කොළඹ කතිකා 1: තීව්‍ර සමාජ අර්බුද සහිත වකවානුවක සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍රයන්හි කාර්යභාරය

නිර්මාල් රංජිත් දේවසිරි, සිරිමල් අබේරත්න, සිරී හෙට්ටිගේ, සුභාංගි හේරත්, පණ්ඩුක කරුණානායක, ජයදේව උයන්ගොඩ

ලිඛිත පිටපත්කිරිම: හර්ෂණී ප්‍රනාන්දු

 

කොළඹ විශ්වවිද්‍යාලයෙහි ශාස්ත්‍ර පීඨය මගින් සංවිධානය කරන්නට යෙදුණු විද්වත් සංවාද මාලාවක පළමු දිගහැරීම ලෙස කොළඹ කතිකා පළමු වැඩසටහන 2022 ජුනි මස 10 වන දින කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේදී පැවැත්විණි. “තීව්‍ර සමාජ අර්බුද සහිත වකවානුවක සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍රයන්හි කාර්යභාරය” යන තේමාව පාදක කරගනිමින් මෙම සාකච්ඡාව සිදු වූ අතර සංවාදය මෙහෙයවීම මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි විසින් සිදු කරන ලදී. එහිදී සම්පත් දායකයන් ලෙස මහාචාර්ය ජයදේව උයන්ගොඩ, මහාචාර්ය සිරිමල් අබේරත්න, මහාචාර්ය සුභාංගි හේරත්, මාහාචාර්ය පණ්ඩුක කරුණානායක සහ මහාචාර්ය සිරී හෙට්ටිගේ සම්බන්ධ වූහ. එම සාකච්ඡාවේ පළමු වටය ආශ්‍රය කොටගෙන සම්පාදිත ලිඛිත පිටපත පහත දැක්වේ.

නිර්මාල් රංජිත් දේවසිරි: බොහොම ඍජුවම මම කැමති සාකච්ඡාවට යොමු වෙන්න. මේ සාකච්ඡාව පවත්වාගෙන යන්න මම අදහස් කරන්නේ සාමාන්‍ය ක්‍රමයටම නෙමෙයි. එනම් එක් එක් සම්බන්ධ වෙලා ඉන්න සම්පත් දායකයින්ට තමන්ගේ අදහස් දක්වන්නට යෝජනා කරලා නෙමේ. ඇත්ත වශයෙන්ම මම බලාපොරොත්තු වෙනවා මේ සාකච්ඡාවේදී තරමක ආධිපත්‍යයක් දරන්න. දැන් මම මාවම පත් කරගෙන තිබෙනවා මහජනයාගේ නියෝජිතක් විදියට. ඒ කියන්නේ මහජනයා වෙතින් එන ප්‍රශ්න ඔබ වෙත යොමු කිරීමේ ඒජන්තයා විදියට නැත්නම් නියෝජිතයා විදියට කටයුතු කරන්න මම බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ වගේ තියුණු අපි මේ කතා කරන විදියට බොහොම තීව්‍ර අර්බුදකාරී වකවානුවක අපි මොනවාද කරමින් ඉන්නේ. විශ්වවිද්‍යාලවල විශේෂයෙන්ම ශාස්ත්‍ර පීඨවල . මම දැන්ම “මහජනයාගේ නියෝජිතභාවය” ආරම්භ කරලා ඉන්නේ.  අපට සැලකිය යුතු වැටුප් ලැබෙනවා. එසේම අනෙක් පැත්තෙන් මේ වගේ අර්බුදයක ජනයාට උපදෙස් දීලා තියෙනවා වේල් දෙකක් පරිභෝජනය කරන්න කියලා. මන් හිතන්නේ අපිට තවම හැකියාව තියෙනවා වේල් තුනක් කාලා බිලා ඉන්න. ඒ වගේ අපි යම්කිසි සාපේක්ෂ වශයෙන් වරප්‍රසාදලත් කණ්ඩායමක් විදියට අපි කරමින් ඉන්නේ කුමක්ද, අපිට ලැබෙන මේ වැටුප සාමාන්‍ය කාලවල ප්‍රශ්න වෙන එක වෙනත්  එකක්. ඒ ගැනත් ප්‍රශ්න තියෙනවා. නමුත් මේ වගේ ප්‍රශ්න තියෙන කාලයක අපි කොහොමද අපේ පැවැත්ම යුක්ති සහගත කරන්නේ. මෙතන වාඩිවෙලා ඉන්න හයදෙනාගෙන් පස්දෙනෙක්ම අයිති වෙන්නේ සමාජ විද්‍යා සහ මානව ශාස්ත්‍ර කියන ක්ෂේත්‍රයට. එක පිටස්තරයෙක් ඉන්නවා. මහාචාර්ය පණ්ඩුක කරුණානායක වෘත්තියෙන් වෛද්‍යවරයෙක්; කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්යවරයෙක්. සෙසු අය මේ අපි වාඩිවෙලා ඉන්න පීඨයේම හිටපු හෝ දැනටමත් සිටින සමාජිකයෝ. මම මෙහෙම පොඩි සාකච්ඡාවකින් පටන් ගන්න කැමති, මගේ විෂය ඉතිහාසය නිසා. මේ ඉතිහාසය ඉගැන්වීම පිළිබඳ උපදෙස් ඔය Suggestions on the Teaching of History කියලා 1950 ගණන්වල මුල් යුනෙස්කෝ ආයතනය මගින් පළ කරපු කෘතියක් තියෙනවා. ඒක “ඉතිහාසය ඉගැන්වීමට උපදෙස්” කියලා  සිංහලෙනුත් පළ වුණා 1953 දී විතර. මම මේකේ එන එක්තරා අදහසකින් සාකච්ඡාව පටන් ගන්නවා. ඒ අදහස තමයි, මම මෙය ඉංග්‍රීසියෙන් කියවන්නම්: “Children not  infrequently complain of the  remoteness of its subject-matter from their own lives, interest and experience, or  condemn history as being useless in the immediately material and practical sense; it does not teach them how to  mend a fuse, or  to cook a breakfast, much less how to earn a living. A great deal of history, especially political history, does not enthrall or inspire. Moreover, the subject seems to lend itself to much vague talk and too little practical activity, and to involve much dull memorization”.[1]

මේ කියන්නේ සාමාන්‍යයෙන් ගුරුවරුන්ට පන්තිකාමරයේ අහන්න වෙන එකක් තමයි ළමයින්ගෙන් මොකක්ද මේ ඉතිහාසය ඉගෙනීමෙන් වෙන ප්‍රයෝජනේ. අපිට මේකෙන් මොකක් හරි අපේ දෙෙනික ජිවිතේට වැදගත්... අපිට අඩු තරමින් අපේ උදෑසන ආහාර වේල සරි කරගන්න පුළුවන්ද? අපේ ප්‍රායෝගික ජිවිතයට වැදගත්කමක් තියෙනවද? මේක මේ ඉතිහාසයට අදාළව අහන ප්‍රශ්නයක්. නමුත් මේක පොදුවේ අපට අහන්න පුළුවන්ද මේ සමාජීය විද්‍යා සහ මානව ශාස්ත්‍ර ක්ෂේත්‍රයට අදාළව? විශේෂයෙන්ම මේ වගේ අපේ වියදම්, මහජන වියදම්, මම මේ කතා කරන්නේ public funds මහජන අරමුදල් භාවිතය සහ අවශ්‍යතා ප්‍රමුඛතාකරණය, සහ එහි ප්‍රමුඛතාකරණය ගැන බරපතලව සිතා බැලීමට සිදුවන වකවානුවක අපිට සිද්ධ වෙනවා අහන්න අපි වියදම් කරන සැම සතයක්ම ගැන.

මම මුලින්ම යොමු වෙන්නේ මහාචාර්ය සිරිමල් අබේරත්නට මොකද ඔහු ඔහු ආර්ථික විද්‍යාවනේ, ආර්ථික විද්‍යාවේ තියෙන දෙයක් තමා අපි වියදම් කරන හැමදෙයක්ම ගාණක් මිම්මක් ඇතුව economic rationality එකක් තියෙන්න ඕනනේ. අන්න ඒ අර්ථයෙන් ගත්තම දැනටමත් පැහැදිලි ඇති මම මේ අහන ප්‍රශ්නය මොකක්ද කියලා. මහාචාර්ය සිරිමල් අබේරත්න කොහොමද හිතන්නේ ඇත්තටම මේ වගේ කාලයක මේ වගේ උදාහරණයක් විදියට මේ වගේ මානව ශාස්ත්‍ර සහ සමාජීය විද්‍යා උගන්වන පීඨයකට කාරයභාරයක් තිබෙනවාද?

සිරිමල් අබේරත්න: පඩිය ගැනනේ ඔය අහන්නේ නේද කෙලින්ම කිව්වොත්?

නිර්මාල් රංජිත් දේවසිරි: පඩිය විතරක්ම නෙමේ. දැන් අපි කිව්වොත් අපි හිතමු අපි මේ පඩිය  අරගෙන කරන අපේ දායකත්වයක් තියෙනවනේ. දෙකක් වෙන්න පුළුවන්. එකක් තමයි, තිබෙනවා යම් දායකත්වයක් අපි ඒක කරන්නේ නෑ වෙන්ඩ පුළුවන්. නමුත් දෙවෙනි එක දායකත්වයක් නැතිම වෙන්නත් පුළුවන්.

සිරිමල් අබේරත්න: දැන් මේ ප්‍රශ්නයේ තිබෙනවා මට පැති දෙකක්. පළමුවෙන්ම අර ඍජු පැත්තට මම යොමු වෙන්නම්. ඒක තමයි අපි ගන්න මේ ආදායම සාධාරණීකරණය කරන්න පුළුවන්ද කියන එක. දෙවෙනි එක තමයි අපේ දායකත්වයක් මේ වෙලාවේ තියෙනවද ඊට අමතරව සහ දායකත්වය තිබුණත් දායකත්වය ලබාදීමේ ඉඩප්‍රස්ථාවන් තිබෙන්නත් ඕනේ. දායකත්වය දීමේ හැකියාව එකක්. ඒ හැකියාව ප්‍රයෝජනයට ගැනීමේ ඉඩප්‍රස්ථාව තව එකක්. දැන් අර කෙලින්ම වැටුප, එහෙම නැත්නම් අපේ ආදායම ගැන පැත්තට බැලුවොත් එහෙම මගේ ප්‍රකාශය අර කොන් කපලා ඉස්සරහින් සහ පස්සෙන් කෑලි කපලා ගන්න එපා. මොකද ඒකට සන්දර්භයක් තියෙනවා මම කියන කතාවට. ඒ නිසා ඒ සන්දර්භයත් එක්ක තමයි විග්‍රහ කරන්න ඕනේ. මොකද හේතුව මම එහෙම කියන්න මම දකින විදයට අපේ පඩි අඩුකළ යුතුයි දැන්. නිර්දය ලෙස මේ රටේ රාජ්‍ය අංශයේ පඩි කැපිය යුතුයි, මේ අවස්ථාවෙන් අපි ගොඩ එන්නනම්. ඇයි මම එහෙම කියන්නේ එහෙම කියන්න හේතුව දැන් මේ වර්තමාන අර්බුදයට මේක නොදැන ගිය ගමනක් නෙමේ අපි. මේක දශකයක් විතර විවිධ තැන්වල අපි කතාබතා කරමින් හිටිය දෙයක්. මොකද මම දැකලා තියෙන දෙයක් තමයි අර්බුද කියන ඒවා ගොඩනැගෙන්නේ හෙමින් කාලයක් එක්ක ගොඩනගාගෙන ඇවිල්ලා කාලයත් එක්ක කඩාවැටීම සිද්ධ වෙන්නේ එකපාරම. එතකොට මේ ගොඩනැගීම සිද්ධ වෙනවා අපි දැක්කා. ඒ පිළිබඳව ඕන තරම් සාක්ෂි තියෙනවා ඒ පිළිබඳව කතා කළ බව කියන්න. එතකොට මේ අර්බුදය අද විග්‍රහ කරනවා එක එක අය එක එක තැන්වල ඉඳලා සමහර අය තමන්ගේ මේකේ සම්බන්ධයක් නැතුව ඒන්ජල්ස්ලා විදියට තමන් පැත්තක ඉඳලා මේක විග්‍රහ කරනවා. තමන්ගේ ඔළුවට පාලක පන්තිය හරි, පාලක පවුල හරි බදු කපා දැමීමෙන් හරි එහෙම නැත්නම් පොහොර කපා දැමීමෙන් හරි විවිධ දේවල්වලින් මේක ඇති කරපු බවට කතා කරලා. එහෙම නැත්නම් රුසියාව හරි යුක්රේනය හරි යුද්ධය හරි එහෙම නැත්නම් ලෝක වෙළඳපොල හරි ඔය හැම එකම එකතු කරලා බලනවා. ඔය හැම එකේම ඇත්තක් තියෙනවා වෙන්ඩ පුළුවන්. නමුත් ඔය සියල්ල විග්‍රහ කරගෙන අන්තිමටම අන්තිමටම ගැඹුරට ගියොත් අපි නතර වෙනවා එක තැනක. මොකක්ද ඒ නතර වෙන තැන? “හැකියාවට වඩා වියදම් කිරීම”. එතන තමයි අපි නතර වෙන්නේ.

නිර්මාල් රංජිත් දේවසිරි: ඒ කියන්නේ ඔබ කියන්නේ අපි ඒ හැකියාවට වඩා වියදම් කිරීම අපේ අධි වියදම් තියෙනවානේ... දැන් අපි අයිති වෙන්නෙත් සහ එතකොට අපේ වියදමත් එවැනි ආකාරයකටද අයිති වෙන්නේ?

සිරිමල් අබේරත්න: නෑ. මේ වියදම් අපි දකින්න ඕනේ තැන් දෙකක. ගිණුම් දෙකක දකින්න ඕනේ. පළවෙනි එක තමයි ආණ්ඩුවේ අයවැය කියන එක දකින්න ඕනේ. බලන්න ඕනේ. එතකොට අපිට එතන පේනවා ආණ්ඩුව අය කියන්නේ මූලික වශයෙන් බදු ආදායම.

නිර්මාල් රංජිත් දේවසිරි: නෑ මට මෙහෙම ඍජු උත්තරයක් දෙනවද? දැන් මම කිව්වනේ මම පැහැදිලිවම උත්සහා කරන්නේ මහජනයාගේ මතය නියෝජනය කරන්න කියලා. දැන් අපි හිතමු මහජනයාගේ පැත්තෙන් බැලුවොත් මේ සියල්ල මහජන අරමුදලනේ අවසාන විග්‍රහයෙදී ගත්තොත්. මේවා මේ කොහෙන් ආවත් ඉන්දියාවෙන් ආවත් චීනෙන් ආවත් ඇමරිකාවෙන් ආවත් අයි.එම්.එෆ් එකෙන් ආවත් අපි සලකන්නේ ඒවා මහජන අරමුදල් විදියට. එතකොට මේ මහජන අරමුදල් පාවිච්චි කිරීමක්. එතකොට ඔබ කියන්නේ මේ මහජන අරමුදල් මේ මානව ශාස්ත්‍ර සහ මේ සමාජීය විද්‍යා ප්‍රවර්ධනය කිරීම සහ ඊට අදාළ කටයුතු සඳහා පවත්වාගෙන යාම මේ වගේ කාලයක ප්‍රයෝජනයක් ඇති වැඩක්ද නැති වැඩක්ද? එහෙම නිකන් සුදු කළු උත්තරයක් දෙන්න පුලුවන්ද? බැරිනම් බෑ කියන්න.

සිරිමල් අබේරත්න: නෑ අපේ දායකත්වයක් තියෙනවනේ. අපේ දායකත්වයක් තිබෙනවා. හැබැයි අර මන් කියපු ප්‍රශ්නේ අපිට බලපානවා. මොකද අපිත් මේ සමාජේ කොටසක්. අපිත් මේ ආණ්ඩුවේ අයවැයේ කොටසක්. එතකොට එතන පැති දෙකක් තියෙනවා. එකක් තමයි ආණ්ඩුව අය ගන්න විදිය පිළිබඳව තියෙන ප්‍රශ්නය, අනික් එක තමයි ආණ්ඩුව වියදම් කරන විදිය. එතන තමයි අපි දකින්නේ උවමනාවට වඩා, තියෙනවට වඩා වියදම් කිරීමේ ප්‍රශ්නය.

නිර්මාල් රංජිත් දේවසිරි: හරි දැන් මම කැමතියි මීළඟට මහාචාර්ය හෙට්ටිගේට යොමු වෙන්න. මන් හිතන්නේ මහාචාර්ය හෙට්ටිගේ වෙනත් කටයුත්තක් නිසා අපේ සාකච්ඡාවෙන් කලින් බැහැර වීමට නියමිතයි. ඒ නිසා මම ඔහුගේ කාලය වැඩිපුර පාවිච්චි කිරීමට බලාපොරොත්තු වෙනවා ඒ කාලය තුළ. දැන් මන් හිතන්නේ මහාචාර්ය හෙට්ටිගේට පැහැදිලි ඇති මම මතු කරන ප්‍රශ්නය. ඒ නිසා අපි ඕනෑම දේකට, ඕනෑම සමාජ ආයතනයකට යුක්තිසහගත භාවයක් තිබිය යුතුයි. ඒ යුක්තිසහගත භාවය තියෙන්න පුළුවන් ඒකෙ තියෙන මූලධර්මීය වශයෙන් යුක්තිසහගත භාවයක් තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම්, what is actually existing? ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම පවතින දෙය. ඒ ඇත්ත වශයෙන්ම පවතින දෙය තුළින් අපිට ඒ යුක්තිසහගත භාවය කියන්නත් පුළුවන්. ඉතින් මන් හිතන්නේ මට හොඳටම විශ්වාසයි ඔබ මේ පිළිබඳව හිතලා තියෙන කෙනෙක් කියලා. ඒක ගැන යමක් කියන්න පුළුවන්ද?

සිරී හෙට්ටිගේ: මන් හිතන්නේ මුලින්ම මම මේකට උත්තර දෙන්න කලින්, මම කැමතියි යමක් කියන්න.  මොකද මම ඇත්ත වශයෙන්ම මේ සම්පුර්ණ සාකච්ඡාවට ඉන්න බැරි නිසා මම පුළුවන් තරම් මුලින්ම අදහස් දැක්වීමක් කරනවා. අනිත් එක තමයි මේක හොඳ ආරම්භයක්. මේක අපි දිගට ගෙනියන්න පුළුවන්නම් තමයි ඉතාමත් හොඳ. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අපි හීනෙන් බය වෙලා වගේ කතා කරන එකේ තේරුමක් නෑ. අපි ඇත්ත වශයෙන්ම මෙතන අපි ඇවිල්ලා ඉන්න සන්ධිස්ථානය බැලුවම ඉතාම බිහිසුණු තත්ත්වයක් රටේ තිබෙනවා. ඒකේ විවිධ පැතිකඩ තියෙනවා.  නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි සමාජීය විද්‍යාඥයන් සහ මානව ශාස්ත්‍ර විෂය ක්ෂේත්‍රවල කටයුතු කරන අය හැටියට අපේ කාර්භාරය කුමක්ද කියන එක පිළිබඳ අද සාකච්ඡා කරන්නේ. මන් හිතන්නේ පළමුවැනි දේ තමයි ඇත්ත වශයෙන්ම අපි මේ අර්බුදය පිළිබඳව අපිට අවබෝධයක් ඇති වෙන්න ඕනනේ අනිත් මිනිස්සුන්ට වැඩිය. දැන් මම සාකච්ඡාව තියෙනවා කිව්වම මම මුලින්ම කරපු දේ තමයි, මම කල්පනා කළා දැන් අපි විශාල සමාජීය සහ මානව ශාස්ත්‍ර සාහිත්‍යයක් සමග විශාල පොරබැදීමක් විශාල කාලයක සිට කරන පිරිසක්. අපි දන්නවා විශාල සාහිත්‍යයක් තියෙනවා. මගේ ඔළුවට ආවා, දැන් මේ අර්බුදය ගැන කතා කරපු ගමන්ම ඇත්ත වශයෙන්ම ඉතාම වැදගත් ඒ ක්ෂේත්‍රයට අතීතයේ සහ මෑත කාලයේ දායක වුනු විශාල පිරිසකගේ නම්. මම ඇත්ත වශයෙන්ම 30 ක ලැයිස්තුවක් හැදුවා. මම මේක කියන්න යන්නේ නැ මේ වෙලාවේ. එතකොට මම කල්පනා කළා දැන් ඒ කාලාන්තරයක් තිස්සේ කියපු දේවල් තමයි අපි දැන් මේ දකින්නේ, අපි මේ අද ප්‍රතිබිම්බයක් විදියට. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ, අපිට මේක සිරිමල් අබේරත්න මහත්මයා කිව්වා වගේම අපි දන්නවා දැන් මේක මෙතෙන්ට ආවේ කොහොමද කියන එක ගැන එච්චරම ලොකු ප්‍රශ්නයක් නෑ. ඒක තමයි ඇත්ත වශයෙන්ම අපේ ක්ෂේත්‍රවල බොහෝ අය කරලා තිබුණේ පහුගිය කාලේ. ඒ අනුව අපේ දායකත්වයක් තිබිලා තියෙනවා මේ පහුගිය කාලේ සිදුවෙලා තිබුන සිදුවීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී. එහිදී අපි අතර පමණක් නෙමෙයි මහජනතාව සමගත් මේවා බෙදාගෙන තිබෙනවා. දැන් මම උදාහරණයක් කියන්නම්, දැන් ඇත්ත වශයෙන්ම අපේ සමාජ විද්‍යාඥයන්ගේ ජාත්‍යන්තර සංවිධානයක් තියෙනවා ISA, International Sociology Association ඒකේ වර්තමාන කෙනා නෙමේ ඊට කලින් හිටිය කෙනා, එයා මයිකල් බුරවෝයි (Michael Burawoy) කියන එක්කෙනා, ඇත්ත වශයෙන්ම ඉදිරිපත් කළා යම්කිසි අදහසක්: Public Sociology. එයා කිව්වා අපි මේ Academic Sociology වලට අමතරව අපි Public Sociology[2] ප්‍රමෝට් කරන්න ඕනේ කියලා. එයාගේ කාලය ඇත්ත වශයෙන්ම ගත කළා මේ සඳහා. Public Sociology, මොකක්ද ඒ කියන්නේ, “We have to relate not only to each other, we have to relate not only to other social sciences we have to relate also to the public”. අපි ජිවත් වෙන සමාජේ ජනතාවටත් අපි සම්බන්ධ වෙන්න ඕනේ කියලා කිව්වා. දැන් මන් හිතන්නේ ඒ වගේ පිරිසක් මේ රටේ ඉන්නව. ඒ වගේ පිරිසක් අපි අතර ඉන්නවනේ. නිරන්තරයෙන්ම අපි සම්මන්ත්‍රණවලට ගිහිල්ලා, පොත් ලියලා කටයුතු කරනවට අමතරව මහජනතාවට ආමන්ත්‍රණය කරන විශාල පිරිසක් අපි අතර ඉන්නවා. මන් හිතන්නේ ඒ අනුව අපිට කාර්යභාරය පිළිබඳ අපිට එච්චර ප්‍රශ්නයක් නෑ. නුමුත් දැන් මෙතන තියෙන ප්‍රශ්නේ දැන් මේකට කොහොමද මුහුණ දෙන්නේ.  පළවෙනිම දේ තමයි දැන් වෛද්‍යවරයෙකුගෙන් ඇහුවොත් කියයි අපි ගියොත් යම්කිසි අසනීපයක් ඇතුව පළවෙනියෙන්ම කරන්නේ මොකක්ද, පලවෙනි දේ තමයි diagnosis; ඒ පිළිබඳව විනිශ්චයක් කරනවා. විනිශ්චය කරනවා කියලා කියන්නේ මොකක්ද: රෝගය මොකක්ද, රෝගයේ හේතු මොක්කද? දැන් අපි දන්නවා bio-medical රාමුවෙනුත් ඉස්සරහට ගිහිල්ලානේ තියෙන්නේ. අද ලෝක සෞඛ්‍ය සංවිධානෙන් හැදුවොත් එයාලා ඉදීරිපත් කරලා තියෙනවා SDH, Social Determinant of Health. එයාල ඉදිරිපත් කරලා තියෙන්නේ සෞඛ්‍යය සම්බන්ධයෙන් හේතුවාදය දිහා බැලුවොත් ඒක අර ජීව විද්‍යාත්මක ඒ රාමුවට සීමා නොවී සමාජීය සාධකත් ගැන ඕනේ කියලා. මන් මේ කියන්නේ හේතුවාදය. මේ පිළිබඳව අපි දන්නවා මොකක්ද මේකට බලපාපු දේ. මෙතන දැන් එක හේතුවක් නෙමේ. මේකට monocausal, එහෙම නැත්තම් එක සාධකයක් අනුව අපිට එක්ස්ප්ලේන් කරන්න බෑ මේ ක්‍රයිසිස් එක. ඒකට කාලයක් තිස්සේ ගොඩක් සාධක, කාලයක් තිස්සේ සිදුවුණු ඒවා තියෙනවා. දැන් උදාහරණයක් විදියට මෙතුමා කතා කරපු දේ සම්බන්ධයෙන් ගත්තොත් දැන් මේ අපි අතර තියෙන ප්‍රශ්නය, මෙතුමා කිව්වා දැන් මෙතන පිරිලා නෑ කියලා. එතකොට දැන් මම හිතනවා මෙතන තියෙනවා ගොඩක් දේවල්. ඒ අතරින් මම එක දෙයක් කියන්නම්. අපි දන්නවා value system කියන එක හරි වැදගත්. අපිව මෙහෙයවන්නේ ගොඩක් දේවල් මගින්. අපේ චර්යාව, අපේ හැසිරීම්, අපි කරන දේවල් ගොඩක් දේවල් මගින් මෙහෙයවනවනේ. දැන් මෙතන අපි දන්නවා ප්‍රධාන වශයෙන් අගනාකම් ගැන කිව්වොත් දෙකක් තියෙනවා. එකක් තමයි substantive value. අපි ගත්තොතින් අපි බලාපොරොත්තු වෙන්නේ මොනවාද අපේ ආයතනවලින් අපි මොනවාද බලාපොරොත්තු වෙන්නේ, කරන්න ඕනේ කියලා. අපි කියනවා උදාහරණයක් විදියට ආර්ථික විද්‍යාව අපි දන්නවා, ආර්ථික සංවර්ධනය, රට සංවර්ධනය කිරීම. GDP එකෙන් අපි බලනවා ගණනය කරලා ආර්ථික සංවර්ධනය උඩට යනවද කියලා. නුමුත් අපි දන්නවා ඊට අමතරව ඉතාම වැදගත් වන තවත් දේවල් තියෙනවා. Equity කියලා අපි කතා කරනවා, equality කියලා කතා කරනවා. Equality of opportunity කියලා කතා කරනවා. Justice කියලා කතා කරනවා. ගොඩක් දේවල් කතා කරනවා. ඒවාට අපි කියන්නේ substantive value. ඉතින් අනික් එක තමයි ඒකේ පරස්පරය තියෙනවා. ඒකේ පරස්පරය මොකක්ද, පරස්පරය තමයි substantive value. මොකක්ද අපිට මේකෙන් තියෙන්නේ, මොකක්ද පෞද්ගලිකව කියන එක. අපි මෙහෙය වෙන්න පුළුවන් එක පැත්තකින් මේ  Substantive Value වලින්.  ඒ කියන්නේ හුඟක් මිනිස්සු කතා කරනවනේ substantive value ගැන. Justice ගැන කතා කරනවා, equality of opportunity ගැන කතා කරනවා. Fairness ගැන කතා කරනවා. අද ලංකාවේ සිදු වුන දේ මන් කියන්නේ අවුරුදු 40 ක කාලය තුළ සිදු වුණේ, මේ මාරු වුණා substantive value වලින් substantive values වලට. ඒ කියන්නේ පටු පෞද්ගලික පරමාර්ථවලට. මන් හිතන්නේ ඕක තමයි මෙතැනත් තියෙන්නේ.

නිර්මාල් රංජිත් දේවසිරි: මහාචාර්ය සුභාංගි හේරත් දැන් මන් හිතන්නේ මහාචාර්ය හෙට්ටිගේ මේක ටිකක් පැහැදිලි කළා සංකල්පීය තලයක. දැන් මම දන්නා විදියට ඔබ බොහොම සමාජයේ යම් යම් කොටස් සමග සෑහෙන පර්යේෂණාත්මකව ගනුදෙනු කරලා තිබෙනවා. විශේෂයෙන් බොහොම marginal communities, ඒ වගේ කියලා සලකන්න පුළුවන් අයත් එක්ක. මන් හිතනෙන් මන් නිවැරදියි කියලා. දැන් එවැනි සමාජ කොටස් එක්ක සම්බන්ධයෙන් පර්යේෂණ කරලා තියෙන කෙනෙක් විදියට ඔබට කියන්න පුලුවන්ද දැන් අපි ඇත්තටම අපේ relevance එක මේ තියෙන අර instrumental values, ඒ කියන්නේ මිනිස්සු බලාපොරොත්තු වෙනවනේ... මන් හිතන්නේ දැන් ඔබ පර්යේෂණ කරලා තියෙනවා ඇඟලුම් කර්මාන්ත ආශ්‍රිතව කටයුතු කරන ස්ත්‍රී ශ්‍රමිකයින් සමග. ඒ අය අපේ මේ සමාජ දාමයේ යටම ඉන්න පිරිසක්. දැන් අපි හිතමු ඔබ ඔබගෙන්ම ප්‍රශ්නයක් ඇහුවොත් “මම මේ අය සම්බන්ධයෙන් කරලා තියෙන පර්යේෂණ  සහ මගෙන් මේ අයට මොනවාද ලැබිලා තියෙන්නේ, ඒ අයට ඒ අයගේ ප්‍රායෝගික ජිවිතයට?” දැන් අපි මේ ප්‍රශ්නය ඇහුවොත්? නමුත් මම මේ අහන්නේ ඒ ප්‍රශ්නයම නෙමේ. මං මේ අහන්නේ පොදු ප්‍රශ්නය. දැන් විශේෂයෙන් මේ තියෙන වාතාවරණය සැලකිල්ලට අරගෙන මම මේ පොදු ප්‍රශ්නය අහන්නේ. ඔබට පුලුවන්ද ඒ ගැන යමක් කියන්න.

සුභාංගි හේරත්: දැන් ඔය ප්‍රොෆෙසර් හෙට්ටිගේ නවත්තපු තැනින් පටන්ගත්තොත් මම, instrumental values කියන දේවල් ගොඩනැගෙන්නේ හැමවිටම සාපේක්ෂ තලයකනේ. එක්තරා සාමාන්‍යයෙන් ලංකාවේ හෝ වෙනත් රටක ප්‍රවණතාවය තමයි තමාට ඉහළින් ඉන්න පන්තිවල හැසිරීම් රටා සහ පරිභෝජන ක්‍රියාවලීන් දිහා බලලා ඊළඟ තලවල ක්‍රියාදාමය හැඩගස්වා ගැනීම තමයි සාමාන්‍ය ක්‍රමය. ඕක අපි 80 ගණන්වල මුල ඉතාම පැහැදිලිව දැක්කා කොහොමද මේක ලංකාවේ කොළඹ නගරයේ අඩු ආදායම්ලාභී නිවාස කණ්ඩායම් තුළ මේ වෙනස්වීම සිදුවීගෙන යන්නේ කියලා. මේ පරිභෝජනයේ වෙනස.  83-84 කාලයේ මම අවසන් වසර ශිෂ්‍යයෙක් විදියට මම පර්යේෂණවල නිරත වෙන විට කොළඹ නගරයේ අඩු ආදායම් ප්‍රජාවන් එක්ක පවා අපි දැක්ක දෙයක් තමයි, ටි.වී ඇවිල්ලා ඒ වන විට ලංකාවට. නමුත් මිලදී ගන්න වත්කමක් නැති මිනිසුන් ලැජ්ජා වුණා ටි.වී එකක් තමන්ට නැහැ කියලා කියන්න. ඇන්ටනාව ගෙදර වහලේ තියෙනවා මිනිස්සුන්ගේ ගෙදර ඇතුලේ ටි.වී එකක් නැහැ බැලුවම. ටී.වී ඇන්ටනාව වහලේ ගහලා මිනිස්සු පෙන්නන්න හැදුවා තමන් ටි.වී එකක් අයිතිකාරයෙක් කියලා. ඒක වත්කම පෙන්වීමේ ක්‍රමයක් බවට පත් වුණා. ඉතින් ඔය විදියට ඔය ඉතාම පහළ මට්ටමින් පටන් ගත්ත දේ අපි ගිහින් බැලුවොත්, අපි අද බැලුවොත් එක නිවාසෙකට වඩා වැඩි නිවාස ප්‍රමාණයක්, එක ඉඩමකට වඩා වැඩි ඉඩම් ප්‍රමාණයක් මේ විදියට අපි නොනවතින තැනකට යනවා. ඒක එක විදියකට එක පන්තියකට කියලා සීමා වුණ දෙයක් නෙමේ. මන් හිතන්නේ ඉතාම අඩු, පහළම මට්ටමේ ආදායම් ලබන පුද්ගලයා පවා තමා ඉන්න තැනින් වෙන තැනකට යන්න හදනකොට, දැන් අපි ප්‍රතිපත්ති මට්ටම ගත්තම, මට ඒවා මේ වෙලේ කියන්න වෙලාවක් නෑ, අපි කොයි විදියට කන්ට්‍රිබියුට් කළාද කියලා අපේ සංවර්ධන ක්‍රම හරහා මේක තව දුරටත් තීව්‍ර වෙන්න. නමුත් ඒක තමයි ගිය ගමන. එතකොට අපි පර්යේෂණවල යෙදිලා කණ්ඩායම් එක්ක අපි හොයන්න උත්සහා කරන්න හදන්නේ අද මේ පවතින තත්ත්වයට, මොකක් හෝ ඒ අය භුක්ති විඳින තත්ත්වයට ඒ අය ආවේ කොහොමද, මොකක්ද ක්‍රියාදාමය, එතනින් එළියට එන්නේ කොහොමද. එතනින් එළියට එන්න ඒ අයට තනියම පුළුවන් කියලා අපි බොහෝ විට නිගමනය කරන්නේ නැහැ. මොකද මේක සම්පුර්ණ ක්‍රියාදාමයක සමාජ, දේශපාලනික, ආර්ථික සංස්කෘතික ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් විදියට තමයි මේ පුද්ගලයන් ඒ ඒ තැන්වලට පත්වෙලා ඉන්නේ. එතකොට අපි ඔය විවිධ ප්‍රජාවන් එක්ක කටයුතු කරනකොට අපි හොයා ගන්නා තොරතුරුවලින් අපි පෙන්වලා දෙන්න උත්සාහ කරනවා මේ අයගේ මේ තත්ත්වය වෙනස් කරන්නට ඔවුන්ට පමණක් නෙවෙයි පොදු සමාජයක් හැටියට, ප්‍රතිමත්තිමය වශයෙන්, රජයක් හැටියට, ආයතනික වශයෙන් මොනවාද සිදුවිය යුත්තේ කියලා. ඒකයි අපි පෙන්වලා දෙන්නේ. ඒකයි එතනට අපේ දායකත්වය වෙන්නේ. මොකද අපිට ගිහිල්ලා යම් පීඩනයකට පත්වුණු, අගතියකට පත්වුණු පිරිස්වලට, disadvantage කියලා අපි කියන අවාසිදායක තත්ත්වවල කටයුතු කරන පිරිස්වලට උපදෙස් දෙන්නේ නැහැ අපි සමාජ විද්‍යාඥයෝ හැටියට මේ මේ දේවල් කළොත් ඕගොල්ලොන්ට මේකෙන් එලියට එන්න පුළුවන් කියලා. මොකද ඒගොල්ලෝ ඇතුළත් වෙලා ඉන්නේ පොදු විශාල ක්‍රියාවලියක අතුරු ඵල ලබන අවාසිදායක තත්ත්වයන්ට මුහුණ දෙන තැනට තමයි එයාලා පත්වෙලා ඉන්නේ. එතකොට ඒ අයට අපිට බොහෝ විට, මන් මේක කියන්නම ඕනේ, අපිට බොහෝ විට අවස්ථාවන් තියෙනවනම් වහා වෙනස් කළ හැකි, මධ්‍යකාලීනව වෙනස් කළ හැකි, දීර්ඝ කාලීනව වෙනස් කළ හැකි තත්ත්වයන් අපි හැම කෙනෙක්ම වගේ පෙන්වලා දීලා තියෙනවා. ඒවා කොච්චර යොදා ගන්නවද කියන ප්‍රශ්නේ මන් හිතන්නේ කලින්, මන් හිතන්නේ නිර්මාල්ද කොහෙදත් ඇහුවා අපිට ඒකට කොච්චර අවස්ථාව තියෙනවද කියලා. උදාහරණයක් විදියට මම ජපානේ විශ්වවිද්‍යාලයක බොහොම කෙටි කාලයක් වැඩ කළා. ඒගොල්ලෝ මගෙන් අහනවා රජයත් එක්ක, local government එකත් එක්ක ඒ ප්‍රදේශයේ ප්‍රශ්න වෙනස් කරන්න සමාජ විද්‍යාඥයෝ හැටියට අපිට කොච්චර අවස්ථාව තියෙනවද කියලා. දැන් මගෙත් එක්ක එකටම වැඩකරපු මහාචාර්යවරිය කෙලින්ම Environment Sociology පැත්තෙන් කෙලින්ම climate change එක හා සම්බන්ධව බරපතල activist කෙනෙක්. එයා වැඩකරනවා local government එකේ advisor කෙනෙක් විදියට. එතකොට දැන් අපි ගත්තොත්, අපි විශාල වාර්තා ගානක් මේවා සම්බන්ධයෙන් ලියලා, මම බොහෝ විට උනන්දු වෙලත් නැහැ ඒවා නැවත පබ්ලිෂ් කරන්න, මොකද පෙන්වන උනන්දුව දැකලා. දැන් මම transport system එක ගැන ලොකු වාර්තාවක් ලිව්වා. දැන් අද මේ ප්‍රශ්නෙට උත්තරේ මට තාම පේනවා එතන; ඒ වාර්තාව ඇතුලේ. ඒක මන් හිතන්නේ නෑ ඒ ඔෆිස් එකෙන්වත් එළියට ගියා කියලා. එතකොට එවැනි තත්ත්වයක් ඇතුළේ තමයි අපි කටයුතු කරන්නේ.

නිර්මාල් රංජිත් දේවසිරි: සුභාංගි ඔබ එතකොට කියන්නේ අපි මේක ටිකක් චක්‍රීය ව්‍යුහයක් විදියට බැලුවොත් දැන් ඔබ කොළඹ නගරයේ අඩු ආදායම් සහිත ප්‍රජාවන් සම්බන්ධයෙන් පර්යේෂණ කළාම, කරලා ඒවා පළ කළාම, විවිධ සම්මන්ත්‍රණවල ඉදිරිපත් කරනවා. අපි හිතමු ඔබගේ බලාපොරොත්තුව තමයි මේවා යම්කිසි විදියක ප්‍රතිපත්තිවලට බලපාලා, නැවත අවසාන වශයෙන් ඒ ප්‍රජාවට ප්‍රයෝගික ජිවිතයට බලාපාවීය කියන බලාපොරොත්තුවෙන්. එතකොටනේ මේ චක්‍රය සම්පුර්ණ වෙන්නේ. එතකොට ඔබ කියන විදයට මට පේන්නේ ඒ චක්‍රය යම්කිසි විදියකට නවතිනවා කියලා. මන් හිතන්නේ මෙතන තමයි වැදගත් දේ කතා කරන්න. මන් ඔබට බාධා කරලා, මන් කැමතියි මහාචාර්ය පණ්ඩුකට යොමු වෙන්න. දැන් ඔබ අයිති වෙන්නේ අපි හිතමු, අපි කලින් කියපු එකට අදාළව ගත්තම, මම ඒක පොඩ්ඩක් වෙනස් කරලා කියන්නම්. “Usefulness in the immediately material and practical sense”, එනම් ඒ ප්‍රයෝජනය කිසිම ප්‍රශ්න කිරීමකින් තොරව සමාජය පිළිගන්න ක්ෂේත්‍රයකට. වෛද්‍ය ක්ෂේත්‍රය කියන්නේ සාමාන්‍ය ජනයාගේ ජිවිතයට ක්ෂණිකව අදාළ එකක්, වෛද්‍යවරයෙක් බිහිකළ යුත්තේ ඇයි කියන එක ගැන මන් හිතන්නේ කිසිම කෙනෙක් ප්‍රශ්න කරන්නේ නැහැ. සමාජ විද්‍යාඥයෙක් බිහි කරන්නේ ඇයි කියන එක ගැන ප්‍රශ්න කරන කෙනෙක් ප්‍රශ්න කරන්නේ නැහැ වෛද්‍යවරයෙක් බිහිකළ යුත්තේ ඇයි කියන එක සම්බන්ධව. දැන් මහාචාර්ය පණ්ඩුක මන් පෞද්ගලිකව දන්නා දෙයක් තමයි හැබැයි ඔබ මේ ක්ෂේත්‍රය පිළිබඳවත් උනන්දුවක් දක්වනවා. මේ මණ්ඩපයට ඔබට ආරාධනා කරන්නත් ප්‍රධාන හේතුව ඒක. දැන් මේ සුභාංගි මතුකරන ප්‍රශ්නය ගැන මොකක්ද ඔබ හිතන්නේ. මෙවැනි ගැටලුවක් තියෙනවද? ඒක අවශ්‍ය දෙයක්ද? ඒ කියන්නේ යම්කිසි විශේෂඥ ක්ෂේත්‍රයක ආයෝජනය කිරීම, අපි හිතමු විශේසඥ වෛද්‍යවරයෙක් සඳහා ආයෝජනය කිරීම ගැන මන් හිතන්නේ ගැටලුවක් නැහැ. දෙවරක් සිතා බලන එකක් නැහැ. නමුත් දැන් මෙහෙම එකක් තියෙනවානම්, මේ කියන විදයට චක්‍රය සම්පූර්ණ නොවන එකක් තියෙනවනම් දැන් ඔබ වෛද්‍ය පීඨයේ ඉගෙන ගෙන ඔබ නැවත ප්‍රජාවට ප්‍රතිකාර කරනවා. මේ චක්‍රය සම්පූර්ණ වෙනවා. මන් මතුකරන ගැටළුව පැහැදිලි ඇති. දැන් මේ ගැන මොකද හිතන්නේ?

පණ්ඩුක කරුණානායක: ඔබ ඒ ප්‍රශ්නය ඇහුවේ වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළව පමණක්ද එහෙම නැත්නම් පොදුවේද?

නිර්මාල් රංජිත් දේවසිරි: නෑ මෙහෙමයි, මම අහන්නේ වෛද්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මේක පැහැදිලිනේ. නමුත් දැන් මම දන්න විදියට ඔබ ඒ වෛද්‍ය ක්ෂේත්‍රයේ නියැලෙනවාට අමතරව මේ සමාජ විද්‍යා මානව ශාස්ත්‍ර ක්ෂේත්‍රයන් සම්බන්ධව උනන්දුවක් දක්වනවා. ඒ සම්බන්ධයෙන් ලියනවා. එතකොට ඔබ බලාපොරොත්තු වෙනවද, නෑ නෑ ඕකට ඔය සමාජ විද්‍යා මහාචාර්යවරු ඕනේ නෑ, මටම පුළුවන් ඒ ටිකත් කරන්න. මන් කියන්නේ අන්න ඒ වගේ දෙයක්.

පණ්ඩුක කරුණානායක: ප්‍රශ්නය තේරුණා. ඇත්තෙන්ම මම ඉන්නෙත් එතන. ඒ කියන්නේ ඉන් ඔබ්බට ගිය කර්තව්‍යයක් කළ යුතුමයි කියන තැන ඉන්නේ. මේ සාකච්ඡාවේ මේ දක්වා ටිකෙන් ටික එළියට ආවා. මට මතකයි ඔබ හැඳින්විමේදීත් විග්‍රහ කළා සාමාන්‍ය කාලයයි අද කාලයයි කියලා දෙකක් බෙදා ගත්තා. මන් හිතන්නේ දෙකක් බෙදා ගැනීමත් වරදක්. අපිට එහෙම බෙදා ගන්න වුණාට මේ අද කාලයට විසඳුම තියෙන්නේ සාමාන්‍ය කාලය තුළ. දැන් මහාචාර්ය සුභාංගි හේරත් බොහොම පැහැදිලිව සඳහන් කළා සාමාන්‍ය කාලය තුළ එතුමිය කරපු දේවල්වලින් හරියට ඒ දේවල් භාවිත වුණානම් අද කාලයේ විසඳුමක් සහ අද කාලය වලකිනවා කියලා. අන්න එතන තමයි අපි සමාජයක් හැටියට වරද්ද ගත්ත තැන. ඒ කියන්නේ සමාජ විද්‍යාඥයන් හැටියට නැත්නම් මානව ශාස්ත්‍රවේදීන් වරද්ද ගත්තා කියන එක නෙමෙයි. නමුත් ඒ ගොල්ලොන්ගේ කාර්යභාරය පිළිබඳ සමාජයේ තිබුණ අවබෝධය පිළිබඳ වැරදීමක්. මොකද අර ඔබ කිව්වා වගේ instrumental value වලට ගිහිල්ලා සරසවි ගැන සාමාන්‍ය සමාජය බැලුවොත් මේ ඩිග්‍රී හදන තැනක් පමණයි. එතකොට මෙතනට එන අයටත් උවමනා කරලා තිබුණේ සෙටිෆිකේට් එක අරගෙන යන්න. අරගෙන ගිහිල්ලා රස්සාවක් හොයාගන්න පමණයි. නමුත් ඉන් එහාට ශාස්ත්‍රවේදීන් පුළුවන් තරම් උත්සාහ අරගෙන තියෙනවා සමාජයේ යන්නම් යන වාලේ යන පැත්තට උදව් කරන එක වෙනුවට යන පැත්ත දිහා බලලා ඒ පැත්ත නෙමේ මේ පැත්ත කියලා පොඩ්ඩක් නිර්වචනය කරන්න උත්සාහ අරගෙන තියෙනවා. ඒක මන් හිතන්නේ විශ්වවිද්‍යාලයෙන් කළ යුතු, අපි වගේ ප්‍රජාවක් කළ යුතු, විශේෂයෙන්ම අපිට ආවේණික වූ සමහරවිට අත්‍යවශ්‍යම කාර්යභාරය. දැන් ඇත්තටම උගන්නන්නනම් විශ්වවිද්‍යාල ඕනේ නෑනේ. උගන්නන්න ටියුටරි දාන්න පුළුවන්. සෙටිෆිකේට් දෙන්න ටියුටරි දාන්න පුළුවන්. එතකොට පර්යේෂණ කරන්නත් අපි ඕනේ නෑනේ; එකටත් ඔය research centers දාන්න පුළුවන්. අපිට වඩා හොඳට කාර්යක්ෂමව ඒගොල්ලෝ ඒ වැඩේ කරයි. නුමුත් ඔය කියන මාර්ගෝපදේශකත්වය කරන්න පුළුවන් විශ්වවිද්‍යාලවලට පමණයි. මොකද අපේ අධ්‍යයන ස්වාධීනත්වය පිළිබඳ ආරක්ෂාවක් තියෙනවා. අපි කැමති පැත්තක් පිළිබඳව අපිට හොයා බලන්න පුළුවන් ඒ පිළිබඳව අපිට විවෘතව කතා කරන්න පුළුවන්. ඒ ස්වාධීනත්වය තුළින් තමයි නැගී එන්නේ ඇත්ත මොකක්ද කියන එකයි, මාර්ගෝපදේෂය පිළිබඳව අවබෝධය කියන්නේ මොකක්ද කියන එක ගැන. ඔතනදි තමයි කියන්නේ සමාජ විද්‍යාඥයන් සහ මානව ශාස්ත්‍රවේදීන් හැටියට ඔය කාර්යභාරය කරන්න හරි අමාරුයි. මම පිටස්තරයෙක්නේ ඔබ කිව්වා වගේ. නමුත් ඔබ සැමට ඒ තියෙන වගකීම ඉතා අසීරුයි, මේ තියෙන අඩුපාඩුකම් අතරේ. නමුත් අසීරුවෙන් හරි කරන ටිකවත් මන් හිතන්නේ නෑ ගන්නවා කියලා. මහාචාර්ය  සිරිමල් අබේරත්න කිව්වා වගේ මේක මේ කාලයක් තිස්සේ දන්නා දෙයක් මේ ක්‍රයිසිස් එකක් මෙහෙම එනවා කියලා කියන එක. පහුගිය ඉරිදා පත්තර ටික අරන් බලන්න මේ ක්‍රයිසිස් එක ගැන නොකියපු, නොලියවෙච්ච ඉරිදා පත්තරයක් මන් හිතන්නේ අවුරුදු ගාණකින් තිබිලා නෑ. සිංහල හෝ වේවා ඉංග්‍රීසි හෝ වේවා හැම සන්ඩේ පේපර් එකම ආර්ටිකල් එකක් තියෙනවා මේ වෙන්න යන්නේ මේකයි කියලා. පාර්ලිමේන්තුවේ පවා මේක කතා කරන්න පටන් අරන් අවුරුදු දෙකක් විතර වෙනවා. ඕක මේ කවුරුවත්ම දන්නේ නැතුව රෑ වැටිච්ච වළක් නෙමේ. මේක මේ දවල් වැටිච්ච වළක් මේක. මේක මේ මීට කලින් රටවල් කීයක් වැටිලා තියෙනවද මේ වළේ. ඉතින් අනිවාර්යෙන්ම මම ඉන්නේ ඔබ සමග. අපිට එහෙම කාර්යභාරයක් තියෙනවා. අනිවාර්යෙන්ම විශ්වවිද්‍යාල ප්‍රජාව ඒ කාර්යය කරනවා. ඒ ගැන අඩුපාඩු මිනිස්සු කතා කරනවා වෙන්න පුළුවන්. නමුත් අමාරුවෙන් හරි කරනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මූලික වශයෙන් ඒ දැනුම සමග ඒ තියෙන ගනුදෙනුව සමාජය මට්ටමෙන් නැතිවෙච්ච එක තමයි අපි ගොඩක් මේ දැනුම පිටරටින් ඉම්පෝර්ට් කරන සමාජයක්. අපි ඕනෑම සොලියුෂන් එකක් පිටරටින් ගන්නවා. වෛද්‍ය විද්‍යාවෙත් එහෙම තමයි. බටහිර වෛද්‍ය විද්‍යාව පමණක් නෙමෙයි දේශීය වෛද්‍ය විද්‍යාවෙත් එහෙම තමයි. ඉම්පෝර්ට් කරන්න හරි දක්ෂයි. මොකද එතන කමිෂන් තියෙනවා. එතන ඉන්වෙස්මන්ට් තියෙනවා. එතන කන්ස්ට්‍රක්ෂන්ස් තියෙනවා. මොකද මේ ඉන්න මිනිහෙක්ගෙන් මොකක් හරි උත්තරයක් හොයා ගන්නවට වැඩියේ ඇත්තටම එහෙම කරන එකට තියෙන ඉල්ලුම වටිනාකම අඩුයි.  මන් හිතන්නේ ඔබේ ක්ෂේත්‍රයෙත් ඒක එහෙම වෙන්නැති. ඉතින් ඒ නිසා සමාජය විසින් අප කෙරේ ලබා තිබුණු අවබෝධයෙහි තිබෙන අඩුපාඩුව තමයි අර සාමාන්‍ය කාලයේදී සිද්ධ වුණේ නැති මේ කාලයට අදාළ වන දේ. එහෙමයි මම දකින්නේ.

නිර්මාල් රංජිත් දේවසිරි: මම මහාචාර්ය උයන්ගොඩට යොමු වෙන්න කැමතියි. ඇත්ත වශයෙන්ම සිරිමල් සහ මහාචාර්ය පණ්ඩුකගෙන් මතුවුනු ප්‍රශ්න දෙකක් ආශ්‍රයෙන්. ඒ තමයි දැන් අපි මේ ප්‍රශ්න දැනගෙන හිටියා. මේක ගැන ඕන තරම් ලියලා තියෙනවා. පණ්ඩුකත් ඒක මතු කළා. ඊළඟට පණ්ඩුක ඉතා වැදගත් දෙයක් කිව්වා. ඒ තමයි ඉගැන්වීමට විශ්වවිද්‍යාල අවශ්‍යද කියලා. මන් හිතන්නේ මහාචාර්ය උයන්ගොඩ තමයි ලංකාවේ මෑත කාලීන වැඩිපුරම පර්යේෂණ කිරීම පිළිබඳව සහ ඒවා විධිමත්ව සමාජීය සහ මානව විද්‍යා පිළිබඳව ඉතා විශාල කෘතියක් මේ මෑතක පළ කරනු ලැබුවා. මේ පිළිබඳව සෑහෙන උනන්දුවක් තිබෙනවා. ඒ නිසා මන් හිතන්නේ මන් මේ අවසානයට ඔබව ඉතිරි කරගත්තෙත් මේ පිළිබඳව අදහසක් ප්‍රකාශ කරන්න, ඒකට ඔබ ඉතාම සුදුසු කෙනෙක් නිසා. දැන් මෙතන මට තවමත් අවශ්‍යයි මටම මේක පැහැදිලි කරගන්න. මන් මේ මතුකරන්න හදන ප්‍රශ්නය මම හිතනවා වැදගත් කියලා. නමුත් අනිත් අයත් හිතන්න එපැයි වැදගත් කියලා. මම එකඟයි පණ්ඩුක එක්ක අර සාමාන්‍ය කාලය සහ මේ වගේ කාලයක් අතර බෙදීම එච්චර සුදුසු නෑ කියන එක ගැන. නුමුත් මන් හිතන්නේ ඒකේ වැදගත් කමකුත් තියෙනවා. ඒ වැදගත්කම තමයි මම හිතන්නේ අපි මේ දවස්වල අපි අරපිරිමැස්ම ගැන හිතවනේ, අපි විනෝද ගමනක් යනවනම් ඒක කපලා දානවා. කෑමක් කනාවානම් ඒක පොඩ්ඩක් කපලා දානවා. එහෙම අපි අපේ වියදම් ටික කැපීමේ තියෙනවනේ යම් කිසි ධුරාවලියක්. එතනදී ඒ අර්ථයෙන් ගත්තම මම හිතන්නේ මේක විශේෂ කාලයක් කියලා. එතකොට ඒ වගේ කාලයක අපි සමාජයට සිරිමල් කියනවා පඩි අඩු කළ යුතුයි කියලා. මන් දන්නවා ඒක දෙපැත්ත කපලා ගන්න එපා කිව්වා කියලා. එතැනදී අපි පඩි කපනකොට මේ දවස්වල සෑහෙන කතා වෙනවා විදුලි ඉංජිනේරුවන්ගේ වැටුප් ගැන. එතකොට සමහරු කියනවා ඒ විදුලි ඉංජිනේරුවන්ගේ කාර්යය ගත්තම ඒක පුදුම වෙන්න දෙයක් නෑ කියලා. මොකද ඊට වඩා අඩු පඩියක් ගෙව්වොත් විදුලි ඉංජිනේරුවෝ නැති වෙලා යනවා රටට. එතකොට දැන් අපිට විදුලි ඉංජිනේරුවන්ට තරම් වැටුප් නැති වුණත් කාලෙකට වඩා දැන් සාමාන්‍යයෙන් සලකනවා අපිට යම්කිසි කාලා බීලා ඉන්න පුළුවන් වැටුප් තියෙනවා කියලා. ඉතින් එතකොට අපිත් යම්කිසි වශයෙන් ඉහළ වැටුප් ලබන පිරිසක්. ඒ අර්ථයෙන් ගත්තම අපි කොහොමද මේක සමාජීය වශයෙන් යුක්ති සහගත කරන්නේ? කියන ප්‍රශ්නය. ඒක අර moral ප්‍රශ්නයකට වඩා මම ඒක ethical ප්‍රශ්නයක් විදියට, ආචාර ධර්මීය ප්‍රශ්නයක් විදයට මතු කරන්න කැමතියි. අපිට මොකක්ද සමාජයට offer කරන්නේ කියන දේ. ඒ වගේම මම කැමති ඔබ අනෙකුත් ඉතිරි අදහස්වලටත් ප්‍රතිචාර දක්වනවනවම්.

ජයදේව උයන්ගොඩ: මහාචාර්ය නිර්මාල් රන්ජිත්ගෙන් ඔබගේ ප්‍රශ්නය තරමක් පැහැදිලි කරන්න කියලා ඉල්ලන්න කැමතියි. ඒ කියන්නේ ඔබ මේ සාකච්ඡාව පටන් ගත්තේ සමාජීය සහ මානව විද්‍යා විශ්වවිද්‍යාලවල ඉගැන්වීම ඒ වගේම ආර්ථිකමය සාධාරණීකරණය කිරීම. එතකොට ඔබ මගෙන් අහන්නේ ඒකට ප්‍රතිචාර දැක්වීමද?

නිර්මාල් රංජිත් දේවසිරි: අපිට මේකේ තල කිහිපයක් හඳුනා ගන්න පුළුවන්. ඒ තමයි පොදුවේ ගත්තම අපිට අහන් පුළුවන්, එවැනි ප්‍රශ්න අහලත් තියෙනවා. අපේ වගේ රටකට, දියුණු වෙන රටකට මෙවැනි, මානව ශාස්ත්‍රීය දැනුම වැනි දේ බොහොම luxury සහ මේවා ටිකක් බොහොම යම්කසි ඉහළ මට්ටමකට ආවම තමයි හොඳ කියලා. ඒක හැම කාලෙදිම අහන ප්‍රශ්නයක්. ඊට අමතරව දැන් තියෙනවා අපි විශේෂ තත්ත්වයක ඉන්නකොට අපිට මේ දැන් තියෙන අර්බුදයේ දිග පළල අනුව බැලුවම අපිට විශේෂ කාර්යභාරයක් තියෙනවද?

ජයදේව උයන්ගොඩ: හරි, පැහැදිලියි. මේ සාකච්ඡාවේ වැදගත් ප්‍රශ්න ගණනාවක්ම මතු වුණා. දැන් ඔබ මතු කරපු, පැහැදිලිවම මගේ අවධානය යොමු කරපු ප්‍රශ්නයට පිළිතුරු දෙනවනම්, ඒ පිළිතුර ආරම්භ කරන්න පුළුවන් මේ සම්මන්ත්‍රණයේ පළවෙනි වචන තුනෙනුත්: “තීව්‍ර සමාජ අර්බුද සහිත වකවානුවක”. එතකොට අසාමාන්‍ය කාලයක් මේක. මොකද මේකේ තියෙන අසාමාන්‍යතාවය? දැන් මෙතන සාකච්ඡාව සංවිධානය කළ අය හිතනවා මේක තීව්‍ර අර්බුද සහිත වකවානුවක් කියලා. එතකොට දැන් මහාචාර්ය පණ්ඩුක කිව්වා හැබැයි මේක සාමාන්‍ය කාලයකුත් නෙමේ මේකේ යම්කසි අසාමාන්‍යතාවයකුත් තියෙනවා කියලා. එතකොට මේ සාමාන්‍ය සහ අසාමාන්‍ය කාලය අතර යම්කසි සම්බන්ධයකුත් තියෙනවා. මේකේ තියෙන අසාමාන්‍යභාවය කුමක්ද? මේ අසාමාන්‍යභාවය තේරුම් ගැනීමට අපි කළ යුත්තේ කුමක්ද? අපේ ප්‍රවේශය කුමක්ද? මා හිතන හැටියට නිර්මාල්  රංජිත්  මහතා ආරම්භයේදී මතුකළ ප්‍රශ්නය, ඒ කියන්නේ සමාජීය විද්‍යා සහ මානව ශාස්ත්‍රීය විෂයන් ඉගැන්වීමේ ආර්ථික සාධාරණීකරණය මතුකරපු කාලයක් තිබුනා ලංකාවෙත්. මන් හිතන්නේ දැන් ඒ අවධිය අර්බුදයට ගිහිල්ලා. අද අප කියන තීව්‍ර අර්බුදයෙන් ප්‍රශ්න කරන එක දෙයක් තමයි අර සමාජීය සහ මානවීය විද්‍යා අධ්‍යාපනයේ තිබුණු ආර්ථික වටිනාකම්, ආර්ථික ප්‍රතිඵල නැත්නම් උපකරණාත්මක වටිනාක මහාචාර්ය හෙට්ටිගේ කිව්වා වගේ. Instrumental value ගැන ප්‍රශ්න කරපු ඒ ප්‍රශ්නයත් අද දැඩි ලෙස ප්‍රශ්නයට භාජනය වන යුගයක් මේක. එතකොට මෙම කාලය ගත්තම, මහාචාර්ය නිර්මාල් නිර්මාල් රංජිත් කීප වරක්ම පාවිච්චි කළා වචනයක් මේක “අර්බුදයක්” කියලා. එතකොට මා හිතන්නේ සමාජීය සහ මානව විද්‍යාවන්ට ඒ වගේම අනෙකුත් විද්‍යාවන්ටත් විශේෂ වගකීමක් තියෙනවා, ලංකාව මුහුණ දී තිබෙන, ලංකාවේ ජනතාව මුහුණ දී තිබෙන මේ “තීව්‍ර අර්බුදය” මොකක්ද කියන එක පැහැදිලි කර ගැනීම, එහි ස්වභාවය කුමක්ද කියන එක පැහැදිලි කර ගැනීම. දැන් මහාචාර්ය පණ්ඩුක කරුණානායක මහත්මයා නිවැරදිව කිව්වා වගේ අපි පහුගිය අවුරුදු දෙක තුනක පුවත්පත් බැලුවොතින් මේ අර්බුදයක් එනවා කියලා අනතුර අඟවා තිබුණා. නමුත් ඒකේ තිබුණු ප්‍රශ්නය මේකයි: අද තවමත් බැරිවෙලා තිබෙනවා ලංකාවේ තිබෙන මේ කතිකාව, සාකච්ඡා සහ වාද විවාද බැලුවම, මටනම් පෙනෙන දෙයක් තමයි තවමත් අපි ඉන්නේ මේ අර්බුදය කුමක්ද කියා අවබෝධ කරගැනීමට, තේරුම් ගැනීමට සහ තේරුම් කිරීමට අරගල කරමින්; දඟලමින්. ඒකට හේතුව තමයි මන් හිතන්නේ මහාචාර්ය පණ්ඩුක කරුණානායක මහත්මයා මීට සති දෙකකට පමණ පෙර පුවත්පතක ලියපු ලිපියක ඉතා හොඳ අදහසක් ඉදිරිපත් කරලා තිබුණා. අපේ ලෝකය පිළිබඳ තේරුම් ගැනීම අපි හුඟක් වෙලාවට compartmentalize කරලයි තේරුම් ගන්නේ. අද වුණත් බලන්න. අද ලංකාවේ තියෙන ප්‍රධානම විවාදාත්මක ප්‍රශ්නයක් තමයි මේ තියෙන්නේ “ආර්ථික අර්බුදයක්ද දේශපාලන අර්බුදයක්ද” කියන එක. සමහරු කියනවා මේක ආර්ථික අර්බුදයක්, තව අය නෑ නෑ මේක දේශපාලන අර්බුදයක් කියනවා. ඒ කියන්නේ අපි තාමත් මේ සමස්ත චිත්‍රය දිහා බලන්නේ නැතුව මේක බලන්නේ කෑලී කෑලී අරගෙන. මම තවත් නිදසුනක් කියන්නම්. මා හිතන හැටියට සමාජීය විද්‍යා ක්ෂේත්‍රයේ වැඩකරන කෙනෙක් හැටියට මට පෙනෙනවා ලංකාව අද මුහුණ දීලා තිබෙනවා අති දරුණු සහ පෙර නොවූ වීරූ සමාජීය අර්බුදකට. We are in a massive social crisis. කවුද මේ ගැන කතා කරන්නේ? කිසිම සාකච්ඡාවක පුවත්පතකවත් තිබෙන, ටී.වී. එකේ යන සාකච්ඡාවල මම තවමත් දැක්කේ නෑ අපේ ලංකාවේ “සමාජීය අර්බුදයක් තියෙනවා කියන එක” කිසිදු අදහසක් දක්වනවා.

නිර්මාල් රංජිත් දේවසිරි: ඒ සමාජ අර්බුදයේ තිබෙන පැති ටිකක් කියන්න පුළුවන්ද?

ජයදේව උයන්ගොඩ: ඒ සමාජීය අර්බුදයේ ලක්ෂණ තමයි එක පැත්තකින් අති විශාල දරිද්‍රතාවයේ waves ඒ කියන්නේ රැළි ගණනාවක් තුළින්, සාපේක්ෂ වශයෙන් ඉතාම කෙටි කාලයක්, ඒ කියන්නේ අවුරුදු තුනක කාලයක් තුළ ඇති විශාල දරිද්‍රතාවයක් ලංකාවේ පැතිරිලා තිබෙනවා. දුගී ජනතාව වඩාත් දුගී බවට පත්වෙලා තිබෙනවා. මධ්‍යම පන්තියේ පහළ කොටස් තවත් දුගී ජනතාව බවට පත්වෙලා තියෙනවා. මධ්‍යම පන්තියේ ඉහළ කොටස් දුගී ජනතාව බවට පත්වෙලා තිබෙනවා. දැන් අද ඊයේ දැනට සිදුවෙමින් යනවා ලංකාවේ අවුරුදු තුනක කෙටි කාලයක් තුළ “දුගීකරණයේ හතරවන රැල්ල”. මේ හතරවන රැල්ල, අද තිබෙන රැල්ලේ ප්‍රධානතම ලක්ෂණය තමයි ජනතාවගේ දුගී බවට පත්වීම පමණක් නොවෙයි, දුක්ඛිතභාවයට පත්වීම. අපි ඉංග්‍රීසියෙන් කියනවා immiserization කියලා. පළවෙනි රැළි තුන තිබුණේ pauperization ඒ කියන්නේ දුගීන් බවට පත්වීම. පළමුවෙන්ම දුගී ජනතාව අන්ත දුගී වුණා. මධ්‍යම පන්තියේ පහළ කොටස් දුගීන් වුණා. මධ්‍යම පන්තියේ ඉහළ කොටස් දුගීන් වුණා. ඔය ඔක්කොම එකට යන ක්‍රියාවලීන්. ඔය ඔක්කොම එක්ක අද අන්ත දුක්ඛිතභාවයට පත්වීමේ ක්‍රියාවලියක් තිබෙනවා. එතකොට අද මේවා ගැන කවුරුවත් කතා කරන්නේ නෑ. මන් හිතන්නේ අද අපේ විශ්වවිද්‍යාලයේ සමාජිය විද්‍යා දෙපාර්තමේන්තුවල කවුරුවත් කතා කරනචද මම දන්නේ නෑ. ඒකට හේතුව මොකක්ද අපට තවමත් බැරිවෙලා තිබෙනවා ලංකාවේ තිබෙන මේ සමස්ත අර්බුදයේ ස්වභාවය හඳුනා ගැනීමට. ඒක මම හිතන හැටියට ලංකාවේ සමාජීය විද්‍යා ක්ෂේත්‍රයේ තිබෙන අතිශයින්ම තියුණු failure එක. අසමත්වීම. අසමත්වෙලා තියෙන්නේ ජනාධිපතිතුමා විතරක් නෙමේ අපිත් අසමත්වෙලා තියෙනවා. අපි මේ ගැන කතා වෙන්නේ නෑ. අපි අතරේ තාමත් ප්‍රමාණවත් කතිකාවක් නෑ වර්තමාන ලංකාවේ තිබෙන අර්බුදය කුමක්ද කියන එක ගැන. අපි අර්බුදය කියන වචනේ පාවිච්චි කරනවා. අපි හිතලා තියෙනවද මොකක්ද මේ අර්බුදය කියන්නේ කියලා. අපි හිතනවා අර්බුදය කියන්නේ ඩික්ෂනරි එකේ තියෙන වචනයක් කියලා. ඒ නිසා ඩික්ෂනරි එක බලලා ඒකේ තියෙන වචනේ කියනවා crisis කියලා. නමුත් මොකක්ද ඇත්ත වශයෙන්ම අර්බුදය කියලා කියන්නේ? අපි අපෙන්ම අහමු මොකක්ද අර්බුදය කියන්නේ? ඒක හරියට ලංකාව ජනරජය කියලා කියනවා. අපේ රාජ්‍යයේ නිල නම “ජනරජයක්”. මොකක්ද මේ ජනරජය කියන්නේ ? අපි කවුරුත් අපෙන්ම අහලා තියෙනවද? මේ කාගෙන් හරි ඇහුවොත් “අපි දන්නෑ ජනරජය කියලා හුඟක් දෙනා වචනේ දන්නෙත් නෑ”. එහෙම නෙමෙයි මන් හිතන්නේ... අපට, සමාජීය විද්‍යා, මානවීය විද්‍යා අධ්‍යාපනය අපි අලුත් කළ යුතුයි. මන් හිතන්නේ මේ මෙතෙක් කල් ලංකාවේ තිබුණු විදියේ සමාජීය විද්‍යා මානවීය විද්‍යා අධ්‍යාපනය ඒ මට්ටමින් තිබිලා වැඩක් නෑ. ඒකත් අති විශාල අර්බුදයක හිටියේ. ඒකත් තේරුණේ අපට කලින් එක්තරා විදියකට ලෝක බැංකුවට. මොකද ලෝක බැංකුව ඒක දිහා බැලුවේ උපකරණාත්මක ප්‍රවේශයකින් පමණයි. නමුත් අපි කවදාවත් අපෙන්, සමාජීය මානව විද්‍යා ක්ෂේත්‍රවල ඉන්න අය මේක ප්‍රශ්න කළේ නෑ මේකේ දාර්ශනික පැත්තෙන්. මොකක්ද මේ තියෙන අර්බුදය. ඇත්ත වශයෙන්ම මම ඉතාම සතුටට පත්වුණා පහුගිය කාලය තුළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයයි, කොළඹ විශ්වවිද්‍යාලයයි, යාපනය විශ්වවිද්‍යාලයයි ආචාර්ය මණ්ඩලයේ ටික දෙනෙක් අඩු ගානේ අලුත් කතිකාවක් පටන් ගත්තා ලංකාවේ මේ අධ්‍යාපනයේ අර්බුදය පිළිබඳ අලුත් විග්‍රහයක් ඉදිරිපත් කරන්න. ඔවුන්ගේ විග්‍රහය ඉදිරිපත් කළේ අර ලෝක බැංකුව කේන්ද්‍රකොටගෙන මතුවුනු නව ලිබරල්වාදී විග්‍රහය සහ විසඳුම් ප්‍රශ්නකරමින්. අපට එයිනුත් ඉදියට යන්න වෙලා තියෙනවා අද. අද ලංකවේ තිබෙන මේ සමස්ත අර්බුදය විසින් අප ඉදිරියේ තිබෙන අර්බුදය තමයි අප විසින් මෙම අර්බුදය තේරුම් ගැනීමට සහ මෙය තේරුම් කිරීමට, ඔබ ජනතාවගේ නියෝජිතයා එතකොට ජනතාවට උත්තර දෙන්න, ජනතවගේ භාෂාවෙන් උත්තර දෙන්න ඔබට හැකියාව තිබෙනවද? අපි එහෙම සාකච්ඡාවක් පටන් අරන් නෑ ඇත්තටම. ඒ නිසා මන් හිතන්නේ මෙම සාකච්ඡාව ඉතා වැදගත්. අපි දැන් හරි බලමු ලංකාව අද මුහුණදී තිබෙන මේ සමස්ත අර්බුදයේ පැතිකඩ මොනවාද? ඒවා කොහොමද එකිනෙකට සම්බන්ධ වනුයේ. ඒවා එකිනෙක විසින් අනෙක නිර්ණය කරන්නේ කෙසේද? එහි කෙටි කාලීන සහ දිගු කාලීන ප්‍රතිඵල මොනචාද? ඒකට කොහොමද අපි විශ්වවිද්‍යාල අධ්‍යාපනය යළිත් සකස් කරගන්නේ? මේ කාලේ අපි බහුලව පාවිච්චි කරන වචන දෙකක් තියෙනවා. එකක් තමයි system change අනික තමයි thinking out of the box කියන එක. ඒ දෙක අපි අලුතෙන් appropriate කරනවාද අපේ පැත්තෙන්? අඩු ගානේ අර “ගෝඨාගෝගමේ අය” අර system change වචනයක් තියෙන්නේ ඉතාම අර්ථයක් නැති මීට අවුරුදු දෙකකට කලින් විතර ජනාධිපතිවරණය කාලේ පාවිච්චි කළ වචනෙට ඒගොල්ලෝ ඒක appropriate කරලා සම්පුර්ණ අලුත්, රැඩිකල් අර්ථකථනයක් ඉදිරිපත් කළේ නෑ. නමුත් ඒ අර්ථකථන සඳහා මාවත විවෘත කරලා තියෙනවා. ඒක බොහොම open-ended විදියට. එතකොට මන් හිතන්නේ අපටත් යුතුකමක් සහ වගකීමක් තිබෙනවා විශ්වවිද්‍යාල ආචාර්යවරු හැටියට විශ්වවිද්‍යාලවල system change එකකට. හැබැයි ඒ සඳහා අපි system change කියන වචනය අපි අත්පත් කරගත යුතුයි. අපි ඒක reimagine කළ යුතුයි. මන් අවසන් කරන්න කලින් කිව යුතුයි අපේ පණ්ඩුක මැතිතුමාත් මෙතන ඉන්න නිසා, මන් හිතන්නේ එතුමාත් මා සමග එකඟවෙයි. අපි මෙච්චර කාලයක් තිබුණා කලා, විද්‍යා, වාණිජ, නීති, වෛද්‍ය ඔය ඔක්කොම වෙන්කරලා ඉගෙන ගන්න ඕනේ කියලා. මන් හිතන්නේ වෙන්කරන්න බෑ ඕවා. ඕවා එකිනෙක එකට සම්බන්ධයි. එතකොට මා හිතන්නේ අපට සමස්ත අධ්‍යාපනය, විශ්වවිද්‍යාල පමණක් නෙවෙයි පාසල් අධ්‍යාපනය ගැන පවා අලුතෙන් සිතීමට, මේ විදියට ධාරාවන්ට බෙදීම කොච්චර දුරට ගැලපෙනවද කියලා. වෛද්‍ය පීඨයේ ශිෂ්‍යයන්ගෙන්, වෛද්‍ය පීඨයෙන් අපට ඉගෙන ගන්න දේවල් නැත්ද, වෛද්‍ය පීඨයේ අය අනෙකුත් පීඨ සමග මොනවාද තියෙන්නේ? නමුත් පොදු දේවල් කොච්චර තියෙනවද? මන් නිදසුනක් කියන්නම් ලංකාවේ දේශපාලනය ගැන අද ලංකාවේ පුරවැසියෝ සමග කතා කරන විට, හැමෝම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කතා කරනවා. දේශපාලන ප්‍රශ්න මතුකරන අය, ඒ වගේම ලංකාවේ පුරවැසියන්ට අද කවදාවත් නැති විදියට පුරවැසියන්ගේ දේශපාලන වීඥානය ඉහළ ගිහින් තියෙනවා. අර ඔබේ වචනයෙන් කියනවනම් තීව්‍ර වෙලා තියෙනවා. තියුණු වෙලා තියෙනවා. එවැනි අවධියක් අද තියෙන්නේ. එතකොට අර සාම්ප්‍රදායික විෂයමාලා, කෝච්චි පෙට්ටි වගේ වෙන් කිරීම, ඒක තවදුරටත් කළ යුතුද කියන එක අපි ප්‍රශ්න කළ යුතුයි. ඒ විතරක් නෙමේ අපි ඒකට විකල්ප සෙවිය යුතුයි. අපි අධ්‍යාපන ක්‍රමය ගැන විකල්ප කේන්ද්‍රීයව සිතිය යුතුයි. මන් හිතන්නේ “ගෝඨාගෝගමේ” අර තිබිච්ච පාසලේ මන් දැක්කා සාකච්ඡා කරනවා මේවා ගැන. එයාලා අර Pedagogy of the Oppressed[3]  කියන පොතක් තියෙන්නේ ඒක කතා කරන්න පටන් ගත්තා. මේ විකල්ප විදියට අධ්‍යාපනය ගැන ගැටලුවට ප්‍රවේශ වන්නේ කෙසේද කියන ප්‍රශ්නය අද ලංකවේ මෙම අර්බුදය තුළ ඉතා දැඩි ලෙස ඉදිරියට ඇවිල්ලා තියෙනවා.

[1] C.P. Hill, Suggestions on the Teaching of History, UNESCO: 1953, 27. මෙම කෘතිය ලබාගැනීම සඳහා මෙම සබැදිය භාවිත කළ හැක: https://unesdoc.unesco.org/ark:/48223/pf0000056926

[2] වැඩිදුර දැනගැනීමට අවශ්‍යනම් බලන්න: Michael Burawoy, Public Sociology: Between Utopia and Anti-Utopia. Polity, 2021. සබැඳිය: http://burawoy.berkeley.edu/Biography/Public%20Sociology.pdf  

[3] බලන්න: Paulo Freire, Pedagogy of the Oppressed, trans. Myra Bergman Ramos. Continuum, 2005 [1968].