දේශපාලන කාටූන් හරහා ඉදිරිපත් කෙරෙන ප්ලේටෝගේ ‘රාජ්‍ය නෞකාව’ පිළිබඳ විමසුමක් – කල්පනී දඹගොල්ල

හැඳින්වීම සහ අරමුණ

කලාව, දේශපාලනය හා නගරය යන සාධක තුන විවිධ කෝණයන් හරහා එකිනෙකට සම්බන්ධකොට දැක්විය හැකි අතර එම සම්බන්ධතා දාර්ශනික මානයකින් විශ්ලේෂණය කොට, අනාගතයේ සිදුවිය හැකි දේ කීමටත්, අතීතයේදී සිදු වූ දෑ තුළින් වර්තමානය පිළිබඳ විවේචන ඉදිරිපත් කිරීමටත් යොදාගත හැකි ය. එවන් දාර්ශනික සම්බන්ධතාවක් ගොඩනැගිය හැකි බොහෝ කරුණු, ක්‍රිස්තු පූර්ව 429-347 හි ජීවත් වූ සොක්‍රටීස් නම් දාර්ශනිකයා විසින් කියන ලදැයි සැලකෙන දාර්ශනික මතයන් අළලා, ඔහුගේ අනුගාමික ප්ලේටෝ විසින් ලියන ලද ජනරජය කෘතියෙන් ගෙනහැර දැක්විය හැකි ය. එහි දැකිවෙන මනෝ රාජ්‍යයේ දාර්ශනික පාලකයකු පිළිබඳ සංකල්පය වඩාත් ප්‍රචලිත වී ඇති අතර, සොක්‍රටීස් විසින් ඇතැන්ස් පෞර රාජ්‍යය විස්තර කිරීමට යොදාගත් ‘රාජ්‍ය නෞකාව’ උපමාව ද විවිධ පැතිකඩ ඔස්සේ මතිමතාන්තර, නිර්මාණ හා සංවාද සඳහා යොදාගෙන ඇත. මෙම විශ්ලේෂණයට යොදාගෙන ඇති දේශපාලන කාටූන් සඳහා ද එකී උපමාව බහුලව යොදාගෙන ඇති බව පෙනේ. එහෙයින්, කලාව හා දේශපාලනය නිරූපිත දේශපාලන කාටූන් හරහා ඉදිරිපත් කෙරෙන දේශපාලනය හා නගරය පිළිබඳ විග්‍රහ කෙරෙන ප්ලේටෝගේ ‘රාජ්‍ය නෞකාව’ උපමාව පිළිබඳ කරුණු ගෙනහැර දැක්වීමක් මෙම පත්‍රිකාවෙන් බලාපොරොත්තු වේ.

ප්ලේටෝගේ  ‘ජනරජය’ සහ ‘රාජ්‍ය නෞකාව’

ප්ලේටෝගේ  ජනරජය හි අන්තර්ගත සංවාදයේ ප්‍රධාන තේමාව හා එය තහවුරු කිරීම අයත් වන පරිච්ඡේදයේ (473E – 502C) පේලි 488a – 489d කොටසේදී  රාජ්‍ය නෞකාව පිළිබඳ උපමාව විස්තර කෙරේ. මෙහිදී ප්ලේටෝ විසින් නැවක් හා නැව්පතියා, පෞර රාජ්‍යයට හා එහි පාලකයාට උපමා කොට පාලන තන්ත්‍රයක යහපැවැත්ම උදෙසා දාර්ශනික පාලකයාගේ වැදගත්කම කෙරෙහි තම සංවාදය මෙහෙයවනු ලබයි.[1] මෙහිදී ප්‍රධාන වශයෙන් දැක්වෙන පාර්ශවයන් තුන, එනම්, නැව් හිමිකරුවන්, නාවික පිරිස හා නැව්පතියා පිළිවෙලින් පෞර රාජ්‍යයක මහජනතාවට, දේශපාලනඥයින්ට හා පාලකයන්ට සමාන කොට දැක්විය හැකි ය.

නැවෙහි හිමිකරුවන් වනාහි ඉතා ප්‍රබල කණ්ඩායමක් ලෙස මෙම උපමාව විශ්ලේෂණය කිරීම හරහා  තෙරුම් ගත හැකි ය. ජී. ෆෙරාරි යෝජනා කරන්නේ ‘ජනතාව‘ නැව් හිමිකරුට සමාන කළ යුතු බවයි. මෙම අර්ථකථනය සාර්ථක එකක් ලෙස සැලකිය හැකි වන්නේ ඔවුන් යම් ආකාරයකින් විශාලතම හා ශක්තිමත්ම කණ්ඩායම වන බැවිනි.[2] මෙම කණ්ඩායම විසින් සාමාන්‍ය අවස්ථාවලදී මෙන්ම තීරණාත්මක අවස්ථාවන්හිදී ද ගන්නා තීරණයන්හි වාසි හෝ අවාසි විඳ දරා ගැනීමට සිදු වන්නේ ඔවුන්ටම ය. එහෙයින් ඔවුන් නගරයක ඡන්ද අයිතිය හිමි විශාල කණ්ඩායමක් වන මහජනතාවට සමාන කල හැකි ය. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය තුළ මහජනතාවගේ බහු මතය වනාහි ඉතා ප්‍රබල සාධකයක් වන අතර ඔවුන්ගේ ඒකමතික තීරණය මත නගරයක/රටක සාර්ථකත්වය හෝ විනාශය ළඟා වනු ඇත. නැව පදවන්නාට සමාන කල හැකි නගර පාලකයන්ගේ තීරණ වලින් ද ඍජු බලපෑමට ලක්වන්නේ නැව් හිමිකරුවන්ට සමාන මහජනතාව ය.

අනෙක් කාණ්ඩය වන්නේ නාවිකයන්ට සමාන කළ හැකි දේශපාලනඥයින් ය. ප්ලේටෝ දක්වන අන්දමට,  “තමා ම නැව මෙහෙයවිය යුතු ය යි හැම නාවිකයකුම සිතන නමුත් ඔවුන් කිසිවකු එම ශාස්ත්‍රය ඉගනගෙන නැති අතර [...] එම ශාස්ත්‍රය ඉගැන්විය නොහැකි ය යි කියන තැනැත්තා කෑලිවලට කැපීමට සූදානම්ව සිටිනවා” (488b). එපමණක් නොව, එවන් නාවිකයන්,

නිතර ම නැව්පතියා වටා රොක් වී සිටින ඔවුන් සුක්කානම තමන් අතට පවරන ලෙස ඉල්ලා සිටිමින් ඔහු වෙත සියලු ආකාර පෙළඹවීම් පිළිගන්වනවා- ඔහු පෙළඹවීමට තමන් අසමත් වී වෙනත් අය වඩා සමත් වු ඇතැම් අවස්ථාවල එසේ සමත් වූ අය මරණයට පත් කොට හෝ නැවෙන් පිටතට තල්ලු කොට උතුම් තැනැත්තෙකු වූ නැව්පතියා මත් ද්‍රව්‍ය හෝ මත්පැන් හෝ වෙනත් උපක්‍රමයක් හෝ මගින් අවනත කොට ඔහුගේ අත් පා බැඳ නැවෙහි බඩු තොගය රිසි සේ භුක්ති විඳිමින් නැව පාලනය කරන්නට පටන් ගන්නවා (488c).

ඉහත කරුණු මගින්න් දක්වා ඇත්තේ වර්තමානයේ වුව ද දැකිය හැකි දේශපාලනඥයින්ගේ ආකෘතික ස්වභාවයයි. මෙහිදී විශේෂයෙන්ම ප්ලේටෝ හා සොක්‍රටීස්ගේ සමකාලීන ඇතීනියානු දේශපාලනඥයින්ගේ ඍණාත්මක චරිත ලක්ෂණ දක්වා ඇතිමුත් ඒවා සර්වකාලීන බව පැහැදිලි ය. නැව්පතියාගේ ස්ථානය ලබා ගන්නා අටියෙන් ආරවුල් ඇති කරන නැවියන් එම නෞකාව තුළ හැසිරෙන ආකාරයෙන්ම දේශපාලඥයින් විසින් ද තම පෞද්ගලික න්‍යායපත්‍රයන් ඉටුකරගැනීම උදෙසා විෂම සැලසුම් සකස් කරමින්, තම  නගර හා එහි වැසියන් සිවිල් විරෝධතා හා ආරවුල් වෙත ඇද දමමින්, මුළුමහත් වැසියන්ගේ සංහිඳියාව විනාශ කොට, අර්බුදකාරී තත්ත්වයන් නිර්මාණය කරනු ලබයි.

ප්ලේටෝ විසින් ප්‍රමුඛතාව ලබා දී ඇති අනෙක් වැදගත්ම පාර්ශ්වය වන්නේ නැව්පතියා ය. මෙම උපමාව විස්තර කිරීම ආරම්භ වන්නේ ප්ලේටෝ විසින් තම සමගාමී ඇතීනියානු පාලන තන්ත්‍රය දුබල නැව්පතියකු විසින් අරමුණකින් තොරව පදවන නැවකට සමාන කිරීමකිනි:  “නැව්පතියා උස මහතින් ද ශරීර ශක්තියෙන් ද නැවෙහි සිටින අන් සියලු දෙනා අභිබවා යන නමුත් ඔහුගේ ඇසීම හා පෙනීම දුර්වල යි. නාවික ශාස්ත්‍රය පිළිබඳ ඔහුගේ දැනුම ද ඔහුගේ ඇසීම වගේ ම දුර්වල යි” (488a) මෙවන් නැව්පතියකු නැවක් සාර්ථකව පාලනය කිරීම ද, ගමනාන්තය තෙක් සුරක්ෂිතව නැව පදවාගෙන යාම ද අවිනිශ්චිත බව ප්ලේටෝ දක්වයි. එවන් නායකත්වයක් යටතේ ගමන් කරනා නෞකාවක සිටිනා සෙසු පිරිස ද “නියම නැව්පතියා සැබැවින් ම නිකමකු, වාචාලයකු හා තමන්ට වැඩක් නැති පුද්ගලයෙකු ලෙස සලකනු ලබනවා නො වේ ද?” (489a) යයි ප්ලේටෝ අවධාරණය කරන්නේ නායකයින් කොටස් දෙකක් ඇති බව පෙන්වා දෙමිනි. ඒ අනුව චරිත ලක්ෂණ හා කාර්යභාර්ය ඉටු කිරීමට ඇති හැකියාව හා දක්ෂතාව, නිපුණත්වය හා දැනුම පදනම් කොටගෙන සැබෑ සහ ව්‍යාජ (හොඳ සහ නරක) ලෙස නාවිකයාට සමාන කොට පාලකයින්/නායකයින් වර්ග දෙකක් මෙහිදී සාකච්ඡාවට ගෙන ඇත. මෙම උපමාව ආරම්භ කර ඇත්තේ ව්‍යාජ පාලකයකු සතු ඉහත් කී ලක්ෂණ පිලිබඳ  පැහැදිලි කිරීමකිනි. එහෙත් මෙහිදී ප්ලේටෝගේ අභිප්‍රාය වන්නේ සැබෑ නායකයගේ ලක්ෂණ හුවා දැක්වීම ය.

සත්‍ය හා යථාර්ථය දන්නා එකම පිරිස දාර්ශනිකයන් ය යන මතයෙහි පිහිටා, ප්ලේටෝ විසින් දාර්ශනික පාලකයා නාවික ශ්‍රාස්ත්‍රයෙහි නිපුණ ගමනාන්තය වෙත තම නෞකාව සුරක්ෂිතව පැදවිය හැකි නැව්පතියෙකුට සමාන කරයි:  “සැබෑ නැව්පතියෙකු සත්‍ය වශයෙන් ම නැවක පාලකයකු වන්නට නම් වර්ෂය හා ඍතු ද අහස හා තරු ද සුළං හා තම ශිල්පයට අයත් අන් කරුණු ද කෙරෙහි සිය අවධානය යොමු කළ යුතු බව” (488c) ප්ලේටෝ දක්වයි. මෙහිදී පාලකයාගේ නිපුණත්වය හා පාලන කටයුතු කෙරෙහි ඇති සමර්ථතා පිළිබඳ ප්ලේටෝ විශේෂ අවධානයක් යොමුකරයි. ඒ සඳහා නැව්පතියාගෙන් පිළිිබිඹු වියයුතු ශ්‍රාස්ත්‍රය හා පුහුණුව සේම, පාලකයාගෙන් ද පාලන තන්ත්‍රය හා බැඳි සියලූම අවශ්‍යතා ප්ලේටෝ විසින් අපේක්ෂා කළ බව පැහැදිලි ය. එසේම, එවන් විශිෂ්ට නිපුණතාවකින් හෙබි නැව්පතියෙකුගෙන් ප්‍රයෝජන නොගැනීම වනාහි අනෙක් පාර්ශ්වයන්ගේ වගකීමක් වන අතර ප්ලේටෝ විසින් එය සමාන කර ඇත්තේ “රෝගී තැනැත්තා පෝසත් වුවත් දුප්පත් වුවත් වෛද්‍යවරුන්ගේ දොරවල්  වෙත යා යුතු ” (489c) වන්නා සේම “පාලනය අවශ්‍ය සියලු දෙනා පාලනය කළ හැකි අයගේ දොරවල් වෙත යා යුතු” (489c) බව දැක්වෙන ක්‍රමවේදයකට ය.

දාර්ශනික විග්‍රහයක් තුළින් ඉස්මතු කරන ලද නගර පාලනය උදෙසා සැබෑ පාලකයකුගේ අවශ්‍යතාව දැක්වෙන රාජ්‍ය නෞකාව උපමාව, ප්ලේටෝ විසින් ගෙන යන දාර්ශනිකයකුගේ වැදගත්කම හුවා දක්වන සංවාදයට ඍජු දායකත්වයක් දක්වයි. ඔහු මෙම උපමාව ගෙනහැර පෑමට හේතු වන්නේ ඇඩෙයිමැන්ටස් විසින් ප්‍රකාශ කරන ලද “දාර්ශනිකයා සිය පුරයන්ට වැඩක් නැති පිරිසකැයි” (487e) යන අදහස අළලා ය. එහිදී ප්ලේටෝ තම ප්‍රධාන චරිතය වන සොක්‍රටීස් හරහා ගෙන එන්නේ  “දාර්ශනිකයින් සිය පුරයන්ට වැඩක් නැති පිරිසකැයි අප පිළිගත් පසු දාර්ශනිකයන් එම පුරය පාලනය කරනා තුරු ඒවා දුක් ගැහැට වලින් මිදෙන්නේ නැත යි අප නිවැරදිව පවසනේ කෙසේ ද” (487e) යන ප්‍රස්තුතය වේ. එනිසා මෙම උපමාව ඍජුවම නගර පාලනය හා එහි පාලකයා පිළිබඳ විග්‍රහ කරන්නක් බව පැහැදිලි ය. එය අනුගමනය කරමින් හෝ නොකරමින් දේශපාලන කාටූන් ශිල්පියා ද නගර පාලනය හා පාලකයා පිළිබඳ තම දේශපාලන පණිවුඩය නිර්මාණාත්මකව, ව්‍යංගාර්ථයෙන් ප්‍රකාශ කිරීමට එය මෙවලමක් කොටගෙන ඇතිබව පෙනේ. එවැනි කාටූන් එක්සත් ජනපදයේ, යුරෝපීය හා ආසියානු රටවල දේශපාලන පසුබිම ඉලක්ක කොට එකලෙස යොදාගෙන ඇති බවට උදාහරණ ද සපයා ගත හැකි ය.

තම පාලකයා තෝරාගැනීම සම්බන්ධ දේශපාලනික කාරණය මෙහිදී ප්ලේටෝ මෙන්ම ජනමාධ්‍ය හරහා ද තම ග්‍රාහකයන්ට බලපෑම් ඇති කරන ආකාරයෙන් අවධාරණය කර ඇති බව පොදුවේ නිරීක්ෂණය කළ හැකි ය.

ජනමාධ්‍යවේදයේ හා ප්ලේටොගේ දර්ශනයේ දෘෂ්ටිවාදාත්මක බලපෑම

ජනමාධ්‍යවේදය හා ප්ලේටෝගේ දාර්ශනික සංවාද හරහා ඇතිවන දෘෂ්ටිවාදාත්මක බලපෑම පිළිබඳ විමසා බැලීම ඉතා වැදගත් ය. එයට හේතුව වන්නේ මේවා හරහා ඍජුව හෝ වක්‍රව බලපෑමට ලක් වන්නේ පොදු මහජනතාවගේ විඥානයයි. රටක පාලකයා තීරණය කිරීමටත් තීරණය විවේචනය කිරීමටත් එකල ප්ලේටෝගේ දර්ශනයත් මෙකල ජනමාධ්‍යත් බලපාන්නේ නැතැයි කිව හැක්කේ කාට ද?

වර්තමානයේදී, යම් රටක පුරවැසියන්ට තම අවධානය දේශපාලන හා සමාජීය කතිකාවතක් ගොඩනැගීම උදෙසා යොමු කිරීමේදී ජනමාධ්‍ය භාවිතාව  ඉතා සුවිශේෂී වේ. පොදු මහජනතාවට දේශපාලන හෝ සමාජයීය ඕනෑම කාරණයක් වෙත සෘජු සම්භන්ධතාවයක් ගොඩ නැගීමේ හැකියාවක් නොමැති හෙයින්, එය ඉටුකර ගැනීම උදෙසා ඔවුනට මෙලෙස ජනමාධ්‍ය භාවිතා කිරීමට සිදු වේ. මෙහිදී මහජනතාව විසින් එම කරුණු අවබෝධකර ගන්නේ ද යාවත්කාලීනකර ගන්නේද ජනමාධ්‍ය ගෙන එන කෝණය හරහාය.

මෙය තහවුරු කරමින් දේශපාලන විද්‍යා මහාචාර්ය ජෝන් ක්‍රොස්නික් දක්වන අන්දමට මිනිසුන්ගේ තීරණ ගැනීමේ සවිඥානික සිතුවිලි ක්‍රියාවලියට අවිඥානික සිතුවිලි බලපෑමක් ඇති කරයි (ගෝවට් 2015). මෙය මනෝවිද්‍යාඥ සිග්මන් ෆ්‍රොයිඩ් පවා තහවුරු කරයි. ඒ අනුව ජනමාධ්‍ය හරහා විකාශය කරවන තොරතුරු ද මිනිස් චින්තනයේ අවිඥානිකව තැන්පත් වන අතර එය තීරණ ගැනීමේදී බලපෑමක් කිරීම සඳහා මතුවේ. එවන් අවස්ථාවන් පාලකයා තෝරාගැනීමකදී වුව ද බලපැවැත්විය හැකි ය. එමෙන්ම දේශපාලනික මතිමතාන්තර තීව්‍රකර මාධ්‍ය හරහා ඉදිරිපත් කිරීම මගින් ද මිනිස් විඥානයට මෙන්ම සවිඥානයට ද බලපෑමක් ඇති කරන බව පෙනේ. මනෝවිද්‍යා මහාචාර්යවරයෙකු වන යොවෙල් ඉන්බාර්ගේ තර්කය වන්නේ අදහස් හෝ පිළිකුල් සහගත හැඟීම් අවුස්සන දේවලට නිරාවරණය වීමෙන් ඡන්දදායකයින් නොදැනුවත්වම ගිලිහී යා හැකි බවයි (‘Trending Science’, 2016). දේශපාලන ව්‍යාපාර හා මාධ්‍ය විස්තර ප්‍රකාශ හැඩගැසී ඇත්තේ ද මෙය පදනම් කරගනිමිනි. දේශපාලන්ඥයින් විසින් තම ඡන්ද ව්‍යාපාරයන්න්හිදී ආකර්ෂණය දිනා ගැනීම උදෙසා ඉතා සූක්ෂමව මාධ්‍ය හරහා මෙම මනෝවිද්‍යාත්මක කාරණයෙන් පැහැදිලි කළ විරුද්ධවාදියා කෙරෙහි පිලිකුළක් ඇති කරවන ප්‍රකාශ මහජනතාවට යොමුකරන බව පෙනේ. ඒ අනුව දේශපාලන ව්‍යාපාරයන්හිදී දේශපාලන අදහස් හෝ පුද්ගලයන් පිළිබඳ පිළිකුලක් හෝ උත්තේජනයක් ජනතාවට සම්ප්‍රේෂණය කිරීම මාධ්‍ය මගින් සිදුකරන බව පැහැදිලි ය.

ප්ලේටෝගේ දාර්ශනික මතවාදයෙහි ව්‍යාප්තියේ ප්‍රමාණය හා බලපෑම ජනමාධ්‍ය තරම් නොවූව ද එවැනිම සන්දර්භයක් ප්ලේටෝද නිර්මාණය කිරීමට උත්සුක වී ඇති බව ඔහුගේ ජනරජය හි දැක්වෙන කතිකාවත පරිශීලනයෙන් අවබෝධ කරගත හැකි ය. ප්ලේටෝ අවධාරණය කරන්නේ ජනරජය පවත්වාගෙන යාම සඳහා පාලන තන්ත්‍රය කෙරෙහි දක්වන නිපුණත්වය ඉතා වැදගත් ය යන අදහස පමණක් නොව, ක්‍රි.පූ. 420 දී ඇතන්ස්හි දාර්ශනිකයන් ඇගයීමට ලක් නොවූ බවත්, ලෝකය විසින් දාර්ශනිකයින් සහ ඔවුන්ගේ දැනුම භාවිත නොකරන නිසා ඔවුන් නිෂ්ඵල බවත් ය.

මෙවන් දාර්ශනික මතයක් දැරූ ප්ලේටෝගේ දර්ශනය වටා එකතු වූ සමකාලීන අනුගාමික මෙන්ම ශිෂ්‍ය අනුගාමිකයන් පිරිසක් ද සිටි බව අනුමාන කළ හැකි වන්නේ ක්‍රිස්තු පූර්ව 387දී ප්ලේටෝ විසින් පාසලක් ආරම්භ කිරීම හේතුවෙනි. එය ඇකඩමි (Academy) නමින් ඇතැන්ස්හි පිහිටවූ අතර  ශතවර්ෂ ගණනාවක් පුරා නන් දෙසින් සිසුන් ආකර්ෂණය කරගැනීමට සමත් විය. මෙහි ඉගැන්වූ ප්‍රධාන විෂයන් වූයේ විද්‍යාව, ගණිතය හා දර්ශනයයි. ප්ලේටෝ ද තම ජීවන ගමන අවසානය සනිටුහන් කළ කිස්තු පූර්ව 347 තෙක්ම එහි ඉගැන්වීම් කටයුතු කළ බව සඳහන් වේ.

පස්වන සියවසේදී, ඇකඩමියේ  භූමිය මෙන්ම, ලයිසියම් (Lyceum) සහ සයිනොසාර්ජස් (Cynosarges) වැනි ඇතන්ස් නගර තාප්පයෙන් පිටත ඇති තවත් විශාල ව්‍යායාම ශාලා දෙක බුද්ධිමය සාකච්ඡාවට මෙන්ම ව්‍යායාම සහ ආගමික ක්‍රියාකාරකම් සඳහා ස්ථානයක් බවට පත්විය. ව්‍යායාම ශාලාවේ ව්‍යායාම කිරීමට අමතරව මෙම එකතු කිරීම ඇතීනියානු අධ්‍යාපනය, දේශපාලනය හා සංස්කෘතියේ වෙනස්වන ධාරාවන් පෝෂණය කළ අතර දාර්ශනිකයෝ සහ සොෆිස්ට්වරු (Sophists) වෙනත් නගරවලින් පැමිණ ඒ සඳහා සහභාගී වූහ. ජිම්නාසියා (Gymnasia) දාර්ශනිකයන්ට සාකච්ඡාවට එක්විය හැකි පොදු ස්ථාන බවට පත් වූ අතර පෞද්ගලික උපදෙස් සඳහා සිසුන් වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීමට සොෆිස්ට්වරුන්ට මෙය කදිම අවස්ථාවක් විය (ට්‍රෙලෝනි-කැසිටි 2019).  මේ අනුව පැහැදිලි වන්නේ, එකල විවිධ දර්ශනයන් ප්‍රචලිත වී ඇති බවත්, එම දර්ශන මතවාදයන් හා එක් වීමට බොහෝ පිරිසකගේ උනන්දුව තිබූ බවත් ය.

වර්තමාන ජනමාධ්‍ය විසින් ප්‍රේක්ෂකයා තම ග්‍රහණයට නතු කරගන්නා හා සමාන ක්‍රමවේදයක් එකල දර්ශන මතවාදයන් ප්‍රචලිත කිරීමට මෙවන් අවස්ථා හරහා ලැබී තිබූ බව පැහැදිලි ය. එහිදී අනුගාමිකයන්ට ඇතීනියානු දේශපාලන තන්ත්‍රයට බලපෑමක් කිරීම සඳහා සවිඥානික චින්තනයට තම දර්ශනය අවබෝධ කොට ඒ හරහා අවිඥානික චින්තනයට බලපෑමක් කිරීමත් ඔවුන් අනාගත දේශපාලන නායකයන් ලෙස පුහුණු කිරීමත් සිදු වූ බව අනුමාන කළ හැකි ය. වර්තමාන ජනමාධ්‍යට සාපේක්ෂව එහි මුහුණට මුහුණලා ගොඩනැගෙන සංවාදය හේතුවෙන් ප්‍රතිචාරයන් සජීවී ය.

මේ අයුරින් දේශපාලනය හා පාලකයා තෝරා ගැනීම සඳහා ග්‍රාහකයාගේ දෘෂ්ටිකෝණයට බලපෑම් කිරීමට ජනමාධ්‍ය හා ප්ලේටෝගේ යුගයේ දාර්ශනික සංවාද ඉවහල් වූ බව පෙනේ.  මේ සඳහා ඒ ඒ කාලයන්ට අනුරූපී වූ ක්‍රමවේදයන් යොදාගෙන ඇත.

දේශපාලන කාටූන්

ප්ලේටෝ මෙන්ම දේශපාලන කාටූන් ශිල්පිහු ද ‘රාජ්‍ය නෞකාව‘ උපමාව රාජ්‍ය නායකත්වය සහ තීරණ විවේචනය කිරීමට යොදා ගනිති. මෙම සමකාලීන භාවිතය අර්ථ දක්වන්නේ ප්ලේටෝ යුගයේ දේශපාලන පසුබිම අද වන විටත් විශාල වෙනස්කම් වලට භාජනය වී නොමැති බවයි. මක්නිසාදයත්, උපමාවේ ප්‍රධාන පුද්ගලයින් වන ව්‍යාජ නායකයන් සහ සැබෑ නායකයන් දේශපාලන කාටූන් මගින් දක්වා ඇති පරිදි මේ දක්වා ඉතිහාසය පුරාම දක්නට ලැබේ. එබැවින් දාර්ශනික කතිකාවෙන් උපුටා ගත් රාජ්‍ය නෞකාව උපමාව මිනිසුන්ට තේරුම් ගත හැකි පරිදි සංකීර්ණ දේශපාලන කරුණු සරල ආකාරයකින් ඉදිරිපත් කිරීමට කාටූන් ශිල්පීන් විසින් භාවිතා කරනු ලැබේ.

දේශපාලන කාටූන් යනු දේශපාලන පුවත්පත් කලාවේ ඉතා වැදගත් අංගයකි. මෙය දේශපාලන සන්නිවේදනය සඳහා භාවිත කෙරේ. ඉන් සිදු කරන දේශපාලන සමාජකරණ ක්‍රියාවලිය හරහා ඉහත කී ආකාරයේ දෘෂ්ටිවාදාත්මක බලපෑමක් ඇති කරනා මාධ්‍යයක් ලෙස ද හඳුන්වා දිය හැකි ය. මෙහිදී කාටූන් ශිල්පිහු විවිධ ශිල්පීය ක්‍රම ඔස්සේ පාඨකයන්ට සමීප වෙති. කාටූන් නිර්මාණකරනයේදී ශිල්පීන් විසින් ගැඹුරු සංකල්ප හෝ අදහස් ඉදිරිපත් කිරීම සඳහා සංකේතවාදය (symbolism), ලේබල් කිරීම (labeling), අතිශයෝක්තිය (exaggeration), ප්‍රතිසමතාව (analogy) හා උත්ප්‍රාසය (irony) භාවිතා කරයි.

දේශපාලන කාටූන් විවිධ අයුරින් අර්ථකථනය කළ හැකි ය. එය  “ගැටුම්කාරී [confrontational] කලාවක්” (ඔලිෆන්ට් 2004: 25)  මෙන්ම  “අමුතු මාධ්‍යයකි. ඒවා විසින් ප්‍රවෘත්ති වාර්තාකරණයත් මතිමතාන්තරත් මිශ්‍ර කළ ද, සරලම මට්ටමකින් ගත් කල, එය කලාවකි. මේ ආකාරයට කාටූන් ප්‍රේක්ෂකයන්ට සුවිශේෂී හා ප්‍රබල බලපෑමක් ඇති කරයි” (ඩොනලි 2013). ඒ අනුව ජනමාධ්‍යවේදයේදී  “දේශපාලන කාටූනයක් යනු රූපක හා උපහාසාත්මක භාෂාවෙන් සංලක්ෂිත කලාත්මක වාහනයකි” (නීපර් 2018). මේ අනුව දේශපාලන කාටූන් ශිල්පියා ජනමාධ්‍යවේදියෙක් මෙන්ම කලාකරුවෙක් සහ උපහාසය මතු කරන්නෙක් (satirist) බව ද සනාථ වේ.

දේශපාලන කාටූන් ශිල්පීන්ගේ නිර්මාණකරණය සඳහා යොදා ගන්නා ප්‍රස්තුතයන් කෙරෙහි සමකාලීන දේශපාලන හා සමාජ වාතාවරණ ඍජුවම බලපායි. එමෙන්ම, ඒ හරහා මහජනතාවගේ තීරණ කෙරෙහි බලපෑමක් ඇති කිරීමට ද හැකියාවක් ඇති බව පෙනේ.

උදාහරණ වශයෙන් 1884 එක්සත් ජනපද ජනාධිපති තරඟය සඳහා දේශපාලන කාටූන්වල මැදිහත්වීම ෆ්ලෝරා කූ (2020)  පහත පරිදි සඳහන් කරයි:

1884 ජනාධිපතිවරණ සමයේදී අපේක්ෂකයින් වන ග්‍රෝවර් ක්ලීව්ලන්ඩ් සහ ජේම්ස් බ්ලේන් අතර සටන ඓතිහාසික මොහොතක් සනිටුහන් කළේ තෝමස් නාස්ට්, ජෝශප් කෙප්ලර් සහ බර්න්හාර්ඩ් ගිලම් වැනි කාටූන් ශිල්පීන් ජාතිය විසින් ප්‍රධානම තනතුරට තෝරා ගත යුත්තේ කවුරුන් ද යන්න සන්නිවේදනය කිරීම සඳහා දේශපාලන ලෝකය ඔවුන්ගේ චිත්‍ර ඇඳීමේ පුවරුවට ගෙන ඒමෙනි (කූ 2020: 372).

මේ අනුව කාටූන් ශිල්පීන් මැතිවරණ ව්‍යාපරයන්හි ප්‍රභල බලපෑමක් ඇති කළ හැකි කොට්ඨාශයක් වන බව දැක්වෙන තවත් උදාහරණ සපයාගත හැක.  මෙම උදාහරණ මගින් ගම්‍යමාන වන පොදු කාරණය නම්, ලෑම්බ් දක්වන අන්දමට “කතුවැකි කාටූන් ශිල්පීන් ඔවුන්ගේ උසස්ම මට්ටමට පැමිණිවිට, ඔවන්ගේ නිර්මාණ කුඩා පිහිතලයක් (switchblade) වැනිය – ඒවා සරල නමුත් කාරණය අවධාරණය කරයි. ඒවා ගැඹුරු කැපීමක් ඇති කරන අතර හැඟීමක් ඉතිරි කරයි... කාටූන් ශිල්පිහු  මැතිවරණ කාලසීමාවන්හිදී ඔවුන්ගේ උපරිම හැකියාවට ළඟා වෙති... මැතිවරණ ව්‍යාපාර වලදී සිදුවන මෝඩකම් සහ දුර්වලකම් තරම් අන් කිසිවක් කාටූන් ශිල්පීන්ගේ උපහාසයට ලක් නොවේ” (ලෑම්බ් 1996: 19). කලාවත් උපහාසයත් ජනමාධ්‍යවේදයත් යොදාගනිමින් දේශපාලන කාටූන් ශිල්පීන් විසින් රටක, නගරයක  තීරණාත්මක අවස්ථාවන්හිදී මහජන දෘෂ්ටියට බලපෑම් එල්ල කරන බව මින් පැහැදිලි වේ. මෙයට අමතරව විවිධ දේශපාලන විවේචනයන් උදෙසා කාලීන අවශ්‍යතාව මත කාටූන් නිර්මාණය කර ඇති බව පැහැදිලි වේ.

පොදු ප්‍රතිරූපය, රාජ්‍ය නායකයා සහ නැව්පතියා

පොදු ප්‍රතිරූපයක් (public image) යනු මහජනයාට ප්‍රක්ෂේපණය (project) කරන ලද චරිතයකි; විශේෂයෙන් ජනමාධ්‍ය විසින් මෙය අර්ථ නිරූපණය කරනු ලැබේ. විශ්ලේෂකයින් පෙන්වාදෙන අන්දමට ඡන්ද දායකයින් බොහෝ විට දේශපාලනඥයින්ට සහ දේශපාලන ආයතනවලට ඡන්දය ලබා දෙන්නේ වඩාත්ම පිළිගත හැකි ප්‍රතිරූපයට මිස බොහෝ විට ඔවුන්ට කියවිය නොහැකි දේශපාලන වැඩසටහන් සඳහා නොවේ. ප්‍රතිරූපය දේශපාලනඥයින්ගේ කීර්තියට ඉතා සමීප සම්බන්ධතාවක් දක්වයි. බරාක් ඔබාමා, බිල් ක්ලින්ටන්, නෙල්සන් මැන්ඩෙලා, ටෝනි බ්ලෙයාර් වැනි හොඳින් ගොඩනගන ලද ප්‍රතිරූපයක් ඇති දේශපාලඥයින්ට ඉහළ කීර්තියක් ඇති අතර, එමගින් ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාර සඳහා පහසුවක් සැලසේ (ඕර්ජෙකවුස්කාස් සහ ස්මයිජියේනෙ 2007). පාලකයාගේ පොදු ප්‍රතිරූපය ගොඩනැගීම ඉතා වැදගත් වන්නේ ජනාධිපතිවරණ හා ඡන්ද ව්‍යාපාරවලට පමණක් නොව, එම පාලකයාගේ ජනප්‍රියත්වයත් කල් පවත්නා කීර්තියත් ආරක්ෂා කරගැනීමට ය.

ප්ලේටෝගේ රාජ්‍ය නෞකාව උපමාවේ සඳහන් කරන පාලකයා ද දේශපාලන කාටූන් හරහා ඉදිරිපත් කරන පාලකයා ද පිළිබඳ සංසන්දනාත්මක විවරණයක් ගෙන ඒම ප්‍රායෝගික නොමැතිමුත්, උපමාවේ සඳහන් නැව්පතියාට සමාන පාලකයා හා නැව යාත්‍රාකරවීම දැක්වෙන කාටූන හරහා කාටූන් ශිල්පියා සමකාලීන දේශපාලන තන්ත්‍රයත් පාලකයා කෙරෙහි ඇති මහජන මතයත් ඉදිරිපත් කර ඇති බව නිගමනය කළ හැකි ය. එසේම මෙහිදී විශ්ලේෂණය කළ හැකි පොදු ලක්ෂණය නම් පාලකයාගේ පොදු ප්‍රතිරූපය ගොඩනැගීම උදෙසා කාටූන් ශිල්පියා දක්වන දායකත්වයයි. තම පාලකයා කෙරෙහි ඇති යහපත් හෝ අයහපත් මහජන මතය විවේචනාත්මකව කාටූන් ශිල්පියා විසින් ඉදිරිපත් කර ඇති බවට පහත සඳහන් කාටූන් නිදර්ශන සපයයි.

දේශපාලන කාටූන් හරහා නිරූපිත ප්ලේටෝගේ රාජ්‍ය නෞකාව සම්බන්ධ කාටූනයක් 01 රූපයෙන් දැක්වේ. මෙය ‘නියමුවා අතහැරීම’ ලෙස නම්කොට ඇති අතර එය ප්ලේටෝගේ රාජ්‍ය නෞකාවෙන් ආභාසය ලබා ඇති බව ප්‍රචලිත මතයකි.

01 රූපය: ‘නියමුවා අතහැරීම’
(මූලාශ්‍රය: Object Record, Dropping the Pilot, Billy Ireland Cartoon Library and Museum)[3]

මෙය, 1890 මාර්තු මාසයේදී බ්‍රිතාන්‍ය සඟරාවක් වන පන්ච් හි පළ වූ ශ්‍රීමත් ජෝන් ටෙනියෙල් විසින් රචිත දේශපාලන කාටූනයකි. චාන්සලර් ඔටෝ වොන් බිස්මාර්ක් නාවික නියමුවකු ලෙස නෞකාවෙන් ඉවත් වීම (සමහර විට ප්ලේටෝගේ රාජ්‍ය නෞකාව පිළිබඳ සඳහනක්) දෙවන විල්හෙල්ම් අධිරාජ්‍යයා විසින් නරඹන ලද ආකාරය එහි නිරූපිත ය. විල්හෙල්ම්ගේ බල කිරීම මත බිස්මාක් චාන්සලර් ධුරයෙන් ඉල්ලා අස්වී තිබුණි. බිස්මාර්ක් ‘නියමුවෙකු’ ලෙස සඳහන් කිරීමෙන් ඔහුගේ පොදු ප්‍රතිරූපය පිළිබඳවත් නෞකාවකින් බැස යාම සංකේතාත්මකව ඉහත සඳහන් කළ දේශපාලන කාරණය විස්තර කිරීමටත් යොදාගෙන ඇති බව පැහැදිලිය. 01 රූපයේ දැක්වෙන කාටූනයේ කිසිදු ලේබලයක් යොදා නොමැති වුව ද ‘නියමුවා අතහැරීම’ ශීර්ෂපාඨය හරහා මෙම කාටූන් ශිල්පියා තම දේශපාලන මතවාදය ඉදිරිපත් කර ඇත. බිස්මාක් චාන්සලර් ධුරයෙන් ඉල්ලා අස්වීම මෙම කාටූන් ශිල්පියා නොසතුටට පත් කර ඇති බව පැහැදිලි අතර එය නියමුවකු බැස ගිය නැවකට සමාන කර ඇත්තේ එබැවිනි.

ලේබලය හා සංකේත යොදාගනිමින් ඉදිරිපත් කර ඇති ඇමෙරිකානු ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට් නෞකවක් රළු මුහුදේ පදවාගෙන යාම පිළිබඳ කාටූනයක් 02 රූපයේ දැක්වේ. මෙහි ශීර්ෂපාඨය ලෙස ‘අළුත් නියමුවෙකු නැව යාත්‍රා කරවයි’ (‘A New Captain at the Wheel’) යොදා ඇති අතර නැවේ සුක්කානම මත ‘රාජ්‍ය නෞකාව‘ යන ලේබලය යොදා ඇත.

02 රූපය: ‘අළුත් නියමුවෙකු නැව යාත්‍රා කරවයි’
(මූලාශ්‍රය: Universal History Archive)[4]

1930 මැද භාගයේදී ඇති වූ ආර්ථික අවපාතය ඇමරිකාවේ විශාල දේශපාලන වෙනස්කම් ඇති කළේ ය. අවපාතයෙන් වසර තුනකට පසු, අර්බුදයට එරෙහිව සටන් කිරීමට ජනාධිපති හර්බට් හුවර්ට නොහැකි බවට දොස් පැවරූ අතර, 1932 මැතිවරණය ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට් හමුවේ පරාජයට පත්විය. මෙම කාටූනයෙන් දැක්වෙන්නේ එම පාලක මාරුව වන අතර කාටූන් ශිල්පියා නව නැව්පතියා කෙරෙහි ධනාත්මක ආකල්පයක් දක්වන බව පැහැදිලි ය. රූස්වෙල්ට් කෙරෙහි ගොඩනැගුනු පොදු ප්‍රතිරූපය මෙහිදී දැක්විය හැක්කේ ආර්ථික අවපාතය නව ප්‍රතිසාධන සැලැස්මක් ඔස්සේ සාර්ථක මට්ටමකට ගෙන ආ හැකි නායකයකු ලෙස හුවා දැක්වීමෙනි. මෙහිදී කාටූන් ශිල්පියා ඉතා සංකීර්ණ දේශපාලනික කාරණාවක් කුණාටුවකට හසු වූ නැවක් හා එය පදවන නැව්පතියාට සමාන කර ඉතා සරල ආකාරයෙන් ඉදිරිපත් කර ඇත.

03 රූපය
(මූලාශ්‍රය: FDR Cartoon, c. 1934)[5]

03 කාටූනය නිර්මාණය කර ඇත්තේ ද 02 රූපයෙන් දැක්වූ සිදූවීම අළලා ය. 02 රූපයෙදී පාලකයා මාරුවීම පිළිබඳ ධනාත්මක සංකල්පයක් ද, මෙම රූපයේදී එම පාලකයාට ගමන ආරම්භ කර ඇති මොහොතක ඔහුට තම රාජ්‍යය තුළම ඇති අභියෝගයන් ද නිරූපණය කරයි. මෙය 02 රූපයට සාපේක්ෂව ඉතා විස්තරාත්මකව නිර්මාණය කර ඇති බව පෙනේ. කාටූන් ශිල්පියා මේ සඳහා යොදාගත් සංකේත ලේබල් කිරීම හරහා මෙහි ප්‍රස්තුතය මනාව ග්‍රහණය කර ගැනීමේ හැකියාවක් ඇත. මෙහිදී රූස්වෙල්ට් තම ප්‍රචාරකයින් නොසලකා හරිමින් ආර්ථික ප්‍රකෘතිය කරා තම ගමන ඉතා උද්‍යෝගිමත් ලෙස යන බව නිරූපණය කරයි.

04 රූපය: ‘නියමුවාගේ වෙනසක් සිදු නොවනු ඇත’
(මූලාශ්‍රය: Granger Historical Picture Archive)[6]

1904 ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය අළලා ඉහත කාටූනය නිර්මාණය වී ඇත. ‘සමෘද්ධි මාලිමා යන්ත්‍රය’ (Prosperity Compass) විසින් මෙහෙයවනු ලබන ‘රාජ්‍ය නෞකාවේ’ ප්‍රධානියා ලෙස තියඩෝර් රූස්වෙල්ට් නිරූපණය කරන මෙහි සෑම් මාමා (Uncle Sam) ඇල්ටන් බී. පාකර්ට පැහැදිලි කරන්නේ ඔහු සුක්කානම  අතට ගෙන නෞකාව පැදවීම අවශ්‍ය නොවන බව ය. මින් ගම්‍යමාන වන්නේ තියඩෝර් රූස්වෙල්ට් ගේ පොදු ප්‍රතිරූපයයි. මෙහි සෑම් මාමගේ ප්‍රකාශයක් ලෙස යටින් දක්වා ඇති අන්දමට රූස්වෙල්ට් විසින් තමන් ශක්තිමත් හා ගතානුගතික නියමුවකු ලෙස ඔප්පු කර ඇති බව ය.

ඉහත රූප රූප 1, 2, 3 හා 4 හරහා ඉදිරිපත් කර ඇති නායකයන් කාටූන් ශිල්පීන් විසින් ‘සැබෑ නායකයින්’ (true leaders) ලෙස දක්වා ඇති බව චිත්‍ර ප්‍රකාශනය ඇසුරින් නිගමනය කළ හැකි ය. මෙහිදී ප්ලේටෝ විසින් ‘රාජ්‍ය නෞකාව‘ උපමාවේ දක්වන ලද සැබෑ නැව්පතියාගේ ලක්ෂණ[7] ද දැකගත හැකි ය.

උපහාසය හා විවේචනය ප්‍රිය කරනා කාටූන් ශිල්පීන් විසින් සැබෑ නායකයන් මෙන්ම ව්‍යාජ නායකයින් (fake leaders / demagogues) හා ඔවුන්ගේ දේශපාලන ක්‍රමවේදයන් විවේචනය කිරීම සුලබ බව පෙනේ.

05 රූපය
(මූලාශ්‍රය: Cartoon a Day)[8]

ට්‍රම්ප් සියලුම සත්‍යයන් සහ කරුණු නොසලකා හරිමින් ඉතා විනෝදයෙන් රාජ්‍ය නෞකාව විනාශකාරී අඳුරු හා කුණාටු සහිත මුහුදකට යාත්‍රා කරයි. මෙහිදී, මෙම නායකයා සමාන කළ හැක්කේ සම්පූර්ණයෙන්ම අන්ධ, කිසිත් නොදන්නා, නූගත් සහ කිසිවකට එකඟ වීමට අකමැති නැව්පතියකුට ය. කාටූන් ශිල්පියා තම අදහස වන රාජ්‍යයක් මෙවන් නායකයින් අතින් පරිහානියට පත් වන බව විරෝධාත්මකව ප්‍රකාශ කර ඇත. ඔහු පිළිබඳව වෙනත් විග්‍රහයක් දැක්වෙන කාටූනයක් 06 රූපයෙන් දක්වා ඇත.

06 රූපය
(මූලාශ්‍රය: බෙන් ගැරිසන්, ‘The New Captain at the Helm’)[9]

මෙම කාටූනයෙන් දක්වෙන්නේ බල මාරුවෙන් පසු නව ජනාධිපති ට්‍රම්ප් විසින් රාජ්‍ය පාලනය ආරම්භ කල අවස්ථාවයි. මෙම කාටූනයේ නිර්මාණ ශිල්පියා වන බෙන් ගැරිසන් දක්වන අන්දමට,

ට්‍රම්ප්ගේ කතාව ඉතා දිරිගන්වන සුළු විය. ඇමරිකාව තවමත් පළමු තැනට පත්ව ඇති අතර ඔහුට එය නැවත ශ්‍රේෂ්ඨ කිරීමට අවශ්‍යයි. ඇමරිකානු ජනතාව නැවත නොසලකා හරින්නේ නැති බවට ඔහු අප සැමට සහතික විය. ඔහු ජනතාවාදී හා ජාතිකවාදී ජනාධිපතිවරයකු වන අතර එය හොඳ දෙයකි. එය එසේ නොවන බව ඒත්තු ගැන්වීමට සී.එන්.එන් (CNN) වෙත ඉඩ නොදෙන්න (ගැරිසන් 2017).

මෙහිදී අනාවරණය වන්නේ දේශපාලන ව්‍යාපාරයන්හිදී අපේක්ෂකයන්ගේ ප්‍රතිරූපය ගොඩනැගීම සහ බිඳ දැමීම පිළිබඳ කාරණයයි. ගැරිසන් අවධාරණය කරන්නේ  සී.එන්.එන් විසින් ගොඩනගා ඇති ප්‍රතිරූපය වෙනුවට නව මානයකින් ඔහු දෙස බැලිය යුතුය යන්නයි. ඒ අතරම මෙම කාටූන් ශිල්පියා අයත් වන්නේ ඉතා සුළු පිරිසක් වන ට්‍රම්ප්ට පක්ෂග්‍රාහීව තම නිර්මාණකරණය ඉදිරිපත් කළ කොටසට බව ඔහු මෙම කාටූනය විස්තර කිරීමේදී සඳහන් කර තිබේ. කෙසේ නමුත් මෙහිදී වටහාගත හැකිවන්නේ ප්‍රතිරූපය ගොඩනැගීමේ හෝ බිඳදැමීමේ මාධ්‍ය භාවිතා වර්ග දෙකක් ඇති බවයි.

අනෙක් විශේෂ කරුණ වන්නේ, තමාගේ දෘෂ්ටිකෝණය අනුව කාටූනයේ දැක්වෙන තේමාව ග්‍රහණය කර ගැනීම ද සාපේක්ෂ බවයි. රූප 5 සහ 6 හි දක්වා ඇත්තේ එකම නායකයකු නැව්පතියෙකු ලෙස නිරූපණය කිරීම වුවත් එක් කාටූනයක් ඔහු ව්‍යාජ නායකයකු ලෙසත් අනෙක් කාටූනය ඔහු සැබෑ නායකයකු  (‘සැබෑ නායකයකු වේවි’)[10] ලෙසත් දක්වා ඇත. පහත කාටූනයෙන් දැක්වෙන්නේ ද ව්‍යාජ පාලකයෙකු හේතුවෙන් රාජ්‍යකට අත්විය හැකි ඉරණමයි.

07 රූපය
(මූලාශ්‍රය: Progressive Post Daily)[11]

සමහර විට කාටූන් ශිල්පීන් යම් කරුණක් ඉදිරිපත් කිරීම සඳහා මිනිසුන්ගේ හෝ භෞතික දේවල ලක්ෂණ ඉක්මවා ඉහත දැක්වෙන ආකාරයට අතිශයෝක්තියට නංවයි. තම අදහස වඩා තීව්‍ර කිරීම මෙහි අභිප්‍රාය වේ. කාටූනයෙන් දක්වා ඇති පරිදි නැව්පතියා සිය අවධානය යොමු කරන්නේ පසුවට විසඳිය හැකි ගැටළුවකට වන අතර ඒ අතරතුර නෞකාවට වෙනත් මාර්ග ඔස්සේ විශාල හානියක් සිදු වී හමාර ය. මෙහි දක්වා ඇති අන්දමට නායකත්වයෙහි අදූරදර්ශී දැක්මත් ගැටළු නිරාකරණය කරගැනීමට ඇති නොහැකියාවත් හේතුවෙන් සමස්ථ රාජ්‍යයම අවුල් ජාලාවකට පත් වේ. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ නැවක් මුහුදුබත් වන්නා සේ රටක් අගාධයට යාමයි.

ප්ලේටෝ දක්වන අන්දමට දාර්ශනික පාලකයෙකු වගකීම භාර ගන්නා විට, එම නෞකාව ආරක්ෂිත හා සාර්ථක ගමනක් ගෙන යන්නේ භූගෝලය, කාලගුණ විද්‍යාව, ජල ධාරාවන්, නාවික තාරකා විද්‍යාව, සැපයුම් කළමනාකරණය සහ යාත්‍රා කිරීමේ වෙනත් කරුණු දන්නා එම නැව්පතියා නිසා ය. නූගත් හා නුපුහුණු  නැව්පතියෙකු නිසා නෞකාවට පමණක් නොව එහි කාර්ය මණ්ඩලයට සහ මගීන්ට ද විනාශය ගෙන එනු ඇත.

ප්ලේටෝ නැවේ අභ්‍යන්තරය සහ එහි කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ තොරතුරු සොයා බැලුව ද, නෞකාවේ ගමන වෙනස් කරන බාහිර බලවේග ඔහු විස්තර කර නැත. නෞකාවේ සංචලනය රාජ්‍යයක පාලනයක් සමග සංසන්දනය කිරීමේදී නෞකාවේ රළ, සුළඟ, කුණාටු, රුවල්, ජලය ඇපදීම සහ උවදුරට ලක් වූ පැති පිළිබඳ අවධානය යොමු කර නොමැත. නෞකාවක ගමන වෙනස් කරන මෙම බාහිර බලවේග යුද්ධය, ආර්ථික හා සමාජ ගැටළු, විදේශීය ජනතාව, සංක්‍රමණිකයන්, ආක්‍රමණ යනාදිය සමග සැසඳිය හැකි ය (කොරෙයා 2016).  05 සහ 07 රූපයන්හි දක්වා ඇති අන්දමට බාහිර බලපෑම් ද නෞකාවට හානියක් මෙන්ම නායකත්වයට අභියෝගයක් විය හැකි ය. එනිසා පාලකයා නිරතුරුවම අභ්‍යන්තර මෙන්ම බාහිර ගැටළු සහ නිතර වෙනස්වන අවස්ථාවන්/තත්ත්වයන් කෙරෙහි අවධානයෙන් පසු වීම වැදගත් ය. එසේම එම ගැටළු නිරාකරණය කිරීමේ ක්‍රමවෙදය හා අනුපිළිවෙළ ද වැදගත් බව ඉහත කාටූන් මගින් පැහැදිලි වේ. මේ සියල්ල අවසානයේ බලපානු ලබන්නේ නායකයාගේ ප්‍රතිරූපයට ය.

‘රාජ්‍ය නෞකාවට’ උපමා කළ දේශපාලනික ගැටළු

දේශපාලන ව්‍යුහයේ ඇතිවන ගැටළු ප්‍රකාශ කීරීමේ මාධ්‍යයක් ලෙස දේශපාලන කාටූන් යොදාගෙන ඇති බව පෙනේ. මෙහිදී මහජනතාවට සම්ප්‍රේෂණය වන්නේ කාටූන් ශිල්පියාගේ දෘෂ්ටිකෝණයයි. එනමුත් එය තොරතුරු වාර්තාකරණයක් ද ලෙස සැලකිය හැකි ය. ඉහත දැක්වූ 01 සිට 07 දක්වා කාටූන් සියල්ලම දේශපාලන ගැටළුවක් මුල්කරගනිමින් නිර්මාණය වූ ඒවා බව පැහැදිලි වේ. 08 රූපයෙන් දැක්වෙන්නේ ද එවැනි දේශපාලනික ගැටළුකාරීමය තත්ත්වයක් විස්තර කරමින් නිර්මාණය වූ කාටූනයකි.

මෙම කාටූනය නම්කර ඈත්තේ ‘කපිතාන් සහ පළමු සහකරු එකිනෙකා සමග කතා නොකළ ද රාජ්‍ය නැව යාත්‍රා කරයි’  යනුවෙන් සඳහන් පාඨයකි. මෙහිදී කාටූන් ශිල්පියා ප්‍රතිසමතාව ශිල්පීය ක්‍රමයක් ලෙස භාවිත කර ඇත. සංකීර්ණ ප්‍රශ්නයක් හෝ තත්ත්වයක් වඩාත් හුරුපුරුදු එකක් සමග සංසන්දනය කිරීමෙන් කාටූන් ශිල්පීන්ට ඔවුන්ගේ පාඨකයන්ට එය වෙනත් ආකාරයකින් බැලීමට උපකාර කළ හැකි ය.

08 රූපය: ‘කපිතාන් සහ පළමු සහකරු එකිනෙකා සමඟ කතා නොකළ ද රාජ්‍ය නැව යාත්‍රා කරයි’
(මූලාශ්‍රය: Danzinger Cartoons)[12]

කාටූනයෙන් දැක්වෙන නෞකාවේ තත්ත්වය 2013 දී ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන තත්ත්වයට සමාන වේ. ජනාධිපති ඔබාමා සහ ධවල මන්දිර කථානායක ජෝන් බොහ්නර් අතර ආරවුල් මෙයින් අවධාරණය කෙරේ. ජනාධිපති ඔබාමා කපිතාන්ටත්, ජෝන් බොහ්නර් පළමු සහකරුටත් මෙහිදී සමාන කර දක්වා ඇත.

උත්ප්‍රාසය යනු දේශපාලන කාටූන් සඳහා යොදා ගන්නා ප්‍රභලම මෙවලමකි. කාටූන් ශිල්පීන් බොහෝ විට උත්ප්‍රාසය භාවිතා කරන්නේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් තම මතය ප්‍රකාශ කිරීමට ය. එවන් අවස්ථාවක් 09 රූපයෙන් දැක්වේ.

09 රූපය: ‘රාජ්‍ය නෞකාව, නැතහොත් නැවෙහි තත්ත්වය’
(මූලාශ්‍රය: www.politicalirony.com)[13]

මෙම කාටූනයෙන් නිරූපණය කෙරෙන්නේ කිසිසේත් ප්‍රායෝගික නොවන අවස්ථාවකි. බොහෝ පිරිසක් නැවෙහි සුක්කානම මත දෑත තබා සිටීම නැවක් පදවාගෙන යාම සඳහා කිසිසේත් ප්‍රායෝගික ක්‍රමයක් නොවේ. නමුත් කාටූන් ශිල්පියා මෙම රූපය හරහා ප්‍රජාතන්ත්‍රවාදය විවේචනය කරයි.

ප්ලේටෝ ද ප්‍රජතන්ත්‍රවාදය ප්‍රිය කළ අයකු නොවේ. නිදහස හා සමානාත්මතාවයේ අනතුරුදායක බව මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේ අස්වාභාවික බව ද ඔහුගේ දර්ශනය හරහා අවධාරණය කරයි. පරමාදර්ශී සමාජයක් පාලනය කළ යුත්තේ දැනුමෙන් හා තර්කානුකූල බුද්ධියෙන් හෙබි ප්‍රභූ පැලැන්තියක් බව ප්ලේටෝ නිගමනය කළේ ය. මෙම පරමාදර්ශී දේශපාලනය දැක්ම හා එහි ධූරාවලි භූමිකාව හේතුවෙන් ප්ලේටෝ විවේචනයට ලක් වුව ද ඔහු දේශපාලනය මගින් තම පුරවැසියාගේ යහපැවැත්ම ප්‍රවර්ධනය කළ යුතු බව දැක්වීය.

ඒකාධිපතියන් විසින් පෞර රාජ්‍යයන් පාලනය කරමින් ඒවාහි සම්පත් තම අවශ්‍යතා වෙනුවෙන් රිසි සේ යොදා ගනු ලැබූ අවධියක ප්ලේටෝ විසින් දාර්ශනික පාලකයා පිළිබඳ මතය ගෙන හැර දක්වන ලදි. හොඳ නායකයකු වනාහි මනා අධ්‍යාපනයක් ලද අයකු විය යුතු බව ඔහුගේ මතවාදය විය. එසේම, තම යුතෝපියාවේ පාලක පන්තියේ අය සිය පවුල් සබඳතා සියල්ල අතහැරිය යුතු බවත් ඔවුන් සතු දේපළ සියල්ල අහෝසි කළ යුතු බවත් පැවසීම හේතුවෙන් ප්ලේටෝ විවේචනයට ලක් වුව ද, එමගින් ඔහු බලාපොරොත්තු වූයේ සැබැවින්ම රාජ්‍යයක අභිවෘද්ධිය උදෙසා තීරණ ගත හැකි තර්කානුකූල බුද්ධියක් සතු දේශපාලන නායකයකු මිස හුදෙක් තම ජයග්‍රහණය හෝ ආදරණීයයන්ගේ අවශ්‍යතා මත පදනම්ව ක්‍රියා කරන නායකයකු නොවේ. එසේ හෙයින් ප්ලේටෝ අනුමත කරන්නේ මනා පුහුණුවක් ලද, දැනුමෙන් අනූන දාර්ශනික පාලකයකු රාජ්‍යයන් පාලනය කළ යුතු බවයි.

ප්ලේටෝ විසින් හඳුන්වා දෙන ලද රාජ්‍ය නෞකාවේ දෘෂ්ටිවාදය යුග ගණනාවක් පුරා පුනරාවර්තනය වී ඇත. කාටූන් ශිල්පීන් විසින් මෙම රාජ්‍ය නෞකා උපමාව යොදාගෙන ඇත්තේ දේශපාලන ව්‍යුහය හා පාලකයා විවෙචනය කිරීමට ය. ප්ලේටෝගේ උපමාවෙන් දැක්වෙන සැබෑ නායකයා හා ව්‍යාජ නායකයා ඉතිහාසයේ සිට සියලුම පාලන තන්ත්‍රයන්හි සිට ඇති බව පැහැදිලි ය. අප ද ග්‍රහණය කරගෙන ඇති පාලකයන්ගේ ප්‍රතිරූපයන් ගොඩනැංවීමෙහිලා දේශපාලන කාටූන් ද ඇතුළුව ජනමාධ්‍ය ඉතා ප්‍රබල මැදිහත්වීමක් කර ඇති බව නිගමනය කළ හැකි ය. නිර්මාණකරණයේදී කාටූන් ශිල්පීන් විසින් ගැඹුරු සංකල්ප හෝ අදහස් ඉදිරිපත් කිරීම සඳහා සංකේතවාදය, ලේබල් කිරීම, අතිශයෝක්තිය, ප්‍රතිසමතාව හා උත්ප්‍රාසය වැනි ශිල්පීය ක්‍රම භාවිතා කර ඇති අතර එමගින් ඉතා ගැඹුරු සංකල්පයන් ඕනෑම බුද්ධි මට්ටමකට ග්‍රහණය කරගත හැකි අයුරින් සකස් කර ඇත.

රාජ්‍ය නෞකා උපමාව හරහා දේශපාලනය හා නගරයත්, දේශපාලන කාටූන් හරහා කලාව, දේශපාලනය හා නගරයත් විවිධ කෝණයන් හරහා එකිනෙකට සම්බන්ධකොට මෙම විමසුමෙහි දක්වා ඇත. එසේම මෙම සාධක තුන කෙරෙහිම ප්‍රබල බලපෑමක් කළ හැකි ‘පාලකයා‘ පිළිබඳ නිර්වචන හා විවේචන පොදුවේ දක්නට ලැබේ.

ආශ්‍රිත ග්‍රන්ථ

ප්ලේටෝ, ජනරජය. පරි., ඩී.පී.එම්. වීරක්කොඩි. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, 2005.

Corrêa (කොරෙයා), Paula da Cunha. ‘The “Ship of Fools” in Euenus 8b and Plato’s Republic 488a–489a.’ Iambus and Elegy: New Approaches, ed. Laura Swift and Chris Carey. Oxford University Press, 2016.

Donnelley (ඩොනලි), Liza. ‘Cartoonist Liza Donnelly to Draw on Feminist Experience at Lecture Series.’ Interviewed by Max Radwin. The Michigan Daily, 23 October, 2013.

https://www.michigandaily.com/arts/10cartoonist-liza-donnelly23

Garrison (ගැරිසන්), Ben. ‘The New Captain at the Helm.’ GrrrGraphics, 21 January, 2017.

https://grrrgraphics.wordpress.com/2017/01/21/the-new-captain-at-the-helm/

Gorvett (ගෝවට්), Zaria. ‘The Hidden Psychology of Voting.’ BBC Future, 6 May, 2015.

https://www.bbc.com/future/article/20150506-the-dark-psychology-of-voting

Khoo (කූ), Flora.  ‘The Ideological Influence of Political Cartoons on the 1884 U.S. Presidential Race.’ American Journalism 37.3 (2020): 372-396

Knieper (නීපර්), Thomas ‘Political Cartoon.’ Encyclopedia Britannica, 20 February, 2018.

https://www.britannica.com/topic/political-cartoon

Lamb (ලෑම්බ්), C. ‘Inky outlook.’ AAEC Notebook, 1996.

Oliphant (ඔලිෆන්ට්), Patrick. ‘Why Political Cartoons are Losing Their Influence.’ Nieman Reports, 2004: 25-27.

‘On Plato's Ship of State Analogy.’ Digressions and Impressions, 2 January, 2018.

https://digressionsnimpressions.typepad.com/digressionsimpressions/2018/02/on-platos-ship-of-state-analogy.html

Oržekauskas (ඕර්ජෙකවුස්කාස් සහ ස්මයිජියේනෙ), Petras, and Ingrida Šmaižienė. ‘Public Image and Reputation Management: Retrospective Actualities.’ Viešoji politika ir Administravimas 19 (2007): 90-97.

Trelawny-Cassity (ට්‍රෙලෝනි-කැසිටි), Lewis. ‘Plato: the Academy.’ Internet Encyclopedia of Philosophy, 2019.

https://iep.utm.edu/academy/

‘Trending Science: The Hidden Psychology Behind Voting Behaviour.’ CORDIS EU Research Results, 7 November, 2016.

https://cordis.europa.eu/article/id/120582-trending-science-the-hidden-psychology-behind-voting-behaviour

__________________

[1] “මෙම උපමාව හා පෞර රාජ්‍යයන් සැබෑ දාර්ශනිකයන් කෙරෙහි දක්වන ආකල්පය අතර සමානත්වය දැකීමට ඔබ එය පරීක්ෂා කිරීමට අවශ්‍ය නොවන අතර මා අදහස් කරන දෙය ඔබට වැටහෙති යි මා හිතනවා” (ප්ලේටෝ 2005: 489a).

[2] වර්ෂ 2000 දී කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය විසින් මුද්‍රණය කරන ලද Plato: The Republic හි සංස්කාරක වන ජී. ෆෙරාරි උපුටා දක්වමින් Digressions and Impressions වෙබ් අඩවියේ  ඇති ‘On Plato's Ship of State Analogy’ ලිපියේ මෙය සඳහන් වේ.

[3] https://osucartoons.pastperfectonline.com/webobject/A9C2A65E-FCF3-49BE-AC67-303999350787

[4] https://www.gettyimages.co.nz/detail/news-photo/cartoon-depicting-us-president-franklin-roosevelt-steering-news-photo/113494990

[5] https://fineartamerica.com/featured/fdr-cartoon-c1934-granger.html

[6] https://www.granger.com/results.asp?image=0174608

[7] “සැබෑ නැව්පතියෙකු සත්‍ය වශයෙන් ම නැවක පාලකයකු වන්නට නම් වර්ෂය හා ඍතු ද අහස හා තරු ද සුළං හා තම ශිල්පයට අයත් අන් කරුණු ද කෙරෙහි සිය අවධානය යොමු කළ යුතු බව…” (488c).

[8] http://www.cartoonaday.com/donald-trump-president-cartoon/

[9] https://grrrgraphics.wordpress.com/2017/01/21/the-new-captain-at-the-helm/

[10] “We will now see if ‘Captain Trump’ can right the ship of state. He may be our last, best hope” (ගැරිසන් 2017).

[11] http://www.progressivepostdaily.com/2017/03/03/trumps-crackdown-on-leaks-leads-to-more-leaks/trump-leaking-ship-political-cartoon-politico/

[12] https://www.danzigercartoons.com/cartoons/ship-of-state

[13] http://www.politicalirony.com/2009/11/27/the-ship-of-state-or-the-state-of-the-ship/