මුස්ලිම් සංස්කෘතිය තමන් වෙත ආවේණික වූ අනන්‍යතාවක් ගොඩනගා ගනිමින් අභ්‍යාස කරන්නා වූ ආගමික ප්‍රජාවක් මතින් ගොඩනැගුණා වූ සංස්කෘතියකි. මෙලෙසින් ඉස්ලාමීය සංස්කෘතිය මත පදනම්ව ගොඩනැගී තිබෙන්නා වූ ඇතැම් භාවිතයන් වර්තමානයේ දෙස් විදෙස් මතභේදයන්ට ලක්ව පැවතීම සුලභ තත්වයක් වන අතර ‘මුස්ලිම් කාන්තා ඇඳුම’ සම්බන්ධයෙන් වන කතිකාව එලෙස අවධානයට මෙන්ම විවේචනයට ලක්ව තිබෙන්නා වූ තවත් එක් ප්‍රධාන තේමාවක් ලෙසින් පෙන්වාදිය හැක. පශ්චාත්  9/11 ප්‍රහාර සන්දර්භය තුළ රාජ්‍ය ආරක්‍ෂාවට තර්ජනයක් වන බවට ගෙනහැර දක්වමින් කරළියට පැමිණි හිජාබය සහ නිකාබය කේන්ද්‍ර කරගත් කතිකාව අද දක්වාත් පක්‍ෂ විපක්‍ෂ අදහස් මධ්‍යයේ ඉදිරියට පැමිණ ඇති ආකාරය නිරීක්‍ෂණය කළ හැකි වන්නේ බහුතරයක් වූ ඉස්ලාමීය ප්‍රජාවෙහි විරෝධය සහ මානව හිමිකම් සංවිධානයන්ගේ අදහස් දැක්වීම්ද මධ්‍යයේ ය.

 

මෙවැනි පසුබිමක් තුළ පාස්කු ඉරු දින රටෙහි ඇති වූ ප්‍රහාර මාලාවත් සමඟ එම ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන් මුස්ලිම් ජාතිකයින් වීමත්, එකී ප්‍රහාර සඳහා මුස්ලිම් කාන්තාවන්ද සම්බන්ධ බවට අනාවරණය වීමත් සමග එක් අතකින් මෙරට තුළ මුස්ලිම් ජනතාව සම්බන්ධයෙන් වන අවිශ්වාසය වර්ධනය වනුයේ එක් ආකාරයක සමස්ත මුස්ලිම් ජනතාවම ප්‍රහාරයේ කොටස්කරුවන් යැයි සැකයට ලක්කරමිනි. එමෙන්ම අනෙක් පසින් මුස්ලිම් කාන්තාවන් සිය සුවිශේෂී වූ අනන්‍යතාවක් ලෙසින් භාවිතා කරන්නා වූ හිජාබය සහ නිකාබය ප්‍රතික්‍ෂේප කරන්නා වූ පුළුල් විරෝධතාවක් ගොඩනැගෙනුයේ රාවණා බලය, සිංහලේ, සිංහල රාවය සහ බොදු බල සේනා යනාදී වශයෙන් වූ බලපෑම් කණ්ඩායම්හි ප්‍රමුඛත්වය මධ්‍යයේ එය රටේ ජාතික ආරක්‍ෂාව වෙතද තර්ජනයක් වන බවද මතු කරමිනි. ඒ අනුව මෙහි ප්‍රතිඵලය වූයේ ජාතික ආරක්‍ෂාව මත පදනම්ව හදිසි නීතිය යටතේ 2019 අප්‍රේල් 23 වන දින ගෙන එන ලද ගැසට් පත්‍රයේ 32A (1) (a) වගන්තිය යටතේ කිසිඳු පුද්ගලයෙක් තමන් හඳුනා ගැනීමට බාධා වන ආකාරයෙන් තමන්ගේ සම්පූර්ණ මුහුණ ආවරණය වන අයුරින් පොදු ස්ථානයන්හිදී කිසිඳු ඇඳුමක්, ඇඳුම් පැළඳුමක් හෝ මුහුණ ආවරණය වන ආකාරයේ රෙදිපිළි පැළඳීමක් නොකළ යුතුව ඇති බවත්, එහි 32A (1) (b) වගන්තිය යටතේ ‘සම්පූර්ණ මුහුණ’ යනුවෙන් පුද්ගලයෙකුගේ දෙකන්ද ඇතුළුව මුළු මුහුණම අදහස් කෙරෙන්නා වූ බවත් පෙන්වාදෙන ලදි. ඒ අනුව මෙලෙසින් ගෙන එන ලද තහනම් කිරීමේ නීතිය හේතුවෙන් සිදුවූයේ මුස්ලිම් කාන්තාවන් හට ප්‍රසිද්ධ ස්ථානයන්හි නිකාබය සහ බුර්කාව පැළඳීමට පැවතියා වූ අවකාශය සීමා වීමය. එබැවින් මෙවැනි සන්දර්භයක මේ සම්බන්ධයෙන් මුස්ලිම් ජන සමාජය, මානව හිමිකම් ක්‍රියාකාරිකයින් සහ බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ ප්‍රමුඛත්වය යටතේ නොයෙකුත් ආකාරයේ පක්‍ෂ විපක්‍ෂ කතිකාවක් ගොඩනැගෙන්නට වූ අතර එවැනි පසුබිමක මෙකී රචනය තුළින් අපේක්‍ෂා කරනුයේ එක් පසෙකින් තවකෙකුගේ සංස්කෘතික භාවිතයද අනෙක් පසින් ජාතික ආරක්‍ෂාවද කේන්ද්‍ර කරගනිමින් ගොඩනැගුණා වූ නිකාබය සහ බුර්කාව තහනම් කිරීම සම්බන්ධයෙන් වන කතිකාව තුළ ස්ත්‍රියක් වීම මත ඉස්ලාමීය කාන්තාව වෙත සිදුවන බලපෑම කෙබඳුවන්නේදැයි සාකච්ඡා කිරීමය.

ඒ සඳහා වන ආරම්භයක් වශයෙන් ප්‍රථමයෙන් මිනිසා කුමන හේතු මත ඇඳුම් භාවිතා කරන්නේද යන්න පිළිබඳ පළමුව අවධානය යොමු කර සිටීම වැදගත්වන්නේ යැයි හැඟේ. ඒ අනුව මේ සම්බන්ධයෙන් විමසීමේදී පැහැදිලි වනුයේ සිය සමාජීය අවශ්‍යතාවක් ලෙසින් මෙන්ම ආරක්‍ෂාව උදෙසා මෙලෙසින් ඇඟලුම් භාවිතා කිරීමට මිනිසුන් ප්‍රධාන වශයෙන් පෙළඹී සිටින්නා වූ බවයි. තවද මීට පරිබාහිරව මනෝවිද්‍යාත්මක සාධක ලෙසින් සැලකෙන සිය අනන්‍යතාවෙහි අඛණ්ඩභාවය උදෙසාත් වර්තමානයේදී ඇගලුම් භාවිතය සිදු කරන්නා වූ බවත් හඳුනාගත හැක. ඒ අනුව මුස්ලිම් ප්‍රජාව සම්බන්ධයෙන් ගත්කළ ඔවුන් විසින් හුදෙක් සිය සමාජීය අවශ්‍යතාවන්ගෙන් ඔබ්බට ගමන් කරමින් ප්‍රජාවක් ලෙසින් සමාජය තුළ සිය අනන්‍යතාවය පිළිඹිබු කරන්නා වූ සංකේතයක් ලෙසින් ඇඟලුම් භාවිතය සිදු කරන්නා වූ ආකාරය නිරීක්‍ෂණය කළ හැකිය. මෙහිදී ඒ සඳහා අවැසි පරිසරය 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව තුළින් සපයා දී ඇති අතර එකී ව්‍යවස්ථාවට ප්‍රකාරව මෙරට සෑම පුරවැසියකු වෙතම තමන් කැමති ආගමක් ඇදහීමේ සමාන වූ අයිතියක් ලබාදී ඇත්තේ තමන් කැමති ආගමක් ඇදහීමට ඇති අයිතිය යනු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක පුරවැසියකු වෙත අත්‍යවශ්‍යයෙන්ම හිමිවිය යුතුව ඇති මූලික අයිතියක් ලෙසින් සැලකෙන්නා වූ නිසාවෙනි. ඒ අනුව මේ මත පදනම්ව වර්තමානයේ ලාංකේය ජනතාව සිය ආගම් අදහමින් එකී ආගමික සංස්කෘතීන්ට අදාළ භාවිතයන් අභ්‍යාස කිරීම සුලභ තත්වයක් වන අතර මුස්ලිම් කාන්තා ඇඟලුම් ක්‍රමවේදයද එක්තරා ආකාරයක සිය ආගමික අනන්‍යතාව පවත්වාගැනීමෙහිලා සිදුකරන්නා වූ භාවිතයක් ලෙසින් හඳුනාගැනීම සාවද්‍ය නොවනු ඇත. කෙසේවුවද මුස්ලිම් කාන්තාවන් අතර වූ මෙකී භාවිතාව අද වන විට හුදු ඇදහීමකට එහා ගමන් කරන ලද සංකේතාත්මක භාවිතයක් බවට පත්ව ඇත්තේ එක්තරා ආකාරයක කාන්තා පරිපීඩනයේ සංකේතයක්ද බවට පත් කරමින් වන බව අයෙකුට හැඟී යා හැක. එසේහෙයින් එකී අර්ථයෙන් ගත්කළ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව මුස්ලිම් කාන්තා හිජාබය සහ බුර්කාව ඇඳීම තහනම් කිරීමට කටයුතු කිරීම, කාන්තා නිදහස සම්බන්ධයෙන් වන සාධනීය තත්වයක් ලෙසින් හැඟී ගියද අනෙක් පසින් මෙලෙසින් කරන ලද තහනම් කිරීම ඉස්ලාමීය කාන්තාව වෙත සිදු කරන ලද බලපෑම කෙබඳුවන්නේදැයි යන්න සම්බන්ධයෙන්ද අවධානය යොමු කිරීම වැදගත්ය.

 

ඉස්ලාමීය ස්ත්‍රීන්ගේ ඇඳුම පිළිබඳ වන භාවිතය අද වන විට එක් ආකාරයක ඇඳුම සම්බන්ධයෙන් වන දේශපාලනය පමණක් නොව දේශපාලන ආර්ථිකයද පිළිඹිබු කරන්නක් ලෙසින් සැලකීම යුක්ති යුක්ත වනු ඇත. එනම් කාන්තාව මත බලහත්කාරයෙන් පටවා තිබෙන පුරුෂ මූලික හෙජමොනික භාවිතය නිකාබය, හිජාබය වැනි ඇඟලුම් තුළින් දෘශ්‍යමාන වන බව හඳුනාගත හැක. ඉස්ලාමීය කාන්තා ඇඳුම සම්බන්ධයෙන් වන භාවිතය අල්ලාහ් දෙවියන්ගේ කියැවීම් මත පදනම්ව ගොඩනැගුනක් වන බව ශාස්ත්‍රීය ග්‍රන්ථ සාක්‍ෂි දරනු ඇත. ඒ අනුව එකී සාහිත්‍යයන්ට ප්‍රකාරව ඉස්ලාම් භක්තික කාන්තාවන් ඔවුන්ගේ ශරීරයේ පෞද්ගලික කොටස් තම පවුලේ සමීපතයන්ට හැර වෙනත් පිරිස් වෙත නිරාවරණය නොකළ යුතුව ඇති බව සඳහන් වන බැවින් ඒ මත පදනම්ව ඉස්ලාමීය කාන්තා ඇඟලුම් ලෙසින් සැලකෙන නිකාබය, බුර්කාව, හිස් පළඳනාව වැනි ඇඟලුම් භාවිතය ආරම්භව ඇති බව හඳුනාගත හැක. නමුත් මෙහිදී සංස්කෘතිය හෝ ආගම මත හෝ පදනම්ව මෙලෙසින් අයෙක් ඇඳිය පැළඳිය යුතු ආකාරය නියම කිරීම කෙතෙරම් සාධාරණවන්නේදැයි සිතිය යුතුව ඇත. එපමණක්ද නොව මෙහි වූ සුවිශේෂීත්වය වන්නේ මෙලෙසින් ඉස්ලාමීය කාන්තා ඇඳුම සම්බන්ධයෙන් වන නියම කිරීම් ගෙන ඒම හුදු ඉස්ලාමීය ස්ත්‍රීන් විසින් නොව ඉස්ලාමීය පුරුෂයින් විසින් සිදු කිරීමය. මේ අනුව පැහැදිලි වන්නේ කාන්තාවක් තමන් විසින් ඇඳිය පැළඳිය යුතු ආකාරය පවා තීරණය කිරීම සම්බන්ධයෙන් වන අති මූලික වූ නිදහස පවා ඉස්ලාමීය කාන්තාව අතින් ගිලිහී ගොස් ඇති බවය. එබැවින් මෙය එක්තරා ආකාරයකින් පුරුෂ ආධිපත්‍යය පිළිඹිබු කරන්නකි. කාන්තාව මත සිය බලයල අණසක පැතිර වීමකි.

 

මෙහිදී මෙම ලිපියෙහි ඉහතදී සඳහන් කළ ආකාරයට මෙම අදහස සමග ඇතැමෙක් එකඟ නොවිය හැක. මන්දයත් ඉස්ලාමීය කාන්තාවගේ ඇඳුම සම්බන්ධයෙන් වන දේශීය සහ විදේශීය විවාදය තුළ ඇතැමෙක් මෙකී නිකාබය සහ බුර්කාව පැළදීම යනු සිය ප්‍රජාව වෙත ඇතුළත්ව සහසබඳතා පවත්වාගැනීමේත්, සිය ආගමික අනන්‍යතාව පිළිඹිබු කිරීමේත් සංකේතයක් වශයෙන් මෙන්ම සිය සහයෝගීතාව පිළිඹිබු කරන්නක් ලෙසින්ද හඳුනාගැනීමය. කෙසේවුවද මෙලෙසින් පවතින විවාදය තුළ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ඉස්ලාමීය කාන්තාවන් හට හිජාබය සහ නිකාබය ඇඳීම තහනම් කිරීමට කටයුතු කිරීම මාගේ මතයට අනුව එක් පසෙකින් කාන්තා පරිපීඩනයේ සංකේතයක් ලෙස පුරුෂ මූලිකව ගෙන එන ලද භාවිතය ජාති සහ ආගම් භේදයකින් තොරව බහුතරය වූ පුරුෂ පාර්ශවයේ මැදිහත්වීමෙන් තහනම් කිරීමට කටයුතු කිරීම යුක්ති සහගත නොවන බවය. මන්දයත් මෙපරිද්දෙන් කාන්තාවක් ඇඳිය යුතු ආකාරය නියම කිරීම සහ එලෙසින් කාලාන්තරයක් පුරාවට තමන් හුරුව පැවතියා වූ භාවිතය එක් රැයකින් ඇයගේ මත විමසීමකින් තොරව තහනම් කිරීමට කටයුතු කිරීම තුළ ඉස්ලාමීය කාන්තාව ඇය කාන්තාවක් වීම නිසාවෙන් මෙන්ම රටෙහි වාර්ගික සුළුතරය නියෝජනය කරන්නා වූ කාන්තාවක් වීම නිසාවෙන් ද්විත්ව ආකාරයේ වෙනස්කොට සැලකීමට ලක් වීමකි. ඒ අනුව මෙවැනි පසුබිමක මෙමගින් පැහැදිලි ලෙසින්ම නිරූපණය වනුයේ අන්කවරක් හෝ නොව නිකාබය සහ බුර්කාව වෙත මුවාව බලාත්මක කරන්නා වූ පුරුෂ කේන්ද්‍රීය බල දේශපාලනයේ ස්වභාවය ය.

 

තවද පාස්කු ඉරිදා ප්‍රහාරය හා මුස්ලිම් කාන්තා ඇඳුම පිළිබඳ කතිකාව තුළ ඉස්ලාමීය කාන්තාව වෙත සිදු වූ බලපෑම පිළිබඳ අවධානය යොමු කිරීමේදී ඒ හා බැඳි දේශපාලන ආර්ථිකය පිළිබඳවද සඳහන් කළ යුතුව ඇතැයි සිතමි. නිකාබය සහ බුර්කාව වැනි ඉස්ලාමීය කාන්තා ඇඟලුම් දෙස බැලූවත්ම අයෙකු වෙත එය සරල ලෙසින් මසන ලද ඇඟලුමක් යැයි සිතිය හැකිය. නමුත් ඒ තුළද අප වෙත බැලූවත්ම නොපෙනෙන්නා වූ විශාල දේශපාලනික හැඟවුමක් ගැබ්ව ඇති බව අයෙකු හට නොසිතෙන්නට පුළුවන. වර්තමානයේ මෙවැනි හිජාබ් සහ බුර්කා විකිණීමට ඇති විලාසිතාගාර පිළිබඳ අවධානය යොමු කිරීමේදී පැහැදිලි වන්නේ වෙළෙඳපොළෙහි සාමාන්‍ය රෙදිපිළි වලින් මසන ලද සාමාන්‍ය මුදලකට අලෙවි කරන්නා වූ ඉස්ලාමීය කාන්තා ඇඟලුම්හි සිට වෙල්වට් වැනි ඉතාමත් මිල අධික රෙදි පිළිවලින් මසන ලද මිල අධික වූ ඉස්ලාමීය කාන්තා ඇඟලුම්ද අලෙවි කිරීමට පවතින බවය. ඒ අනුව මෙවැනි ඇඟලුම් භාවිතයේ තථ්‍ය අරමුණ එක්කෝ තම පවුලේ සාමාජික පුරුෂයින් නොවන පුරුෂයින් හට තම ශරීරයෙහි වූ අලංකාරීත්වය නොපෙන්වා සිටීම හෝ නැතහොත් සිය අනන්‍යතාවය පවත්වා ගැනීම නම් එකම ඇඟලුම වුවද වෙළෙඳපොළ තුළ විවිධ වූ මිල ගණන් සහ ප්‍රමිතීන්ගෙන් අලෙවි කෙරෙන්නේ ඇයි දැයි යන පැනය මෙහිදී මතුවනු ඇත. එසේහෙයින් මේ සම්බන්ධයෙන් පුළුල් වූ විග්‍රහයක නිරතවීමේදී පෙනීයන්නේ මෙකී ඇඟලුම වර්තමානයේ ආගමික සාමූහිකත්වය සහ අනන්‍යතාව පිළිඹිබු කිරීමෙන් එහා ගමන් කරමින් තම ආර්ථික ශක්‍යතාවය සහ සමාජ තත්වය ප්‍රදර්ශනය කිරීමේ සංකේතයක් වශයෙන් භාවිතා කරන්නා වූ බවය. ඒ අනුව බොහෝ අවස්ථාවන්හිදී මිල අධික හිජාබය සහ නිකාබය වැනි ඇඟලුම් මිලදී ගන්නා වූ සහ භාවිතා කරන්නා වූ ඉස්ලාමීය කාන්තාවන් ඉස්ලාමීය ජන සමාජය තුළ ඉහළ පැළැන්තිය නියෝජනය කරන්නා වූ සමාජ, ආර්ථික සහ සංස්කෘතික ප්‍රාග්ධනයන්ගෙන් සමන්විත වන කණ්ඩායම ලෙසින් එක්තරා ආකාරයකින් හඳුනාගත හැක. ඒ අනුව බලන කල පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව සිදු වූ නිකාබය සහ බුර්කාව තහනම් කිරීම තුළ වැඩි වශයෙන් වින්දිතයන් බවට පත්වූයේ සමස්ත ඉස්ලාමීය කාන්තා සමාජයම නොව ඒ අතුරින්ද ඉස්ලාමීය ජන සමාජය තුළ පහළ හෝ මැදි මට්ටමේ ස්ථර නියෝජනය කරන්නා වූ කාන්තාවන් වන බව මතක් කළ යුතුව ඇත. ඒ අනුව නිදසුනක් ලෙස පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු වූ සමය වෙත ඔබගේ මතකය යළිත් ගෙනගිය විට පැහැදිලි ලෙසින්ම ප්‍රත්‍යක්‍ෂවන්නා වූ කාරණයක් වනුයේ බුර්කාව සහ නිකාබය තහනම් කිරීම තුළ වැඩි වශයෙන් පීඩාවට පත්වූයේ හුදු සිය පෞද්ගලික මෝටර් රථ තුළ ගමන් බිමන් ගිය මුස්ලිම් ප්‍රජාව නොව දුම්රිය, බස්රථ වැනි පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කරන ලද සාමාන්‍ය මුස්ලිම් ප්‍රජාව වන බවය. ඒ තුළ බහුතර ජන සමාජය තුළ වෙනස් කොට සැලකීම් වෙත මෙන්ම චූදිතයන් බවට වන දැක්මට හසුව වින්දිතයන් බවට පත්වූයේ මෙකී මැදි සහ පහළ තල නියෝජනය කරන්නා වූ මුස්ලිම් ජන ප්‍රජාව වන බවත්, ඒ තුළ මුස්ලිම් ස්ත්‍රිය සිය ඇඳුම පදනම් කරගනිමින් වැඩි පීඩාවකට පත්වන්නට වූ බවත් එම කාල පරාසය තුළ පැහැදිලිව නිරීක්‍ෂණය කළ හැකි තත්වයක් විය. එසේහෙයින් මේ අනුව පැහැදිලි වන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ජන සමාජය තුළ නිකාබය සහ හිජාබය පෙරටු කරගත් කතිකාව තුළ මුස්ලිම් සමාජයෙහි වූ දේශපාලන ආර්ථිකමය හැඟවුම පිළිබඳවද අවධානය යොමු කිරීම වැදගත් වන බවය.

 

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ඉස්ලාමීය කාන්තා පළඳනාවන් වූ නිකාබය සහ බුර්කාව තහනම් කිරීමට කටයුතු කිරීම තුළ ස්ත්‍රිය වෙත සිදු වූ බලපෑම පිළිබඳ විමසීමේදී පෙන්වාදිය යුතු කරුණක් වනුයේ ප්‍රහාරයෙන් අනතුරුව සුළු ජාතික අනන්‍යතාවක් ලෙසින් භාවිතා කරන ලද නිකාබය සහ බුර්කාව ප්‍රසිද්ධ ස්ථානවල පැළඳීම එක් වරම තහනම් කිරීමට කටයුතු කිරීම කෙතරම් යුක්ති සහගත වන්නේදැයි යන්න සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ යුතුව ඇත. මන්දයත් ප්‍රහාරය සිදු වූ සමයේ මෙම ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් ප්‍රහාරයට පැමිණීමේදී කිසිඳු සැකකරුවෙක් ඔවුන්ගේ මුහුණු ආවරණය වන පරිද්දෙන් ප්‍රහාර සඳහා නොපැමිණි අතර ඔවුන් සියල්ලන්ම ඩෙනිම් කලිසම, ටී ෂර්ටය සහ කැප් තොප්පි වැනි බටහිර ඇඳුම් පැළැඳ සිටි ආකාරය නිරීක්‍ෂණය කළ හැකිය. එසේහෙයින් මෙහිදී මතු කළ යුතුව ඇති කරුණක් වනුයේ මෙවැනි පසුබිමක බටහිර ඇඳුම සම්බන්ධයෙන් වන විරෝධයක් මතු විය යුතුව තිබියදී සුළු ජාතික අනන්‍යතාව හා සම්බන්ධ පැළඳුමක් සම්බන්ධයෙන් විරෝධයක් එල්ල වීම කෙතරම් උචිත වන්නේද යන්නය. ඒ අනුව මෙය සැබෑ ලෙසින් රාජ්‍ය ආරක්‍ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමක්ම නොව කිසියම් ආකාරයක රටෙහි බහුතරය සහ සුළුතරය යනුවෙන් කාලයක් තිස්සේ පැවති ආතතිය පුපුරා යෑම දෘශ්‍යමාන වූ අවස්ථාවක් ලෙසින්ද සැලකිය හැකිය. එසේහෙයින් මෙවැනි තහනම් කිරීමක් තුළින් සිදුවනුයේ බුර්කාව සහ හිජාබය පළඳින්නා වූ කාන්තාවන් කිසියම් ආකාරයක අපහසුතාවකට පත් කරමින් ඔවුන් හට සිය රැකියා සහ අධ්‍යාපනය වෙත ප්‍රවේශයේදී මෙන්ම තමන් වෙත අවැසි මූලික සේවා ලබාගැනීමේදී වෙනස් කොට සැලකීමට ලක්වීමය. නැතිනම් හැකිතාක් දුරට තම නිවසට වී කාලය ගත කිරීමට පෙළඹවීමය. එබැවින් මෙය එක්තරා ආකාරයකින් එකී කාන්තාවන්ගේ භාෂණයේ නිදහස, ආගමික නිදහස මෙන්ම වෙනස් කොට සැලකුම් වෙත ලක් නොවීමට තිබෙන්නා වූ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක්ද වනු ඇත.

 

එමෙන්ම නිකාබය සහ බුර්කාව තහනම් කිරීම සම්බන්ධයෙන් රට අභ්‍යන්තරයෙහි මතුවන්නට වූ විරෝධතාව සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කිරීම වැදගත්ය. එහිදී මුස්ලිම් සමාජය නියෝජනය කළ ඇතැම් කණ්ඩායම් විසින් මතු කළ තර්කය වූයේ මෙම තහනම් කිරීම තුළ ආගමික ප්‍රජාවක් වශයෙන් සිය සංස්කෘතික අනන්‍යතාවට හානියක් සිදුවන බවය. මෙලෙසින් විරෝධතාව දක්වන්නා වූ කණ්ඩායම්හි ප්‍රධානතම තර්කය වනුයේ මෙවැනි නීති ගෙන ඒම රටක බහුසංස්කෘතිකවාදී භාවිතාවන්ට, සංස්කෘතික බහුවිධත්වයට මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත නිදහස උල්ලංඝනය කිරීමක් වන බවය. ඒ අනුව මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී කිසියම් පුද්ගලයෙකු තුළ සිය ආගම සම්බන්ධයෙන් වන භක්තිය ඇඳුමක් තුළින්ම පමණක් ප්‍රදර්ශනය කළ හැකිද යන්න මෙන්ම, කිසියම් වූ පැළඳුමක් තුළින් සැබෑ ලෙසින්ම අනන්‍යතාවක් ආරක්‍ෂා කළ හැකිද යන කරුණු සම්බන්ධයෙන් තාර්කිකව සිතා බැලිය යුතුව ඇති බව පැවසිය යුතුය. ප්‍රබල බහුසංස්කෘතික රාජ්‍යයක් වූ ප්‍රංශය තුළ 2010 වසරේදී විභාගයකට ගැනුණු ජාත්‍යන්තරය තුළ දැඩි මතභේදයකට ලක් වූ S.A.S. vs France නඩු තීන්දුව මේ සඳහා වන කදිම නිදසුනක් වනු ඇත. උදාහරණයක් ඇසුරින් මේ පිළිබඳ කෙසේවුවද මෙලෙසින් හුදු පැළඳීමක් මත පදනම්ව කිසියම් අයෙක් සතුවන්නා වූ ආගමික භක්තිය මැන බැලීම මෙන්ම එකී පැළඳුම අනන්‍යතාව පිළිබිඹු  කිරීමේ මෙවලමක් ලෙසින් භාවිතා කිරීම එතරම් යෝග්‍ය නොවනු ඇත. මන්දයත් මෙවැනි භාවිතයක් තුළින් සැබෑ ලෙසින්ම සිදුවන්නේ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ‘අනෙකා’ ලෙසින් සමාජයේ තිබෙන දැක්ම තවදුරටත් තහවුරු වීම මෙන්ම වාර්ගික බහුතරය සහ වාර්ගික සුළුතරය අතර පවතින්නා වූ බෙදීම තව තවත් තීව්‍ර වීමය. මෙවැනි තත්ව සමාජ විමුක්තිය සහ ප්‍රගමනය සම්බන්ධයෙන් අහිතකර වනුයේ කිසියම් රටක හෝ සමාජයක සමාජ විමුක්තිය කේන්ද්‍ර කරගත් කතිකාව පදනම් විය යුත්තේ හුදෙක් නිදහස සහ සමානාත්මතාව වැනි ප්‍රජාතන්ත්‍රීය භාවිතයන් මත මිස කිසියම් වූ වාර්ගික කණ්ඩායමක් මත පදනම් වූ සංස්කෘතියක් හෝ සංස්කෘතිකාංග මත නොවන්නා වූ බැවිනි.

 

එපමණක්ද නොව පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව නිකාබය සහ බුර්කාව තහනම් කිරීමට කටයුතු කිරීම තුළ ඉදිරියට පැමිණි තවත් එක් අදහසක් වූයේ ඉස්ලාමීය කාන්තාවගේ පීඩනයේ එක් සංකේතයක් ලෙසින් පැවති භාවිතය නවතා දැමීමට කටයුතු කිරීම හේතුවෙන් ස්ත්‍රීපුරුෂ සමානාත්මතාවය ස්ථාපිතවන්නා වූ බවයි. මන්දයත් මෙම ක්‍රියාමාර්ගයත් සමඟ ඉස්ලාමීය කාන්තාවන්ට තමන් හට සම්පූර්ණ මුහුණ ආවරණය වන ආකාරයේ හිස් ආවරණ සහිත ඇඳුම් ඇදීමට සිදු නොවීමත්, ඉස්ලාමීය කාන්තාවන් හට පහසුවෙන් මාර්ගයේ ගමන් කිරීමේ අවස්ථාව උදාවීමත් සිදුවන්නා වූ නිසාවෙනි. ඒ අනුව මෙකී අදහස සම්බන්ධයෙන් අදහස් දැක්වීමේදී මතු කළ යුතුව ඇති කරුණක් වනුයේ යම් අයෙකු හට සත්‍ය වශයෙන්ම ඉස්ලාමීය කාන්තාවන් හට පුරුෂයින්ට මෙන් සමානාත්මතාවය ලබාදීමට අවශ්‍යවන්නේ නම් ඒ සඳහා අත්‍යවශ්‍යයෙන්ම කළ යුත්තේ නිකාබය සහ බුර්කාව තහනම් කිරීමද, එසේත් නොමැතිනම් ඉන් ඔබ්බට ගමන් කරන ලද ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමද යන්න පිළිබඳ විචාරශීලීත්වයෙන් යුක්තව අවධානය යොමු කිරීම නොවන්නේද?

 

එසේහෙයින් මේ ආදී වශයෙන් වූ ප්‍රතිමාන පිළිබඳ අවධානය යොමු කිරීමේදී පැහැදිලි වන කරුණක් වනුයේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ඉස්ලාමීය කාන්තා නිකාබය සහ බුර්කාව පැළඳීම තහනම් කිරීමට ගනු ලැබූ ක්‍රියාමාර්ගය මූලික කරගනිමින් ගොඩනැගුණා වූ කතිකාව පිළිබඳ අවධානය යොමු කිරීමේදී ඒ සම්බන්ධයෙන් වන ලෝක කතිකාව පිළිබඳද අවධානය යොමු කිරීම තුළ මෙකී තේමාව පිළිබඳ පුළුල් වූ විග්‍රහයක නිරත වීමේ අවස්ථාව උදා වන බවය. මේ හේතුවෙන් මෙකී කාරණය පිළිබඳ වඩාත් විවෘත අවකාශයක සිතීමට, විමසීමට අවස්ථාව උදාවනු ඇත. එමෙන්ම මෙලෙසින් නිකාබය සහ බුර්කාව පැළඳීම තහනම් කිරීමට කටයුතු කිරීම හුදෙක් ජාතික ආරක්‍ෂාව උදෙසා ගනු ලැබූ තවත් එක් ක්‍රියාමාර්ගයක් වශයෙන් එක් වරම හැඟී ගියද ඒ තුළද ගැඹුරු වූ සමාජ, ආර්ථික, දේශපාලනික සහ සංස්කෘතික හැඟවුමක් පවතින්නා වූ බව පැහැදිලි වනු ඇත. එසේහෙයින් කළ යුතුව ඇත්තේ එකී ක්‍රියාමාර්ගය කෙතරම් යුක්ති සහගත වන්නේද නැද්ද යන වග පිළිබඳ හුදෙක් පටු මානසිකත්වයකින් යුක්තව තීරණය කිරීම නොව ඉන් ඔබ්බට ගමන් කරමින් ඒ පිළිබඳව විවෘතව සිතීම සහ විමසීමය.