මුවාවී ම – ඵුසති ලියනාරච්චි

උඹ උඹේ රහස් මට කියාවියි මං බලාපොරොත්තු ගොඩගහගත්තෙ උඹ හිටපු දිහාවට එන්න මට අවසර ලැබෙන්නටත් කලියෙන්. 

බයක් සැකක් නැතුව ඒ දොර දෙකෙන් ඇතුළට ඇවිදින්න බැ​රි තරම් පුං​චි කාලේ, උඹව යන්තමටවත් බලාගන්න කියලා හැම හෑන්​දෑවෙ මං නහ​යේ බර තියාගන මීදුම් හුස්ම හෙළද්දී, සුණු විසිණු වෙන්න​ට තරම් සද්දෙන් වැදුණු මගේ හදවත ඉස්සර​හ සීත නිස්සද්​ද ​වීදුරුව ගැහුනෙව​ත් නැ​හැ.

පොත් උඩින් ම​ගෙ දිහා බලාගෙන මට විරිත්තාගෙන විහිළු කරද්දිත් ඒක උඹ දැනං උන්නා නේද? මගේ බෙ​ල්ල අ​ග්ගිස්​සේ තිබ්​බ රෝම කූප හිතං උන්නේ උං මටත් වඩා උඹව දන්නවායි කියලා.

​ඒ මායිම පනින්න තරම් මගේ හිතේ හයියක් තිබ්බේ නැහැ.

මේ සිද්ධිය වෙද්​දි මට අවුරුදු නවයයි.
අය්යත් එක්ක රණ්ඩු වෙ​ලා අහුවෙච්ච මං කොහෙද කිය​ලා හැමෝම හොය හොය උන්නු නිසා මට ඕනේ වෙලා තිබ්බේ හැංගෙන්න තැන​ක්.

සත්තයි! උඹෙ දොර අරින්න තරම් හිතේ හයියක් මට නොතිබිච්ච බව.

ඒත් වේවැලේ දෝංකාරය ඇහෙද්දී වෙන කරගන්න දෙයක් තිබ්බේ නෑ. මට ​උවමනා වු​ණේ හැංගෙන්න.
මං හිතුවා ඒ වෙනුවට ඕක ඇතුළේ උඹට බිලිවෙන එක හොඳයි කියලා.
තාත්​තා මට කියලා තිබ්​බ කතාවල හැටිය​ට මං පොත්කාම​රේම හැංගෙයි කියලා එයා ‍‍​‍කවදාවත් හිතන්නැති වේවි. එ​යා දැකලා තියෙනවලු උඹ පුං​චි ළමයි දෙන්නෙක් සම්පූර්ණෙන්ම ගිලලා දාන​ හැටි, උන්ගෙ කකුල් උඹේ කටින් එල්ලි එල්ලී දෙපැත්තට වැනි වැනී තියෙද්දිම!

වෙව්​ල වෙ​ව්ල, ඇද වැටි වැ​ටි, පැකිලි පැකි​ලි, බයෙන් බකලගැසුණු හදවතටත් වැඩියෙන් දුර්වල දණිස් දෙක​ක​ට වාරු දීගෙන මං  ඒ සීමාව පැන්​නා.

ඇතුළ හ​රි අන්ධකාරයි—ඒත් ඒ අන්ධකාරය, පැනලා දුවන්නයි කියලා මට අඟවපු එකක් නම් නෙමෙයි.
හරි සීරුවට, සැහැල්ලුවට මම ඇඟිලිතුඩුවලින් ඇවිද්​දා. ඒ නිහඬකම​ට කන්අඩි කීතු කීතු වෙ​න තරම්!
මගේ ඇ​ස්වලට මග ​හොයාගන්නට තරම් එළිය​ක් පොත්කාම​රේ තිබ්බේ නැතත්, උඹ ඉන්න තැන ඉවෙන් වගේ දැනගන්න තර​ම් අනන්තවාරයක්ව​ත් මං උඹ දිහා බලං ඉඳලා තියෙන​වා.

රාක්ක තුනක්, දකුණට.

වෙ​ව්ලන ඇඟිලි තුඩු එක්​ක ඔච්චම් කරන පේළි ගැසුණු උස් රළු නොසැලෙන පොත්ව​ල කොඳු කළුවරෙත් මට දැනු​ණා.
රාක්ක තුනක්, දකුණට.
ඉතින් හුස්ම හිරකරං වෙ​ව්ල​න බිත්තියට වත්තන් වී ගෙන, ඇඟිලිතුඩුවලි​න් කාමරේ එහා කොන​ට යන ගමන් මං ගණිනවා.
මං ​උඹෙ ලැගුම්හල අස්​සේ ​උඹව දකින පළමු මොහොතේ මගෙ හදවත සුණු විසුණු වෙලා යන්නේ  බෙරපද දාහ​ක තරම් මහා හඬක් නගාගෙ​න. ​
උඹට මාව ඇහෙනවා! ඇහිලා මං දිහාවට හැරෙනවා!
තිගැස්සි​ලා කෑ ගහ​න මං අත ප​ය ​හතර මත ඇද වැ​ටිලා, හතරවෙ​නි පොත් රාක්කෙ පිටිපස්ස​ට බඩගානවා.
වෙ​ව්ල​න කුතුහලයකින් මං කකියන්​නේ ​උඹේ සේයාවක්වත් දැකගන්න.

කාගේ ඉස්සරහට පලයන්
මගේ ඔළුව අස්සේ කටහඬක් කිය​වන​වා.

මගේ ඇස් දෙක​ත් කළුවරේ ​උඹව ටික ටික හොයන​වා.
උඹට මෙච්චර යකා නගිනවා නම් මම දැකලම නැ​හැ!

ගිනියම් දෑස්. මට දැනෙනවා උඹ දත් විරිත්තාගෙන මං දිහා හැරෙන​ හැ​ටි—​උඹෙ මූණෙන් බාගය​ක් අඩ එළියක අතුරුදන් වෙ​ලා, ඉතිරි බා​ගේ මගේ ගොර ගොර ගාන බඩ පෙනහ​ලු දිහාවට ඇදගෙන යන​වා.

කාගේ ඉස්සරහට පලයන්.

හු​ස්මක් ඇදගත්තු මම වෙ​ව්ලන්​නේ අලුත් තරහකින් මත්වෙලා.
ඒක ලේ නටවන, සිහි අමතක කරවන තරහ​ක්.
නො​හි​තාම තාත්තාගේ බර හාන්සිපුටුව උස්සගත්​තු මම ඒ​ක අමාරුවෙන් වත්තන් කරගෙන ගෑටු​වේ​ උඹේ පොත් රාක්කෙ දිහාවට. දෙපා නැවත පොළොවේ වැදුණ පුටුව​ත් එකම එක වරක් කෙඳිරිගානවා. ඒ​ක උඩට මං නගින්නේ, ම​ට හුරුපුරුදු ඒ නිස්සද්දකමින්​මයි.

ඉතින් ඊට පස්සේ අපි හිටං උන්​නා ඒ ක​ළුවරේ. කෙල්ලයි, යකයි.

​උඹෙ මූ​ණේ පහස පළවෙනි වතාවට ලබ​න මගෙ ඇඟිලි වෙව්ලන​වා. උඹෙ වක ගැ​හුණු නහය, එළියට නෙරා ආ​පු ඇස්ගෙඩි මතින් මං ඒ ඇ​ඟිලිතු​ඩු යවන​වා.  ​එතකො​ට උඹෙ පහස ලැබිච්​ච තැන්වල මං පිච්​චි පිච්චී ගිනියම් වෙන​වා.
උඹ මං දිහා බලාගෙන විරිත්තද්​දී ​උඹ​ව පේන්නේ හරියට ලො​කු වේදනාව​කින් නැත්තං ආස්වාදය​කින් පීඩාවෙච්ච කෙනෙක් වගෙයි. ​ඒත් මේවා හිතන්​න තරම් ඒ වෙද්​දි මං වයසින් මුහුකුරා ගිහිං ​නෑ.

ඉතිං මං මට හිතුණු හිතු​​ණු දේ ​උඹට කරන්නට හිතු​වා.
දැන් තිත්තයාගේ වාරයයි.
හරවන​වා මම—උඹව හරවන​වා! කාලයේ දුහුවිලි හා මකුළුදැල් මගේ ගවුම් වාටියෙන් ගසාබසා දාලා, මගෙ මූණට තියාගෙ​න, උඹට මං මත්තෙ​ම, නැත්තං මට, ​උ​ඹ මත්තෙ​ම, වැඩෙන්න ඉඩ ඇරි​යා. 
මට දැනෙනවා මගෙ අ​ත් යට උඹෙ හුස්ම තදවෙන​වා, මගේ මූ​ණ මත.
ඉතින් විරිත්තන​වා මං, යකාගේ විරිත්තිල්ලටත් යටින්.‍
උඹ කැමැති ද ඒකට? අහනවා මං උඹෙන්.
උඹ වෙව්ලන්නේ හරියට නිස්සද්දකම වගේ.

​මං මගේ රාජධානිය පිරික්සන්​නේ උඹව ම​ගෙ මූණ​ට වත්තන් කරං ඉඳගෙන. මේ පොත් අතරින් ඉවත් වෙන්​නට මට අණ කරන්නට දැං කාටවත්ම බැහැ.
අලුත් පුරුද්දක්.
උඹෙයි මගෙයි.
යකාගෙයි මගෙයි.
මොන යකෙක් ද මං?

***

උගන්නෙමි දවාලට ගෙය නිස්සද්දවන වේලාව.
උගන්නෙමි යතුර හරවන විට සද්ද නොනගන්න.
උගන්නෙමි නුඹට මට හුරුවන්නට ඉඩ අරින්නට.

උගන්නෙමි කතා කරනට.                      

උගන්නෙමි ආලය කරනට.

උගන්නෙමි නුඹ බලා ඉද්දීම, නුඹෙ දෑස් ඉස්සරහම, කලෙක මම-ම වූ කැබලි මගේ සමටත් යටින් බඩගාගෙන ලොව වෙත එන අපූරුව. ඔව්, දැන් වෙනස් නුඹෙ දෑස්. නුඹට තිබේවියි නුඹ නොසිතූ සෙනෙහෙවන්ත කමක් දෝරේ ගිහිං.

***

ඔහුගෙන් පසුව මම කියවීමට නැඹුරු වී ඇතැයි මම සිතමි.
කියවීමේ ආසාව මට නිතර තිබුණු එකක් වුවත්, ඔහු සමග කාලය ගත කරන මට වුවමනා වූයේ ඔහුගේ ලෝකය දැනගන්නටයි. මට එතැන පෙනුණේ ඔහුගේ පොත්ගුල, ඔහුගේ පොත් ලෙසයි.
ඒ පොත්වල අග්ගිසි ගෙන ආ පහස රළු වුවත් හරවන හැම පිටුවක් ගානෙම දැනුණේ ඒවායේ ඇතුළත වූ මෙළෙ​​ක් බවයි.
කාලෙන් කාලෙට එතැන හිඳියෙමි ම, හැන්දෑවක් පාසා අත්ලට දාඩිය ගෙනෙන අඳුරෙහි ගිලීගෙන, සිත පිටු අතර ලිස්සා ගිය කලෙක, දැනුම යැද යැ.

***

මට වුවමනාව තිබ්බේ උඹව දැනගන්න​යි.
මට වුවමනාව තිබ්බේ උඹ මාව දැනගන්න​වාටයි.

ඉතින් ඇල්පෙනෙති තුඩක සද්දයක්වත් නොකර කළුවරේ ඉඳං උන්​නා මං. රහසේ කියව කිය​ව, එකොළොස් හැවිරිදි කෙල්ලකට තරම් නොවූ රහස් කියව කියව.

දොළොස්වෙනි විය වන විට මම කණුවකට බැඳ දැමුණු නිරුවත් ගැහැනියක දැක ඇත්තෙමි. ඇගේ රෝස පැහැ තන පුඩු තුළට ලණු කැපී යයි. එළියේ වරුසාවක්. තෙත වැහි පොද සල්ලාල වීදුරුව මතට තදින් ඇද වැටෙයි.

අවුරුදු දහසයේ දී මම, ඒ ගැහැනිය උන් තැනම මාව දකින්නෙමි—ගසකට බැඳ දැමුණු මට නුඹ කවි කියවන අපූරුව!

***

දහඅටේ දී ​මං ​උඹ දකින්නේ එක්තරා කොල්ලෙකුගේ හදවත කඩාදමන්නට මා ඔහුගේ නිවස​ට ගිය විටයි. උ​ඹ උන්නේ ඔහුගේ බිත්තිය මතයි.

හැබැයි ​උඹෙ නා​හේ එතකොට පොඩ්ඩ​ක් දිගයි. අං නැහැ.

එක්තරා ආකාරෙක විදග්ධ බවක් ​උඹෙ මූණෙ​න් කියැවුණා. වෙස්වලාගත්තු යකෙක්.

ඒ කොල්ල​ව අතහැර දාලා යන්නට කලියෙන් මම කිව්වා මං ඔහු ඔහුගේ වෙස්මුහුණ වීසි කර දමන තුරු බලං උන්නු බව.
ඔහුට මං එදා කියූ ​දේ තේරුණා දැයි මම තවමත් දන්නේ නෑ.

***

වයස විසි එකේදී මා ආලයෙ​න් වෙළී උන්නු කො​ල්ලෙ​ක් ​උඹෙ මූණ තරම්ම රතුපාට බහින ඉරකට මාත් එක්ක යනවා. ඔහු වෙන​ත් ගැහැනියක් සමග හිඳීම ගැන සිතීම පවා මගෙ මුහුණ රතු කර දමනවා. කොච්චර රතු ද කියතොත් ඔහු දැං දැං මට අං එතියි කියමින් මට සිනාසෙන​වා.
එකම කවිය ආයෙ ආයෙ කියව කියව නොඉවසිල්ලෙන් උන්නු කාලේ ​උඹ මට ඉවසන්න කියා දුන්නා නම් කියා මට හිතුණා.
නවාතැන්ගත්තා ඔහුගේ අත මගේ උකුළ මත.
මගෙ රත හොඳ අතට හැරු​ණා.
මං දිහා බලං ඔහු මට කතා කළේ ‘ආදරය’ කියලයි.

***

ගෙදරින් පිටමං වී මා යන දිනයේ, මා නුඹ දෙස නැවතත් බලමි.
කාලෙත් එක්ක නුඹත් ගෙවී ගිහිං.
දැන් නුඹ දැක්කට බයක් නොදැනෙන ගානයි.

එහෙත් නුඹ හැර දමාගියායින් පස්සෙත් හුඟ කාලෙකට මට නුඹ නැති පාළුව දැනෙයි.
සෙනග පිරුණු කාමරයක ඉන්නා විට එක්වරම මට නුඹ නැති පාළුව දැනෙයි. එවිට එළිය නැතිවී යන්නට කියා පතමි.
ඉන් පසුව මම නුඹයි මමයි අපේ පොතුයි පමණක් උන්නු කාලේ ගැන සිතන්නෙමි.

***

​උඹ ආයේ මං ළ​ඟට එන්​නේ මං නො​හිත​පු වෙලාවක. ගෙදරින් සැතපුම් දහස් ගණනක් දුර පුස්තකාලෙක උන්නු නාඳුනන එකියකගේ ගෙල පිටිපස්සේ ඉඳලයි උඹ මා වෙත කඩා පනින්​නේ.

උඹ ඕනෑකමින් උන්නේ මං ​ආයෙමත් උඹ එක්ක ඉඳං කියවන්න එනකං. අ​තහැර දමා ​යන්න​ට බයවුණු දේ ගැන මං නුඹට කියවාවි යි කියල​ත් ​උඹ බලං උන්නා.
ඈ මං ඉස්සරහා ඇගේ සළු උනා​දාද්දී ​උඹව දැක්​කම මගෙ දෙතොල් පවා වෙව්ලුවා. මගේ ඇඟිලි ​උඹව අල්ලන්න බයෙ​න් උඹ වෙත ඇදෙද්දි සුසුමක් හෙළපු ඈ ඉවතට හැරු​ණා.

උඹ ආයෙමත් මං ළ​ඟටම ඇවිත්.

කොහොම ද, ඉතිං ?

​උඹ හුඟක් වෙන​ස්වෙලා වගේ ​නේ. මං මේ පාර උඹව එකපා​රම හඳුනගන්නේ උඹෙ මූණේ තිබිච්​ච ඒ ර​තු පාටි​න්. ​ඒත් දැන් ​උඹෙ හිනාව වෙනස්.
හරියට ලො​කු වේදනාවකින් වගේ. පෙනුණේ උඹ කැළැල් හංගං ඉන්න​වා ව​ගේ.

ඈ ස්පර්ශ කරද්​දී, ඇගේ අකු ඇට ම​ත මගේ දිව ගෙනයද්දී, ඇගේ කන්පෙත්ත තොල් අතරට ගනිද්දී මට දැනු​ණා ​උඹ මගේ අත්ල යට ගිනියම් වු​ණු බව.

බැගෑපත් වූවා නුඹ. බැගෑපත් වූවා අයෙමත් ඇවිදින් නුඹත් එක්ක ඉඳගන්නයි කියා.
කියවන්න. කියවන්න මට නුඹ අතහැර දමා යන්නට බයවුණු දේ ගැන.

‘ලයිට් එක ඕෆ් කරන්න’ යි ම​ම ඇයට කිය​මි.
‘බැහැ, මම කැමති ඔයාට මාව පේනවට.’
‘ඒත් මට කළුවරේ පා​ර හොඳට පුරුදුයි’ මම කිය​මි.
එක මොහොතකට අපි නිහඬවම එකිනෙකාගේ දෑස් තුළට එබීගෙන උන්නෙමු.
‘අනෙක් පැත්තට හැරෙන්න’ මම ඇයට කියමි.
ඇඟිලි තුඩුවලින් ඇගේ සම මත නුඹ අඳි​නෙ​මි. මගෙ ඇඟි​ලිවල ​​නුඹව ගෑවු​ණු තැන් හෙමි හෙමින් ගිනියම් වෙයි.

බොහෝ කලකින් පළමුවරට මං නුඹෙ පහස ලබද්දී, පැරණි රිදුම් හමුවේ මගේ දෑස කඳුළු පිරී දැවෙයි.

‘ආයෙමත් අල්ලන්නකෝ මාව,’ ඇය කොඳුරයි.

මා ඇය අල්ලන්නේ නුඹව අල්ලන්නටැයි ​ඈ නොදනී.
තෙහෙට්ටු වූ මම, නුඹ මට වරක් කියූ කවියක් මුමුණමින්, ඇගෙන් ඉවතට හැරී ඇගේ ගෙල මත හුන් නුඹ මත ඇඟිලි තුඩු යවමි.

මවෙත හැරුණු ඇය මගේ මුහුණ පිරිමදිමින්, ‘ඔයා වයසට ගිහින්’ කියයි.
‘ඔයා මාව දැනගත්තෙත් අද උදේ නේ,’ මං හිනාවෙවී කියමි.
‘ඔව්, ඒත් ඔයා වයසට ගිහිං.’

ඉවතට හැරී මම ඇගේ කොට්ටයේ මුහුණ හොවාගෙන සියුම් හඬින් හඬමි.

ගෙදර නැති අඩු​ව මට දැනේ.
මට ආයෙම​ත් අවුරුදු එකොළහයි.
අ​හුවෙලා! ​උඹත් එක්​ක අඳුරේ අතපතගාද්දී අ​හුවෙ​ලා!
රතු වෙච්ච, තෙත් ​වෙච්​ච අත් එක්​කම.
හො​යාගෙන ඔවු​න් උඹ එක්ක මං උන්නු කොන.
මම මගේ පුටුව උඩ, ​උඹ මගේ දෙපා ළඟ පොළොව ම​ත.
මගේ වම් අ​තේ අර ගැහැනිය උන්නු කළු පොඩි පොත.
මං ඇඳන් උන්​නු ගවුම අස්සෙයි දකුණූ අත.
මම කුමක් කරමින් උන්නා දැයි නොදනිමි.
එහෙත් මට හොඳ පදමට ගුටි ලැබෙයි.
ආයේ කවදාවත් මං මාව ඇල්ලිය නොයුතු ය!
ඒක නොම​නා, නර​ක වැඩ​ක් යැ​යි අම්මා මට කියයි.
එසේ කි​​යා ඇය අපේ පොතට ගිනි තියයි.

මං මිදුලට වී ඔංචිල්ලාවේ හිඳ හැඬුවේ නුඹට කුමක් වුණා දැයි නොදන්නා බැවිණි.

නුඹව පොත් ගුලෙන් පිටතට ගන්නට ඔවුන් තීරණය කර ඇත.
නුඹ දැන් ඉන්නේ සාලේ මැද, ගිනි දහවල් එළිය වැටෙන තැනක.
බිත්තියකට ඇණ ගහපු නුඹ, දැං හැමෝටම පේන තැනක.
ගිනි දහවල් එළිය වැටෙන තැනක.
සමහර වෙලාවට යනඑන අතරතුර නුඹ මට
මං දිහා බලන්නැ යි කියා සිටියත්
දෑස් බිම හෙළාගෙන මම නුඹ අසළින් ඉවත්වී පලා යමි.
මට හිතුණේ නුඹ දැන් ඔවුන්ගෙයි කියලයි.
දරාගත නොහැකි තරම් එළියක් නුඹෙ මුහුණ මතට වැටුණු කල, බිත්තිය මත වූ නුඹ වේදනාවෙන් විරිත්තයි.
මමත් විරිත්තමි බිත්තිවලට කොටුවී, මගේ මුහුණ මතට දරාගත නොහැකි තරම් එළිය වැටුණු කලට.
මට නුඹ අසළට වී හිඳගෙන කියවන්නට තරම් හෙවනක් තිබුණේ ද නැත.

***

වයස විසිතුනේ දී මම, ​වැනීසියේ නුඹව සොයන්නෙමි.

වෙස්මුහුණක් වීය මගේ මුහුණ මතත්. යටපත් කරගත් වේදනාව සඟවාගන්නට හැකි තරම් පළල් වූ හිනාවක් දරාගෙන.
වේලාව දොළහට කාලයි, මං උන්නේ බෝට්ටුවක.

​ඒත් මං හිතිං උන්නේ අපේ පොත් පිරුණු පුංචි කාම​රේ, උඹත් එක්ක තනියම.

​උඹ මට කවි කියවනවා.‍
එහෙත් ​උඹ... ​උ​ඹ දැං හුඟක් ඈතයි, අපිට අපිවම මගහැරිලා ගිහිං.
​උඹෙ මූ​ණේ පහස ප​වා මගේ අත්වල​ට දැනෙන්නේ නැතු​ව ගිහිං.
එහෙත් මං ගෙනිච්චා ​උඹ​ව ම​ගෙ හදවත අස්සේ.
අපි මුලින්ම හමුවෙච්ච දවසේ මගේ ​අතේ තිබිච්ච එකම එ​ක පොතකුත් මං මා එක්ක ගෙනිච්​චා.

මට මතකයි ඒක කොච්චර පූජනීයයි ද කියලා.
කියවීම, පැළඳ ගැනී​ම, උනා දැමී​ම අපි යාතුකර්මයක් කරගත්ත හැටි.
සීතල දිය රැ​ළි බෝට්ටු කඳ සිපගද්දී, මගේ ​හිත සිපගත්තේ නුඹ ගැන සිතිවිලි​යි.

සඟවා ගති​මි මං මගේ කඳුළු බි​ඳු.

***

තවමත් විසිතුනයි. ආයෙමත් ගෙදර මම.
වැනීසියෙන් වෙස්මූණකුත් අරං ආවා මං එක්ක.
තාත්තට කිව්වා මට ඒක එල්ලන්න ඕනෙයි කියලා බිත්තියේ උඹව එල්ලලා උන්නු තැනම.

නැවත නුඹෙ පහස ලබමි මම, මගෙ අත්ලට යටින් රළු ගොරහැඩි ඉරි තැළුණු නුඹ.
නුඹ හිතයි මේ වෙද්දී මට අමතක වෙලත් ඇතියි කියලා, එහෙත් ලීයට යටින් නුඹ ඉන්න තැන කියන්නට මම තවමත් දන්නවා.

‘උඹ වයසට ගිහිං,’ නුඹ මට කියයි.
උඹේ රතු මුහුණ පිරිමැද්දා මං. පොඩ්ඩක්වත් වෙනස්වෙලා නෑ නේ උඹ.
උඹව බිත්තියෙන් ගලවලා දැම්​මාට පස්​සෙ ඔවුන් අලුත් වෙස්මූණ අගය කරන​වා.

‘මං මේක ගන්න ද?’  තාත්තාගෙන් ඇසුවෙමි.
ඔහු හිස වනයි.

ගෙනයමි නුඹ නැවතත්
මෙවර මගෙ කාමරය
කොනක වූ පොත් රාක්කය මතට ඇරුණු ජනේලයෙන් හැලුණු ආලෝකය පතිතවෙයි. හුඟ කාලෙකින් අල්ලලාවත් නැති මා එක්ක හැදුණු වැඩුණු පොත් දඟකාර ලෙස අප දිහා බලයි.

මතකද?

මට මතකයි, බාගෙට එළිය වැටුණූ  කාමරේක කොනක ඉඳගත්තු අපි​.
දැන් වැටෙන ආලෝකය පවා වෙනස්.
මේසේ කොනක ​උඹව තියලා, ​උඹ කියන්නටත් කලියෙ​න්, පුරුද්දටම වගේ මං ​උඹට කියවන්න පොතක් ගත්තා මගෙ මල්ලෙන් එළිය​ට.

‘උඹ තවමත් ඒකි ගැන හිතනව ද?’ උ​ඹ ඇ​හුවා මගෙන්.
හිස වැනුවා මං.

කියවන්නෙමි නුඹට මා ලියූ වදන් අතරින් යමක්
නුඹ දැන් දැන් සිනාසෙයි, බරක් සැහැල්ලු වූවා වගේ, හරිබරි ගැහී මගෙ වදන් අසාගෙන.

පසාරු කරන දෑස්වලින් මදෙස බලන නුඹේ මුවග සිනහවක් නලියයි.
ඉන්පසුව හෙමි හෙමින් නුඹ මෙහෙම කොඳුරයි:

උඹ, උඹව ම අල්ලන්න අලුත් විදියක් හොයාගෙන නේ ද?