යටත්විජිත පාලනය හා කොළඹ යටත්විජිත වරාය නගරයේ වෙනස්වන ජන සංයුතිය – එම්. ශ්‍රියානි ගුණරත්න

හැඳින්වීම

වර්තමාන ලාංකේය සමාජයේ වරාය නගර සංකල්පය ජනප්‍රිය වන්නේ චීන රජයේ ආධාරවලින් ගොඩනංවමින් පවතින කොළඹ වරාය නගරයත් සමගයි. අද වන විට ලෝකය පුරා ස්වාභාවික වරායන් වටා වර්ධනය වී ඇති වරාය නගර මෙන්ම, කෘත්‍රිමව ගොඩනැංවූ වරාය නගර ගණනාවක් ද ජාත්‍යන්තර වෙළෙඳ ජාලය තුළ ක්‍රියාත්මක වෙමින් පවතියි. එනමුත් වරාය නගරවල බිහිවීම දිගුකාලීන ඉතිහාසයකට උරුමකම් කියයි. බටහිර යටත්විජිතවාදයේ ආසියානු ව්‍යාප්තිය මෙන්ම එයින් ආසියානු කලාපයේ සිදුවන ආර්ථික පරිවර්තනය හා පූර්ව යටත්විජිත වෙළෙඳ රටාවේ ඇතිවන වෙනස්කම් මත ආසියානු වරාය නගර නව මුහුණුවරකින් ඉස්මතු විය. මේවා බොහොමයක් යටත්විජිතවාදයේ සම්බන්ධය මත යටත්විජිත වරාය නගර බවට පරිවර්තනය විය. මේ අයුරින් යටත්විජිත වරාය නගරයක් ලෙසට ගොඩනැගෙන වර්තමාන කොළඹ නගරය ද සියවස් තුනහමාරක පමණ ඉතිහාසයකට හිමිකම් කියයි. දහසය වන සියවසේ පෘතුගීසින් යටතේ යටත්විජිත වරාය නගරයක් ලෙස ආරම්භ වන කොළඹ නගරය, පිළිවෙළින් ලන්දේසි හා ඉංග්‍රීසි යටත්විජිත පාලනයන් යටතේ තවදුරටත් විකාශය විය. 1948 යටත්විජිත පාලනයෙන් නිදහස ලබන විට කොළඹ, ශ්‍රී ලංකාවේ ආර්ථික, පරිපාලන හා දේශපාලන කේන්ද්‍රය ලෙස තහවුරු වී තිබුණි.

වරාය නගරවල වර්ධනය යුරෝපයේ මෙන්ම, ආසියාවේ ද දක්නට ලැබේ. යුරෝපයේ මධ්‍යකාලීන යුගයේ දෙවන භාගයේ පමණ සිට ශීඝ්‍රයෙන් වර්ධනය වන වෙළෙඳාමේ ප්‍රතිඵලයක් ලෙස, මධ්‍යධරණී සාගර කලාපයත්, උතුරු මුහුද හා බෝල්ටික් සාගර කලාපයත්, ආශ්‍රය කරගෙන නිදහස් වෙළෙඳ නගර විශාල ගණනක් ඉස්මතු විය. මෙහි වැදගත්කම ඉහත කලාප තුන චීනය දක්වා ආසියාවට යාකළ, දිගුදුර වෙළෙඳ ජාලයේ සක්‍රීය මධ්‍යස්ථාන ලෙස මේ නගර වර්ධනය වෙමින් පැවතීමයි. ඒ අනුව, යුරෝපා වෙළෙඳ ජාලයේ ද, ආසියානු වෙළෙඳ ජාලයේ හා දහසය වන සියවසෙන් පසුව අලුතින් ගොඩනගා ගන්නා ලද අත්ලාන්තික් සාගර වෙළෙඳ ජාලයේ ද, කේන්ද්‍රීය වරාය නගර ලෙස මේවා බහුතරයක් ක්‍රියාත්මක විය. ඒ අනුව වෙනිස්, ලිස්බන්, ඇන්ට්වර්ප්, ඇම්ස්ටර්ඩෑම් හා ලන්ඩන් (Venice, Lisbon, Antwerp, Amsterdam, London) ආදී වරාය නගර මේ අතර වේ. මේ ආකාරයෙන්ම ආසියානු වරාය නගර ගණනාවක් පෙරදිග ආසියාවේත්, අග්නිදිග ආසියාව හා දකුණු ආසියාවේත්, පෙරපරදිග යාකෙරුණු පුළුල් වෙළෙඳ ජාලය තුළ ක්‍රියාත්මක වෙමින් පැවතිණි. ක්වන්ෂු, බැන්තම්, ජකර්තා, සෙමරැන්, මලක්කා, ෆුකට්, ක්විලොන්, කැම්බේ, කැලිකට් (Quanzhou, Bantam, Jakarta, Semarang, Malakka, Phuket, Quilon, Cambay, Calicut) ඉන් සමහරකි.

දහසයවන සියවසත් දහනමවන සියවසේ මුල් කාලයත් අතර යුරෝපා යටත්විජිතවාදයේ බලපෑම නිසා ආසියානු වරාය නගරවල මුහුණුවර වෙනස් වීමට පටන් ගත්තේ ය. මේ අනුව, බටහිර යටත්විජිතවාදයේ ව්‍යාප්තියට පෙර, ආසියාවේ පැවති වෙළෙඳ ජාලයේ සක්‍රීය වාණිජ මධ්‍යස්ථාන වූ මෙම වරාය නගරවල නූතන ව්‍යුහය තීරණය වීමට මේවායේ මෙම අතීත උරුමය ද දායක වී තිබෙන බව කිව හැකි ය. මෙයින් ඇතැම් ඒවා යටපත්වී යද්දී නව වරාය නගර ගණනාවක් ද ඉස්මතුව ආවේ ය. දහසයවන සියවසේ සිට මේ නව නගර ගොඩනංවනු ලබන්නේ යුරෝපීයයන් විසින් පාලනය කරනු ලබන ආරක්ෂක වරාය නගර ලෙසයි. ශීඝ්‍රයෙන් ව්‍යාප්තවන ආසියානු යටත්විජිත වෙළෙඳ ජාලය තුළ යටත්විජිත වරාය නගර ලෙස මේවා නව මුහුණුවරකින් වර්ධනය වීමට පටන් ගත්තේ ය. එමෙන්ම, මේ යටත්විජිත වරාය නගර ආසියාවේ ශීඝ්‍රයෙන් වර්ධනය වන යටත්විජිත වෙළෙඳාමේ භාණ්ඩ හුවමාරු වරාය මධ්‍යස්ථාන ලෙස ද කටයුතු කිරීමට පටන් ගත්තේ ය.

වරාය නගරයක ජන සංයුතිය

වරාය නගර අනෙකුත් නගරවලින් වෙනස්කොට හඳුනාගත හැකි ප්‍රධාන ලක්ෂණ ගණනාවකි. ඒ අතර වඩාත් වැදගත් වන්නේ, විශේෂ සමාජ-ආර්ථික ජන කණ්ඩායමක් එහි නිවැසීමයි. යටත්විජිත වරාය නගරවල වාසය කළ ජනයා එම වරාය නගරය අයත්වන රාජ්‍යයේ සෙසු ප්‍රදේශවලට වඩා, සංයුතිය, හැසිරීම හා අරමුණුවලින් සුවිශේෂී ලක්ෂණ දැරූහ. මේ ජන සමූහයට අභ්‍යන්තර සංක්‍රමණිකයින් මෙන්ම ලෝකයේ විවිධ ප්‍රදේශවලින් සංක්‍රමණය වූ ජනයා ද අයත් විය. වාණිජ කටයුතු පවත්වාගෙන යාම සඳහා විවිධ විදේශිකයෝ මෙහි පැමිණියහ. එනම්, විශාල වෙළෙඳ ප්‍රජාවක්, බැංකුකරුවන් ඇතුළු වෙළෙඳාම හා සම්බන්ධ විවිධ සේවාවන් සපයන්නෝ මේ අතර ප්‍රමුඛ වූහ. මීට අමතරව, බුද්ධිමතුන්, උගතුන්, පූජකයින්, දේශාටකයින් ඇතුළු විවිධ හේතු මත සංචරණයේ යෙදුණු විදේශිකයින් වරාය නගරවලදී හමුවිය.

මේ නගරවලට විශාල ලෙස ආගාමික ශ්‍රමිකයින් ඇදී එන්නේ රැකියා අවස්ථා බහුල වීමෙනි. එහිදී, කර්මාන්තවල ඇතිවන වර්ධනය හා ව්‍යාප්තිය, වෙළෙඳාම හා බැඳුණු විවිධ සේවා ශ්‍රමය සඳහා ස්ථාවර ඉල්ලුමක් ඇති කළේ ය. විශේෂිත වෘත්තීය නිපුණතා සඳහා වූ ඉල්ලුම නිසා අනෙකුත් නගරවලට වඩා, වරාය නගරවල සාපේක්ෂව ඉහළ වැටුපක් උපයා ගැනීමේ හැකියාව මෙන්ම, රැකියා සම්පාදනයේ ස්ථාවරත්වයක් ද පැවතිණි. සාපේක්ෂව මෙහි ඇතිවන ස්ථාවර ශ්‍රම වෙළෙඳපොළ ආසන්න ග්‍රාමීය ප්‍රදේශවලින් මෙන්ම වඩාත් අභ්‍යන්තර ප්‍රදේශවලින් පමණක් නොව, මුහුදින් එතෙර ශ්‍රමිකයින් පවා ආකර්ෂණය කරගත්තේ ය.

වාර්ගික, ජාතික, ආගමික හා භාෂාත්මක වශයෙන් විවිධ වූ මේ සංක්‍රමණික ජනයා, මෙහි සමාජ සංයුතියට විශාල බලපෑමක් ඇති කළහ. වරාය නගරවල අන්තර් සමාජ සම්බන්ධතා සඳහා අපූර්ව පරිසරයක් ගොඩනැගී තිබීම, ආගමික හා සංස්කෘතිකමය හුවමාරුව පහසු කළේ ය. එය වරාය නගරයක සමාජ සංස්කෘතියෙහි ආවේණික අංග ලක්ෂණ මතු කිරීමට හේතු විය. මේ නිසා, වරාය නගරයකින් විශ්ව සංස්කෘතියක් නියෝජනය වූවා යැයි කිව හැකි ය (අන්තූනිස් 2010).

විදේශ වෙළෙඳුන් හා ආයෝජකයින් ආකර්ෂණය වීමට වාණිජ ජාලයේ වඩාත් කේන්ද්‍රීය මධ්‍යස්ථානයක ස්ථානගත වීම, වරාය නගරයක තවත් වැදගත් ලක්ෂණයක් විය. මෙසේ පැමිණෙන වෙළෙඳුන් වඩාත් සැලකිලිමත් වන්නේ වරාය නගරයක පවත්නා ස්වතන්ත්‍රතාවය – එනම්, තම කටයුතු නිදහසේ කරගෙන යාමට ඇති නිදහසත්, වෙළෙඳුන්ගේ ආරක්ෂාවත් – එහි පරිපාලනය විසින් සහතික කිරීම කෙරෙහි ය. එමෙන්ම, ශක්තිමත් හා නිදහසේ කටයුතු කිරීමට හැකි වාණිජ සංවිධාන පවත්නා වරාය නගරවලට වෙළෙන්දෝ වඩාත් කැමැත්තක් දක්වති. මෙබඳු සංවිධාන විසින් ආරක්ෂාව සහතික කරන අතරම, දේශීය වෙළෙඳපොළ සමග හොඳින් ගනුදෙනු කිරීමට ද සහතිකයක් සපයයි. නිෂ්පාදන විශාල පරාසයක පවත්නා පුළුල් වෙළෙඳපොළවල් පැවතීම, හොඳ වෙළෙඳ ගනුදෙනු හා ඉන් උපයාගත හැකි ලාභය සඳහා වඩාත් වාසිදායක ලක්ෂණයක් වේ. නමුත්, ගැඹුරු වරායක් පිහිටීමත්, නාවුක කටයුතු අනතුරුදායක නොවීමත් වරාය නගරයක අත්‍යවශ්‍ය ගුණාංග වේ. එමෙන්ම එම වරාය නගරය ඒ අවට වූ ආසන්න ග්‍රාමීය ප්‍රදේශ සමග හොඳින් සම්බන්ධ වී තිබීම ද වැදගත්වේ. වෙළෙඳුන්ට තම ජන කණ්ඩායම සමග වාසය කළ හැකි නේවාසික ප්‍රදේශයක් සෑම වරාය නගරයකම පවතී. මේ සියල්ල වරාය නගරයක දිගුකාලීන ක්‍රියාකාරිත්වය ආරක්ෂා කළ නියම විශ්වදේශීය (cosmopolitan) ලක්ෂණය විය. මේ ලක්ෂණ ගිලිහුණු වරාය නගර ඉතිහාසයෙන් අතුරුදන්ව ගොස් ඇත (ශර්මා 2014: 132).

ආසියාවේ යටත්විජිත වරාය නගර

බහු වාර්ගික වාණිජ කණ්ඩායම් දිගුදුර සාමුද්‍රික වෙළෙඳ හා නාවුක කටයුතුවල නියැලුණු පෘථුල විශ්වදේශීය නාගරික මධ්‍යස්ථාන බවට මේ වරාය නගර පත්ව තිබුණි. මෙම නගර සතු සුවිශේෂී ලක්ෂණ නිසා සෙසු නගරවලින් පහසුවෙන් වෙන්කොට හඳුනා ගත හැකිවේ. මේවා අඛණ්ඩ ජන සංචලනයේ මධ්‍යස්ථාන වීමෙන්, අඛණ්ඩ භාණ්ඩ සංචලනයේත්, අදහස් හා දැනුම සංචලනයේත් මධ්‍යස්ථාන බවට පත්ව තිබුණි. වඩාත් වැදගත් ලෙසින් මෙම නගර වාණිජ හා මූල්‍ය මධ්‍යස්ථාන, පරිපාලන මධ්‍යස්ථාන මෙන්ම, සමාජ සංස්කෘතික ක්‍රියාකාරිත්වයේ මධ්‍යස්ථාන විය. මෙම නගර ඇතැම්විට සියවස් ගණනාවක් පුරා විවිධ යුරෝපා අධිරාජ්‍යයන්හි ප්‍රාදේශීය අගනුවරවල් ලෙස යොදා ගැනුණි. ඒ මගින් ගෝලීය නිෂ්පාදන හා පරිභෝජන රටා ජාලයට විවිධ යටත්විජිත භූමි කලාප සම්බන්ධ වූයේ මෙම නගර හරහායි. නමුත් මේ නගර යුරෝපා යටත්විජිත කේන්ද්‍රය මත රඳා පැවැතිණි. ඒ සමග මෙම වරාය නගර, ඒ අවට වූ ආසන්න ග්‍රාමීය ප්‍රදේශවල ආර්ථික හා දේශපාලන ක්‍රියාකාරිත්වය පාලනය කරමින්, එම ප්‍රදේශ යටත්විජිත ආර්ථිකයේ පුළුල් චක්‍රයට ඒකාබද්ධ කළේ ය.

මෙම යටත්විජිත වරාය නගරවල ශීඝ්‍ර වර්ධනයත්, විවිධ ජනයා ඒවාට ඒකරාශීවීමත්, ආර්ථික කටයුතු වෙරළබඩ ප්‍රදේශවලට සංකේන්ද්‍රණය වීමත්, දහනමවන සියවසෙන් පසු ආසියාවේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක් විය. එහි ව්‍යුහයේ හා ක්‍රියාකාරිත්වයේ සුවිශේෂත්වය මත, ඇතැම් විද්වතුන් ආසියාවේ මෙම නගර ‘මුහුදේ මනාලියන්’ ලෙස හඳුන්වා දී තිබේ. මේ කාලයේ නැගෙනහිර-බටහිර නාවුක ක්‍රියාවලිය පදනම් වූයේ බටහිර යටත්විජිත බලයන් විසින් පවත්වාගෙන ගිය මුහුදු වෙළෙඳාමේත්, යටත්විජිත ව්‍යාප්තියේත් උපාය මාර්ගික කේන්ද්‍රස්ථානවල පිහිටා තිබූ යටත්විජිත වරාය නගර මතයි. මේ පිහිටීම මේ නගරවල ශීඝ්‍ර හා කැපී පෙනෙන වර්ධනයට විශාල රුකුලක් විය (ඩුක්රුවේ 2013).

ක්‍රි.ව. 1890 වනවිට වඩාත් සක්‍රීය වූ ආසියානු යටත්විජිත වරාය නගර යුරෝපා අධිරාජ්‍යයන්ට අයත්ව තිබුණි. ඒ අනුව උතුරු අත්ලාන්තික් සාගර කලාපයෙන් පිටත, වඩාත් කාර්යබහුල නාවුක කටයුතු ක්‍රියාත්මක වූයේ ආසියානු සාගර කලාපවලයි. මේ කාලයේ වාෂ්ප බලයෙන් ක්‍රියා කළ නැව් විශාල ප්‍රමාණයක් ආසියානු ආනයන අපනයන වෙළෙඳාමට සම්බන්ධ වී තිබුණි. කාර්මික විප්ලවයෙන් පසු නව අධිරාජ්‍යවාදයේ වර්ධනයත් සමග, මේ වරාය නගර විශ්මිත ලෙස වර්ධනය වීමට පටන් ගත්තේ ය. 1869 සූවස් ඇළ ගොඩනැගුවාට පසු මේ තත්ත්වය විශේෂයෙන්ම කැපී පෙනේ (ඩුක්රුවේ 2013).

පූර්ව යටත්විජිත අවධියේ කොළඹ

දිවයින වටා පිහිටි අනෙකුත් වරායන් මෙන් කොළඹ ද, පූර්ව යටත්විජිත කාලයේ විවිධ වෙළෙඳුන් හා නාවුකයින් විසින් සම්බන්ධතා පවත්වා ගත් ස්වාභාවික වෙළෙඳ තොටක් විය. ක්‍රි.ව. අට වන සියවසේ පමණ දිවයිනට පැමිණි අරාබි වෙළෙඳුන් විසින් බටහිර වෙරළ තීරයේ පිහිටුවාගන්නා ලද මුල් ජනාවාසවලින් එකක් වන්නේ කොළඹයි. කොළඹින් හමුවී තිබෙන ක්‍රි.ව. 959 ට අයත් යැයි සැලකෙන, ඛාලිඩ් ඉබ්න් අබු බකායා (Khalid Ibn Abu Bakaya) නම් මුස්ලිම්වරයාගේ සොහොන් ගලේ සටහන් කොට ඇති කුෆික් සෙල්ලිපියෙන්, කොළඹ තොට අවට පදිංචිව සිටි අරාබි වෙළෙඳ ප්‍රජාවක් පිළිබඳ තොරතුරු හෙළිවේ (පෙරේරා 1926: 3; අලි 1981: 77, 79).

ක්‍රි.ව. දහතුන්වන සියවසෙන් පසු ඉන්දියානු සාගරීය වෙළෙඳ රටාවේ ඇතිවන වෙනස්කම් මත ශ්‍රී ලංකාවේ නිරිතදිග සහ දකුණු මුහුදු තීරය වාණිජ වශයෙන් වැදගත් කලාප බවට පත් විය. මේ තත්ත්වය දිවයිනේ පැරණි රාජධානි උතුරු-මධ්‍යම තැනිතලාවෙන් දකුණු-නිරිත දිග ප්‍රදේශ කරා විතැන් වීමට ද බලපෑවේ ය. ක්‍රි.ව. දහසයවන සියවසේ මුල් කාලය වනවිට දිවයිනේ පැවති දේශපාලන මධ්‍යස්ථාන දිවයින වටා පැවති වරායන් ඔස්සේ ඉන්දීය සාගරීය වෙළෙඳාමට සම්බන්ධ වී තිබුණි. මේ සබඳතාව ප්‍රධාන වශයෙන් පවත්වාගනු ලැබුවේ දිවයිනේ අභ්‍යන්තර වෙළෙඳාමේ ද අතරමැදියන් ලෙස කටයුතු කළ මුස්ලිම්වරුන් මගිනි.

ඉන්දියානු සාගරයේ ස්ථානගත වී ඇති ආකාරයත්, ස්වාභාවික වරායක් වීමත් හේතුවෙන්, කොළඹ දිවයිනේ නව රාජධානිවල වෙළෙඳ කටයුතු පවත්වාගෙන යාමට ප්‍රයෝජනවත් තොටක් බවට පත් වී තිබුණි. නිරිතදිග මෝසමෙන් ලැබෙන ප්‍රමාණවත් වර්ෂාවක් සහිත, සාරවත් පහතරට තෙත්කලාපයේ කෝට්ටේ රාජධානිය ස්ථාපිත වීමෙන් පසු, එහි ප්‍රධාන වරාය බවට කොළඹ තොට ක්‍රමයෙන් පරිවර්තනය වෙමින් තිබුණි. වරායේ කටයුතු රජු විසින් පත් කර තිබූ නිලධාරියකු යටතේ පාලනය විය. ඒ හරහා අපනයනය කෙරුණු ප්‍රධාන ද්‍රව්‍ය වූ කුරුඳු, පුවක්, විවිධ මැණික් වර්ග, රජුගේ ඒකාධිකාරය යටතේ ක්‍රියාත්මක විය. එමෙන්ම, නිලධාරින් විසින් පරිපාලනය කරන ලද කෝට්ටේ රජුගේ කුරුඳු ගබඩා තොට පසෙකින් පිහිටා තිබූ බවත්, පසුකලෙක බන්ගසාල වීදිය (Bank-shall=bangasala) යන නම එම ප්‍රදේශයට ලැබී ඇත්තේ බඩු ගබඩාව යන අර්ථයෙන් බවත්, එස්.ජී. පෙරේරා පියතුමා පවසයි (පෙරේරා 1926: 5). පොල්, පොල් තෙල් හා කඹ වැනි පොල් ආශ්‍රිත නිෂ්පාදන, මී පැණි, මී ඉටි ඇතුළු අවශේෂ ද්‍රව්‍ය, මේ තොට ඔස්සේ අපනයනයට එක්විය. වී හා රෙදිපිළි ප්‍රධාන ආනයන විය. ආසියානු වෙළෙඳ ජාලයේ සක්‍රීය ප්‍රදේශ වූ මලබාර් හා කොරමැන්ඩල් වෙරළවලින් පැමිණි වෙළෙන්දෝ, විශේෂයෙන්ම ගුජරාටි වෙළෙන්දෝ, චෙට්ටිවරු, මපිලා (Mappila) මුස්ලිම්වරු, මර්වාරි (Marwari), බෙංගාලි හා විවිධ හින්ඳු වෙළෙන්දෝ මේ වෙළෙඳාමට සම්බන්ධ වී සිටියහ. ඉන්දීය සාගරීය වෙළෙඳාමට සම්බන්ධව සිටි විවිධ වෙළෙඳුන්ගේ ආකර්ෂණය දිනාගැනීමට සමත් වෙළෙඳාමක් කොළඹ තොට හරහා සිදුවී ඇති බව ඉන් පෙනේ. කොළඹ තොට සමග සම්බන්ධව සිටි අරාබි වෙළෙඳුන්ගෙන් පැවතෙන්නන්ගේ ද, විශේෂයෙන්ම කෝට්ටේ රාජ්‍යයේ වෙළෙඳාමට සම්බන්ධව සිටි මුස්ලිම්වරුන්ගේ ද බඩු ගබඩා හා ජනාවාස ඒ අවට තිබූ බව සිතිය හැක (පෙරේරා 1926: 5-6; ද සිල්වා 1995; බ්‍රෝහියර් 1984: 5).

ඉබ්න් බතූතා හා වං තා-යුඈං (Wang Ta-Yuan)’ගේ සටහන්වල ක්‍රි.ව. දහහතරවන සියවස වනවිට කොළඹ තොට පිහිටි අරාබි-මුස්ලිම් වෙළෙඳුන්ගේ ජනාවාස පිළිබඳව සඳහන් වේ. එමෙන්ම කොළොම්තොටෙහි නිවැසි එක් මුස්ලිම් වෙළෙඳ අධිපතියෙක් යටතේ ඇබිසීනියානුවන් විශාල පිරිසක් සිටි බව ද වාර්තා වේ. ක්‍රි.ව. දහවන සියවසත් දහහතරවන සියවසත් අතර කාලය තුළ, කොළඹ තොට වරායක් ලෙස වර්ධනය වෙමින් පැවති බවත්, එම කාලය තුළ අරාබි-මුස්ලිම් මෙන්ම චීන වෙළෙඳුන්ගේ පැමිණීම ද මින් හෙළිවේ. 1505 පතුගීසින් පැමිණෙන අවස්ථාව වනවිට, ඉන්දීය සාගරබද වෙළෙඳාමට දිවයින සම්බන්ධ කරමින්, එහි අතරමැදියන් ලෙස කටයුතු කරමින් සිටි මුස්ලිම් වෙළෙඳුන් භාවිත කළ ප්‍රධාන වරායක් ලෙස කොළඹ තොට ක්‍රියාත්මක වෙමින් පැවති බැව් මෙයින් පෙනී යයි. එමෙන්ම, මුල්කාලීන නේවාසික ප්‍රජාවක් හඳුනා ගැනීමට නොමැති වුවත්, වං තා-යුඈං’ගේ සටහන් වලින්, කොළඹ තොට සමග පැවති චීන වෙළෙඳුන්ගේ සබඳතාව ද හෙළිවේ (පෙරේරා 1926: 3; අලි 1981: 77, 79).

කොළඹ යටත්විජිත වරාය නගරයේ ගොඩනැගීම

වරාය නගර යටත්විජිත වරාය නගර බවට පරිවර්තනය වීමේදී, යටත්විජිත බලයන්හි ප්‍රතිපත්ති හා වාණිජමය අපේක්ෂාවන් මත යටත්විජිත වරාය නගරයකට අනන්‍ය වූ ලක්ෂණවල යම් වෙනස්කම් සිදුවිය හැකි ය. සියවස් ගණනාවක් තුළ එකිනෙකට අනුයාතව පැමිණි පෘතුගීසි, ලන්දේසි හා බ්‍රිතාන්‍ය යටත්විජිත ක්‍රියාකාරිත්වය තුළ කොළඹ තොට වරාය නගරයක් ලෙස ගොඩනැගීමේදී ද එම තත්ත්වය දක්නට ලැබේ. එයින්, පෘතුගීසීන් හා ලන්දේසීන් යටතේ කොළඹ තොට වරාය නගරයක් බවට විකාශය වේ. වර්තමාන කොළඹ නගරයේ දැන් පවත්නා අවකාශීය ව්‍යාප්තිය බොහෝ දුරට එයට ලැබෙන්නේ බ්‍රිතාන්‍ය පාලනය යටතේ ය. තම අතට පත් වූ ලන්දේසි කොළඹ නගරය ඉංග්‍රීසීන් විසින් නවීකරණය කෙරුණු අතර, අවස්ථා ගණනාවකදී නගරය විශාල ද කරනු ලැබිණි. ‍බ්‍රිතාන්‍ය පාලනයේ සලකුණු බොහොමයක් අදටත් කොළඹ නගරයේ ශේෂව පවතී.

කොළඹ යටත්විජිත වරාය නගරයක් ලෙසට ගොඩනැගීම ආරම්භ කරනු ලබන්නේ පෘතුගීසින් විසිනි. යටත්විජිත ගොඩනැගීමේ ක්‍රියාන්විතයේ එක් ප්‍රධාන උපාය මාර්ගික පියවරක් වූයේ ආරක්ෂිත බලකොටු නගර ගොඩනැගීමයි. එහි පූර්වාගාමිකයින් ලෙස පෘතුගීසින් විසින් ඉන්දියානු සාගරයට පිවිසෙන ප්‍රධාන දොරටු ආවරණය වන ලෙසට, ඉන්දීය සාගර වෙළෙඳාමේ ප්‍රධාන මධ්‍යස්ථාන යාකරමින්, ආරක්ෂිත බලකොටු දාමයක් ගොඩනංවනු ලබයි. එහි එක් වැදගත් මධ්‍යස්ථානයක් වූයේ කොළඹයි. ඉන්දීය සාගරීය නාවුක මාර්ග අතර ස්ථානගතවීම නිසා කොළඹ ආසියානු වෙළෙඳ ජාලයේ කැපී පෙනෙන මධ්‍යස්ථානයක් බවට පත්විය. යටත්විජිතවාදයේ ව්‍යාප්තවීමත් සමග, නැගෙනහිර හා බටහිර යා කරන වෙළෙඳ මාර්ගයේ මේ පිහිටීම යටත්විජිත ව්‍යාප්ත කරගැනීමට හා පුළුල්වන වෙළෙඳ කටයුතුවලට වඩාත් ඵලදායි එකක් විය.

පෘතුගීසින් විසින් කොළඹ යටත්විජිත වරාය නගරය ගොඩනගද්දී ඔවුන්ගේ මූලික අවධානය යොමුවී තිබුණේ කොළඹ වරාය හරහා කෙරුණු වෙළෙඳාම කෙරෙහි ය. මීළඟට, ඉන්දියානු සාගරයේ වෙළෙඳාම පාලනය කිරීමේදී කොළඹ වරායේ පිහිටීමත්, දිවයිනේ අභ්‍යන්තර බල ව්‍යාප්තියේදී එහි ප්‍රයෝජනවත් බවත් ඔවුන්ට ඒත්තු ගියේ ය. මේ වනවිට, දිවයිනෙන් ලබාගත් ප්‍රධාන වෙළෙඳ භෝගය වූ කුරුඳු වැවුණු ප්‍රදේශ කොළඹට ආසන්නව පිහිටීම ද ඔවුන්ගේ සැලකිල්ලට ලක් වූ බව පෙනේ.

1518 සිට 1524 දක්වා කොළඹ පෘතුගීසි බලකොටුව, වයඹ දෙසින්. ගැස්පාර් කොරෙයා (Gaspar Correia)’ගේ Lendas da India ඇසුරෙන්, විසින් (1500 ගණන්වල මැද භාගයේ), ජාතික ලේඛනාගාරය, ලිස්බන් (පිටපත් කිරීම: කොරෙයා 1975).

(බීඩර්මන් 2009: 423)

මුල් පියවරයන් අසාර්ථක වූව ද, (1518 දී සෑදූ කොටුව 1524 දී පොළොවට සමතලා කරල ලදී.) කෝට්ටේ රාජ්‍ය සමග ගොඩනගාගන්නා ලද මිත්‍ර සබඳතාව මත කොළඹ තොට ආසන්නයේ වෙළෙඳ ගබඩා හා බලකොටුවක් මෙන්ම පෘතුගීසි ජනපද ද ගොඩනැගීම ආරම්භ කෙරිණ. නමුත් මෙසේ මුලින් ගොඩනගනු ලැබූ බලකොටු, මුස්ලිම් වෙළෙඳුන් හා සිංහලයින්ගෙන් වරින් වර එල්ලවූ විරෝධතා නිසා විනාශ කරන්නට සිදු විය. ස්වාභාවික හේතූන් මෙන්ම, සිංහලයින් විසින් වරින් වර කරන ලද පහරදීම් නිසා මේ බලකොටුව නිතර ප්‍රතිසංස්කරණය කිරීමට පෘතුගීසින්ට සිදුවූත්, අවසානයේ එය සැලකිය යුතු වපසරියකින් යුත් ශක්තිමත් බලකොටුවක් ලෙස ගොඩනැගීමට පෘතුගීසිහු සමත් වූහ (ද සිල්වා 1972: 73-76; කේව් 1904: 16).

පෘතුගීසින් විසින් කොළඹ ආරක්ෂිත බලකොටු නගරයක් ලෙසට ගොඩනැගීම ආරම්භ කරන්නේ 1554 දී ය. මේ අනුව, ඔවුන් විසින් ආසියාවේ ගොඩනංවනු ලැබූ ආරක්ෂිත බලකොටු නගර දාමයේ එක් වැදගත් මධ්‍යස්ථානයක් ලෙසට කොළඹ ආරක්ෂිත බලකොටුව ඉදි විය. පසුව ආරක්ෂිත බලකොටුව සහිත කොළඹ වරාය නගරය දිවයිනේ පෘතුගීසි බල ප්‍රදේශවල පරිපාලන මධ්‍යස්ථානය ලෙස භාවිත කෙරිණි (පෙරේරා 1926: 11).

දහහත්වන සියවසේ කොළඹ, දකුණු දෙසින්. ජුවාන් තිසේරා අල්බෙර්නාස් (João Teixeira Albernaz) ’ගේ Plantas das Cidades e Fortalezas [...] ඇසුරෙන්, (c.1648). බැවේරියානු රාජ්‍ය පුස්තකාලය, මියුනික් (පිටපත් කිරීම: බීඩර්මන් 2007).

(බීඩර්මන් 2009: 437)

පෘතුගීසින් විසින් ගොඩනංවන ලද මෙම වරාය නගරය ප්‍රධාන අංග හතරකින් සමන්විත විය. ඒ, වරාය ප්‍රදේශය, බලකොටුව, විවෘත ප්‍රදේශයක් ලෙස කොටුවෙන් වෙන්වී තිබූ නේවාසික ප්‍රදේශය හා ඉන් පිටත කලාපය වශයෙනි. නමුත් මෙම බලකොටු නගරය කුඩා බිම් කඩකට සීමා විය. ක්‍රි.ව. 1656 වනවිට, නගරය වීදි කිහිපයකින් සමන්විත වූ අතර, බේරේ වැව ද එයට එක්කර තිබිණ (පෙරේරා 1926: 12-13).

පෘතුගීසින් යටතේ කොළඹ නගරයේ ජන සංයුතිය

කලක් තිස්සේ එහි නිවැසි ස්වදේශිකයන්ට අමතරව, යටත්විජිතකරණයට පෙර මෙහි සංක්‍රමණය වූ වෙළෙඳ ජනයා හා යටත්විජිතකරණ ක්‍රියාවලිය තුළදී සංක්‍රමණය වෙමින් සිටි ජනයා ද කොළඹ නගරයෙහි විසූහ. නගරය තුළ ඔවුන්ගේ විසිරීම, එක් එක් යටත්විජිත බලවතාගේ අපේක්ෂා අනුව තීරණය විය. මෙහිදී යටත්විජිත ක්‍රියාවලියේ මතවාදීමය හා සංස්කෘතිකමය පැනවීම ද මෙම ජනවිසිරීම සඳහා බලපෑවේ ය. එහිදී, වෙනත් ආසියානු යටත්විජිත වරාය නගරවල මෙන් මෙම නගරයේ ද එක් එක් යටත්විජිත පාලනය යටතේ දේශීයයන් පදිංචිව සිටි හා යුරෝපීයයන් පදිංචිව සිටි ප්‍රදේශ එකිනෙකින් බෙදා වෙන්කර තිබුණි (මේ සඳහා හොඳම උදාහරණ වන්නේ ඉංග්‍රීසින් විසින් ඉන්දියාවේ ගොඩනංවනු ලබන මදුරාසිය, බොම්බාය හා කල්කටාව යන යටත්විජිත වරාය නගර තුනයි) (කෝසම්බි 1998). මේ බෙදීම අවකාශමය වශයෙන් පමණක් නොව, වාර්ගික හා සමාජමය වශයෙනුත් පවත්වා ගනු ලැබිණ. අවසානයේ එය පංතිය විසින් ද තීරණය කරනු ලැබිණ.

ක්‍රි.ව. 1580 පමණ සිට, පෘතුගීසින් යටතේ කොළඹ කිසියම් නාගරික පාලනයක් තිබූ බව පෙනී යයි. නමුත් එය නීත්‍යනුකූල කෙරුණේ දහහත් වන සියවසේදී ය. නගරයෙහි පාලනය සඳහා කපිතාන්වරයකු හා ක’මරා (Câmara) නම් වූ පාලන මණ්ඩලයක් ස්ථාපිත කර තිබුණි. එය නගර සභිකයින් හා මහේස්ත්‍රාත්වරයකු ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් සමන්විත විය. නගර සභිකයින් කොළඹ නගරයේ පුරවැසියන්ගෙන් පත් කෙරිණ. මෙම පුරවැසියෝ නගරයෙහි සිටි කසාදොස් (casados), එනම්, විවාහක පෘතුගීසි ජනපදවාසීහු වූහ. ඔවුහු නිදහස් පෘතුගීසි පදිංචිකරුවෝ ය. මේ සභිකයින් අතර ක්‍රිස්තියානි ආගම වැළඳගත් දේශීයයන් කිහිප දෙනෙකු ද සිට ඇති බව සිතිය හැකි ය. කොළඹ නගර පාලන මණ්ඩලය, කසාදොස්වරුන්ගේ බලකොටුවක් වී තිබූ බව පෙනේ. මේ මණ්ඩලය පෘතුගීසි පදිංචිකරුවන්ගේ අවශ්‍යතා අනුව බොහෝ විට කටයුතු කරනු ලැබීය. එහි බොහෝ තීරණ ගනු ලැබුවේ සාමාජික කසාදොස්වරුන්ට අනුව බව පෙනී යයි. ඔවුහු පෘතුගීසි පාලන කටයුතුවල අඩු පාඩු මෙන්ම, ඔවුන්ගේ තීරණ හා අදහස් දක්වමින් පෘතුගාල රජුට ලිවූහ (අබයසිංහ 1966: 86-89; ද සිල්වා 1972: 32, 78).

පෘතුගීසි කොළඹ, යුරෝපීය හා කතෝලික එකක් පමණක් නොවීය; නොයෙකුත් ආගම් ඇදහූවෝ මෙන්ම විවිධ වාර්ගිකයෝ ද එහි ජීවත් වූහ. කොළඹ නගරයේ සිටි ජනයා සැලකිල්ලට ගැනීමේදී, කලක් තිස්සේ එම ප්‍රදේශයේ පදිංචිව සිටි දේශීයයන්, වෙළෙඳාමට සම්බන්ධව සිටි විවිධ විදේශීය වෙළෙඳුන්, පෘතුගීසින් හා ඔවුන් විසින් විවිධ හේතූන් මත ගෙනා විදේශිකයින් ලෙස වර්ග කළ හැකිය. පොදුවේ සෑම යටත්විජිතයකම පෘතුගීසි සමාජය සොල්දාදොස් (soldados), එනම්, අවිවාහක සෙබලුන්, කසාදොස් හෙවත්, කලින් හමුදාවේ සේවය කොට, ඉන් නිදහස්ව, විවාහ වී සිටින පෘතුගීසින් හා පාදිරිස් (padres) ලෙස පෘතුගීසි භාෂාවෙන් හැඳින්වූ පූජකයින්, යන කණ්ඩායම් තුනෙන් සමන්විත විය (මැගිල්ව්රේ 1982: 238).

කොළඹ වාසය කළ පෘතුගීසි ජනගහණය ද ස්තර කිහිපයකින් යුක්ත විය. මෙම පෘතුගීසි ප්‍රජාව, පෘතුගීසි නිලධාරින්, පෘතුගීසි සොල්දාදුවන්, නිදහස් පෘතුගීසි ජානපදිකයින් හා මිෂනාරි පූජකයින්ගෙන් සමන්විත විය. පෘතුගීසි පාලනය යටතේ කොළඹ සමාජයට පෘතුගීසින්ට අමතරව නව සමාජ කණ්ඩායම් මෙන්ම නව ජන කණ්ඩායම් ද එකතු විය. දේශීය සොල්දාදුවන් මෙසේ එක් වූ නව සමාජ කණ්ඩායමකි. ඉන්දියාවෙන් ගෙන ආ කුලී භටයින් හා වහලුන් ද මෙම පෘතුගීසි සමාජයට පිටතින් ගෙන එන ලද නව ජන කණ්ඩායම් වේ. සාමාන්‍ය පෘතුගීසින්ගෙන් බහුතරයක් අසංවර ජීවිතයක් ගතකළ අපරාධකරුවෝ හා රටින් පිටුවහල් කරන ලද්දෝ වූහ. ඊට අමතරව, වික්‍රමාන්තවිත සංචාරකයෝ ද ඒ අතර වූහ (පෙරේරා 1926: 11; මැක්ගිල්ව්රේ 1982: 238).

මොවුන්ගෙන් පෘතුගාලයේ රජු වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පෘතුගීසින්ට යටත් ප්‍රදේශ පාලනය භාරව සිටි කපිතාන් ජනරාල්වරයා ඇතුළු නිලධාරින් මුලින් කොටුව තුළ වාසය කළත්, පසුව කපිතාන් ජනරාල්වරයාගේ වාසයට මල්වාන තෝරා ගැනිණ. මීළඟට පෘතුගීසි භාෂාවෙන් ෆිදල්ගොස් (fidalgos) ලෙස හඳුන්වන ලද පෘතුගීසි වංශවත්තු ද වූහ. ඔවුන් ශ්‍රී ලංකාවේ පෘතුගීසි සමාජයේ ඉහළ පිළිගැනීමක් හා බලයක් භුක්ති විඳි බව පෙනී යන එක් සාධකයක් වන්නේ ඔවුන් විසින් කරන ලද අපරාධයකදී ඔවුන්ට දඬුවම් කළහැකි වූයේ පෘතුගීසි පෙරදිග පාලන මධ්‍යස්ථානය වූ ගෝවෙහි සිටි විසුරේ වරයා හා එහි ඉහළ උසාවියට පමණි (ද සිල්වා 1972: 37).

යටත්විජිතවල තම වැසියන් පදිංචි ජනපද පිහිටුවීම පෘතුගීසින්ගේ එක් ප්‍රතිපත්තියක් විය. ඉන් බලාපොරොත්තු වූයේ, සිය බලය මේ ප්‍රදේශවල තහවුරු කරගැනීම හා ව්‍යාප්ත කරගැනීම සඳහා පරිපාලන කටයුතුවලට හා යුධ කටයුතුවලට අවශ්‍ය ශ්‍රමය සපයා ගැනීමයි. ඉහතින් ද සඳහන්කොට ඇති ආකාරයෙන්, කසාදොස් නම් වූ නිදහස් විවාහක පෘතුගීසිහු මේ ජනපදවල ජීවත් වූහ; මේ කසාදොස්වරු පෘතුගීසි සෙබළුන් ලෙස කටයුතු කොට හමුදා සේවය අවසන් වූ පසු, විවාහ වී මෙලෙස පදිංචි වූවෝ ය. පෘතුගීසි සම්ප්‍රදාය තුළ, විවාහක පෘතුගීසි සෙබළුන් හමුදා සේවය තුළ තබාගනු ලැබුවේ නැත. මේ කසාදොස්වරුන් ශ්‍රී ලංකාවේ පෘතුගීසි පාලනය විසින් යුද්ධයට සහභාගි කරගැනීමට එරෙහිව, ලිස්බන්වලින් නීති පනවා තිබුණි. ඊට අනුව, ඔවුන්ට යුධ කටයුතුවලට සහභාගි වීමට අණ කිරීමට කපිතාන් ජනරාල්ට නොහැකි වුව ද, කන්ද උඩරට හා ගෙනගිය යුද්ධවලදී ඔවුන්ගේ සේවය ද ලබාගෙන ඇත. කොන්ස්තන්තිනෝ ද සා (Constantino de Sá de Noronha; කපිතාන් ජනරාල් 1618-1621, 1623-1630) යටතේ, 1630 යුද්ධයට කැඳවාගත් කසාදොස්වරුන් විශාල ප්‍රමාණයක් මියගිය පසු, අනාගතයේදී ඔවුන් යුද්ධයට සහභාගි කරනොගැනීම ලිස්බන්වලින් සහතික කරදෙනු ලැබිණ. කොළඹ නගර පාලන මණ්ඩලයේ කටයුතු හසුරුවනු ලැබුවේ එහි සාමාජිකයින් වූ කසාදොස්වරුන් විසින් බව පෙනේ. ඉතා විශාල ඉඩම් ප්‍රමාණයක් අත්පත් කරගෙන සිටි ඔවුන්ට, තමන්ගේ එදිනෙදා කටයුතුවලට සහය වීම සඳහා වහලුන් හෝ සේවකයින් තබාගත හැකි විය. මේ අනුව ඔවුන් ලංකාවේ පෘතුගීසි සමාජය තුළ ඉහළ පිළිගැනීමක් ඇතිව, වරප්‍රසාද ලත් සමාජ කොටසක් සේ ජීවත්ව ඇති බව පෙනේ. මෙසේ ඔවුන් ආරක්ෂා කිරීමේ හේතුව, පෘතුගීසි ජනගහණය වර්ධනය කර ගැනීමේ අපේක්ෂාව විය හැකිය. නමුත්, 1634 වනවිටත් කොළඹ නගරයේ සිටියේ සාමාන්‍ය පිරිමි පෘතුගීසි පදිංචිකරුවන් 350ක පමණ සුළු සංඛ්‍යාවකි (අබයසිංහ 1966: 55; ද සිල්වා 1972: 61, 78, 83, 187-188).

පෘතුගීසීන් පෙරදිගදී මුහුණ දුන් බරපතල ගැටළුවක් වූයේ මානව සම්පත් හිඟකමයි. එහි ප්‍රතිඵලය සිය යටත්විජිත ව්‍යාප්තිය සඳහා නොකඩවා යෙදුණු යුධ ප්‍රයාණ වලදී විශ්වාසී දේශීයයන්ගෙන් යුත් රෙජිමේන්තුවක් ගොඩනැගීමයි. ලස්කිරිඤ්ඤ (lascarins) ලෙස හැඳින්වූ දේශීය ජනයාගෙන් බඳවාගත් මෙම භට කණ්ඩායම දේශීයයන් හා ඇති වූ යුද්ධවලදී පෘතුගීසින්ගේ ප්‍රතිවිරුද්ධ පිළ සමග එක්වීම පෘතුගීසින්ට නිතර අත්විඳින්නට සිදුවූ අවාසිදායක අත්දැකීමකි.

පෘතුගීසි ආරක්ෂිත ජනපද තුළ ලස්කිරිඤ්ඤ භටයින් පදිංචි කරවීමට 1607 සිටම පෘතුගාලයේ රජු විසින් ශ්‍රී ලංකාවේ පෘතුගීසි පාලනය උනන්දු කරවනු ලැබීය. පෘතුගීසින් හා කන්ද උඩරට අතර පැවති නිරන්තර ගැටීම්වලදී උඩරට පාලනය විසින් ගෙනගිය එක් උපායක් වූයේ පෘතුගීසින් යටතේ වූ ප්‍රදේශ ජනශුන්‍ය කිරීමයි. ලස්කිරිඤ්ඤ භටයින් දිගුකාලීනව මේ ප්‍රදේශවල පදිංචිව සිටීමෙන් මේ ප්‍රදේශ ජනශුන්‍ය කිරීමට සිංහලයින් ඉදිරිපත් නොවන බව පෘතුගීසින්ගේ අත්දැකීම විය. මේ සඳහා පෘතුගාල රජුගේ අණ නොකැඩුව ද, 1625 දක්වා එය ක්‍රියාත්මක වූයේ නැත. මෙබඳු සේවයක් ලබා ගැනීමට ඔවුන් බලකොටුව ආසන්නයේ පදිංචි කළ යුතු විය. මෙහි අනෙක් අරමුණ වූයේ මෙම භටයින්ගේ පක්ෂපාතිත්වය සහතික කර ගැනීමයි. නමුත්, කොළඹට ආසන්න ඉඩම්වලින් වැඩි ප්‍රමාණයක් කසාදොස්වරුන් විසින් අත්පත් කරගෙන තිබුණි. ඒ නිසා, කොළඹ ජනපද වාසීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ලස්කිරිඤ්ඤ භටයින්ගෙන් යුත් ආරක්ෂිත ජනපද දෙකක් කොළඹ කොටුවේ සිට සැතපුම් තුනක් ඇතුළත පෑලියගොඩ හා කොළඹට සැතපුම් හයක් බටහිරට වන්නට මුල්ලේරියාවේ ස්ථාපනය කරන ලදී (ද සිල්වා 1972: 78-79).

ශ්‍රී ලංකාවේ පෘතුගීසි හමුදාවේ පැවති ශ්‍රම හිඟය පියවා ගැනීමට ගෙනගිය අනෙක් ක්‍රියාමාර්ගය වූයේ අනෙකුත් පෘතුගීසි යටත් ප්‍රදේශවලින් කුලී හේවායින් හෝ වහලුන් සපයා ගැනීමයි. දකුණු ඉන්දියානු මධ්‍යස්ථානයෙන් වරින් වර එවන ලද, විශාල සංඛ්‍යාවකින් යුත් කාපිරි (Kaffirs) හා කනරීස් (Canarese) භටයින් යුධ කටයුතු සඳහා පෘතුගීසින් විසින් යොදාගෙන ඇත. කනරීස්වරුන් ඉන්දියාවේ බටහිර වෙරෙළන් ගෙනා කුලී හේවායින් ය. කාපිරි, යුධ කටයුතු සඳහා පුහුණු කරන ලද නීග්‍රෝ පෘතුගීසි වහලුන් ය. ආරම්භයේ දී, මේ නීග්‍රෝවරුන් නැගෙනහිර අප්‍රිකානු වෙරළෙන් ගෝවේ පෘතුගීසි ජනපදවලට ගෙන ගොස් ඇත. විශේෂයෙන්ම, මේ කණ්ඩායම් දෙක, 1631න් පසු යුධ කටයුතු සඳහා පෘතුගිසින් විසින් විශාල ලෙස සිය හමුදාවලට එකතු කරගෙන ඇත. (1631 දී කනරීස්වරු 800 දෙනෙකු හා කාපිරි 100 දෙනෙකු ගෝවෙන් එවා ඇත. 1633 දී යුද්ධ සඳහා කාපිරි හා කනරීස්වරුන් 1000 ක් ද, පෘතුගීසින් 400 ක් හා ලස්කිරිඤ්ඤ භටයින් 5000 ක් යොදවාගෙන ඇත). කනරීස්වරුන් ආපසු ගොස් ඇති මුත්, කාපිරි ජනයා විශාල සංඛ්‍යාවක් මෙහි ඉතිරි වී ඇත (ද සිල්වා 1972: 128-129, 134, 141, 154, 188).

මීට අමතරව, සැලකිය යුතු මුස්ලිම් ජනගහණයක් කොළඹ හා ඒ අවට ජීවත් වූහ. ආරම්භයේ සිටම පෘතුගීසින් උත්සාහ කළේ, කොළඹ සිටින මුස්ලිම්වරුන් ඉවත් කරමින් වෙළෙඳාම සියතට ගැනීමටයි. ඒ අනුව, පෘතුගීසි පාලන ප්‍රදේශවල සිටි ඔවුන්ගේ සාම්ප්‍රදායික සතුරන් වූ මුස්ලිම්වරුන්ගේ වෙළෙඳ කටයුතු නවතා දැමීමට මෙන්ම, ඔවුන් ඉවත් කිරීමටත්  නොයෙකුත් නීති ගෙන එන ලදි. මුස්ලිම්වරුන්ගේ කටයුතු විවිධ මට්ටම්වලින් සීමා කළ ද, ඔවුන්ව සම්පූර්ණයෙන් ඉවත් කිරීමට පෘතුගීසිහු අසමත් වූහ. අනෙක් අතට මුසලිම්වරුන් පවත්වාගෙන ගිය ඇතැම් වෙළෙඳ කටයුතු පෘතුගීසින්ට සහයක් වූ බව ඔවුන් විසින් තේරුම් ගෙන තිබුණි (ද සිල්වා 1972: 85; ද සිල්වා 1966: 113-119). කෙසේ නමුත්, කොළඹ සිටි ධනවත් මුස්ලිම්වරුන් සමග සාමාන්‍ය පෘතුගීසින් හා ඇතැම් ක්‍රිස්තියානින් යහපත් සබඳතා පවත්වාගෙන ගොස් ඇති අවස්ථා හමුවේ (පීරිස් 1983: 168-169).

එවකට පෘතුගාල සමාජයේ ස්ත්‍රීන් මුහුදු ගමන්වල යෙදීම හා යටත්විජිතවල සංචාරය කිරීම පිළිගත් සම්ප්‍රදායයක් නොවීය. අනාත පෘතුගීසි තරුණියන් පෘතුගීසින් හා විවාහයට එවූ මුත්, අනෙකුත් පෘතුගීසි කාන්තාවන්ගේ පැමිණීම වාර්තා නොවේ. ඒ නිසා, යටත්විජිත පෘතුගීසි සමාජය පිරිමින්ගෙන් පමණක් යුත් එකක් විය. ශ්‍රී ලංකාවේ පෘතුගීසි යටත්විජිත සමාජයේ ද ඒ තත්ත්වය දක්නට ලැබේ (අබයසිංහ 1969: 104, පෙරේරා 2002). පෘතුගීසි යටත්විජිත ක්‍රියාවලියේදී, ඔවුන් මුහුණ පෑ ප්‍රධාන දුෂ්කරතාවක් වූයේ මානව සම්පත් හිඟකමයි. මෙය පෘතුගීසි අධිරාජ්‍ය විශාල වෙත්ම, බරපතල අභියෝගයක් බවට පත් විය. මේ හේතුව නිසා, සිය යටත්විජිතවල පෘතුගීසි සම්භවයක් සහිත ජන කණ්ඩායම වර්ධනය කර ගැනීමේ අරමුණින් දේශීය කාන්තාවන් විවාහ කර ගැනීමට යටත්විජිතවලට පැමිණි පෘතුගීසි පුරුෂයින්ට අනුබල ලැබිණ. නමුත් ශ්‍රී ලංකාවේ සමාජයේ ඉහළ කුලවල ස්ත්‍රීන් පෘතුගීසින් හා විවාහ වීමට ඉදිරිපත් වූයේ නැත. ඒ අනුව පෘතුගීසින් හා විවාහයට බොහෝ විට පෙළඹී ඇත්තේ සාපේක්ෂව පහළ කුලවල ස්ත්‍රීන් ය (පෙරේරා 2002). මේ මිශ්‍ර විවාහවලින් පැවතෙන්නන් ‘තුප්පහි’ ලෙස හඳුන්වා තිබේ. (ආසියාතිකයින් හා පෘතුගීසින් අතර මිශ්‍ර විවාහවලින් පැවතෙන්නන් ‘topazes’, ‘toepaz’, ‘tupass’ [ලන්දේසි - ‘Tupass’] යනුවෙන් හඳුන්වා ඇති අතර, ශ්‍රී ලාංකේය සමාජයේ දේශීයයන් හා පෘතුගීසින් අතර විවාහවලින් පැවතෙන්නන් ද මෙසේ හඳුන්වා ඇත. ‘තුප්පහි’ යන්න මේ පදවලින් බිඳී ආ දේශීය ව්‍යවහාරයක් බව පෙනේ.) ඔවුන් පෘතුගීසි හමුදාවේ සේවය කළ ද එහි ස්ථිර භටයින් නොවීය (අබයසිංහ 1966: 173, ද සිල්වා 1972: 91-92, 187; මැක්ගිල්ව්රේ 1982: 238).

පෘතුගීසින් අනුගමනය කළ දැඩි වර්ණභේදවාදී ප්‍රතිපත්තිය තුළ ආසියානු හා අප්‍රිකානු ජනයා ඉතා පහත්කොට සලකනු ලැබිණ. නමුත් පෘතුගීසි හා දේශීයයන් අතර මිශ්‍ර විවාහවලින් පැවතෙන තුප්පහි ජනයාට ශ්‍රී ලංකාවේ පෘතුගීසි සමාජය තුළ උසස් තත්ත්වයක් හිමි විය. යටත්විජිත ක්‍රමය පවත්වාගෙන යාම සඳහා ඔවුන්ට යම් වගකීමක් පැවරෙන බව පිළිගෙන තිබුණි. එනම්, මොවුන්ට දේශීයයන්ගේ තත්ත්වය වර්ධනය කිරීමට සහය විය හැකි යැයි විශ්වාස කරනු ලැබිණ (මැක්ගිල්ව්රේ 1982: 237-238). මෙම මිශ්‍ර ජනයා වැඩි වශයෙන් වාසය කළේ කොළඹ නගරයේ ය.

ඊට අමතරව, මේ මිශ්‍ර විවාහවලින් පැවතෙන ස්ත්‍රීන්, පෘතුගීසින්ට පක්ෂපාතීව සේවය කළ ඇතැම් දේශීය නිලධාරීන් විසින් ද පසුකාලීනව විවාහය සඳහා තෝරාගෙන ඇත. එය, ඔවුන් විසින් පෘතුගීසින්ගේ විශ්වාසය දිනාගැනීමේත්, තම තත්ත්වය ඉහළ නංවාගැනීමේත් උපක්‍රමයක් ලෙස භාවිතා කර ඇති බව පෙනී යයි (ද සිල්වා 1972: 102)

පෘතුගීසි පාලන කාලය තුළ වරින් වර ෆ්‍රැන්සිස්කානු, ජෙසුයිට්, අගෝස්තීනු හා දොමිනිකානු යන රෝමානු කතෝලික නිකායිකයින්, මිෂනාරී කටයුතු සඳහා දිවයිනට පැමිණි අතර, එහි ප්‍රතිඵලයක් ලෙසින් කොළඹ නගරයේ විවිධ ස්ථානවල ක්‍රිස්තියාන් පල්ලි රාශියක් ආරම්භ කෙරිණ. විශේෂයෙන්ම, යුරෝපයේ අධ්‍යාපනික කටයුතු පිළිබඳව ප්‍රසිද්ධියක් ඉසිලූ ජෙසුයිට්වරු කොළඹ නගරයේ පාසැලක් මෙන්ම රෝහලක් ද ආරම්භ කළහ. ඔවුන්ගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස, දිවයිනේ මධ්‍යස්ථාන ගණනාවක් මුල් කරගෙන, රෝමානු කතෝලික ආගමේ හා අධ්‍යාපනයේ ව්‍යාප්තිය සිදු විය. එයින්, දිවයිනේ පෘතුගීසි පාලනය යටතේ වූ ප්‍රදේශවල රෝමානු කතෝලිකයෝ විශාල සංඛ්‍යාවක් බිහි වූහ. විශේෂයෙන්ම, දේශියයන්ට ආගමික අධ්‍යාපනයක් ලබා දීමට මිෂනාරීන් දැක්වූ උනන්දුව තුළ, කොළඹ නගරයේ ද දේශීය කතෝලික ප්‍රජාව ඉහළ ගියේ ය (ද සිල්වා 1972: 236-246; අබයසිංහ 1966: 176-205).

ලන්දේසින් යටතේ කොළඹ නගරය හා එහි ජන සංයුතිය

ලන්දේසින් විසින් ක්‍රි.ව. 1658 දී පෘතුගීසින්ගෙන් දිවයිනේ මුහුදුබඩ ප්‍රදේශ අත්පත්කරගනු ලැබීය. පෘතුගීසින්ගෙන් අල්ලාගන්නා ලද කොළඹ, සිය පාලන කාලය තුළදී ලන්දේසින්ගේ ආරක්ෂිත නගරයක් බවට පරිවර්තනය කරමින්, එහි භෞතික පෙනීම වෙනස් කෙරිණ. මේ කාලය තුළ කොළඹ ශ්‍රී ලංකාවේ ලන්දේසි පරිපාලන මධ්‍යස්ථානය මෙන්ම, ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල අගනගරය බවට ද පත්විය. නගරය නැවත සකස් කරමින්, පෘතුගීසි බලකොටුව කඩාබිඳ දමා, ප්‍රධාන බලකොටුව ලෙස කොළඹ බලකොටුව, බටහිරට වෙන්නට ගොඩනැංවීම ලන්දේසින් යටතේ ආරම්භ විය. එය සාදා අවසන් කරනු ලැබුවේ 1670 දී ය. ලන්දේසි බලකොටුව තුළ ආණ්ඩුකාරවරයාගේ නිවහන, භට කණ්ඩායම හා ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගමේ කාර්යාල ස්ථාපිත කරන ලදී. නගරයේ නේවාසික ප්‍රදේශය නැගෙනහිරට වන්නට සකස් කළ අතර, ලන්දේසි පාලනය යටතේ කොළඹ බලකොටුව කස්ටීල් (kasteel) ලෙසත්, ඉන් පිටත නේවාසික ප්‍රදේශය ‘පැරණි නගරය’ යන අරුත් ඇති, ලන්දේසි අවුඩෙ ස්ටඩ් (oude stad) යන පදයෙනුත් හඳුන්වන්නට පටන් ගැනිණ. ලන්දේසි බලකොටුව කොළඹ නගරය තුළ අවුරුදු දෙසීයකට ආසන්න කාලයක් පැවතිණි. එය 1865 දී කඩාබිඳ දැමීමට තීරණය කළ ඉංග්‍රීසිහු (එය 1869 දී කඩා දමන ලදී), ලන්දේසි නගර සැලැස්ම එසේම පවත්වාගෙන ගියහ. ඉංග්‍රීසින් අතින් ලන්දේසි කොළඹ නගරය නවීකරණය වූ අතර, තරමක් ව්‍යාප්ත ද විය. ඒ අනුව, කොළඹ නගරයේ පවත්නා වර්තමාන අවකාශමය සැකැස්ම පැමිණෙන්නේ ලන්දේසින්ගෙනි. පෙටා (Pettah) හා ෆෝට් (Fort) යන්න ලන්දේසි නගරයේ කොටස් දෙක හැඳින්වීම සඳහා ප්‍රථමයෙන් භාවිත කරනු ලබන්නේ ඉංග්‍රීසින් විසිනි. Pettah යන්න pettai යන්නෙන් බිඳී ආ ඇන්ග්ලෝ-ඉන්දියානු පදයකි. ඉංග්‍රීසින් විසින් එය භාවිත කරනු ලැබුවේ ලන්දේසින් භාවිත කළ අවුඩෙ ස්ටඩ් (පැරණි නගරය) අරුත ඇති පදය වෙනුවටයි. Colombo Fort ලෙස හඳුන්වනු ලැබුවේ ලන්දේසි බලකොටුවයි (පෙරේරා 1926: 16, 7-12; පෙරේරා 2002).

පෘතුගීසින් යටතේ මෙන්ම ලන්දේසින් යටතේ ද කොළඹ නගරයට වෙනස් සංස්කෘතින් නියෝජනය කළ විවිධ ආගාමික ජනවර්ග එකතු වූ අතර, ඇතැම්විට, ඔවුන්ගේ මිශ්‍රවීමෙන් නව ජනවර්ග ද බිහි විය. ලන්දේසි සමාජය සොල්දාදුවන් හා වෙළෙඳුන්ගේ එකතුවෙන් යුත්, ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගමේ සේවකයින් හා නිදහස් බර්ගර්වරුන් (free Burghers), එනම්, කලින් සමාගමේ සේවය කොට මිශ්‍ර පෘතුගීසි කාන්තාවන් විවාහ කරගෙන, මෙහි පදිංචි වීමට තීරණය කළ ලන්දේසින් ගෙන් සමන්විත විය (මැක්ගිල්ව්රේ 1982: 239-240).

ලන්දේසින් අනුගමනය කළ වර්ණභේදවාදී ප්‍රතිපත්තිය තුළ, ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම ආරම්භයේදී උත්සාහ කළේ සිය ආසියාතික යටත්විජිත තුළ නිදහස් ලන්දේසි ජනගහනයක් වර්ධනය කරගැනීමටයි. මේ ප්‍රතිපත්තිය ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගමේ අධ්‍යක්ෂකවරුන්ගේ බලපෑම මත වරින් වර වෙනස් වුව ද, බතාවියාවේ ලන්දේසි මධ්‍යස්ථානයෙන් වඩාත් බැහැරට වන්නට පිහිටා තිබුණු ලන්දේසි යටත්විජිතවල, සිය බලය තහවුරු කර ගැනීමේදී හමුදා කටයුතු සඳහා අවශ්‍ය සෙබලුන් සපයා ගැනීමටත්, සමාගමේ පරිපාලනයට සහය කරගැනීම සඳහාත් ලන්දේසි ජනපද ඇති කිරීමට දිරි ලැබුණි. මට්ශුකර් හා ෆන් හූන්ස් (Maetsuijeker & Rijokloff van Gones) වැනි ආණ්ඩුකාරවරු මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට විශේෂයෙන් උනන්දු වූහ. ලන්දේසි පාලනයට විවිධ අයුරින් සේවය කොට විශ්‍රාම ලෑබූ නිදහස් ලන්දේසි පුරවැසියන් හා ඕලන්දයෙන් ගෙන්වාගනු ලැබූ පවුල්වලින් මේ ජනපද ගොඩනැගීමට බලාපොරොත්තු විය. නමුත්, ලන්දේසින්ට ඕලන්දයෙන් ගෙන්වාගත හැකි වූයේ වරින් වර පැමිණි ගොවි හා ශිල්පීය පවුල් කිහිපයක් පමණි. මේ අනුව, ලන්දේසි ජනපද ඇති කිරීම දිගුකාලීනව අසාර්ථක වූ ව්‍යාපෘතියක් විය. යටත්විජිතවලට සංක්‍රමණය වීමට ඕලන්ද ජනයා රුචියක් නොදැක්වීමත්, විශ්‍රාම ගෙන නිදහස් පුරවැසියන් ලෙස පදිංචිවීමට උනන්දුවක් දැක්වූයේ සෙබළුන් හා සමාගමේ පහළ මට්ටමේ සේවාවන්වල නිරතවූවන් පමණක් වීමත්, ඊට බලපෑ ප්‍රධාන හේතූන් විය. එමෙන්ම, මෙම නිදහස් පුරවැසියන් වෙළෙඳ කටයුතුවලට සම්බන්ධවීම කෙරෙහි සමාගම දැක්වූ අකමැත්තත්, ඒ සඳහා විටින් විට ගෙන එන ලද බාධාකාරී නීතිත්, යටත්විජිත සමාජයේ සාර්ථක වීමට ඔවුන්ගේ තිබූ උනන්දුව හීන කළේ ය. එමෙන්ම, ඉන්දීය, මුස්ලිම් හා ලාංකීය වෙළෙන්ඳන් සමග තරඟ කිරීමට ඔවුහු අපොහොසත් වූහ. නගරයේ සිල්ලර වෙළෙඳාම, කඩසාප්පු පවත්වාගෙන යාම, සපත්තු සෑදීම හා රෙදි මැසීම, බේකරි කර්මාන්තය, ඔවුන්ට නිරතවීමට තිබූ ක්ෂේත්‍ර වූවත්, මේ ක්ෂේත්‍ර මුස්ලිම්වරුන් විසින් අත්පත් කරගෙන තිබුණි. ඒ අනුව, ඔවුන්ට යැපීමට තිබුණේ ගොවිතැන, නගරයේ හස්ත කර්මාන්ත හා සුළු වෙළෙඳාම වැනි දේ ය (අරසරත්නම් 1966: 160-162, 165, 167, 171). මෙම කරුණුවලින් කොළඹ නගරයේ ජීවත් වූ පෘතුගීසි නිදහස් පුරවැසියන් මෙන් ලන්දේසි නිදහස් පුරවැසියන්ට ඉහළ සමාජ තත්ත්වයක් ගොඩනගා ගැනීමට නොහැකි වූ බව පෙනේ.

ලන්දේසි ස්ත්‍රීන්ගේ නොපැමිණීම මෙම ජනපද වාසීන්ගෙන් ලන්දේසි සම්භවයක් සහිත පවුල් ගොඩනැගීමට තිබුණු තවත් බාධාවකි. ලන්දේසින්, පෘතුගීසින්ට වඩා කාන්තාවන්ට යටත්විජිතවලට සංක්‍රමණය වීමට ඉඩහළ බව පෙනේ. නමුත්, අපේක්ෂා කළ පමණින් ලන්දේසි ගැහැනුන් එසේ යටත්විජිත ප්‍රදේශවලට නොපැමිණීමෙන් බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොලැබුණි. එහි අසාර්ථකත්වය නිසා, යටත්විජිත සමාජයේ සිටි කාන්තාවන් විවාහ කර ගැනීමට ලන්දේසි පුරුෂයින්ට සිදු විය. සමාගම් පාලනයේ මුල් කාලයේ ලන්දේසි කාන්තාවන්ගේ හිඟකම නිසා, කොළඹ සිටි ලන්දේසි පුරුෂයෝ පෘතුගීසි වැන්දඹුවන් හා පෘතුගීසි-සිංහල මිශ්‍ර විවාහවලින් පැවතෙන කාන්තාවන් විවාහ කර ගත්හ. පසුව දේශීය ක්‍රිස්තියානි තරුණියන් විවාහ කර ගනු ලැබිණ (අරසරත්නම් 1966: 169). දේශීය කාන්තාවන් විවාහකරගැනීමට ඉඩ හැරීමෙන්, නව මිශ්‍ර ජනවර්ගයක් බිහිවීම සිදුවිය. මේ මිශ්‍ර විවාහවලින් පැවතෙන්නන් ‘ලන්සි’ හෙවත් ‘බර්ගර්’ ලෙස හැඳින්විණි. ශ්‍රී ලංකාවේ මේ තත්ත්වය වඩාත් දකින්නට ලැබෙන්නේ ලන්දේසි මූලස්ථානය වූ කොළඹ නගරයේ ය. මෙසේ, පෘතුගීසින් යටතේ මෙන්ම ලන්දේසින් යටතේ ද නව යුරේසියානු ජනවර්ගයක් දේශීය සමාජයට එක් විය. ඒ අතර, පෘතුගීසි-දේශීය මිශ්‍ර විවාහවලින් පැවතෙන තුප්පහි ජනයා, හමුදා සෙබළුන් හා ලන්දේසි සමාගමේ පහළ මට්ටමේ සේවකයින් ලෙස සමාගමේ සේවයට බඳවා ගනු ලැබිණ (මැක්ගිල්ව්රේ 1982: 239-240).

දිවයිනේ ලන්දේසි පාලන ප්‍රදේශවල සිටි ජානපදිකයින් සංඛ්‍යාව හැමවිටම 500 කට අඩු වූ බව ගණන් බලා තිබේ. ඒ අනුව, පෘතුගීසින් හා සැසඳීමේදී කොළඹ නගරයේ පදිංචිව සිටි ලන්දේසි ජානපදිකයින් සංඛ්‍යාවෙන් මෙන්ම ධනයෙන්, බලයෙන් හා සමාජ තත්ත්වයෙන් ද හීන ජන කණ්ඩායමක් බව කිව හැකි ය (අරසරත්නම් 1966: 159-174; පෙරේරා 2002).

ලන්දේසි කොළඹ ජන විවිධත්වය සැලකීමේදී, පෘතුගීසි පාලන කාලයට වඩා විශාල වහලුන් සංඛ්‍යාවක් කොළඹ නගරයට එකතු වී සිටි බව කිව හැකි ය. පෘතුගීසින් විසින් ගෙන එන ලදුව, මෙහි ඉතිරි වූවන්ට අමතරව ලන්දේසින් විසින් විශාල ප්‍රමාණයන්ගෙන් ගෙන එන ලද මිනිසුන්ගෙන් මේ වහල් ජනගහනය සමන්විත විය. කොරමැන්ඩල්, තන්ජූර්, කැනරා, තූත්තුකුඩි (Tuticorin) වැනි දකුණු ඉන්දියානු ප්‍රදේශවලින් මෙන්ම, 1660 ගණන්වල සිට මැලේසියා, ඉන්දුනීසියා, දකුණු පිලිපීන යන අග්නිදිග ආසියානු ප්‍රදේශවලින් හා නිව්ගිනියාවෙන් ලන්දේසි පාලන කාලයේ ලංකාවට වහලුන් ගෙනවිත් ඇත. මොවුන්ගෙන් බහුතරයක් දකුණු ඉන්දියානුවන් බව පෙනේ. මේ වහලුන්ගෙන් සමහරක් ලන්දේසි පාලන ප්‍රදේශවල ගෘහ කටයුතු සඳහා යොදාගෙන ඇති අතර, සමහරක් කෘෂිකාර්මික කටයුතු සඳහා යොදාගෙන ඇත. මේ ආකාරයෙන්ම ඉදිකිරීම් කටයුතු වැනි බර වැඩවලදී මෙම වහල් ශ්‍රමය භාවිත කොට තිබේ. කොළඹ නගරයේ සිටි ලන්දේසි සමාගමේ නිලධාරින් සිය කටයුතුවලදී විශාල වශයෙන් වහල් ශ්‍රමය මත යැපී ඇත. එක් පුදගලයකු සතු වහලුන් සංඛ්‍යාව හතලිහ, හැට වැනි වූ අවස්ථා දක්නට ලැබේ. මින් විශාල ප්‍රමාණයක් විවිධ ගෘහ කටයුතු සඳහා භාවිත කෙරිණි. විශේෂයෙන්ම අප්‍රිකානු වහලුන් කොටුවේ බර වැඩ සඳහා යොදා ගැනිණ. 1688 වනවිට සමාගම යටතේ සේවය කළ වහලුන් ගණන 5500 පමණ වන බව ගණන් බලා තිබේ. 1694 වර්ෂයේ කොළඹ ජනගහණයෙන් සියයට පනහකට වැඩි සංඛ්‍යාවක් වහලුන් විය. 1694 දී කොළඹ ලන්දේසි නිවාසවලින් සියයට හැත්තැපහක් පමණ වහලුන් තබාගෙන ඇත. 1761 දී කොළඹ නගරයේ ජනගහනයෙන් සියයට 53.5 ක් වහලුන් බව වාර්තා වේ (වික්‍රමසිංහ 2020: 7, 23, 26, 27, 30; පෙරේරා 2002).

පෘතුගීසි හා ලන්දේසි යටත්විජිත පාලනයනයන් යටතේ කොළඹ මෙසේ වෙනස් සංස්කෘතින් නියෝජනය කළ විවිධ නව ජනවර්ග ගොඩනැගිණි. දකුණු ඉන්දියානු සම්භවයක් සහිත, ආගාමික පරවර හා චෙට්ටි යන ජන කණ්ඩායම් දෙක, පෘතුගීසි හා ලන්දේසි පාලනයේ ප්‍රතිඵලයක් ලෙසින් ගොඩනැගෙන නව ජන කණ්ඩායම් අතර සුවිශේෂී වේ. මේ ජනකණ්ඩායම් දෙකේම විශේෂත්වය වන්නේ යටත්විජිත පාලනය සමග ඇතිකරගන්නා අන්‍යෝන්‍ය සහසම්බන්ධතාව මත, පිළිවෙළින් ‘භරත’ හා ‘කොළඹ චෙට්ටි’ ලෙස නව අනන්‍යතාවක් ගොඩනගාගෙන, සමාජ-ආර්ථික වශයෙන් දේශීය සමාජයේ ඉහළ තලයට එසවීමයි. මේ ජන කණ්ඩායම් දෙක, විශේෂයෙන්ම, ලන්දේසි පාලනය තුළ සමාජ ආර්ථික වශයෙන් වඩාත් ඉදිරියට ආහ.

චෙට්ටිවරුන් බහුල වශයෙන් ව්‍යාප්තව සිටියේ ලංකාවේ පුත්තලම හා කොළඹ අතර ප්‍රදේශයේ ය. එයින් කොළඹ නගරයට අමතරව ආසන්න කොල්ලුපිටිය, පෑලියගොඩ වැනි ප්‍රදේශවල පදිංචිවී සිටියහ. ඔවුන් විශාල සංඛ්‍යාවකින් දිවයිනට ආගමනය වී ඇත්තේ ලන්දේසි පාලන කාලයේත්, ඉංග්‍රීසි පාලනයේ මුල් අවධියේදීත් බව පෙනේ. මෙසේ, චෙට්ටිවරුන් හා යටත්විජිත ක්‍රමය අතර ගොඩනැගෙන මෙම අන්‍යෝන්‍ය සහසම්බන්ධය යටත්විජිත යාන්ත්‍රණය පවත්වාගෙන යාමට විශාල පිටුවහලක් විය (ගුණරත්න 2015: 88-89).

පෘතුගීසින් මෙන්ම ලන්දේසින් ද මුස්ලිම්වරුන්ගේ වාණිජ ක්‍රියාකාරිත්වය පාලනය කිරීමට ලංකාවේදී වරින් වර පනවන ලද විවිධ සීමාකාරී නීතිරීතිවලට අමතරව (ගුනවර්ධන 1986), මේ ජන කණ්ඩායම් යොදවාගෙන ද තිබේ. ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම, නිලධාරීන් ලෙස විවිධ කාර්යයන් සඳහා ඔවුන්ගේ සේවය ලබාගෙන ඇත. චෙට්ටීන්ගේ ගණකාධිකාරී නිපුණතාව නිසා ඔවුන් සරප්වරුන් ලෙස බඳවාගෙන ඇති අතර, අධිකාරි හා මුදලි තනතුරුවලට අමතරව, හමුදා සේවයේ ද චෙට්ටිවරුන් යොදාගෙන ඇති බවට වාර්තා හමුවේ. මෙවැනි තනතුරු දරමින් ලන්දේසි පාලනය සමග සමීපව කටයුතු කළ බලවත් හා ධනවත් චෙට්ටි පවුල් ගණනාවක් වාර්තාවේ. කාසිචෙට්ටි, ඔන්ඩච්චි හා මුත්තුකිස්නා (Casiechetty/Casiechitty, Ondaatje/Ondaatchii, Muttukistna/ Moottookistna) යන පවුල් මේ සඳහා උචිත උදාහරණ වේ. ඊට අමතරව, ලන්දේසි ආණ්ඩුකාරවරුන් ගණනාවකගේ පෞද්ගලික කාර්යමණ්ඩලයේ ඇතැම් චෙට්ටි පවුල්වල සාමාජිකයින් සේවය කර ඇත. මෙම පවුල්වල සාමාජිකයෝ ලංකාවේ ලන්දේසි රජයේ නිල්ධාරීන් ලෙස, විවිධ සේවාවන් වෙනුවෙන් ලැබූ ‘පැවරුම් ඉඩම්’ (accommodessan) විශාල වශයෙන් එක්රැස් කරගෙන, විශාල ඉඩම් හිමියෝ බවට පත්ව සිටියහ. ලන්දේසි පාලනය යටතේ මුහුදුබඩ ප්‍රදේශවල ගොඩනැගෙන නව ඉඩම් හිමි පන්තියේ සාමාජිකයින් බවට කොළඹ චෙට්ටිවරු පත්වෙති (ගුණරත්න 2015: 90-91).

ජන කණ්ඩායමක් ලෙස ඔවුන්ගේ දියුණුව වඩාත් කැපී පෙනෙන ලන්දේසි පාලන කාලය අනෙකුත් යටත්විජිත පාලන අවධීන්ට වඩා චෙට්ටිවරුන්ගේ පරිවර්තනයට හා වර්ධනයට ඉතා වැදගත් විය. පෘතුගීසින් විසින් චෙට්ටි ජානපදිකයින් ක්‍රිස්තියානියට හැරවීම සඳහා උනන්දුකර ඇත. ක්‍රිස්තියානිය වැළඳගත් පසු මුල් භූමිය සමග වූ ඔවුන්ගේ සම්බන්ධතාවය බිඳී යයි. පෘතුගීසි පාලනය යටතේ රෝමානු කතෝලික ආගම වැළඳගෙන සිටි මේ ජන කණ්ඩායමේ ඇතැම් සාමාජිකයෝ, ලන්දේසි පාලනයෙන් ඉදිරිපත් වූ ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානි ආගමට යහපත් ප්‍රතිචාරයක් දැක්වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස ලන්දේසි පාලන කාලය තුළ, චෙටිටීන්ගෙන් බහුතරයක් රෝමානු කතෝලික හෝ ප්‍රොතෙස්තන්ත ලෙස ක්‍රිස්තියානි ආගම වැළඳගැනීමෙන් පසු, ඊළඟ පරම්පරා පාරම්පරික ක්‍රිස්තියානින් බවට පත් විය (ගුණරත්න 2015: 93, 96).

යටත්විජිත සමාජය තුළ කොළඹ චෙට්ටිවරුන් ඉහළ සමාජ ස්තරයට එසවීම සාධක ගණනාවකින් හෙළිවේ. විශේෂයෙන්ම, යටත්විජිත බලවතුන්, ඔවුන් හා කොළඹ චෙටිටිවරුන් අතර අන්තර් විවාහවලට අනුබල දීම පෘතුගීසි හා ලන්දේසි පාලන අවධි දෙකේදීම සිදුවිය. එහි ප්‍රතිඵලයක් ලෙස, චෙට්ටි හා ඉහත යටත්විජිත සමාජ කණ්ඩායමේ දෙකේ සාමාජිකයින්ගේ මිශ්‍රවීම ද සිදුවිය (ගුණරත්න 2015: 97).

කෙසේනමුත්, කොළඹ චෙට්ටිවරු, සිය සමාජ සම්බන්ධතා හා ජීවන ශෛලිය මෙන්ම යටත්විජිත අධිකාරිය නියෝජනය කරන සමාජ ස්තරයට සමීපවීම යන සාධක මත, කොළඹ සමාජය තුළ කැපී පෙනෙන තත්ත්වයක් හිමිව සිටි ප්‍රභූ සමාජ ස්තරයක් වශයෙන් කටයුතු කළහ. එකිනෙකා අතර පැවති අන්තර් සම්බන්ධතා සැලකීමේදී, බර්ගර් හා සිංහල සමාජයේ ඉහළ ස්තරය, කොළඹ චෙට්ටිවරුන් සම තත්ත්වයෙන් පිළිගත් බව පෙනේ (ගුණරත්න 2015: 99).

පෘතුගීසින් සමග ඇතිකරගත් සම්බන්ධතාව මත කොළඹ චෙට්ටිවරු මෙන් රෝමානු කතෝලික ආගම වැළඳගත් දකුණු ඉන්දියානු පරවර ජනයා ද ලංකාවේ පෘතුගීසි පාලන ප්‍රදේශවල ආරක්ෂිත ජනපද ගොඩනැංවීමේදී දිවයිනේ වයඹ මුහුදු තීරයේ පදිංචි කර තිබුණි. ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම යටතේ දකුණු ඉන්දීය ප්‍රදේශවල වෙළෙඳාම වර්ධනය විය. එමෙන්ම, ඔවුන් කේන්ද්‍රගතව සිටි තූත්තුකුඩි හා තිරුනෙල්වෙලි වරාය ආශ්‍රිතව, දහහත්වන සියවසේ මැදභාගයේ සිට දහනමවන සියවස දක්වා වෙළෙඳාමේ හා නාවුක කටයුතුවල සිදුවන වර්ධනය ප්‍රයෝජනයට ගනිමින්, භරත ජනයා වෙළෙඳාමට සම්බන්ධ වෙති. මෙසේ මතුවන නව වෙළෙඳ අවස්ථා උපයෝගී කරගෙන, ඔවුහු ජන කණ්ඩායමක් ලෙසට ‘භරත’ යන නව අනන්‍යතාවක් යටතේ ඉස්මතු වීමට පටන් ගත්හ. ලන්දේසින් යටතේ දකුණු ඉන්දියාවේ ප්‍රාදේශිය වෙළෙඳාමට සම්බන්ධවූ පරවර ජනයා, ඔවුන්ගේ මධ්‍යස්ථානය වූ තූත්තුකුඩිය හා ලංකාවේ බටහිර වෙරළ තීරය සමග ඇති කරගන්නා වෙළෙඳ සබඳතාව මත, නිරන්තරයෙන් ලංකාවේ ලන්දේසි ප්‍රදේශවලට පැමිණෙන්නට පටන් ගත්හ. එමෙන්ම, කාලයත් සමග කොළඹට ඉතා ආසන්නයේ ඊට උතුරින් පදිංචිවෙති. මේ සබඳතා උපයෝගී කරගෙන ඔවුහු ලංකා සමාජයේ ඉහළ තත්ත්වයක් ගොඩනගා ගැනීමට සමත් වෙති (ගුණරත්න [b] 2015: 14-18; ද සිල්වා 1972: 73-76).

බ්‍රිතාන්‍ය පාලනය යටතේ කොළඹ පූර්ණ යටත්විජිත වරාය නගරයක් බවට පරිවර්තනය වීම

‍බ්‍රිතාන්‍ය පාලනය යටතේ කොළඹ නගරයේ මුහුණුවර මුළුමනින්ම වෙනස් වීමටත්, එහි ජන සංයුතිය වඩාත් සංකීර්ණවීමටත්, දහනමවන සියවසේ මැද භාගයෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන සමාජ-ආර්ථික පරිවර්තනය බලපෑවේ ය. ඊට පසුබිම සකස් වන්නේ කෝපි වගාවෙන් ආරම්භ වී, ශ්‍රී ලංකාවේ ගොඩනැගෙන වතු කෘෂිකර්මය මත පදනම් වූ ආනයන-අපනයන ආර්ථිකයේ වර්ධනය මගිනි. දහනමවන සියවසේ ලන්ඩන් වෙළෙඳපොළේ කෝපි සඳහා ඇතිවන නව ප්‍රවණතාව ලංකාවේ කෝපි වගාව ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමට වාසිකර පසුබිමක් සකස් කළේ ය. එමෙන්ම, ක්‍රි.ව. 1833 කෝල්බෲක්-කැමරන් ප්‍රතිසංස්කරණ මගින්, ඊට සහය වන ආණ්ඩුක්‍රම හා පරිපාලන රාමුවක් ගොඩනැගේ. එහි ප්‍රතිඵලය, ශ්‍රී ලංකාවේ ආර්ථිකය වතු ක්‍රමය මත පදනම් වූ, ආනයන-අපනයන ආර්ථිකයක් බවට වේගයෙන් පරිවර්තනය වීමයි. මේ යටත්විජිත ආර්ථිකය ලෝක වෙළෙඳපොළ සමග බද්ධ කෙරෙන්නේ කොළඹ නගරය හරහා ය. මෙහි ප්‍රතිඵලයක් ලෙස, ඉතා කෙටි කාලයක් තුළ විශාල වෙනස්කම් රාශියකට මුහුණ දෙමින් කොළඹ නගරය නියම යටත්විජිත වරාය නගරයක් බවට පරිවර්තනය විය.

නව වතු නිෂ්පාදනයේ කේන්ද්‍රය බවට මධ්‍යම කඳුකරය පත්වන විට, වතු ආර්ථිකය හසුරුවන මධ්‍යස්ථානය බවට කොළඹ නගරය පත්විය. වතු ආර්ථිකයේ පැවැත්ම උදෙසා යටිතල පහසුකම් සැපයීම හා නොයෙකුත් සේවාවන් පවත්වාගැනීම කොළඹ නගරය හරහා සිදුවිය. කොළඹ නගරය හා වතු විසිරුණු මධ්‍යම කඳුකරය යාකරමින් මහාමාර්ග හා දුම්රිය මාර්ග ජාලයක් ආරම්භ වන අතර, කොළඹ හා ඒකාබද්ධ වෙමින් වතුකරයට අවශ්‍ය සැපයුම් හසුරුවන නගර ජාලයක් වර්ධනය වීමට පටන් ගත්තේ ය. 1880 ගණන් දක්වා දිවයිනේ ප්‍රධාන අපනයන නිෂ්පාදනය වූ කෝපි, ගාල්ල හා කොළඹ වරායන් ඔස්සේ නැව්ගත කරනු ලැබිණි. ආසියාවේ ප්‍රධාන යටත්විජිත වරාය නගර අතර සබඳතාවලදී මෙන්ම, සූවස් ඇළ ඔස්සේ කෙරෙන නාවුක කටයුතුවලදීත් වඩාත් යෝග්‍ය වරාය වූ කොළඹ වරාය සංවර්ධනය කිරීම, 1875 දී ‍බ්‍රිතාන්‍යයන් විසින් ආරම්භ කර තිබුණි. 1883 දී කොළඹ වරාය වැඩිදියුණු කිරීමේ මෙම ප්‍රථම පියවර අවසන් වූ අතර, විසිවන සියවස ආරම්භ වනවිට කොළඹ දිවයිනේ ආනයන හා අපනයන හසුරුවන ප්‍රධාන වරාය බවට පත්විය. වතු වගාව වඩ වඩා පැතිරෙත්ම, මෙසේ කොළඹ වරාය නව දියකඩන හා නැව් තඩාංගණ ගණනාවක් එක් කරමින් වරින් වර විශාල කිරීමට ‍බ්‍රිතාන්‍යයන්ට සිදුවිය. මේ වනවිට, කොළඹ නගරය වාණිජ මධ්‍යස්ථානයක් ලෙස වර්ධනය වෙමින් පැවති අතර, වර්ධනය වන ආර්ථිකයේ විවිධ අවශ්‍යතා සැපයෙන බැංකු ඇතුළු නොයෙකුත් ආයතන, කොළඹට සංකේන්ද්‍රගතව ක්‍රියාත්මක විය. නාගරිකයින්ගේ ආහාර මෙන්ම අනෙකුත් අවශ්‍යතා සපයා ගැනීමේදී, නගරය වටා ඇති ආසන්න භූමි කලාපයෙහි සාරවත් බව හා රබර්, පොල් වැනි ඇතැම් වාණිජ වගාවන් සඳහා එම භූමිය යොදවා තිබීම, අනෙකුත් වාසිකර සාධක විය. එමෙන්ම, මෙම ආසන්න ප්‍රදේශවලින් නගරයේ ශ්‍රම අවශ්‍යතා සම්පාදනය කරගත හැකි විය. විසිවන සියවසේ ප්‍රථම භාගයේ තේ, පොල්, රබර් යන වතු කෘෂි නිෂ්පාදනවලට අමතරව මිනිරන් ද අපනයන නිෂ්පාදන අතරට එක් වෙමින් තිබුණි (ධර්මසේන 1984, 1985; 2003: 18-19, 30-60).

මේ ආකාරයෙන් වතු වගාවත්, ඒ හා බැඳි නොයෙකුත් කර්මාන්ත අංශවල වර්ධනයත්, ආනයන-අපනයන කටයුතුවල ව්‍යාප්තියත් මගින් විවෘත වන විවිධ නව ආයෝජන ක්ෂේත්‍රවලට ලෝකයේ නන් දෙසින් ව්‍යවසායකයෝ හා ආයෝජකයෝ ආකර්ෂණය වූහ. බැංකු, රක්ෂණ, නැව් සමාගම්වල ශාඛා, විවිධ වෙළෙඳ සමාගම්වල නියෝජිත ආයතන, විවිධ පාරිභෝගික අවශ්‍යතා සපයන කඩසාප්පු, විශාල වශයෙන් කොළඹ නගරයේ ස්ථාපිත වීමට පටන් ගත්තේ ය. එහි ප්‍රතිඵලය කොළඹ නගරය ඉතා වේගයෙන් ජනාකීර්ණ වීමට පටන් ගැනීමයි.

කොළඹ නගරයට එක් වූ යුරෝපීය ප්‍රජාව, ආණ්ඩුකරු ඇතුළු රජයේ නිළධාරින් හා මහා බ්‍රි‍තාන්‍ය ප්‍රමුඛ විවිධ යුරෝපා රටවල් වලින් ඇදී ආ ආයෝජකයින්ගෙන් සමන්විත විය. ඔවුන්ගේ කාර්යාල හා සමාගම් ඇතුළු වාණිජ ආයතන කොළඹ නගරයේ ස්ථානගතව තිබුණි. එමෙන්ම ඔවුන්ගේ නේවාසික නගරය වූයේ ද කොළඹයි. ඒ හැරුණු විට ඔවුන්ගේ සමාජශාලා හා විවිධ සංවිධානවල මධ්‍යස්ථානය වූයේ ද කොළඹ නගරයයි.

වර්ධනය වෙමින් පැවති ආනයන-අපනයන ආර්ථිකයේ විවිධ කුඩා කුඩා ආයෝජන ක්ෂේත්‍රවලට මුල සිටම ඇතුලු වී ධනවතුන් ලෙසට ඉදිරියට එමින් සිටි දේශීය ව්‍යවසායක පන්තිය දිවයිනේ විවිධ ප්‍රදේශවලින්  හිස ඔසවන්නට පටන් ගත්තේ ය. ඔවුන්ගේ යුරෝපා අනුකාරක ජීවන ශෛලිය තුළ, දිවයිනේ ප්‍රධාන නගරවල යුරෝපා පන්නයේ නිවාස ඇතුළු නාගරික දේපොළ අත්පත් කරගැනීමට විශාල අභිරුචියක් පෙන්නුම් කෙරිණ. ඒ අනුව, ඔවුන්ගෙන් බොහොමයක් කොළඹ නාගරික ජීවිතයට ඇතුළුවීමට සමත් වූහ. එමෙන්ම, ඔවුන්ගේ විවිධ සමාජ හා ආර්ථික සංවිධානවලත්, දේශපාලන ව්‍යාපාරවලත් කේන්ද්‍රස්ථානය බවට කොළඹ නගරය පත්වේ (ජයවර්ධන 2000).

මෙම වතු ආර්ථිකයේ විවිධ සැපයීම් හා සේවාවන් බාහිර වෙළෙඳුන්ට විවෘත විය. මේ වනවිට, ආසියාව පුරා ව්‍යාප්ත වෙමින් තිබූ යටත්විජිත වෙළෙඳාමට ඇතුලු වී, තමන්ගේම වාණිජ ජාලයන් ගොඩනගාගෙන සිටි විවිධ ඉන්දීය වෙළෙඳ ජන කණ්ඩායම් ලංකාවේ ආනයන-අපනයන ආර්ථිකයට ක්‍රමයෙන් එක්වෙමින් සිටියහ. එහි වැදගත්කම වන්නේ ඔවුන්ගේ වාණිජ ජාලයේ තවත් වැදගත් මධ්‍යස්ථානයක් බවට බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවති කොළඹ වරාය නගරය පත්වීමයි. ඒ අනුව, මෙම ආර්ථිකයේ විවිධ ආයෝජන අංශවලට ඇතුළු වී සිටි මලබාර් මුස්ලිම්වරුන්, කොචින් හා මලයාලි වෙළෙඳුන්, මෙමන්, පාර්සි, බෝරා, සින්ධි, මර්වාරි, ගුජරාටි, ඇෆ්ගන් ආදී ඉන්දියාවේ විවිධ පළාත්වලින් පැමිණි වෙළෙන්දෝ, ව්‍යාපාරිකයෝ, නාට්ටුකෝට්ටයි චෙට්ටි වැනි බැංකුකරුවෝ කොළඹ නගරයට එකතු වෙති. මෙයින් ආසියාවේ ප්‍රධාන වාණිජ මධ්‍යස්ථානවල ශාඛා සහිත ඉන්දියානු වෙළෙඳ සමාගම්වල හිමිකරුවන් වූ බෝරා හා පාර්සි වෙළෙඳ ව්‍යාපාර ගණනාවක් කොළඹ හා වතු ආශ්‍රිත ඇතැම් නගරවලත් පවත්වාගෙන ගියේ ය. නාට්ටුකෝට්ටයි චෙට්ටිවරුන් විසින් කොළඹ නගරය මුල් කරගෙන වතු ආශ්‍රිත නගර දක්වා විහිදී ගිය වාණිජ බැංකු ජාලයක් ගොඩනගාගෙන තිබුණි. මේ බොහොමයක්, විශේෂයෙන්ම වතු කම්කරුවන්ට අවශ්‍ය ආහාරපාන හා රෙදිපිළි ආනයනයට සම්බන්ධ ව්‍යාපාර විය. මේ අතර ලන්දේසි පාලන කාලයේ සිට කොළඹ නගරයට එක්ව සිටි භරත ජනකණ්ඩායමේ සාමාජිකයෝ, යුරෝපීයයන් හා අලුතින් පොහොසත් වන දේශීයයන්ගේ පාරිභෝගික අවශ්‍යතා වෙනුවෙන් ආනයනිත මත්පැන් වෙළෙඳාමට එක්ව සිටියහ (ජයවර්ධන 2000: 372-373, 167-170; ගුණරත්න 2011: 86-129).

මේ සමග විවෘතවන ශ්‍රම වෙළෙඳපොළට අවට ග්‍රාමීය ප්‍රදේශවලින් ශ්‍රමිකයෝ ඇදී ආහ. වතුකරයට ඇදෙන ආගාමික දකුණු ඉන්දීය කම්කරුවන්ගෙන් කොටසක් කොළඹ නගරයේ විවිධ වෙළෙඳ ආයතන හා වරාය, පොදු වැඩ දෙපාර්තමේන්තුව වැනි ආයතනවලට බැඳුණහ. මෙයින් විශාල කම්කරු ප්‍රජාවක් කොළඹ නගරයට එක්රොක් වීම සිදුවිය (ජයවර්ධන 2000: 107-115).

සමාලෝචනය

කොළොම්තොටේ සිට 1948 දී නිදහස් නගරයක් බවට පත්වන තුරු, යටත්විජිත වරාය නගරයක් දක්වා කොළඹ නගරයේ විකාශය සියවස් ගණනක ඉතිහාසක් පුරා දිවයයි. බටහිර යුරෝපා යටත්විජිතවාදයේ අවධි තුනක් නියෝජනය කළ යටත්විජිත පාලනයන් විසින් එහි භෞතික මුහුණුවර ක්‍රමයෙන් වෙනස් කරනු ලැබිණ. ඒ හා සමාන වැදගත්කමක් දරන්නේ එහි නිවැසි ජනසමූහයට දේශපාලන-ආර්ථික වශයෙන් මෙන්ම සමාජමය වශයෙන් ද ඔවුන් ඇති කළ බලපෑමයි. මේ සියලු ජන වර්ග අතර ඇතිවන භාෂා, ආගම්, සිරිත් විරිත් පමණක් නොව, ආහාර පාන මෙන්ම ඇඳුම් පැළඳුම් ද ඇතුළු සංස්කෘතිකමය හා සමාජමය හුවමාරුව හා මිශ්‍රණය, එක් එක් යටත්විජිත ආධිපත්‍ය විසින් යුරෝපීය හා එසේ නොවන ජනයා අතර ඡවි වර්ණය පදනම් කරගෙන ඇතිකළ වාර්ගික පීඩනය අභිබවා ගියේ ය.

විශේෂයෙන්ම යටත්විජිත වරාය නගරයක් ලෙසට එහි භූමිකාව පුළුල් වෙත්ම, එහි ජන සංයුතිය වඩ වඩාත් පුළුල් වන ආකාරය බ්‍රිතාන්‍ය පාලනය කාලයේ දකින්නට ලැබේ. ඒ වනවිට, කොළඹ නගරයට එක්ව සිටි ජනසමූහයේ විවිධත්වය මෙන්ම විචිත්‍රත්වය ද තත්කාලීන විවිධ ලේඛකයින්ගේ වාර්තා තුළින් හමුවේ. වර්තමානයේ මෙන් දැඩි බටහිර අනුකරණයකට හසු නොවූ එකළ සමාජයේ එක් එක් ජන කණ්ඩායම්වල අනන්‍යතාව, ඔවුන්ගේ ආහාර පාන මෙන්ම ඇඳුම් පැළඳුම්, ගෘහ ජීවිතය හා සමාජ චාරිත්‍රවලින් වඩාත් ප්‍රකට විය.

විශේෂයෙන්ම, ආසියාතිකයින් වඩාත් ගැවසුන වර්තමානයේ පිටකොටුව ලෙස හැඳින්වෙන ප්‍රදේශයේ විවිධ වර්ගවල ජනයා නිසා ඇතිව තිබූ ආකර්ශනීය විචිත්‍රත්වය, ජෝන් ෆර්ගසන්, හෙන්රි ඩබ්ලිව්. කේව් හා රොබට් පර්සිවල් දක්වා තිබේ. ඊට අනුව සෑම ආසියාතික ජන වර්ගයක්ම ගැවසෙන පිටකොටුව තමන් නියෝජනය වන කුලය, පන්තිය හා සමාජ තත්ත්වය පිළිබිඹුවන ඇඳුම් පැළඳුම් විලාසිතාවන්ගෙන් සැරසුන, විවිධ භාෂා කතා කරන, විවිධ වූ ඡවි වර්ණයෙන් යුත් ජනයාගෙන් පිරී පැවති ආකාරය විස්තර කරයි (කේව් 1904: 27; පර්සිවල් 1803: 89-90; ෆර්ගසන් 1887: 117).

ආශ්‍රිත ග්‍රන්ථ

අබයසිංහ, ටිකිරි බණ්ඩා හේරත්. පරංගි කෝට්ටේ 1594-1612. ලේක්හවුස්, 1966.

අබයසිංහ, ටිකිරි බණ්ඩා හේරත්. පෘතුගීසින් හා ලංකාව 1597-1658. ලේක්හවුස්, (1969).

අරසරත්නම්, එස්. ලංකාවේ ලන්දේසි බලය 1658-1687. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, 1966.

ගුණරත්න, එම්. එස්. ‘යටත්විජිතවාදය සහ නව අනන්‍යතා ගොඩනැගිම: ශ්‍රී ලංකාවේ චෙට්ටිවරුන්ගේ පරිවර්තනය.’ ඉතිහාස ලේඛනී 1.1 (2015).

Ali (අලි), Ameer. ‘The Genesis of the Muslim Community in Ceylon (Sri Lanka): A Historical Summary.’ Asian Studies 19 (1981): 65-81.

Antunes (අන්තූනිස්), Cátia. ‘Early Modern Ports, 1500-1750.’ European History Online (EGO), IEG, 2010. http://www.ieg-ego.eu/antunesc-2010-en

Biedermann (බීඩර්මන්), Zoltán. ‘Colombo versus Cannanore: Contrasting Structures of Two Colonial Port Cities (1500- 1700).’ Journal of the Economic and Social History of the Orient 52.3 (2009): 413-459.

Brohier (බ්‍රෝහියර්), R.L. Changing Face of Colombo (1505-1972). Lake House, 1984.

Cave (කේව්), Henry W. Golden Tips, A Description of Ceylon and Its Great Tea Industry. Sampson Low, Marston & Co., 1904.

de Silva (ද සිල්වා), C.R. ‘Sri Lanka in the Early 16th Century: Economic and Social Conditions.’ (11-36), University of Peradeniya History of Sri Lanka, 2, ed. K.M. de Silva. University of Peradeniya, 1995.

de Silva (ද සිල්වා), C.R. ‘Portuguese Policy Towards the Muslims in Ceylon, 1505-1626.’ The Ceylon Journal of Historical and Social Studies 9.2 (1966): 113-119.

de Silva (ද සිල්වා), Chandra Richard. The Portuguese in Ceylon 1617-1638. H.W. Cave & Co., 1972.

Dharmasena (ධර්මසේන), K. ‘Ceylon in the Changing Sea Routes of the Indian Ocean in the 19th Century.’ Kalyani 3.4 (1984, 1985): 277-287.

Dharmasena (ධර්මසේන), K. The Port of Colombo 1940-2000, 2, JOPCA, 2003.

Ducruet (ඩුක්රුවේ), César. ‘Asian Cities in the Global Maritime Network since the late Nineteenth Century,’ Asian Cities: from Colonial to Global, 2013. https://halshs.archives-ouvertes.fr/halshs-01069369

Ferguson (ෆර්ගසන්), John. Ceylon in the ‘Jubilee Year’. John Haddon and Co., 1887.

Goonewardena (ගුනවර්ධන), K.W. ‘Muslims under Dutch Rule up to the Mid Eighteenth Century.’ (189-209) Muslims of Sri Lanka: Avenue to Antiquity, ed. M.A.M. Shukrie. Jamiah Naleemia Inst., 1986.

Gunarathne (ගුණරත්න [b]), M. Sriyani. ‘Colonialism and Social Mobility: The Bharathas in Sri Lanka. Modern Sri Lanka Studies 6.2 (2015): 1-24.

Gunarathne (ගුණරත්න), M.S., 2011. The Role of the Indian Business Communities in the Economy of Sri Lanka, 1833-1949, Ph.D. thesis, Jawaharlal Nehru University.

Jayawardane (ජයවර්ධන), Kumari. Nobodies to Somebodies. Social Scientists’ Association, 2000.

Kosambi (කෝසම්බි), Meera and John E. Brush. ‘Three Colonial Port Cities in India.’ Geographical Review 78.1 (1988): 32-47.

McGilvray (මැක්ගිල්ව්රේ), Dennis B. ‘Dutch Burghers and Portuguese Mechanics: Eurasian Ethnicity in Sri Lanka.’ Comparative Studies in Society and History 24.2 (1982): 235-263.

Percival (පර්සිවල්), Robert. An Account of the Island of Ceylon, Tisara Prakasakayo, 1975.

Perera (පෙරේරා), Nihal. ‘Feminizing the City Gender and Space in Colonial Colombo.’ (67-87) Trans-Status Subjects: Genders in the Globalization of South and Southeast Asia, eds. Esha Niyogi De and Sonita Sarkar. Duke University Press, 2002.

Perera (පෙරේරා), S.G. The City of Colombo 1505-1656, 1926.

Pieris (පීරිස්), Paul E. Ceylon: The Portuguese Era, 2, Tisara Prakasakayo, 1983.

Sharma (ශර්මා), Priyatosh. ‘Identifying the chief Trading Emporiums in Indian Ocean Maritime Trade c.1000-c.1500.’ Researchers World Journal of Arts, Science & Commerce 5.2 (2014): 131-142.

Wickramasinghe (වික්‍රමසිංහ), Nira. Slave in a Palanquin Colonial Servitude and Resistance in Sri Lanka. Columbia University Press, 2020.