පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ලාංකේය දේශපාලනය පිළිබඳ සාකච්ඡා කිරිම වැදගත් වන්නේ කාරණා කිහිපයක් නිසාවෙනි. මෙරට බල දේශපාලනයේ ඡන්දදායක හැසිරිමේ දී මූලිකවම මානව වාංශික විභේදනයන්ගේ (කුලය/ආගම/පන්ති ව්‍යුහය) බලපෑම නොවැලැක්විය හැකි සාධකයක් බවට පත් ව තිබුණි. මෙකී විභේදනයන් කළමනාකරණය කිරිමේ හැකියාව මත බහුතර බලය රඳවා ගැනීමට පක්ෂවලට හැකියාවක් හිමිවිය.

එපමණක් නොව, මෙම විභේදනයන් අතුරින් ආගම ලාංකික දේශපාලනය තුළ හෙජමොනි තත්වයක් අත් කර ගෙන ඇති අතර, කුලය හා පන්ති ව්‍යුහය පෙනෙන නොපෙනෙන ලෙස මැතිවරණ ක්‍රියාවලිය තුළ ක්‍රියාකාරී වන බව දැකිය හැක. විශේෂයෙන් පක්ෂ ක්‍රියාකාරීත්වයේ දී ආගමික සමාජය කළමනාකරණය කිරීම තීරණාත්මක සාධකයක් වන සේම සමහර ආගමික කණ්ඩායම්වල සහය ලබා ගැනීමට පක්ෂ තීරණාත්මක වැඩ කොටසක් ඉටු කළ යුතු විය. මෙවැනි පසුබිමක් තුළ 2015 ජනවාරි මාසයේ දී මෙරට සිදු වූ රෙජීම් මාරුවීමත් සමඟ දේශපාලන ක්‍රියාවලිය වෙනත් දීශාවක් කරා යොමු වීමක් සිදු විය. පාස්කු ප්‍රහාරය සිදු වීමත් සමඟ මෙකී දේශපාලන වෙනස අපේක්ෂා කළ මෙරට පහළ හා ඉහළ පන්තිය ආණ්ඩුව මත තැබූ විශ්වාසයෙහි පළුදුවීමක් සිදු විය. එවැනි තත්ත්වයක් තුළ පාස්කු ප්‍රහාරයෙන් පසු නැවත දේශපාලන හැසිරිමේ වෙනසක් උපකල්පනය කළ හැකි ලක්ෂයක් කරා මෙරට දේශපාලනය පරිවර්තනය වෙමින් පවතී. එවැනි සන්දර්භයක දේශපාලන චර්යාවේ වෙනස්වීම් කුමන ආකාරයට සිදුවනවාද යන්න මෙමඟින් අවධාරණය කෙරේ.

ශ්‍රි ලංකාවේ යටත් විජිත යුගයේ සිට පශ්චාත් යටත් විජිත යුගය දක්වා ජාතික දේශපාලනය හා පළාත් බද දේශපාලනය තුළ මානව වාංශික අනන්‍යතා ඉතා වැදගත් සාධකයක් බවට පත් ව තිබුණි. මැතිවරණ කොට්ඨාස බෙදා වෙන් කිරිමේ සිට මැතිවරණයක දී ඡන්දය ප්‍රකාශ කිරීම දක්වා මානව වාංශික විභේදයන් ප්‍රධාන සාධකයක් බවට පත් ව තිබේ. ඊට අමතරව මැතිවරණ ප්‍රචාරක කටයුතු, පක්ෂයේ ජනප්‍රිය බව සහ අනුග්‍රාහක දේශපාලනය පක්ෂයක් ජයග්‍රහනය කිරීම සඳහා වඩා වැදගත් විය. නමුත් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව දේශපාලනය පිළිබඳව සාකච්ඡා කිරීම වැදගත් වන්නේ මූලිකව ම මැතිවරණයක් තුළදී ඡන්ද දායකයාගේ හැසිරිම ඉහතින් සදහන් කළ කරුණු මතම නොපවතින තත්ත්වයක් උදාවී ඇති නිසාවෙනි.

විශේෂයෙන් ම ලාංකික සමාජයේ මධ්‍යම පාන්තික ජන කොටස් මෙම පාස්කු ප්‍රහාරයෙන් පසුව බරපතල අර්බුදයකට ලක් වී ඇති බව මාගේ නිරික්ෂණයයි. 2015 ජනවාරි 8 දිනෙන් පසු දේශපාලන සංස්කෘතියේ වෙනසක් අපේක්ෂා කළ මෙම කොට්ඨාසය අවිනිශ්චිතභාවයකට පත් ව ඇති ආකාරයක් දැකිය හැකිය. මෙම සිද්ධියෙන් පසු ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක රඳවා ගෙන සිටි ආධිපත්‍යය 2015 න් පසු වෙනස්වීමකට ලක්වූ  මෙන් ම එය නව ප්‍රවණතාවක්, අලුත් බලවේගයක් කරා නැඹුරුවීමකට ඇති ඉඩකඩ පුළුල්වීමක් දැකිය හැකිය. ‘කැපුවත් කොළ', ‘කැපුවත් නිල්' පදනමකින් ක්‍රියාත්මක වූ ඡන්දදායක චර්යාව යම්දුරකට ඉන් වෙනසකට ලක් විය හැකි බව මාගේ නිරීක්ෂණයයි. එපමණක් නොව, දකුණු ආසියා කලාපයේ ඡන්දදායක චර්යාව කෙරෙහි වැඩි බලපෑමක් එල්ල කරන අනුග්‍රාහක සේවා සබඳතාවය, මානව වාංශික විභේදනයන්  හා අවිධිමත් ආකාරයට කරන පක්ෂ ප්‍රචාරණ කටයුතු (බඩු බෙදා දීම්, මැතිවරණ කාලයේ පාරවල් සකස් කිරිම ආදිය) මඟින් ඡන්දදායක හැසිරීම කෙරෙහි කරන බලපෑම අවම මට්ටමකට පත්වීමක් මෙම පාස්කු ප්‍රහාරයත් සමග නිරික්ෂණය කළ හැකිය.

මෙරට දේශපාලන ක්‍රියාවලිය තුළ ඡන්දදායක චර්යාව වෙනස්වීම කෙරෙහි තිරණාත්මක සාධකයක් ලෙස මැතිවරණ ප්‍රචාරක කටයුතු දැක්විය හැකිය. ජනතා ගැටලු විසඳීමට ක්ෂණික සුබසාධන වැඩසටහන් කිරීමටත්,  සුබසාධනය කරන තුරු ජනතාව බලා සිටින ආකාරයේ ඡන්දදායකයා එකිනෙකා මත රඳාපවතින තත්ත්වයකට මෙරට මැතිවරණ ක්‍රියාවලිය පත් ව තිබුණි. මෙවැනි තත්ත්වයක් තුළ ඡන්දදායකගේ පරමාධිපත්‍ය බලය දේශපාලන ප්‍රතිපත්තිවලට නොව පක්ෂයක් හෝ අපේක්ෂකයින්ගේ ප්‍රචාරණ කටයුතු මගින් ආමන්ත්‍රණය කරනු ලබන දෘෂ්ටිවාදී කරුණු කෙරෙහි වැඩි නැඹුරුවක් දැකිය හැකි විය. මෙම ප්‍රචාරක වැඩපිළිවෙළවල දී සිංහල බහුතරයක් සිටින ප්‍රදේශවල සුළු ජන අපේක්ෂකයන් බහුතර ජනතාව කෙරෙහි බලපාන ප්‍රතිපත්තිමය කරුණු ද මැතිවරණයට ඉදිරිපත් කරන අතර සිංහල අපේක්ෂකයෝ කුලය, පන්තිය, ආගම යන සාධකත් අනුග්‍රාහක සේවා සබඳතාවත් මැතිවරණ ක්‍රියාවලිය කෙරෙහි යොදා ගනිති. එහිදී පක්ෂයට හෝ අපේක්ෂකයාට තිබෙන ප්‍රධානතම ප්‍රතිවිරෝධි තත්ත්වයන් අවම කර ගැනීමට මැතිවරණ ප්‍රචාරක කටයුතු මෙහෙයවීම කෙරෙහි වැඩි නැඹුරුවක් දැකිය හැකිය. උපක්‍රම සහිතව සිදු කරන මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට අමතරව රැස්වීම්, පෙළපාලි, පිකට් හා අත්පත්‍රිකා හරහා ප්‍රතිපත්ති ඉදිරිපත් කරමින් ඡන්දදායක හැසිරීම වෙනස් කිරීමට මැතිවරණ ප්‍රචාරක කටයුතු වලදී උත්සාහ කිරීමක් දැකිය හැකිය. නමුත් පාස්කු ප්‍රහාරයත් සමග ඡන්දදායකයා මෙවැනි දේශපාලන පොරොන්දු කෙරෙහි තවදුරටත් විස්වාස තබා කටයුතු කරාවි ද යන්න ගැටලුකාරී වී තිබේ. 2015 වර්ෂයේ නව දේශපාලන ගමන් මගක් අපේක්ෂා කළ මෙම සමාජ ස්ථරයේ දේශපාලන විශ්වසයන් බිඳවැටීමත් ජාතික ආරක්ෂාව කෙරෙහි අවධානය යොමු නොකර දේශපාලන විවේචනයන් සිදු කරමින් කටයුතු කිරිමත් තුළ මධ්‍යම පාන්තික සමාජ ස්ථරයේ නැඹුරුව ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන්ගෙන් ඉවත් ව නව දේශපාලන බලවේග කෙරෙහි නැඹුරුවක් දැකිය හැකය.

මෙරට සමාජයේ මධ්‍යම පාන්තික ඡන්දදායක චර්යාව පිළිබඳ නිරික්ෂණ කළ හැකි හා අවධානය යොමු කළ යුතු තවත් අංශයක් වනුයේ ජනවර්ග කිහිපයක් ජීවත්වන ප්‍රදේශවල (විශේෂයෙන් සිංහල හා මුස්ලිම්) ඡන්දදායක හැසිරිමයි. සිංහල හා මුස්ලිම් ජන වර්ගයන් ජීවත්වන ප්‍රදේශවල ජාතික හා ප්‍රාදේශීය දේශපාලනයේ දී සිංහල බහුතරයකගේ සහයෝගයෙන් මුස්ලිම් අපේක්ෂකයින් ව්‍යවස්ථාදායකයට තේරී පත් වීමේ ප්‍රවණතාවක් පසුගිය කාලය පුරා දැකිය හැකි විය. එහිදී පක්ෂයේ ජනප්‍රියතාවයත් අනුග්‍රාහක සේවා සබඳතාවේ සාධකත් මත ප්‍රධාන ප්‍රතිවිරෝධතා යටපත් කිරීමේ හැකියාව මත සුළුජන අපේක්ෂකයින් ජයග්‍රහනය කිරීමක් දැකිය හැකිවිය. නමුත් පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග ලාංකික සමාජයේ ඇති වූ මුස්ලිම් විරෝධී සැකය හා අවිශ්වාසය වර්ධනය විය.  ත්‍රස්ත ප්‍රහාරයන් සමග ලාංකික සමාජයේ ඇති වූ  මුස්ලිම් විරෝධී තත්ත්වය තුළ සමාජ කණ්ඩායම් අතර සැකය අවිශ්වාසය වර්ධනය විය. ත්‍රස්ත ප්‍රහාරය එල්ල කිරීමට එක් ජන වර්ගයක පිරිසක් සම්බන්ධ වීමත්, එම ජන වර්ගයට සම්බන්ධ ජාතික දේශපාලනයේ නිරත මහජන නියෝජිතයින්ට චෝදනා එල්ල වීමත්, චෝදනාවලට ලක් වූ නියෝජිතයින්ට කිසිදු නීතිමය පියවරක් නොගැනීමත් ආදි කරුණු කෙරෙහි ජනතාව වැඩි වශයෙන් අවධානයට ලක් කළ තත්ත්වයක් තුළ අනුග්‍රාහකත්වය මත ගොඩනැගුණු ඡන්දදායක හැසිරීම යම්තාක් දුරට වෙනස්වීමකට ලක්විය හැකි බව මාගේ නිරීක්ෂණයයි. පාස්කු ප්‍රහාරයෙන් පසු මුස්ලිම් මහජන නියෝජිතයින් කෙරෙහි චෝදනා එල්ල වීමත් සමග, ඔවුන් එම තනතුරුවලින් සාමූහිකව ඉවත් වීම තුළින් පහළ මධ්‍යම පාන්තික පිරිස් මැතිවරණයක් තුළදී තම ජන වර්ගයත්, ජාතික ආරක්ෂාවත් යන කරුණු මූලික කරගෙන කටයුතු කිරීමේ ප්‍රවණතාවක් දැකිය හැකි වුවත්, ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ඡන්දදායකයා තමා වෙත නැඔුරු කර ගැනීමට සිංහල හා මුස්ලිම් සමාජයේ ඇති ගැටලු කළමනාකරණය කර ගැනීමට දරණ උත්සාහයන් තුළින් විශ්වාසය ගොඩනගා ගැනීමට වෙර දරන ආකාරයත් දැකිය හැකිය. පාස්කු ප්‍රහාරයත් සමග මෙලෙස වෛරී තත්ත්වයන්ට පත් වූ සමාජ කොට්ඨාසයන්ගේ විරසක බව දේශපාලනයට එක් කරනුයේ ඍජු බලපෑමකි.  ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගනු ලැබුව ද රටේ ජාතික දේශපාලනයේ බලය රඳවා ගැනීමට නම් දේශපාලනයේ වැඩි බලපෑමක් කළ හැකි ඉහළ මධ්‍යම පන්තිය හා පහළ මධ්‍යම පන්තිය අපේක්ෂා කරන සමාජ ගැටලු කළමනාකරණය කළ හැකි දේශපාලන ප්‍රවාහයක් වෙත අපේක්ෂකයින් යොමු වීමත් ජාතික දේශපාලනයේ හෙජමොනි තත්ත්වයක සිටින බලවේගවලට අමතරව තුන්වන බලවේග කෙරෙහි මධ්‍යම පාන්තික ඡන්ද චර්යාව වෙනස් වීමට වැඩි නැඹුරුවක් ඇති බව මාගේ නිරීක්ෂණයයි.

ඡන්දදායකයා, පක්ෂය, ලාංඡනය, අපේක්ෂකයා යන්න මත ඡන්දය ලබා දීමෙන් ඔබ්බට ගොස් විකල්ප පක්ෂ හෝ විකල්ප අපේක්ෂකයින් කෙරෙහි සහ මැතිවරණයට පසු විපරම හා ඇගයීම මත දේශපාලන චර්යාවේ වෙනසක් වර්තමානයේ දී අපේක්ෂා කළ හැකිය.

ශ්‍රි ලංකාවේ ඡන්දදායක චර්යාව තීරණය කෙරෙහි සමාජ ස්ථරායනය මත එනම් කුලය, ජනවාර්ගිකත්වය, පංතිභේදය සහ ස්ත්‍රි පුරුෂභාවය සහ පසු කාලීනව අනුග්‍රාහක සේවා සබඳතාවය බලපාන ලදී. එවැනි තත්ත්වයක් තුළ අපේක්ෂකයන් සඳහා සම තරඟ බිමක් වෙනුවට සම අවස්ථා නොමැති තරඟ බිමක් නිර්මාණය වී තිබුණි. එවැනි තත්ත්වයක් තුළ ප්‍රජාතන්ත්‍රවාදී අංග හීනවීමක් හා පක්ෂ ප්‍රතිපත්ති වෙනුවට දේශපාලනය අලෙවිකරණය ප්‍රමුඛ වූ දේශපාලන සන්දර්භයක් නිර්මාණය වී තිබුණි. නමුත් පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟ ලංකාවේ දේශපාලන චර්යාව තුළ අලුත් දේශපාලන චර්යාවක් වර්ධනය වන ආකාරයක් දැකිය හැකිය. මෙරට සමාජය සාම්ප්‍රදායික වශයෙන් ඡන්දය ප්‍රකාශ කළ ඉහතින් සාකච්චා කළ අනුගතවීම්වලට අභියෝගයක්  එල්ල කරමින් ජාතික ආරක්ෂාවට මුල් තැන දෙන අපේක්ෂකයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරිමට ඡන්දදායකයින් යොමු වීමක් දැකිය හැකිය. එවැනි සන්දර්භයක් තුළ දේශපාලන ප්‍රවාහයේ අධිපති පක්ෂ ජාතික ආරක්ෂාව ඇති කරන ආකාරය හඳුන්වමින් මැතිවරණ ප්‍රචාරණය පවතින සමාජ සන්දර්භයට අනුව කරනු ලබයි. නමුත් මෙවැනි තත්ත්වයක් තුළ වඩාත් ම අභියෝගයට ලක්වනුයේ කාලයෙන් කාලයට තම ගැටලු හා තමාගේ ඡන්දය අතර සබඳතාවයක් ඇති බව පිළිගත් තමාගේ ගැටලු වලට විසදුම් ලබා දෙන පාර්ශවයන්ට සහයෝගය දැක්වූ සමාජ කොට්ඨාසයන්ය.