ලැබේ.

නිෂ්පාදිත නිෂ්පාදන අපනයනය ඉහළ ගොස් ඇති බව වාර්තාවලින් පෙන්වා දෙයි. කෙසේ වුවද, වසංගතය තුළ ඇඟලුම් ක්ෂේත්‍රය ඇතුළු නිදහස් වෙළඳ කලාපවල සේවය කරන්නන් නොසලකා හරින ලදී. ඔවුන්ගේ නේවාසිකාගාර සඳහා මිල ගණන් සහ කුලී ශීඝ්‍ර ලෙස ඉහළ යාමත් සමග ඔවුහු නව දුෂ්කරතාවන්ට මුහුණ දී සිටිති. ගෘහාශ්‍රිත සේවකයන් ඇතුළු දෛනික වැටුප් ලබන්නන්ට රැකියා අහිමි වී ඇත. ගොවිතැනෙන් යැපෙන ප්‍රජා තම වැඩ සඳහා ඉන්ධන, සත්ව ආහාර සහ පොහොර සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල වැඩිවීමත් සමග ජීවනෝපාය කරගෙන යාමට අරගල කරති. ඩීසල් සහ භූමිතෙල් හිඟය සහ මිල ඉහළ යාම හේතුවෙන් ධීවර ප්‍රජාව විරෝධතා කිහිපයක් පවත්වා ඇත. අප මුහුදෙන් වටවුණු රටක් වුවද ධීවර ජනතාවට තවමත් ජීවිකාව කරගෙන යාමට අසීරු තත්ත්වයක් උදා වී ඇත.

වතුකරයේ සහ ඇඟලුම් ක්ෂේත්‍රවල සහ විදේශ රටවල ගෘහ සේවිකාවන් ලෙස සේවය කරන කාන්තාවන් විසින් ඉහළම විදේශ විනිමය උපයන බැවින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය කාන්තාවන්ගේ ශ්‍රමය මත විශාල වශයෙන් රඳා පවතින බව බොහෝ දෙනා පිළිගෙන ඇත. තවද, අවිධිමත් අංශයේ එනම්, කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, සේවා සහ ගෘහාශ්‍රිත ශ්‍රමය තුළ කාන්තාවන් ජාතික ආර්ථිකයට දායක වේ. මේ අනුව, මෙම වැඩ කරන ජනතාවගේ කාණ්ඩයේ කාන්තාවන් විශාල වශයෙන් නියෝජනය වේ. මෙම අර්බුද මධ්‍යයේ වැඩකරන ජනතාව විසින් දරනු ලබන බර, අත්‍යවශ්‍යයෙන්ම කාන්තාවන් මත පැටවෙන බරක් වේ.

ස්ත්‍රීවාදී ආර්ථික හා දේශපාලන විශ්ලේෂණයක් වැදගත් වන්නේ ඇයි?

දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථික ප්‍රතිපත්ති පරාවක්‍රය කාන්තාවන්ගේ ශ්‍රමයට මෙන්ම ඒ සමගම ඔවුන්ගේ ප්‍රධාන තත්ත්වයන්, සංචලනය, අභිලාෂයන් සහ සමාජ තත්ත්වය යනාදී කාන්තා ජීවිතයේ සෑම අංශයකටම බලපා ඇත. රටේ විදේශ විනිමය උපයන්නන් ලෙස ආර්ථිකය විශාල වශයෙන් රඳා පවතින්නේ කාන්තා ශ්‍රමය මත වන අතර කාන්තාවන්ගේ ශ්‍රමය සූරාකෑමෙන් උපයාගත් ධනය නාස්ති කරනු ලැබ ඇත. මෙම අලාභය සම්බන්ධයෙන් කිසිවකු විසින් වගකීම දරනු ලබන්නේ නැති අතර, ආර්ථික අර්බුදයේ බර නැවත වරක් කාන්තාවන්ට දරන්නට සලස්වා ඇත. අර්බුදය දැන් කාන්තාවන්ගේ ප්‍රශ්නයක් බවට පත් වී ඇති අතර, කඩා වැටෙන ආර්ථිකයේ සියලු අවදානම් කාන්තාවන්ට දරා ගැනීමට සැලැස්වී ඇත. විශේෂයෙන්ම ප්‍රජනක/ගෘහස්ථ අවකාශය තුළ කාන්තාවන්ගේ ශ්‍රමය පිළිනොගන්නා අතර අවධානයට ද ලක් නොකෙරේ. මේ අනුව වත්මන් ආර්ථික අර්බුදයේ බලපෑමේ සම්පූර්ණ තත්ත්වය ද සැඟවී පවතී.

ආර්ථිකයට කාන්තාවන්ගේ දායකත්වය නොසලකා, ආර්ථික තීරණ ගැනීමට හෝ රටේ ආර්ථික සැලැස්මේ ගමන් මගට බලපෑම් කිරීමට කාන්තාවන්ට මේසයේ අසුන් ගැනීමට හෝ ඉඩ නොදේ. තීරණ ගැනීමේ කවයන් තුළ කාන්තා උත්සුකයන් ප්‍රමාණවත් තරම් මතු නොවේ. මෙම ඌනතාවයේ ප්‍රතිඵලයක් ලෙස, ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා කාන්තාවන්ට ඉතිරි වන්නේ සුළු ආරක්ෂාවක් හෝ සහයෝගයක් වන අතර, ඔවුන් එහි බලපෑමට සම්පූර්ණයෙන්ම ගොදුරු වේ. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබඳ සාකච්ඡාවල ආධිපත්‍යය දරන්නේ ආර්ථික විද්‍යාඥයන්, විශේෂයෙන්ම නව ලිබරල් මතවාදීන් විසිනි. ඉදිරිපත් කරන ලද විශ්ලේෂණ සහ කතිකාවන් අවධානය යොමු කර ඇත්තේ පාලක හා ව්‍යාපාරික පන්තීන්ගේ අවශ්‍යතාවලට බලපාන සාර්ව ගැටළු කෙරෙහි මිස වැඩ කරන කාන්තාවන්ගේ ඉදිරිදර්ශනවලින් හෝ යථාර්ථයන් තුළින් නොවේ.

ප්‍රධාන ධාරාවේ සාර්ව ආර්ථික කතිකාවන් විසින් සංඛ්‍යාලේඛන සහ සංඛ්‍යා කෙරෙහි පමණක් අවධානය යොමු කරමින් අර්බුදය අමානුෂික කිරීමට නැඹුරු වේ. එවැනි දෘෂ්ටිකෝණයකින් අර්බුදයට ප්‍රතිචාර දැක්වීමෙන් කාන්තාවන්ගේ, වැඩ කරන ජනතාවගේ සහ ආන්තික ප්‍රජාවන්ගේ දැවෙන උත්සුකයන්ට විසඳුම් නොලැබේ. ආර්ථික අර්බුදය පිළිබඳ විවරණවල ස්ත‍්‍රීවාදී හඬවල් මග හැරී ඇති බව නිරීක්ෂණය කිරීම වැදගත් ය. අදහස් දැක්වීමේ දී ක්‍රියාකාරී කාන්තාවන් ස්වල්ප දෙනා නවලිබරල් චින්තනය ප්‍රකාශ කර ඇති අතර කාන්තා විරෝධී, දුප්පත් විරෝධී ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටිති. අනෙකුත් ස්ත්‍රීවාදී ක්‍රියාකාරිනියන් අතර, ආර්ථික අර්බුදය පිළිබඳ විශ්වාසය හා පැහැදිලිකම යන දෙකෙහිම අඩුවක් පවතී. වත්මන් තත්ත්වය පිළිගන්නා අතරම, දේශපාලන ආර්ථික විශ්ලේෂණයකින් සහ විවේචනයකින් දායක වූ (කුමාරි ජයවර්ධන, ස්වර්ණා ජයවීර ආදී) ස්ත්‍රීවාදීන් පිළිබඳ සහ මෙරට ඉතිහාසයේ සෑම හැරවුමකදී ම ආර්ථික පීඩනයට අභියෝග කළ තවත් බොහෝ කාන්තා ක්‍රියාකාරිනියන්ගේ දිගු ඉතිහාසයක් අපට ඇති බව මතක තබා ගැනීම වැදගත් ය. ඔවුන්ගෙන් පැවත එන්නා වූ දේ අනුගමනය කිරීමට යමක් තිබේ. ආර්ථික අර්බුදයේ ගැඹුර සහ පළල පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබා දීමටත් ආර්ථික අර්බුදයේ සාර්ව හා ක්ෂුද්‍ර ප්‍රකාශනයන් අතර පරතරය පියවා ගැනීමටත් ස්ත්‍රීවාදී දේශපාලන ආර්ථික විශ්ලේෂණයක් අත්‍යවශ්‍ය වේ.

කාන්තා කණ්ඩායම් සහ වෘත්තීය සමිති විසින් සමාජ ආරක්‍ෂාව, වඩා හොඳ වැටුප් සහ කම්කරු ආරක්‍ෂාව සඳහා ඉල්ලීම් ඉදිරිපත් කර ඇති අතර ඔවුන්ගේ දිගුකාලීන ඉල්ලීම්වලට අවධානය යොමු නොවීය. සියලුම ණය ගැනීම් සහ වියදම් පිළිබඳ තීරණ සහ ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වගකීමෙන්, විනිවිදභාවයෙන් සහ වගවීමෙන් කටයුතු කරන ලෙස ස්ත්‍රීවාදීන් විසින් රජයෙන් ඉල්ලා ඇත. රජයේ ප්‍රතිපත්තිය ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ මානව තිරසාරභාවය මත සහ ගනු ලබන සියලුම මූල්‍ය හා ණය ගැනීම පිළිබඳ තීරණ මත පදනම් විය යුතු බවට ඔවුන් නැවත නැවතත් ඉල්ලා ඇත. සමාන අර්බුදවලට මුහුණ දෙන ගෝලීය දකුණේ ස්ත්‍රීවාදී ආර්ථික විද්‍යාඥයින්, ණය අවලංගු කිරීම වැනි මූලික පියවර සහ ණය තිරසාරභාවය සඳහා වන මානව හිමිකම්වලට බලපෑමක් නොකරන ආර්ථික උපාය මාර්ග සඳහා ඉල්ලීමක් කර ඇත. දේපල අයිතියට වඩා ප්‍රමුඛත්වය ගැනීමට මානව තිරසාරභාවයට හැකියාව ලබා දෙන බදු යුක්තියක අවශ්‍යතාව ඔවුන් අවධාරණය කර ඇත. අඩු ආදායම්ලාභී කාන්තාවන්ට ආර්ථිකය තුළ අසමාන ලෙස ස්ථානගත වී ඇති බැවින් සහ කාන්තාවන් පොදු සේවා, සමාජ ආරක්ෂණ සහ මුදල් හුවමාරු කිරීම් මත වැඩිපුර යැපෙන නිසා මූල්‍ය ඒකාබද්ධ කිරීමට වැඩි අහිතකර බලපෑම් ඇති කරන බව ලෝකයේ විවිධ ප්‍රදේශවල ස්ත්‍රීවාදී දේශපාලන ආර්ථික විද්‍යාඥයන් විසින් දිගු කලක් තිස්සේ ඔප්පු කර ඇත. එබැවින්, සමාජ ආරක්ෂණ කප්පාදුවට වඩා ධනය සහ ලාභය මත බදු පැනවීමෙන් ආදායම් වැඩි කර ගනිමින් බදු යුක්තිය කෙරෙහි වැඩි අවධානයක් දිය යුතු යැයි ස්ත්‍රීවාදීන් ඉල්ලා ඇත.

සාමාන්‍යයෙන් ස්ත්‍රීවාදී දේශපාලනය යන්නෙන් අදහස් කර ඇත්තේ සත්‍යය වෙනුවෙන් නැගී සිටීම, බහුවිධ පීඩනයන් හෙළිදරව් කිරීම, ස්ත්‍රී පුරුෂ දෘෂ්ටි කෝණයකින් යම් ගැටළුවක් ගැඹුරින් විශ්ලේෂණය කිරීමට දායක වීම, කොන් වීමට ලක්වූවන් වෙනුවෙන් හඬක් නැගීම සහ සමාජ වෙනසක් සඳහා සංවිධානය වීම ය. ස්ත්‍රීවාදී දෘෂ්ටිකෝණයකින් වත්මන් ආර්ථික අර්බුදය පිළිබඳ පැහැදිලි දැක්මක් සහ චින්තනයේ පැහැදිලි බවක් සකස් කිරීම අවශ්‍ය වේ. ප්‍රබල කතිකාවන්, එම කතිකාවන් සහ යෝජිත විසඳුම් පිටුපස ඇති දේශපාලනය සහ අභිප්‍රායන් අධ්‍යයනය කිරීම සහ එම කතිකාවන් පිළිබඳ අපගේම විවේචනයක් ඇති කිරීම ආරම්භක පියවර ලෙස ගත හැකිය. මෙයින් වැඩිපුරම පීඩාවට පත්වන කාන්තාවන් කෙරෙහි අවධානය යොමු කරමින්, ඔවුන් සමඟ නිරන්තර සංවාදයේ යෙදීමෙන් සහ ඔවුන්ගේ පසුබිම් සහ පසුබිම් යථාර්ථයන්ට සවන් දීමෙන් අවධානය නැති නොවීමට කටයුතු කිරීම වැදගත් වේ. ස්ත්‍රීවාදී ප්‍රතිචාරයක් තුළ දිගුකාලීන දැක්මක් තිබිය යුතුය. අප සහාය දක්වන පක්ෂයන් අපේ රටේ වඩාත්ම ආන්තික වූ ජනතාවට දිගුකාලීනව අත්වන ප්‍රතිවිපාක පිළිබඳ දැන සිටිය යුතුය. ඒ වෙනුවට, දිගුකාලීනව ව්‍යුහාත්මක වෙනස්කමක් සඳහා දායක විය හැකි ප්‍රවේශයන් සමග ක්ෂණික අවශ්‍යතා සඳහා විසඳුම් ලබා දෙන වැඩසටහනක් සැලසුම් කිරීම වැදගත් වේ.

ස්ත්‍රීවාදී විශ්ලේෂණය බල ධූරාවලියට අභියෝග කිරීම සහ ව්‍යුහාත්මක පීඩනය විසුරුවා හැරීම කෙරෙහි අවධානය යොමු කර ඇත. දේශපාලන ආර්ථික ක්‍ෂේත්‍රය තුළ, එයින් අදහස් කරනුයේ විශාල හා ශක්තිමත් ආර්ථිකයන් සහ දුර්වල ආර්ථිකයන් අතර, ශ්‍රී ලංකාවේ ධනවත් ප්‍රජාවන් සහ දිළිඳු ප්‍රජාවන් අතර, සේවා යෝජකයන් සහ සේවකයින් අතර, ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් අතර, ආදායම් උපයන්නන් සහ ආදායම් නැති අය අතර පවතින බල ධුරාවලියට අභියෝග කිරීමයි. ආර්ථික අර්බුදයකදී පන්ති ප‍්‍රතිවිරෝධතා පැහැදිලිව දැකගත හැකිය. ප්‍රබල කතිකාවන් සහ යෝජිත විසඳුම් නියත වශයෙන්ම සූරාකෑමට ලක්වන පන්තිවලට වඩා වරප්‍රසාද ලත් පන්තිවලට ප්‍රතිලාභ ලබා දෙනු ඇත. මෙම අර්බුදයේ ප්‍රධාන දෝෂය වන්නේ පන්ති රේඛාවයි. පන්ති ප‍්‍රතිවිරෝධතා හෙලිදරව් කිරීමටත් කම්කරු පාන්තික කාන්තාවන් සහ ආන්තික ප‍්‍රජාවන් සමග අපගේ සහයෝගීතාවය ශක්තිමත් කිරීමටත් ස්ත්‍රීවාදී විශ්ලේෂණයකට හැකි විය යුතුය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, දේශපාලන පක්ෂ නායකයන්, ආර්ථික විද්‍යාඥයන්, රාජ්‍ය නොවන සංවිධාන නායකයන්, ප්‍රජා නායකයන් ආදී වශයෙන් වරප්‍රසාද ලත් කාන්තාවන්ට අභියෝග කරමින් ඔවුන් සමඟ සංවාදයේ යෙදීම සහ මතුවෙමින් පවතින අර්බුදය පිළිබඳව පන්ති විශ්ලේෂණයක් ලබාදීම මේ කාලය තුළ ස්ත්‍රීවාදීන්ට ඉටු කළ හැකි තවත් කාර්යභාරයක් විය හැකිය.

විශේෂයෙන්ම ආන්තික කණ්ඩායම් සමග සහයෝගීතාවය ගොඩනැගීම හරහා ස්ත්‍රීවාදී දේශපාලනය විසින් සත්කාරක දේශපාලනයක් ද පෙන්නුම් කර ඇත. මෙයින් අදහස් කරන්නේ ද අප විසින් පන්ති පදනම් කරගත් සන්ධාන එනම්, වෘත්තීය සමිති, කම්කරු සාමූහිකයන්, සමුපකාර සහ වෙනත් සමාන අදහස් ඇති කණ්ඩායම් ගොඩනගන පුද්ගලයන්ගේ අවබෝධය වැඩි කිරීම සඳහා ශක්තිමත් ස්ත්‍රී පුරුෂ සමාජභාවී දෘෂ්ටිකෝණයක් සහිතව අර්බුදය දෙස බලන බවයි. තවද, අප සමග වැඩ කරන කාන්තාවන්, ප්‍රජාවන් සහ ආන්තික කණ්ඩායම් සඳහා වන පාඩු හා හානිය අවම කිරීම ප්‍රමුඛතාවක් වේ. මෙම අර්බුදයෙන් බේරීමට එකිනෙකාට උපකාර කිරීම යන්නෙන් ද ඇතැම් සම්මතයන්ට සහ වැඩ කිරීමේ මෙන්ම අපගේ අවශ්‍යතා සපුරාලීමේ සාමාන්‍ය ක්‍රමවලට අභියෝග කිරීම අදහස් වේ. අපගේ එදිනෙදා ක්‍රියාකාරකම් සාමූහිකව සංවිධානය කිරීම මෙය සිදු කිරීමේ එක් ක්‍රමයක් විය හැකි අතර, මෙම වෙනසට අනුගත වීමට සාම්ප්‍රදායික පවුල්/ගෘහ ව්‍යූහයන්ට අභියෝග කිරීමට අවශ්‍ය වනු ඇත. කාන්තා කණ්ඩායම් පෙර අභියෝගවලදී වැඩි ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කර ඇත; එනම් යුද සමයේ පැවැත්ම, පශ්චාත් සුනාමි ප්‍රකෘතිය, කාන්තාවන් විසින් මෙහෙයවන ලද ගොවීන්ගේ අරගල, ඉඩම් අරගල සහ ක්ෂුද්‍ර මූල්‍ය ණයට එරෙහිව සංවිධානය වීම සහ සහයෝගීතා ප්‍රවේශයන් මත පදනම් වූ අත්දැකීම් මෙම නව අභියෝගයට මුහුණ දීම සඳහා දැන් උකහා ගත හැකිය.

මෙම මානුෂීය අර්බුදයට ප්‍රතිචාර දැක්වීමට රජය විසින් කළ යුතු දේ

ආර්ථික අර්බුදයෙන් ඇති වී තිබෙන වේදනාවන් සමනය කිරීමටත්, ජනතාව මුහුණ දෙන දුක් වේදනා, අවිනිශ්චිතතා සහ බිය පිළිබඳ සංවේදී වීමටත්, ඒවා වටහා ගැනීමටත්, නිශ්චිත සැලසුම් අප වෙත ඉදිරිපත් කිරීමටත් රජය අසමත් වී සිටීම සම්බන්ධයෙන් අපි කනසල්ලට පත්ව සිටින්නෙමු. ව්‍යාප්ත වෙමින් පවතින මානුෂීය අර්බුදය විසඳීම සඳහා පහත සඳහන් පියවර වහාම ගන්නා ලෙස අපි රජයෙන් ඉල්ලා සිටින්නෙමු:

  1. දීප ව්‍යාප්ත ආහාර බෙදා හැරීමේ ක්‍රමයක් සැලසුම් කර ක්‍රියාත්මක කරන්න

මූලික අත්‍යවශ්‍ය සලාක ඇසුරුම් සියලුම නිවෙස් වෙත ළඟා වන පරිදි ආහාර බෙදා හැරීමේ ක්‍රමයක් – මූලික ආහාරවලට සහල්, තෙල්, සීනි, තේ, පරිප්පු, ත්‍රිපෝෂ ඇතුළත් විය යුතුය. දැනට පවතින සතොස, සමෘද්ධි සහ සමුපකාර හරහා වන ක්‍රම සියල්ලන්ටම ලබා ගත හැකි වන පරිදි ශක්තිමත් කළ යුතුයි. ශ්‍රී ලංකාවේ බොහෝ වැඩ කරන ජනතාව අවිනිශ්චිත තත්ත්වයන් යටතේ ජීවත් වන අතර දරිද්‍රතාවයට ඇද වැටෙමින් සිටිති. එබැවින්, එම ආහාර බෙදා හැරීමේ ක්‍රමය පොදුවේ බෙදා හැරීමට සැලසුම් කළ යුතුය.

ඇතැම් ආර්ථික උපදේශකයින් විසින් නිර්දේශ කර ඇති පරිදි ‘තෝරාගත් දුප්පතුන්ට පමණක් ලැබෙන’ පරිදි ‘ඉලක්කගත’ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අදහස අපි ප්‍රතික්ෂේප කරන්නෙමු. දරිද්‍රතාවය ක්‍රමයෙන් ඉහළ නංවන අර්බුදයක් මධ්‍යයේ ඉලක්ක කිරීමේ ප්‍රවේශය අනුගමනය කිරීමේ තර්කයට විරෝධය දක්වන අතර එයින් දැනටමත් දැඩි දුෂ්කරතා ඇති පුද්ගලයින් අවහිර කිරීමක් සහ ඔවුන්ට හානියක් පමණක් සිදු වනු ඇත.

  1. පෝෂණය සහ ආහාර පිළිබඳ ස්වෛරීත්වයට ප්‍රමුඛත්වය දෙන්න

ගැබිණි සහ කිරිදෙන මව්වරුන් සඳහා වන පෝෂණ මල්ල මාස 24ක් දක්වා දීර්ඝ කිරීමට පොරොන්දු වීම වැනි පෝෂණය සහ ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් විශේෂයෙන්ම 2022 අයවැයෙන් රජය විසින් සිය පුරවැසියන්ට ලබා දුන් අයවැය පොරොන්දු ඉටු කළ යුතුය. ඉහළ යන ජීවන වියදමේ පීඩනය සමනය කිරීම සඳහා සහන මල්ලක් ලබා දීමට පුරවැසියන්ට පොරොන්දු විය. ළමුන් සඳහා පාසල් දහවල් ආහාර වැඩසටහන සහ ගෘහ මට්ටමේ සහන සහතික කරන්න.

ආහාර සුරක්ෂිතතාවයේ වැදගත් අංගයක් වන්නේ ගෘහස්ථ බලශක්ති අවශ්‍යතා සඳහා සහාය වීම සඳහා භූමිතෙල් සහ ගෑස් මිල පාලනය කිරීම සහතික කිරීමයි. ගොවීන්ට සහනාධාර ක්‍රියාත්මක කරන බව සහ ධීවර හා ගොවි ප්‍රජාවන් සඳහා සහන සලසන බව කෘෂිකාර්මික ප්‍රතිචාරයන් විසින් කඩිනමින් සහතික කළ යුතුය.

  1. සමෘද්ධි ආධාර පද්ධතිය ශක්තිමත් කළ යුතුය

දිස්ත්‍රික්ක රැසක සමෘද්ධි සහන කප්පාදු කරමින් පවතින අතර ප්‍රජා මට්ටමේ සමෘද්ධි රැස්වීම්වලදී එය එසේ වන්නේ ඇයි ද යන්නට විවිධ නිදහසට කරුණු ඉදිරිපත් කෙරේ. කෙසේ වුවද, යථාර්ථය නම් තවත් පවුල් බොහොමයක් දරිද්‍රතා රේඛාවෙන් පහළට වැටී ඇති බැවින් සමෘද්ධි ප්‍රතිලාභ පුළුල් කිරීමේ අවශ්‍යතාවක් මතුව ඇති බවයි. ඉහළ යන ජීවන වියදමට සරිලන පරිදි සමෘද්ධි සාමාජිකයින්ගේ මාසික ගෙවීම් වැඩි කළ යුතුය.

  1. ඖෂධ, අනෙකුත් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ, සෞඛ්‍ය නිෂ්පාදන සහ ප්‍රජනක සෞඛ්‍ය සේවා සුරක්ෂිත කිරීමට සහ සැපයීමට සෞඛ්‍ය අංශය රාජ්‍ය සහාය ලැබිය යුතුය.

 

  1. සාගින්න, නිවාස නොමැතිකම, අගහිඟකම් සහ ගෘහස්ථ හිංසනය සඳහා විසඳුම් ලබා දීම පිණිස වන සහායක වැඩසටහන් (යොමු කිරීම්, ආධාර සහ සේවා)

සාගින්න, නිවාස නොමැතිකම, අගහිඟකම් සහ ගෘහස්ථ හිංසනය වැනි ගැටළු විසඳීම සඳහා රජය විසින් හදිසි ආධාර යෝජනා ක්‍රම පිහිටුවිය යුතුය. මෙම වැඩසටහන් රට පුරා සිටින ප්‍රජාවන්හි අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ට ප්‍රවේශ විය හැකි පරිදි විය යුතුය. වෙනස් කොට සැලකීමකින්, අගතියකින් සහ විනිශ්චයකින් තොරව මෙම සේවාවන් සැපයීමට රාජ්‍ය නිලධාරීන් යොමු කළ යුතුය. ලිංගික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය වැඩි වීම නොවැළැක්විය හැකි බැවින්, රාජ්‍ය සහ රාජ්‍ය නොවන සේවාවන් විසින් කාන්තාවන් සහ ළමුන් කේන්ද්‍ර කරගත් නවාතැන් ඇතුළු ආධාරක සේවා සහතික කළ යුතුය. ප්‍රතිචාර කාලෝචිත විය යුතුය. හදිසි ඇමතුම් සඳහා සෑම විටම හදිසි අවධානයක් ලැබිය යුතු අතර දිවි ගලවා ගත් තැනැත්තා කේන්ද්‍ර කරගත් ප්‍රවේශයක් (කිසිදු දොස් පැවරීමකින් හෝ ලැජ්ජාවට පත් කිරීමකින් හෝ ප්‍රතිහිංසනයන් දරා සිටීමකින් තොරව වින්දිතයාගේ විශ්වාසය ගොඩනැගීම සඳහා වින්දිතයාගේ අයිතිවාසිකම්, පෞද්ගලිකත්වය, ඔහු ප්‍රකෘති තත්ත්වයට පත් කිරීම ආරක්ෂා කරන ප්‍රවේශයක්) අනුගමනය කළ යුතුය.

  1. ඉහත රාජ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය ආදායම් සුරක්ෂිත කිරීම සඳහා කඩිනම් පියවර ගැනීම

සුදුසු වත්කම් බදු හඳුන්වාදීම ඇතුළු රටේ රජයේ ආදායම් අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රගතිශීලී බදුකරණය ක්‍රියාත්මක කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටින්නෙමු. වක්‍ර බදු පැනවීම රටේ දුප්පතුන්ගේ සහ වැඩ කරන ජනතාවගේ බරට එකතු නොවන බවට වන සන්දර්භය සැලකිල්ලට ගනිමින් එය සහතික කළ යුතුය. ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාමාර්ග සමග අර්බුදයට ප්‍රතිචාර දක්වන සමාජ ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ ආදායම යොදවන බවට රජය සහතික විය යුතුය.

  1. ජනතාවගේ මූල්‍ය සුරක්ෂිතභාවය ආරක්ෂා කරන කම්කරු හා ඉඩම් ප්‍රතිපත්තිවලට ප්‍රමුඛත්වය දෙන්න

ජනතාවගේ අවශ්‍යතා, අභිලාෂයන්, දේශගුණික අර්බුදය සඳහා විසඳුම් ලබා දෙන ඉඩම් ප්‍රතිපත්තියක අවශ්‍යතාව සහ ජනතාව කේන්ද්‍ර කරගත් කම්කරු ප්‍රතිපත්තියක අවශ්‍යතාව ඉටු කිරීමට අනුප්‍රාප්තික රජයන් අසමත් වී ඇත. මෙම අර්බුදය අතරතුර, සූරාකෑමේ පියවර කරා ගමන් කිරීමේ දැඩි ප්‍රවනතාවය සැලකිල්ලට ගෙන, පවතින කම්කරු ආරක්ෂණ සහ ඉඩම් අයිතීන් අහෝසි නොකරනු ලැබිය යුතුය.

  1. කාන්තාවන්ගෙන් විමසන්න

මෙම අර්බුදයට ප්‍රතිචාර දැක්වීම සඳහා කාන්තාවන්ගේ උපදේශනය සහ සහභාගීත්වය අවශ්‍ය වේ. තීරණ ගැනීමේදී කාන්තාවන්ගේ දුර්වල නියෝජනය සැලකිල්ලට ගෙන, උපදේශන ආයතන, ක්‍රියාවලි සහ ප්‍රතිචාරවලට කාන්තාවන්ගේ ඍජු මැදිහත්වීම, විශේෂයෙන් කාන්තා සේවකයින්ගේ සහ බලපෑමට ලක් වූ කාන්තාවන්ගේ නියෝජනය ඉතා වැදගත් වේ.

අවසාන වශයෙන්, අපේ දරුවන් සහ අපේ සාමූහික අනාගතය විනාශ කිරීමේ තර්ජනයක් වන ක්‍රමයෙන් වර්ධනය වන මානුෂීය හදිසි අවස්ථාවට ප්‍රතිචාර දැක්වීමේ කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සඳහා වන සහයෝගීතාවයට එක්වන ලෙස අපි කාන්තා කණ්ඩායම්, වෘත්තීය සමිති, ගොවි සහ ධීවර සාමූහිකයන්, සමුපකාර, ආගමික ආයතන, රාජ්‍ය නොවන සංවිධාන සහ ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාරවලට ආරාධනා කරන්නෙමු.

සාමූහික ක්‍රියාකාරිත්වය සඳහා අදහස්:

  • මතුවෙමින් පවතින මානුෂීය අර්බුදයට ප්‍රතිචාර දැක්වීමට රජයට බලපෑම් කිරීම
  • ආහාර සලාක ගබඩා කිරීම සහ බෙදාහැරීම, ප්‍රජා මුළුතැන්ගෙවල් සංවිධානය කිරීම, සහනාධාර ප්‍රවාහනය / පාසල් සේවා, නිවෙස්වල සිදුවන ප්‍රචණ්ඩකාරී සිද්ධිවලට (විශේෂයෙන් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට) ප්‍රතිචාර දැක්වීම, නිවාස නොමැති අය මෙන්ම ප්‍රචණ්ඩත්වය අත්විඳින අය සඳහා ආරක්ෂිත නිවාස සංවිධානය කිරීම ඇතුළු හදිසි මානුෂීය ප්‍රතිචාර සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා පළාත් සහ ප්‍රාදේශීය සභා මට්ටමේ රාජ්‍ය ආයතන බලමුලු ගැන්වීම සහ පෙළඹවීම.
  • දිවා ආහාරය / ත්‍රිපෝෂ සහ සනීපාරක්ෂක තුවා ලබා දීම, සිසුන් සඳහා පාසල් ප්‍රවාහනය යෙදවීම, විදුලිය විසන්ධි කිරීමේදී සිසුන් සඳහා සාමූහික අධ්‍යයන මධ්‍යස්ථාන සකස් කිරීම, පොත් ප්‍රතිචක්‍රීකරණය සඳහා මුද්‍රණ යන්ත්‍ර සහ කඩවල්/කාර්යාල විසින් භාවිත කරන කඩදාසි පරිත්‍යාග කිරීම ආදිය මගින් පෙර පාසල් සහ පාසල්වල දරුවන්ගේ ක්ෂණික සහ පෝෂණ අවශ්‍යතා සපුරාලීම සහතික කරන ලෙස පළාත් සහ කලාප අධ්‍යාපන කාර්යාලවලින් ඉල්ලා සිටීම.
  • නිවාස නොමැති අය සඳහා පල්ලි, පන්සල්, මුස්ලිම් පල්ලි වැනි විවෘත අවකාශයන් සහ සාමූහික ආහාර පිසීම සඳහා ස්වේච්ඡා සේවකයන් සංවිධානය කිරීම.
  • ප්‍රජා කණ්ඩායම් සමඟ සාමූහික මුළුතැන්ගෙවල් ආරම්භ කිරීම.
  • සැලසුම් සහ තීරණ ගැනීමේ සභා තුළ කාන්තාවන්, වැඩ කරන ජනතාව සහ අවදානමට ලක්විය හැකි කණ්ඩායම් නියෝජනය කරන බවට සහ විනිවිදභාවය සහ වගවීම සඳහා යාන්ත්‍රණයන් සක්‍රීය කර ඇති බවට සහතික කරගැනීම.

වැඩිදුර විස්තර සඳහා: feministcollectiveforjustice@gmail.com

 

අත්සන්කරුවන්

Aalumai Women’s Group, Mullaithivu
Affected Women’s Forum, Akkaraipattu
Dabindu Collective, Kattunayake
Centre for Women and Development, Jaffna
Mannar Women’s Development Federation
Muslim women’s Development Trust, Puttalam
Nisha Development Group, Mulaitheevu
Progressive Women's Collective
Revolutionary Existence for Human Development, Katunayake
Sisterhood Initiative, Colombo
Stand Up Movement, Colombo
Suriya Women's Development Center, Batticaloa
The Grassrooted Trust
Uwa Wellassa Women Organization, Monaragala
Vallamai-Movement for Social Change, Jaffna
Women and Media Collective, Colombo
Women’s Action Network
Women’s Coalition for Disaster Management, Eastern Province
Women’s Development Center Badulla
Women’s Resource Centre, Kurunegala
Women's Education and Research Center, Colombo

 

A Mathura
Amali Wedagedara
Anuratha Rajaretnam
Arany Shanthiramohan
Dinesha Samararatne
Ermiza Tegal
Hasanah Cegu Isadeen
Hyshyama Hamin
Iromi Perera
Jansila Majeed
J. Jana
Jayanthi Kuru-Uthumpala
K. Hemalatha
K. Sathiyaseelan
K. Mahaluxmy
Kamala Vasuki
M.Nirmaladevi
Ms. Juwairiya Mohideen
N. Arththigan
N.M Pasmina
Nabeela Iqbal
Nafla
Nishadi
Niyanthini Kadirgamar
P.Arulseei
Paba Deshapriya
R. Saththiya
R.Kounthini
Rajany Rajeshwary
S. Easwary
S. Mariyarosalin
S.Kobika
S.Niththika
S.Thileepan
Sarala Emmanuel
Sachini Perera
Shreen Abdul Saroor
Subashini
Subathra Yogasingham
Suganya Kandeepan
Thanusiya Ponnampalam