පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සිදුවන අවස්ථවේදී මා මහනුවර සිට කොළඹ බලා පැමිණෙමින් සිටි අතර මාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබෙන්නේ මාගේ මිතුරෙකුගෙනි. ඔහු විසින් ඇසුවේ කොළඹ නගරයෙහි සිදුවූ බොම්බ පිපිරීම් කිහිපයක් සමබන්ධයෙනි. නමුත් ඒ වනවිට මා ඒ සම්බන්ධයෙන් කිසිදු විස්තරයක් නොදත් අතර බස්රථයේ සිටි නිසා කිසිදු තොරතුරක් ලබා ගැනීමේ අපහසුවක් ද තිබුණී. මා සුපුරුදුපරිදි මාගේ facebook  ගිණුමට ඇතුල් වූයේ මා සෑම විටම ඉතා ඉක්මනින් තොරතුරු ලබාගන්නා ක්‍රමය එය වූ නිසාවෙනි.

2010 වර්ෂයෙන් පසු ශ්‍රී ලංකාවේ මාධ්‍ය සහ මාධ්‍ය හැසිරීම මෙන්ම මාධ්‍ය සදාචාරයන්ද වෙනවම වූ මාවතකට යොමු වන්නේ සමාජමාධ්‍යජාලාවන් හරහා නිරන්තරයෙන් රටේ ජනතාව සාමාජීය සහ දේශපාලනික වශයෙන්  තම මතයන් හුවමාරු කිරීමත් සමගය. මෙමගින් සිදුවූයේ පවතින රජයන් හට තමාට රිසිසේ ප්‍රධානජාලාවේ මාධයන් හැසිරවීම තුළින් පමණක්ම තම පක්ෂපාති මතයන්  මෙන්ම දේශපාලන ජයග්‍රහනයන් වෙනුවෙන් මාධ්‍යය හැසිර වීම ප්‍රමාණවත් නොවීමය. මෙයට කදිනම නිදසුන නම් 2015 ජනාධිපතිවරණයේදී ජනතාව තම දේශපාලන මතයන් සමාජමාධ්‍ය හරහා හසුරුවන ලද ආකාරයයි. මන්ද එවර පත් වූ ජනාධපතිවරයාගේ ජයග්‍රහණය සඳහා සමාජමාධ්‍ය හරහා සිදුවූ ජනතා විප්ලවය සෘජුවම බලපාන ලද  දෙයක් වූ නිසාවෙනි. මෙමගින් මා හට පිළීබිඟු වූ දෙය නම් රටේ පුරවැසියන් ලෙස තම මතයන්, අදහස් හුවමාරු කරගැනීමට සහ පවතින සමාජීය තත්වයන් නිර්වචනය කිරීමටත් සමාජ මාධ්‍යජාලයන් ධනාත්මක බලපෑමක් ඇති කරන බවයි.

 මා මේ ලිපියෙන් අවධානය යොමුකිරීමට උත්සහ කරන්නේ අප්‍රේල් 21 ප්‍රහාරයත් සමගම රටේ ජනතාව, ප්‍රධානජාලාවේ මාධ්‍යයන් මෙන්ම රජය කෙසේ සමාජමාධ්‍යය තුල ක්‍රියා කලේද යන්න සම්බන්ධයෙනි. එසේම පාස්කු ප්‍රහාරයේ සිදුවූ හානිය පිළිබඳව මූලික අවධානය යොමු කිරීමට අදහස් නොකරන අතර මෙවැනි සදුවීම් සිදුවූ අවස්ථාවන්හීදී සමාජ මාධ්‍ය හැසිරීම පිළිබඳව අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. මන්ද එහි උච්චතම අවස්ථාව ලෙස රජය විසින් සමාජමාධ්‍ය තහනමක් දැමීම සිත්ගන්නාසුළු වූ දෙයක් නිසාවෙනි. එසේම මෙම තහනම රටේ පුරවැසියන් හට ලද පළමු අත්දැකීමම නොවූ අතර 2018 වර්ෂයේදීද මහනුවර ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන් කාරී තත්වයකදී රජය විසින් මෙවැනිම තහනමක් සිදුකරන ලදී.  මේනිසා ශ්‍රී ලංකාව තුල තොරතුරු හුවමාරු මාධ්‍යක් ලෙස සමාජ මාධ්‍ය කෙසේ ක්‍රියා කරන්නේද යන්න සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ. මාගේ ලිපිය ආරම්භයේදීම මා ප්‍රකාශ කල දෙය නම් සමාජ මාධ්‍ය වූකලී ශ්‍රී ලංකාවේ සමාජයතුල ධානාත්මක බලපෑමක් ඇති කල හැකි ප්‍රධානම සාධකයක් බවට අද පත්ව තිබෙන බවයි. එය ඇතැම් විට හොඳ එසේත් නැතිනම් ධනාත්මක සමාජීය බලපෑමක් විය හැකි අතර ඇතැම් විට එම බලපෑම නරක අතට සිදුවන්නාවු එසේත් නැතිනම් සෘණාත්මක දෙයක් විය හැක. මේ නිසාවෙන්ම නිරන්තරයෙන් ශ්‍රීලංකාවේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන්, ප්‍රධාන ජාලාවේ මාධ්‍යයන්, මෙන්ම විවිධ වූ කණ්ඩායම් සාජමාධ්‍ය තුල ඉතා කාර්යක්ෂම ලෙස තම අදහස් හා මතයන් සමාජ මාධ්‍ය හරහා ඉදිරිපත් කරයි. එබැවින් වර්තමානය වනවිට සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ගෙන් සැලකියයුතු ප්‍රතිශතයක් තම ප්‍රධාන දෛනික තොරතුරු ලබාගන්නේ සමාජමාධ්‍ය ජාලා මගිනි.

නමුදු ජනයා එසේ ඉතා ඉක්මනින් සමාජ මාධ්‍ය හරහා තොරතුරු ලබා ගත්තද, සමාජ මාධ්‍යයන් සහ එහි විශ්වාසනීයත්වය පිළිබඳවද අවධානය යොමු කළ යුතුය. සමාජ මාධ්‍යය භාවිතා කරන්නන්ගෙන් බොහෝ පිරිසක් නිරන්තරයෙන් සමාජ මාධ්‍යය හරහා දකින කාරණා ප්‍රශ්න කරයි. එය ඉතා යහපත් වූත් ධනාත්මක වූත් ප්‍රවේශයක් වන්නේ එමගන් වඩාත් විශ්වාසනීයම තොරතුර කුමක්ද යන්න සම්බන්ධයෙ ඔවුන් සොයා බලන නිසාවෙනි. නමුත් ඒ හා සමානම පිරිසක් සමාජ මාධ්‍යය භාවිතා කරන අතරම සමාජ මාධ්‍යයන් ප්‍රතික්ෂේප කරයි. එය එසේ වන්නේ බොහෝ විට මේ කෙරෙහි සමාජය විසින්ම නිර්මාණය කර ඇති විශ්වාසය විය හැක. එසේත් නැතිනම් සමාජ මාධ්‍ය භාවිතා කල විට මිනිසුන් නරක් වනවායැයි සහ එය අපේ සංස්කෘතියට එච්චර ගැලපෙන්නේ නැතිය යන සමාජය විසින්ම නිර්මාණය කර ඇති සුපුරුදු සම්ප්‍රධායක මතය වියහැක. මා එය එසේ පවසන්නේ මා අවස්ථා කිහිපයකදීම විවිධ සමීක්ෂණයන් සඳහා සමාජ මාධ්‍යයන්ගේ වැදගත්කම සහ භාවිතය සම්බන්ධයෙන් මිනිසුන්ගෙන් ඇසූ විට මා හට ලැබුණු පිළිතුරු නිසාවෙනි. ඇතැමුන් පවසන්නේ මෙවැනි දේ භාවිතය තුළ අපේ ළමා පරපුර නාස්තිවිය හැකි බවය. එසේම සමාජයට වැරදි මතයන් ගෙනදිය හැකිය යන්නය. නමුත් ඇතැම් විට දිනකට ඔවුන් කී වතාවක් එය භාවිතා කරන්නේද යන්න ඇසූ විට පවසන්නේ දිනකට පැය කිහිපයක් එය භාවිතා කරන බවයි. එයින් මා හට පෙනෙන දෙය නම් ඔවුන් එය හොඳින් භාවිතා කරයි. නමුත් ඔවුන්ට එය පත්තරය කියවනවාට වඩා නව අත්දැකීමක් වනවාත් සමගම මෙය භාවිතය හරහා සමාජයට කුමන සෘණාත්මක බලපෑමක් ඇතිවන්නේද යන්න සම්බන්ධයෙන් කුතුහලයෙන් පසුවේ. එහි වැරද්දක් මා දකිනනේ නැත. බොහෝ විට සමාජ මාධ්‍යය හරහා හුවමාරු වන තොරතුරු වල නිරවද්‍යතාවය පිරික්සීම සඳහා මිනුම් දණ්ඩක් අද වන විට නොමැත. මේ නිසා සමාජ මාධ්‍යන්හි විශ්වාසනීයත්වය ප්‍රශ්න කිරීම හොඳ සාධකයකි. මන්ද යමක් එලෙසම පිළිගන්නවාට වාඩා එහි විශ්වාසනීයත්වය සොයාබැලීම බුද්ධිමත් ජන සමාජයක් නිර්මාණය කිරීමට අවශ්‍ය වන්නාවු ප්‍රධානතම සාධකයක් ලෙස මට හැඟෙන නිසාවෙනි. නමුදු ප්‍රධාන ජාලාවේ මාධ්‍යයන් දෙස අවධානය යොමු කලහොත්, ඔවුන්ට යම් තොරතුරක් සැපයීමේදී  විවිධ සදාචාරාත්මක සීමාවන්ට යටත්ව එය ලබා දියයුතුය.

 

ඉහතින් සඳහන් කල පරිදිම මා එම ප්‍රහාරමාලව සිදුවූ දිනයේදී ද සුපුරුදු ලෙස සමාජමාධ්‍ය භාවිතා කරන්නේ එම ප්‍රහාරය සම්බන්ධයෙන් ඉක්මනින් තොරතුරු ලබා ගැනීමටය.  මා සමාජ මාධ්‍යයන් වෙත පිවිස ඉක්මනින් මේ සම්බන්ධයෙන් යම් තොරතුරක් ලබා ගැනීම සඳහා සමාජ මාධ්‍යයන්හි, ප්‍රධාන ජාලාවේ මාධ්‍යන් සකසා ඇති පිටු පීරන්නට වූයේ ප්‍රධාන ජාලාවේ මාධ්‍යයන් නොවන ප්‍රවෘත්ති සපයන අනෙක් සමාජමාධ්‍යජාලා තොරතුරු සපයන්නන් කෙරෙහි මා හට තිබූ අඩු විශ්වාසනීයත්වය නිසාවෙනි. එසේම බොහෝ විට ප්‍රධාන මාධ්‍යජාලාවන්ද ඉතා ඉක්මනින් ඔවුන් ලද තොරතුරු සමාජ මාධ්‍යය හරහා ජනයාට දැන ගැනීට සලස්වයි. ඔවුන් එය එසේ කරන්නේ එක් අතකින් ඉතා ඉක්මනින් තොරතුරු ජනතාවට ලබාදීමටය. අනෙක් අතට ප්‍රධන ධාරාවේ මාධ්‍යය අතර තොරතුරු සැපයීමේදී පවතින තරඟකාරී ස්වභාවය නිසාවෙනි. තවත් විදියකට ප්‍රකාශ කලහොත් අනෙක් මාධ්‍ය අභිබවා තොරතුරු ජනතාවට සම්ප්‍රේෂණය කරනවායැ පැවසීමට ඔවුන්ට ඇති වුවමනාවයි. මෙසේ ඉතා ඉක්මනින් තොරතුර පමණක් ලබාදීමේදී, එහි නිරවධ්‍යතාවය සහ මාධ්‍ය සදාචාරය සම්බන්ධයෙන්ද ඔවුන් ප්‍රශනාර්තයන් ඉතිරි කරයි. මෙම කාරණය ඇතැම් විට ඔවුන් සමාජ මාධ්‍යට නිකුත් කරන තොරතුරු හරහා කදිමට තේරුම් ගත හැක. එසේම ඔවුන් මුදාහරින විස්තරයන් නැරඹිමට හෝ කියවීමට ජනයා පෙළඹවීම සඳහා යොදා ගන්නා මාතෘකාවන් හරහා රටක පැවතිය යුතු මාධ්‍යයන්ගේ විශ්වාසනීයත්වය සහ සදාචාරය පිළබඳව ගැටළු උපදවයි. මන්ද අප සියළු දෙනාම විශ්වාසනීය ලෙස තොරතුරු ලබා ගැනීමට භාවිතා කරන ප්‍රධානම ක්‍රමවේදය ප්‍රධාන ජාලාවේ මාධ්‍යයන් වන නිසාවෙනි. එම නිසා යම් මට්ටමක ඉහල විශවාසයක් ප්‍රධාන ජාලාවේ මාධ්‍යයන් හසුරුවන සමාජමාධ්‍ය පිටු කෙරෙහි ජනතාවට ඇත. නමුත් මා කලින් ප්‍රකාශ කල මාධ්‍ය සධාචාරය සහ විශ්වාසනීයත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න කල හැකි ඇතැම් ප්‍රවෘත්ති මා හට දකින්නට ලැබුනේ පසු අවස්ථාවන්හීදී මා කලකීරීමකට පත්කරමිනි. මන්ද මා හට එම තොතුරු අවිශ්වාස කිරීමට හේතුවක් නොවූ නිසා මෙන්ම ප්‍රධාන මාධ්‍යට එසේ අසත්‍ය තොරතුරක් ලබා දීමට මෙම ප්‍රහාරය හරහා හේතුවක් නොමැති වූ බැවිනි. එසේම මෙම ප්‍රහාරය හරහා මාධ්‍යය පෞද්ගලික න්‍යාය පත්‍රයන් ස්මතු වීමට කිසිදු හේතුවක් නොමැති නිසාවෙනි. නමුත් මා හට අමතක වූ එක දෙයක් විය. එනම් ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් අතර පවතින තරඟයයි. ඔවුන් සෑම විටම මේ ප්‍රහාරය හමුවේද ක්‍රියා කලේ ඒ තරඟකාරී මානසිකත්වයෙන්ද යන්න මා හට සැක සහිතය. මා එසේ පවසන්නේ අනෙක් මාධ්‍යයන් වාර්තා කරන තොරතුරට වඩා වෙනස් වූ ආකාරයකින්, එම විස්තරයම වෙනම වූ ආකාරයකින් ජනයාට ලබා දීමට මෙම ප්‍රහාර මාලාව හමුවේද ඔවුන් උත්සහ ගත් නිසාවෙනි.

මෙහිලා එක් සිදුවීමක් මාගේ මතකයට නැගේ. එය නම් කටුවාපිටිය දේවස්ථානයට ප්‍රහාරයට  ප්‍රහාරකරු පැමිණෙන ආකාරය ඇතුළත්, එම දේවස්ථානය අසල නිවසකින් ලබාගත් cctv දර්ශන පෙළක් ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක්, සමාජ මාධ්‍ය ජාලාවන්ට නිකුත් කරනලද ආකාරයයි. ප්‍රහාරකරු විසින් ප්‍රහාරයට ප්‍රථම දේවස්ථානයට යන මාර්ගයට ප්‍රතිවිරුද්ධ දෙසින් ඇති මාර්ගයක ඔබ මොබ යන ආකාරය එම මාර්ගයේ නිවසක ඇති cctv කැමරාවක සඳහන් වී තිබිණි. එක් අවස්ථාවකදී ‍බෝම්බකරු යැයි සැලකෙන පුද්ගලයා එම මාර්ගයේ දේවස්ථානයට ප්‍රතිවිරුද්ධ දෙසින් ගමන් කරයි. එසේම එම මාර්ගයේම අනෙක් අන්තයෙහි  වෙනත් පුද්ගලයෙක් සිටගෙන සිට අතර ඔහු අතැතිව ඇති ජංගම දුරකථනය විටින් විට පරික්ෂාකරමින් සිටී. ඒසේම ඔහු යම් සැලකිය යුතු කාලයක් එම ස්ථානයේ රැඳී සිටි අතර එම අවස්ථාවේදී එම පුද්ගලයා පසුකරමින‍් පුද්ගලයන් කිහිප දෙනෙකු ගමන් කරන අතරම ඉන් එක් පුද්ගලයෙක් ජංගම දුරකථනය අතැතිව ඇති පුද්ගලයා සමග යමක් පවසා, ඔහුගේ පවුලේ යැයි සැලකිය හැකි අනෙක් සාමාජිකයන් සමග ඒ අසල නවතා තිබූ කාරයක  නැග පිටව යයි. ඊට මද වේලාවකට පසුව බොම්බකරුයැයි සැලකෙන පුද්ගලයා දේවස්ථානය දෙසට ගමන් කරයි. පසුව ජංගම දුරකථනය අතැතිව ඇති පුද්ගලයා එම ස්ථානයයෙන් වෙනත් දෙසකට ගමන් කර පිටව යයි. මෙම සිදුවීමෙහි පුනරූපනයන් එක්තරා මාධ්‍යයකින් ඉස්මතු කර පෙන්වූයේ ඉතා කදිම ලෙසය. එනම් බොම්බකරුයැයි සැලකෙන පුද්ගලයා පැමිණෙන ආකාරය රවුම් කර දක්වමිනි. එසේ සිදු කළේ මාර්ගයේ සිටි අනෙක් පුදගලයන්ගෙන් ඔහුව වෙන්ව හඳුනා ගැනීම උදෙසාය. එහි වැරැද්දක් මා නොදකින්නේ ඒ වන විටත් කටුවාපිටිය දේවස්ථානයේ ප්‍රහාරකරු ලෙස ඔහුව හඳුනාගෙන සිටි නිසාවෙනි. නමුත් එම දර්ශන පෙළ අතර මා ඉහතින් සඳහන් කල අනෙක් සිදුවීමද රවුම් කරමින් ස්මතු කර දක්වන ලදී. එනම් එම ස්ථානයේ ජන්ගම දුරකථනය අතැතිව සිටි පුද්ගලයාවද රවුම් කර දක්වන ලදී. එසේම එම පුද්ගලයා සමග කාථාකර පසුව කාරයේ නැගගිය පුද්ගලයා සහ ඔහුගේ කාර් රථයද රවුම්කර පෙන්වන ලදී. මෙහිදී මාධ්‍ය ආයතනය එම අවස්ථාවේ CCTV දර්ශන පෙළෙහි දක්නට ලැබෙන සියලු සිදුවීම් සම්බන්ධ කර දක්වමින් පුර්ව නිගමනයක් ඉදිරිපත් කිරීමට උත්සහ දරන ලදී. ඒ සඳහා බොම්බකරු  බෝම්බය පුපුරුවා ගැනීමට දේවස්ථානයට ගමන් කල පසු, අහඹු ලෙස ජංගම දුරකථනය අතැතිව ඇති පුද්ගලයා එම ස්ථානයයෙන් පිටව යන අවස්ථාව අතර සම්බන්ධතාවයක් ස්මතු කර දැක්වීමට උත්සහ කරන ලදී. එමගින් එම පුද්ගලයාද එම ප්‍රහාරයට පැමිණි අයෙක් ලෙස පෙන්වීමට උත්සහ කරන ලදී. ඒ පූර්ව නිගමනය තුළ  ජංගම දුරකථනය අතැතිව ඇති පුද්ගලයා සමග කථා කල පුද්ගලයා සහ එම වාහනයද සැක කරන ලදී. මෙම වීඩියෝව සමාජ මාධ්‍යයට මුදාහල විගස විශාල පිරිසක් එය නරඹන ලදී. නමුත් පසු පර්යේෂණයන් මගින් හෙලිදරවී වූයේ එම පුද්ගලයන් එම ප්‍රහාරයට කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. එම අවස්ථාව අහඹු සිදුවීමක් ලෙස මා ප්‍රකාශ කලේ ඒ නිසාවෙනි. අප මාර්ගයක ගමන් කරන විට එවැනි අහඹු අවස්ථා අපට අත්විඳීමට සිදුවේ. ඒ අවස්ථාවන්හීදී අපද විවිධ පූර්ව නිගමනයන් සිදු කරනු ලබයි. ජංගම දුරකථනයක් බස් රථයේදී නැතිවුවහොත් ළඟම සිටින පුද්ගලයන් සැක කරයි. බොහෝ විට ලඟ සිටන පුද්ගලයාගේ මුහුණ ඉතා රළු ස්වාභාවයක් ගැනීම සහ අනෙකුත් භාහිර ස්වරූපයන් හරහා මොහු එය ගන්නට ඇත යන්න උප කල්පනය කරයි. එය ලාංකීය අපේ ගති ලක්ෂණයකි. අපි භාහිර ස්වරූපය මත විවිධ උප කල්පනයන් ගොඩ නගයි. නමුත් ප්‍රධාන ජාලාවේ මාධ්‍යන් තුළ එවැනි හැසිරීමක් කිසිසේත්ම සදාචාරාත්මක නොවේ. ඔවුන් යමක් ජනතාවට ලබා දෙන්නේ නම් එය මුදා හැරීමට ප්‍රථම එහි නිරවද්‍යතාවය පිරික්සා බැලිය යුතුමය. මන්ද බොහෝ ප්‍රධාන ජාලාවේ මාධ්‍ය වල ප්‍රවෘත්ති සන්නාමයම සත්‍ය පැවසීමයි. ඔවුන් ප්‍රවෘත්ති සපයද්දිම පවසන්නේ පැත්ත ගියත් ඇත්ත කියන නාළිකා වශයෙනි. එසේම ඇතැම් විට මිළියනයකට වඩා ප්‍රේක්ෂක පිරිසක් ඇතුළත් වූ සමාජ මාධ්‍යය පිටු ඇති මාධ්‍යයන්ද ඇත. කුමන හෝ ප්‍රවෘත්තියක් පළ කල විගස බොහෝ පිරිසක් එය සමාජ මාධ්‍ය හරහා නරඹයි. එය ඔවුන් හොඳාකාරවම දනී.  නමුත් මා ඉහතින් සඳහන් කල සිදුවීම ඔවුන් කිසිම වගකීමකින් තොරව සිදු කරන ලද ක්‍රියාවකි. මා එය එසේ පවසන්නේ ඔවුන්ගේ පූර්ව නිගමනය වැරදි වූ විගස එම වීඩියෝව සමාජ මාධ්‍යයෙන් ඉවත් කර ගැනීමයි. එය ඉතා අසාධාරණ ක්‍රියාවක් ලෙස මා හට හැඟෙන්නේ, ඇතැම් විට මෙම වීඩියෝ පටය පෙන්වූ ආකාරය නිසා එම පුද්ගලයන් අත්තඩංගුවට පත්වන්නට ඇත. එසේත් නැතිනම් තම හිතවතුන්ගේ සැකයට භාජනය වන්නට ඇත. නමුත් එම මාධ්‍ය ආයතනය තමාගේ පූර්ව නිගමනයන් අසත්‍ය බව හැඟුණු වහාම සිදුකලේ එම වීඩියොව හනික සමාජ මාධ්‍යජාලාවලින් ඉවත්කර ගැනීමය. එය මා සිතේ ප්‍රබල කලකිරීමක් ඇතිකරන සිදුවීමක් වූයේ, ඔවුන් සත්‍යයැයි පවසා කොතරම් අසත්‍ය වාර්තාවන් සපයනු ඇත්ද යන්න පසක් කරමිනි. ප්‍රේක්ෂකයන් හටද ඇතැම් විට ඒවා විශ්වාස කරනවා හැර වෙනත් විකල්පයක් නොමැත. මන්ද සමාජ මාධ්‍යජාලාවන්ට මාධ්‍යමය සාදාචාරයක් නොමැතිබව මා දන්නා අතරම ප්‍රධාන මාධ්‍ය ආයතන සමාජ මාධ්‍ය භාවිතා කලද එසේ වගකිම්වලින් තොරව ප්‍රවෘත්ති සැපයීමට ඔවුනට සදාචාරත්මක වගකීමක් නොමති නිසාවෙනි.

 මෙම සිදුවීම වූ අවස්ථාවේදී සමාජමාධ්‍යජාලා තුල ජනතාවගේ හැසිරීම නිරීක්ෂණය කිරීමද ඉතා වැදගත් දෙයකි. අප දන්නා දෙය නම් බොහෝ දෙනෙක් මෙම ප්‍රහාරයේ සෘජු වගකීම ශ්‍රී ලංකාවේ ජීවත්වන එක් ජනවර්ගයක් සහ එක් ආගමක කණ්ඩායමක් වන මුස්ලිම් ජනයා මත පැටවීමයි. යම් අන්තවාදීන් කිහපදෙනෙකුගේ ක්‍රියාකලාපය මෙම ප්‍රහාරයට හේතුපාදක වූ අතරම එය එම ජනවර්ගයේ සමස්ථ ප්‍රජාවටම වගකීම භාරගතයුතු මට්ටමේ දෙයක් විය. මෙම චෝදනාව එල්ලවීම එකවර සිදුවූ දෙයක් නොවූ නමුදු මෙම ඝට්ටනය සඳහාද යම් ඉතිහාසයක් ඇත. එනම් 2009 යුද්ධය අවසාන වීමත් සමගම ශ්‍රි ලංකාවේ දේශපාලන ප්‍රවාහය වෙනම අතකට හැරීමකට ලක්විය. වසර 30 ක යුද්ධය සහ සිංහල, ද්‍රවිඩ ජනවාර්ගික අර්බුධය දේශපාලන වේදිකාව තුළ ප්‍රධාන මාතෘකාව වූයේ දේශපාලන නායකයන්ට දේශපාලනය තුල සාර්ථක ජයග්‍රහනයන් අත්කර දෙමිනි. නමුත් යුද්ධය අවසන් වීමත් සමගම දේශපාලන වේදිකාව තුළ කථාබහට ලක් කලයුතු ප්‍රබල මාතෘකාවක් අවශ්‍යය වූ අතරම එවැනි මාතෘකා කිහිපයක් මගේ මතකයට නැගේ. ඉන් එකක් නම් යුද්ධයෙන් පසු රටේ සංවර්ධනයයි. එය ඉතා සාර්ථකම මාතෘකාවක් වියයුතුව තිබූ අතර එය එසේ සිදු නොවීය. අනෙකි කාරණය නම් ඇමරිකාව මුල්කරගත් බටහිර කුමන්ත්‍රණයන් විය. නමුත් එය ඉතා දෘෂ්ටිවාදිමය කාරණයක් විය. එය ප්‍රමාණවත් කාරණයක් නොවූයේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන ප්‍රපංචයක් ඒ වෙනුවෙන් අවශ්‍ය වු බැවිනි. එයට සාර්ථකම ප්‍රවේශය නම් නැවත වාර්ගික ඝට්ටනයක් නිර්මාණය කොට දේශපානමය වාසීන් ලබා ගැනීමය. නමුත් 2010 වර්ෂයෙන් පස්සේ මෙම වාර්ගික ගැටුම දේශපාලනික වශයෙන් ඇති කිරීමට හැකිවන්නේ වන්නේ සිංහල සහ මුස්ලිම් ජනතාව අතරය.  මෙවර එය ඉතා ඉක්මනින් සහ සාර්ථක ලෙස ව්‍යාප්තවීමට සමාජමාධ්‍යය ඉතා වැඩි කාර්යක් කිරීමට දායකත්වය ලබා දෙන ලදී.

මෙම ප්‍රහාරයත් සමගම ප්‍රහාරයේ බරපතලකමට වඩා එකී කී ජනවාර්ගික ගැටුමට හේතුපාදක වන කාරණා සමාජ මාධ්‍යයන් හරහා හුවමාරූ වීමට පටන් ගැනිනි. එහි භයානකම තත්වය නම් මේ හරහා සමස්ත මුස්ලිම් ප්‍රජාවම විවේචනයට ලක් වීමය. එසේම සමාජ මාධ්‍ය ඔස්සේ වසර ගණනාවක් තිස්සේ ස්මතු වී යටගොස් තිබූ කාරණා නැවත වතාවක් කථාබහට ලක්වීමය. ඉන් එකක් නම් සිංහල ජාතිය නැතිකිරීම උදෙසා මුස්ලිම් ජනයා ලබා දෙන්නේ යැයි පවසන වඳපෙති කථාවය. අනෙක නම් බුර්කාවට ඇති විරෝධතාවයයි. ඊට කදිම නිදසුනක් පසක් වේ. එය නම් මීට වසර කිහිපයකට ප්‍රථම සමාජ මාධ්‍යයන් හරහා සංසරණයවූ වීඩියෝවකි. එහි යම් පුද්ගලයෙක් බුර්කාවක් හැඳගෙන කාන්තාවක් විලාසයෙන් මාර්ගයේ ගමන් කරන අතර එය දුටු තරුණයන් කිහිප දෙනෙක් ඔහුව අල්ලාගෙන, පහර දෙයි. එක් සමාජ මාධ්‍යයක් හරහා මෙම සිදුවීම ඉතා වේගයෙන් සැරිසරන්නට වූයේ මොහු පාස්කු ප්‍රහාරය හා සමානම ප්‍රහාරයක් සිදු කිරීමට පැමිණ පුද්ගලයෙකු ලෙස සඳහන් කරමිනි. පාස්කු ප්‍රහාරය වැනි සිදුවීම් වලදී ජනතාව බොහෝ විට කෙසේ හෝ තොරතුරක් ලබා ගැනීම විනා එහි සත්‍යතාවය සොයාබලන්නේ බොහෝ විට පසුවය. සමාජමාධ්‍යට සිමාවක් නොමැති බව ජනයා දන්නා නමුත් ඇතැමුන් මේ හරහා විවිධ අරමුණු ස්මතු කිරීමට උතසහ කරයි.

 

නමුත් ඇතැම් සමාජමාධ්‍ය පිටු හසුරුවන්නන්(Page admin) සහ සමාජ මාධ්‍යවේදීන් මෙම සිදුවීම සිදු වූ අවස්ථාවන්හීදී හැසිරුණු ආකාරය ප්‍රශංසනීය දෙයක් වූයේ ඔවුන් ප්‍රහාරයත් සමගම ඇති වන්නා වූ ජනවාර්ගික ගැටුමට අවශ්‍යවන අමුද්‍රව්‍යයන් සපයනවා වෙනුවට ඔවුන් අතර එකමුතුව ඇති කිරීමට අවශ්‍ය වන්නා වූ ක්‍රියාමාර්ගයන් ගැනීමට උත්සහ කිරීමය. නමුත් තවත් පිරිසක් මෙමගින් ඉතා වාසි ලබා ගන්නා ලදී. මීට හොඳම නිදසුන නම් එක් මුස්ලිම් පල්ලියක නේවාසිකාගාරයකින් හමුදා නිල ඇඳුම් හෝ ඊට සමාන ආකාරයේ ඇඳුම් කට්ටල කිහිපයක් හමුවීමයි. එහිදී එක් තරුණයෙකු අත්තඩංගුවට ගත් අතර සමාජ මාධ්‍යය හරහා ඔහුට දැඩි දෝශාරෝපණයක් එල්ල විය. සමාජමාධ්‍ය ගිණුම් හිමියන් බොහෝ දෙනෙක් ඔහුගේ පිංතූරය යොදා සකස් කරන ලද ප්‍රදර්ශනයන්(post) හුවමාරු කරන්නට වූයේ ඔහු විසින් තමාගේ පෞද්ගලික ෆේස්බුක් ගිණුමෙහි, ජාතිවාදයට විරුද්ධව දමා තිබූ ප්‍රතිචාරයන් සහ පිංතූරයන්ද එකතු කරමිනි. නමුත් සත්‍ය වශයෙන්ම සුදුවී තිබුණේ , ඔහුගේ පියා දකුණු පළාතෙහි රෙදි  මසන පුද්ගලයෙකු වූ අතර වෙනත් පුද්ගලයෙකුට ලබා දීම සඳහා මෙම ඇඳුම් කට්ටල රැගෙනවිත් තිබූ බවටයි. නමුත් මෙවැනි සිදුවීම් හරහා මෙයට සම්බන්ධයක් නොමැති පුද්ගලයන්ද වැරදි කරුවන් ලෙස පෙන්වීමට ඇතැම් පුද්ගලයන් උතසහකලේ මා ඉහතකී සිංහල සහ මුස්ලිම් ගැටුමට අවශ්‍ය වන සාධකයන් නිර්මාණය කිරීමේ අරමුණින්ය. ඇතැම් විට සමාජ මාධ්‍ය පිටු හසුරුවන්නන් මෙවැනි ක්‍රියාදාමයන් සුදු කරන්නේ තමන්ගේ පිටුව වෙත පුද්ගලයන් ආකර්ශණය කරගැනීමට බව මට හැඟෙයි.

 

මෙම ප්‍රහාරයත් සමගම සමාජ මාධ්‍යය හරහා අවධානය යොමුකල යුතු තවත් එක් වැදගත් දෙයක් විය. එනම් නැවත වතාවක් හමුදා නිලධාරීන් පිළිබඳව කථා කිරමට පටන් ගැනීමය. වසර දහයකට පසු නැවත වතාවක් හමුදා නිලධාරියා වීරවරයෙක් ලෙස සමාජමාධ්‍ය ස්මතුකර දැක්වීමට ගත් උත්සහයයි. මීට වසර දහයකට ප්‍රථම මෙම කාර්යය සිදු කරනු ලැබුවේ ප්‍රධානජාලවේ මාධ්‍යයන්ය. එවකට  තරුණ ප්‍රජාව හමුදා සේවයට පහසුවෙන් එක් කර ගැනීමට භාවිතා කරන ලද උපක්‍රමයක් ලෙස මෙය භාවිතා කරන ලදී. හමුදා සේවය සඳහා වටිනාකමක් රාජ්‍ය මට්ටමින්ම ඇති කිරීමට අවශ්‍ය විය. මන්ද තමාගේ ජීවිත අවධානම පසෙකලා තරුණයන් හමුදා සේවයට එක්වීමට මැලිකමක් දක්වයි. ඊට හොඳම විසඳුම නම් එම සේවයෙහි ඇති වටිනාකම ඉහල දැමීමයි. එවකට ප්‍රධානජාලාවේ මාධ්‍යයන් හරහා මේ දේ සාර්ථකව සිදුවිය. ඇත්ත වශයෙන්ම එම සේවාවට වටිනාකමක් ලබාදිය යුතුය. මන්ද මා හට ලබා දිය නොහැකි ජීවිත අවධානම ඔවුන් දරයි. එසේම අනෙකුත් සේවාවන් වලටද වටිනාකමක් එකතු කල යුතුමය. පාස්කු ප්‍රහාරය හමුවේ රෝගීවූ රෝගීන්ට ප්‍රතිකර කල රෝහල් මණ්ඩලයටද මෙවැනිම පැසසුමක් ලැබුණාදැය ගැටළුවකි. ඔවුන්ද දිවා රාත්‍රී නොබලා එම සේවයට කැපවී සිටින ලදී. නමුත් මෙවර සමාජමාධ්‍යයන් හරහා හමුදා නිලධාරීන් වීරවරුන් ලෙස නම් කලේ ඔවුනගේ රාජකාරීයට අවශ්‍ය වටිනාකම එක් කිරීමටද යන්න සැකසහිතය. මා එසේ පවසන්නේ, සාමාජ මාධ්‍ය හරහා හුවමාරුවූ පිංතූර සහ වීඩියෝ කිහිපයක් මා දුටු නිසාවෙනි. ඇතැම් ඒවායේ දක්නට ලබුණේ ප්‍රහාරයත් සමගම පාසල්වල ආරක්ෂාවට යොදවා සිට හමුදා නිලධාරීන්ට පාසල් ලමුන් වඳිමින් පාසලට ඇතුලත් වන ආකාරයයි. එය ඔවුනට ගෞරව කිරීමක් ලෙස සිදුවූවා විය හැක. නමුත් ගැටළුව වන්නේ ඔවුන් පාසල් වලට පැමිණ සිටියේ රාජකාරීමය වශයෙන් වූ අතර එය රාජකාරීයට බාධාවක් වන්නට පුළුවන. මෙය එක් පාසලක සිදුවූ දෙයක් වන්නට හැක.  මෙවැනි වීඩියෝවන් හුවමරු වීම තුල සිදුවූයේ අනෙකුත් පාසල්ද ඒවා අනුකරණය කිරීමයි. ඇත්ත වශයෙන්ම මට හැඟෙන්නේ මෙවැනි ක්‍රියා ඔවුනගේ රාජකාරියට ඉතා බාධාවකි. මා එසේ පවසන්නේ මා විශ්ව විද්‍යාලයට ඇතුළත්වීමට ප්‍රථම, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නායකත්ව පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කල අතර එම වැඩසටහන් බොහෝමයක් පැවැත්වූයේ හමුදා කඳවුරු තුළය. එම වැඩ සටහනට මාද සහභාගී වූ අතර එහි සිටි එක් හමුදා නිලධාරීයෙක් අප සමග ඉතා මිත්‍රශීලි විය. ඔහුගේ උපන්දිනයද අප එහි රැඳී සිටි දිනයක යෙදී තිබූ අතර අප විසින් ඔහුට කුඩා ත්‍යාගයක් ලබා දීමට ඔහු හමුවට ගිය විට ඔහු එම ත්‍යාගය ප්‍රත්ක්ෂේප කරන ලදී. ඔහු ප්‍රකාශ කරන ලද්දේ රාජකාරීමය අවස්ථාවලදී කිසිදු ලෙසක මෙවැනි දේවල් ඔවුන් ලබා නොගන්නා බව පවසමිනි. ඒ ඔවුන්ගේ විනයයි. ඔවුන් රාජකාරීමය අවස්ථාවලදී සිවිල් සම්බන්ධතා වලට වඩා හමුදා විනයට අනුගත විම ඔවුනගේ රාජකාරියේ ස්වාභාවයයි. මෙවැනි සිදුවීම් හුවමාරු වීම තුල ඔවුන්ගේ රාජකාරියට කෙතරම් දුරකට බාධාවන් එල්ල වන්නේද යන්න පිළබඳව අවධානය යොමු කල යුතුමය. ඔවුන් සිවිල් සමාජය සමග ගැටීමට ගියහොත් සිදුවන්නේ රාජකාරිය නිසියාකාරව ඉටුකර ගැනීමට නොහැකි වීමයි. මා හට මෙයටද කදිම අත්දැකීමක් ඇත. එනම් මා ප්‍රහාරය සිදුවී සති දෙකකට පමණ පසුව සවස මහනුවර බලා පිටත් විය. මා අතැතිව විශාල ගමන් මළු දෙකක් මෙන්ම මා ආයතනයේ ප්‍රොජෙක්ටරය සහ මාගේ කැමරාවද විය. ප්‍රහාරයත් සමගම ලංකාවේ ස්ථාන රැසක් හමුදා නිලධාරීන් පරික්ෂා කල අතර එදින නිට්ටඹුවට ප්‍රථම මා ගමන්ගත් බස්රථයද පරික්ෂාවට ලක් විය. මා අතැතිව ඇති සියළුම ගමන්මළු රැගෙන මාද බස් රථයෙන් බැස්සේ ඔවුන්ට පරික්ෂාකිරීම් සිදුකිරීමට සහය වීමේ අරමුණෙනි. නමුත් සිදුවූයේ මා අපේක්ෂා නොකළ දෙයකි.  2009 වර්ෂයට ප්‍රථමද මා අවස්ථා කිහිපයක මෙවැනි පරික්ෂාවන්ට ලක් වී ඇති අතර පෙර අත්දැකීමට වඩා වෙනස් අත්දැකීමකට මට මුහුණදීමට සිදුවයේ ඔවුන් මාගේ හැඳුනුම්පත පරික්ෂා කර, මා සිංහල පුද්ගලයෙක් නිසා මාගේ කිසිදු බෑගයක් පරක්ෂාවට ලක් නොකර පිටත්කල නිසාවෙනි. නමුත් අනෙක් ද්‍රවිඩ සහ මුස්ලිම් ජනයා ඉතා දැඩි පරික්ෂාවකට ලක් කරන්නට වූයේ මා කම්පාවට පත්කරමිනි. මන්ද බස් රථයේ සිටි සියලුදෙනාවම ඔවුන් පරික්ෂාවට ලක්කල යුතු වුවද සිංහල ජනයා පරීක්ෂා නොකිරීම, මා හට ඉතා අසාධාරණ  හැඟීමක් ගෙනදෙන්නක් විය. එසේම ඔවුන් රාජකාරිය හරියාකාරව ඉටුකළාද යන්න සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථයක් මතු වන්නේ මීට පෙර අවස්ථාවන්හීදී මා පරික්ෂාවන්ට ලක් වූ විට ඔවුන් එසේ වෙන් කොට නොසලකා දැඩිව සියලුම දෙනා පරික්ෂා කල නිසාය. මෙයට බොහෝ විට සමාජ මාධ්‍ය බලබෑම හේතුවක් වන්නට ඇත. පාස්කු ප්‍රහාරය සිදුවූ පසු හමුදා නිලධාරියාගේ කාර්යය, විනය මතම පදනම් නොවූ කාර්යක් ලෙස සමාජ මාධ්‍ය තුළින් ස්මතු කර දැක්වීමට උත්සහ කරන ලදී. එය 2009 ට ප්‍රථම “රට ජාතිය බේරාගැනීමට පැමිණි විරුවා” යන තේමා පාඨය වුවත්, මෙවර එය සිංහල ජාතිය බේරාගැනීමට පැමිණි රණ විරුවා ලෙස සමාජ මාධ්‍ය හුවා දැක්වීමට උත්සහ ගන්නා ලදී. එසේම ඇතැම් විට අප ජාතිය බේරාගැනීමට පැමිණි සිංහපැටව් ලෙසද ඇතැම් පිංතූර හුවමාරු විය. අප ජාතිය යනු සිංහල ජාතියත් සිංහපැටව් යනු සිංහල රණවිරුවන් ලෙසත් අරුත් ගන්වන්නට උත්සහ ගන්නා ලදී. මේ අනූව ඉහත සිදුවීමේ එතරම්ම වැරද්දක් නොමැත මන්ද මෙවර රණවිරුවා හමුදා විනයෙන් වෙන්වූ සිංහල ජාතිය බේරාගැනීමට මුල්තැන ලබා දිය යුතු විරුවෙක් බවට ලේබල් කර ඇත. එසේම  එසේ සිදුකිරීම රට බේරා ගැනීමක් ලෙස නිර්වචනය වී ඇත. ඒ සමාජ මාධ්‍යයෙන් ස්මතු කර පෙන්වීමට උත්සහ කරන හමුදා සොල්දාදුවා වේ. ඔවුන් එය එසේ සිදු නොකලහොත් ඔවුන් විවේචනයට ලක්විය හැක. මේ නිසා ඇතැම් විට ඔවුනටද යම් රාජකාරියෙන් පිටස්තර වූ යම් පක්ෂපාතීභාවක් අදවනවිට ආරෝපණය කර ඇතැයි හැඟෙයි.

 

පාස්කු ඉරුදින ප්‍රහාරයත් සමගම රජයෙහි ක්‍රියාකලාපයද ඉතා සිත්ගන්නාසුළු දෙයක් වූයේ සමාජ මාධ්‍යජාලා තහනමක් දෙවෙනි වතාවටත් දැමීමත් සමගමය. මා ප්‍රථම සඳහන් කල ආකාරයෙන් සෑම විටම සමාජ මාධ්‍ය මගින් ධනාත්මක බලපෑමක් සමාජයට ඇතිකල හැකි අතරම එය ඇතැම්විට සෘණාත්මක(නරක) අකාරයෙන් සිදුවිය හැක. මෙකි කාරණය මුල්කරගනිමින්, සමාජ මාධ්‍ය තහනමක් පැනවූ බව රජයේ ප්‍රධානම මතය විය. එනම් සාමාජ මාධ්‍යයන් හරහා අසත්‍ය තොරතුරු මෙන්ම විවිධ ආගමික සහ ජනවර්ගයන් අතර නොසන්සුන්කාරී තත්වයන් ඇතිවීම වැළැක්වීමේ අරමුණින් රජය එසේ කල බව ප්‍රකාශ කරන ලදී. මාහට එය සෘජුවම වැරදියැයි හෝ නිවැරදියැයි ප්‍රකාශකල නොහැක. මන්ද මෙවැනි ජාතික මට්මමේ ගැටළුවලදී රජයන් විසින් සාමය, සුරක්ෂිතභාවය ආරක්ෂාකිරීම උදෙසා විවිධ ක්‍රියාමාර්ගයන් ගතයුතුය. මේ නිසා වැරදි ප්‍රචාරණයන් ජනතාව අතර හුවමාරුවීම වැලැක්වීම සඳහා යම් විසඳුමක් ලෙස මෙවැනි ක්‍රියාමාර්ගයන් සුදුසු වේ. නමුත් මාහට ඇති ගැටළුව නම් මෙවැනි සිදුවීම්වලදී සමාජ මාධ්‍යයන්හී හැසිරීම පිළිබඳව රජය හොඳින් දනී. මෙවැනි තහනමක් දීර්ගකාලීනව දැමිය නොහැක. පවතින උණුසුම්කාරී අවස්ථාවේදී පමණක් මෙවැනි ක්‍රියා ප්‍රායෝගික වේ. ඔවුන් පසුව ඇතිවන්නාවූ තත්වයන් පාලනයටද සැලසුම් සෙවිය යුතුය. එසේම එසේ තහනමක් දැමූ පසු ජනතාව විකල්ප ක්‍රමවේදයන් භාවිතා කරන බවද රජය දනී. ඊට නිදසුන නම්, සමාජ මාධ්‍ය තහනම්කල විගස එය භාවිතා කරන්නන් VPN තාක්ෂණය ඔස්සේ සාමාජ මාධ්‍ය සුපුරුදු ලෙස භාවිතා කිරීමට පටන් ගැනීමයි. සිදුවූයේ, තහනම ක්‍රියාත්මක වූවද ජනතාව සමාජ මාධ්‍ය භාවිතා කිරීමයි. එය රජය ඉතා හොඳින් දන්නා කාරණයකි. මන්ද 2018 වර්ෂයේ මෙවැනිම තහනමක් දැමූ විටද ජනතාව මෙසේ සමාජ මාධ්‍ය භාවිතා කල ආකාරය ගැන රජයට අත්දැකීම් ඇත. එසේම සමාජ මාධ්‍ය වූකලී තොරතුරු සන්නිවේදනය කලහැකි සාර්ථක ක්‍රමවේදයක් බවට ද රජයට අත්දැකීම් ඇත. මා එය එසේ පවසන්නේ 2018 ඔක්තෝබර් 26 දින සිදු වූ දේශපාලන පෙරලියත් සමගම එය පරාජය කිරීමට ආණ්ඩුව ගත් උත්සහයට නිදසුනක් ලෙස ගනිමිනි. ඔවුන් ඇතැම් අවස්ථාවලදී ඊට විරුද්ධව පෙළපාලි සංවිධානය කරන ලදී. රැස්වීම් සංවිධානය කරන ලදී. මේවා බොහෝමයක් පසා සමාජ මාධ්‍යයන් හරහා සජීවීවම විකාශය කරන ලද්දේ ජනතාව එය නිරන්තරයෙන් භාවිතා කරන අතරම එම පෙරළිය වැරදි දෙයක් ලෙස ජනතාවට ඒත්තුගැන්වීමට හැකි පහසුම ක්‍රමය එය වූ නිසාවෙනි. මෙම ප්‍රහාරය හමුවේද රජයට ඉතා සාර්ථක එවැනිම ආකාරයේ ක්‍රියාමාර්ගයක් ජනවර්ග සහ ආගම් අතර සංසුන්කාරී තත්වයන් අතිකිරීමට ගත හැකිව තිබුණි. නමුත් ඔවුන් සිදුකලේ සමාජ මාධ්‍ය උපයෝගිකරගනිමින් ජනතාව සංසුන් කරනවා වෙනුවට තහනම පමණක් දමා නිහඩව සිටීමය. ඒමගින් බොහෝවිට, මෙවැනි සිදුවීම්වලදී රජයට විරුද්ධව හුවමාරුවන්නා වු තොරතුරු පමණක් හුවමාරුවීම වැලැක්වීම අරමුණක් වන්නට ඇත. නමුත් මෙම තත්වය පහවගියපසු සමාජමාධ්‍ය භාවිතා කරන්නන් රජයට විරුද්ධව තම සටන දියත්කරන්නට වූයේ ජාතිවාදීමය ස්වරූපයක් ද එයට ඇතුලත්කරමිනි. ඔවුන්ට සමාජ මාධ්‍ය තහනම පමණක් ප්‍රමාණවත් නොවීය. ජනතාව ආණ්ඩුවට බැනවදින ලදී. එසේම සමාජ මාධ්‍ය හරහා ආණ්ඩුවේ සිටින මුස්ලිම් මන්ත්‍රීවරුන්ට විරුද්ධව විශාල විරෝධයක් එල්ලවන්නට විය. එහි ප්‍රතිපලය වූයේ ඇතැම් මන්ත්‍රීවරුන්ට එම ධූරවලින් ඉවත්වන්නට සිදුවීමයි. මෙම ප්‍රහාරය ශ්‍රී ලාංකිකයන් කිහිපදෙනෙකුගේ සම්බන්ධයෙන් සිදුවූ ප්‍රහාරයක් වුවත් මෙයට මෙරට නොවන අන්තර්ජාතික මට්මමේ අරමුණු එක්ව තිබූ ප්‍රහාරයක් විය. මෙයට විරුද්ධව සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් බොහෝ පිරිසක් ජාතිවාදීමය ස්වරූපයක් එක් කරනවා වෙනුවට ශ්‍රී ලාංකිකයන් ලෙස මුහුණදීමේ අරමුණ ස්මතු කිරීමට උත්සහ ගත්තද රජය යම් දේශපාලනික පැතිකඩක් එක් කිරීමට උත්සහකළාදැයි සැක සහිතය. මන්ද ඔවුනට සමාජ මාධය ඉතා පහසුවෙන් මෙම ප්‍රහාරයට විරුද්ධව හැසිරවීමේ අවස්ථාව තිබියදීත් එසේ නොකර සිටීම සහ වර්තමානය වන විටත් දේශපාලන වේදිකාවල ප්‍රධානම මාතෘකාවක් ලෙස මෙම ප්‍රහාරය සාකච්ඡා කිරීමට අවශ්‍ය ඉඩප්‍රස්ථාව සලසා දී තිබීම නිසාවෙනි.

 

මෙම ලිපිය ආරම්භයේදීම මා ප්‍රකාශකල අන්දමට, පාස්කු ප්‍රහාරය හමුවේ රජය, ප්‍රධානජාලාවේ මාධ්‍ය මෙන්ම සමාජමාධ්‍යජාලා භාවිතා කරන්නන්ගේ හැසිරීම කෙසේ සිදුවුවේදැයි යන්න පිළිබඳව යම් විශ්ලේෂණයක් කිරීම ප්‍රධානම අමුරණ විය. නමුත් මාහට හැඟෙන දෙය නම් වර්තමානය වනවිට ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුල ඉතා ප්‍රබල ජනමතයක් ස්මතුකර පෙන්වන සාධකයක් බවට සමාජ මාධ්‍යය පත්ව තිබෙන බවයි. මේ නිසාවෙන් ඉතා වගකීම් සහගතව වර්තමානය වන විට සමාජමාධ්‍ය භාවිතාකිරීමේ වටිනාකම මා පසක්කර සිටින්නේ සමාජමාධ්‍යයන් හරහා ඉතා හොඳ ජනමතයන් ඉදිරිපත් කිරීමට හැකිවුවහොත් එය ඉතා හොඳ ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යයක් නිර්මාණය කරගැනීමට අවශ්‍යවන අඩිතාලම සකස් කලහැකි නිසාවෙනි. මන්ද නුතයේ මාධ්‍ය වූ කලී ආණ්ඩුවක ව්‍යවස්ථාදායක,විධායක සහ අධිකරණ යන ආයතන වලට අමතරම හතරවෙනියට ක්‍රියාත්මකවන්නාවූ බලඒකකයක් ලෙස සලකයි. එහිලා  සමාජ මාධ්‍යයන්ද වර්තමානයේ ප්‍රධාන මාධ්‍යකරණ වේදිකාවේ ප්‍රබල සාධකයක් ලෙස මා හට හඟෙන අතරම සමාජ මාධ්‍යදට අඩු තක්සේරුවක් ලබාදිය නොහැකි වන්නේ අවස්ථා ගණනාවකදීම ශ්‍රී ලංකාවතුල විවිධ මතයන් වෙනස් කිරීමටත්, ඉදිරියට රැගෙන යාමටත් ජනතාව විසින්ම උපයෝගීකරගත් ධාරාවක් නිසාවෙනි.