පාස්කු ඉරිදා සිදුවූ අමානුෂික ප්‍රහාර මාලාව ලංකාවේ බොහෝ ක්ෂේත්‍රයන්හි ක්‍රියාකාරීත්වය තිගැස්මකට ලක් කිරීමට සමත් විය. ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතය මුළුමනින්ම අඩපණ කරන්නට මෙම සිද්ධිය හේතු භූත විය. රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් බොහෝ ප්‍රශ්න සහගත තත්වයන් මතු වන්නට ද විය. ඒ හා සමානවම රටේ ආර්ථික තත්වය ඉතාම විනාශකාරී තත්වයකට පත් වූ බව නොවළහා කිව යුතුය. පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර ලංකාවේ ආර්ථිකය ඉතාමත් හොඳ තත්වයට නොපැවතියද, සාමාන්‍ය තත්වයකට හෝ වර්ධනය වෙමින් පැවති බව බොහෝ දෙනාගේ මතයයි. මන්දයත් තිස් අවුරුදු යුද්ධයත් සමඟ රටේ ආර්ථිකයට හිස එසවීමට නොහැකි තරම් වාතාවරණයකට පත්ව තිබුණි. නමුත් යුද්ධය අවසාන වීමත් සමඟ ලංකාවට බොහෝ ආර්ථික වාසි සහගත තත්වයන් ගලා එන්නට විය. යමිකිසි තරමක හෝ ආර්ථික වර්ධනයක් අපේක්ෂාවෙන් ආයෝජනයන්ට අත්පොත් තැබීමත් සමගම එල්ල වූ මෙම ප්‍රහාරයත් සමග ආර්ථිකය සම්පූර්ණයෙන්ම පරිහානියට පත් වන්නට විය. එක් නිමේශයකින් ආර්ථිකය කඩා වැටීමට ලක් වූ එකම අවස්ථාව වශයෙන් මේ අවස්ථාව හැඳින්විය හැකිය.

 

රටේ ආර්ථිකයට දායකත්වය සැපයූ සියලූ ප්‍රධාන මූල්‍යෝත්පාදන මාර්ගයන්ට මේ ඔස්සේ දරුණු ප්‍රහාරයක් එල්ල විය. සංචාරක කර්මාන්තයට මේ හරහා ඇති වූ බලපෑම කිව නොහැකි තරම් පාඩුවකි. ව්‍යාපාර වෙනුවෙන් ලීසිං මගින් වාහන ලබාගත් ව්‍යාපාරිකයන් තමන්ගේ ලීසිං වාරිකයන් ගෙවා ගැනීමට නොහැකිව ඉතාමත් අසරණ තත්වයකට පත්ව විය. බැංකු ණය ලබා ගැනීම මගින් ව්‍යාපාරයන් පටන් ගත් පුද්ගලයින් හට ඒවා ගෙවාගැනීමට නොහැකි වී ඇත. නිෂ්පාදනයන් අලෙවි කරමින් තම ජීවිකාව ගෙනගිය ජනතාවට තම නිෂ්පාදනයන් අලෙවි කර ගැනීමට නොහැකි තත්වයකට පත්විය. පුරා මසක පමණ කාලයක් යනතුරු මිනිසුන්ට පදික වේදිකාවල හෝ වෙනත් ස්ථානවල තාවකාලික වෙළඳාම් සිදු කර ගැනීමට නොහැකි තත්වයක් උද්ගත විය. කුලී රථ සේවාවන් සපයමින් ජීවිකාව සරි කරගෙන ආ පුද්ගලයන්ගේ ආදායම සම්පූර්ණයෙන්ම අඩපණ විය. පොදු ප්‍රවාහන සේවාවන්හි ජනතාව අඩු වීම නිසා එම අංශවලටද අතිමහත් බලපෑමක් මේ ඔස්සේ එල්ල විය. මේ අනුව එකී නොකී සියලූම අංශයන්ගෙන් ආර්ථිකයට පාඩු සිදු වන්නට විය.

 

ප්‍රහාරයත් සමග රටේ බලපෑම් සිදුකරන ලද ප්‍රධානම අංශයක් වන්නේ සංචාරක කර්මාන්තයයි. පසුගිය කාලය පුරාවට පැවති රජයන්ගේ දුර්වල ආර්ථික ප්‍රතිපත්තිය හමුවේ අනෙක් බොහෝ අංශයන් ආර්ථික වශයෙන් කඩා වැටීමට ලක් වුවද, සාමාන්‍ය තරමින් හෝ ආර්ථිකයට වාසි සහගත ලෙස සුරැකුණු එකම කර්මාන්තය සංචාරක කර්මාන්තය යැයි කීවොත් නිවැරදිය. ලංකාවේ සංචාරක කර්මානත්යෙන් උපයන අදායම දෙවැනි වූයේ විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් රටට ලැබෙන ආදායමට සහ ඇඟලූම් ක්ෂේත්‍රයෙන් රටට ලැබෙන අදායමට පමණි. පාස්කු ඉරිදා ප්‍රහාරය හමුවේ ලංකාවේ සංචාරක කර්මාන්තයට බලපෑමක් එල්ලවූ හේතුවක් නම්, මෙම ප්‍රහාරයන් සැලසුම් කිරීමේදී, කොළඹ පිහිටි තරු පහේ සංචාරක හෝටල් තුනක් මෙන්ම කතෝලික දේවස්ථාන තුනක්ද ඉලක්කගත කරමින් ප්‍රහාර එල්ල කිරීමයි. ඉන් සංචාරකයින් 39කට ආසන්න ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත් විය. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සමයේ දී ඔවුන් කිසිදිනක සංචාරකයින් හෝ සංචාරක හෝටල් ආශ්‍රිතව ප්‍රහාරයන් දියත් කිරීම හෝ ඝාතනයන් කිරීමට නොපෙළඹුනද, මෙම ප්‍රහාරයේදී එසේ සිදු කිරීම ඔස්සේ සංචාරක කර්මාන්තයට මරු පහරක් එල්ල කිරීමට සමත් විය.

 

සංඛ්‍යාලේඛන විශ්ලේෂණය කර බලන්නේ නම් 2009 වසරේ යුද්ධය අවසන් වීමත් සමග ලංකාවට පැමිණි සංචාරකයින් ප්‍රමාණය 447,880 ක් පමණ විය. එය 2018 වර්ෂය වන විට 2,333,796 ක් දක්වා වර්ධනය වී තිබුණි. පාස්කු ප්‍රහාරය එල්ල වීමට පෙර ශ්‍රී ලංකාව ලෝකයේ හොඳම ගමනාන්තයන් අතර ඉහළින්ම තිබිණ. නමුත් මේ ප්‍රහාරයත් සමග එම තත්වය ආපස්සට හැරී ඇත. 2018 වසරේ සංචාරක කර්මාන්තයෙන් උපයන ලද ආදායම රුපියල් බිලියන 712කි. එය ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 5 ක් වශයෙන් මහ බැංකු වාර්තා පෙන්වා දෙයි. සංචාරක කර්මාන්තය ඔස්සේ කර්මාන්ත රාශියක් ක්‍රියාත්මක වන අතර, සමහර ප්‍රදේශවල මිනිසුන්ගේ ජීවිකාව මෙන්ම, එකම ආදායම් මාර්ගයද සංචාරක කර්මාන්තය හා බද්ධ වී තිබුණි. සංචාරක කර්මාන්තය මගින් 170,000 ක් පමණ වන ඍජු සේවකයින් පිරිසක් මෙන්ම 220,000 ක් පමණ පිරිසක් වක්‍ර ආදායම්ද ලබන බව සංචාරක මණ්ඩලය වාර්තා කර තිබුණි. සංචාරක කර්මාන්තය ඔස්සේ විවිධ භාණ්ඩ හා සේවාවන් සපයමින් 800,000 ක් පමණ පිරිසක් ජීවිකාව සපයා ගන්නා බව වාර්තාවන් පෙන්වා දෙයි. සංචාරක හෝටල් සියල්ලමගේම පාහේ කලින් වෙන් කරවා ගැනීම් සහ ඇණවුම් සියයට 70 ක් පමණ අවලංගු කර තිබූ බව සංචාරක මණ්ඩල වාර්තාවන්හි සඳහන් වේ. ලෝකයේ බොහෝ රටවල්, ලංකාව තුළ සිටින තම රටවල පුරවැසියන්ට මෙන්ම විවිධ ධූත සේවාවන්ට රටට පැමිණ සිටි ජනතාවට වහාම ඉවත් වන ලෙසත්, මේ මොහොතේ ලංකාවට ගමන් කිරීම අන්තරායකාරී බවත් නිවේදනය කර තිබුණි. ඒ හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල ඉතිහාසයේ කිසිඳු දිනක නොමැති ආකාරයේ පාළු ස්වභාවයක් ගෙන තිබුණි. ලොව ප්‍රධාන පෙළේ ගුවන් සමාගම් ලංකාව වෙත ගුවන් ගමන් තාවකාලිකව නවතා දැමීය. විවිධ සුබසාධන සේවාවන් වෙනුවෙන් ලංකාවට පැමිණ සේවයන් සිදු කරන ලද සංචාරකයින්ගේ පවුල් සම්පූර්ණයෙන්ම නැති වී තිබූ අතර, ඒවා ඉතාම අනුවේදනීය ලෙස ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණි. සංචාරක හෝටල් පාළු ස්වභාවයකින් දිස් වූ අතර, හික්කඩුව, ඇල්ල වැනි සංචාරක ආකර්ශනයන් දිනා සිටි සංචාරක ගම්මානයන් සහමුලින්ම හිස් භාවයට පත් වී තිබුණි. ඒ ආශ්‍රිතව ජීවිකාව ගෙන ගිය පිරිස් තමන්ට එදා වේල සොයාගත නොහැකි තත්වයකට පත්ව විය. ගෘහ ආර්ථිකයට මෙන්ම ජාතික ආර්ථිකයද නැවත ගොඩනැගීමට නොහැකි ආකාරයේ පසුබෑමකට ලක්විය.

 

සංචාරක කර්මාන්තය එසේ අඩපණ වී ඇති අතරම රටේ අනෙක් කර්මාන්තයන් දිනකින් දෙකකින් හෝ අඩපන කරන්නට මේ ප්‍රහාරය සමත් වූවා යැයි කීවොත් නිවැරදිය. විශේෂයෙන්ම රටේ ආර්ථික හදවත වන කොළඹ පිහිටි, කර්මාන්තශාලා මෙන්ම රජයේ ආයතනවලද නිෂ්පාදනයන් මෙනම සේවාවන් මන්දගාමී තත්වයකට පත් වන්නට විය. කොළඹ ජනතාවගෙන් සියයට 8 ක් පමණ ජනතාවක් තම ජීවිකාව සරි කරගන්නේ කුලී රථ සේවාවන් සපයිමිනි. ඔවුන්ගේ ජීවිකාව සම්පූර්ණයෙන්ම දින කිහිපයකින් නතර වී තිබූ බවක් දක්නට තිබුණි. ඊට ප්‍රධානම හේතුවක් වන්නේ කොළඹ ඇතුළු තදාසන්න පැතිවලට මිනිසුන් නොපැමිණීමයි. මිනිස්සු වෙළඳසැල් වලින් දින කිහිපයකට ආහාරපාන මිලට ගෙන නිවෙස් වලටම වී කල් ගෙවූහ. එමනිසා කුලී රථ රියදුරන්ගේ ජීවිකාව සම්පූර්ණයෙන්ම අඩපණ වී තිබුණි. රටට විශාල විදේශ විනිමයක් ගෙනෙන ඇඟලුම් කර්මාන්තශාලා දින කිහිපයකට නැවැත්වීම හේතුවෙන් එම අංශයෙන්ම දැරිය නොහැකි තරම් පාඩුවක් ආර්ථිකයට සිදු විය. තාවකාලිකව කොන්ත්‍රාත් පදනම මත ආයතනයන්හි සේවයට බඳවාගත් බොහෝ සේවකයින්ගේ ගිවිසුම් අහෝසි කිරීමට ආයතනවලට සිදු වී ඇති බව වාර්තා විය. විශේෂයෙන්ම ආයතනයන්හි ආදායම් අඩු වීමත්, වියදම් වැඩි වීමත් නිසා ආයතන බොහෝමයක් පාඩු ලබන තත්වයට පත් වී තිබෙණු දැකගත හැකිවිය.

 

පදික වේදිකාවන් මත මෙන්ම තාවකාලිකව සකස් කරගත් වෙළඳසැල්වල භාණ්ඩ විකිණීමෙන් ජීවත් වූ පිරිස් හට තම භාණ්ඩ විකුණාගත නොහැකි වීම හේතුවෙන් ඔවුන් ඉතාම අසරණ තත්වයන්ට පත්වී තිබෙනු දක්නට ලැබිණ. කොළඹට ඉතාම දුරින් පිහිටි ප්‍රදේශවල කර්මාන්තශාලා සහ වෙනත් විවිධාකාර නිෂ්පාදනයන් මෙන්ම අපනයන භාණ්ඩයන් කොළඹ ප්‍රදේශයට ගෙන ඒම දින කිහිපයකට සීමා වී තිබුණි. ඒ හේතුවෙන් රටේ අනෙක් ප්‍රදේශවල ජනතාවටද මේ ප්‍රහාරයෙන් වූ බලපෑම දැනෙන්නට විය. සමස්ථ රටටම ආර්ථික වශයෙන් එම පාඩුව දැනෙන්නට විය.

 

පාස්කු ප්‍රහාරයත් සමග සිදුවූ තවත් සිදුවීමක් නම්, ප්‍රහාරයෙන් පසුව ගොඩනැගුණු විශාල මුස්ලිම් විරෝධයයි. ඒ හේතුවෙන් අනෙක් වාර්ගික ජනයා මුස්ලිම් ව්‍යාපාර මගහැරීමට කටයුතු කිරීම ඔස්සේ ඔවුන්ගේ ව්‍යාපාර විශාල සංඛ්‍යාවක් රට පුරාම පාඩු ලබන තත්වයකට පත්ව තිබුණි. අවාසනාවට ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල කිරීමට සම්බන්ධ සියලූ දෙනාම මුස්ලිම් වීමත්, එමනිසා අනෙක් වාර්ගික කොට්ඨාසයන් ත්‍රස්තවාදීන්ගෙන් පලි ගැනීමට මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කිරීමත් ඔස්සේ සිදු වූයේ තව තවත් ආර්ථික තත්වය අගාධයට ඇද දැමීමකි. ඊට හේතු වූයේ ශ්‍රී ලාංකීය ව්‍යාපාර යන සන්නාමයට ආගම් වාදයක් ජාතිවාදයක් හෝ වර්ගවාදයක් නොමැති බව තේරුම් ගැනීමට තරම්වත් මානසික ඒකාග්‍රතාවයක් මේ අවධිය වන විට ජනයා තුළ නොමැති වීමයි. එමනිසා සමූහ වශයෙන් රට පුරා මුස්ලිම් ජනයා විසින් මෙහෙයවන ව්‍යාපාර වර්ජනයක නිරත විය. සිදුවීමට මාස හයක් ගතවන අද දවස වන විටත් ඒ තත්වය එසේම පැවතීම ඔස්සේ ජාතික ආර්ථිකය පසුබෑමකට ලක්ව ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ජාතික ආර්ථිකයට සිදු වූ පසුබෑම කෙසේද යත් 2018 වසරේ සියයට 3.2 ක්ව පැවති ආර්ථික වර්ධන වේගය, 2019 වසරේදී සියයට 4.0 දක්වා වර්ධනය කර ගැනීමට මහ බැංකුව අපේක්ෂා කළ බව ප්‍රකාශ කළද මෙම වසරේ අප්‍රේල් මාසයෙන් පසුව මහ බැංකුව ප්‍රකාශ කරන්නේ එම වර්ධනයට ළඟා වීමට නොහැකි තත්වයක් උදා වී තිබෙන බවයි. තවද ඔවුන් ප්‍රකාශ කරන්නේ තත්වය මෙසේ පැවතියහොත් ආර්ථික වර්ධන වේගය පෙර තත්වයටත් වඩා පහල මට්ටමකට ගමන් කරනු ඇති බවයි. රටක් වශයෙන් 2020 වසර වන විට ළඟා කර ගැනීමට අපේක්ෂා කරන ලද ආර්ථික ඉලක්කයන් සපුරා ගැනීමට නොහැකි වීමේ අවධානමකට ලක්ව තිබෙන බවද මහ බැංකුව පෙන්වා දේ. රුපියලේ අගය අවප්‍රමාණ වී ඩොලරයක් සඳහා ගෙවිය යුතු රුපියල් ගණන තවත් වැඩි වේ යයි ඔවුන් අපේක්ෂා කරන අතර මිල උච්චාවචනය වීම පාලනයෙන් තොර තත්වයක් කරා ළඟා වී තිබෙන බවද වැඩිදුරටත් අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා පෙන්වා දේ.

 

මේ තත්වයට පවතින රජය ඍජු වශයෙන් වගකිය යුතු බව මාගේ පෞද්ගලික මතයයි. මෙම ප්‍රහාරය වලක්වා ගත හැකිව තිබූ එකක් බව ප්‍රහාරය සිදු වී දින කිහිපයක් යන්නට මත්තෙන් වාර්තා වන්නට විය. මේ ආකාරයේ ප්‍රහාරයකට ලංකාව ඉලක්කයක් වන්නේ යැයි ජාත්‍යන්තර බුද්ධි අංශ එක් වරකට දෙවරකට වඩා වාර ගණනක් ලංකා රජය වෙත අනතුරු අඟවා තිබුණි. ප්‍රහාරයට පැය කිහිපයකට පෙරද මෙවන්නක් සිදුවන බව ලංකා රජයට තමන් දැනුම් දුන් බව ඉන්දීය රජයද වාර්තා කර තිබුණි. මෙවැනි ප්‍රහාරයක් එල්ලවන බව තමන් කලින් දැනසිටි නිසා පල්ලිවලින් ඈත් වී සිටි බවට සමහරක් අමාත්‍යවරු රූපවාහිනී මාධ්‍ය සාකච්චාවන් ඔස්සේ උදම් අනන්නට වූහ. ආර්ථිකය ගොඩ නැංවීම කෙසේ වෙතත් එම අවස්ථාවේ අගමැති, ජනාධිපති, විපක්ෂනායක ඇතුළු සමස්ත පක්ෂ විපක්ෂ දේශපාලකයින් කපටි ආකාරයෙන් තමන්ගේ පෞද්ගලික දේශපාලන වාසි ලබා ගැනීමට තැත් කළ බව සියලූම ජනතාවට පසක් වී තිබුණි. ආර්ථිකය ගොඩ නැංවීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමක් වාර්තා නොවීය. ඒ වෙනුවට මුදල් අමාත්‍යවරයාගේ විශ්ලේෂණය වූයේ ප්‍රහාරයට පින් සිදු වන්නට රටට විශාල ආධාර ප්‍රමාණයක් ලැබුණු බවයි. එනමුත් සමසක් ගතවන මේ මාසය දක්වාම එම මුදල්වලින්, කඩා වැටුණු ආර්ථිකය ගොඩ නැංවීමට කිසිඳු පියවරක් ගෙන තිබෙනු අපට දක්නට නොමැත.

 

සංචාරක කර්මාන්තය නැවත ඉක්මනින් ගොඩ නැංවීමට රජය විසින් කිසිඳු පියවරක් ගෙන තිබෙනු අපට දක්නට නොමැත. සංචාරක කර්මාන්තය නගා සිටුවීමට ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවද එහි වාර්තා ඉදිරිපත් කිරීමක් හෝ ගත් පියවරක් අද වනතුරු දක්නට නොමැත. විශේෂයෙන්ම තමන් ව්‍යාපාරයන් ආරම්භ කිරීමට බැංකු මගින් ලබාගත් ණයවල එක් මසක හෝ දෙමසක ණය වාරිකයන් කපා හැරීම හෝ අඩු කර දෙන මෙන් කොළඹ ව්‍යාපාරික සංගමය රජයෙන් ඉල්ලීමක් සිදු කළ අතර රජය ඊට එකඟ වුවත් තවමත් ක්‍රියාවෙන් සිදු වී නොමැත. විපතට පත් වූවන්ට මෙන්ම ව්‍යාපාරයන්ට අතහිත දීමට අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් රුපියල් මිලියන 500 අරමුදලක් පිහිටවූ අතර ඊට රජයේ දායකත්වය මිලියන සියයක් පමණි. අනෙක් මිලියන 400 ක මුදල විදේශ ආධාර මත වන බව රජය ප්‍රකාශ කළේය. මේ ඔස්සේ රජය තමන්ගේ වගකීම අකාර දෙකකට පැහැර හැර තිබේ. පළමුවැනි කාරණාව වන්නේ වළක්වා ගැනීමට හැකිව තිබූ ප්‍රහාරයක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීමත්, ප්‍රහාරය හමුවේ කඩා වැටුනු ජාතික ආර්ථිකය ගොඩනැගීමට කිසිඳු පියවරක් නොගැනීමත්ය. ආර්ථිකය ගොඩනැංවීම සඳහා ජනතාවට සහනදායී වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීම වෙනුවට ඔවුන් සිදු කරන්නේ එම ආර්ථික පාඩුවද ජනතාව වෙත පටවමින් අත්‍යවශ්‍ය ආහාර හා සේවාවන්ගේ බදු මුදල් වැඩි කිරීම හා දඩ මුදල් වැඩි කිරීමයි.

 

සංචාරක කර්මාන්තය හා අනෙක් සියලූ කර්මාන්තයන් නැවත ගොඩ නැංවීමට රජය විසින් ගතයුතු මුඛ්‍ය පියවර වන්නේ ජාතික ආරක්ෂාව ජාත්‍යන්තරයට දැනෙන පරිදි තහවුරු කිරීමයි. ඉන් පසුව පිටරට සංචාරකයින්ට සහ ආයෝජකයන්ට ලංකාවට එන ලෙසට ආරාධනා කළ යුතුය. නමුත් මාස හයක් ගතවන අද වන විටත් ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට රජය අපොහොසත් වී තිබෙන බව පෙනෙන්නට තිබේ. මීට කදිම නිදසුනක් වන්නේ රට තුළ සෑම ප්‍රදේශයකම අවි අමෝරාගත් හමුදා භට පිරිස් නිතර නිතර වීදි සංචාරය කිරීම හා සැතපුම් කිහිපයකට වරක් සක්‍රීය හමුදා භට පිරිස් සහිත හමුදා හා පොලිස් මුර පොලවල් පිහිටුවා තිබීමයි. අනෙක් කාරණාව වන්නේ නිතර නිතර වාහන වෙත කඩා පනිමින් සිදු කරන පරීක්ෂා කිරීම් ය. ඒ ඔස්සේ විදෙස් රටවලට ඇතිවන සංඥාව වන්නේ තවමත් රජය, ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අපොහොසත් තත්වයක පසුවන බවයි. එමනිසා ත්‍රස්තවාදීන් අල්ලා සිරගත කිරීම තුළින් හෝ කිහිප දෙනෙකු මරා දැමීම තුළින් ජාතික ආරක්ෂාව සම්පූර්ණ කිරීමට හැකි යැයි සිතීම අතීසාරයට අමුඩ ගැසීම වැනි ක්‍රියාවකි. සාමාන්‍ය ජනතාවගේ ගමන් මල්ල හෝ ඇඟ පත අතගා බැලීමෙන් පමණක් රටක ජාතික ආරක්ෂාව තහවුරු කර නොහැකි බව රජය තේරුම් ගත යුතුව ඇත. රටේ ආරථිකය ශක්තිමත් කිරීමට නම් නොවලහා ගතයුතු පියවරක් වන්නේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමයි.

 

විශේෂයෙන්ම 2019 වසර අවසානයේ ජාතික ආර්ථිකයේ අපේක්ෂිත අරමුණු කරා ළඟා වීමට නම් වැටුණු තත්වයෙන් හැකි ඉක්මනින් හිස එසවිය යුතුය. ඊට ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවක් මතු වී තිබේ. කුඩා පරිමාණ ව්‍යාපාරයන්ට තමන්ගේ ව්‍යාපාරයන් පෙර පරිදි වැඩිදියුණු කර ගැනීමට සහනදායී ණය මුදලක් හෝ ආධාර මුදලක් ලබාදීම අනිවාර්ය කටයුත්තක් වේ. මාස හයක් පුරාවට ඉතාම පහළ මට්ටමක පවතින අපනයන ආර්ථිකය නංවාලීමට ක්‍රමෝපායික සැලැස්මන් කෙරේ මුදල් අමාත්‍යංශයේ අවධානය යොමු කළ යුතුව ඇත. සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීම සඳහා පිහිටවූ ජනාධිපති කාර්ය සාධක බලකායේ නිර්දේශිත යෝජනා කෙරෙහි ඉතා ඉක්මනින් අවධානය යොමු කරමින් ඒවා ක්‍රියාත්මක කිරීමට, මාස හයක් ගතවන මේ කාලය වනවිට රජය විසින් වගබලා ගත යුතුය. මන්දයත් අද වනවිටත් ලංකාවට සංචාරකයින් පැමිණීම සාපේක්ෂ අඩු මට්ටමක පවතී. ආර්ථික තත්වය වර්ධනය කිරීමට සිදුකළ යුතු තවත් කර්තව්‍යක් වන්නේ සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්වය තහවුරු කිරීමයි. සාමන්‍ය ජනයා පෙර පරිදි පාසලට, වෙළඳපොලට, සාමාන්‍ය එදිනෙදා වැඩකටයුතු සඳහා නගරයට පැමිණෙන්නේ නම් ප්‍රදේශයේ බොහෝ දෙනෙකුගේ ව්‍යාපාර සාමාන්‍ය පරිදි සකස් වේ.

 

කෙටි කාලීන ක්‍රියාමාර්ග මෙන්ම දීර්ඝ කාලීන ක්‍රියාමාර්ග ඔස්සේ ජාතික ආර්ථිකය ගොඩනැංවීමේ මෙහෙයුමකට ඔබ අප සැමටම සම්මාදම් වීමට සිදුව තිබේ. ආර්ථිකය ගොඩනැංවීමට රජය පාර්ෂවයෙන් ගන්නා විවිධ ක්‍රියාමාර්ගයන්ට සහය දැක්වීමට ජනතාවද වගබලා ගත යුතු බව අවධාරණයෙන් ප්‍රකාශ කළ යුතුය. ‘‘ත්‍රස්තවාදී බිය’’ ලංකාව තුළ සහමුලින්ම තුරන් කිරීම රජය පාර්ශවය සතු වගකීමක් වන අතර ඒ පණිවුඩය රට තුළට මෙන්ම ඉන් පිටතටත් ගෙනයාමේ වගකීම ජනතාවද සතු වේ. වාර්ගික පදනමක් ඔස්සේ වෙළඳ ව්‍යාපාරයන් ලඝු කොට සැලකීම නොකළ යුත්තකි. සාමාන්‍ය මුස්ලිම් ජනතාවට එල්ලවන චෝදනාවලින් තමන් නිදහස් වීමට නම් ඔවුන්ද සමාජය තුළ පැහැදිලි භූමිකාවක් රඟ දැක්විය යුතු බව ඔවුන්ද තේරුම්ගත යුතුව ඇත. ආර්ථික තත්වය අයහපත් මට්ටමකින් ගමන් කරන්නේ නම් එය රටේ සියලූ අංශයන් කෙරෙහි එක ලෙස බලපානු ලබයි. සුබසාධනයට, සේවාවන්ට, නිෂ්පාදනයන්ට ආදී සියලූ අංශයන්ට එහි බලපෑම එල්ල වේ. සමාජයේ සියලූ අංගයන් එක් දාමයක් සේ ගමන් කරන අතර ආර්ථිකය එහි ප්‍රධාන රැඟුම්කරුවෙකි. එමනිසා පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය ඔස්සේ මැලවී කඩා වැටීමට ලක්වූ ජාතික ආර්ථිකය නැවත පණ නංවා ඔසවා තැබීමට රජය පාර්ශවයට සහ සාමාන්‍ය සියලූ ජනයාටම කුඩා හෝ වගකීමක් තිබෙන බව තේරුම් ගෙන ක්‍රියා කළ යුතුය.